December 29, 2022

ස්තූතියි කාංචනා!

මේ මිතුරියක් වෙනුවෙන් ප්‍රණාම සටහනක්. අන්තර්ජාලයේ ඇගේ නම සොයද්දී මතුවීම පිණිස තබන සටහනක් 
ඈ කාංචනා අමිලානි කරුණාමුනි

දහනව වසරක් ලේක් හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතේ විශේෂාංග කතුවරියක් හැටියට සේවය කළ කාංචනා මේ වසර අගදී ඉන් නික්මෙනවා. මම නිරතුරුව කවි කතා එකතු කළ 'වසත් සුළඟ' කවි පිටුවත් ඒ එක්කම නිමා වෙනවා.

කාංචනා ලේක් හවුස් ආයතනයෙන්න් නික්මෙන බවට පණිවිඩයක් ලැබුණාම මට අර අසිත තවුසාට වගේ හිනාවෙන්නත් අඬන්නත් හිතුණා. සතුට දැනුණේ කාංචනා ඊට වඩා බොහෝ දුර පියාඹන්න නියමිත නිසා එයා දැන්වත් ඒ ගමන පටන්ගැනීම ගැන. දුක දැනුණේ අලුතින් නිර්මාණකරණයට එළඹුණු අයට මින්පස්සේ අත දෙන්න 'කාංචනා කෙනෙක්' නැති එක ගැන.

මීට අවුරුදු දහයකට දොළහකට එපිට අපි මිතුරු මිතුරියන් පිරිසක් fb සමූහ කීපයකට කවි කෙටි කතා ලිව්වා. කාංචනා ත් මේවායේ යාව ජීව සාමාජිකාවක් වෙලා හිටියා. "ඔයාගේ කෙටිකතාව දිනමිණ පත්තරේ පළ කරන්න ගන්නද?" කියලා අහලා කාංචනා මට පණිවිඩයක් එව්ව දවස මට අද වගේ මතකයි. එහෙම පත්තරේක වැඩ කරන කෙනෙක් අපෙන් අහලා නිර්මාණ හොයාගන්න බව මම කවදාවත් අහලා තිබුණේ නැහැ. ඊට කලින් කිසිම දවසක මගේ නිර්මාණයක් පත්තරේක පල වෙලා තිබුණේත් නැහැ. මෙහෙම ඉස්ඉස්සෙල්ලාම පළ වුණේ මගේ 'පුංචි යකා' කියන කෙටිකතාව. දවස 2011 නොවැම්බර් 4.

මේ කාලේ දිනමිණ පත්තරේ 'කව් සිලිලාර' (පස්සේ වසත් සුළඟ) විශේෂාංග පිටුවේ 'කෙටිම කෙටි කතා' අංගයට ගැලපෙන වචන ගානට කෙටි කතා ලියන්න අපි හුරු වුණා. මේකත් එක්තරා අභියෝගයක්, සීමිත වචන ගානකින් කටි කතාවක් ලියන එක අමාරු වැඩක්. මේ සතියේ කාගේ කෙටිකතාව පත්තරේ පළ වෙයිද කියන කුතුහලයෙන් අපි නිරතුරුව දවස් ගතකළා. මීට අමතරව වසත් සුළඟ පිටුවේ විදෙස් කවියට පරිවර්තන කවියක් සතිපතා එවන රාජකාරියත් කාංචනාගෙන් මට ලැබුණා. ඒ වෙනුවෙන් සිංහලට ගැලපෙන, විවිධත්වයෙන් යුතු කවි තෝරලා පරිවර්තනය කරන කටයුත්ත මම අවුරුදු හයක් විතර කළා. ඒ වගේම කාලයක් දිනමිණ පත්තරේ 'පුදුමයි ඒත් ඇත්තයි' විශේෂාංග පිටුවට ලොව වටා පුදුම සහගත දේ ගැන පුංචි පුංචි තොරතුරු හොයලා පරිවර්තනය කරන්නත් මාව යොමු කළේ කාංචනා ම තමයි.

මේ විදිහට බලද්දී අපි දන්නෙවත් නැති අපේ හැකියාවල් මතු කරලා, ඒවාට කරලියක් හදලා දුන්න කෙනෙක්, කාංචනා. එයා ඒ ආරම්භ කරලා දුන්නු ගමන මම දැන් සෑහෙන්න දුර ඇවිත්. මීට අවුරුදු කීපයකට කළින් කාලයක් තිස්සේ දිනමිණ පත්තරේ වෙනුවෙන් මම ලියූ කෙටි කතාත් එකතු කරලා කෙටිම කෙටි කතා එකතුවක් එළි දැක්වූවා . ඒ ගමනට මුල්ම අඩිතාලම දැම්මේ මගේ පළවෙනිම කතාව පත්තරේ පළ කළ කාංචනා කිව්වොත් හරි. මේවාට ක්‍රෙඩිට් ගන්න අකමැති නිසා මේවා කිව්වාම එයා කියන්නේ 'මම මේ හැම දෙයක්ම කළේ රස්සාවේ කොටසක් හැටියට' කියලායි. ඒත් රස්සාවේ කොටසක් හැටියටවත් එහෙම නොකරන අය ඉන්න රටක කාංචනා වගේ අය අපිට මඟ පෙන්නුවාට අපි ණය ගැතියි.

කාංචනා අමිලානි කරුණාමුනි කියන ලේඛිකාව, කිවිඳියගේ දස්කම් තවත් එළිදක්වන්න මේ ඉසිඹුව පාවිච්චි කරයි කියලා අපි බලාගෙන ඉන්නවා. ඇගෙන් තව තවත් මායාමය ලියවිලි කියවන්න ඇඟිලි ගනිමින්.

මිතුරුකමටත් මඟ පෙන්වීමටත් ස්තූතියි,
Kanchana Amilani Karunamuni

පින්තූර - අවුරුදු එකොළහක් පරණ දිනමිණ පත්තර පිටුවකින්



 


December 28, 2022

ගබඩාව



Translation of the poem 'Storage' by Mary Oliver

නිවසකින් නිවසකට මාරු වෙද්දී
මා සතුව වූ බොහෝ දේ වෙනුවෙන්
අලුත් නිවසේ ඉඩකඩ නොමැති විය
එබැවින් ගබඩාවක් කුළියට ගෙන
ඒ හැම දේ ගබඩා කළෙමි.
වසර ගණනක් ගත විය
ඉඳහිට මා ඒ ගබඩාවට ගොස්
කර පොවා බැලුවත්
ඒ කිසිවක් ගැන
හදේ කුඩා රිදුමක් හෝ
ඇති නොවිණි

වයස්ගත වෙද්දී
මා උනන්දු වන දේවල්
කෙමෙන් අඩු වූවත්
ඉතිරි වූ දේහි වැදගත්කම
කෙමෙන් වැඩි විය
එබැවින් දිනක්
ගබඩාවේ අගුලු ඇර
කසලකරු ට ඇමතුවෙමි
ඔහු ඒ සියලු දේ ගෙන ගියේය

පිටෙහි වූ බර ඉවත් කරනු ලද
කොටලුවාගේ ප්‍රීතිය මට දැනුණි
නුවුමනා දේ!
පුළුස්සන්න, පුළුස්සන්න
ඉන් අලංකාර ගිනි මැලයක් තනන්න
ආදරය වෙනුවෙන්
ගහ කොළ වෙනුවෙන්
සියොතුන් වෙනුවෙන්
හදේ ඉඩකඩ වැඩි කරගන්න

සියොතුන් සතුව කිසිවක් නැත
ඔවුන් ඉගිලෙන්නේ එබැවිනි

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

දිනමිණ වසත් සුළඟ, 28.12.2022

Sketch- watercolours and ink on paper

December 25, 2022

නත්තල්!

 සුබ නත්තලක්!

මම නත්තල් සමරන කෙනෙක් නොවුණත් පුංචිම කාලේ නත්තල් සමරන රටක කාලයක් හිටිය නිසා ඒ සැමරුම මගේ ඇඟට කාවැදිලා ද කොහෙද. ඒ කාලේ ඉස්කෝලෙන් පල්ලියේ පූජාවට එක්කගෙන ගිය නිසා කට පාඩම් වුණු ගීතිකා එහෙම තාමත් මතකයි. ලංකාවේදීත් සෑහෙන්න කාලයක් යනකම් මම නත්තල් ගස් හැදුවා. අපේ ගෙදර කට්ටිය මගේ ඒ ආසාවල් සම සිතින් ඉවසුවා!

ඕස්ට්‍රේලියාවේදීත් පුතා පුංචි කාලේ ඉඳන් මෑතක් වෙනකම් නත්තලට නත්තල් ගහ සරසන එක අපි දෙන්නාගේ ලොකු රාජකාරියක් වුණා. ඉස්සරම නම් පුතා kindergarten එකේදී, ඉස්කෝලෙදි එහෙම හදපු නත්තල් සැරසිලි වලට මුල් තැනක් ලැබුණා. පස්සේ පස්සේ කඩෙන් ගත්ත සැරසිලි වලින් තමයි ගහ හැඩ වුණේ. පුතාට වඩා පුතාගේ අම්මාට තමයි මේ ප්‍රොජෙක්ට් එකේ වැඩි වුවමනාව කියලා තාත්තයි පුතායි ඒ කාලේ හිනා වුණා. දැන් ඉලන්දාරි වයසේ ඉන්න කොල්ලාට නත්තල් ගස් ගැන උනන්දුවක් නැහැ. අලුත් ගෙදරට පදිංචියට එද්දී පරණ නත්තල් ගහ දන් දුන්න නිසා මේ අවුරුද්දේ තමයි සෑහෙන්න කාලෙකට පස්සේ මම නත්තල් ගහක් හැදුවේ නැත්තේ. ඒ යුගයත් ඉවරයි.


ඒ වෙනුවට මම මේ සැරේ වෙන ප්‍රොජෙක්ට් එකකට අත ගැහුවා. ඒ තමයි hand painted christmas cards. කොහොමත් දෙසැම්බර් නිවාඩු කාලේ කියන්නේ මම බොහොම නිදහසේ ගෙවන කාලයක්. ඒ නිසා මේ වැඩේට ඕනෑතරම් කාල වේලාවත් ලැබුණා. තැපෑලෙන් ලියුම් යවනවා කියන එක බොහොම කලාතුරකින් සිද්ධ වෙන මේ කාලේ, මට පුරුද්දක් හැටියට තැපෑලෙන් christmas cards එවන කීප දෙනෙක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ම මම කළින් වැඩ කළ ඉස්කෝලවල යාළුවො. (මේක පුස්තකාලවල වැඩකරන අයගේ විශේෂත්වයක්ද මන්දා!) ඉතින් මේ සැරේ එයාලාට කඩෙන් ගත්ත cards යවනවා වෙනුවට දිය සායම් වලින් හැඩ වුණු සුබපැතුම් යවන්න මට හදිසියේ හිතුණා. මේ තමයි ඒවා. (මෙතැන කීපයක් අඩුයි, පින්තූරේ ගත්තාට පස්සෙත් තව කීපයක් ඇන්දා) දැනටමත් ඒවාට හොඳ ප්‍රතිචාර ලැබුණා. තමන් වෙනුවෙන් වැඩිපුර වෙලාවක් ගත කරලා චිත්‍රයක් ඇන්ද එකේ personal touch එක ගැන හැමෝටම සතුටුයි වගේ. ඒත් ඇත්තටම නම් ඒවා අඳිද්දී මට දැනුණු සතුට තමයි එතැන වටින්නෙම. the joy of little things!

මේ පින්තූරේ මම රැකියාව කරන ඉස්කෝලේ පුස්තකාලේ නත්තල් සැරසිලි. පොත් රාක්ක ටිකත් පසුබිමේ තියෙන නත්තල් සිරිය ගේන්නේ අමුතුම සතුටක්. 


දකුණු අර්ධ ගෝලයේ ඉන්න අපිට නම් හිම වැටෙන නත්තල් නැහැ. ඒ වෙනුවට මේ සැරේ තද රස්නයක් ලැබෙන්න නියමිතයි. ඒත් හිත ඇතුළේ ඉන්න පුංචි ළමයාට නත්තල් සමරන්න ඒවා බාධක නෙමෙයි!


December 21, 2022

මට ඔබේ මව මුනගැසුණු අයුරු



Translation of the poem 'How I Met Your Mother' by George Bilgere

සාදයකදී ඇය ව දැක
ඈ වෙත ගොස් මෙසේ ඇසුවෙමි
"කැමතිද මා හා විවාහ වෙන්න,
එක්ව නිවසක් මිළට ගන්න
වරක් දෙවරක්
දරු ප්‍රසූතියේ කටුක වේදනාව විඳින්න
එක්ව ඇතිතරම් නෙට්ෆ්ලික්ස් බලන්න
අවන්හල් වලින් කෑම කන්න
(විශේෂයෙන්ම රුගේරි අවන්හලේ කෑම)
සුරතල් බල්ලෙක් හදන්න
නිවාස ණය ගැන තර්ක කරන්න
අන්තිමේදී මගේ අවසාන දවස් වල
මගේ ළඟ සිටින්න
මගේ මළගම සුදානම් කරන්න
සියලු දේ පිළිවෙල කරන්න
ඉනික්බිති මා නොමැති
ඒ අමුතු අලුත් දිවිය
තනියම අරඹන්න
මේ ඉල්ලීම බරපතල වැඩිද?"

තම මොජිටෝ පානය තොල ගාමින් සිටි ඈ
මෙසේ කීවාය
"කැමතියි! අපි මොකටද තව බලාගෙන ඉන්නේ?"

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

දිනමිණ - වසත් සුළඟ 21.12.2022 


sketch- felt pens on paper

December 20, 2022

පුංචි කහ මල




පුංචි කහ මල* මම
දැන් ඇඬූ සේ දිස් වෙන
කැළඹුන මේඝ සහසක
නම් මතක් කර හිනැහෙන

*the meadow buttercup. has shiny, wet-looking petals. Toxic to both humans and animals.

හෙල්මලී ගුණතිලක
-2013-

ගිම්හාන නිවාඩුවේ විවේකයක් ලැබුණු වෙලාවේ අද අපි තුන්දෙනා කඳුකර පැත්තක ඇවිදින්න ගියා. පහුගිය ටිකේම වැස්ස නිසා ඒ පැතිවල හැමතැනම ඇහැ නිවන නිල්ලක් පැතිරිලා තිබුණා. මෙහෙම යද්දී මඟ දිගට පුංචි කහ පාට මලක් යායට පිපිලා තියෙනවා මම දැක්කා. ළඟට ගිහින් බලද්දී ඒ meadow buttercups කියන කැලෑ මල බව මම අඳුරා ගත්තා.

meadow buttercups මලේ විශේෂත්වය තමයි දුරට පේන්නේ ඒ මල පිණි වැටිලා තෙත් වෙලා දිලිසෙන විදිහට. ඒත් ඒ මලේ හැටි. ඒ දිලිසිල්ල මලට කෘමීන් ඇදගන්නයි. ඒ වගේම මේතරම් ලස්සන මේ මල සත්තුන්ටත් මිනිස්සුන්ටත් විෂ සහිතයි.

මීට අවුරුදු කීපෙකට කලින් මේ වගේම ගමනකදී මේ විදිහටම ඒ මල දැකලා, ඒ ගැන මේ විස්තර හොයලා කවියක් ලීව බව මගේ මතකයේ කොණක තිබුණා. ඉතින් මම අද ඒ මලේ පින්තූරයක් ගත්තේ ගෙදර ගිහින් ඒ කවිය හොයාගන්න අදහසින්. මේ තමයි ඒ කවිය. පරණ කවි ෆෝල්ඩර පීරලා යි හොයාගත්තේ. මේ පුංචි කවියට නිමිති වුණේ ඉහත කීව මල ගැන විශේෂ කරුණු දෙකයි. ඒ මම පේළියෙන් දෙකෙන් කවි ලීව කාලේ- දැන් අවුරුදු දහයකටත් කිට්ටුයි!

photo- Rainforest Gallery, Warburton, Dec 2022


December 16, 2022

Our Missing Hearts - Celeste Ng

Our Missing Hearts - Celeste Ng
Penguin Press 2022

I first read a book by Celeste Ng a few years ago- 'Little Fires Everywhere'- when it was shortlisted for the Goodreads Fiction awards. I was quite impressed by Celeste's writing- mainly because the story captured me completely and I finished the book in record time.

Therefore, when I saw Celeste Ng's new book 'Our Missing Hearts' at the staff book club collection just before the start of the summer school holidays, I grabbed it even without reading the blurb. I was not to be disappointed -as again, I finished this book too, in record time.

Celeste Ng uses rich language in her writing. She sweeps up the reader in the stories instantly and holds them captive till the end. The intricate descriptions and recounts in her books provide the reader with vivid images of the storyline.

"As he looks around, memories hover close before alighting on his shoulders like dragonflies. They'd had flowers here before: lavender, and honeysuckle, and huge purple puffballs, his father's favorites. White roses the size of his fists that fat golden bees wriggled into. Vines with purple star shaped blooms. Here and there had been vegetables, curling squash with hairy leaves and sprawling tomatoes."
page 100

'Our Missing Hearts' is a story based on a fictional situation where a country takes drastic measures to promote patriotism and stop foreign influences. The situation that Ng conjures up is so vivid that the reader feels some kind of deja-vu, some familiarity with the described fictional policies that are set in place. As we all have seen and experienced situations of extreme religious and racial patriotism and discriminations in different contexts within our lives, those in the book seem to be just a step beyond all that.

The story revolves around a boy, Noah or 'Bird' which is his preferred name. He is caught up in the aftermath of the 'Crisis' that swept the country and caused disruption that tore his family and many other families apart. This is a story of children snatched from families and of the heartbreak of losing loved ones. This is a story of resilience in the face of adversity and the power of small acts that amount to a massive force in the end.

Being a librarian myself, I can't help loving the role that libraries and librarians play in the story. The fact that 'Our Missing Hearts' recognises the role of libraries as places where the value of information is utmost, resonates with me personally.

"All over the country, a scattered network of librarians would note this information, collating it with the Rolodex of their minds, cross referencing it with the re-placed children they have known about. Some kept a running list, but most, wary, simply trusted it to memory. An imperfect system, but the brain of a librarian was a capacious place."
page 236

The same sense of foreboding that Margaret Atwood's 'The Handmaid's Tale' evokes can be felt when reading 'Our Missing Hearts'. The sense that what is described in the book is not entirely fiction, that it has happened/ is happening/ will soon happen somewhere is quite unsettling. Kudos to Celeste Ng for her bravery in selecting such a controversial topic to base a novel and presenting the story to us in such a way that takes our breath away.

'Our Missing Hearts' by Celeste Ng, a worthy read indeed.

-Helmalie Gunathilaka-




December 13, 2022

'පින්තූරයක් නැත'- කවි 10ට ගී 10ක් වෙතින්

'පින්තූරයක් නැත' කවිය මම ලියන්නට යෙදුණේ 2015 අවුරුද්දේදී. එදා ඉඳන් මේ පහුගිය අවුරුදු ගාණට මම හීනෙන්වත් නොහිතුව විදිහට ඒ කවිය දස දහස් වාරයක් share වෙමින් කවියට ලැදි හිත් අතරේ පැතිරිලා ගියා. අදටත් ඒක මගෙන් වෙන් වූ පැවැත්මක් තියෙන තරමට ජීවමාන බවට මට නිතිපතා සිහි කැඳවීම් ලැබෙනවා.
 
චරණ රූපවාහිනී නාලිකාවේ 'කවි දහයට ගී දහයක්' වැඩසටහන වෙනුවෙන් කවි දහයෙන් එක් කවියක් හැටියට 'පින්තූරයක් නැත' කවිය එකතු කරගන්න මිගාර බමුණුසිංහ සොයුරා අහද්දී මට මේ බව තවත් තහවුරු වුණා. ඉතින් සයිබර් අවකාශයේ සැරිසරමින් තිබුණු මගේ කවිය, ඉන් ඔබ්බට- රූපවාහිනී මාධ්‍යයටත් අරන් ගිහින් තවත් රසිකයන් සමූහයක් එක්ක බෙදා ගත්තාට ඔහුට මගේ ස්තූතිය. වැඩසටහන මෙහෙයවූ වජිර ජයවර්ධන සහෘදයා ඇතුළු වැඩසටහන් නිෂ්පාදන කණ්ඩායමටත් මගේ ප්‍රණාමය.



December 07, 2022

කරුණාබරිත ගස

නිතර පසු කර යමි
කරුණාබරිත ගසක්
එහෙත් නොදනිමි එහි නම නම්
 
හිස නමා ආචාර කළ විට මා
පිළිතුරු ලෙස, කාරුණිකව
අතු රිකිල්ලක් වනයි, එය
 
වෘක්ෂය, මම ඔබේ නම නොදනිමි
(ඔබ හෙම්ලොක් ගසක් ද දේවදාර ගසක්ද?)
එහෙත් ඇයි මා මේ ඒ ගැන ලැජ්ජාවෙන්?
නොදන්නවා ඇත බොහෝවිට
ඔබ, මගේ නමත්
 
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
 
Translation of the poem 'Tit for Tat' by Christopher Morley

දිනමිණ වසත් සුළඟ 07.12.2022
https://epaper.dinamina.lk/Home/ShareImage?Pictureid=ddb73efe

painting- watercolour on paper





December 05, 2022

'නිරෝධායන චාරිකාව'- කපිල කුමාර කාලිංග

නිරෝධායන චාරිකාව- කපිල කුමාර කාලිංග
ප්‍රකාශනය-ෆාස්ට් පබ්ලිෂින් (2020)

කෙටි කතා පොත් කියවීමට මා වැඩි මනාපයක් දක්වන්නේ මා ද කෙටිකතා නිර්මාණයෙහි යෙදෙන නිසා විය හැක. එහෙත් අවස්ථා කීපයක් හැරුණු විට මෑත කාලයේ බිහිවුණු ලාංකීය කෙටිකතා බොහෝ විට එකම ප්‍රස්තුත ඔස්සේ දිවෙන ඒවා බව මගේ අත්දැකීමයි. මේ නිසා නැවුම් කතා වස්තු සහිත 'නිරෝධායන චාරිකාව' කෙටිකතා පොත කියවීම ප්‍රියජනක විය.

කපිල කුමාර කාලිංග ලේඛකයා නවකතාවට මෙන්ම කෙටිකතාවටත් සමාන දස්කමක් දක්වන බව මේ පොතෙන් පැහැදිලි වේ. මේ කෙටිකතා පොත එකිනෙකට හාත්පසින් වෙනස් තේමාවන් ගෙන් යුතු වූ කෙටිකතා දහයකින් සමන්විතය. ලිවීමේදී කතුවරයා යොදාගන්නා සියුම් භාෂා විලාසය කියවන්නා කතා වෙත බැඳ තබා, චිත්ත රූප මවාලයි.

"මීදුම බාගෙට මිදුණු ජෙලියක් මෙන් ඇඟෙහි ඇලෙන සුළු බවක් නීල් ට දැනෙන්නට විය. ඔහු පාද එසවූයේ වතුරේ ගමන් කරන්නෙකු මෙන් ආයාසයෙනි. පරිසරය පුරා පැතිරුණු කිසියම් පිලී ගඳක් නීල් ගේ නාස් පුඩුවල දවටුණි. ඔහු වරින් වර ලේන්සුවෙන් දෑසත්, නාසයත් පිස ගත්තේය."

-ඝන මීදුම | 26 පිටුව

"කවුළුව තුළින් බාහිර ලෝකයේ නියැදියක් දිස් වෙයි. මුහුදත්, අහසත් හැරුණු විට කවුළුවට තරමක් පහළින්, ඉදිරියට නෙරා ආ උළු වහලයක කොටසකි. ඊට ඔබ්බෙන් පිටුපස මිදුලෙහි කොට්ටම්බා ගස් දෙකක් හා තැඹිලි ගසකි. රේල් පාර නොදිස් වෙතත්, දුම්රියේ හඬ ඇසෙයි. දෙපස, ඈතින් පැරණි හා අලුත් ගොඩනැගිලිය. ඒවායේ ද පියැසි, තාප්ප, සඳළුතල හා ගෙමිදුල් මිස වෙනත් විස්තරයක් හොඳින් නොපෙනේ."

-කවුළුවෙන් එහා| 224 පිටුව

'නිරෝධායන චාරිකාව' කපිල කුමාර කාලිංග ගේ පස්වන කෙටිකතා එකතුවයි.




December 04, 2022

නත්තලට පෙර දා

Translation of the short story 'One Christmas Eve' by Langston Hughes (1902-1967)



උණුසුම් උදුන අසල රාත්‍රී ආහාරය සකසමින් සිටි 'කාල වර්ණ' සේවිකාව වන ආසීට දැනුණේ මහත් වෙහෙසකි. එදා දවසේ කෑම වේල් සඳහා කෑම පිසින අතරතුරේදීම ඈ තමන් සේවය කළ සුදු ජාතිකයන්ගේ නිවස හෙට එළඹෙන නත්තල වෙනුවෙන් සම්පූර්ණයෙන්ම පිරිසිදු කර තිබිණි.ඒ වෙද්දී ඇයට දරුණු කොන්දේ වේදනාවක් දැනුණු අතර අධික තෙහෙට්ටුව නිසාම ක්ලාන්ත ගතියක්ද දැනුණි. ඉක්මණින්ම ගෙහිමි කාන්තාවත් ඇගේ දරු දෙදෙනාත් රාත්‍රී ආහාරය ගැනීමට නිවසට පැමිණෙන්නේ නම් ඇයට තම වැඩ මුරය අවසන් කරන්නට හැකි වනු ඇත. දැනටමත් දිලිසෙන සැරසුමින් පිරී ඉටිපන්දම් දැල්වීමට සූදානම් කර තිබුණු නත්තල් ගසේ එල්ලීමට තවත් විසිතුරු අරුමෝසම් දේ මිලදී ගැනීමට ඔවුන් ගොස් තිබිණි.

ජෝ වෙනුවෙන් තමන්ටද නත්තල් ගසක් මිළදී ගන්නට ඇත්නම් කියා ආසීට සිතුණි. ළමා කාලයේදී එවැනි දේ ලැබීම සුන්දර අත්දැකීමක් වූවත් ඔහුට කිසිදිනක එවැන්නක් ලැබී තිබුණේ නැත. පස් හැවිරිදි ජෝගේ හයවෙනි උපන්දිනයට තිබුණේ මාස කිහිපයකි. සුදු ගෙහිමියන්ගේ උදුනේ රෝස්ට් වෙමින් තිබුණු මස් වෙත දෑස යොමු කරගෙනම ආසී කල්පනා කළේ සෙල්ලම් බඩු වෙනුවෙන් ඇයට එදින කෙතරම් මුදලක් වෙන්කළ හැකිද යන්නයි. ඇයට සතියකට ලැබුනේ ඩොලර් හතක පඩියක් වූ අතර ඉන් හතරක්ම වැය වූයේ ඇගේ නවාතැනටත්, ආසී වැඩට ආ විට ජෝ ව බලාගත් ඒ නිවස හිමි කාන්තාවට ගෙවීමටත් ය.

"දෙවියනේ, දරුවෙක් උස් මහත් කරන එක හිතන තරම් ලේසි නැහැ," ඈ කල්පනා කළා ය.

මුළුතැන්ගෙහි මේසය මත වූ ඔරලෝසුව වෙත ඈ දෑස් යොමු කරද්දී හත පසුවී තිබිණි. සුදු මිනිසුන් මෙතරම් අනුන් කෙරෙහි නොසැලකිලිමත් වූවේ කෙලෙසද? ඔවුන් රාත්‍රී අහාරයට ගෙදර නොඑන්නේ ඇයි? කඩ පෙළ වසා දමන්නට පෙර ඇය බඩු මිළදීගත යුතු බව ඔවුහු දැන සිටියහ. ඔවුන් ඉක්මණින්ම නොපැමිණියහොත් ඇයට ජෝ වෙනුවෙන් කිසිවක් මිළදී ගන්නට නොහැකි වනු ඇත. ජෝ බලාගත් කාන්තාවත්, ඉක්මණින් ඔහුගෙන් මිදී කඩ පොළ වෙත යාමට මඟ බලා සිටිනවා ඇත.

"මොන කරුමයක්ද!" ආසී තමාටම කියාගත්තාය. "මට සල්ලි තිබුණා නම් මම මෙයාලගේ කෑම උදුනේම තියලා යනවා. කඩ ටික වහන්න කලින් යන්නයි මට වුවමනා." ඒත් ඇයට ඒ වෙද්දීත් ඒ සතියේ පඩිය ලැබී තිබුණේ නැත. පඩි ලැබීමට නියමිත දවසට දිනකට පමණ පෙර වැටුණ ඒ දිනයේදී ඇයට පඩි ගෙවීමට ගෙහිමි කාන්තාව පොරොන්දු වී තිබුණි.

නිවසේ ඉදිරිපස දෙසින් දොරක් වැහෙන හඬත්, සිනා සහ කතාබහ හඬත් ඇසෙන්නට විය. ඒ වෙත ගිය ආසී දුටුවේ ගෙහිමි කාන්තාවත් ඇගේ දරුවනුත් ඔවුන්ගේ හිම කබා ගලවන අයුරුයි.

"ම්ම්ම් අද නම් නියම ක්‍රිස්මස් ඊව් එකක්," එක දරුවෙක් ආසී ට කීවේය. "එළියේ හොඳටම හිම වැටෙනවා, අම්මා තව පොඩ්ඩෙන් රතු ලයිට් එකකට කාර් එක නවත්තන්නේ නැතිව එලවාගෙන යනවා. හිම හින්දා එළියේ කිසි දෙයක් පේන්නේ නැහැ, මරු!"

"කෑම ලෑස්තියි," ආසී කීවාය. තම පාවහන් හිමේ ඇවිදීමට නුසුදුසු බව ඇයට කල්පනා වෙමින් තිබිණි.
එදින සුදු ගෙවැසියන් කෑමට හැකි තරම් වෙලාව ගත් බවක් ආසී ට හැඟිනි. ඈ පිඟන් සෝදන අතරේදී ගෙහිමි කත ඇගේ මුදල් රැගෙන පැමිණියාය.

"ආසී," ඈ කීවාය, "සමාවෙන්න, මම ඔයාට අද ඩොලර් පහක් විතරක් දුන්නොත් ප්‍රශ්නයක්ද? මේ ළමයි එක්ක තෑගි ගන්න ගිහින් මගේ මාරු සල්ලි ඉවර වුනා."

"මට ඩොලර් හතක් ලැබෙනවා නම් තමයි කැමති," ආසී කීවාය. "මට ඒ මුදල ඕන."

"කරන්න දෙයක් නැහැ මගේ ළඟ හතක් නැහැ ඔයාට දෙන්න," ගෙහිමි කත කීවාය. "සතියම ගෙවෙන්න කලින් ඔයාට සම්පූර්ණ මුදලම වුවමනා බව මම දැනගෙන හිටියේ නැහැ. මගේ ළඟ මාරු සල්ලි නැහැ."

ආසී ඩොලර් පහ ගත්තාය. හැකිතරම් උණුසුම් ලෙස සැරසුණු ඈ පා ඉක්මන් කර ගියේ කුඩා ජෝ සිටි තම නිවස වෙතටයි. ඔහුට අඩුම තරමේ නගරයේ කඩ සාප්පු වල ඇති නත්තල් ගස් බලන්නට ඉඩ ලැබෙනු ඇත.

කහ පැහැති සමකින් යුතු, තරබාරු, ඇගේ නිවස හිමි කාන්තාව පසුවූයේ කේන්තියෙනි. "ඔයා මේ දරුවා ගන්න අද ඉක්මණින් ඒවි කියලා මම හිතුවා. මාත් කැමතියි ඉඳහිට එළියට යන්න, හරිද?" ඈ ආසී ට දොස් පැවරුවාය.
ආසී ඊට පිළිතුරු නොදුන්නේ දරුවාව දිවා රෑ දෙකෙහිම බලාගැනීම තමන්ගේ රාජකාරිය නොවන බව ඈ කීමට ඉඩ ඇති නිසායි.

"එන්න ජෝ," ආසී තම පුතුට කීවාය, "අපි පාර දිගේ යමු."

"මට ආරංචියි නගරයේ නත්තල් සීයෙක් ඉන්නවා කියලා," ජෝ තම තුනී වූ කුඩා කබාය ඇඟලා ගනිමින් කීවේය. "මට එයාව බලන්න ඕන."

"ඒක නම් මම දන්නේ නැහැ," ඔහුගේ මව කීවාය. "ඉක්මන් කරලා ඔය බූට්ස් දෙක දාගන්න. වැඩි වෙලාවක් යන්න කලින් කඩ ටික වහයි."

නගරය වෙත යාමට සෑහෙන දුරක් යා යුතු විය. හිම වැටෙද්දීම ඒ මැදින් දෙදෙනා ඇවිද ගියේ තරමක අපහසුවෙන් වූවත් හිම නිසා දසත අලංකාර දසුනක් මැවුනි.

නගරයේ ප්‍රධාන වීදියේ නිල් සහ රතු විදුලි බුබුළු එල්ලා තිබුණි. නගර ශාලාව ඉදිරිපස නත්තල් ගසක් තිබුණත් එහි තිබුණේ විදුලි බුබුළු පමණක් වූ අතර එය පාමුල තෑගි තිබුණේ නැත. වෙළඳසැල් කවුළුවල සෙල්ලම් බඩු රැසක් තිබුණත් ඒවා තිබුණේ විකිණීම පිණිසයි.

"අම්මා, මට අරවා ඕන-" ජෝ නිරතුරුවම එසේ කීවත් ඔහුගේ මව නෑසුණු සේ ඉදිරියටම ඇවිද ගියාය. ඒ වෙද්දී රාත්‍රී දහයට ආසන්නව තිබුණු අතර වෙළඳසැල් වසා දමන්නට ආසන්න විය. ආසී ට ජෝ වෙනුවෙන් බාල අත්වැසුම් ජෝඩුවක්, ඔහුව උණුසුම් ව තබන්නට ආයිත්තමක් සහ සෙල්ලම් බඩුවක් දෙකක් ගන්නට වුවමනාව තිබිණි. පාවිච්චි කරන ලද ඇඳුම් විකුණන තැනකින් කුඩා දරුවන්ගේ ඇඳුම් කිහිපයක් ලබාගනු හැකිවෙනු ඇතැයි ඈ සිතුවාය. ශත දහයට බඩු විකුණන වෙළඳ සැලින් සෙල්ලම් බඩු කිහිපයක් ද ගනු හැකි වනු ඇත.

"ඕ අර බලන්න!" කුඩා ජෝ වෙළඳ සැල්වල කවුළු වෙත අත දිගු කරමින් මතුරමින් සිටියේය. සැරසිලි සඳහා යොදාගෙන තිබුණු විදුලි බුබුළු වැල් මෙන්ම වෙළඳ සැල් පෙළත් ඒවායේ දිදුලන නාම පුවරුත් උණුසුම් ව අලංකාරව දිස් විය.

ජෝ සඳහා අත්වැසුම් සහ වෙනත් දේ මිලදී ගැනීමට ආසී ට ඩොලරයකට වඩා වැය විය. තවත් වෙළඳ සැලකින් ඈ ශත හතලිස් නමයකට ඔහුට විශාල රස කැවිලි මල්ලක් ගත්තාය. ඉනික්බිති ඈ සෙනඟ අතරින් ඔහුව මිළ අඩුවට භාණ්ඩ විකුණනු ලබන තැනකට කැඳවාගෙන ගියාය. ඒ අතරමගදී ඔවුහු චිත්‍රපටි ශාලාවක් පසු කළහ. එහි ගොස් චිත්‍රපටි නැරඹීමට තමන්ට වුවමනා බව ජෝ කීවේය.
"බැහැ දරුවෝ! බැල්ටිමෝර් වල වගේ මෙහෙ කළු ජාතිකයින්ට චිත්‍රපටි බලන්න බැහැ. මේ වගේ පොඩි නගරවල ඊට ඉඩක් නැහැ. අපිට ඇතුළට යන්න බැහැ." ආසී කීවාය.
"ආහ්!" එය අසා කුඩා ජෝ කීවේය.
ශත දහයට බඩු විකුණන වෙළඳ සැලේ මහත් සෙනඟක් රැස් කමින් සිටියහ.ඉන් පිටත නැවතී තමන් එනතුරු සිටින ලෙස ආසී ජෝ ට කීවේ සෙනග අතරේ ඔහුව කැටුව යාම දුෂ්කර ක්‍රියාවක් බැවිනි. එමෙන්ම ඇය මිළට ගැනීමට බලාපොරොත්තු වූ සෙල්ලම් බඩු ඔහු දකිනවාට ඇය මනාප වූයේ නැත. ඒවා හෙට දින උදෑසන නත්තල් සීයාගෙන් ලැබෙන්නට නියමිත විය.

කුඩා ජෝ වෙළඳ සැල ඉදිරිපස ආලෝකය වැටෙන පෙදෙසේ හිම මත බලා සිටියේය. ඔහු පසුකර සෙනඟ යමින් එමින් තිබිණි. දිලිසෙන සැරසිලි සහිත නත්තල කෙතරම් සුන්දරද! නත්තල් සීයා කොහේ හෝ සිට පැමිණ එල්ලා තබන ලද මේස් තුළට තෑගි දමනවා ඇත. මඟ යනෙන හැම කෙනෙකුම පාර්සල් ඔසවාගෙන යමින් සිටි අතර කුඩා දරුවන් වෙතින් දිස් වූයේ මහත් ප්‍රීතියකි.

ටික වෙලාවකින් වෙළඳ සල ඉදිරිපස කල්පනා කරමින් බලා සිටීම ජෝට තිත්ත විය. හාත්පස වෙළඳසැල්වල කවුළුවල බැලීමට දේවල් රැසක් තිබිණි. ඔහු වටපිට බලමින් ටිකෙන් ටික ඉදිරියට යන්නට ගත්තේය . මෙසේ ඇවිදිමින් සිටි ඔහු සුදු ජාතිකයන්ගේ චිත්‍රපට ශාලාව දක්වා ම පැමිණ තිබිණි.

චිත්‍රපටි ශාලාවේ පිවිසුම් හලත්, එහි වීදුරු දොරවල් වලින් ඔබ්බෙන් ඇති පෙදෙසත් උණුසුම් ව, දිලිසෙමින් ඉතා අලංකාර ව දිස් විය. එතුළට එබී බැලූ ජෝ, එහි තිබුණු හොලී අතු, පාට පීත්ත පටි සහ විදුලි තරු සැරසිලි යට මනස්කාන්ත නත්තල් ගසක් දුටුවේය. සුදු ජාතික දරුවන් පිරිසක් සහ වැඩිහිටියන් කිහිප දෙනෙක් නත්තල් ගස අසල සිටි රතු ඇඳුමින් සැරසුණු තරබාරු විනෝදකාමී මිනිසෙක් වටා රැස්වී සිටිනු පෙනුණි. ඇත්තටම ඒ කවුද? කුඩා ජෝ ගේ දෑස විශ්මයෙන් මහත් විය. ඒ සිටියේ සාමාන්‍ය මිනිසෙක් නොව නත්තල් සීයා යි!

කුඩා ජෝ වීදුරු දොර තල්ලු කරගෙන චිත්‍රපටි ශාලාවේ පිවිසුම් කොටස වෙත දිව ගියේය. රැස්ව සිටි පිරිස අතරින් ඔහු රිංගා ගියේ නත්තල් සීයා හොඳින් දැකගැනීමටයි. නත්තල් සීයා කුඩා දරුවන්ට සතුන්ගේ හැඩයෙන් යුතු විස්කෝතු සහිත පෙට්ටි සහ රසකැවිලි වර්ග තෑගි දෙමින් සිටියේය. ඔහුට පසුපසින් වූ නත්තල් ගසේ විශාල දැන්වීම් පුවරුවක් විය. (ජෝට මෙය තවම කියවා ගැනීමට හැකියාව තිබුණේ නැත) 'අපගේ කුඩාම ගනුදෙනුකරුවන්ට නත්තල් සීයාගෙන් සුබ නත්තලක්!" එහි එලෙස සඳහන් විය.
පිවිසුම් ශාලාව වටා තැන තැන තවත් දැන්වීම් පුවරු කිහිපයක් විය.
"චිත්‍රපටි දර්ශනයෙන් පසු ඔබේ දරුවන් සමඟ නත්තල් සීයා බලන්න යන්න."
'ජේම් චිත්‍රපටි ශාලාව තම ගනුදෙනුකරුවන් සතුටින් තැබීමට ප්‍රිය කරයි- අපගේ නත්තල් සීයා හමුවෙන්න එන්න"

රතු ඇඳුමකින් සැරසී සිටි නත්තල් සීයාගේ සුදු රැවුල පුරා දිලිසෙන හිම කුඩු විසිරී තිබිණි. ඔහුගේ දෙපා අසල කුඩා බෙර, ටක වැනි ශබ්ද උපදවන සෙල්ලම් බඩු සහ සෙල්ලම් අශ්වයන් තිබුණත් ඉන් කිසිවක් ඔහු තෑගි ලෙස බෙදා දුන්නේ නැත. ඒ අසල තිබුණු දැන්වීමේ සඳහන් වූයේ (ජෝ ට කියවීමට හැකියාවක් තිබුණා නම්) නත්තල් දවසේ කරනු ලබන දිනුම් ඇදීමකදී ඒවා වේදිකාවේදී ජයග්‍රහකයින්ට බෙදා දෙන බවයි. එදින නත්තල් සීයා කුඩා දරුවන්ට බෙදමින් සිටියේ විස්කෝතු සහ රසකැවිලි පමණකි.

රසකැවිල්ලක් ලබාගැනීමට මහත් ආශාවක් ජෝ තුළ වැඩුණි. ඔහු ටිකෙන් ටික නත්තල් සීයා වෙත ලං වූ අතර අන්තිමේදී ඔහු සිටියේ රැස්ව සිටි සෙනඟට ඉදිරියෙනි. නත්තල් සීයා ජෝ ව දුටුවේ එවිටයි.

නීග්‍රෝ දරුවෙකු දුටු විට මිනිසුන් උපහාසයෙන් හිනැහෙන්නේ ඇයි? නත්තල් සීයාත් අවට රැස්ව සිටි පිරිසත් සුදු ජාතික චිත්‍රපටි ශාලාවක සිටීමට කිසිම අයිතියක් නොතිබුණු ජෝ දෙස බලා එලෙස උපහාසයෙන් හිනැහුණහ. ඉනික්බිති නත්තල් සීයා කපටි ලෙස ඉදිරියට නැමී ඔහුගේ දෙපා අසල තිබුණු යකඩ ටකයක් අතට ගෙන එය මහා හඬින් ජෝ ඉදිරියේ නාද කළේය. මෙය හාස්‍යජනක බැවින් දරුවන් ඇතුළු සියලුම සුදු ජාතිකයෝ මහා හඬින්

සිනාසුනහ. නමුත් ජෝ සිනාසුණේ නැත. ඒ හඬට මහත් සේ බියගැන්වී සිටි ඔහු ආපසු හැරී චිත්‍රපටි ශාලාවේ උණුසුම් පිවිසුම් හලෙන් පිටත හිම සහ මිනිසුන් පිරුණු මහා මාර්ගයට දිව ගියේය. ඒ සිනා හඬින් බිය වී හඬන්නට පටන් ගත් ඔහු තම මව සොයමින් ඇවිදින්නට විය. නත්තල් සීයා එලෙස ළමයින්ව බිය කර සිනාසෙන කෙනෙක් බව ඔහුට කිසිදිනක සිතී තිබුණේ නැත.

මාර්ගයේ සිටි ජනකාය යමින් සිටියේ වැරදි අතට බවක් ඔහුට දැනුණි. ඔහුට ඔහුගේ මව වත් ඇය සිටි වෙළඳසැල වත් සොයාගැනීමට නොහැකි විය. වුවමනාවටත් වඩා මිනිසුන්-සුදු මිනිසුන්- දසත පිරී සිටියේ හිම මත වැටුණු සුදු සෙවනැලි ලෙසින් මුළු ලෝකයම සුදු මිනිසුන්ගෙන් පිරී ඇති බවක් දක්වමිනි.
කලබලයත් සිත කරදරයට පත් වීමත් නිසා වත අඳුරු වූ ආසී පාර හරහා දිව විත් ජෝව අල්ලා ගත්තේ ඒ මොහොතේදී ය. ආ පැමිණෙන තෙක් මහා දිගු කාලයක් ගත වූ බවක් ඔහුට දැනුණි. ඇගේ දෑතේ පාර්සල් පිරී තිබුණත් එක් අතක් නිදහස් කරගත් ඈ, ඔහුව වැරෙන් සෙලවූයේ ඔහුදේ දත් දෙපෙලත් දෙදරා යන පරිදි ය.
"මම ඉන්න කීව තැන නොහිටියේ ඇයි?" ආසී මහා හඬින් ප්‍රශ්න කළාය. "මම හොඳටම තෙහෙට්ටු වෙලා ඉන්නේ, මට බැහැ ඔයාව හොය හොයා පාරවල් පුරා ඇවිදින්න. මට හිතයි හොඳ ගුටියක් දෙන්න."
ටික වෙලාවකින්, තම හති ඇරීම අඩු වූ පසු චිත්‍රපටි ශාලාවට ගිය ගමන ගැන ජෝ තම මවට කීවේය.
"ඒත් නත්තල් සීයා මට කිසි දෙයක් දුන්නේ නැහැ," ජෝ හැඬුම්බරව කීවේය. "එයා මහා ඝෝෂාවක් කළා, මම එලියට දුවලා ආවා."

"හොඳ වැඩේ," අපහසුවෙන් හිම මතින් ගමන් කරමින් සිටි ආසී කීවාය. "ඔයාට ඒක ඇතුළට යන්න කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. මම කිව්වා මම තියලා ගිය තැන ඉන්න කියලා."

"ඉතින් මම නත්තල් සීයාව දැක්ක නිසානේ ඇතුලට ගියේ." කුඩා ජෝ කීවේය.

"හහ්! ඒ නත්තල් සීයා නෙමෙයි," ආසී පැහැදිලි කළාය. "ඒ නත්තල් සීයා වුණා නම් ඔයාට එහෙම සලකන්නේ නැහැ. මම එක සැරයක් කිව්වා වගේ ඕක සුදු මිනිස්සුන්ගේ චිත්‍රපටි ශාලාවක් විතරයි. ඒ හිටියේ නිකම්ම නිකම් වයසක සුදු මිනිහෙක් විතරයි."

"ආහ්..," ජෝ කීවේය.

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක


painting-watercolour on paper

සිසිල මාසික ඊ සඟරාව - දෙසැම්බර් 2022 කලාපය
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

December 01, 2022

උපදෙස්

අත්හරිනු මැන
ලෝකය ද, තමන්ව ද
අවසන දෙවියන් ද

සොයාගනු මැන දෙවියන්
මල් පඳුරු, ගල් කුළු අතර
පූස් සුරතලුන්, පදිකයන් අතර

සරල වීමට, නිරවුල් වීමට
කප්පාදු කරනු මැන
විශ්වාසයන් සහ තර ඇදහීම්
රැගෙන යනු තහනම් ය
අමතර ගමන් මලු

පිරික්සා බලනු මැන
ඔබ සතු සියලු දෙය
මෘදු ලෙසත්, තියුණු ලෙසත්
අත්හරිනු හැකි වේවි එවිට
නුවුමණා තවත් බොහෝ දේ
නැවත නැවතත්

එහෙත් තබා ගනු මැන ඔබ වෙත
ඔබ හද ගැස්ම වැඩි කරන දේ
සිත තුළ බරැති ව දැනෙන දේ

අවසන ඔබ සතුව තිබෙනු ඇත්තේ
අල්පයක් දේ පමණි
ඊට නම් ඔබේ සාක්කුවේ
බොහෝ ඉඩකඩ ඇතිවනු ඇත

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘Instructions’ by Sheri Hostetler

Sheri Hostetler උපත ලැබුවේ ඇමෙරිකාවේ Ohio ප්‍රාන්තයේ ය. ඇය දශක දෙකක් තිස්සේ පූජකවරියක් ලෙස කටයුතු කරන අතර ඉඳහිට කාව්‍යකරණයේ ද යෙදෙන්නීය.

ලන්ඩන් කවි දෙසැම්බර් 2022 කලාපය
https://londonkavi.com/#10608

sketch- watercolour and ink on paper