December 03, 2023

හයිඩ්‍රන්ජියා හීන

මම කැමතිම පාට නිල් නිසාද මන්දා මම නිල් හයිඩ්‍රන්ජියා මල් වලට බොහොම කැමතියි. ඒ මල් වල මට නම් අපූරු ලස්සනක් තියෙනවා. මේවා වේලුනාට පස්සෙත් ලස්සන ඉතුරුවෙන මල් ජාතියක්.

මේ ආසාව නිසාම මගේ පහුගිය උපන්දිනේට මම හයිඩ්රන්ජියා පැලයක් අරන් ඇවිත් හිටෙව්වා. "මේකේ නිල් පාට මල් පිපේවි ද?" කියලා මම අහපු ප්‍රශ්නෙට මල් පැල කඩේ ගෑනු ළමයා හිනාවෙලා මට පැහැදිලි කළා හයිඩ්‍රන්ජියා පඳුරක මල් පිපෙන්නේ රෝස පාටින්ද, සුදු පාටින්ද, නිල් පාටින් ද කියන එක තීරණය වෙන්නේ පසේ pH අගය මත බව.. ඉතින් මම හයිඩ්‍රන්ජියා පැලයක් හිටවලා ඒකෙ නිල් මල් පිපෙයි කියලා ප්‍රාර්ථනා කරමින් ඉන්න අතරේ නිල් හයිඩ්‍රන්ජියා පොකුරක මේ ඩිජිටල් චිත්‍රය ඇන්දා.


Hydrangea - digital painting


හිටවලා මාස හතක් විතර ගතවුණු තැන මගේ හයිඩ්රන්ජියා පඳුරේ පුංචි මල් පොහොට්ටු පෙනුණා. මුලදී ඒවා මොන පාටද කියලා හිතාගන්න බැරි නිසා මම ඒ දවස්වල හුස්ම අල්ලාගෙන හිටියේ. ඔන්න දැන් ඒ මල් පොකුරු ටික පිපිලා- ඒවා රෝස පාටයි! මේ රෝස පාට මල් වල එක එක shades දැක්කාම මට මගේ නිල් මල් හීනය අමතක වුණා. පසේ සංයුතිය වෙනස් කරලා මේ මල් වල පාට වෙනස් කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියත් එහෙම කරන්නේ මොකටද කියලා හිතුණා.

පෙරලුණු පිට හොඳ බව මම මේ මුල ඉඳන් පාඩමක් ඉගෙන ගනිමින්!


Pink Hydrangeas in bloom



22 comments:

  1. පසේ ph අගය නිසා පාට වෙනස් වෙනවා කියලා ඇහුවමයී..

    ReplyDelete
    Replies
    1. ඔව් නවීන්, ඒකත් පොඩි සූදුවක් වගේ. හිටවලා මාස කීපයක් යනවා හිතුව දේ හරිගියාද කියලා දැනගන්න!

      Delete
  2. ඇත්ත නේන්නම් ඒ රෝස හරි ලස්සනයි...නිල් පාටත් ලස්සනයි..ඒත් මං ආසම දම් පාට 💜️

    ReplyDelete
    Replies
    1. සදවතී- මම ආස ලා නිල් පාට. නිල් පාට එකමද මන්දා පරණ වෙද්දී දම් වෙන්නේ හැබැයි.

      Delete
  3. දම් පාට හයිඩ්‍රජිනියා මලුත් තියෙනවා නේද? - Mayya

    ReplyDelete
    Replies
    1. සුදු, රෝස, නිල්, දම් මල් පොකුරු මම දැකලා තියෙනවා මයියා, රතුත් තියෙන්න පුළුවන් කියලා අහලා තිබුනාට දැකලා නම් නැහැ

      Delete
  4. ඔය පැලේ එලියෙන් තිබ්බ නං, මට පුළුවනි පාට වෙනස් කරල දෙන්න. ගහක්, පැලයක් දැක්කාම අපේ ph අගය අණ්ඩ-ස්ටෑන්ඩ් වෙනවා නෙව?

    ReplyDelete
    Replies
    1. ටොමියාව දැක්ක කල්!
      පාට වෙනස් කරන්න ගිහින් පැලේම මැරිලා යයිද දන්නේ නැහැ ටොමියාගේ සාත්තුවෙන් :D

      Delete

  5. කලක් පවතින අගනා මල් විශේෂයක්. පොකුරු වශයෙන් හටගන්නා මේ මල් වල විශේෂත්වයක් වනුයේ මලෙහි පෙති හෝ මුකුටය (corolla) වශයෙන් දිස්වනුයේ මනිපත්‍ර (caylyx) වීමයි. මනිපත්‍ර 5 මධ්‍යයේ තිබෙන කුඩා ව්‍යුහය පුෂ්පයයි. පසෙහි අඩංගු පෝෂක අයන අනුව පැහැය වෙනස් වේ. නිල් පැහැය ලැබෙන්නේ පසෙහි ඇති ඇලුමිනියම් අයන (Al3+) නිසාය. පසෙහි ඇලුමිනියම් අයන නොමැති විට රෝස පැහැය ගනී. මෙම විශේෂය Hydrangea macrophylla වේ.

    ReplyDelete
    Replies
    1. තාත්තා- මේවා යේ පාට වෙනස් කරන්න පසට දාන්න කැට වගයක් තියෙනවා කඩේ. තව අවුරුදු කීපයක් ගිහින් මේ පාට එපා උනොත් සලකලා බලන්න ඕන.

      Delete
  6. ඔව්. රෝස පාට ලස්සනයි නේ?

    මෙහෙත් තියෙනව, ඒ උනාට නම දැනගත්තෙ අද...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී ඔව් මම රෝස පාට ගැන පැහැදුණා :) සෞම්‍ය කාලගුණ තියෙන රටවල මේවා වැඩියෙන් හැදෙනවා මගේ හිතේ
      ලංකාවේ පහතරට පැතිවල මේ තරම් ලොකුවට ලස්සනට මල් පිපෙන්නේ නැහැලු.

      Delete
  7. මල දැන්න හිටියට ඒකෙ පාටට හේතුව දැනන් හිටියෙ නැහැනේ

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. දුමින්ද- ඔව් මමත්! පාඩමකුත් ඉගෙන ගත්තා ඉතින්- හැමදේම අපට ඕන විදිහට ලැබෙන්නේ නැති බවට :)

      Delete
  8. විළි ලැජ්ජා හතයි එකයි අටයි! දැනුයි ඒ මලේ නම දැනගත්තේ!

    ReplyDelete
    Replies
    1. තට්ටයා- මම හරි ආසයි මල් ජාතිවල, ගස් ජාතිවල නම් දැනගන්න. :) මම ලියන කතාවලත් මොකක් හරි ගහක් මලක් බොහෝවිට තියෙනවා කියලා රසිකයෙක් පෙන්නලා දෙනකම් මට තේරුනෙත් නැහැ!

      Delete
  9. ඒ ලියවිල්ල ලස්සනයි. මිනිස් සිරුරේ කෙමිස්ට්‍රිය හිත්මල් වලටත් මොනතරම් නම් බලපානවා ඇත්ද?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත, ඒක නම් කලින් හිතිලා තිබුණේ නැහැ කොරල්.

      Delete
  10. Replies
    1. මේවා පැල තියෙන තැන් හොයලා, හොයලා, මම ම උස්සාගෙන ඇවිත් හිටවපු නිසා මල් දකිද්දී විශේෂ සතුටක් දැනෙන්නේ කුමුදු :)

      Delete
  11. ඉස්සර සමහරු මල් පෝච්චියේ පසට යකඩයක් ගහල තියනව මල් පාට වෙනස්කරන්න

    ReplyDelete
    Replies
    1. ඒක නම් අහලා තිබ්බේ නැහැ, ට්‍රයි කරලා බලන්න ඕන.

      Delete