April 29, 2020

Serendipity and Jim Moore's poems



Sometimes wonder awaits you as a glimpse of a flower during a walk, the sharp bright blue of the sky or.... as a poem that you stumble upon by accident.

Some emotions cannot be put to words. But seems that Jim Moore, the poet, manages to.

True Enough, by Jim Moore

               I have forgotten many things.
But I do remember
              the bank of clover along the freeway
we were passing thirty years ago
               when someone I loved made clear to me
it was over.


Love in the Ruins by Jim Moore

1. I remember my mother toward the end,

folding the tablecloth after dinner
                so carefully,
as if it were the flag
               of a country that no longer existed,
but once had ruled the world.


5. Survived

another winter: my black stocking cap,
                my mismatched gloves,
my suspicious, chilly heart.


photo- flowers on a corkscrew vine, on my morning walk- Burwood Vic

April 24, 2020

සර්කස් සිහින


විදූ ගේ එක අතක ඇත්තේ මයිලෝ කුඩු දැමූ අඬු කෝප්පයකි. ඔහු සැටි පුටුවේ දිග ඇදී රූපවාහිනිය නරඹමින් සිටී. දහඩියෙන් තෙත්ව තිබී ගලවා දැමූ ඔහුගේ කොටු කමිසය යාබද පුටුව මත ය. මේ 'මකරෙකු පුහුණු කරගන්නා අයුරු' නමැති ඔහුගේ ප්‍රියතම කාටූනය විකාශය වන වේලාවයි. මකරාගේ සිහියෙන්ම ඔහු වරින් වර මයිලෝ හැන්ද බැගින් කමින් සිටී. කුඩා ප්ලාස්ටික් බෝලයකුත් බැඩ්මින්ටන් පිති දෙකකුත් ඔහුගේ පුටුව පාමුළ ඇත. විදූ මේ සිටින්නේ සෙල්ලම් කරනා අතරතුර තම ප්‍රියතම වැඩසටහන සිහි වී දුව ආ ගමන් ය. කොහොමත් අද සෙල්ලම් සැසිය සාර්ථක නැත. ඊට ප්‍රධානතම හේතුව විදූ ගේ අතිජාත මිත්‍ර ජයන් පසුගියදා කකුල කඩාගෙන එක්තැන් වීමයි. ජයන් නැති පාඩුව නම් මෙතෙකැයි කියා නිම කළ නොහැක. එහා පාරේ වෙසෙන ජයන් ව බලන්නට විදූ ට යා හැකි වූවත් ඔහු ඇඳට කොටු වී සිටිනා බැවින් එහි ගොස් කළ හැකි විශේෂ දෙයක් නැත. දැන් විදූ හා සෙල්ලමට ඉතිරි වී ඇත්තේ කුඩා එවුන් සහ කෙල්ලන් පමණි. පිත්ත වෙත හරියකට බෝලයක් එල්ලයට එවන්න බැරි උන් හා මොන සෙල්ලම් දැයි විදූ ට දැන් දැන් සිතෙන්නට පටන්ගෙන ඇත. මෙහි බැඩ්මින්ටන් ක්‍රීඩාව ඇරඹුණේ මෙලෙස ක්‍රිකට් සෙල්ලම අසාර්ථක වෙද්දී ය. හැම නිවසකම තිබුණු බැඩ්මින්ටන් පිති රැගෙන එනු ලැබුණු අතර ඉනික්බිති කණ්ඩායම් බැඩ්මින්ටන් ක්‍රීඩාවක් නිර්මාණය විය. එහෙත් එය ලත් තැනම ලොප් වුණේ කුඩා ශෙවෝන් එල්ල කළ දැවැන්ත පහරක් නිසා තිබුණු එකම බැඩ්මින්ටන් මල රිචර්ඩ්ස් සීයා ගේ වත්තේ වැටටත් ඉහළින් පියාඹා ඒ නිවසේ වහලය මත රැඳුණු පසු ය. ගසක් නම් සොලවන්නට හෝ පුළුවන. ගෙදරක වහලයේ ඇති බැඩ්මින්ටන් මලක් ආපසු ගන්නේ කෙලෙස ද? සෙල්ලම අත ඇරෙන්නට යද්දී කවුරුන් හෝ විසින් මේ කුඩා ප්ලාස්ටික් බෝලය කණ්ඩායම වෙත ගෙන එන ලදී. මුල සෙල්ලම තරම් සාර්ථක බවක් නොමැතිව බැඩ්මින්ටන් පිත්තෙන් ඒ අතට මේ අතට බෝලය මාරු වෙද්දී විදූ ට මකරාගේ වැඩසටහන සිහි විය. ඔහු එසැණින් නිවසට දුව ආ අතර එසේ පැමිණ තිබුණේ කුඩා ප්ලාස්ටික් බෝලය ද සාක්කුවේ රුවාගෙන බව දුටුවේ කමිසය උනා දමද්දී ය. දැන් ඒ සෙල්ලමත් කඩාකප්පල් වන්නට ඇත. හෙට අයිතිකරු සොයා බෝලය ආපසු දිය යුතුය. නැත්නම් ඕවා පසුව අනවශ්‍යව දික්ගැස්සෙන නඩු බව ඔහු අත්දැකීමෙන් දනී.

විදූ ට ගෙදරදී කැමති වැඩසටහනක් බලන්නට රූපවාහිනිය බෙදාගන්නට ජල්ලි අල්ලන්නට අවශ්‍ය නැත. ඔහු නරඹන්නේ නැතිනම් නිවසේ රූපවාහිනී යන්ත්‍රය බොහෝ විට අක්‍රිය ව පවතී. එමෙන්ම මයිලෝ කුඩු කෝප්පයක් කද්දීත්, ඊට පෙර ශීතකරණයේ ඇති ස්ප්‍රයිට් බෝතලයට කට තියා බොද්දීත් ඒ කේලම දෙමව්පියන්ගේ කණේ තියන්නට මරුමුස් බාලයෙක් පවුලේ නැත. හාත්පස බැලූ බැලූ අත රාමු කර එල්ලා ඇත්තේ විදූ ගේ ඡායාරූප බැවින් නිවසේ එකම සුරතලා කවුදැයි තර්කයක් නැත. එකම කරදරය නම් තවමත් දෙමව්පියන් ඒ අතට මේ අතට ඔහුගේ ඡායාරූප ගන්නට තැත් කිරීමයි. නැපියක් හැඳ කකුලක් කටේ රුවා හපමින් සිටින තමන්ගේ ළදරු පින්තූර ආදිය පෙන්වනු ලදුව, ඒ තමන් බව හඳුනානොගත් පරිද්දෙන් "මේ කවුද?" යැයි විමසන්නට විදූ ප්‍රිය කරයි. "ආ මේ මගේ අනිත් ළමයි අට දෙනාගෙන් එක්කෙනෙක්, මේ එයා පොඩි කාලේ!" අම්මාත් ඔහුගේ විහිලුවට එක්වෙන්නේ බැරෑරුම් මුහුණෙනි. "කෝ දැන් ඒගොල්ලෝ?" එවිට විදූ රහසින් අසයි. "එහා කාමරේ.. අල්මාරියේ ඉන්නේ!" අම්මා ද රහසින් කියන්නී ය. ඉන්පසු දෙදෙනාම ඇති තරම් සිනා වේ.

මයිලෝ කෝප්පයත් මකරාගේ කතාවත් එකවර අවසන් වූ පසු විදූ තමන්ගේ කාමරයට පියමැන්නේ කල්පනා බරව ය. නිවස ඉදිරිපස පාරේ තවමත් පැවැත්වෙන සෙල්ලම් සංගමයට අද නැවතත් එක් වෙන්නට විදූ ගේ බලාපොරොත්තුවක් නැත. ඒ වෙනුවට එක්තැන් ව සිටින ජයන් සමඟ කළ හැකි සෙල්ලමක් ගැන සිතන්නට ඔහු ඔලුව වෙහෙසවීය. එය කවරක් වූවත් ගෙවල් දෙකේම අම්මලා ඊට කැමති කරගත යුතු ය... එයින් ජයන් වෙහෙසට පත්නොවිය යුතු ය- පැනිය යුතු කඩුලු රැසකි. එහෙත් ඉදිරියට එළඹෙන්නේ පාසැල් නිවාඩු කාලය බැවින් යම් ස්ථිරසාර පිළියමක් අත්‍යවශ්‍ය ය.

විදූ කල්පනාවේ නිමග්නවම තම ඇඳට සවිකර ඇති ඉනිමඟ නැග්ගේ ය. කුඩා කල ඔහුගේ ඒකායන සිහිනය වූයේ තට්ටු ඇඳක උඩ තට්ටුවේ නිදා ගැනීම ය. තාත්තා මේ සිහිනය සැබෑ කරමින් ඔහුට අපූරු තට්ටු ඇඳක් ගෙනත් දුන්නේ හයවෙනි උපන්දිනයට ය. එදා ඉතා ආඩම්බරයෙන් එහි උඩ තට්ටුවට නැඟුණු ඔහු එහි යට ඇඳ ඉවත්කර ඒ ඉඩෙහි තම සෙල්ලම් බඩු තබන්නට ඉඩ සකසා දෙන්න යැයි තාත්තාගෙන් ඉල්ලීමක් කළේ ය. මේ නිසා අදටත් ඔහුට යට තට්ටුවක් නැති තට්ටු ඇඳක ඉහළ මාලයේ විරාජමාන ව හිඳින්නට වරම් ලැබී ඇත. ඇඳේ හාන්සි වූ විදූ ට උසක සිටින නිසා වැටට උඩින් පැහැදිලිවම එහා වත්ත පෙනේ. එහා වත්තේ උදවිය එහි පදිංචි වූයේ ළඟදී බැවින් ඔවුන් ගැන වැඩිමනත් විස්තරයක් ඔහු තවමත් දන්නේ නැත. එහෙත් නිවෙස් පෙළ ඉදිරිපස පාර අද්දර සෙල්ලම් කරන ළමුන් රංචුවේ කෑ කෝ ගැසීම් ඇසී ඒ නිවසින් කිසිම කුඩා දරුවෙක් නික්මුණේ නැති නිසා එහි කුඩා ළමුන් නැති බව නම් ඔහුට විශ්වාස ය. වරින් වර බිරුම් හඬ ඇසුණු බැවින් එහි බල්ලෙක් ඇති බව විදූ ට වැටහී තිබුණත් මෙතෙක් ඌ ව දැක තිබුණේ නැත. ජනේලයේ පැලැල්ල අතරින් අසල්වැසි ගෙමිදුලේ උන් බල්ලා දුටු විදූ ඉබේම ඇඳේ ඉන්දවිණි ඌ ඉතා කුඩා සුදු බූල් බල්ලෙකි. ගෙලෙහි පළඳා තිබුණු මලක් සහිත රෝස පැහැති කරපටිය නිසා ඌ ට අමුතු අලංකාරයක් එක් ව තිබිණි. විදූ ජනේලයෙන් එබී බලද්දී මේ බූල් බල්ලා සිටියේ ඒ ගෙවත්ත මැද තබන ලද කුඩා කනප්පුවක් මත පසුපස ගාත් වලින් හිටගෙන ය. ඌ කිසියම් තාලයකට ඉදිරිපස ගාත් වනමින් සිටියේ ය. කනප්පුව අසල බිම විශාල ප්ලාස්ටික් වළල්ලක්, කහ පැහැති බෝලයක් සහ තවත් මොනවාදෝ අඩුම කුඩුම පිරුණු පෙට්ටියක් විය. මේ සෙල්ලම මෙහෙයවමින් සිටියේ ඉතාමත් වයස්ගත කාන්තාවකි. ඇය ඇයගේ කුඩා සිරුරට වඩා දෙගුණයක් පමණ විශාල කබායක් හැඳගෙන සිටින බව විදූ ට දුරටත් පෙනුණි. ඈ ඔහුට පිටුපා උන් බැවින් ඔහු දුටුවේ පුළුන් වන් ඇයගේ හිසකෙස් අහුරත් ඇගේ කුදු ගැසුණු පිටත් පමණි.

"මායාකාරියෙක් වත් ද?" විදූ තමාටම මුමුණා ගත්තේ ය. පොත්වලත් රූපවාහිනියේ කතන්දරවලත් විවිධ ආකාරවල මායාකරුවන් බහුලව උන් නමුත් එවැන්නෙක් තමන්ගේ අසල්වැසියෙක් වීමේ සම්භාවිතාව කුමක්දැයි ඔහු දැන සිටියේ නැත. පසුගිය වසරේ අම්මාත් තාත්තාත් සමඟ බලන්නට ගිය සර්කස් සංදර්ශනයේ නම් සෙල්ලම් පුරුදු කළ බල්ලන් රැසක් උන් නමුත් ඔවුන්ගේ පුහුණුකරුවන් මෙවැනි වයසක උදවිය නොව තරුණ තරුණියන් විය. අනෙක මායාකාරියන් තම ගෙවත්තේ සිට මායා කටයුතු කරන බවක් විදූ අසා තිබුණේ නැත. ඒවා සිදුවුණේ අඳුරු ගුහා වල ය.. නොඑසේ නම් අත්හැර දමා තිබුණු බලකොටු වල ය. මේවා ගැන සිතමින් උන් විදූ , එහා වත්තේ බලු පැංචාගේ අලුත්ම සෙල්ලම ඇස ගැටී වහාම පියවි ලොවට එළඹිණි. බූල් බල්ලා එවර කනප්පුවෙන් බිමට පැන මිදුලේ වටයක් දුවමින් සිටියේ ය. එහෙත් ඌ දිව්වේ සාමාන්‍ය විදිහට නම් නොව, ඉස්සරහා ගාත් දෙකෙනි! ඉනික්බිති වරුවක් තිස්සේ විදූ බල්ලාගේ විවිධ සෙල්ලම් බලා සිටියේ ය. ඌ කරණම් ගසන අයුරුත්, ප්ලාස්ටික් වළල්ලෙන් පිනුම් ගසන අයුරුත් බෝලය පෙරළමින් දිව යන අයුරුත් ඔහු බලා සිටියේ අයා ගත් මුවිනි. මෙසේ බලා සිටිද්දී ඔහුගේ සිතේ ඉබේම සැලසුමක් ඇඳෙන්නට විය. තමන්ගේ වයස්ගත අසල්වැසි කාන්තාවට බල්ලෙකුට මේ තරම් සෙල්ලම් පුරුදු කරන්නට හැකි නම් එය ඉතාමත් පහසු කාර්යයක් විය යුතු ය. තමන් වැනි ජව සම්පන්න කොලුවෙකුට එය දවසින් සිදු කළ හැකි වනු ඇත. අනෙක තමන් මකරු පුහුණු කිරීමේ වැඩසටහන් එකක් වත් නෑර නරඹා ඇති බැවින් එය අමතර සුදුසුකමක් වනු ඇත. පුංචි අඩුපාඩුවකට ඇත්තේ තමන්ට බල්ලෙක් නොමැති වීම ය. එහෙත් ජයන් ට බල්ලෙක් ඇත! මේ ජයන් සමඟ තමන් කරන්නට සොයමින් සිටි 'නිවාඩු කාල ව්‍යාපෘතිය' විය හැක. ජයන් ගේ බල්ලා වන රයිලි ප්‍රමාණයෙන් විශාල, බෙහෙවින් වයස්ගත බල්ලෙක් වීම ගැටළුවක් දැයි විදූ ඇඳ මත හිඳගෙන ම කල්පනා කළේ ය. ප්‍රමාණයෙන් විශාල බල්ලන්ගේ බුද්ධිය ඉහළ බව ඔහු කොහේදී හෝ අසා තිබිණි. එසේ නම් මේ එහා ගෙදර ඇබිංදන් බල්ලාට වඩා රයිලි බෙහෙවින්ම දස්කම් පානු ඇත! මීට අමතරව 'මොළේ කල්පනා කරලා වැඩක් කරන්න තව ටිකක් ලොකු වෙන්න ඕන!' කියා තාත්තා නිතරම තමන්ට කියයි. එයින් අදහස් වන්නේ වයස්ගත රයිලි ට සෑහෙන්න මොලේ කල්පනා කර සෙල්ලම් උගත හැකි බව නොවේ ද? රයිලි ට හන්දිපත් රුදාව ඇති බවත් ඌ දවසම නිදමින් ගතකරන බවත් ජයන් තමන්ට කියා තිබේ. සර්කස් සෙල්ලම් ඉගෙනුම හන්දිපත් රුදාවට හොඳ පිළියමක් බවත්, එවැන්නක නිරත වෙද්දී රයිලි කම්මැලිකමට නිදාගැනීම අත්හරිනු ඇති බවත් ජයන් ට පහදා දිය යුතු ය. එහා වත්තේ මහලු කාන්තාව හා ඇයගේ බල්ලා ගේ සෙල්ලම් දෙස තව බැල්මක් හෙලූ විදූ ඇඳෙන් බැස්සේ අමුතු උද්යෝගයකිනි. වහාම ජයන් මුණගැසෙන්නට යා යුතු ය. රයිලි ට සෙල්ලම් ඉගැන්වීමට සැලැස්මක් සකසා ගත යුතු ය. ප්ලාස්ටික් වළල්ලක් සොයාගත හැකි තැනක් ගැන අම්මාගෙන් ඇසිය යුතු ය. නිවස ඉදිරිපස සෙල්ලම් රංචුවේ කෑකෝ හඬ තවමත් ඇසේ. ජයන්ගේ ගෙදර යන අතරතුර ළඟදීම රයිලි ගේ සර්කස් සංදර්ශනයක් බලන්නට සුදානම් වන්නැයි ඔවුන්ට කිව යුතු බව සිතමින් විදූ තම කාමරයෙන් පිටවූයේ උරුවම්බාමිනි.



Sketch on Lenovo Thinkpad with stylus



April 22, 2020

A hundred and a thousand more.. - The Outlander



Roger: "How did you do it? Finally say goodbye, to that one person you loved most in all the world?"

Claire: "Truth is I've never been good at saying goodbye, but that's the hell of it isn't it? Whether you want to say goodbye or not, they're gone and you have to go on living without them. Because that is what they would want"


//Come and let us live my dear..let us love and never fear..then let amorous kisses dwell..on our lips, begin and tell.. a thousand and a hundred score... a hundred and a thousand more//


photo- Jamie & Claire from the trailer of Season 4



The Outlander
TV Series based on the book by Diana Gabaldon
Season 2, Episode 13

April 16, 2020

නිමා වූ



රත් පැහැ ව ගිනි අරන්
මඟ දෙපස තුරු පෙළ ම
එකින් එක අත හරී
මතක රැස, පත් විලස

නිමා වූ කතාවක
අවසාන පිටු අහුර

at Burwood, Vic

April 06, 2020

Bullying සහ විහිලු

අපි පුංචි කාලේ bullying කියලා වචනයක් පාවිච්චියේ තිබුණේ නැහැ. ඒ වෙනුවට කිව්වේ 'විහිලු කරනවා' කියලා. "මෙයාට ඉස්කෝලේ ළමයි එක එක නම් කියලා විහිලු කරලා නේ!" කියලයි වැඩිහිටියනුත් ඒ කාරණේ නොසලකා හැරියේ. ඒවා ගණන් ගත යුතු දේවල් බව, පිළියම් කළ යුතු දේවල් බව, ජීවිත කාලෙටම තුවාල ඉතුරු කරන දේවල් බව කිසිකෙනෙකුට අවබෝධයක් තිබුණේ නැහැ. විහිළුවක් කියන්නේ ඒකට අදාළ පාර්ශව දෙකම ඒකෙන් විනෝදයක් ලබන දෙයක් බව කවුරුවත් විග්‍රහ කළේ නැහැ. ඉතින් අපේ යුගයේ හැමෝම අඩු වැඩි වශයෙන් 'විහිලු' කරමින්, 'විහිලු' ලබමින් වැඩිහිටියෝ වුණා.

bullying කියන දේ කොයිතරම් විනාශකාරී ද කියලා දැන් සමාජයේ සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. ඉස්කෝලවල ඒ ගැන කතා කරනවා. ළමයි ඒ ගැන දැනුවත්, තමන්ට ප්‍රශනයක් උනාම සද්ද නැතිව නොඉඳ කතාකරනවා. වැඩිහිටියෝ ඒවාට පිළියම් හොයනවා. එහෙමයි කියලා bullying මේ ලෝකෙන් තුරන් වෙලා ද? නැහැ. ඉස්සරටත් වඩා අලුත් ක්‍රම වලින්, අපේ කාලේ නොතිබුණු cyber-bullying වගේ ක්‍රම වලින් අදටත් හැමතැනම ඒකේ විසකුරු අඬු පඬු පැතිරෙනවා. ඒ වගේම ළමයි අතරේ විතරක් නෙමෙයි වැඩිහිටියෝ අතරේත් එක එක විදිහේ bullying තියෙනවා. ළමයින්ට සාපේක්ෂව bullying situation එකකින් අයින්වෙන්න වැඩිහිටියන්ට හැකියාව වැඩි බව විතරයි වෙනස.

මේ හැම දේම මතක් වුණේ Julie Anne Peters ලියූ 'By the Time You Read this I'll be Dead' පොත කියවද්දී. ඒකෙ තියෙන්නේ bullying නිසා ජීවිතේ එපාවුණු දැරියකගේ කතාවක්. ජීවිත කාලයක් තිස්සේ ඇගේ හැඩරුව ගැන ඇහුණු විහිලු නිසා ඇයට ඇතිවුණු depression ගැනත්, ඇගේ දෙමව්පියන් ඈ එක එක විධි වලින් උදවු ඉල්ලුව බව නොතේරුණු අවාසනාවන්ත තත්ත්වයත් මේ කතාවෙන් කියවෙනවා. ළමයි අතරේ සූක්ෂමව, භයානක විදිහට කෙරෙන bullying ගැන මේ කතාවේ කියවෙන්නේ හිත කීරිගැස්වෙන විදිහට. අන්තිමේදී එකම එක ලෙන්ගතු කෙනෙක් නිසා මේ දැරියගේ ජීවිතේ නම් බේරෙනවා. ඒත් මේ ලෝකේ ඈ තරම් වාසනාවන්ත නැති කොයිතරම් අය ඇද්ද?

මේ පොත යොවුන් නවකතාවක්. සාමාන්‍යයෙන් මම කියවන වර්ගයේ පොත්වලින් වෙනස්. ඒත් මම රැකියාව කරන පාසැල් පුස්තකාලේ තිබිලා නිවාඩු දෙන්න කලින් මම මේ පොත ගෙදර අරගෙන ආවේ නිකමට වගේ. ගෙදරටම වෙලා ගතකරන මේ දවස් ටිකේ මම එක හුස්මට මේ පොත කියවල ඉවර කළේ ඒ කතාව බොහොම සාර්ථකව ගලපලා තියෙන නිසා. පොත කියවලා ඉවරවෙලා මේ සටහන ලියන්න පෙළඹුනේත් මේ මාතෘකාව ගැන තවදුරටත් හිතුන නිසායි.

මමත් පුංචි කාලේ bullying වලට ලක්වුණු කෙනෙක්. ඒත් ඒවා 'විහිලු' නෙමෙයි bullying කියලා තේරෙන්නේ දැන්. මම එක වසර පන්තියට ඇතුල් වුණේ සේෂෙල්ස් රටේ පාසැලකට. ඒ මගේ දෙමව්පියන්ගේ රැකියාවට අපි ඒ කාලේ ඒ රටේ පදිංචි වෙලා උන්නු නිසා. ඒ පන්තියේ හිටිය එකම විදේශික ළමයා මම. අනෙත් ළමයින්ට වඩා මගේ හැඩරුව වෙනස් වුණු එකට අමතරව මම ඒ පන්තියේ හිටිය ප්‍රමාණයෙන් පුංචිම ළමයාත් වුණා. මාස ගණනක් යනකම් මට අනෙත් ළමයින්ගෙන් එක එක උසුළු විසුළු තිබුණු බව මට හොඳටම මතකයි. ඉස්කෝලේ යද්දී එද්දී ළමයි කණ්ඩායම් පිටින් මගේ පස්සෙන් එමින් මට එක එක දේවල් කිව්වා. ඒ වෙද්දී මටඒ භාෂාව නොතේරුණු එක එක්තරා විදිහකට සහනයක් වුනත් ඒ කරන්නේ සමච්චල් බව පුංචි වයසේ හිටියත් මට තේරුණා. මම පන්තියට ආවේත්, ගියේත්, විවේක කාල ගතකළේත් අඬමින්.ඉස්කෝලේ නොගිහින් ඉන්න බොරු බඩේ අමාරු, අතේ පයේ අමාරු මට ඒ දවස්වල නිතර හැදුණා. මේවාට පිලියමක් තිබුණේ නැහැ. ටික කලක් ගිහින් මට ඒ රටේ භාෂාව පුළුවන් උනාමත්, හැමෝටම මාව දැකලා පුරුදු උනාමත් මේ කරදර අඩුවෙලා නැතිවෙලාම ගියා. ඒ අතින් මම වාසනාවන්තයි, මට ඒ අත්දැකීම ලැබුණේ බොහොම පොඩි කාලයයි. ඒත් ඒ කාලේ නම් දැනුණේ ඒක කල්පයක් වගේ. මේ වෙද්දී දශක කීපයක් ගෙවිලා තිබුණත්, අවුරුදු හයක කෙල්ලෙකුට ඒ ටික කාලේදී දැනුණු අසරණකම ගැඹුරු තුවාලයක කැළලක් වගේ මගේ හිතේ කොණක තාම තියෙනවා. ඒ නිසා ජීවිත කාලයක් ම bully වුණු කෙනෙකුට දැනෙන දේවල් මට ඇත්තටම හිතාගන්නවත් බැහැ.

අපි වටේ ඉන්න අය, අපේ ළමයි මේ විදිහට 'විහිලු' කරනවානම්, 'විහිලුවට' ලක්වෙනවානම් කරුණාකරලා වහාම ඊට මැදිහත්වෙන්න. 'ඕවා ගණන් ගන්න එපා' 'කොල්ලෝ ඔහොම තමයි' වගේ දියාරු උත්තර දීලා ඒවගේ හැසිරීම් සාධාරණීකරණය කරන්න එපා. මේ වගේ දේවල් හිතේ හංගගෙන නොඉඳ වැඩිහිටියෙකුට කියන්න දරුවන් ව උනන්දු කරන්න. තමන් එහෙම පැමිණිල්ලක් ලැබුණු වැඩිහිටියෙක් නම් කල් නොයවාඒ ගැන සුදුසු පියවරක් අරගන්න. කාලය ගතවෙද්දී එක එක විදිහෙන් වෙන්න පුළුවන් හානි වැඩියි.

ඒවගේම තමන් අනෙත් අයගේ පෙනුම, තරාතිරම, රැකියාව වගේ දේවල්වලට 'විහිලු' කරන වැඩිහිටියෙක් නම් තමන් ගැන තව සැරයක් හොඳට කල්පනා කරලා බලන්න.



April 02, 2020

නිවාස අඩස්සියේ දී ය...

මෙල්බර්න් නගරයට ඇඳිරි නීතිය නැතත් හාත්පස පාලුවට ගොස් ඇත. නිවස ඉදිරිපස මාවතේ වාහන ගමන් නොකරන තරම් ය. අත්‍යවශ්‍ය සේවාවකට අයත් රැකියාවකට යන කෙනෙක්, සුරතල් බල්ලෙක් සමඟ ඇවිදින්නට යන කෙනෙක් පමණක් ඉඳහිට වීදියේ ගමන් කරනු පෙනේ. පරිසරය පුරා පැතිර ඇත්තේ දැඩි නිහඬ බවකි. ඒ නිසා හැතැප්ම දෙක තුනක් ඈතින් ඇති හැලම් දුම්රියපළට දුම්රිය එන යන හඬ පවා මින් පෙර කිසිකලක නොවූ ලෙස දැන් අප නිවසට ඇසේ. 

අපට මේ ගෙවී යන්නේ සරත් සෘතුවේ මුල් කාලයයි. මේ, දීප්තිමත් හිරු රැසින්, පැහැදිලි අහසින්, මෘදු දේශගුණයෙන්, ගිලිහෙන තුරුපතින් යුතු කාලයයි. වෙනදාට පාසලේ පාස්කු නිවාඩුව නම් දුර ගමනක් දෙකක් අනිවාර්යයෙන් යෙදෙන, මුහුදු වෙරළට, කඳුකර පෙදෙසකට විවේකයට මිතුරන් හා යන කාලයකි. එහෙත් මෙවර නම් ඔරලෝසුවේ කටු නතර වූ සෙයකි. දැන් ගෙවෙන්නේ කිසිවෙක් නිවසින් පිටතට නොයන, කිසිවෙක් නිවසට නොඑන සංක්‍රාන්ති කාලයකි. මේ, ජීවිත ගැන බිය, හෙට දවස කවර විපතක් ගෙන ඒ දැයි සැකය, ආර්ථිකය ගැන අවිනිශ්චිතබව නිරතුරුව සිත් පෙලන කාලයකි. තුන්තිස්පැයේ රූපවාහිනියේ පෙනෙන පුවතින් සිත කීරිගැස්වෙන, නින්දත් භයංකර සිහිනයෙන් පිරුණු කාලයකි. 

නිවසින් පිටතට යෑම් සීමා වී ඇති මේ දිනවල අප දවසෙන් වැඩි කොටසක් ගත කරන්නේ නිවසේ පසුපස බරාඳයේ ය. එපිටින් ඇති තෙත්බිමට නිරතුරුව යන එන කුරුළු රංචු එතැනට මනා සේ පෙනේ. මේ දිනවල නිවසේ වැඩකටයුතු නැති සෑම විටකම පාහේ මා බරාඳයේ ඇති පැද්දෙන පුටුව සොයා යමි. පොතක් කියවන්නට, චිත්‍රයක් අඳින්නට, මැහුමක් මසන්නට, ගෙදර අය සමඟ තේ බොමින් දොඩවන්නට එතැන ඉස්තරම් ය. අහල පහල නිවැසියන් ද නිවාස අඩස්සියේ බැවින් වැට මායිම් එපිටින් මෙපිටට වෙනදාට වඩා සුහද සාමීචි සිදුවේ. ඒ හැම වත්තකින්ම තණකොළ කපන මැසිමක හඬ, බාස්කට්බෝලයක් එහි වළල්ල ඇති ලෑල්ලේ වැදී වීසි වන හඬ, පොඩි එවුන්ගේ සෙල්ලම් හඬ නිරතුරුව ඇසේ. පුතා බරාඳයේ සිට මේ හඬ එකතුවට තම ගිටාර් සංගීතය එක් කරයි. මෙතැන කාලය ගෙවද්දී මුළු ලොවම මහත් භීතියකින් වෙලී ඇතිබව මොහොතකට අමතක කර සිත රවටාගත හැක. ඒත් ඒ ඊළඟ ප්‍රවෘත්ති නිවේදනය ඇසෙන තුරු ය. ඊළඟ ෆේස්බුක් සටහන දකින තුරු ය. 

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තනිවී, කොටුවී ගතකරන මේ වකවානුව අපට බොහෝ දේ ගැන මෙනෙහි කරන්නට ඕනෑවටත් වඩා කාලය ලබා දී ඇත. පෙරදී හෙම්බිරිස්සාවක් කැස්සක් ගණන් නොගත් මිනිසුන් දැන් දෙවියන් යදින්නේ තම ජීවිත බේරා දෙන්නට ය. සෞඛ්‍ය සේවකයන් රැකියාවකට එහා ගිය මහරු සේවයක් සිදු කරන බව හැඟෙන්නේ ඔවුන් ලොව සියලු දෙනාගේ එකම පිළිසරණ බව වැටහෙද්දී ය. පෙර විශේෂ වටිනාකමක් නොදුන් නෑදෑ සහ මිතුරු හමු නැවත සිදුවන දිනක් තෙක් ඇඟිලි ගැනීම සිදුවෙමින් ඇත. ඇතැමුන්ට මෙතෙක් කල් අකැමැත්තෙන් කළ රැකියාවන් හි අගය දැනෙන්නේ ඉන් මිදී ගෙදරට වී සිටිද්දී, නොඑසේ නම් එය අහිමි වේ දැයි බියෙන් පසු වෙද්දී ය. අධ්‍යාපනයේ අගය, ගුරුවරුන්ගේ කැපවීම වැටහෙන්නේ තනියම උගැනීමට තැත් දරද්දී ය. කෑම බීම නාස්ති නොකර පිරිමසාගත යුතු බව, අමාරු කාලවලදී එකිනෙකාට හයියක් විය යුතු බව, නීති රීති මඟ පෙන්වීම් පිලිපැදිය යුතු බව ඒත්තු යන්නට මිනිසුන්ට ව්‍යසනයක් ම අවශ්‍ය විය. 

තෙත්බිමට ඉහළින් සැඳෑ හිරු වියැකෙමින් ඇත. යාබද ගෙවත්තේ මේපල් ගසේ පත් රන් පැහැයෙන් දිලිසෙමිනි. කොකටූ ගිරවුන් රංචුවක් නිවසට ඉහලින් පියාසර කරන්නේ කෑකෝ ගසමින් නිහඬ බව බිඳිමිනි. දැන් බරාඳයේ පැද්දෙන පුටුවෙන් මිදී ගෙතුළට යාමට වේලාවයි. තවත් අවිනිශ්චිත දිනයක් හෙටත් එළඹෙනු ඇත.