January 31, 2024

'කැන්ගරු දේසේ සිංහල පොත්' සමඟ 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව'

මගේ දෙවෙනි කෙටිකතා පොත - 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' ගැන ඕස්ට්‍රේලියාවේ SBS ගුවන්විදුලි සේවාවේ 'කැන්ගරු දේසේ සිංහල පොත්' වැඩසටහනට කළ කතාබහයි මේ. 

මේ සඳහා මට ආරාධනය කළ SBS සේවාවේ සිංහල අංශයේ ප්‍රධානී දිල්රුක්ෂි විජේසූරිය මහත්මියටත්, පොතේ කොටස් කියවීමෙන් වැඩසටහන රසවත් කළ පූජනී ගුණසේකර සොයුරියටත් මගේ ආදර ස්තූතිය හිමි වෙනවා. 




January 30, 2024

බොම්බයි මොටයි

ඉස්සර අපි පොඩි කාලේ හවස් වරු වලට ඈතින් ලාවට වගේ සීනුවක ටිලිං ටිලිං සද්දේ ඇහුනොත් ඒ බොම්බයි මොටයි වෙළෙන්දෙක් බව නොවරදවාම දැනගෙන හිටියා. ඒ කාලේ බොම්බයි මොටයි වෙළෙන්දෝ කවදාවත් බයිසිකල් වල ගියේ නැහැ, ගියේ පයින්මයි. එහෙම පයින් යද්දී ඇවිදින තාලෙට එයාලගේ අතේ තියෙන සීනුවේ සද්දේ තමයි අපට ඒ ඇහුණේ. ඒ සද්දෙට පාරට දුවගෙන ගියොත් අනිවාර්යයෙන් වෙළෙන්දා ව නවත්තා ගන්න පුළුවන් වුණෙත් එයා පයින් ගිය නිසායි. ඒ බොම්බයි මොටයි තිබුණේ මළකඩ කාලා දුර්වර්ණ වුණු ලොකු, උස ඍජුකෝණාශ්‍ර ටින් එකක. ඒකේ උඩ රවුම් පියනක් තිබුණා. බොම්බයි මොටයි වෙළෙන්දා ළඟ හතරැස් කොටු කැපුව පත්තර පිටු කම්බියක අමුණලා තිබුණා. ඒවායේ තමයි බොම්බයි මොටයි ඔතලා දෙන්නේ. ඒ කාලේ රුපියල් දහයකට වගේ අරින් හතරැස් පත්තර කොටුවක් පිරෙන්න බොම්බයි මොටයි ගන්න පුළුවන්. ඒවායේ අතට දැනෙන රළු ගතිය, තද රෝස පාට , දිවේ දියවෙන සීනි රස අදටත් පැහැදිලි ව මතක් කරන්න පුළුවන් මිහිරි මතකයක්. එක තත්පරයෙන් කටේම දියවෙලා ගියත් බොම්බයි මොටයි කියන්නේ ඒ කාලේ හැටියට අපිට ආගමක්!

ටික කාලයක් ගත වෙද්දී පාරවල් වල ඇවිදගෙන යන බොම්බයි මොටයි වෙළෙන්දෝ හිඟ වුණා. සමහර විට එයාලා එනකම් බලාගෙන ඉන්න අපිට වෙලාව නැති වුණා වෙන්නත් පුළුවන්. හදිසියකට වත් එයාලාව දකින්න ලැබුණේ කානිවල්, සංගීත සංදර්ශන වගේ තිබුණ තැන්වල. මම ජ'පුර කැම්පස් එකේ ඉන්න කාලේ ඒකෙ තිබුණු අවුරුදු උත්සවයක් වෙලාවේ මෙහෙම ආව බොම්බයි මොටයි වෙළෙන්දෙක්ගෙන් මායි යාළුවෙකුයි අතේ තිබුණු සල්ලි ඉවර වෙනකම්ම පිස්සු හැදිලා වගේ බොම්බයි මොටයි කෑවා මතක් වෙද්දී දැන් නම් හිනා. ඒ කියන්නේ ඒ වැඩිහිටි වයසෙදිත් අපි වෙනසක් නැතිව බොම්බයි මොටයි ඇදහුවා.

මෑත කාලේදී බොම්බයි මොටයි වල පිටරට වර්ෂන් එක වෙන candy floss නම් ඕනෑතරම් කන්න ලැබිලා තියෙනවා. ඒත් ඒ සිනිඳු candy floss කද්දී අර ඉස්සර ලංකාවේදී මළකඩ ටින් එකෙන් අරන් පත්තර පිටුවේ ඔතලා කෑව රළු බොම්බයි මොටයි තරම් හිත් වැදුණේ නම් නැහැ. ඔය අතරේ තමයි දැන් ලංකාවේ අර පරණ බොම්බයි මොටයි ලස්සනට පැකේජ් කරලා විකුණන්න තියෙන බව මට දැනගන්න ලැබුණේ. මේ සැරේ අපට ලංකාවෙන් ආව රසකැවිලි අතරේ මෙහෙම පොඩි පෙට්ටිවල අහුරපු බොම්බයි මොටයි තියෙනවා දැකලා මට දැනුණේ පරණ යාලුවෙක් දැක්කාම දැනෙන සන්තෝසේ! කවුද හිතුවේ ඒ බිස්නස් එක මෙහෙම ජාත්‍යන්තර මට්ටමේ එකක් වෙයි කියලා.

මේ වයසේ කියලා නැහැ, තාම අපිට හොඳට බොම්බයි මොටයි අදහන්න පුළුවන්!

January 28, 2024

Gypsy- Movie Review

Psychologists ලා කියන්නේ මිනිස්සුන්ගේ මානසික ව්‍යාධි වලට මුල් වුණු හේතු හොයන්න උදවු කරන, ක්‍රම ක්‍රමයෙන් සුව වෙන්න පාර කියන අය බව අපි හැමෝම හොඳින් දන්නවා. ඒත් එහෙම නොවන Psychologists ලා ත් ඉන්න පුලුවන්ද? වැඩි විස්තර නොකියා මේ series එක what not to do as a psychologist ගැන කියලා කියන්න පුළුවන්! 

මේකේ තියෙන්නේ එක season එකයි, කොටස් දහයයි. Season 2 විකාශය කිරීම අහෝසි කළ බව තමයි සඳහන්. ඒකට නම් හේතුවක් හොයාගන්න නැහැ. කතාවේ චරිත අතරේ සියුම් ව කෙරෙන manipulation කම්පන ඇතිකරන සුළු බව කියන්නත් ඕන. ඒත් fascinating බවෙන් අඩුවක් නැති කම්මැලි නැතිව බලන්න පුළුවන් series එකක්. 

Gypsy (2017)



January 24, 2024

අගාධය

මගේ ලෝකයේ ඔබ උන්නු තැන දැන් ඇත්තේ අගාධයකි. හැම දිවා වරුවකම මම එය මඟ හැර ඇවිදිමි. හැම රාත්‍රියකම මම ඊට ඇදවැටෙමි.

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of a quote by Edna St. Vincent Millay


Digital painting

January 22, 2024

ස්තූතියි!


මගේ දෙවෙනි කෙටිකතා පොත, 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' මෙල්බර්න් නගරයේ එළිදැක්වීම ජනවාරි 20දා පැවැත්වුණා. එය සාර්ථක කරගන්නට දායක වුණු හැමදෙනාටත්, සහභාගී වූ, සුබ පැතුම් පණිවිඩ එවූ හැමදෙනාටත් මගේ ආදර ස්තුතිය හිමි වෙනවා.

සුළු ප්‍රාතිහාර්ය මහා ප්‍රාතිහාර්යයක් වන්නේ ඔබ සැම නිසාමයි! 






January 11, 2024

උපුටන!

මගේ දෙවෙනි කෙටිකතා පොත 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' ජනවාරි 20 මෙල්බර්න් නගරයේ එළිදැක්වෙනවා.  ඒ බව මම කළින් පෝස්ට් එකක් දැම්මා නේ. මේ ඒ සම්බන්ධ වෙන කතාවක්. පොත එළිදැක්වීම  වෙනුවෙන් මගේ බොහොම පරණ මිතුරියක් වන කාංචනා අමිලානි පොතේ උපුටන වලින් facebook posts වලට ගැලපෙන පින්තූර ටිකක් මට හදලා එවලා තිබුණා. ඒ මම ඉල්ලලා වත් නෙමෙයි. පහුගිය ටිකේ මම බොහොමත්ම කාර්යබහුල වුණු නිසා මට ඇත්තටම ඒ වගේ දේකට වෙලාව තිබුණේ නැහැ. ඒ නිසා කාංචනා හිතලාම කළ මේ උදව්ව මට බොහොම අගෙයි.

මේ තියෙන්නේ කාංචනා එහෙම හදපු පින්තූර අතරින් එකක්. මම ලියපු කතාවලින් කොටසක් වෙන කෙනෙකුට හිතට දැනිලා ඒක quote එකක් හැටියට උපුටලා තියෙනවා දකින එක අමුතුම අත්දැකීමක්. ඒ වචන ටික වෙනම අරන් මෙහෙම ඉදිරිපත් කරලා තියෙනවා දැක්කාම මාත් පොඩ්ඩක් 'හෙල්ලුනා' කිව්වොත් හරි. ඉතින් කාංචනා ට ස්තූති කරන ගමන් පොත කියවන්න ලැබුනොත් අදහස් කියලා එවන්න කියලාත්, මෙල්බර්න් අහල පහලක ඉන්නවා නම් විසි වෙනිදාට ඇවිත් යන්න එන්න කියලාත් මම ආදරයෙන් මතක් කරනවා. 


January 10, 2024

මේ මොහොත

වසර ගණනක් තිස්සේ
බොහෝ සේ වෙහෙස වී, දුර ගෙවා විත්
මේ මොහොතේ
ඔබ සිටිනු ඇත
ඔබගේ කාමරය මැද,
නිවස තුළ
අක්කර භාගයේ
වර්ග සැතපුම ඇතුළත
දූපතේ, රටෙහි
අවසානයේදී ඔබ එතැනට එළඹුණු අයුරු
මනාව දැනගෙන
කියනු ඇත ඔබ
“මෙය අයිති මටයි”

මේ මොහොතේම
වෘක්ෂයන් තම මුදු දෑත්
ඔබ වෙතින් මුදාගෙන
විහඟුන් තම හඬ නැවතත් තමා සතු කරගෙන
කඳු මුහුණත් ඉරි තැලී බිඳ වැටී
ඔබේ හුස්ම හිර වන සේ
වාතය දිය රැල්ලක් සේ ඔබ වෙතින් ඉවත්වනු ඇත

‘නැත’ ඔවුන් මුමුණනු ඇත
‘ඔබට කිසි දෙයක් අයිති නැත
සදාකාලිකවම
ඔබ අමුත්තෙක් පමණි
කඳු තරණය කර, ජය දද නංවා ඔද වැඩුවද
අප ඔබට අයිති වූයේ නැත
ඔබ අප ව සොයාගත්තේ නැත
හැමවිටම සිදු වූයේ එහි අනිත් පැත්තයි’

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘The Moment’ by Margaret Atwood

සුප්‍රකට කතුවරියක්, කිවිඳියක් වන Margaret Atwood 1939 දී කැනඩාවේ උපන්නියකි. මේ වෙද්දී ඈ නවකතා, කෙටිකතා, කාව්‍ය සංග්‍රහයන්, සහ ළමා පොත් ආදී ග්‍රන්ථ සියයකට වඩා පළ කර ඇත. Margaret Atwood තම නිර්මාණ වෙනුවෙන් සම්මාන රැසක් ලබා ඇති අතර Handmaid’s Tale වැනි ඇගේ නිර්මාණ චිත්‍රපට බවටද පත් කර තිබේ.

ලන්ඩන්කවි ජනවාරි 2023 කලාපය

Digital painting



January 07, 2024

ආරාධනයක්!

මගේ 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' කෙටිකතා එකතුව එළිදැක්වීම ජනවාරි විසි වෙනිදා, මෙල්බර්න් නගරයේදී සිදුවන්න නියමිතයි. අහඹු විදිහට ඒ දිනය යෙදිලා තියෙන්නේ මගේ පලවෙනි කෙටිකතා පොත 'සහස් පියවර' ලංකාවේදී එළිදක්වලා හරියටම අවුරුදු පහකින්. 

එදාට ළඟපාතක ඉන්නවා නම් ඇවිත් යන්න එන්න! 




January 01, 2024

To new beginnings!

 


ටික දවසකට කළින් මල් පැල විකුණන කඩයකින් මල් පැල අරන් එද්දී ඒකෙ පිටවීමේ දොරටුව ළඟ මල් පැල කීපයක් තියලා තියෙනවා මම දැක්කා. බොහොම දුක්මුසු තත්ත්වයේ තිබුණු ඒවායින් පෙනුණේ මරණාසන්න බවක්. අඩු ගාණකට මිළ ලකුණු කරලා තිබුණු ඒ පැල ළඟ "May flourish with some love" කියලා ලියපු පුවරුවකුත් තිබුණා. ඒ වෙද්දී අපට අවශ්‍ය මල් පැල අරගෙන ඉවර වෙලා තිබුණත් මේ අසරණයෝ දෙතුන්දෙනාත් ගෙදර ගෙනියන්න මට හිතුණා. ඒත් ඒවාට ආයෙත් පණ එයිද කියලා නම් ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ.

ගෙදර ගෙනත්, වත්තේ පොඩි ඉඩක් වෙන්කරලා 'ආදරය' ටිකක් දුන්නාම නොහිතූ වේගයෙන් මේ පැල ඔක්කොම දළු දාලා හැදෙන්න ගත්තා. සති කීපයක් ගිය තැන, අලුත් අවුරුද්දේ මුල් දවසට ඒ එක පැලයක් මට මලකුත් උපද්දලා තිබුණා. 

ඉතින් ඔබ සැමටත් මේ 2024 අවුරුද්ද අලුතින් මල් පිපෙන අවුරුද්දක් වෙන්න කියලා මගෙන් මේ ප්‍රාර්ථනාව. 
May this be a year of new beginnings, Happy New Year!