Showing posts with label විද්‍යා ප්‍රබන්ධ. Show all posts
Showing posts with label විද්‍යා ප්‍රබන්ධ. Show all posts

March 10, 2024

Dreams Marketing Pvt. Ltd (විද්‍යා ප්‍රබන්ධ)




රැස්වීම් ශාලාවේ තම සහෝදර සේවකයින්ගෙන් පිරී තිබෙනු දැක ජෙරමිගේ සිත සතුටින් පිරුණ ද ඒ සමගම තම හදවත වේදනාවෙන් බර වෙන බව ඔහුට දැනුණි. විසිතුන් වසරක් නම් බොහෝ දිගු කාලයකි. ඔහු මන්ට්‍රා අලෙවි ප්‍රවර්ධන ආයතනයට බැඳුණේ අලුතින් උපාධිය ලත් නවකයෙකු ලෙසයි. දැන් ඔහු ඉන් ඉවත්වන්නේ එහි නිර්මාණ අධ්‍යක්ෂක ලෙසයි. ආපසු හැරී බලද්දී ඒ විසිතුන් වසර අතිශයින් කාර්යබහුල වූවත් තෘප්තිකර බවින් ද ඉහළ මට්ටමක පැවතුණු බව ජෙරමි ට හැඟුණි.

“ජෙරමි, ජෙරමි, ජෙරමි… මේ මනුස්සයා නැතිව මන්ට්‍රා දුවන්නේ කොහොමද කියලා මම මේ තාම කල්පනා කරන්නේ!” ප්‍රධාන විධායක නිලධාරි ශ්‍රෝඩර් වේදිකාවට පැමිණියේ එසේ කියමින් සභාවම සිනා ගස්වමිනි. ඔහු කී දේ සත්‍ය බව මන්ට්‍රා හි කාර්ය මණ්ඩලය ඉඳුරාම දැන සිටියහ. එබැවින් සභාවේ පැතිරුණු සිනා රැල්ලේ සන්තාපය ද තැවරී තිබිණි

ජෙරමි ඩුවැක් ඉතා කෙටි කලක් තුළදී ආයතනයේ ඉහළට ගියේ ඔහු සතු අසමාන නිර්මාණශීලී හැකියාව නිසා පමණක් නොවේ. ඕනෑම නන්නාඳුන කෙනෙකුගේ මිතුරෙක් වී තදින් සිත් ඇද බැඳ ගැනීමට ඔහුට ගතවූයේ මොහොතකි. ආයතනයට ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමටත් දිගුකාලීනව රඳවා ගැනීමටත් ඔහුගේ මේ ගුණය මහත් සේ වාසිදායක විය. එමෙන්ම ජෙරමි සහෝදර සේවකයන් සමඟද බෙහෙවින් සුහදශීලී කෙනෙකු විය. තවමත් විශ්‍රාම වයසට එළඹී නැති ජෙරමි හදිසියේම මෙසේ තම අති සාර්ථක රැකියාවෙන් ඉවත් වන්නේ ඇයිද යන සැකය මේ ආරංචිය ලැබුණු විගස ආයතනය පුරා කසු කුසුවක් වී තිබිණි.

කන් බිහිරිවන තරමේ අත් පොලසන් හඬක් මැද ජෙරමි ඩුවැක් මයික්‍රෆෝනය වෙත පිවිසුණේ ය.

“මගේ මන්ට්‍රා සහෝදර සහෝදරයිනි, බොහොම ස්තුතියි මට සමුදෙන්න අද මෙතනට රැස්ව සිටීම ගැන.” ජෙරමි තම සුපුරුදු සිනා මුසු මුහුණින් කතාව ඇරඹුවේය. “මේ අස්වීමේ තීරණය බොහොම දුෂ්කර තීරණයක් බව මුලින්ම කිව යුතුයි- මේක මගේ ජීවිතේ මම ගත්ත අමාරුම තීරණය කියන්න පුළුවන්.. මීට හේතුව දන්නේ ශ්‍රෝඩර් මහත්මයා ඇතුළු ආයතනයේ කීප දෙනෙක් පමණයි.”

ඔහු මෙසේ කියද්දී වේදිකාවේ ඔහුට පසුපසින් අසුන්ගෙන සිටි ශ්‍රෝඩර් බැරෑරුම් මුහුණින් හිස සලනු පෙනුණි.

“ඒ ගැන විවිධ කසු කුසු නම් නොසෑහෙන්න පැතිරුණු බව මම දන්නවා- නෑ මිත්‍රවරුනි මම වෙන රටකට යන්නේ නැහැ, මට මානසික රෝගයකුත් නැහැ..” ජෙරමි තම ඇඟිලි නවමින් ගණන් කරන අයුරු පෙන්වා කීවේ සභාව සිනා ගස්වමිනි. “ඇත්ත කතාව ඉතාම සරලයි. පහුගිය අප්‍රේල් මාසයේ මම සති දෙක තුනක් නිවාඩු ගත්තා ඔයාලාට මතක ඇති. මම කවදාවත් නිවාඩු නොගන්න නිසා ඔයාලා පුදුම වුණු බවත් මම දන්නවා. ඇත්තටම නම් මට නිවාඩු ගන්න කියලා මගේ වෛද්‍යවරු බල කළා. මිතුරු මිතුරියනි…” ජෙරමි ගැඹුරු හුස්මක් ගෙන සභාව සිසාරා නෙත් යැවුවේ ය. “මට හයිපොග්ලයිසීමියා කියන රෝගය තියෙන බව වෛද්‍යවරු හොයාගත්තා. සරලව කියනවානම් ඒ කියන්නේ රුධිරයේ සීනි මට්ටම අඩු වීම.”

සභාවෙන් නිකුත් වුයේ පුදුමය අඟවන හඬකි

“ඔව් ඔව්, සාමාන්‍ය මිනිස්සුන්ට වෙන්නේ ඇඟේ සීනි වැඩිවෙන එකනේ, මම විශේෂ කෙනෙක් නිසා සීනි අඩුවෙනවා!” ජෙරමි සුපුරුදු ලෙස විහිළුවක් කර සැවොම සිනා ගැන්වීය. “මට වෛද්‍යවරු අවවාද කළා බොහොම විවේකී ව නොහිටියොත් තත්ත්වය බරපතල වෙන්න පුළුවන් බව. මන්ට්‍රා වගේ තැනක වැඩකරන ගමන් විවේක ගන්න අමාරු බව අපි හැමෝම දන්නා රහසක් නේ, ඒ නිසා ආයතනයටත් අසාධාරණයක් නොවෙන්න මම හිතුවා මගේ අස්වීමේ ලිපිය භාර දෙන්න.”

ජෙරමි ගැඹුරු හුස්මක් ගෙන රැස්ව සිටින්නන්ගේ මුහුණු සිසාරා නෙත් යැව්වේ ය. ඒ හැම මුහුණක ම තිබුණේ බැරෑරුම් පෙනුමකි.

“මේක මම ඉතාමත්ම අමාරුවෙන් ගත්ත තීරණයක් බව නැවතත් කියනවා. ඒත් එක අතකට මේක ජීවිතයත් මරණයත් අතර තීරණයක් නිසා මම ජීවිතය තෝරාගත්තා. ඔය කිව්වාට ඇත්තටම නම් මට නිකම්ම ගෙදර ඉන්න බැරිවෙයි. මෙච්චර කල් මන්ට්‍රා එකේ වැඩකරලා නිකම් ඉන්නේ කොහොමද කියලා මම දන්නෙවත් නැහැ!” ශාලාවේ ආතතිය බිඳින්නට ජෙරමි පුංචි විහිළුවක් කළේ ය. “ඒ නිසා පොඩියට ප්‍රවර්ධන ව්‍යාපෘති දෙකතුනක් කරන්න මගේම පොඩි කම්පැනියක් දාගන්නයි මම හිතාගෙන ඉන්නේ. මගේ වෛද්‍යවරයාත් කිව්වා එකපාරට මුකුත්ම නොකර ඉන්න එකත් මගේ සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන් කියලා. මගේ ජීවිතෙන් අවුරුදු විසි තුනක් ගතවුණේ මන්ට්‍රා එකේ. මෙතැන ඇත්තටම මගේ දෙවෙනි ගෙදර කියන්න පුළුවන්. ඒ නිසා මම ඔයාලාව දාලා යන්නේ සෑහෙන්න වේදනාවකින්. මගේ මේ ගැටලුවේ දී මුල ඉඳන්ම ළඟ ඉඳන්, අකමැත්තෙන් වුණත් මගේ මේ තීරණයට සහාය දුන්නු ශ්‍රෝඩර් මහත්මයාට මගේ ස්තූතිය පිරිනමන්න මේක මම අවස්තාවක් කර ගන්න කැමතියි.” අත්පොලසන් හඬ මැද කතාව නිම කරද්දී ජෙරමි ගේ කටහඩ බිඳෙමින් තිබිණි.

ඉනික්බිති මයික්‍රෆෝනය වෙත එළඹුණේ ප්‍රධාන විධායක නිලධාරි ශ්‍රෝඩර් ය. ජෙරමි ඩුවැක් විසිතුන් වසරක් තිස්සේ මන්ට්‍රා ආයතනයට කළ සේවය ගැන ඔහු දිගු විස්තරයක් කළේ ය. එහිදී ජෙරමිගේ මඟ පෙන්වීම මත ආයතනය ලබාගත් විවිධ ජාත්‍යන්තර සම්මාන ආදිය ගැන කතා කිරීමට ඔහු අමතක කළේ නැත. සෞඛ්‍ය හේතූන් මත ජෙරමි ගත් මේ තීරණයට සහාය දෙන්නට අකමැත්තෙන් වුවත් තමන්ට සිදු වූ බව විස්තර කළ ශ්‍රෝඩර් කතාව නිම කිරීමට පෙර තමා කබා සාක්කුවෙන් අලංකාරව එතූ කුඩා පෙට්ටියක් පිටතට ගත්තේ ය.

“ජෙරමි ඩුවැක්, ඔබට මන්ට්‍රා හි අපි හැමෝම සිහිවෙන්න මේ තිළිණය භාරගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේක අලුත්ම පන්නයේ අත් ඔරලෝසුවක්. එහි විශේෂත්වය තමයි සුපුරුදු අංගෝපාංග වලට අමතරව එයට ඔබේ අසනීපය පාලනය කරන්න සහාය වෙන්නත් හැකියාව තිබීම. ඔබ මෙය පැළඳ සිටින හැම මොහොතකම එය ඔබේ රුධිරයේ සංයුතිය ඉබේ පරීක්ෂා කරලා ගැටළුවක් මතු වීගෙන එනවා නම් ඔබට සංඥාවක් නිකුත් කරනවා. ඒ නිසා ඔබට ඉදිරියේදී රෝගය නිසා ඇතිවෙන සංකූලතා මඟ හරවාගෙන විවේක ගන්න පලුවන්. මතක තියාගන්න ඔබ කමති ඕනෑම මොහොතක නැවත එන්න මන්ට්‍රාහි දොරවල් ඔබ වෙනුවෙන් විවෘතයි!”

ශ්‍රෝඩර් කතාව නිම කළේ කන් බිහිරිවන තරමේ අත් පොළසන් නාදයක් අතරේදී යි.

…………………………………………………..

ජෙරමි මේ ගතකරන්නේ රැකියාවෙන් ඉවත් ව ගෙවෙන සිව් වන දවසයි. පළමු දින දෙකතුනේදී විවිධ වැඩකටයුතු නිසා කාර්ය බහුල වූ ඔහුට දවස බෙහෙවින් දිගු බව දැනෙන්නට පටන් ගෙන ඇත්තේ දැන් ය. ආලින්දයේ සෝපාවේ හිඳ ගත් ඔහු, කවුළුවෙන් පිටත ගෙවත්තේ සිරි නරඹමින් මේ නුහුරු විවේකය විඳින්නට විය.

“ඔයා ඔය අලුත් ඔරලෝසුව බැඳගෙනද ඉන්නේ ජෙරී?” ඇලීෂියා ආලින්දයට පැමිණියේ කෝපි කෝප්ප දෙකක් දෑත ට රැගෙන යි.

ජෙරමි සමඟ විවාහ වී ගත වුණු පසුගිය විසි වසර පුරාවටම ඔහු හරියාකාර විවේකයක් ලබනු ඇලීෂියා දැක තිබුණේ නැත. නිවාඩු දිනවලදී ත්, ඔවුන් දරුවන් ද සමඟ දුර බැහැර සංචාරයන් හි යෙදෙද්දී ත් ජෙරමි නිරතුරුව මනසින් බැඳී සිටියේ රැකියාව වෙතයි. රාජකාරී වේලාවන්ට එපිටදී රාජකාරී දුරකථන ඇමතුම් ආදිය සීමා කිරීමට ඔහු උත්සාහ කළ බව සැබවි. එහෙත් ඔහු නිතරම තමන් සම්පූර්ණ කළ යුතු ඊළඟ ප්‍රවර්ධන ව්‍යාපෘතිය ගැන සිතමින් පසු වූ බව ඈ දැන සිටියා ය. එබැවින් ඔහු මෙලෙස නිසොල්මන් ව විවේකයෙන් සිටිනු දැකීම ඇයට ද අලුත් දසුනක් විය.

ඇගේ පැණයට පිළිතුරු වශයෙන් සිනාසුණු ජෙරමි කෝපි කෝප්පය අතට ගැනීමට පෙර තම ජර්සියේ අත මෑත් කර ඔරලෝසුව පෙන්වූයේ ය.

“ඔයතරම් බය වෙන්න එපා ඇලීෂියා, මට ඒක එහෙම අමතක වෙන්නේ නැහැ, මේ දවස් දෙකතුනටත් ඔරලෝසුව මට දෙතුන් සැරයක්ම වෝන් කළා ෂුගර් අඩු වෙද්දී.” ඔහු සැහැල්ලුවෙන් කීවේ තමන් ගැන බිරිඳ වද වන තරම හොඳහැටි දැන සිටි බැවිණි.

අත් ඔරලෝසුවේ සේවය උපරිමයෙන්ම ලබාගැනීමට නම් එය විසිහතර පැයේදීම පැළඳගෙන සිටිය යුතු බවට ශ්‍රෝඩර් දුන් උපදෙස ඔහුට සිහි විය. නින්දේදී පමණක් නොව ස්නානයේදී පවා අත් ඔරලෝසුව පැළඳ සිටිය යුතු බව ඔහු කියද්දී තමන් එදා නම් සිනාසුණු බව ඔහුට මතකය. නමුත් සත්‍යය නම් ඒ ඕනෑම මොහොතක තමන් රුධිරයේ සීනි මට්ටම අඩුවීම නිසා කෝමා තත්ත්වයට පත් විය හැකි වීමේ බරපතල බව දැන් ඔහුට වැටහේ.

“අනේ මන්දා ජෙරී..” ඇලීෂියා ඔහු අසල අසුන් ගත්තේ සුසුමක් හෙලමිනි. “මතක ඇති කාලෙක ඉඳන් රස්සාව වෙනුවෙන් මහන්සි වෙලා අන්තිමට ලෙඩක් හදාගෙන තමයි ගෙදර නවතින්න වුණේ. මන්ට්‍රා එකේ කට්ටිය නිකම් ඇපෙන් බේරෙන්න වගේ මේ ඔරලෝසුව දුන්නේ කියලා මට හිතෙන්නේ.” ඈ කෝපි උගුරක් තොල ගාමින් කීවාය.

“එහෙම කියන්න එපා ඇලීෂියා,” ජෙරමි ඇගේ කතාවට විරුද්ධ වූයේ ය. “ලෙඩක් හැදෙන්න තියෙනවා නම් ඒක කාටවත් වළක්වන්න බැහැ, මම මන්ට්‍රා එකේ හිටියත් නැතත් මේක හැදෙනවා. අනික එයාලා මේ වගේ අලුත්ම ටෙක්නොලොජි එකක් තියෙන ඔරලෝසුවක් දුන්න එකට අපි සතුටු වෙන්න ඕන. මෙහෙම දේවල් තියෙනවා කියලා මම නම් මීට කළින් දැනගෙන වත් හිටියේ නැහැ ඇත්තටම.”

ඇලීෂියා නිහඬ වූයේ ඔහු කී දේ සත්‍යයක් බව ඇයට ද හැඟුණු හෙයිනි. ඔරලෝසුව ජෙරමි ගේ අතේ තිබීම නිසා ඔහුගේ අසනීපය පාලනය කරගනු හැකිවීම ඇයට මහත් සහනයක් ගෙන දුන්නේය.

“හරි, දැන් මම යනවා අලුතින් පටන්ගන්න බිස්නස් එකේ රෙජිස්ට්‍රේෂන් ගැන විස්තර හොයන්න.” ජෙරමි සෝපාවෙන් නැගී සිටියේ හිස් කෝපි කෝප්පය කනප්පුව මත තබමිනි.

“තනියම අලුතින් මාකටින් බිස්නස් එකක් පටන් අරගෙන කලින් වගේම බිසී වුණොත් මන්ට්‍රා එකෙන් අයින් වුන එකෙනුත් වැඩක් නැහැ.. හරිද ජෙරී? ඒක හොඳට මතක තියාගන්න” තමන්ට පිටුපා කන්තෝරු කාමරය වෙත යන සැමියා ට ඇසෙන්නට ඇලීෂියා කීවේ තරමක් උස් හඬිනි.

එය අසා ජෙරමිගේ මුවග සිනාවක් නැඟුණි. තමන්ටත් වඩා හොඳින් තමන්ගේ ගතිගුණ ගැන බිරිඳ දැන සිටීම ගැන ඔහුට පුදුමයක් දැනුණේ පළමු වතාවට නොවේ.

----------------------------------------------

ජෙරමි තිගැස්සී ඇහැරුණේ සිහිනයක අතරමැද දී ය. ඔහු රෑ නින්දේදී නිරතුරුව සංකීර්ණ විසිතුරු සිහින දකින පුද්ගලයෙක් විය. දවසින් වැඩි ප්‍රමාණයක් නිර්මාණාත්මක කටයුතු වල නියැලෙන අය සිහින නොදකින බව ඔහු කොතැනක දී හෝ අසා තිබුණත් ඔහුට නම් එය අදාළ වූයේ නැත. මන්ට්‍රා හි රැකියාව කරද්දී ජෙරමි නිරතුරුවම සිහිනෙන් දුටුවේ තමන් නිම කළ යුතු ප්‍රවර්ධන ඇනවුම් ගැනයි. තමන්ගේ නිර්මාණශීලී ම අදහස් ඉපදුණේ සිහින වලදී බව ඔහු තදින් විශ්වාස කළේ ය. ඔහුට මේ සිහින පසු දින උදෑසන වෙද්දී පවා සිහියට නඟා ගන්නට හැකි වීමත් විශේෂත්වයක් විය. ජෙරමි ඩුවැක් ගේ මේ විසිතුරු සිහිනවල වැදගත්කම එකල මන්ට්‍රා ආයතනයට පවා නොරහසක් ව තිබිණි.

“මිස්ට ඩුවැක්, මේකට අදහසක් දෙන හීනයක් එහෙම දැක්කේ නැද්ද?” ප්‍රවර්ධන සැලසුම් රැස්වීම් වලදී ඔහුගේ ගෝල බාලයන් ඔහුට විහිලු තහළු කිරීම එකල සාමාන්‍ය සිද්ධියක් විය.

එහෙත් අද නම් තමන් එවැනි සිහිනයක් මැදදී එක්වර අවදි වූයේ ඇයි දැයි ජෙරමිට සිතාගනු නොහැකි විය. මන්ට්‍රා වෙතින් ඉවත් වූ පසු ම ඔහු ‘ප්‍රවර්ධන අදහස්’ සහිත සිහිනයක් දැක නොතිබුනී. මේ රැයේ බිඳුණු සිහිනය ඔහු වෙතින් ගිලිහී ගොස් ද තිබුණේ මතකයක් ද ඉතිරි නොකර ය. වෙලාව දැනගැනීමට අත බැඳි ඔරලෝසුව වෙත නෙත යොමු කළ ජෙරමි දුටුවේ එහි කුඩා තිරය ආලෝකවත් ව තිබී නිවී යන බවයි. ඉනික්බිති එය ඉබේම ක්‍රියා විරහිත වී නැවත පණ ගැන්විණි. එවෙලේ ඔරලෝසුවේ මෘදුකාංගය යාවත්කාලීන වීමක් සිදුවෙමින් ඇති බවක් ජෙරමි අනුමාන කළේ ය. මොහොතක් දෙකක් බලා හිඳ එය නැවතත් ක්‍රියාත්මක වූ විට වෙලාවත්, පුරුද්දට මෙන් තම රුධිරයේ සීනි මට්ටමත් පරීක්ෂා කළේ ය. ඇඳේ අනෙත්පස සුව නින්දේ පසුවන ඇලීෂියා අවදි නොකරන්නට ප්‍රවේසම් වූ ඔහු, නැවතත් නින්දට වැටෙන්නට උත්සාහ කළේ අතපසු වූ සිහිනය යළි බලන්නට ඇත්නම් යැයි සිතමිනි.

------------------------------------------------------------

ජෙරමි ඩුවැක් සිය නව අළෙවි ප්‍රවර්ධන ආයතනයට ඩ්‍රීම්ස් මාකටින් ප්‍රයිවට් ලිමිටඩ් යන නම යෙදුවේ තමන්ගේ විසිතුරු සිහින ගැනත් සිතේ කොණක තබා ගනිමිනි. අරඹා කෙටි කලක් ගත වෙද්දී ඊට බෙහෙවින් ඇනවුම් ගලා ඒම ඔහු කිසිසේත් අපේක්ෂා කළේ නැතත් ප්‍රවර්ධන ක්ෂේත්‍රයේ තම නම හා ඈඳුණු කීර්ති නාමය මීට මඟ පෙන්වූ බව ඔහුට වැටහිණි. කෙසේ වූවත් මන්ට්‍රා හි රැකියා කළ කාලයේදී මෙන් අධික ලෙස වෙහෙස නොවී තමන්ට සාර්ථක ව නිම කළ හැකි මට්ටමින් පමණක් ඇනවුම් භාරගැනීමට ඔහු ප්‍රවේසම් විය.

පසුගිය කාලය ඇතුළත දෙවතාවක් පමණ ශ්‍රෝඩර් ඔහු වෙත දුරකථන ඇමතුම් දුන්නේ තමන් ආයතනයෙන් ඉවත් වීමට පෙර සම්පූර්ණ කරමින් සිටි ව්‍යාපෘති කිහිපයක විස්තර ලබාගැනීමට යි. ජෙරමිගේ ඩ්‍රීම්ස් මාකටින් ආයතනයේ ප්‍රගතිය ගැන විමසන්නටද අමතක නොකළ ශ්‍රෝඩර්, ඊට සුබ පතා, කාලයාගේ අවෑමෙන් සහෝදර ප්‍රවර්ධන ආයතන දෙකක් හැටියට ඔවුන්ට කටයුතු කළ හැකි බවට අනාවැකි පළ කළේ ය. ඒ හැම දුරකථන සංවාදයක ම අවසානයේදී මන්ට්‍රා ආයතනය වෙතින් ලැබුණු අත් ඔරලෝසුව ගැන ස්තූති පූර්වක ව කතා කිරීමට ජෙරමි අමතක කළේ නැත. සත්‍ය වශයෙන්ම ඒ වෙද්දී එය කිහිප වතාවක්ම ඔහුගේ ජීවිතය බේරා තිබිණි.

-------------------------------------------------------

ලින්ඩල් මහතා මුණගැසීමට තරු පහේ හෝටලයක පිවිසුම් ශාලාව ජෙරමි තෝරාගත්තේ කරුණු කිහිපයක් මත ය. පළමුවැන්න නම් තමන්ගේ කුඩා ප්‍රවර්ධන ආයතනය තම නිවසේ සිට ක්‍රියාත්මක කරන බැවින් ඒ සඳහා වෙන් වූ රැස්වීම් කාමර ආදිය තමන් තවමත් සකසාගෙන නොමැති වීමයි. අනෙත් අතට රටේ ප්‍රධාන චොකලට් නිෂ්පාදක සමාගම වන වොන්ඩර් සමූහ ව්‍යාපාරයේ අලෙවි අධ්‍යක්ෂ මුණ ගැසීමට මේ සුඛෝපභෝගී පරිසරය සුදුසු යැයි ඔහුට ඇති වූ විශ්වාසයයි. සැබවින්ම ජෙරමි ඩුවැක් මින් පෙර කීප වතාවක්ම රිචඩ් ලින්ඩල්ව මුණගැසී තිබුණු නමුත් ඒ ඔහු මන්ට්‍රා හි සේවය කළ වකවානුවේදී ය. එවකට වොන්ඩර් සමූහ ව්‍යාපාරයේ සියලු ප්‍රවර්ධන කටයුතු සිදුකෙරුණේ ජෙරමිගේ අධීක්ෂණය යටතේ මන්ට්‍රා ආයතනය හරහා ය. තමන් මන්ට්‍රා වෙතින් ඉවත් වූ බව දැන දැනත් ලින්ඩල් මහතා තමන්ට පෞද්ගලිකව කතා කර මුණගැසීමට වෙලාවක් ඉල්ලා සිටියේ ඇයි දැයි ජෙරමි කුකුසින් පසු විය.

“ජෙරමි, අපි දැන් කාලෙක ඉඳන් අඳුරන නිසා මම අනම් මනම් නොකියා කෙලින්ම කතාවට බහින්නම්” ආරම්භක සාමීචි අවසන් කරමින් ලින්ඩල් පැවසුවේ පුටුවේ හරි බරි ගැසී වාඩිවෙමිනි.

“වොන්ඩර් ස්වීට්ස් මෙච්චර කල් ඔක්කොම මාකටින් කැම්පේන්ස් දුන්නේ මන්ට්‍රා එකට බව ජෙරමි ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ හැම එකක්ම පිටිපස්සේ තිබුණේ ජෙරමි ගේ අදහස් බවත් අපි පැහැදිලිවම දන්නවා. දැන් ජෙරමි මන්ට්‍රා එකෙන් අයින් වෙලා නිසා මට වුවමනාව තියෙනවා අපි ඉස්සරහට කරන කැම්පේන්ස් වලට ජෙරමිගේ ඩ්‍රීම්ස් මාකටින් ෆර්ම් එකටත් චාන්ස් එකක් දෙන්න. ජෙරමි මොකද කියන්නේ?” ඔහු ඇසුවේ ඉදීරියට නැඹුරු වී ජෙරමි දෙස එක එල්ලේ බලමිනි.

ජෙරමිට විශාල සතුටක් මෙන්ම තිගැස්මක් දැනුණි. වොන්ඩර් සමූහ ව්‍යාපාරයේ ප්‍රවර්ධන ව්‍යාපෘති සියල්ල තම කුඩා ව්‍යාපාරය වෙත ලැබුණේ නම් තමන් අන් කිසිවක් වෙනුවෙන් මහන්සි විය යුතු නැති බව ඔහු හොඳින් දැන සිටියේ ය.. ඒත්…

“මිස්ට ලින්ඩල්, මං ගැන ඒ තරම් විශ්වාසයක් තිබ්බ එකට ස්තූතියි.. ඒත්..ඒත් එතැන සදාචාරාත්මක ප්‍රශ්නයක් තියෙනවා නේද?” ඔහු ඇසුවේ තරමක් කලබලයෙනි.

“මෙහෙමයි ජෙරමි, බිස්නස් එකක් හැටියට අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ අපි වියදම් කරන මුදලට උපරිම සේවාව ලබාගන්න. ජෙරමි ගේ මාකටින් ෆර්ම් එක තාම අලුත් බව මම දන්නවා. ඒ නිසා මේක තරමක අභියෝගයක් වෙන්න පුළුවන්. ඒත් ඔයා අවුරුදු ගාණක් මේ ක්ෂේත්‍රයේ ඉඳලා හොඳට අඳුරුම්කම් එහෙම තියෙනවානේ..”

“ඔව් මම මේ අවස්ථාව බොහොම ආඩම්බරයෙන් භාරගන්න කැමතියි මිස්ට ලින්ඩල්, ඒත් මම කිව්වේ මන්ට්‍රා එකට මෙතරම් කල් දුන්නු කැම්පේන්ස් මට දෙන එක හරි මදි නේද?” ජෙරමි ආයාසයෙන් කීය.

“ඒවා කෙලින්ම ජෙරමිට දෙනවා කියලා නෙමෙයි මම අදහස් කළේ. මෙහෙමයි ඒක වෙන්නේ, හැම අවුරුද්දෙම අන්තිම අපේ බෝර්ඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් තීරණය කරනවා කාටද ඊළඟ අවුරුද්දේ මාකටිං කැම්පේන් එක දෙන්නේ කියලා. ඒක නිකම් ටෙන්ඩර් ක්‍රියාවලියක් වගේ දෙයක්. අයදුම් කරන ප්‍රවර්ධන ආයතන මේ වෙනුවෙන් එයාලගේ දළ සැලසුම් සහ අය වැය අපට ඉදිරිපත් කරනවා. මේ වතාවේ මේ වෙනුවෙන් ජෙරමි ගේ ආයතනයෙනුත් ඉල්ලුම් කරන්න කියන්නයි මම යෝජනා කරන්නේ. සාමාන්‍යයෙන් අපි පොඩි ෆර්ම්ස් වලින් අයදුම්පත් භාරගන්නේ නැහැ. ඒත් අපේ ඇඳුරුම්කම් නිසා ජෙරමි ට මේ චාන්ස් එක අරන් දෙන්න මම පෞද්ගලිකව තීරණය කළා. ඩිරෙක්ටර්ස්ලා කොහොමත් මේ හැම ඉල්ලුම්පතක්ම සාධාරණ විදිහට සලකලා බලනවා, ඔයාගේ යෝජනාව ගැලපෙනවා නම් එයාලා ජෙරමි ට මේ වැඩේ පවරයි. මොකද කියන්නේ?” ලින්ඩල් විස්තර කළේ ජයග්‍රාහී සිනාවකිනි. ඔහු මේ ගැන පර තෙරට කල්පනා කර ඇති බවක් ජෙරමි ට හැඟිණි.

“අනේ මන්දා, මිස්ට ලින්ඩල්, මට නිකම් මම මන්ට්‍රා එකට වැරද්දක් කරනවා වගේ දැනෙනවා.” ජෙරමි සිනාමුසු ව කීවේය.

ලින්ඩල් අසුනෙන් නැගී සිටි අතර ඒ අනුව ජෙරමි ද තම අසුනෙන් නැගී සිටියේය.

“බිස්නස් කරන්න නම් ටිකක් ආත්මාර්ථකාමී වෙන්න ඕන ජෙරමි. මම හදිසි කරන්නේ නැහැ, මේ ගැන කල්පනා කරලා බලන්නකෝ. ලබන මාසේ තිස් එක තමයි මේ අයදුම්පත් භාරගන්න අන්තිම දවස. මම එහෙනම් ගිහින් එන්නම්, අපි ආයෙත් හමුවෙමු”

ජෙරමිට අතට අත දී ආචාර කළ ලින්ඩල් නික්ම ගියේ ය. ඔහු යන දෙස බලා සිටි ජෙරමි උපැස් යුවල ගලවා අතැඟිලි දෑසට තද කරගත්තේ ය. මේ අනපේක්ෂිත යෝජනාවෙන් ඔහුගේ හිස අවුල් ව තිබිණි.

ලින්ඩල් යෝජනා නොකළේ නම් තමන් කිසිසේත් වොන්ඩර් සමාගමේ ප්‍රවර්ධන ඇනවුම ලබාගැනීමට අයදුම් නොකරන බව ජෙරමි හොඳාකාර ව දන සිටියේය. තමන්ට වෘත්තිමය ලෙස පන්නරය දුන් මන්ට්‍රා ආයතනය සමඟ තරඟ කිරීමට ඇති නොකැමැත්ත සමඟ හරි හරියට ඔහුගේ සිත තුළ මේ අලුත් අභියෝගය ගැන ආසාවක්, උනන්දුවක් මතුවන අයුරු ඔහුට දැනුණි. සියල්ලටම වඩා ලින්ඩල් ඔහු ගැන තැබූ මේ සා විශ්වාසය! මේ ගැන දින දෙක තුනක් හොඳින් කල්පනා කර තීරණයක් ගැනීමට ඔහු ඉටා ගත්තේ ය.

----------------------------------------------------

“මම නම් කියන්නේ ඔයා මිස්ට ලින්ඩල් කීව විදිහට වොන්ඩර් එකේ මාකටින් කැම්පෙන් එකට ඇප්ලයි කරන්න කියලා,” රෑ කෑම මේසයේදී ලින්ඩල් ගේ යෝජනාව ගැන අසා ඇලීෂියා කීවාය.

“මන්ට්‍රා එකත් අනිවාර්යෙන් මේකට ඇප්ලයි කරන බව මම දන්නවා. එයාලා එක්ක තරඟ කරන්න මට හරි ගිල්ටි වගේ දැනෙනවා ඇලීෂියා.” ජෙරමි තම පිඟාන පසෙකට කර වයින් වීදුරුව තොල ගාමින් කීවේය. ඔහුගේ මුහුණේ සවස් වරුවේ පටන් තිබුණු කරදරකාරී පෙනුම පහව තිබුණේ නැත.

“වොන්ඩර් එකේ ඩිරෙක්ටර් බෝඩ් එක ඇප්ලිකේෂන් ඔක්කොම සලකලා බලලා එක ආයතනයක් තෝරාගන්නවා නම් ඉතින් ඔයා දෙන්නේ සාධාරණ තරඟයක් නේ. ඔයා හොඳයි නම් එයාලා ඔයාට ඒ ඕඩර් එක දෙයි, නැත්නම් වෙන කෙනෙකුට දෙයි. ඕකේ ඔච්චර හිතන්න දෙයක් මට නම් පේන්නේ නැහැ.” ඇලීෂියා හුනස්නෙන් නැගිට මේසය අස් පස් කරමින් කීවා ය.

ජෙරමි කිසිත් නොකියා කල්පනා වේ නිමග්න ව පසු වූයේ ය.

“ඔයා කාගේවත් ක්ලයන්ට්ස් ලා බලෙන් නම්මා ගන්නවා නෙමෙයිනේ ජෙරී. ඇත්තටම නම් ක්ලයන්ට් ම නේ ඔයාට කියන්නේ මේකට ඇප්ලයි කරන්න කියලා. ඔහොම හැමදේම හිත හිත ඉන්න ගියොත් මුකුත් කරන්න වෙන්නේ නැහැ. දැන්වත් ටිකක් ආත්මාර්ථකාමී වෙන්න ඉගෙන ගන්න.” මෙසේ කියූ ඇලීෂියා මේසය මත වූ පිඟන් කෝප්ප එකතු කරගෙන මුළුතැන්ගෙය වෙත පිය මැන්නා ය.

‘ලින්ඩල් ත් කිව්වේ ඕකම තමයි.” ජෙරමි පහත් හඬින් තමන්ටම කියා ගත්තේ වයින් වීදුරුව නැවතත් පුරවා ගනිමිනි.

------------------------------------------------------------

වොන්ඩර් ආයතනයේ ප්‍රවර්ධන ව්‍යාපෘතිය ගැන සිතමින් ඊළඟ දවස් දෙක තුන ගත කළ ජෙරමි තුන්වන දිනය අවසානයේදී මේ ගැන පැහැදිලි විචිත්‍ර සිහිනයක් දුටුවේය. වොන්ඩර් ආයතනයේ චොකලට් වර්ග ප්‍රවර්ධනයට මෙතෙක් කිසි කලෙක යොදා නොගැනු අදහසක් එහි විය.

…රූපවාහිනී තිරය පුරා දිස්වෙන කිරි මුහුදකි. එක් පසෙකින් ඊට චොකලට් ගංගාවක් එක් වේ. මේ මුහුදේ රැළි මත වොන්ඩර් සන්නාමයෙන් යුත් විවිධ වර්ගයේ චොකලට් බෝට්ටු ඇදී යමිනි. මේවා මත පොඩිත්තෝ හිඳ සිටිති. ඔවුන් තිරය මැදට පාව එද්දීම ‘වොන්ඩර් චොකලට්ස්!’ කියා කෑ ගසන්නේ මහත් සතුටිනි….

හදිසියේම ජෙරමි තිගැස්සී අවදි වූවේය. මෑතක සිට රෑ මැදියමේ තමන් මෙසේ එක්වරම අවදි වීම ඔහුට දැන් දැන් කරදරයක් වෙමින් තිබිණි. වැඩියත්ම තමන්ට අනාගත ප්‍රවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අදහස් ගෙන එන සිහින අතරමඟදී බාධා වීම ඔහු තුළ නොරිස්සුමක් ඇති කළේ එකම සිහිනය නැවත බැලීමට අවස්ථාවක් නොලැබුණු බැවිනි. ඔහු ඉක්මණින් ඇඳ අසල වූ මේසය මත තිබුණු කුඩා සටහන් පොත අතට ගෙන තමන් දුටු ‘වොන්ඩර්’ සිහිනය ලියා තැබුවේ එය අමතක වේ යැයි සැකයෙනි. මෑතක සිට නින්දට සිදුවන මේ බාධාව තමන්ගේ රෝගය නිසා විය හැකිද යන බව ඊළඟ වතාවේ දොස්තර හමු වූ විට විමසීමට ඔහු ඉටා ගත්තේය. පුරුද්දට මෙන් තම රුධිරගත සීනි මට්ටම පරීක්ෂා කිරීමට තම අත බැඳි ඔරලෝසුව වෙත නෙත යොමු කළ ජෙරමි දුටුවේ එය ඉබේම ක්‍රියා විරහිත වී නැවත පණ ගැන්වෙන බවයි. දිවා රෑ නොකඩවා ක්‍රියාත්මක වීමට නියමිත නිසා මේ ඔරලෝසුවට අමතර බැට්රියක් පවා සපයා තිබුණි. එබැවින් එය මෙසේ අහඹු ලෙස ක්‍රියා විරහිත වී නැවත පණ ගැන්වීමත් තමන්ගේ නින්ද කඩවීමත් අතර සම්බන්ධයක් තිබේදැයි ජෙරමි ට කල්පනා විය. මේ ගැන තව දුරටත් සිතිය යුත්තේ පසු දින උදෑසන බව සිතූ ඔහු අනෙත් පස හැරී නිදන්නට විය.

----------------------------------------------------------

වොන්ඩර් ආයතනයේ ප්‍රවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඩ්‍රීම්ස් මාකටින් ප්‍රයිවට් ලිමිටඩ් හි යෝජනා සහිත අයැදුම්පත යොමු කළ ජෙරමි ඉනික්බිති ගත කළේ නොසන්සුන් බවින් පිරි සතියකි. තමන් සිහිනයෙන් දුටු අදහස ප්‍රවර්ධන සැලසුමක් දක්වා දියුණු කළ ඔහු ඊට අපේක්ෂිත වියදම් සහිත අයවැයක් ද එකතු කළේ ය. නියමිත දිනට පෙර මේ සියල්ල සම්පූර්ණ කිරීම ට ඔහුට සිතුවාට වඩා මහන්සි වීමට සිදු වූයේ දැන් ඊට අදාළ කටයුතු සියල්ලම ඔහු තනිවම සිදු කළ යුතු බැවිනි. මේ ආතතිය නිසාදෝ කීපවරක්ම ඔහුගේ රුධිරයේ සීනි මට්ටම අඩු වී ගිය අතර වාසනාවකට ඔරලෝසුව නිසා මේ ගැන ඔහුට කල් ඇතිව අනතුරු ඇඟවීම් ලැබුණි. මේ කලබල මැද තමන් අසනීපය නිසා සිහි විසඥ වීම් සිදු වුණේ නම් මහත් කරදරයක් වන බව කල්පනා කළ ජෙරමි නොකඩවා ඔරලෝසුව පැළඳ සිටින්නට විශේෂයෙන් මතක තබා ගත්තේය.

අපේක්ෂිත ලෙස වොන්ඩර් ආයතනයේ අලෙවි අධ්‍යක්ෂ ලින්ඩල් ගේ දුරකථන ඇමතුම ජෙරමිට ලැබුණේ අයදුම්පත යොමු කර දින දහයක් ගෙවුණු තැනයි. එහෙත් පුරුදු සුහද බව වෙනුවට දුරකතනයේ අනෙත් පසින් ජෙරමි ට ඇසුණේ නොරිස්සුම් හඬකි.

“ජෙරමි තමුසේව මෙතරම් විස්වාස කරපු මාව අන්තිමට තමුසේ විහිලුවකට ගත්තා නේද? තමුසෙගෙ වැඩ නිසා අන්තිමට මට සිද්ධ වුණේ ඩිරෙක්ටර් බෝඩ් එක ඉස්සරහා සවුත්තු වෙන්නයි..” ලින්ඩල් පසුවන්නේ කෝපයෙන් බව ජෙරමි ට එක වර ම වැටහිණි.

“ඇයි මිස්ට ලින්ඩල්, මොකක්ද ප්‍රශ්නේ?” ජෙරමි කලබලයෙන් විමසුවේය.

ලින්ඩල් ගැඹුරු හුස්මක් ගෙන ආයාසයෙන් සන්සුන් වන්නට උත්සාහ ගනු ඔහුට ඇසිණි.

“ජෙරමි, මම ඔහේට මේ වතාවේ අපේ මාකටින් කැම්පේන් එකට ඇප්ලයි කරන්න කිව්වේ අපිට වෙන කට්ටිය නැති නිසා නෙමෙයි. තමුන් දක්ෂයෙක් බව දන්නා නිසයි, කාලයක් තිස්සේ මන්ට්‍රා එකෙන් කරපු අපේ කැම්පේන් පිටිපස්සේ හිටිය මොළකාරයා තමුන් බව දන්නා නිසයි. නැත්නම් මේ ඊයේ පෙරේදා පටන් ගත්ත තමුසෙගෙ වගේ පොඩි මාකටින් ෆර්ම් එකකින් ඇප්ලිකේෂන් භාර ගන්නෙවත් නැති තැනක් වොන්ඩර් කියන්නේ.. ඒක මම තමුන්ට අමුතුවෙන් කියලා දෙන්න ඕන නැහැනේ..” ඔහු එක දිගට කියාගෙන ගියේ ය.

“මම ඒ බව හොඳින්ම දන්නවා මිස්ට ලින්ඩල්, මට මේ චාන්ස් එක දුන්නට මම ඇත්තටම ණය ගැතියි, ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ? මගේ ඇප්ලිකේෂන් එකේ මොකක් හරි ප්‍රශ්නයක්ද?” ජෙරමි ඇසුවේ අවුල් වූ සිතිනි.

“ණයගැතියි?” ලින්ඩල් උපහාසයෙන් සිනාසෙනු ඔහුට ඇසිනි. “ණයගැති නිසාද මනුස්සයෝ මන්ට්‍රා එකේ මාකටින් අයිඩියා එක ගෙඩි පිටින් කොපි කරලා එව්වේ? හැබැයි උද්දච්ච කමට බජට් එක නම් මන්ට්‍රා එක දීපු බජට් එකට වඩා දෙගුණයක් විතර වැඩියි. ජෙරමි මට හිතාගන්න බැහැ තමුසේ මේ ජාතියේ මිනිහෙක් කියලා. තමුසේ අයින් වෙන්න කලින් මන්ට්‍රා එකේ සාකච්ඡා කළ අදහසක් හොරෙන් අරගෙන ඇවිත් තමන්ගේ වගේ කොලේ වහලා දෙන්නයි හැදුවේ නේද? මේක තමුසෙට නිකම් විහිළුවක් වගේ ද? තමුසෙලා වගේ අයට වැඩ අරන් දෙන්න ට්‍රයි කරන අපිටයි ගහන්න ඕන!” මෙසේ වේගවත් ව කියූ ඔහු එක්වරම දුරකථනය විසන්ධි කළේ ය.

ජෙරමි අසල ඇති පුටුවකට කඩා වැටුණේ ඔහුගේ දණිස් පණ නැතිව ගිය බවක් දැනුණු හෙයිනි. මේ අභූත චෝදනාව කුමක්ද? ඔහු කිසිදිනක කිසිවෙක් ගේ අදහස් සොරකම් කර නැත. එසේ කරන්නට ඔහුට කිසිදිනක අවශ්‍ය නොවුණේ ඔහුට හැමදාම තමන්ගේම නිර්මාණශීලී අදහස් ගලන උල්පතක් තිබුණු බැවිනි. මන්ට්‍රා ආයතනය තමන්ගේ අදහස සොරකම් කළා විය හැකි ද? එහෙත් තමන් මේ ගැන කිසිවකුට- අඩුම තරමේ ඇලීෂියාට වත්- කියා තිබුණේ නැත. තම නව ආයතනයේ එකම සේවකයා තමන් බැවින් මෙය වෙනකෙකු හරහා පිටතට ගියා විය නොහැක. ‘ඒ මදිවට එයාලාගේ බජට් එක මගේ බජට් එකෙන් බාගයක්!’ තමන්ගේ හිස බමන බවක් ඔහුට දැනුණේ රුධිරයේ සීනි සංයුතිය අඩු වූ බවට ඔරලෝසුවෙන් සංඥාවක් නිකුත් වෙද්දීම ය.

-----------------------------------------

ශ්‍රෝඩර් තම පරිගණකයේ ගබඩා කර ඇති රහසිගත ෆෝල්ඩරය විවර කරන්නේ කාර්යාල වේලාවෙන් අනතුරුව, කාර්යාලයේ හැම කෙනෙකුම නික්ම ගිය පසු යි. පැයකට වතාවක් යාවත්කාලීන වන එහි දත්ත විශ්ලේෂණය කර තමන්ට අවශ්‍ය දේ පමණක් පිටපත් කර ගැනීමට ඔහුට පැයක් පමණ ගතවේ. රාත්‍රිය එළඹෙන තුරු මෙලෙස කාර්යාලයේ කාලය ගත කිරීමට ඔහු වැඩි මනාපයක් නැතත් මේවා තනිවම කළ යුතු රාජකාරී බව ඔහු ඉවෙන් මෙන් දැන සිටියේ ය.

අලුත්ම දත්ත රැස තම පරිගණක තිරයේ දිග හැරෙද්දී ශ්‍රෝඩර් ගේ මුවග සිනාවක් ඇඳිනි.

-------------------------------------------

වොන්ඩර් ආයතනය සම්බන්ධ සිද්ධිය නිසා පසුගිය දින කිහිපයේ මහත් සිත් තැවුලෙන් පසු වූ ජෙරමි හරියාකාරව නින්දක් ලැබුවේම නැත. අවසානයේදී බිරිඳගේ බල කිරීම මත තම වෛද්‍යවරයා මුණ ගැසුණු ඔහු, තමන්ට බාධාවකින් තොර ව නින්දක් ලැබීමට උපකාරී වන බෙහෙතක් ඉල්ලා ගත්තේය. රාත්‍රී ආහාරයෙන් පසු ඒ බෙහෙත ගත් ඔහු මේ රැය පුරා අඛණ්ඩ නින්දක් ලබන්නේ බොහෝ දවසකිනි.

ගැඹුරු නින්දේ පසුවන ජෙරමි ඩුවැක් ගේ වම් අත ඇඳ මත නිසොල්මන් ව විහිදී තිබුණු අතර එහි බැඳ තිබුණු අත් ඔරලෝසුවේ තිරය එදා නම් බොහෝ වේලාවක් දැල්වී ඇති බවක් දකින්නට කිසිවෙකු සිටියේ නැත..



-හෙල්මලී ගුණතිලක-

Photo by Markus Spiske on Unsplash


August 11, 2023

නිහඬ


ජයහඬ ගුවන් විදුලි නාලිකාව- ප්‍රධාන පිවිසුම් ශාලාව

“රයන් මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?”

රයන් ගුවන් විදුලි විකාශන මැදිරියේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළට පා තැබූ සැණින් ප්‍රධාන වැඩසටහන් නිෂ්පාදක ජයවික්‍රම ඔහු අසලට වේගයෙන් ආවේ ඔහු එනතුරු මඟ බලා සිටි ලෙසිනි..

“ඇයි මිස්ටර් ජයවික්‍රම? මට තව ටිකකින් බොස් එක්ක අර ස්පොන්සර්ස් මීටින් එකට යන්න නම් තියෙනවා.” රයන් පැවසුවේ තම දුරකථනයේ දිස් වූ වෙලාව දෙස බලමිනි.

“මේක බොහොම වැදගත් දෙයක් ගැන.” තම හඬ තරමක් බාල කරමින් ජයවික්‍රම පැවසුවේ ය. ඔහු වෙතින් දිස් වූයේ නොසන්සුන් බවකි.

රයන් හිටි පියවරම නැවතුණේ ජයවික්‍රමගේ මේ අසාමාන්‍ය හැසිරීම නිසා යි. ඔහු මෙලෙස කලබලයට පත් ව සිටිනු රයන් මින් පෙර දැක තිබුණේ නැත. සාමාන්‍යයෙන් ඔහු මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදු වන සියලු හැල හැප්පීම් සම සිතින් දරාගෙන වැඩ කටයුතු කරන බව ප්‍රචලිත ව පැවතිණි.

“රයන්ලා ට මුකුත් කම්ප්ලේන්ස් එහෙම ඇවිත් තියෙනවද බ්‍රෝඩ්කාස්ට් ඉෂූ එකක් ගැන?” ජයවික්‍රම සාක්කුවෙන් ලේන්සුවක් ගෙන මුහුණ පිසිමින් ඇසුවේ ය. වායු සමනය කරන ලද පිවිසුම් ශාලාවේ දහදිය දමන්නට නම් ඔහු මහත් කැළඹුමකින් පසු විය යුතු බව රයන් ට සිතුණි.

“අපේ ඩිපාට්මන්ට් එකට ඉතින් එක එක කම්ප්ලේන්ස් එනවනේ. කොයි වගේ දෙයක් ගැනද මිස්ට ජයවික්‍රම ඇහුවේ?” රයන් විමසුවේ කුතුහලයෙනි.

මොහොතක් ඔහු දෙස එක එල්ලේ බලා උන් ජයවික්‍රම “එක්කෝ රයන් ඔය මීටින් එක ඉවරවෙලා මාව හම්බවෙන්න එන්නකෝ. මේක දිග කතාවක්.” කියා කොරිඩෝව ඔස්සේ දිගු අඩි තබා ගොස් තම කුටියට වැදී දොර වසා ගත්තේ ය.

ජයවික්‍රම මෙලෙස නොසන්සුන් වන්නට හේතු වූ යම්කිසි ගැටළුවක් ගැන කනිෂ්ඨ සේවකයෙකු වන තමන්ගෙන් විමසන්නේ ඇයිදැයි සිතා ගනු නොහැකි ව රයන් මොහොතක් ඔහු ගිය දෙස බලා සිටියේ ය. මෑත දිනකදී ජයවික්‍රම ගේ පරිගණකයේ ගැටළුවක් ඇති වී රයන් එය විසඳන්නට නම් උපකාර වී තිබිණි. එදා ඔහු කළේ අතපසු ව තිබුණු අප්ඩේට් කිහිපයක් ක්‍රියාත්මක කර ඒ පරිගනකය පණ ගැන්වීම පමණි. මේ ගැටලුවත් ඊට දුරින් හෝ සම්බන්ධ දෙයක් විය හැකිදැයි තවත් තත්පර කිහිපයක් කල්පනා කළ රයන් ඉක්මන් ගමණින් තම රැස්වීම කරා ගමන් කළේ ය.

--------------------------------------------
ඉහළ කොස්වැව, ගල්ගමුව

“කෙල්ලේ මේ රේඩියෝ එකේ බැස්ටි බැහැලා ද බලහං, එක පාරට සද්දේ නැතිව ගියා.”

ලීලාවතීගේ බෙරිහන් හඬ නිවස තුළ වූ නිහැඬියාව බිඳ දැමුවේ ය. එය අසා ඉස්තෝප්පුවේ පාඩම් කරමින් සිටි ඇගේ මිනිබිරිය නොරිස්සුමෙන් හිස ගැස්සී ය.

“අයියෝ ආච්චි, බණ අහන්න කියලා රේඩියෝ එක දාලා දුන්න වෙලාවේ ඉඳන් එක එක කරච්චල් නේ. එක්කෝ සද්දේ මදි කියයි, එක්කෝ වැරදි චැනල් එක කියයි. දැන් ඒ පාර මොකක්ද?” සමන්ති නෝක්කාඩු කියමින් ලීලාවතී වැතිර උන් ඇඳ වෙතට ආවා ය. වසර කීපයක් තිස්සේ එක්තැන් ව සිටින ලීලාවතීගේ ඒකාකාරී දිවියේ පාලු කැපුණේ මේ කුඩා රේඩියෝවෙනි.

“බැට්රි බැහැලා වෙන්න බැහැ ආච්චියෙ, ගිය සතියෙනේ තාත්තා මේකට අලුත් බැට්රි දැම්මේ.” සමන්ති රේඩියෝව අතට ගෙන බලන්නට වූවා ය. “ආච්චි අතපත ගාන්න ගිහින් මොකක් හරි බොත්තමක් වත් එබුනා ද?”

“මම ඔබපු බොත්තමක් නැහැ බං” ලීලාවතී කේන්තියෙන් පිළිතුරු දුන්නා ය. බණ කතාව ආරම්භයේදී දේශනා කරනු ලබන නිමිති පාඨය මේ වෙද්දී මඟ හැරෙන්නට ඉඩ ඇති වීම ඇගේ නොරිස්සුමට හේතු විය. එහෙත් හදිසියේම සමන්ති ඒ මේ අත හරවමින් සිටි රේඩියෝවේ හඬ කලින් මෙන් පැහැදිලි ව නැවත ඇසෙන්නට වූ අතර ඉන් නිකුත් වූ බණ හඬින් කුටිය පිරුණි. මිනිබිරිය අතින් රේඩියෝව උදුරා ගත් ලීලාවතී, එය කනප්පුව මත තබා ඊට වැඳගත්තා ය.

---------------------------------------------
ජයහඬ ගුවන් විදුලි නාලිකාව- සාමාන්‍යාධිකාරි ජයත් වංශරත්නගේ කාර්යාලය

“ඔය දෙන්නා කියන දේ මට පැහැදිලි මදි, මොකද්ද මේ කියන බ්‍රෝඩ්කාස්ට් ඉෂූ එක?”

සාමාන්‍යාධිකාරි වංශරත්න රයන් දෙසත් ජයවික්‍රම දෙසත් තම දෑස යැව්වේ මාරුවෙන් මාරුවටයි.

“මෙහෙමයි සර්, අපිට තොරතුරු ලැබුණා - අපි කිව්වට මිස්ට ජයවික්‍රම තමයි මුලින්ම මේක හොයා ගත්තේ..” රයන් කතාව ඇරඹුවේ දත කට පූට්ටු වූ ලෙසින් ඔහු අසල සිටි ජයවික්‍රම කිසිත් නොකී බැවිනි. “අපේ බ්‍රෝඩ්කාස්ට් එක අතරේ වැඩසටහන් අහන අයට ඉඳ හිට විනාඩියක විතර බ්‍රෝඩ්කාස්ට් ලොස් එකක්...”

තම විස්තරය අවසන් කරන්නට රයන් ට ඉඩ නොලැබුණේ වංශරත්න බෙහෙවින්ම කලබල වූ බැවිනි.

“මොකක්? විනාඩියක ලොස් එකක්?? එහෙම වෙන්නේ කොහොමද? මොකද්ද ජයවික්‍රම මේ මනුස්සයා කියන්නේ?”

“නෑ සර්, අපේ පැත්තෙන් වෙන දෙයක් නෙමෙයි, අහන අයගේ පැත්තෙන් මේක වෙන්නේ. හැම තිස්සෙමත් නැහැ, එකම වැඩසටහනත් නෙමෙයි..” ජයවික්‍රම කතා කළේ වචන පටලවමිනි.

නමුත් වංශරත්නට පරල වන්නට ඒ වචන කිහිපය ද ප්‍රමාණවත් විය.

“දැන් කොච්චර කල් ඉඳන් මේක වෙනවාද?” ඔහු ගුගුලේ ය.

“දවස් තුනක් වගේ තමයි සර්, අපි දන්නා තරමට- නේද මිස්ට ජයවික්‍රම?” රයන් තතනමින් පිළිතුරු දුන්නේ ය.

“මෙච්චර කල් මේකේ වැඩ කරලා තමුසේලා දන්නේ නැද්ද අපිට වෙලාව කියන්නේ සල්ලි කියලා? ස්පොන්ස්ර්ස් ලා මේක දැනගත්තොත් මොනවා වෙයිද? ඇයි මීට කලින් මාව කවුරුවත් මේ ගැන දැනුවත් නොකළේ? ” රතු වූ මුහුණින් යුතු ව කෑ ගසන්නට වූ වංශරත්න ඉන්ටකොම් බොත්තම ඔබා “මේරියන්, ලතීෆ්ටයි, ප්‍රියංකරටයි වහාම මාව හම්බවෙන්න එන්න කියන්න” කියා කීවේ දත් මිටි කමින් ය.

තවත් යමක් කියන්නට සැරසී ඒ වචන ගිලගත් ජයවික්‍රම, ප්‍රධාන ශබ්ද ඉංජිනේරුවන් එහි පැමිණෙන තුරු බලා සිටින්නට වූයේ වෙන කළ හැකි කිසිවක් නොවූ බැවිනි.

----------------------------------------------------
ස්ටෙලා ඇපරල් ආයතනය, රත්මලාන

සේවා මුරය ඇරඹෙන්න පෙර ශබ්ද විකාශ යන්ත්‍ර වෙත සම්බන්ධව ඇති පරිගණකයෙන් රේඩියෝ නාලිකාව හරියාකාර ව ක්‍රියාත්මක වේ දැයි සොයාබලන්නට ප්‍රධාන සුපර්වයිසර්වරිය වූ ශාලිකා කිසි දිනක අමතක කළේ නැත. මැහුම් කාර්යයෙහි නියුතු දහස් ගණනක් සේවක සේවිකාවන්ගේ විඩාව නිවුණේ නිෂ්පාදන ශාලාවේ දස අතින් නිරතුරුව ඇසෙන මේ එෆ් එම් හඬිනි. එහෙත් එදින නම් ඈ මේ සඳහා ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත ගියේ පැමිණිල්ලක් ද සහිතවයි.

“අනේ මිස්ට රුචිර, ෆ්ලෝ එකට මීට පස්සේ ජයහඬ දාන්න එපා හරිද?” හෙඩ් ෆෝන් යුවලක් පැළඳ කාර්යාලයේ පරිගණකයක් ඉදිරිපස වාඩි වී උන් තරුණයාට ඈ උස් හඬින් කීවා ය.

“ආ මොකෝ ශාලිකා ජයහඬ එක්ක තරහා වුණා ද?” රුචිර සිනාසෙමින් ඇසුවේ ඈ වෙත හැරෙමිනි. “නැත්නම් ජයහඬේ වැඩකරන කොල්ලා බූට් එකක් තිබ්බා ද?” ඔහු හඬ බාල කර ඇසුවේ ය.

“අනේ මොන කොල්ලෝ ද මිස්ට රුචිර..” ශාලිකා සිලි බිලි ගා සිනාසෙන්නට විය. “ජයහඬේ සැරෙන් සැරේ සද්ද නැතිව යනවා විනාඩියක් දෙකක්. ඊයේ රෑ ශිෆ්ට් එකේ දෙසැරයක් ම වුණා.”

“සද්ද නැතිව යනවා? එහෙම වෙන්නේ කොහොමද? ඊයේ කරන්ට් ගිහිල්ලාත් නැහැනේ? ඒ ගියත් ජෙනරේටර් ඕන් නේ” රුචිර නළල රැළි කර ගත්තේ ය.

“ඔන්න ඔහේ වෙන එකක් දාමු මිස්ට රුචිර. නදී කිව්වා හාට් එෆ් එම් හොඳයි කියලා. ඒකෙ නන්ස්ටොප් සින්දු යනවාලු. අද ඒක දාමු.”

“ආ නදී ට කියන්නකෝ මම එයා වෙනුවෙන් මගේ හාට් එක වුණත් දාන්නම් කියලා!” රුචිර සිනාසෙමින් පරිගණකය වෙත හැරුණේ අලුත් රේඩියෝ චැනලයේ වෙබ් අඩවිය සොයන්නටයි.

-----------------------------------------------------
ජයහඬ ගුවන් විදුලි නාලිකාව- රැස්වීම් කාමරය 02

“සර් අපි ඔක්කොම සිස්ටම්ස් බොහොම පරෙස්සමෙන් චෙක් කළා, මේක වෙන්න කිසිම විදිහක් නැහැ.” ප්‍රධාන ශබ්ද ඉංජිනේරු ලතීෆ් රැස් ව සිටි කළමනාකරණ කණ්ඩායමට කරුණු දක්වමින් කියා සිටියේ ය. ඔහු පැහැදිලි ව කතා කළ ද, මේසය මත වූ ඔහුගේ දකුණු අත යන්තමින් වෙව්ලන බව රයන් ට පෙනුණි.

“වෙන්න විදිහක් නැහැ කියන්නේ කොහොමද ඕයි, මේ වෙලා තියෙන්නේ!” එය අසා වංශරත්න පුපුරා හැලෙන්නට විය. සාමාන්‍යයෙන් කතාකරද්දී ඔහු කිසිවිටෙක වත් ‘ඕයි, තමුසේ’ වැනි වචන යොදා නොගත් බැවින් ඔහු ද සිටින්නේ ඉමහත් පීඩනයකින් බව පැහැදිලි විය.

ඒ පිළිතුර හමුවේ ලතීෆ් නිහඬ විය. රැස් ව සිටි සෙස්සන් ද මුහුණු මුහුණු බලාගත්තේ ඔවුන් ට ද මීට එකතු කරන්නට දෙයක් නොතිබුණු බැවිනි.

මොහොතක් තම හිස දෑතේ රුවාගෙන කල්පනා කළ වංශරත්න හිස ඔසවා රයන් දෙස බැලුවේ ය.

“රයන්, තමුසේ මේක හොයාගන්න මුල් වුණා නේ. හොයාගත්ත දේවල් වල සමරි රිපෝට් එකක් දෙනවා ටීම් එකට.”

රයන් නැගී සිටියේ තරමක් චකිතයෙනි. මාධ්‍ය ක්ෂේත්‍රයට ආධුනිකයෙකු වූ ඔහු තවමත් මෙහි සේවයට පැමිණ ගෙවී තිබුණේ වසර කීපයකි. ගුවන් විදුලි නාලිකාවේ ඉහළම තලයේ කළමණාකරුවන් රැස් ව සිටි මේ රැස්වීමට ඔහු තල්ලු වී ආවේ ජයවික්‍රම ඔහුවත් මේ ගැටලුවට පටලවා ගත් නිසා ය.

“මේ පහුගිය දවස් දහය ඇතුළත විනාඩි දාහතක මුළු එකතුවක බ්‍රෝඩ්කාස්ට් ලොස් එකක් අපි හොයාගෙන තියෙනවා. මේ හැම එකක්ම තත්පර හැටත් සීයත් අතර ප්‍රමාණයක්. මේවා හැම වර්ගයකම වැඩසටහන් අතරේදී වෙලා තියෙනවා- ඒ කියන්නේ ළමා වැඩසටහන්, ආගමික වැඩසටහන්, විද්වත් සකච්ඡා වගේ ඒවා. මෙතැනදී වෙන්නේ අපේ පැත්තෙන් බ්‍රෝඩ්කාස්ට් එක යද්දී අසන්නාගේ පැත්තෙන් විනාඩියක වගේ නිශ්ශබ්දතාවයක් සිද්ධ වෙන එක. මේ ගැටලුව හොයාගන්න වැඩියත්ම අමාරු වුණේ අපේ පැත්තෙන් වෙනසක් නොවුණු නිසා යි.” රයන් තමන්ගේ සටහනින් දෑස ඔසවා මේසය වටා රැස් ව සිටි පිරිස දෙස බැලුවේ ය. ඒ සෑම මුහුනකම වූයේ බැරෑරුම් පෙනුමකි.

වංශරත්න ද සිය අසුනෙන් නැගිට කාමරය සිසාරා තම දෑස යැව්වේය.

“හරි දැන් වෙලා තියෙන දේ හැමෝම දන්නවනේ. ඒ නිසා වෙන්න බැහැ කිය කිය මෝඩ තර්ක ගේන්න ලැස්ති වෙන්න එපා. මේ හැම කෙනෙක්ම- හැම කෙනෙක්ම අනෙත් හැම වැඩේම නවත්තලා මේකට හේතුවක් හොයන්න ඕන මේ දැන්ම! ස්පෙෂලි යූ!” ඔහු දබර ඇඟිල්ල උරුක් කළේ ලතීෆ් වෙතට ය.

“මේ ගැන අනෙත් රේඩියෝ චැනල් දැනගත්තොත් නිකම් දිවි නහ ගත්තා වගේ තමයි! ඒ නිසා පිටට ලීක් වෙන්න කලින් වහාම මේක හරිගස්සාගන්න ඕන. කවුරුහරි මේ ගැන පිටට එක හුස්මක් පිඹලා තිබ්බොත්, මම නරක මිනිහා කියන්න එපා. එච්චරයි. ” එක දිගට කියූ ඔහු නැවතත් අසුනට කඩා වැටුණේ පරාජිතයෙකු ලෙසිනි.

----------------------------------------------------
31TX93 ග්‍රහලෝකය- ප්‍රධාන දත්ත රැස් කිරීමේ මධ්‍යස්ථානය

“මේ වතාවේ පෘතුවියෙන් දත්ත විශාල ප්‍රමාණයක් හොයාගන්න පාර පෙන්නුව J13 ඇතුළු කණ්ඩායමට මේ සම්බන්ධයෙන් උසස් වීමක් ලැබෙන බව මම දැනුම්දෙන්න සතුටුයි. ඇත්තටම ගුවන් විදුලි නාලිකාවක් පාවිච්චි කරලා අසන්නන් ගේ සිතිවිලි ඇතුළට යනවා කියන එක මීට කළින් කවදාවත් අපට කරගන්න බැරිවුණු දෙයක්. මේ වෙද්දී අපට මනුෂ්‍යයින් ගේ සිතිවිලි රටා ගැන බොහොම වැදගත් දත්ත එකතුකරන්න අවස්තාව ලැබිලා තියෙනවා. මේ සිතිවිලි දත්ත කථනය බවට හරවා ගැනීමට ඉදිරියේදී කරන පර්යේෂණ වලට බොහොම ප්‍රයෝජනවත් වෙයි”

කණ්ඩායමේ නායක S215 මේ විස්තර සහිත තම සන්නිවේදන පුවරුව රැස් ව සිටි කණ්ඩායම වෙත පෑවේ ය. පැසසුම් ලබමින් සිටි J13 ගේ සන්නිවේදන පුවරුව අභිමානයෙන් මෝස්‌තර වැටෙමින් තිබිණි.

“ඒත්..” රැස් ව සිටි කණ්ඩායමේ කෙනෙක් තම පුවරුව එසවූයේ ප්‍රශ්නයක් ඇති බව පෙන්වමිනි.

“අසන්නන්ගේ රේඩියෝ තරංග නවත්තන්නේ නැතිව අපිට මනුෂ්‍ය සිතිවිලි වලට පිවිසෙන්න බැරි ද? එහෙම පුළුවන් වුණා නම් අපිට මේ කුඩා කාල ඛණ්ඩ වෙනුවට ලොකු ඛණ්ඩ හරහා එකතු කරගත්ත සිතුවිලි පාවිච්චි කරන්න පුළුවන් නේද? මොකද රේඩියෝවෙන් අහන දේ ට බාධා වුනාම එයාලගේ සිතිවිලි හරි ඉක්මණින් නොසන්සුන් වර්ගයේ ඒවා වෙනවානේ.”

S215 ගේ සිතුවිලි පුවරුව නොරිස්සුම් නිල් එළියකින් දිලෙන්නට විය.

“එහෙම කරන්න පුළුවන් නම් අපි නොකර ඉන්නේ නැති බව ඔබ දන්නවානේ. මෙහෙම හරි ඒ ගුවන් විදුලි නාලිකාව ඇතුළට පිවිසෙන්න ඒ පරිගණක පද්ධතියේ වෛරසයක් පාවිච්චි කරන්නට සිද්ධ වුණු බව ඔබට මතක ඇති. ගුවන් විදුලි තරංග ගැනම අපි මේ තරම් වෙහෙසෙන්නේ ඒවා පාවිච්චි කරලා මනුෂ්‍යන්ගේ ශ්‍රවන ඉන්ද්‍රියන් හරහා බොහොම පහසුවෙන් මනසට පිවිසෙන්න පුළුවන් නිසා යි. හැබැයි ඔබ කීව එක දෙයක් ඇත්ත. විකාශය ට බාධා වුණු විට මනුෂ්‍යයින්ගෙන් බොහෝ වෙලාවට ලැබෙන්නේ එකම නොරිස්සුම් සිතිවිලි තරංග. එකම සිතිවිලි ලබාගෙන අපේ මේ අධ්‍යයනය අර්ථවත් විදිහට කරන්න බැහැ. හැබැයි දැනට අපට පුළුවන්කම තියෙනවා විකාශන බාධාව සිදුවෙන්න විනාඩි කිහිපයකට කලින් කාල පරාසයක තිබුණු සිතුවිලි ඛණ්ඩයත් ග්‍රහණය කරගන්න. ඒකත් එක්තරා ජයග්‍රහණයක්. කොහොම වෙතත් මම මේ රැස් වෙලා ඉන්න කණ්ඩායමට යෝජනා කරනවා රේඩියෝ තරංග මාලා බාධාවක් රහිත ව ගලා යද්දීම අසන්නන්ගේ සිතිවිලි එක්රැස් කරන්න පුළුවන් විදිහට මේ සොයාගැනීම වැඩි දියුණු කරන විදිහට.”

රැස් ව සිටි සැම දෙනාගේම සන්නිවේදන පුවරු දිලිසෙන්නට වූයේ එම යෝජනාව පිළිගත් බවත්, ඒ ගැන දැනුණු උද්යෝගයත් සනිටුහන් කරමිනි.

-----------------------------------------------------
ජයහඬ ගුවන් විදුලි නාලිකාව- රයන් මේදිස් ගේ කාර්යාලය

රයන් පරිගණක තිරය දෙස බලා සිටියේ ඇසි පිය නොහෙලා ය. සාමාන්‍යධිකාරී වංශරත්න මේ විකාශන ගැටලුව සොයාගන්නැයි රැස්වීමේදී අණ කළේ මීට දින දෙකකට පෙර යි. මේ දක්වා ශබ්ද ඉංජිනේරු කණ්ඩායම නම් කිසිම සොයාගැනීමක් කර නැති බව ඔහු ස්ථිරව ම දැන සිටියේ එවැනි සුබ ආරංචියක් ඔහුට සන්නිවේදනය නොවුණු බැවිනි. මේ ගැටලුව ගැන සිතේ තෙරපුණු නොසන්සුන්කම නිසාම මේ ගැන තමන් ද තතු සෙවිය යුතු යැයි ඔහුට සිතුණි.

ගුවන් විදුලි විකාශය කඩ වූ හැම අවස්ථාවකම තරංගවල දර්ශන නියැදි රයන් අපහසුවකින් තොර ව ලබා ගත්තේ ය. මේවායේ මුලින් නම් ඔහු කිසිදු අසාමාන්‍ය තත්ත්වයක් දුටුවේ නැත. නමුත් රයන් මේ නොසන්සුන් වී සිටින්නේ පරීක්ෂාවෙන් බලද්දී දුටු අසාමාන්‍ය දසුනක් නිසා ය. විකාශය බිඳ වැටෙන හැම අවස්ථාවක ම ඒ හිඩැසට යටින් ඊට සමාන්තරව දිවෙන කළු පැල්ලමක් වැනි යමක් මේ දර්ශන වල ඇති බව හොඳින් බලද්දී ඔහු දුටුවේ ය. පියවි ඇසට පෙනෙන නොපෙනෙන මට්ටමක වූ මෙය කුමක් විය හැකි ද? එය නොසැලකිය යුතු දෙයක් ද? තමන් දකින මේ දසුන ම ගුවන් විදුලි නාලිකාවේ පළපුරුදු ශබ්ද ඉංජිනේරුවන් දැක නොමැති ද? රයන් ගේ සිත ප්‍රශ්න රැසකින් ව්‍යාකූල විය.

තම කැළඹුණු සිත සන්සුන් කරගැනීමට රයන් මොහොතක් දෑස වසා ගත්තේ ය. තමන්ට අදාළ ම නැති ආයතනික ගැටලුවකට පටලැවී සිටි ඔහු මේ ක්ෂේත්‍රෙය් ප්‍රවීණයෙක් නොවේ. එබැවින් මේ දුටු දේ ගැන ඉහළට කියන්නට යාම තවත් ව්‍යසනයක මුල වන්නට නොහැකි ද? මේ ගැන කිව යුත්තේ ජයවික්‍රමට බව ඔහුට එක් වර සිතුණි. ඔව්! මේ ගැටලුව පළමුවෙන් ම සොයා ගත්තේ ජයවික්‍රම නිසා මේ අමුතු නිරීක්ෂණය ගැන කිව යුත්තේ ද ඔහුට ය.

එහෙත් තම කුටිය වෙත ආ ජයවික්‍රම දෑස කුඩා කර පරිගණක තිරය වෙත එබී බලා කී දේ රයන් කිසිසේත් අපේක්ෂා කළේ නැත.

“කෝ රයන්? මට නම් එහෙම වෙනසක් පේන්නේ නැහැ, කොහොමත් කළුවට පේන බැක්ග්‍රවුන්ඩ් එකේ මොකක්ද ඔයා කියන මේ පැච් එක?”

“ඇයි මිස්ට ජයවික්‍රම, මේ බ්‍රෝඩ්කාස්ට් ලොස් එක පටන්ගනිද්දී ඒ ගැප් එකේ මේ කළු පැල්ලමක් වගේ එකක් තියෙන්නේ.”

රයන් කීවේ තමන් ට දෘෂ්ඨි මායා පෙනේදැයි සැකයෙනි.

“හරි එහෙම එකක් තියෙනවා කියමු, මොකක්ද ඒකට හේතුව? කොහොමද ඒක නතර කරන්නේ?” ජයවික්‍රම නොඉවසිල්ලෙන් ඇසී ය.

“හේතුව නම් දන්නේ නැහැ මිස්ට ජයවික්‍රම, මම කිව්වේ මෙහෙම ඔබ්ස්ට්‍රක්ෂන් එකක් අපිට හරියටම අඳුනාගන්න පුළුවන් නම්… සවුන්ඩ් ඩිපාට්මන්ට් එකට කියලා…”

නමුත් රයන් ට එම වැකිය අවසන් කරන්නට ජයවික්‍රම ඉඩ දුන්නේ නැත.

“රයන් හිතනවද මේ සවුන්ඩ් එන්ජිනියර්ස්ලාටත් හොයාගන්න බැරිවුණු දේවල් අපිට පෙනෙයි කියලා? අනික අපි මෙහෙම දෙයක් කිව්වොත් එයාලා පිළිගනී ද?” ඔහු සිනාසෙමින් කීවත් ඒ සිනාවේ සමච්චලයක් ගැබ් ව ඇතැයි රයන් ට සිතුණි.

තමන් සොයාගත් දේ ගැන මෙතෙක් දැනුණු යම් තරමක විශ්වාසය හා ගැටෙමින් ජයවික්‍රම පවසන දේහි සත්‍යයක් ඇතැයි යන හැඟීම බලවත් වූ බැවින් රයන්ට දැනුණේ තම හිස අවුල් වූ බවකි.

“පුතා, අපි දෙන්නා මුලදී ඉහළට මේ ගැටලුව ඉන්ෆෝම් කළා ට හරි නම් සවුන්ඩ් ඩිපාට්මන්ට් එක තමයි මේවා හොයාගන්නයි පිළියම් යොදන්නයි ඕන. දැන්වත් අපි අපිට අදාළ නැති දේවල් වලට අත නොදා ඔන්න ඔහේ අපේ රස්සාවල් බේරාගෙන ඉමු.” රයන් ගේ පිටට තට්ටු කරමින් ජයවික්‍රම අසුනෙන් නැගී සිටියේ ය.

හිස දෑතේ රුවාගෙන කල්පනාවේ නිමග්න ව සිටි රයන් හදිසියේම හිස ඔසවා “ඇත්තටම මිස්ට ජයවික්‍රම කොහොමද මේක මුලදී හොයාගත්තේ?” ඇසූ නමුත් ඒ වෙද්දී ජයවික්‍රම කුටියෙන් පිටව ගොස් තිබිණි.

-----------------------------------
31TX93 ග්‍රහලෝකය- ප්‍රධාන දත්ත රැස් කිරීමේ මධ්‍යස්ථානය

නව ප්‍රවේශයන් අත්හදා බලන කණ්ඩායම යම් ගැටළුවකට මුහුණ දී ඇති බව S215 ඈත තියාම හඳුනා ගත්තේ ඔවුන්ගේ සන්නිවේදන පුවරු වල දැල්වුණු තැඹිලි පැහැති එළි වලිනි. නොසන්සුන් බවේ රටා ඒ හැම පුවරුවකම ඇඳෙමින් මැකෙමින් තිබිණි.

“විකාශන බාධාව කරන අපේ තරංග පෘතුවියෙන් කිරීක්ෂණය කරලා!” කණ්ඩායම් නායක J13 විමසීමකින් තොරව ම පැහැදිලි කළේ තවත් විස්තර අනවශ්‍යයි යන ස්වරයෙනි.

“ඔව් ඒක වෙන්න නියමිතව තිබුණා… ඒගොල්ලෝ විකාශන හිඩැස් ගැන හොයාගන්නේ නැතිව ඉන්න විදිහක් නැහැනේ.” මේ ආරංචියෙන් S 215 ගේ සන්නිවේදන පුවරුවේ වැඩි කලබලයක් පෙන්නුම් වුණේ නැත.

“එයාලා අපේ තරංග හොයාගන්න එක නෙමෙයි ගැටලුව, ඒවායින් මොකද කෙරෙන්නේ කියලා හොයාගන්න එක. අපේ දත්ත අනුව ඒ තරම් නිගමන දියුණුවක් පෘතුවි වැසියන්ගෙන් අපේක්ෂා වෙන්නේ නැහැ” සැහැල්ලුවෙන් මේසේ සටහන් කළ S215 ඉනික්බිති කණ්ඩායම දෙසට හැරුණේ ය.

“අපි විකාශන බාධාවක් නැතිවම මනුෂ්‍ය සිතුවිලි අස්වැද්දීම කියන අරමුණට ඉක්මණින් ම යන්න ඕන මේ නිසා යි.. ඒ ගැන දැනටමත් පර්යේෂණ කෙරෙන බව මම දන්නවා. තවත් ඒ ගැන මහන්සි වෙන්න දැන් කාලය හරි”

තම සන්නිවේදන පුවරුවේ එසේ සටහන් කළ S215 ආපිට හැරී යන්නට ගියේ ය.

----------------------------
ජයහඬ ගුවන් විදුලි නාලිකාව

තමන් සොයාගත් අද්භූත තරංග පෙළ මේ විකාශ හිඩැස් ගැටලුවට යම් හෝ සම්බන්ධයක් ඇති බව සිතෙන් අත් හැරීම රයන් ට දුෂ්කර විය. ඔහු නිරතුරුව තමන්ගේ අනෙත් රාජකාරි අතපසු වන තරමට තරංග දර්ශනයේ දිස් වන මේ කළු පැහැති තීරුව දෙස බලමින් පසු වූයේ එබැවිනි.

විකාශ හිඩැස් නොමැතිව පැය විසිහතරක් ගතවූ බවට සුභ ආරංචිය ලැබුණේ ඒ ගැටලුව ගැන සොයාගෙන දින දහ හතක් ගතවූ තැනදී ය. මේ වතාවේදීත් පැවැත්වුණු හදිසි රහස්‍ය කළමනාකරණ රැස්වීමට රයන් ද සහභාගී වූ අතර ප්‍රධාන ශබ්ද ඉංජිනේරු ලතීෆ් විසින් මෙම ප්‍රකාශය කණ්ඩායම වෙත ඉදිරිපත් කරන ලද්දේ උද්දාමයෙනි. නමුත් ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිසාගේ උපමාව සිහි ගන්වමින් සාමාන්‍යධිකාරී වංශරත්න ගැටලුව විසඳුනු බව එක්වරම පිළිගන්නට සූදානම් වූයේ නැත. තවත් දින තුනක් දවස පුරාම විකාශ තරංග නිරීක්ෂණය කිරීමට අණ කළ ඔහු තෙදිනකට පසු නැවතත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ලතීෆ් ට අණ කළේ ය.

---------------------------------
ජයහඬ ගුවන් විදුලි නාලිකාව- ශබ්ද පාලක මැදිරිය

“අදත් ඔක්කොම ඩේටා ඕකේ නේද ප්‍රියංකර?” ප්‍රධාන ශබ්ද ඉංජිනේරු ලතීෆ් හඬ පාලන මැදිරියට පිවිසෙමින් විමසුවේ ය. ඔහුගෙන් දිස් වූයේ දවස් ගණනකින් නිදි නොලැබූවකු ගේ තෙහෙට්ටු පෙනුමකි.

“ඔව් සර්. මුකුත් ගැප්ස් නැතිව යන තුන් වෙනි දවස” ප්‍රියංකර තම උපැස් යුවල ගලවා දෑස පිසිමින් පිළිතුරු දුන්නේ ය. ඔහු ද දින දෙකක් ම තම නිවෙස බලා ගොස් තිබුණේ නැත. “හැබෑටම සර් මොකක්ද ඒ වෙන්න ඇත්තේ? දැන් මේ ප්‍රශ්නේ හරි ගියේත් අපි මුකුත් කරලා නෙමෙයි නේ.”

මෙය අසා ලතීෆ් හිස ගස්සා ඔහු දෙස බැලී ය.

“මුකුත් කළේ නැහැ? තමුසේ ඕක එහෙම ආයෙත් කොහේවත් කියනවා නෙමෙයි! මම එදා මීටිමට ගිහින් ලොක්කාට කිව්වේ අපි ඒ ප්‍රශ්නේ අයිසොලේට් කරලා විසඳුවා කියලා. දැන් තුන් දවසකට පස්සේත් අවුලක් නැති නම් කාටවත් ප්‍රශ්නයක් නැහැනේ ඒක විසඳුණේ කොහොමද කියලා!”

“ඔව් ඒක හරි සර්, ඒත් මං කියන්නේ ඇත්තටම මොකක් වෙන්න ඇතිද?” ප්‍රියංකර නැවත ඇසුවේ ය.

“කවුද හලෝ දන්නේ? ඇති ඔයින් ගියා කියලා තමයි කියන්න තියෙන්නේ. තව ටිකෙන් තමුසෙයි මායි දෙන්නම ගෙදර!” ලතීෆ් හඬ නඟා සිනාසෙමින් කීවේ ය.

-------------------------------------------
ජයහඬ ගුවන් විදුලි නාලිකාව- රයන් මේදිස් ගේ කාර්යාලය

විකාශ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳුණු බව දැනුම්දෙන රැස්වීමෙන් පිටතට පැමිණි පසුත් තමන් ට අපේක්ෂිත තරම් සැනසිල්ලක් නොදැනෙන්නේ ඇයිදැයි රයන් කල්පනා කළේ ය. ගුවන් විදුලි නාලිකාවම බංකොලොත් වීමට මඟ පාදන වර්ගයේ විශාල විනාශයක් මඟ හැරුණු බව සත්‍යයකි. නමුත් කොතැනක හෝ යමක් අතපසු වූ බවට තම සිත යට කැවෙන සිතිවිල්ල මඟ හැර ගැනීමට ඔහු අපොහොසත් විය.

සුබ ආරංචිය දැනුම් දුන් පසු ද රයන් තව දුරටත් රේඩියෝ විකාශ තරංග නිරීක්ෂණය කිරීමේ යෙදුණේ පුරුද්දට මෙනි. සුපුරුදු ලෙස රේඩියෝ නාලිකාවේ තරංග බාධා රහිතව නොකඩවා ඇදී යන අයුරු ඔහු බලා සිටියේ ය.

මෙසේ බලා සිටිද්දී හදිසියේ තිරය මත ඇස ගැටුණු අසාමාන්‍ය යමක් රයන් තුළ කැළඹුමක් ඇති කරන්නට සමත් විය. දෑස පිසදැමූ ඔහු පරිගණක තිරය දෙස හොඳින් බැලුවේ ය. කලින් විකාශය බාධා කළ වර්ගයේම කළු පැල්ලමක් මෙවර රේඩියෝ තරංගවල හැඩයම ගෙන ඊට ඈඳී ඊට යටින් ගමන් කරන බවක් ඔහුට පෙනුණි. රයන් කීප වතාවක් දෑස වසා, නැවතත් විවර කර මේ දෙස බැලුවේ ය. ජයවික්‍රම සමඟ පෙර වූ කතාබහ සිහි කළ ඔහු, මෙය නැවතත් වෙනත් කිසිවෙකුට කීවත් ගණන් නොගන්නා බව සිතුවේ ය. විශේෂයෙන්ම පවතී ගැටලුව විසඳුණු පසු කිසිවෙකු වත් මෙවැනි දේ ට අවධානය යොමු නොකරනු ඇත. වෙන අයට නොපෙනෙන මෙවැනි දෑ තමන්ට පෙනෙන්නේ යම් උමතු බවක් නිසාදැයි රයන් ට සිතෙන්නට විය. ටික වෙලාවක් මේ ගැන දිගින් දිගටම කල්පනා කළ ඔහු අවසන් වතාවට ඒ අසාමාන්‍ය තරංග රටාව දෙස බලා, දිගු සුසුමක් හෙළා නිරීක්ෂණ පරිගණක තිරය නිවා දැමුවේය.

-------------------------------------
31TX93 ග්‍රහලෝකය- ප්‍රධාන දත්ත රැස් කිරීමේ මධ්‍යස්ථානය

මධ්‍යස්ථානය තුළ රැස් වූවන්ගේ සන්නිවේදන පුවරු විචිත්‍ර වර්ණයෙන් දිලිසෙමින් තිබුණි. ඔවුන් මේ සමරමින් සිටියේ ගුවන්විදුලි තරංග වලට බාධා නොකරමින්ම පෘතුවියේ වෙසෙන අසන්නන්ගේ සිතිවිලි අස්වද්දා ගන්නට J13 ඇතුළු කණ්ඩායම සමත් වී තිබීමේ දිනුමයි. මෙවැනි ජයග්‍රහණයක් ලැබීම තවත් බොහෝ සොයාගැනීම් සහ ආක්‍රමණ වලට මඟ පාදන බව ඔවුහු පැහැදිලි ව දැන සිටියහ

උද්දාමයෙන් පිරුණු තවත් දවසක් එසේ නිමා විය.


-හෙල්මලී ගුණතිලක

Picture- Pexels