May 30, 2022

නරි - Art

මම නරින්ට කැමති බව මං ගැන දන්නා අය දන්නවා. ඒ කැමැත්තට කිසිම පැහැදිලි හේතුවක් නැහැ. අඩුම ගානේ මම නරියෙක්ව පණ පිටින් ඇත්තට දැකලාවත් නැහැ. ඇත්තට දැක්කා නම් ඒ freeway එක අයිනේ මැරිලා ඉන්නවා තමයි. මම ඉන්න ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තේ නරි priority pest ලා හැටියට සලකන්නේ. ඒත් ඉතින් උන්ට මගේ තියෙන මනාපෙට ඒකෙන් බාධාවක් නැහැ.

නරින්ව මම කීපසැරයක් චිත්‍ර ඇඳලා තියෙනවා. pinterest එකේ fox - art කියලා වෙනමම චිත්‍ර තියෙන බව මම හොයාගත්තේ අහම්බෙන්. දැන් මගේ චිත්‍රවලට නිමිති ලැබෙන්නේ එතැනින්. මේ මගේ නරි- Art 





sketches- pencil, pen and coloured pencils


May 24, 2022

ඉදිරිපස නිවස


Translation of the short story ‘House Opposite’ by R K Narayan




කවුළුවෙන් පිටතට නෙත් යොමු කළ තාපසයා ඉබේම වෙව්ලා ගියේය. මාර්ගයෙන් අනෙත්පස නිවසේ වාසය කළේ කිසිම ලැජ්ජාවක් නැති කාන්තාවකි. හැම දිනකම සවස් වෙද්දී විවිධ පිරිමින් පැමිණ ඇගේ දොරට ගසනු දකිනු හැකි විය. නිවාඩු හෝ උත්සව දිනවල දවල් වරුවේ පටන් මෙය සිදුවේ. ඇතැම්විට ඔවුන් ඒ නිවසේ පිල මත ලැගගෙන දුම් බොමින්, දුම්කොළ සපා කාණුවට කෙළ ගසමින් කාලය ගත කළහ. තාපසයාට සිතුණේ ඔවුන් මේ ලොව ඇති සියලුම පව් සිදු කරමින් සිටින බවයි. ඔහු නම් පවුල් වීමෙන් වැළකී, ලෞකික සැප සම්පතින් ඈත් වී අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නට උත්සාහ දරමින් සිටි අයෙකි. ගෙවත්තේ පොල් ගස් දෙකක් සහ ළිඳක් පමණක් සහිත තනි කාමරයකින් යුක්ත වූ මේ නිවස ඔහුට ප්‍රමාණවත් බව ඔහුට හැඟිණි. ඒ නිවස ඉදිරිපස පටු මඟ නිරතුරුව ළමුන්ගෙන් පිරී තිබිණි. ඇතැම් විට තාපසයා ඔවුන්ව කැඳවා, බිම හිඳුවා කුඩා ආදර්ශමත් කතා හා ශුද්ධ වූ පාඨ කියා දුන්නේය. පැරණි දින දර්ශන වලින් කපාගත් දෙවියන්ගේ පින්තූර කිහිපයක් ඔහු බිත්තියේ ගසා තිබුණු අතර දරුවන්ට රස කැවිල්ලක් දී පිටත් කරන්නට පෙර ඒ පින්තූර වෙත වඳින්නට ඔහු ඔවුන්ට අණ කළේය.

ඔහුගේ එදිනෙදා දිනචර්යාව එකම රටාවකට සිදුවිය. ඔහු පක්ෂියෙක් සේ හවස් වෙද්දීම නින්දට යන්නේ නිරුවත් පොළොවේ වැතිරී කොට්ටයක් වෙනුවට ලී කොටයක් හිසට තබා ගෙනය. පටු මඟ කෙළවරේ නිවසේ සිටි සැවුලා අවදි වන්නටත් පෙර පාන්දර හතරට ඔහු පිබිදෙයි. ඉනික්බිති ඔහු ළිඳෙන් නා මුව හමක් මත හිඳ භාවනා කරයි. තරමක් කාලය ගත වූ පසු ඔහු උදුන දල්වා උදෑසන සහ දිවා ආහාරය වෙනුවෙන් චපාති කීපයක් සකසාගනී. ඔහු පිසුවේ තෝරාගත් එළවලු කිහිපයක් වූ අතර අල, ළූනු, බණ්ඩක්කා වැනි දෑ ඔහු මඟ හැරියේ ඒවා මඟින් මිනිස් සිරුරේ නීච ආවේග උත්තේජනය වන බැවිනි.

නමුත් භාවනාවේ ගැඹුරුම පතුලේ සිටිද්දී පවා ඔහුට ඉදිරිපස නිවසේ සිට, සල්ලාලකමින් යුතු රාත්‍රියක් ගෙවා ගනුදෙනුකරුවෙක් පිටවෙද්දී එහි දොරින් නැඟෙන කිරි කිරිය නොඅසා සිටිනු නොහැකි විය. එය වළක්වා ගැනීමට ඔහු තවතවත් දැඩි ලෙස දිව ඉල්ලන රසයන් වළකමින් විවිධ ක්‍රම වලින් සිරුරට දඬුවම් දෙන්නට විය. එසේ කරනුයේ ඇයිදැයි ඔබ ඔහුගෙන් ඇසුවා නම් ඔහුට ඊට පිළිතුරක් නොතිබෙනු ඇත. අපගේ මේ තාපසයා කැඩපත ඉදිරියේ තම මස් පිඬු ඉල්පන, පපුව පුම්බන ක්‍රීඩකයෙක්ගේ විරුද්ධාර්ථය විය. ඒ වෙනුවට ඔහු තම කෘශ බව ගැන සුපරීක්ෂාකාරී වූ අතර ඒ තත්ත්වයට එළඹීමේ ජයග්‍රහණය පිළිබඳව අමුතු සතුටක් ලැබුවේය. ඔහු තමන්ගේ ඉපැරණි ගුරුවරයන්ගේ උපදෙස් ප්‍රශ්න නොනඟාම පිළිපදිමින් සිටි අතර එමඟින් නිර්වාණය කෙරෙහි ළඟා වීමට අපේක්ෂා කළේය.

එක හවස් වරුවක ඔහු ජනෙල් පඩියේ රැඳී තිබුණු දැලි කුණු පිස දැමීමට ජනේලය විවර කළ විට ඇය තම නිවස ඉදිරිපස පඩිය මතට වී පාර දෙස නෙත් යොමා සිටිනු ඇස ගැටිණි. ඒ මොහොතේ වේගවත් වූ ලේ ගමනය නිසා ඔහුගේ නළල පුපරු ගසන්නට විය. ඔහු ඇය දෙස උවමනාවෙන් බැලුවේය. ඇයට වාත්තු කළා වැනි මුහුණක් තිබුණත් මේද තට්ටු යට එය ගිලී තිබිණි. එහෙත් ඇයගේ සිරුරේ සරාගී හැඩයක් දක්නට විය. ඇගේ පිරුණු බාහු කොට්ට සේ දිස් වූ අතර සමහර විට ඒවාට මැදි වී සිටීම පිරිමින්ට ආකර්ෂණීය වූවා විය හැක. තමන්ගේ ගුරුවරයාගේ ඉගැන්වීම් අනුවත්, යෝග ශාස්ත්‍රය අනුවත් තමන්ගේ බැල්ම තම නාසයේ තුඩ වෙත නැංගුරම් ලා තබා ගත යුතු වූවත් ඇගේ සිරුර වටා කැරකෙන්නට වූ ඔහුගේ බැල්ම නම් නැවතත් කැඳවා ගැනීමට ඔහු අපොහොසත් විය

'ඇගේ උකුල බෙහෙවින්ම පුළුල්ය, ඇගේ දෙකලවා කෙසෙල් කඳන් වැනිය. සමස්තයක් ලෙස ගත් කළ මෙට්ටයක් වැනි සුවපහසු සිරුරක් ඇති නිසා ගණුදෙනුකරුවන්ට ඇඟේ නූල් පොටක් රහිතව රැය පුරා ඒ මෙට්ටයේ සුව විඳින්නට හැකිය' - මෙසේ සිතෙද්දීම -'මේ නපුරු රාක්ෂයෙක්, මගේ ඉදිරියේ පේන්නේ අකුසලයේ මුහුණුවර,' ඔහු ඒ සිතිවිලි මැඩලමින් මහත් කෝපයෙන් සිතුවේය. පාරේ අනෙත් පස සිටගෙන සිටින මේ හැතිරිය නිසා තමන්ගේ ධ්‍යානය බිඳෙන අයුරුත් තමන් ඉතා දුෂ්කර ලෙස එක්රැස් කරගත් සියලු කුසල් පෙනේරයකට වැටුණු දිය සේ ගිලිහී යන බවත් ඔහුට වැටහිණි.

'පිරිමින් වහ වැටී විනාශ වූයේ ඒ සුවිශාල බාහු යුවල නිසාද, පියයුරු හෝ දෙකලවා නිසාද' ... 'ඔතැන නොඉඳ ගෙට වරෙන් බූරුවෝ!' ඔහු තමාටම රහසින් බැණ වැදුණේය. හදිසියේම ඇය අනෙත් පස හැරී නිවසට වැදී දොර වසා ගත්තාය. ඔහුගේ සිතිවිල්ලත් ඇගේ ක්‍රියාවත් සමපාත වූයේ අහඹු ලෙස වූවත් ඔහුට ජයග්‍රාහී බවක් දැනුණි. ඔහු ජනේලය තදින් අගුලු ලා කුටියේ ඈතම කෙළවරට වැදී භාවනාව සඳහා මුව හම මත හිඳ ගත්තේය. "ඕම් ඕම් රාමා, ජයරාමා" ඔහු නොනවත්වා ගයන්නට විය. "රාමා" යන වදනම මහත් සේ බලගතු එකක් සේ සැලකුණු අතර විසිර යන සිතුවිලි නතු කරගන්නත් අවධානය නොවෙනස්ව තබා ගන්නත් එහි හැකියාව ප්‍රසිද්ධිව තිබිණි. මේ ස්ත්‍රෝත ගැනත් ඒවායේ සාර්ථක භාවයන් ගැනත් ඔහුට මනා අවබෝධයක් විය. "ශ්‍රී රාමා..." ඔහු නැවත නැවතත් කී නමුත් එය දරුණු උණකට දියාරු බෙහෙතක් පානය කළා සේ නිෂ්පල විය. "ශ්‍රී රාමා ජයරාමා..." ඔහු බලාපොරොත්තු සුන් වූ හඬින් වේගයෙන් කියන්නට වූ නමුත් එහි බලය තත්ත්පරයක් වත් රැඳී තිබුණේ නැත. ඔහුගේ සිතිවිලි වෙනතක යොමු වෙද්දී සිතේ ප්‍රශ්න රැසක් මතු විය. "ඊයේ මම පොළට යද්දී ඒ ගෙදර පඩිපෙළ බැස්ස හාදයා කවුද.. අර කොටු කමිසයක් ඇඳලා, සේද සාළුවක් දාලා හිටියේ? මම මිනිහාව කෙහේදී හරි දැකලා තියෙනවා... කොහෙද? කවද්ද? ආ.. ඒ අර පොළ පාරේ ඉන්න ප්‍රසිද්ධ ඇඳුම් මහන්නානේ! විලාසිතාවට කැමති ගෑනු මිනිස්සු නිතර එයා වටේ රොක් වෙලා ඉන්නේ. එයා එක එක සංගම් කීපෙකම සාමාජිකත්වය තියෙන අතිදක්ෂ මැහුම් කාරයෙක්, එයා ආශ්‍රය කරන්නේ උසස් නිලධාරීනුයි ව්‍යාපාරිකයෝයි. එහෙනම් මෙහෙමයි එයා එයාගේ හවස්වරු ගෙවන්නේ, මිනිස් මෙට්ටයක් උඩ සුව පහසුව වැතිරෙමින්! ඒත් ප්‍රසිද්ධ මිනිස්සු තාමත් ඉඩ දෙනවා ඒ මැහුම්කාරයාට තමන්ගේ මිනුම් පටියෙන් එයාලාගේ ශරීර ස්පර්ශ කරන්න! අපවිත්‍රවීම... හැමතැනම තියෙන්නේ අපවිත්‍රවීම විතරයි, පව්කාර ජීවිත."

ඔහු තනිකමින් පිරුණු කාමරයේ සිට 'රාමා, රාමා!' යැයි කෑ ගැසුවේ බිහිරි අයෙකුට හඬගසන්නාක් මෙනි. මඳ වේලාවකින් මෙය නිෂ්පල ක්‍රියාවක් බව ඔහුට වැටහිණි. රාමා පරිපූර්ණ ආත්මයක් වූවත් ඔහුගේ සාමාන්‍ය මෘදු තැන්පත් ගති බලපැවැත්වුණේ යමෙක් සීමාන්තිකව ඔහුව අවුස්සවන තෙක් පමණි. එවැන්නක් සිදුවුවහොත් ඒ වරදකරු රාවණා වැනි දුෂ්ඨයෙක් වූවත් රාමා විසින් කෝපයෙන් වියරුව ඔහුව සුන්නද්ධූලි කරන ලදී. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් රාමා ඉවසීම ප්‍රගුණ කළ අයෙක් බැවින් ඔහුගේ නම නොකඩවා මැතිරීම සන්සුන් බවත් සාමයත් ගෙන ඒමට නියමිත විය. නමුත් මේ උදාව ඇත්තේ ඊට වඩා දැඩි ක්‍රියාදාමයක් අවශ්‍ය වේලාවකි. සමහරවිට ශිව දෙවියන්ගේ මන්ත්‍රය මීට උපකාරී වනු ඇත. ශිව දෙවියන් භාවනානුයෝගීව සිටිද්දී ප්‍රේමයේ දෙවියන් විසින් කපටි ලෙස ඔහු වෙත එල්ල කළ හීය දැක තම තෙවෙනි ඇස විවර කර ඒ කරදරකරු ව පුළුස්සා දමා අළු බවට පත් නොකළේ ද? අපගේ තාපසයා ශිව දෙවියන්ගේ කැරළි ගැසුණු හිසකෙස් සහ ගිනි පිටවෙන දෑස සිතින් මවාගෙන "ඕම් නමාසිවයා" ලෙසින් මහා හඬින් කියන්නට විය. ඒ පාලු කාමරය ඔහුගේ මේ බැරෑඬි හඬින් දෝංකාර දුන්නේය. ටික වෙලාවක් ගතවන තුරු දසත විසිරුණු ඔහුගේ අශ්ලීල සිතිවිලි නතුව නැවතුණු නමුත් නැවතත් මඳ වෙලාවකින් ඒවා පෙර ජවයෙන්ම ගැහැණිය පසුපසින් දුවන්නට විය.

'එක් හවස්වරුවකට ඇය අඩුම තරමේ හය වතාවක්වත් තම නිවසේ දොර අරී- ඇය ඔවුන් හැමදෙනා සමඟ එක්වර නිදිවදිනවා විය හැකිද?' මේ සිතිවිල්ල නිසා ඔහුට සිනා පහළ වූ නමුත් ඒ සමඟම අති බලවත් දෙවියන් වෙත භාවනාවෙන් බැඳී තිබුණු සිත ඉන් ගිලිහුණු බව ද ඔහුට වැටහිණි. ඔහු තම දෑත මිට මොළවා නළලට ගසා ගත්තේය. ඉන් යම් රිදුමක් දැනුණු නමුත් ඔහුගේ අවධානය ඉන් වැඩි දියුණු විය. "ඕම් නමාසිවයා" ...එහෙත් ඔහුගේ මනසේ එක් කොටසක ඉදිරිපස නිවසේ දොරේ කිරිකිරිය සටහන් වෙමින් තිබිණි. ඇය, බාල තරුණ මහලු හැම දෙනාමත්, ඇඳුම් මසන්නන් සහ ශිෂ්‍යයනුත් (මීට දවස් කීපයකට පෙර ඇල්බට් මිෂන් නේවාසිකාගාරයේ තරුණ උපාධි ශිෂ්‍යයෙක් ඇයගේ දොර අසල හිඳිනු ඔහු දැක තිබිණි.) නීතිඥයන් සහ විනිසුරුවරුන්ද (ඇයි එහෙම වෙන්න බැරිද?) තම දඟර අතරේ සිරකරමින් ගොදුරු කර, විනාශ කරන සර්පයෙක් බව ඔහුට සිතිණි. ඉතින් හැම කෙනෙක්ම මෙලෙස තම ප්‍රකෘති ආශාවන්ගේ ඉමහත් පීඩනයට නතුව ඇති විට මේ ලෝකයේ ජනගහනය නොනවත්වා වැඩිවීම පුදුමයක් නොවේ! 'අහෝ ශිව දෙවියනි, මේ ගැහැණිය ඉවත් කළ යුතුයි. කවදාක හෝ ඇය අභිමුඛයට ගොස් ඇයට මෙතැනින් පිටව යන ලෙස කිව යුතුයි' යැයි ඔහු සිතුවේය. "විවර කානුවක් සේ ලෙඩ රෝග ද දහ ජරාවද පතුරවමින් සිටින පවුකාර ගැහැණිය, මැදිවියේ මැහුම්කරුවාගේ පටන් උපාධි ශිෂ්‍යයා දක්වා ඔබ පතුරුවා ඇති වසංගතය ගැන සිතන්න. ඔබ තනන්නේ මනුෂ්‍ය වර්ගයාව විනාශ කරන්නටයි. ඔබේ පවු ගැන පශ්චත්තාප වී, හිස බූ ගා, ඔය පුළුල් උකුල ගෝනියකින් වසා දේවාල දොරකඩට ගොස් හිඟා කන්න. නොඑසේ නම් ලබන ආත්මයේ පිරිසිදු උපතක් ප්‍රාර්ථනා කර සාරයු ගඟේ ගිලී මියැදෙන්න.." රැය පුරාම ඔහු මෙලෙසින් ඇය සමඟ මනසින් දෙබස් කී අතර ඇය එක් මොහොතකටවත් ඔහුගේ මනසින් ගිලිහුණේ නැත.

ඒ රාත්‍රිය බොහෝ දුෂ්කර එකක් විය. ඔහු නිරුවත් බිම ඒ මේ අතට පෙරළෙමින් පසු වූවේය. අළුයමටත් පෙර පිබිදෙද්දී ඔහු තීරණයක් ගෙන තිබිණි. ඔහු වහාම මෙතැනින් පිටවී, නල්ලප්පාගේ අරඹ හරහා ගොස් ගඟේ එහා ඉවුර වෙත ළඟා වීමට ඉටා ගත්තේය. ඔහුගේ හිසට ස්ථිර සෙවනක් අවශ්‍ය වූයේ නැත. මඟදී හමුවන ඕනෑම දේවාලයක, අම්බලමක හෝ නුග සෙවනක ඔහුට විවේක ගනු හැක. ඔහුගේ ගුරුවරයාගෙන් උගත් එක්තරා පුරාණ කතාවක් ඔහුගේ සිහියට නැඟිණි. එක්තරා වෛශ්‍යාවක් මරණයෙන් පසු දෙව්ලොවට යැවුණු අතර ඈව විවේචනය කළ ධර්මිෂ්ඨ සමාජ ශෝධකයාව යවා තිබුණේ යම ලොවටයි. වෛශ්‍යාව පව් කළේ තම සිරුරින් පමණක් වූවත් සමාජ ශෝධකයාගේ මනස දූෂණය වී තිබීමත් වෛශ්‍යාව ගැනත් ඇගේ කටයුතු ගැනත් පමණක් සිතීම නිසා තම සිත වෙන කිසිවක් වෙත යොමු නොකිරීමත් මීට හේතුව බව ගුරුවරයා කියා තිබිණි.

අපගේ තාපසයා තමන් සතු වූ දේවල් ස්වල්පය වේවැල් පෙට්ටියකට අසුරා ගත්තේය. එහි තඹයෙන් තැනූ දෙවි රුවක්, නවගුණවැලක්, මුව හම සහ කුඩා පිත්තල පාත්තරයක් විය. මේ පෙට්ටියත් අතින් ගෙන ඔහු නිවසින් පිටතට අඩිය තබා තම පසුපසින් දොර සෙමෙන් වැසුවේය. ඒ අලුයම් හෝරාවේ අවට සැරිසරමින් සිටි අයගේ රූප දිස් වූයේ සෙවනැලි ලෙසයි. කිරිකරුවෙක් තම හරකාව දක්කමින් ඉදිරියෙන් යමින් සිටියේය. කුලීකරුවෝ යකඩ ඉනි සහ උදලු රැගෙන රාජකාරියටත්, කූඩා රැගත් කාන්තාවෝ පොළටත් යමින් සිටියහ. ඔහු එක්වරක් නැවතී තමන් අතහැර යමින් සිටි නවාතැන දෙස බැලුවේය. එවිටම ඉදිරිපස නිවසින් දුක්මුසු හඬක් ඇසුණි

"ස්වාමිජි,"

ඒ නිවසේ කාන්තාව මල් ද පලතුරු ද පිරවූ තැටිල්ලක් ගෙන ඔහු අසලට විත් එය ඔහුගේ දෙපා මුළ තැබුවාය. ඉන්පසු බැතිබර පහත් හඬකින් මෙසේ කීවාය.

"අනේ ස්වාමිජි මගේ මේ පූජාව පිළිගන්න. අද මගේ අම්මාව සිහිකරන්නයි මේක සකස් කළේ. මම ශාන්තුවරයෙක්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා... මට අනුකම්පා කරන්න.."

ඇයට දොස් පැවරීමට ඔහු සූදානම් කරගෙන තිබුණු සියලු දෙබස් මේ මොහොතේදී ඔහුගේ මනසින් ගිලිහිණි. ඇගේ තරබාරු සිරුරත්, දෑස් වටා කළු වී ඇති අයුරුත් දුටුවිට ඔහුට ඇය කෙරෙහි අනුකම්පාවක් දැනුණි. ඇය ඔහු ළඟ වැඳ වැටෙද්දී ඇගේ හිසකෙස් නොසැලකිලිමත් ලෙස පාට ගන්වා ඇති බවත්, හිසකෙස් බෙදෙන ඉර පළල් වී තට්ටය පෑදී ඇති බවත් ඒ හරහා පිච්ච මල් වැලක් බුරුල්ව එල්ලා වැටෙන බවත් ඔහු දුටුවේය. පූජාව භාරගැනීමේ සංකේතයක් ලෙස ඈ අත වූ තැටිල්ල ඇඟිලි තුඩකින් ස්පර්ශ කළ ඔහු වදනකුදු නොදොඩා වීදිය ඔස්සේ යන්නට ගියේය.


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක




From the Collection of short stories ‘Under the Banyan Tree and other Stories’ by R K Narayan, Published by Heinemann (1985)


Copyright free photo from PXhere

May 17, 2022

වෙසක් කතා

වෙසක් පහු උනාට තාම වෙසක් සතියනේ, ඒ නිසා වෙසක් පෝස්ට් එකක් ලියන්න හිතුණා. disclaimer - ටිකක් නොස්ටැල්ජියාවට බරයි- හතළිහෙන් පස්සේ ආපස්ස බැලෙනවා වැඩියි කියලා කවුද කියලා තිබ්බා.

අපේ මහගෙදර තිබුණේ පන්සලක් ඉස්සරහ. පන්සලට හරියටම පාරෙන් එහා පැත්තේ. වෙසක් එකට පන්සලට සූ ගාලා සෙනඟ එන නිසා අපි ගෙදර ටිකක් ලස්සනට වෙසක් සැරසිලි කරන්න හැමදාම උනන්දු වුණා. එක පාටින් කූඩු පහක් හයක් හදලා, ලයිට් වැල් දාලා, බකට් පත්තු කරලා වැඩ ගොඩයි. ඉස්සරම අපේ ගෙදර වෙසක් කූඩු හැදුවේ තාත්තා. සීරුවට පිළිවෙලට ඒ වැඩේ කරන්න මම නම් ඉගෙන ගත්තේ තාත්තා ගේ වැඩ බලාගෙන ඉඳලා. සව් කොළ නාස්ති නොවෙන විදිහට කූඩුවේ මිමි ගන්න හැටි, හීනි රැළි කපන හැටි ඔක්කොම ඒ පාඩමට ඇතුළත්.

මේ හුරුව නිසා ඉස්කෝලේ වෙසක් කූඩු තරඟ වලදීත් පන්තියේ කූඩුව හදන්න මම මුල් තැන ගත්තා. බාලිකා ඉස්කෝල වල අතපයේ පාප්ප ගාගෙන ඕවා කරන්න කැමති අය හිටියේ අඩුවෙන්.

පස්සේ කාලෙක තාත්තා රටේ නොහිටිය, අක්කලාත් විභාග වලට පාඩම් කරන කාල වලදී ගෙදර වෙසක් සැරසිලි වැඩේ මම තනියම භාරගත්තා. ඒ වෙද්දී තාත්තාගේ ට්‍රේනින් එක නිසා මම වැඩේට ප්‍රවීණයෙක් වෙලා හිටියේ. කූඩු හදනවා කියන project එකට බට ගාල් වල රිංගලා බට කපන, සුද්ද කරන (අත් වල කෑලි කපාගන්න) වැඩ ඔක්කොම ඇතුළත්. කොහොමහරි අපේ ගෙදර හැමදාම ලස්සන වෙසක් සැරසිලි  සම්ප්‍රදාය මමත් කවදාවත් වෙනස් වෙන්න ඉඩ දුන්නේ නැහැ. පස්සේ කාලෙක අක්කලාත් මමත් කසාද බැඳලා මුලින් ගෙදරිනුත් පස්සේ රටෙනුත් පිටවුණත් ඒ සම්ප්‍රදාය එහෙමම පැවතුණේ ආයෙත් තාත්තා වෙසක් සැරසිලි රාජකාරිය පවරා ගත්ත නිසා. දැන් අපි ඔක්කොම ඕස්ට්‍රේලියාවේ. අපේ මහගෙදරත් දැන් එතැන නැහැ.

මහගෙදර වෙසක්- ඉස්සර තාත්තා ගත්ත පින්තූරයක් 

 

ඒත් අපි තවමත් මෙහෙත් කොහොම හරි වෙසක් සැරසිලි කරනවා. තාත්තා පොඩි අක්කාලාගේ ගෙදරත් මම අපේ ගෙදරත් හැම අවුරුද්දෙම වෙසක් කූඩු හදනවා. අපේ පුතා මගේ ළඟ දැවටෙමින් පොඩි පොඩි අත් උදවු දෙනවා. වෙසක් කාලෙට මෙහෙ වැස්ස හුළඟ වැඩි කාලයක් උනත්, සමහර දාට කූඩු එල්ලලා ඊළඟ දවසෙම තෙත බත් වෙලා කඩා වැටුණත් මම නොකඩවා ඒ වැඩේ කරනවා. ඒක මට පොඩි භාවනාවක් වගේම ළමා කාලයට එබෙන්න ලැබෙන කවුළුවක් වගේ දෙයක්.

මේ රටවල ඉතින් අපිට ඕන විදිහට අමුද්‍රව්‍ය නැතත් අපි කොහොම හරි improvise කරනවා. බට පඳුරු නැතත් පැල වලට ආධාරක හැටියට හිටවන්න බට කෝටු මිටි මල් පැල කඩවල විකුණන්න තියෙනවා. සව් කොළ නැතත් තෑගි ඔතන ටිෂු කොළ තියෙනවා. ඔට්ටපාළු නැතත් රබර් පටි තියෙනවා. බල්බ්, හෝල්ඩර් අටවන ලයිට් වැඩ අවදානම් උනත් LED ලයිට් තියෙනවා. උවමනාවක් තියෙනවානම් ක්‍රමයකුත් තියෙනවා කියන කියමන මේ නිසා ඇත්ත වෙනවා. දැන් දැන් නම් මෙහෙ ලංකාවේ කඩවල ප්ලාස්ටික් වෙසක් කූඩු සැකිලි විකුණන්න තියෙනවා. ඒත් මම තාම කැමති දිග ක්‍රමයට හදන්න. (පවට පිං දෙන්න බැහැ කියලා මගේ යාළුවො හිනාවෙනවා!)

මෙරට වෙසක්- අවුරුදු කීපෙක පින්තූර 


මම හිතාගෙන හිටියේ අපේ generation එකේ අය අඩු වැඩි හැටියට මේ වගේ ලංකාවේ වෙසක් අත්දැකීම් ඇතිව වැඩුණු අය කියලා. ඒ කියන්නේ මහන්සිවෙලා වෙසක් කූඩු හැදුව, තරඟෙට කූඩු හැදුව, කූඩු ගිනිගත්ත අත්දැකීම් තියෙන අය කියලා. ඒත් ඒක එහෙමම නැහැ කියලා ඊයේ පෙරේදා මට තේරුණා. ඒ වෙසක් කූඩු හදන එක ගැන කතා කරද්දී අපිට වඩා අවුරුදු දෙක තුනක් බාල සමහර කොල්ලෝත් පොඩි කාලේ ලංකාවේදී කූඩු හදපු නැති අය බව කියද්දී. මේ කොළඹ හතේ කට්ටිය නෙමෙයි, ගම් වල ළමයි. අපේ ගෙදර හිටියේ කෙල්ලෝ විතරක් වුණත් අපි හිටියේ නාගරික පරිසරයක වුණත් අපි නොකඩවා එක හිතින් ඒ සැරසිලි කළ එක ගැන, තාම කරන්න හිතෙන එක ගැන මට පුදුමයක් දැනුනා.

වෙසක් සැරසිලි වගේ දේවල් මිනිස්සු කරන්නේ ලොකු ආගමික නැඹුරුවක් නිසා නෙමෙයි. simply because it is fun. ඒ වගේම පොඩි කාලේ කළ ඒ සැරසිලි වලින් පස්සේ කාලෙක වැඩිහිටියෙක් හැටියට අතීතේ රවුමක් දාලා එන්න ඉඩ දෙන ලස්සන මතක ටිකකුත් ලැබුණා කියලා දැන් තමයි තේරෙන්නේ.

2022 වෙසක් 



May 16, 2022

දියණියනි

දියණියනි,
හැම දිනකම
මම, ඔබට
ඔබේ රුව ගැන නොව
ඔබේ අගය ගැන
කියන්නෙමි

(ඔබේ රුව ඔබට ලැබුණු දෙයකි
හැම කෙනෙක්ම උපතින් රූමත් ය)

ඔබේ අගය දැන සිටීම
ඔබේ ජීවිතය බේරාලනු හැක
රුව ගැන පමණක් අදහමින්
ඔබව උස් මහත් කළහොත්
ඔබ හාමත් වනු ඇත
සුකුමාර වනු ඇත
දුර්වලයෙක් වනු ඇත
ලාබ ගති ඇත්තියක් වනු ඇත
 
ඔබ කෙතරම් රූමත් දැයි
පවසන කෙනෙක්
ඔබට නිරතුරුවම වුවමනා වනු ඇත

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක

Translation of the poem 'For my Daughter' by Nayyirah Waheed

(Ink sketch on paper)



May 12, 2022

හිතේ හැංඟි හැංඟී ඔබ තවම ඉන්නවා

අලුතින් බිහිවෙන සින්දු පරණ සින්දු තරම් හිතට නොවදින එක පොඩි nostalgic bias එකක්ද කියලා මට හිතිලා තියෙනවා. ප්‍රවීණයන්ගේ අලුත් සින්දුත් බොහෝවිට ඒ ගොඩට වැටෙනවා.

ප්‍රියතම ගායකයෙක්/ගායිකාවක් නැති කෙනෙක් මම. මම කැමති සමහරුන්ගේ සමහර සින්දු වලට විතරයි. ඒත් timeless කියන කැටගරියට අමරදේවගේ මාස්ටර්ගේ කටහඬ ට අමතරව වික්ටර් රත්නායකගේ කටහඬත් වැටෙන බවට විවාදයක් නැහැ.

මේක වික්ටර් මෑත කාලේදී ගායනා කළ සින්දුවක්. අලුත් සින්දු වලට අකමැති මට මේකට ආසා හිතුණා.

"හිතේ හැංඟි හැංඟී ඔබ තවම ඉන්නවා!"

Artist : Dr. Victor Rathnayake 
Lyrics : Tharinda Gunawardena 
Music : Darshana Wickramatunga


May 04, 2022

කළු-සුදු


නයිස්ට නම දැම්මේ කවුද දන්නේ නැහැ. ඒ නම තිබුණ වෙළඳ දැන්වීමක් නම් ඒ කාලේ තිබුණා. නයිස් නිදාගන්නෙත් පුංචි කන් දෙක උස්සගෙනමයි. "නයිස්.. නයිස්.." කිව්වහම කොහේ හිටියත් පණ කඩාගෙන දුවගෙන එනවා. සමහරවිට වෙන නමක් කිව්වත් දුවගෙන එයි. ඒත් හැමෝම කිව්වේ නයිස් කියලා. සිරිදාස අයියාට "උපකුලපති" කියලා නම දැම්මෙත් කවුද දන්නේ නැහැ. ඒත් නයිස්ගේ නම වගේ නෙමෙයි, මේ නමට නම් හේතුවක් තිබුණා. අධ්‍යයනාංශයේ කා.කා.ස වැඩේ කළත් සිරිදාස අයියාගේ වචනෙට ඉහළින් කවුරුත් වැඩ කළේ නැහැ.

"මිසීලා සර්ලා තේ බොනවා නම් තේ බොන්න ... බැරි නම් නිකන් ඉන්න.. කෝප්ප තියෙනවා නම් විතරයි මම තේ දෙන්නේ.."

හැමදාම දහයට විතර ලොකු තේ පෝච්චියක් අරගෙන යන ගමන් සිරිදාස අයියා සද්දයක් දානවා. අහල පහළ ඉන්න මිසීලා, සර්ලා බාලාංසේ ළමයි වගේ තේ කෝප්ප අරගෙන එනවා.

නයිස් නම් හිනා වුණ ගමන්මයි හිටියේ. කුරු කකුල් හතරයි තනි කළු ඇඟයි, හොඳ බලු පෙළපතකට ඈත නෑකමක් කිව්වා. කොට නගුට වන වන, හිනාවෙවී, කියන ඕනෑම දෙයක් අහගෙන ඉන්න පුරුද්ද නයිස්ට තිබුණා.

සිරිදාස අයියා නම් හිනාවුණේ බොහොම කලාතුරෙන්.ළමයි එක්ක නම් කොහොමත්ම නැහැ. නිල ඇඳුම වගේ කොට කලිසමමයි ඇන්දේ.

"ඔය ළමයා රාමනායක සර්ගේ කලින් ටියුට් එකත්, දවස පරක්කු වෙලා නේද දුන්නේ? හැබැයි ඊළඟ දවසේ නම් බාරගන්නේ නැහැ. .. ඉගෙන ගන්නවාලකෝ වෙලාවට වැඩක් කරන්න.."

කොට කලිසමක් ඇඳපු තලස්තානි මනුස්සයෙක් හැඩිදැඩි කොල්ලෙකුට ඔහොම තර්ජනයක් කරනවා කියන එක නිකම් විහිළුවක් වගේ. ඒත් විශ්ව විද්‍යාලේ ඇතුළේ හුළඟක් හැමුවත් රණ්ඩුවට යන ඒ හැඩි දැඩි කොල්ලෝ සිරිදාස අයියාට නෙමෙයි වචනයක් කිව්වේ. ඔහේ කියන දෙයක් කරබාගෙන අහගෙන හිටියා විතරයි.

සිරිදාස අයියාට නයිස් මුණ ගැහුණේ අහම්බෙන්. සර් කෙනෙකුට වඩේ දෙකකුයි මාළු පාන් එකකුයි ගන්න කැන්ටිමට ගිය වෙලාවක. ඈත කවුද පාන් වාටියක් දෙන්න "නයිස්..නයිස්..!!" කියනවා ඇහිලා, පෙරළාගත්තු කුණු බක්කියත් අත ඇරලා නයිස් දිව්වේ සිරිදාස අයියාගේ කකුල් දෙක මැද්දෙන්මයි. ඒකෙන් වුණේ දෙන්නම පටලැවිලා බිම වැටුණ එකයි. සිරිදාස අයියාගේ හැටි දන්න නිසා කැන්ටිමේ හිටිය හැමෝම හිතුවේ නැගිටලා නයිස්ට හොඳවයින් පයින් පාරක් දෙයි කියලා. කොටින්ම කියනවා නම් නයිස් හිතුවේත් එහෙමයි. ඌත් වැටුණ තැනම ඔළුව පහත් කරගෙන ගුටිකන්න බලාගෙන හිටියා. ඒත් සිරිදාස අයියා එහෙමම බිම ඉඳගෙන නයිස්ගේ ඔළුව අතගෑවා. සර්ට ගත්ත වඩේ දෙකෙන් එකක් දුන්නා. නයිස්ටත්, බලාගෙන හිටිය හැමෝටමත් හිතාගන්න බැහැ. නයිස් බයෙන් බයෙන් නැට්ට වනලා කටට දෙකට වඩේ එක ගිල දාලා හිනාවුණා. වැඩි හොඳට සිරිදාස අයියාගේ අතකුත් ලෙවකෑවා.

ඒ තමයි නයිස්ගෙයි සිරිදාස අයියාගෙයි යාලුකමේ පළවෙනි පියවර. මොකක් නමුත් හේතුවකට සිරිදාස අයියාගේ ගල් හිතේ ඒ පුංචි බැල්ලි පදිංචි වුණා. වෙන කාටවත් නොපෙන්නුව කරුණාවක් වෙනුවෙන් වෙන් කෙරුණා. මුලින්ම වුණේ සිරිදාස අයිආ හැමදාම තමන්ට දවල්ට කන්න ගේන බත් මුලේ අන්තිම කටවල් හතර පහ හොඳට මාළු පිනි දාලා අනලා නයිස් වෙනුවෙන් වෙන් කළ එක. එයා කෑම පැයේ අන්තිමට ඒ බත් ටිකත් අරගෙන තට්ටු පහක් බැහැලා ඒ වෙනුවෙන්ම නයිස් හොයාගෙන ගියා. වැඩි කලක් යන්න කලින් නයිස් සිරිදාස අයියාට වෙලාව ඉතුරු කරන්නත් එක්ක පඩි පෙළේ පාමුල බලාගෙන ඉන්න පුරුදු වුණා. ටිකෙන් ටික පළවෙනි තට්ටුව ළඟට.. දෙවෙනි තට්ටුව ළඟට ඇවිත්, මාසයක් විතර යනකොට කෑම වෙලාවට නයිස් සිරිදාස අයියා හොයාගෙන අධ්‍යයනාංශයටම එන්න පටන් ගත්තා. හැමෝම මේ බව දැක්කත් කවුරුත් ඒකට විරුද්ධ නොවුනේ නයිස් හැමෝටම ලෙන්ගතු නිසාමත් නෙමෙයි. සිරිදාස අයියාට එරෙහි වෙන්න තිබුණ බය නිසා.

නයිස්ට කරුණාව පෑවා කියලා සිරිදාස අයියාගේ ගතිගුණ වෙනස් වුණේ නැහැ. සුපුරුදු විදිහටම අනිත් හැමෝටම කෑගැහුවා. හරියට උපදෙස් ලැබුණේ නැහැ කියලා දවස් දෙකක්ම උදේට දේශන ශාලා අරින්නේ නැතිව ළමයි දෙතුන් සීයක් රස්තියාදු කළා. හැඳුනුම්පතක් නැතිවෙලා ඒක හොයාගෙන ආව ළමයෙක්ව "වගකීමක් නැහැ!" කියලා බැනලා එළවා ගත්තා. මිසීලා සර්ලාට හැමදාම ගෝරනාඩු කළා. වැරදිලාවත් කවුරුවත් එක්ක හිනාවුණේ නැහැ.

"ඊයේ හවස බලු වෑන් එක ඇවිත්!" දවසක් උදේම ඒ ආරංචිය හැමතැනම පැතිරුණා. අවුරුද්දකට විතර සැරයක් නගර සභාවෙන් ඇවිත් විශ්ව විද්‍යාලේ තැන තැන ඉන්න බලු රංචුව එකතු කරගෙන යන එක සාමාන්‍ය දෙයක්. සමහර දාට දවාලේ දෙනෝදාහක් ඉස්සරහත් ඒ වැඩේ කෙරෙනවා. "ඔන්න සිරා.. ඔන්න චන්දරේ..බලු වෑන් එක ඇවිත්.. හැංගියන්..!!" කොල්ලෝ එදාට එකිනෙකාට විහිළු කරගන්නවා. ඒත් මේ සැරේ ඒ ආරංචිය අහලා කවුරුවත් කාටවත් විහිළු කළේ නැහැ. "එතකොට නයිස්?" හැමෝම හැමෝගෙන්ම ඇහුවා. වෙනදාට කුණු බක්කි ළඟ, කැන්ටිමේ මේස යට, කස ගස් ළඟ බංකු යට ඉඳන් හිනාවෙන නයිස් කොහේවත්ම හිටියේ නැහැ.

"උපකුලපතිගෙන් අහලා බලමුද?" එහෙන් මෙහෙන් යෝජනා ආවත් කෙළින්ම ගිහින් සිරිදාස අයියාගෙන් අහන්න තරම් චණ්ඩියෙක් ඉදිරිපත් වුණේ නැහැ."මට බැහැ.. මට ගිය සතියෙත් බැන්නා.." "හපෝ ඔය මිනිහට මාව පේන්න බැහැ" එක එක්කෙනා ඉදිරිපත් නොවී පස්ස ගැහුවා. ඒත් නයිස්ට මොකද වුණේ කියලා දැනගන්න නම් හැමෝටම ඕනෑකම තිබුණා. අන්තිමට හැමෝවම නියෝජනය කරන්න දෙන්නෙක් බොහොම අකමැත්තෙන් ඉදිරිපත් උණා.

"මොකා...නයිස්???" නයිස් ගැන ඇහුව ගමන් සිරිදාස අයියා ඒ අයගේ ඇඟට කඩාගෙන පැන්නා.

"නෑ.. නෑ.. අර සිරිදාස අයියා කෑම දෙන පොඩි කළු බැල්ලි.."

"මම කාටවත් කෑම දෙන්නේ නැහැ... දැකලා තියෙනවද මම බල්ලොන්ට කෑම දෙනවා??" සිරිදාස අයියා කෑගැහුවා. නියෝජිතයෝ දෙන්නට කට උත්තර නැහැ.

"ඊයේ බලු වෑන් එක ආවලුනේ..ඌට මොකද වුණේ කියලයි අපි හෙව්වේ.."

එක්කෙනෙක් ආයෙත් උත්සාහ කළා.

සිරිදාස අයියා ඒ ප්‍රශ්නේ ඇහුණේ නැති ගානට ටිකක් වෙලා නිස්සද්දව ජනේලෙන් එළිය බලාගෙන හිටියා.

"ඌ හොඳට ඉන්නවා. බල්ලෝ අල්ලන්න එන බව දැනගෙන මම ඌව අර ඉස්ටෝරුවට දාලා වහලා තිබ්බා. හවස සර් කෙනෙක්ගේ කාර් එකක දාගෙන ගෙදර අරගෙන ගියා." අහක බලාගෙනම හෙමින් කිව්වා.

"කියනවා එහෙම නෙමෙයි ඕවා කාටවත්...දැන් මට වැඩ තියෙනවා..තමන්ගේ රාජකාරියකට ගියොත් හොඳයි.!" ආයෙත් සුපුරුදු විදිහට සද්දේ දාලා සැර දාලා කිව්වා.

ඊටපස්සේත් සිරිදාස අයියා නිතරම හැමෝටම ගෝරනාඩු කළා. කලින් වගේම හැමෝම ඒවා කරබාගෙන අහගෙන හිටියා. ඒත් ඉස්සර තරම් හැමෝම සිරිදාස අයියාට හිත යටින් බනින එක, නැති තැනදී එකතුවෙලා බනින එක නම් ඉබේම වගේ අඩු වුණා. 

- හෙල්මලී ගුණතිලක 

Photo Pixabay

පහුගිය ටිකේ ලංකාවේ දේශපාලන අරගලය follow කරමින් හිටිය නිසා ලියන කියන කටයුතු මුකුත්ම කරන්න බැරි වුණා. බ්ලොග් එක හිස් වෙලා මොකෝ කියලා හොයලා බැලුව සහෘදයන්ට ස්තූතියි. බ්ලොග් එකේ පාලු යන්නත් එක්ක කෙටි කතාවක් පෝස්ට් කරන්න හිතුවා. මේක බොහොම ඈත අතීතෙක ලීව කතාවක්. මගේ සහස් පියවර කෙටිකතා පොතෙත් ඇතුලත්. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් ප්‍රාන්තයේ සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ  පළකරන සිසිල සඟරාවේ 2022 මැයි මාසයේ කලාපයේත් මේ කතාව පළ වුණා.