June 28, 2023

'Before the Coffee Gets Cold' & 'Never Let Me Go'

I finished two books during the last few days, both recommended to me by avid readers. 'Before the Coffee Gets Cold' by Toshikazu Kawagachi, was recommended by my nephew. Second one, 'Never Let Me Go' by Kazuo Ishigaro was recommended by a friend. It was coincidental that both these writers were of Japanese origin and I initially thought both were translations. 'Before the Coffee Gets Cold' is indeed a translation by Geoffery Trousselot but 'Never let me Go' is an original English novel by the author.

Both these books have quite unique plots. 'Before the Coffee Gets Cold' is all about time travel but in a very non- sci-fi way. I like how the author has thought through all the possible issues that come up with the concept of time travel and put 'rules' in place for the traveller. However there is a slight disjointed feel in the flow of this story. This could well be due to the fact that the translation does not do justice to the original, but that we will never know for sure. However, the coffee shop atmosphere that is central to the story line is soothing and the age-old question that the author presents to us-"what would you change if you could travel back in time?" keeps us pondering.


'Never let me Go' was quite an absorbing read. I love the way the author releases only bits of information to the reader as the story progresses, giving us insight to the whole plot only towards the end. This is centered around the chilling concept of human cloning but delivered to us in the form of a story of friendship and love. It is quite a page turner and delves into the cruelties and vulnerabilities of human nature quite efficiently. This book was shortlisted for the 2005 Man Booker Prize, for the 2006 Arthur C. Clarke Award and for the 2005 National Book Critics Circle Award

It is always great to receive recommendations for reading because that would mean someone has already enjoyed the book beforehand. As I always say, life is too short to spend on bad books!

Before the Coffee Gets Cold by Toshikazu Kawaguchi, Picador Publishers (2019)

Never Let Me Go by Kazuo Ishiguro, Vintage Publishers (2005)




June 26, 2023

සයුර සේ

Translation of the prose poem 'Some people survive' by Nikita Gill

ඇතැම්හු කඩාවැටීමකින් අනතුරුව දිවි බේරාගත් පසු ඒ ගැන ලෝකයටම කියන නමුත් තවත් අය නිහඬ වෙති. වෙනත් අය ඉනික්බිති නිර්මාණකරණයේ යෙදෙති. විවිධ අය ඉහිලීමට අපහසු වේදනාවන් දරාගන්නේ ඔවුන්ටම ආවේනික ක්‍රම වලටයි. අන් අයගේ විනිශ්චයෙන් තොරව එසේ කිරීමට ඔවුන්ට අයිතියක් ඇත.

ඊළඟ වතාවේ තවත් අයෙකුගේ ජීවිතය තමන්ට ඇත්නම් කියා ලොබ බඳින්නට ඔබට සිතුණු විට මෙය සිහි තබාගන්න. හිරු දිලිසෙන දවසක සන්සුන් සයුරක් සේ මේ මොහොතේ ඔබ ඉදිරිපස සිටින අයෙක් විඳිමින් සිටින වේදනාව ඔබට සිතාගන්නටත් නොහැකි විය හැක. සයුරේ මායිම් කෙතරම් විහිදී පවතින්නේදැයි සිතන්න. ලෝකයේ එක් තැනක සයුර සන්සුන්ව පැවතිය හැකි නමුත් තවත් තැනක ඒ මොහොතේදීත් සුවිසල් කුණාටුවක් ඇතිවෙමින් තිබෙනවා විය හැක.

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක


Watercolour painting




June 24, 2023

මං සලකුණු


Translation of the poem 'You will teach them to fly' by Mother Theresa



ඔබ ඔවුන්ට පියාසර කරන’යුරු කියාදෙනු ඇත
එහෙත් ඔවුන් කිසිදිනක
ඔබගේ පියාසැරිය පියාඹනු නැත

ඔබ ඔවුන්ට සිහින දකින'යුරු කියාදෙනු ඇත
එහෙත් ඔවුන් කිසිදිනක
ඔබගෙ සිහිනය සිහිනෙන් දකිනු නැත

ඔබ ඔවුන්ට ජීවත් වන'යුරු කියාදෙනු ඇත
එහෙත් ඔවුන් කිසිදිනෙක
ඔබගේ ජීවිතය ජීවත්වනු නැත

එනමුදු
ඒ හැම පියාසැරියකම, හැම ජීවිතයකම, හැම සිහිනයකම
ඔබ කියාදුන් මංසලකුණු ඉතිරිව තිබෙනු ඇත.

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක


Digital painting

June 20, 2023

Accent කතා

Accent ගැන බස්සා ලීව පෝස්ට් එක නිසා තමයි මේ සටහන ලියවුණේ. ඔස්ට්‍රේලියාව බොහොම බහු ජාතික රටක් නේ. ඉතින් මේක ඇවිල්ලා accent ලෝකයක්. එක එක රටින් රටට, එකම රටේ පළාතෙන් පළාතට එකම දේ උච්චාරණය කරන විදිහ අහසට පොලොව වගේ කියන කාරණාව ඇත්තටම වාඩිවෙලා කල්පනා කරන්න වටින දෙයක් බව හිතෙන්නේ මෙහෙම එක එක ජාතීන් එක්ක කල් ගෙවද්දී. උදාහරණයක් හැටියට අපි එක්ක වැඩකරන ප්‍රංශ ජාතික කාන්තාවක් ඉංග්‍රීසි කතාකරන්නේ තනිකරම ප්‍රංශ තාලෙට. හැබැයි එයා ජීවිතෙන් බාගයක් මේ රටේ ජීවත් වෙලා තියෙනවා. ඒත් මුරුසියෙන් ආව, ප්‍රංශ භාෂාව මුල් භාෂාව වුණු තවත් කෙනෙක් කතාකරන්නේ වෙනස් ම තාලෙකට. කලින් පෝස්ට් එකකත් මම ලීව අයිරිෂ් ජාතිකයා කියන දේවල් මට මුලදී මෙලෝ දෙයක් තේරුණේ නැහැ. ඒ නම් වැඩියත්ම h අකුර නැතිව කතා කිරීම my වෙනුවට me කීම වගේ දේවල් නිසා (me 'ouse instead of my house) කාලයක් යද්දී මේවා හුරු වෙලා ගානක් නැතිව ගියා. ඒ වගේම තමයි රටට ආව අලුත ඔසී ඇක්සන්ට් එකත් තේරුම් ගන්න අමාරු වුන එක. ඒ කාලේ ඔසියෙක් එක්ක ෆෝන් එකෙන් කතා කළොත් එහෙම තනිකරම ලොස්ට්. කතා කරද්දී කියන කෙනාගේ කට පේන එකෙනුත් සෑහෙන්න තේරුම් ගැනීමක් වෙන බව මම තේරුම් ගත්තේ ඒ කාලේ. දැන් නම් ඉතින් එහෙම කිසි වෙනසක් නොදැනෙන්නේ අපිත් ඔසී වෙලාද මන්දා.

මේ සටහන ලියන්න හිතුණේ මේ කතාවේම තව පැත්තක් ගැන කියන්න. අපේ පුත්‍රයා මෙරට උපන් නිසා ඉතින් වැඩිහරියක් ඔසී තමයි. සිංහල තේරෙනවා, කතා කරන්නත් පුළුවන්. ඒත් වැඩි බර ඉංග්‍රීසියට. පුතා ඉස්කෝලේ යන්න ගත්ත අලුත දවසක් මට ගෙදර ඇවිත් කිව්වා පන්තියේ ඩුල්සැන්ඩු කියලා ළමයෙක් ඉන්නවා කියලා. මම හිතුවා නිකම් ෆර්නැන්ඩු වගේ නමක් නිසා පෘතුගීසි සම්භවයක් ඇති ළමයෙක් කියලා. ඉතින් සෑහෙන්න කාලයක් පුතා මේ ඩුල්සැන්ඩු ගැන විස්තර කිව්වා. ඒ අවුරුද්දේ මාස කීපයක්ම ගෙවිලා  ගියාට පස්සේ පන්තියේ හැමදෙනාගේම විස්තර සහිත class photo එක කොල්ලා ගෙදර ගෙනාවාම තමයි මට වෙච්ච සිද්ධිය තේරුණේ. දෙයියනේ ඒ ළමයාගේ නම දුල්සඳු! තනිකර සිංහල ළමයෙක්. අම්මලා කොච්චර ගලපලා වෙන්නැතිද ඒ තරම් ලස්සන තේරුමක් තියෙන නමක් දාන්න ඇත්තේ. අන්තිමට මෙහෙදී ඒකා කොහෙට වත් නැති ඩුල්සැන්ඩු වුණා! "අනේ පුතේ මේ ළමයාට ලස්සන නමක් තියෙනවානේ, ඔයාවත් එයාට දුල්සඳු කියන්නකෝ" කියලා මම කීවේ ඒ හිතේ අමාරුවටමයි. "No that would be weird, everyone calls him Dul- Sandyu" කියලා පුතා කිව්වා. ඒකත් ඇත්ත තමයි කියලා මට පස්සේ හිතුණා. 

දැන් වුණත් පුතාගේ ලංකාවේ යාලුවන්ගේ නම් එයා කියනවා අහන එක අමුතුම අත්දැකීමක්. එයාට ඉන්නවා විරූ- ජා, ආර්යා- නෙතාකා වගේ නම් තියෙන ළමයි. කොල්ලාගේ උච්චාරණය ගැන දන්නා නිසා ඒ විරුජ, ආර්ය, නේතක කියන නම් බව මම දැන් දන්නවා! වැඩිය ඕනේ නැහැ මගේ නමත් ඉස්සර ලංකාවේ ඉන්න කාලේදී පවා ලංකාවේ අයත් වැරදියට උච්චාරණය කරපු එකක්නේ. මගේ uncommon නම නිසා මට හේමමාලි ඉඳන් නීලමනී දක්වා පරාසයේ හැම නමක්ම මිනිස්සු කියලා තියෙනවා. ඒ නිසා ඔසියෝ මගේ නම වැරද්දුවත් දුකක් නැහැ ඉතින්. 

උච්චාරණය ගැන කියද්දී මතක් වුණා තවත් සිද්ධියක්. අපේ තාත්තලා සේෂෙල්ස් රටේ රැකියාවලට ගියේ අසූ ගණන්වල මුල. ඒ කාලේ ලංකාවෙන් ගිය සෙට් එකක්ම හිටියා එහෙ. සේෂෙල්ස් වල ඉංග්‍රීසි, ප්‍රංශ භාෂා තිබුණත් පොදුවේ භාවිතා වෙන භාෂාව ක්‍රියෝල්. ඒ කාලේ එහෙ බස් වල බෙල් තිබුණේ නැහැ. බහිද්දී "දේවා!" කියලා කෑගහන්න ඕන කියලා තමයි පරණ ලංකාවේ අය අලුතින් ආව ලංකාවේ අයට කියලා දුන්නේ. ඇත්තටම "දේවා!" කියලා දෙවියන්ව මතක් කළාම බස් එක ඊළඟ හෝල්ට් එකේ නැවැත්තුවා. කාලයක් ගිහින් අපිත් ක්‍රියෝල් ඉගෙනගත්තාම තමයි තේරුණේ එහෙ මිනිස්සු බස් එකෙන් බහින්න ඕන උනාම කියන්නේ "devan" (ඩේවාං) හෙවත් 'ඉස්සරහ' කියන වචනේ මිසක් දෙවියෝ සම්බන්ධ දෙයක් නොවන බව! 

අපේ උච්චාරණ ගැනත් එක එක රස කතා ඇති  වෙන රටවල කට්ටියට අපි නොදන්නවා වුණාට!



Photo- Canva

June 18, 2023

පරෙවියන්

උන්
හැම මංසලකම
රැස් කන නිසා
දුර්වර්ණ යකඩවල
පැහැයෙන් යුතු වූ නිසා
හැම පාන් වාටියක්ම
අහුලා කන නිසා
අප උන්ට මනාප නැත

උන් පැටවුන් උස් මහත් කරන්නේ
රට බීම හලේ
පියස්ස යට ගුලිවෙමිනි

උන් පදික වේදිකාවේ
කෑම කැබලි වෙත කොටමින්
අප දෙපා වටා කරකැවෙන්නේ
සුපුරුදු අහංකාර ගමනිනි

කිසි දිනක උන්
ශ්‍රේෂ්ඨත්වයට ළඟා නොවනු ඇත

එහෙත්
ඉඳහිට සංචාරකයෙකු විසින්
අර දුර පෙනෙන
ප්‍රතාපවත් පල්ලියේ සේයාරුවක් ගනිද්දී
ඒ බොඳ වූ රුවේ, පසුබිමේ
උන්, එක්වර
අළු පැහැති අහසට නැඟෙන අයුරු
දිස් වනු ඇත

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'Pigeons' by Dhanusha Lameris

Digital painting



June 14, 2023

ගුවන්විදුලි රඟමඬල - 'අම්මලා' රේඩියෝ නාට්‍යය

'ගුවන් විදුලි රඟමඬල' ඉස්සර අපි ආසාවෙන් අහපු රේඩියෝ වැඩසටහනක්. කටහඬවල් කීපයක දෙබස් ඇසුරින් චරිත මවමින් ඒ කාලේ ඒ වැඩසටහන අපේ හිත්වල කතන්දර පණ පිහිටවපු හැටි තාමත් හොඳින් මතකයි. ඒත් ඒ කාලේ රේඩියෝව ළඟට වෙලා ඒ කතන්දර අහද්දී මටත් කවදා හරි ඒ ගුවන් විදුලි රඟමඬලට නාට්‍ය පිටපතක් ලියන්න ලැබේවි කියලා මම නම් හීනෙකින් වත් හිතුවේ නැහැ.

මගේ ලිවීමේ රටාව අනුව මට රේඩියෝ නාට්‍යය පිටපත් ලියන්න පුළුවන් වෙයි කියලා මුලින්ම අනාවැකි කිව්වේ ස්වදේශීය සේවයේ වැඩසටන් නිෂ්පාදිකා ඉනෝකා බොතේජු සහ ශාන්ත බණ්ඩාර විජේකෝන් යුවල. කලින් මගේ කෙටිකතා කීපයක් ස්වදේශීය සේවයේ කෙටිකතා වැඩසටහනට තෝරා ගන්න මුල් වුණෙත් ඉනෝකා තමයි.

ඉතින් බොහොම ඉවසීමෙන් ගුරුහරුකම් දෙමින්, අඩුපාඩු හදාගන්න උපදෙස් දෙමින් මේ දෙන්නා මාව මේ වැඩේට උනන්දු කළා.

මේ නාට්‍යයට හඬ කවන්න ලිලානි පෙර්රා, නිරංජලා සරෝජිනී, ගීතා කාන්ති ජයකොඩි, කමල් දේශප්‍රිය, සුනන්දා හෙට්ටිආරච්චි වගේ ප්‍රවීණ හඬ ශිල්පීන් සම්බන්ධ වෙනවා කියලා දැනගත්තාම මට දැනුණේ පුදුමයක් වගේම ලොකු සතුටක්. පටිගත කිරීම අතරතුරේදී වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වෙලා ඒ අය එක්ක කතා බහ කරන්න ලැබුණු අවස්ථාව සොඳුරු මතකයක්. ඒ අවස්ථාව වෙනුවන් ස්තූතිය ඉනෝකාටයි.

ඉතින් නිර්මාණකරණයේ අලුත් මාන හොයාගන්න උදවු කරන, මගේ හැකියාවන් ඔප මට්ටම් කරගන්න උදවු වෙන මිතුරු සම්පතට මගේ ස්තූතිය කියන්න වචන මදි. මගේ කතාවක් මේ තරම් හැඩ කළ මේ හඬ  ශිල්පීන්ටත් වැඩසටහන නිෂ්පාදන කණ්ඩායමටත් මගේ හද පිරි ප්‍රණාමය.

ස්වදේශීය සේවයේ ගුවන් විදුලි රඟමඬල 10.06.2023
රේඩියෝ නාට්‍යය - 'අම්මලා'
පිටපත- හෙල්මලී ගුණතිලක
හඬ- නිරංජලා සරෝජිනී, ගීතා කාන්ති ජයකොඩි, කමල් දේශප්‍රිය, සුනන්දා හෙට්ටිආරච්චි, ලිලානි පෙරේරා, හිරුති ප්‍රහර්ෂා රන්දුණු
නිෂ්පාදනය- ඉනෝකා බොතේජු



 

I, Daniel Blake - Movie Review

මුලින්ම කියන්න ඕන මේක දුක හිතෙන චිත්‍රපටියක් බව. හැබැයි ඒ බව නොදැන බැලුවාත් අන්තිමේදී අපරාදේ කියලා නම් හිතුණේ නැහැ.

මේ කතාව ගෙතෙන්නෙ ඩැනියෙල් කියන තරමක් වයස්ගත පුද්ගලයෙක් ගැන. තනියම ජීවත්වෙන ඔහුට අනතුරකට පස්සේ රැකියාව කරන්න බැරිවෙනවා විතරක් නෙමෙයි ආණ්ඩුවේ ආයතන වල විවිධ අකාර්යක්ෂමතා නිසා ලැබිය යුතු දීමනා අහිමි වෙනවා. මේ නිසා ඔහු මුහුණ දෙන විවිධ කම්කටොලු ගැනත්, තමන් වගේම අසරණ වුණු තවත් පවුලකට ඔහු අහම්බෙන් පිහිට වුණු හැටිත් තමයි මේ කතාවට පසුබිම් වෙන්නේ. කෙනෙකුට අසරණ වෙන්න ලොකු දෙයක් වෙන්න අවශ්‍ය නැති බව ඇත්තටම පුදුම සහගතයි. බඩගින්න, අසාධාරණයට ලක් වීම, ඇහුම්කන් දෙන්න, තමන් වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැති කම, පරිඝණක සාක්ෂරතාව නැතිකම වගේ දේවල් කෙනෙක්ව කොයිතරම් පාගලා දාන්න පුළුවන්ද කියලා හිතුවම ඇත්තටම හිත සසල වෙනවා. 

මම නොහිතුව විදිහට මේ චිත්‍රපටිය බලලා මාව කම්පනයට පත් වුණේ මේකේ ඉන්න ඩැනියෙල් වගේම කාර්යාල සගයෙක් මට ඉන්න නිසා. මේ කතාවේ ඩැනියෙල්ගේ හැඩ රුවම තියෙන, ඒ වයසේම වගේ ඉන්න ඔහුට තද අයිරිෂ් accent එකක් තියෙන නිසා කතා කරන්නෙත් ටිකක් ඒ විදිහට. ඔහුත් බිරිඳ ගේ වියෝවෙන් පස්සේ තනියම ජීවත් වෙන්නේ. මේ මෑතක අසනීපයකින් සිහි නැති වීමක් වෙලා පැය ගාණකට පස්සේ සිහිය ආවාම තනියම ගිලන් රථයකට කතාකරලා ඉස්පිරිතාලේ ගිය බව 'අපේ ඩැනියෙල්' කීවේ හිනාවෙමින්. ඒත් ඒ හිනාව ඇතුළත තනි වීමේ අසරණ කමක් තිබුණු නිසා වෙන්නැති මේ චිත්‍රපටිය නිසා මට ඔහුව මතක් වුණේ. 

මම වෙසෙන ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් හරියට ඉන්නවා. I, Daniel Blake චිත්‍රපටියෙන් කියවෙන කතාවේ තව version එකක් එයාලාත් අත් විඳිනවා වෙන්න පුළුවන්. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව දුර්වල අය. ඒ වගේ සංක්‍රමණික දෙමව්පියන් වෙනුවෙන් ආයතනවලට ඉංග්‍රීසියෙන් ලිපි ලියන, දුරකථන ඇමතුම් දෙන පුංචි දරුවන් මම බහුලව දැකලා තියෙනවා. 

ඉතින් I, Daniel Blake කියන්නේ අපිව තව හිතන්න පොළඹවන චිත්‍රපටියක්. 

I, Daniel Blake won the Palme d'Or at the 2016 Cannes Film Festival, the Prix du public at the 2016 Locarno International Film Festival, and the 2017 BAFTA Award for Outstanding British Film.


I, Daniel Blake (2016)


Directed by Ken Loach
Written by Paul Laverty
Produced by Rebecca O'Brien
Starring: Dave Johns, Hayley Squires
Cinematography Robbie Ryan


June 12, 2023

පැණ


පිළිතුරු නොදෙන බව දැන
අසමි හිත රිදවෙන පැණ
 
'පාලු ද, තනි ද වෙහෙසද?
කැළැල් රිදුමත් අඩු වී ද?
මතකයේ මල් නොපිපෙන ඉම
මා නමින් සොහොනක් වේද?'


-හෙල්මලී- 

Digital Painting 


June 08, 2023

ශෝකයේ දරුවන්

Translation of the prose poem 'Children of Grief ' by Nikita Gill

ශෝකයේ වැඩිමහලු දරුවා කෝපයයි. ඈ වේගයෙන් කුටියෙන් කුටියට කඩා වදිද්දී ඒවායේ කවුළු පියන් දෙදරයි. ඇගේ දෙවෙනි නම විනාශයයි, ඈ ඒ ගැන පසු තැවෙන්නේ නැත. ඔබගේ පපුව තුළ කුණාටුවක්ද, ආත්මය තුළ මහා වැසි සහිත කැළඹුමක් ද ඇති කරන ඈ, ඔබ සුණු විසුණු වී යන තෙක් ඔබ ව අත හරින්නේ නැත.

ශෝකයේ දෙවෙනි දරුවා දුක්මුසු බවයි. ඈ ඔබේ ඇට මිදුළු තුළට රිංගා ඒ හැමතැනටම අයිවි වැල් වැනි තම අත් දුවවන්නේ ඔබගේ සිරුර සිර කර බැඳ දමමිනි. ඔබම සැතක් ගෙන ඉන් මිදීමට ඉගෙන ගන්නා තුරු ඈ ඔබේ සිරුර වේදනාවෙන් වෙලා ගෙන දිරාපත් කරවයි.

ශෝකයේ බාල දරුවා සුවපත්වීමයි. බිඳුණු ආත්ම දිලිසෙන රන් පැහැයෙන් පිරියම් කරන්නී ඇයයි. ඉනික්බිති ඒ හැම ඉරි තැල්මක් ම හිරු එළිය වැටී දිලිසෙනු පෙනෙයි. “ඇයි?” ඔබ ඇයගෙන් අසනු ඇත. ඔබේ තුවාලවල ඔසු ගලවමින්, ඔබේ ආධ්‍යාත්මය සිහින් පොද වැස්සකින් තෙමමින් ඇය මෙසේ කියනු ඇත. “ඔබට ශෝකය ගෙන ආ දේ කිසි දාක මතකයෙන් නොගිලිහෙන්නට නියමිතයි’


පරිවර්තනය හෙල්මලී ගුණතිලක 

digital painting 



June 04, 2023

ආදර මරිෂ්කා,




ආදර මරිෂ්කා,

ඉර එළිය නිවීගෙන යන වෙලාවට ඩැනියුබ් ගඟ අයිනේ තියෙන උද්‍යාන තීරුව හරි ලස්සනයි නේද? ගස් කොළන් වලින් හෙවන වුණු මංතීරු, හැම ඍතුවේම වගේ මලින් පිරුණු මල් පාත්ති..මම පුරුද්දක් හැටියට මෙතැන ඇවිදින්න ගත්තේ මෑතක ඉඳන්. මේ උද්‍යානයේ මම කැමතිම තැන තමයි අශ්වාරෝහක ප්‍රතිමාව ළඟ ලී බංකුව. ඒ එතැනට වසන්ත කාලයේදී උද්‍යානයේ ටියුලිප්, නාසිසස් මල් යායට පේන නිසාත් සරත් කාලයේදී ඇස්පන් ගස් ගොල්ල මවන විසිතුරු කහ පාට සිතුවම පේන නිසාත් කියලා කියන්න පුළුවන්. ඒත් ඇත්තටම නම්, ඇත්තටම නම් …මම එතැන වාඩිවෙන්නේ එතැනට ඔයාව පේන නිසායි.

මේක කියවලා ඔයා කලබල වෙන හැටිත්, ඉක්මණින්ම ලියුම පැත්තකින් තියලා ජනේලයෙන් එබිලා බලන හැටිත් මට මැවිලා පේනවා. ඔයාගේ උඩු තොලේ හීනියට දාඩිය බින්දු මතුවෙනවා. නිල් ලිනන් ගවුම ජනේලෙන් එන හුළඟට ඔයාගේ ඇඟේ එතෙනවා. කලබල වෙන්න එපා මරිෂ්කා, ඔයාගේ ගෙදර ජනේලේ පේනවා කියලා කිව්වාට මම ජනේලෙන් එබිලා ඔයාගේ දිහා බලාගෙන ඉන්නවා කියලා නෙමෙයි කිව්වේ. අනික හතරවෙනි තට්ටුවේ ඉන්න ඔයාව ජනේලෙන් බලන්න නම් මට කුරුල්ලෙක් වගේ ඉගිලිලා එන්නත් වෙනවා!

ලෙයිස්ට්‍රාස් පාරේ අවන්හලේ වැඩ ඇරිලා ගෙදර එද්දී ඒ කාලෙත් ඔයාට හරි මහන්සි බව මට මතකයි. ඒ දවස්වල ඔයා හිටියේ මීටත් දුරනේ. ඒත් ඉස්සරත් ඒ මහන්සිය නොබලා ගෙදර යන ගමන් ඔයා සතියට සැරයක් දෙකක් වෝගන් වීදියේ මහජන පුස්තකාලෙට ගියා නේද? මට මතකයි ඔයාගේ රෙදි මල්ලේ දාගෙන එන පොත් කියවන්න ඔයාට ඉවසිල්ලක් නැති හැටි.

ඇත්තම කියනවානම් ඔයා දැන් ඉන්නේ මේ ගඟ අයිනේ මහල් නිවාසෙක බව මම දැනගත්තෙත් ඔයාගේ ඔය පොත් කියවිල්ල නිසා තමයි. ඒක අහලා ඔයාගේ නළල රැළි වෙන හැටි මට මැවිලා පේනවා. අපි වෙන් වුණාට පස්සේ මම හවසට මේ ඩැනියුබ් ඉවුරේ උද්‍යානයේ ඇවිදින මංතීරුවේ පුරුද්දක් හැටියට ඇවිදින්න ගත්තේ හිත ටිකක් නිදහස් කරගන්නයි. එහෙම ඇවිදලා ඇවිදලා හති වැටුණාම මේ ලී බංකුවේ වාඩිවෙලා ඔහේ බලාගෙන ඉන්නත් මම පුරුදු වුණා. එහෙම ඉන්දැද්දී එක දවසක්- මෙන්න ඔයා මගේ ඇස් දෙක ඉස්සරහා! එහෙම කිව්වට ඔයා හිටියේ මට ඉස්සරහින් තිබුණු ගොඩනැගිල්ලේ උඩුමහලක තමයි ඉතින්. ඔයා ඔයාගේ කාමරේ ජනෙල් පඩිය උඩ ඉඳගෙන තද අවධානෙන් පොතක් කියවමින් හිටියා. මෙච්චර දුරකින් ඔයාව මම අඳුනගත්තේ කොහොමද කියලා ඔයාට හිතෙනවත් ඇති. ඒත් ඔයාගේ හැම ඉරියව්වක්ම මට කටපාඩම් කියලා ඔයාට අමතක වෙලා නැතිව ඇති කියලා මම හිතනවා. තාම ඒක එහෙමමයි මරිෂ්කා. ඔයා මම හිටිය තැනට පිටුපාලා හිටියත්, ඔයා පිටු පෙරලන විදිහ, පිටුවක් කියවලා ටිකක් කල්පනා කරන විදිහ, ඉර එලිය වැටුනාම ඔයාගේ හම රත්තරන් පාටට දිලිසෙන හැටි තාම මගේ ඇස් පියන් යට තියෙනවා.

ඉතින් මරිෂ්කා මම නිතරම ඈත ඉඳන් අනුමාන කරන්න උත්සාහ කරනවා ඔයා කියවන පොත මොකක්ද කියලා. ඒක ඔයා හොයමින් හිටිය මෝසින් හමීඩ්ගේ මොත් ස්මෝක් පොතද? අපි දෙන්නා වාද කළ කොයියෝ ගේ මිනිත්තු එකොළහ පොත ඔයාට ආයෙත් කියවන්න හිතුනාද? එහෙම නැත්නම් ඔයා දාසයවෙනි වතාවටත් මාග්‍රට් ඇට්වුඩ් ගේ පොතක් පිස්සුවෙන් වගේ කියවමින්ද?

මම දන්නවා සමහරවිට මේ ලියුම කියෙව්වාට පස්සේ ඔයා ආයෙත් හවස් වරු වලට ජනෙල් පඩිය උඩ ඉඳගෙන පොත් කියවන එකක් නැති වෙන්නත් පුළුවන් බව. කවුළුවෙන් එපිට උද්‍යානෙ තියෙන ලී බංකුව නොපෙනෙන්න ජනේලෙට ඝන තිර රෙද්දක් වුණත් ඔයා දාන්න බැරි නැහැ. ඒත්.. ඒත්.. මම මේ ලියුම ලිව්වේ… හදිසියේ වත් ඔයාට ජනේලය ළඟට ඇවිත් මට අත වනන්න හිතුනොත් කියලායි. ඔයා කියවන පොත ගැන මගේ අනුමානේ හරි කියලා ඔයාගේ අතේ තියෙන පොත මට පෙන්නමින් ඉස්සර වගේ හඬ නඟලා හිනාවෙන්න ඔයාට හදිසියේ වත් හිතුනොත් කියලායි.

ඉතින් මරිෂ්කා… මම ඒ වෙනුවෙන් මඟ බලාගෙන ඉන්නවා.

මීට,
ඔයාගේ ම
ටොබායස්

Digital painting