November 19, 2017

සුදු කමිස, සුදු ගවුම් සහ තවත් කතා

පාසැල් ලාංඡනය සහිත සුදු කමිසය පුතාගේ පාසැල් නිල ඇඳුමේ කොටසකි. ඔහු පාසැල් වේලාවේදී නිල වශයෙන් පැසිපන්දු සහ පාපන්දුත් විවේක කාලවලදී නොනිල වශයෙන් 'tiggy', chasing zombies' ආදී අමුතු නම් ඇති සෙල්ලම් වලත් නිරත වෙන බව මම දනිමි. එහෙත් ඔහු උදෑසන නිවසින් පිටවෙද්දී හැඳගෙන ගිය සුදු පැහැයෙන් බැබලෙන කමිසය හවස ගෙදර එද්දිත් එලෙසම ඇත.

'කොහොමද කොල්ලෝ මේ විදිහට ඇඳුම් කිළුටු කරගන්නේ නැතිව සෙල්ලම් කරන්නේ?' මා ඔහුගෙන් අසන්නේ සැබෑ කුතුහලයෙනි.

'what do you mean?'ඔහු මගෙන් පෙරළා විමසන්නේද සැබෑ කුතුහලයෙනි.

කුමක් හෝ හේතුවකට 'ක්ලීන් සූට් කාරයෙක්’ වීමට පින් කර ඇති නිසා පාසැලේදී ඇඳුම් කිළුටු වීම යන සංකල්පය ඔහු හඳුනන්නේ නැත.

කෙලි වයසේදී මට නම් මෙවැනි ඉතිහාසයක් තිබුණේ නැත. මා ගමේ පාසැලේ උන්නු කාලයේදී දිනපතා විවේක කාලයේදී දූවිලි පිරුණු පිට්ටනියක කළ ඔට්ටු සෙල්ලම් නිසා සුදු ගවුම හවස් වෙද්දී 'දුඹුරු ගවුමක්' බවට පත් වෙනු මතක ය. බිම ඇද වැටී දණිස් ලෙලි ගියත්, දාඩියෙන් ඇඳුම් පෙඟුණත්, ඒ කාලේදී සෙල්ලම අන් හැම දේටම වඩා වැදගත් විය. හත වසරෙන් බාලිකාවකට ඇතුළු වූ පසු එහි නිල ඇඳුමට මා නම් වඩාත්ම ප්‍රිය කළේ එහි සාය කොටසේ රැළි නොතිබුණු නිසා යි. මේ නිසා ඒ වෙද්දී මා විසින් ම කරගත් සුදු ගවුම් මැදීමේ ක්‍රියාවලිය ඉතා සරල විය. මීට අමතරව මදි නොකියන්න ලොකු සාක්කු දෙකක් ම ඒ ගවුමට ඉදිරිපසින් අල්ලා තිබිණි. පාසැල් ළමුන්ට සාක්කු යනු ඉතාම වැදගත් දෙයක් බව නොරහසකි. සුපුරුදු ලෙස ලේන්සු සහ මාරු සල්ලි දැමීමට අමතරව අපට මේවායේ දැමීමට නානාප්‍රකාර දේ තිබිණි. කැන්ටිමෙන් රුපියලට පහ බැගින් ලැබුණු, ඉරි සහිත ලොකු සීනිබෝල පිරවීමට මේවා කදිම විය. රස්නය වැඩි දිනවල සීනිබෝල දියවී සාක්කු වල විවිධ පැහැති පැල්ලම් ඇති වීම අපට අදාළ වූයේ නැත. මීට අමතරව තීන්ත පෑන් පාවිච්චි කර ‘අකුරු ලස්සන කර ගන්නට’ විලාසිතාවක් එකල තිබිණි. සුදු ඇඳුම් සහ තීන්ත පෑන් මිතුරන් නොවූ අවස්ථා ගැන ඒ යුගයේ දී පාසැල් ගිය හැමට සොඳුරු මතක තිබිය හැක. සාක්කුවලදී තීන්ත ඉහිරුණු, පෑන ගසා දමද්දී තීන්ත ඉහිරුණු අවස්ථා පාසැල් නිල ඇඳුම්වල සදාකාලික මතක සටහන් වූයේ ඒවා සෝදා ඉවත් කළ නොහැකි වූ බැවිනි.

මීට අමතරව මට නම් එකල සුදු ගවුම් write-off කරගන්නට විශේෂ හැකියාවක් තිබිණි. දිනක් පාසැලේදී ගොඩනැගිල්ලකට හේත්තු වී මිතුරියන් හා වරුවක් තිස්සේ දොඩවමින් සිටි මා, එතැන තිබී ඇත්තේ අලුත තීන්ත ගෑ පීල්ලක ‘ඩවුන් පයිප්පයක්’ බව පසුව සොයාගත් දිනය නම් ඒ තීන්ත පදාසය සේම මතකයෙන් නොමැකෙනසුළු ව අදටත් ඇත. සුදු ගවුමේ පිට දිගට කළු පැහැ පළල් තීන්ත ඉරක් සහිතව ගතවුණු ඒ දවසේ ඉතිරි ටික බෙහෙවින් දිගු විය.කළු සුදු ඉරි ඇති සතුන්ගේ නම් සහිත ආදරබර ඇමතුමින් මගේ දෙකන් පුරවාලන්නට එදා මගේ මිතුරියෝ අමතක නොකළහ! තීන්ත මෙන්ම චොකලට් අයිස් ක්‍රීම් ද සුදු ගවුමට නොමැකෙන ලෙස කහට සිටින බව මා අත්දැකීමෙන් ඉගෙන ගත්තේ උසස් පෙළ පංතියකදී වාරාවසාන ක්ලාස් පාටියකදී කුමක් හෝ විකාරයක් කරන්නට ගොස් අඩක් දියවූ ලීටර් හතරේ චොකලට් අයිස්ක්‍රීම් පෙට්ටියක් උකුලට හැලුණු විට ය. ඒ සුදු ගවුම් දෙකටම ඉන් එහා අනාගතයක් නොතිබුණු බව ඉතින් අමුතුවෙන් සඳහන් කරන්නට අවශ්‍ය නැතැයි සිතමි.

එකල පාසැල් වෑන් රථයේදී ළමුන් සෑම වාරාවසාන දිනකදීම නිල් දියකළ වතුර ගහ ගැනීම සාමාන්‍ය දෙයක් විය. එදාට නිවෙස් බලා යන ගමනේදී ඩ්‍රයිවර් අන්කල්ට වැඳ වෑන් රථය පාර අයිනේ ඇති කඩයක් අසල නවත්වාගෙන, නිල් කුඩු පැකට් මිලදී ගෙන, තගක් දමා වෑන් රථයේ යන පොඩිඋන්ගේ වතුර බෝතල් සහ කෑම පෙට්ටි බලෙන් ගෙන ඒවාට නිල් දියකර ඉන් ගැහැණු ළමුන්ට ප්‍රහාර එල්ල කිරීමෙන් අහිංසක සතුටක් අප වෑන් රථයේ පිරිමි ළමෝ ලැබුවහ. සුදු ගවුමෙන් නිල් පැල්ලම් නම් සෝදා හළ හැකි බැවින් සහ මේ ප්‍රහාරයන්ගෙන් වැළකීමට වෑන් රථය තුළ මුවාවිය හැකි තැනක් නැති බැවින් අපි ද මේවා විනෝදයක් ලෙස සලකන්නට පුරුදු වුනෙමු. අප වඩාත් ප්‍රවේසම් වූයේ මේ නිල් වතුර විනෝදයේ සාක්කි වෑන් රථයේ ඉතිරි නොකරන්නට ය. එසේ කළා නම් එදාම හවසට ‘වෑන් ඇන්ටි’ ගෙන් අප දෙමව්පියන්ට දුරකථන ඇමතුමක් ලැබීම සිකුරු බව අපි දැන සිටියෙමු. ඩ්‍රයිවර් අන්කල් නම් එකෙක් මළත් කේලම් නොකියන බව දත් නිසා අපට කරන්නට තිබුණේ අවසානයේදී රථයේ හැලුණු නිල් වතුර පිසලීම පමණි. මේ සඳහා ලේන්සු මෙන්ම සුදු ගවුම් වාටි හා සුදු කමිස වාටි භාවිත විය.

මෙවැනි අතීතයක් හිමි මට දිනපතා සුදු කමිසයේ එකදු පැල්ලමක් නැතිව පාසැල් ගොස් ගෙදර එන කොල්ලෙකු ලැබීම පෙර පිනක් යැයි මා සිතා සිටියෙමි. එහෙත් එක සෙනසුරාදා දිනක පුතාගේ පාසැල් කලිසම් සෝදන්නට දමන්නට පෙර මා නිකමට මෙන් එහි සාක්කු පරීක්ෂා කළේ පාවිච්චි කළ ටිෂූ කැබලි සාක්කුවල අමතක කර දමන්නට ඔහු රුසියෙක් බැවිනි. මා අත ගැටුනේ පොල් කුරුමිණියෙක් තරම් ලොකු කුරුමිණියෙක් සහ ඊට තරමක් කුඩා අළු පැහැති කෘමීන් දෙදෙනෙකි.

“ඊයා මේ මොක්කුද මේ??” යැයි මා අත ගසා දමා කෑ ගසද්දී පුතා දුව ආවේය.

“Oh.. I totally forgot about them.. those are some beetles I found at school.. I want to keep them as pets!” ඔහු උන්ව අහුලමින් විස්තර කළේ ය.

“well.. after spending almost a day in your pocket.. they are very dead buddy!” මා ඔහුට පැහැදිලි කළේ එක්කෝ උන්ගේ වාසනාවකට නැත්නම් මගේ වාසනාවකට උන්ට ඒ අවස්තාව අහිමි වීම පිළිබඳව සිතෙන් ස්තූතිවන්ත වෙමිනි.

“that’s ok.. there is a tree full of beetles like that at school..I will bring home some more.. I might use my lunchbox to bring them home next time!” ඔහු බොහොමත් උනන්දුවෙන් පැවසීය.

ඉතින් මා මෙන් ඔහු පාසැලේදී ඇඳුම් කිලිටි කරගත්තත් නැතත්, ඔහු මෙන් මා එකල සාක්කුවල කුරුමිණියන් පුරවාගෙන ආවත් නැතත් ළමුන් නම් ළමුන්ම බව මා මටම මතක් කර ගත්තේ සිනාසෙමිනි. 

pic-gettyimages





November 14, 2017

හිරු බැස යද්දී




අහසක් පුරා ගණ කළුවර වැසුණු කල
තරුවක තිතක වත් නෑඳුනි සෙනෙහෙ දුල
හැපෙමින් හඬන විට නිම් නැති කඳුළු රළ
කිසිවක් නොකියාම වියැකුණි වළා පෙළ

හඳුනමි කලක සිට, මිතුරුයි නිහඬ බව
හසරැලි නූපන් ම යුග නම් තිබුණි තව
එනමුදු නුඹේ කටහඬ සිත මවන කව
නුබ රුදු අඳුර දුරලන රන් කිරණ රුව























Sunset, Barwon Heads beach, Victoria




November 01, 2017

මතකයිද?
























මතකයිද මෙ'රත් පැහැ නුබ තල?
පෑල දිග  ගිනියම්ව දිලිසුන 
බොහෝ දුර ඈත දිගු දවසක 
කවි බිඳක් හිත පතුල පැළ කළ 

අදත් ඉඳහිට දිනක දුර ඉම
රත් වලාකුළු රටා පැතිරෙන 
ගිලිහෙමින් අතැඟිලි අගිස්සෙන්  
කවි අකුරු අතීතෙක සැඟවෙන