April 16, 2018

නාරං කැවුම් කතාවක්

අවුරුදු කාලේම ලියූවත් අවුරුදු කැවිල්ලක් ගැන ලියූවත් මේ අවුරුදු කතාවක් නම් නොවන බව මුලින්ම කිව මනාය. මේ, අද බොහෝ කලකට පසු නාරං කැවුමක් කන්නට අවස්ථාවක් ලැබුණු නිසා ඇවිස්සුණු මතකයක් පමණි. මෙල්බන් නගරයේ අවුරුදු කාලයට අඩු නැතිව කැවිලි පෙවිලි කන්නට ලැබෙන්නේ මෙහි ශ්‍රී ලාංකිකයන් බහුලව වෙසෙන නිසාත් ඔවුන් සංවිධානය කරන අවුරුදු උත්සව, අවුරුදු පාටි නිමක් නැති නිසාත් ය. එහෙත් මේ අවස්ථා වලදී නිතර දකින්නට නැති කැවිල්ලකි- නාරං කැවුම්. ඒ ඇතැම් විට ඒවා ලංකාවෙත් හැම පළාතකම නොතැනෙන බැවින් විය යුතුය. ඊයේ පෙරේදා අප නිවසට ආ අවුරුදු පිඟානක නාරං කැවුම් තිබෙනු දැක මට දැනුණේ කියා විස්තර කරනු බැරි ප්‍රීතියකි.

බැලූ බැල්මට අග්ගලාවක් වැනි නාරං කැවුම් තනා ඇත්තේ පැණි පොල් ගුලි හාල් පිටි මිශ්‍රනයක දවටා බැද ගැනීමෙනි. නාරං ගෙඩියක හැඩය සහ ප්‍රමාණය ඇතුවා මිසක එහි නාරං හා වෙනත් නෑකමක් නම් නැත. කෑ විට එක නාරං කැවුමකින් ඉස්මුරුත්තේ වන තරමට  ඒවා බරැති ය.

නාරං කැවුම්
photo-lankadeepa

මා මුලින්ම නාරං කැවුම් හඳුනාගත්තේ ජපුර විශ්ව විද්‍යාලයේ කැන්ටිමක දී ය. බෝඩිම් ජීවිතයට අවතීර්ණ වූ අලුත, හැම කෑම වේලක් ගැනම කල් ඇතිව සිතන්නට සිදුවීම මටත් මගේ සගයන්ටත් මහත් හිසරදයක් විය. ගෙදරදී කිසිම මහන්සියක් හෝ අගයක් නැතිව අතට ආ 'හවස තේ එකේ' පවා වටිනාකම අපට වැඩි වැඩියෙන් දැනෙන්නට විය. දවසේ දේශන හමාර වී එගොඩවත්ත කන්ද බැස බෝඩිමට සේන්දු වූවත් එතැනත් තේ කෝප්පයක් සදා දෙන්නට කෙනෙක් නැති බවත්, එයත් තමන්ම සාදාගත යුතු බවත් මතක් වූ විට එහි යාමටද හදිසියක් දැනුණේ නැත. (මේ වෙද්දී අප බෝඩිමේ දී තුන් වේල උයාගනිමින් සිටි බැවින් මේ කුසීත කම තේ සම්බන්ධයෙන් පමණක් බලපැවැත්වුණු බව කරුණාවෙන් සලකන්න!) මේ නිසා දේශන හමාර වූ පසුත් තව ටික වෙලාවක් විශ්ව විද්‍යාලයේම රස්තියාදු වී තේ ද බී බෝඩිම වෙත යෑමට අපි නොදැනුවත්වම හුරු වුණෙමු. 

ජපුරේ කැන්ටින් ම බර ගණනක් තිබිණි. බණ්ඩාරනායක ශාලාව හෙවත් බශා එකට යන අතරමඟ තිබුණු කැලේ කඩේ, කැන්ටිමේ වරදක් නැතත් එහි බහුතර පාරිභෝගික ශිෂ්‍ය වර්ගය හැඳින්වීමට යොදාගත් 'ජපුර වචනයක්' නිසා නම් ලද බොග කැන්ටිම, 'වැඩක් කරගන්නට වඳින්නට සිදුවන' නිසා පන්සල යැයි ව්‍යවහාර වූ පරිපාලන ගොඩනැගිල්ලේ තිබුණු පන්සලේ කැන්ටිම, කෑම මිළ අධික වූ සුමංගලේ බිම් මහලේ ස්ටාෆ් කැන්ටිම ආදී මේ හැම එකකින්ම තේ සාම්පල් කර බැලූ අප, අවසානයේ නතර වූයේ ඕපන් කැන්ටිම ළඟ ය. 

නාරං කැවුම් ගැන කියන්නට පෙර ඕපන් කැන්ටිම ගැන ද කිව යුතුමය. නම පරිදි ම එය බිත්ති අඩු 'ඕපන්' වැඩි ගොඩනැගිල්ලකි.  ජපුර භූමිය මැද ම අටපට්ටම් හැඩයකට පිහිටා තිබෙන මෙය නිතර සෙනඟ ගැවසුණු තැනකි. මෙහි අති-ඕපන් බව නිසාම වැස්ස ත් සුළඟත් ඒ අතින් විත් මේ අතින් පිටවූවත් කැන්ටිමේ පාරිභෝගික ජනතාව ඉන් සැලුනේ නැත. මේසයක් අල්ලා ගන්නට එක කණ්ඩායමක් තේ බී අවසන් වනතුරු අසලට වී තවත් කණ්ඩායමක් හොර ගල් අහුලන්නට සිදුවන තරමේ ජනප්‍රිය බවක් එහි තිබිණි. 

ඕපන් කැන්ටිමේ තේ බොද්දී 'හපන්නට යමක්' සෙවූ දිනක මට අහම්බෙන් නාරං කැවුම් හඳුනාගන්නට ලැබිණි. වඩාත්ම ලැජ්ජා සහගත කරුණ නම් ඒ වෙද්දීත් විසි එක්වෙනි වයසේ තරම් උන් මා ඊට පෙර කිසි දිනෙක නාරං කැවුම් රස බලා තිබුණේ නැත. කළුතර ප්‍රදේශය ආශ්‍රිතව තිබුණු මගේ උපන් ගමේ දී වත් අම්මාගේ ගම වූ ගාල්ලේ දී වත් අවුරුදු මේස වලදී මේ කැවිල්ල මුණගැසී තිබුණේ නැත. කුතුහලය නිසා කැන්ටිමෙදී පලවෙනි දවසේ එය අත්හදා බැලු මට එදා ඇතිවූයේ love at first sight නොව love at first bite යැයි කිව හැක. එතැන් පටන් හැම දිනකම හවස තේ වේලාවට මා ඕපන් කැන්ටිමේ තේ කෝප්පයත්, නාරං කැවුමත් අතර පුංචි දෙව්ලොවක අතරමං වූයෙමි. මිතුරු මිතුරියන්ගේ විහිලු තහළු අරියාදු ආදියෙන් නොසැලුණු මා එකම ප්‍රතිපත්තියෙන් හැම දිනකම නාරං කැවුම් ම ගිල දැමුවෙමි. 'උණු පොල් රොටි කන්න පන්සලට යමු, කැලේ කඩෙන් කොත්තුවක් කමු' ආදී ඔවුන්ගේ සෑම යෝජනාවක්ම මා සලකා බැලුවේ මගේ කැවුම් කන පිළිවෙත අවසන් වූ පසු ය. මෙම පුරුද්ද කොතෙක් මුල් බැස ගත්තාද යත්, හවසට මා දුර එන විට "ටී එකායි.. නාරං කැවුම් එකා..යි' යැයි කෑ ගසන්නට කැන්ටිමේ අයියාද හුරු වී සිටියේ ය. 

ඕපන් කැන්ටිම- ජපුර.
photo dineshftu on instagram

ජපුරේ දී පමණක් මා රස බැලූ නාරං කැවුම් ඉන් පෙර හෝ පසු මේ වනතුරු කොතැනකදීවත් මට මුණගැසුනේ නැත. ඉතින් ඉන් දශක දෙකකට පමණ පසු පිටරටකදී ලැබුණු කැවිලි පිඟානක මගේ පරණ මිතුරා මුණගැසීම මට සිත පිනා යන සතුටක් වීම පුදුමයක්ද? එහි තිබුණේ අග්ගලා නොවන බවට සැක හැර දැන ගත් මා  තේ කෝප්පයක් ද සාදාගෙන හරි බරි ගැසී කැවුමක් අතට ගත්තේ අතීතයට ඉගිලෙමිනි. ඕපන් කැන්ටිම මට අතළඟ සේ දැනුණි. දෑස වසාගත් විට එහි කවුළුවලින් පිටත වල් ඇහැල ගස්වල අඳුරු හේඩාව, කැන්ටිමේ කුස්සියේ අඬු නැති තේ කෝප්ප සේදෙන හඬ, සුළඟට මේස මතට ගසාගෙන එන කහ පැහැති ඇහැල මල්පෙති මට මැවෙන්නට විය. එක පසෙක උණුසුම් දේශපාලන සංවාදයක්, තවත් පසෙක ආර්ථික විද්‍යාව කුප්පියක්, පසුබිමින් කැන්ටිමේ මිදුලේ රඟ දැක්වෙන වීදි නාට්‍යයක බෙර හඬක් හා උස් සිනා හඬක් ඇසෙන්නට විය.  

ඒ නාරං කැවුමට නම් වැඩි ආයුෂ නොතිබුණත්, එහි බලයෙන් මට නොමිලයේම අතීතයේ රවුමක් ගොස් එන්නට ලැබිණි. ආයෙත් ඒ පැත්තේ ගිය දිනක ඕපන් කැන්ටිමේ නාරං කැවුමක් රස බලන්නට ඉටා ගත් මම ජපුර මතකයට අකමැත්තෙන් වුව සමු දුනිමි. 

April 09, 2018

මතක කැබලිති

“වැඩියම හිතට කාවැදුණු පුංචි කාලේ මතක මොනවාද?” මෙය මෑතකදී පැවැත්වුණු එක්තරා ලේඛන වැඩමුළුවකට සහභාගී වූවන්ගෙන් අසන  ලද ප්‍රශ්නයකි. මෙම ප්‍රශ්නයේ අරමුණ වූයේ තම තමන්ගේ හිත පතුලත අතගා සොයාගන්නා මෙවැනි මතක වැඩිහිටියන්ගේ ලෝකයට සාපේක්ෂව ඉතා කුඩා, නොවැදගත් එහෙත් ඉතාම අපූරු ඒවා බව ඔප්පු කිරීමයි.

මෙවැනි මතක කැබලිති සොයමින් මමත් මගේ අතීත මාවත්වල සරද්දී ඉතා පැහැදිලිව සනිටුහන් වූ මතක පෙළක් ළඟ නිතැතින්ම සිත නතර විය. දශක තුනකටත් එපිටින් මෙසේ මගේ සිතට පළමුවෙන්ම ආවේ යහපත් එඬේරාගේ පල්ලියේ සිස්ටර් ඇන්ජලික්ගේ ආගම පාඩමයි. සිස්ටර් ඇන්ජලික් ගේ තියුණු නිල් දෑස මෙලෙස මා සිතට කා වැදුණු පළමු මතකයන්ගෙන් එකකි. ඊට හේතුව මා ඊට පෙර නිල් දෑස් ඇත්තන් දැක නොතිබීම විය හැක. එකල සතියකට වරක් ආගම පාඩමට පාසැල අසල තිබුණු පල්ලියට ප්රා ථමික පන්ති රැගෙන යාම මගේ පාසැලේ සිරිත විය. ඒ සේෂෙල්ස් රටේ වික්ටෝරියා නගරයට කිට්ටුව තිබුණු මෝන් ෆ්ලේරි පාසැලයි. (Mont Fleuri ප්‍රංශ බසින් flowery mountain යන තේරුම සහිතය.) අසූව දශකයේ මුල භාගයයි. මගේ පළමු වසර පංතියයි.

'second child in the second pew..Lydia!!...come forward and lead us in prayer!' 

පල්ලිය පුරා නින්නාද වන සිස්ටර් ඇන්ජලික්ගේ ඒ උස් හඬින් වඩාත්ම තිගැස්සෙන්නේ පෙළට ලී බංකු මත අසුන්ගෙන උන් ළමුන් අතරින් පාඩමට සවන් නොදෙමින්, දවල් හීන බලමින් උන් ළමුන් ය. ඉනික්බිති පල්ලියම මීයට පිම්බා සේ නිශ්ශබ්ද ය. ඉතින් ඒ අණ දේව අණට සමාන බැවින් පිටුපෑමක් නැත. ඈ තෝරාගත්තේ ඔබ ව නම් ඔබ වහා වහා පල්ලිය ඉදිරිපසට ගොස් යාඥාවක් ඇරඹිය යුතු ය.

මෝන් ෆ්ලේරි විදුහල, වික්ටෝරියා, සේෂෙල්ස්  

වයස අවුරුදු හයේදී දෙමව්පියන්ගේ රැකියා නිසා සේෂෙල්ස් රටේ තාවකාලික පදිංචියට යනතෙක් මා පන්සලට මිස  පල්ලියකට ගොස් තිබුණේ නැත. ලංකාවේ අප නිවස ඉදිරිපසම තිබුණු පන්සලේ ශබ්ද වාහිනියෙන් නිරතුරුව නිකුත් වූ ගාථා සහ පිරිත් ඇසී බහ තෝරන වියේදී සිට මට ඒවා කටපාඩම්ව පැවති බව අම්මලා කියනු මා අසා ඇත. ඉතින් ඒ නිසා සේෂෙල්ස් ගිය පසු සතියකට  වරක් පාසැලෙන් සිදු වූ මේ පල්ලි ගමන මට අරුම අත්දැකීමක් විය. පල්ලියේ උස් වහලත්, පාට වීදුරු කවුළු ත්, ලී බංකු ත්, ඉටිපන්දම් සහ මල් සැරසිලිත්, තාලයට ගැයුණු ගීතිකාත් මා  අමුතුම ලෝකයකට රැගෙන යන ලදී. මේ සියල්ලටම වඩා අපගේ පාඩම මෙහෙයවූ සිස්ටර් ඇන්ජලික්ගේ නිල් දෑස මා මෝහනයට පත් කළා වැනි විය. ඈ අපට පල්ලියේදී ඉගැන්වූ පාඩම් මේ වෙද්දී මට මතක නැති වූවත් ඈ දැඩි නීතිකාරියක් බව නම් මට හොඳහැටි මතක ය. 

සතියෙන් සතිය සිදුවන මේ යාඥා ක්‍රියාවලිය නරඹමින් උන් මට මගේ වාරය නොබෝ දිනකින් නොවැරදීම එළඹෙන බව වැටහෙන්නට වැඩි කල් ගත නොවිණි. මා කතෝලික නොවන නිසා යාඥා නොදන්නා වග කිව හැකිව තිබුණු බවක් හය හැවිරිදි මා එකල දැන සිටියේ නැත. යාඥා තබා ඒ වෙද්දී ඒ පාඩම් ඉගැන්වූ බසවත් මට හරිහැටි වැටහුණේ නැත! පන්තියේ අන් ළමුන්ට වඩා හැඩ රුවින් වෙනස් වූ මගෙන් ඒ වග විමසන්නට සිස්ටර් ඇන්ජලික්ට ද මතක් වූයේ නැත. මේ නිසා හැකි ඉක්මණින් අන් අය කී දේ අනුකරණය කරමින් තනිවම යාඥාවක් පුරුදු වූ මා, මගේ නම අඬගැසූ විට පල්ලිය ඉදිරියට ගොස් කොපි කරගත් තාලයකට එය කී අයුරු මට පැහැදිලිව මතක ය. අතරමැද දී වචන පැටලී හඬ බාල වෙද්දී සිස්ටර් ඇන්ජලික් සිනාමුසු මුහුණින් මා දෙස බලා උන් හැටිත්, ඉන් මා දිරිමත් වී යාඥාව සම්පූර්ණ කරගත් හැටිත් මට මතක ය. එදා ඇගේ නිල් දෑස කරුණාවෙන් දිලිසෙමින් තිබිණි. සේෂෙල්ස් හි උන් මුළු කාලයේදීම මා මෙලෙස පල්ලි ගිය අතර ආගමික කරුණු කෙසේ වෙතත් ගීතිකා නම් බොහොමයක් කටපාඩම් විය. මේ මතක කෙතරම් ප්‍රබලදැයි වැටහෙන්නේ වර්තමානයේ මා කතෝලික පාසලක රැකියාව කරද්දී ඉඳහිට සිදුවන පල්ලි ගමනේදී ගැයෙන ගීතිකා මා අතින් ඉබේ මිමිණෙන අයුරු දැනීමෙනි.

මෝන් ෆ්ලේරි පාසැලේ මගේ මිතුරු මිතුරියන් විවිධ පැහැයන්ගෙන් යුතු විය. ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් නීග්‍රෝ  සම්භවයක් තිබුණු අය වූ අතර ‘සුදු පැහැ’ අය ද, ඉන්දියානු හා චීන සම්භවය ඇති  අය ද අතරින් පතර විය. මගේ පන්තියේ අනෙත් සිසු සිසුවියෝ  මට වඩා වසරක් වයසින් ද  දෙගුණයක් තරම් ඇඟ පතින් ද වැඩි වූවන් වූහ. භාෂා පරතරය යාකරගැනීමට අපට මාස දෙකතුනක් ගතවූයේ මා ඒ වෙද්දී දැන සිටියේ සිංහල පමණක් වීමත්, ඔවුන් දැන සිටියේ ක්‍රියෝල් බාසාව පමණක් වීමත් නිසා ය. යමෙක් වතුරකට අතහරින ලද විට අත පය ගසා නොගිලී ගොඩට එන්නට තැත් දරන සේ වෙන කළ හැක්කක් නොමැති නිසා මා ඉතා සීග්‍රයෙන් ක්‍රියෝල් බාසාව ඉගෙන ගත් බව මට මතක ය . එහෙත් ඒ පළමු මාස කිහිපය ඉතා දුෂ්කර විය. ගුරුවරිය කියූ කිසිදෙයක් මට වැටහුණේ නැත. ගණිතය හැර පන්තියේ ඉගැන්වූ කිසිම විෂයක් මට නොතේරිණි. ගණිත ගැටළු යන්තම් විසඳන්නට හැකි වූවත් ඉලක්කම් වලට ක්රිියෝල් බසින් කියන නම් මා දැන සිටියේ නැත. විවේක කාලයේදී සෙල්ලම් වලට හවුල් වන්නට වුවමනා වූවත් මා ඒ අලුත් සෙල්ලම් වල නීති රීති දැනගෙන උන්නේ නැත. ඒවා පැහැදිලි කළත් මට නොතේරිණි. මේ නිසා කඳුළු බොඳ වූ දෑසින් පන්තියේ දොරකඩ හිඳගෙන අන් ළමුන් සෙල්ලම් කරන අයුරු බලා උන් දුක්මුසු මතකයක් ද සිතට කාවැදුණු මේ මතක ගොන්නේ ඇත. මේ කිසිම ගැටලුවකට ගෙදරින් පිළියම් සොයා ගන්නට නොහැකි වූයේ ගෙදර අයත් මා මෙන්ම ක්‍රියෝල් නොදැන සිටි නිසා ය. අක්කලාටත්, ගුරුවරුන් වූ අම්මාටත් තාත්තාටත් භාෂා ගැටලුව උග්‍ර නොවූයේ උසස් පන්තිවල ඉගැන්නුම්  මාධ්‍යය ඉංග්‍රීසි වූ නිසා ය. මේ සියල්ල නිසා ඒ කාලයේ පාසැල් නොගොස් සිටින්නට මට නිතර බඩේ කැක්කුම් වැළඳෙන්නට විය. උදෑසනට හිටිහැටියේම දෑතේ දෙපයේ ආබාධ මතුවන්නට විය. එහෙත් කෙතරම් උත්සාහ කළත් ඒවා නිතර පාසැල් යාම මඟ හරින්නට යෙදිය හැකි උපක්‍රම නොවිණි.

මෝන් ෆ්ලේරි පාසැලේ හතර වසර පන්තියේ මිතුරු කැළ සහ ගුරුතුමිය 


කෙසේ හෝ කල් ගතවෙද්දී මගේ ක්‍රියෝල් දැනුමත් ඒ හා සමඟම මිතුරු සමාගමත් වැඩි දියුණු විය. වචන ගැටගසමින් ලියන්නට, කියවන්නට, කතාකරන්නට මට මඟ පෙන්වූ ඒ පළමු වසර පන්තියේ ගුරුවරියගේ හැඩ රුව ද මට පැහැදිලිව මතක ය.  මගේ ඒ සීග්‍ර දියුණුව ඇගේ මහන්සියේ සෘජු ප්‍රතිපලයකි. ක්‍රියෝල් කතාකරන්නට හැකිවීමත් සමඟම පන්තිය තුළ මගේ ජනප්‍රිය බව සීරුවෙන් වැඩි වූ අතර මගේ පන්තියේ සගයන්ට මා ‘අර පිටරට ළමයා’ විය. එකල වයසටත් වඩා ඉතා කුඩා සිරුරින් යුතු වූ මාව ඔවුන් එක්තරා ආකාරයකට හදා වඩා ගන්නට විය. විවේක කාලවලදී ළමුන් දෙදෙනෙකු දෑත් එක්කර සාදාගත් ‘පුටුවක’ මා තබාගෙන පාසැලේ තැන තැන රැගෙන දිව ගිය හැටි මට මතකය. එය මට කිසිම මහන්සියක් වීමට අනවශ්‍යය වූ ඉතාම විනෝදජනක ක්‍රීඩාවක් විය! වැඩි කල් ගතවන්නට මත්තෙන් ‘චර බර’ ගා ක්‍රියෝල් කතා කළ මා පෙනුමෙන් ද එන්න එන්නම නීග්‍රෝ කෙල්ලෙකුගේ හැඩ හුරුකම ගත් බවට අක්කලා නිතර විහිලු කළ හ. එහෙත් මගේ මේ විශේෂ දස්කම ප්‍රයෝජනවත් වන අවස්ථා ද තිබිණි. අප නිවසේ අලුත්වැඩියාවන් සඳහා ඉංග්‍රීසි දැනුම දුර්වල කම්කරුවන් ආ විට කළ යුතු දේ පැහැදිලි කරන්නට භාෂා පරිවර්තක ලෙස ගෙදර අයට මා නැතිවම බැරි විය! 

මා හතර වසරේදී ගණන් හැදූ ගණිතය අභ්‍යාස පොතක් 

අප නිවස ඉදිරිපස තිබුණු සුවිශාල පිණි ජම්බු ගස සේෂෙල්ස් හි ගත කළ මගේ ළමා කාලයේ තවත් වැදගත්ම මතකයකි. මට මතක හැටියට මා ගෙදර ගතකළ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ගත කළේ මෙහි අතුපතරේ ය. එක අත්තක සදාකාලික ඔන්චිල්ලාවක් ද ජම්බු වාරයට ගස පිරෙන්නට ගෙඩි ද තිබුණු නිසා මේ පිණි ජම්බු ගස අසල්වාසී ළමා රංචුවගේ ද ප්‍රියතම තිප්පලක් විය. මල් වාරයට පළාතක් වැසෙන්නට සුදු පැහැති මල් රේණු ද, ගෙඩි වාරයට අපට ලංවිය නොහැකි තරමේ ඉහල අතුවලින් ඉදී වැටෙන ගෙඩි ද නිසා නිරතුරුව මිදුල හැඩි වුණත් පිණි ජම්බු ගස අපගේ ප්‍රධාන සෙල්ලම් මධ්‍යස්ථානය විය. මාත් මගේ අසල්වැසි මිතුරු මිතුරියනුත් මෙහි අතු අතරේ හිඳ සැලසුම් කළ මුහුදු කොල්ලකෑම් ගණන, රටවල් ආක්‍රමණය කිරීම් ගණන, අභ්‍යවකාශ චාරිකා ගණන නිමක් නැත. ගසේ දෙබලක ලෑල්ලක් අටවා එහි ප්ලාස්ටික් සෙල්ලම් කෝප්ප, පීරිසි තබා treetop-සෙල්ලම් ගෙයක් ද එහි සකසා තිබුණි. මීට නම් වැඩි ආයුකාලයක් නොතිබුණේ ගස උඩට සෙල්ලමකට හවුල් කරගැනීමට රැගෙන ගිය සුරතල් බළලෙක් අයිතිකරුවද සූරා, සෙල්ලම් බඩු ලෑල්ල මතට පැන එය බිම වට්ටවා පැන ගිය නිසා ය. පළමුවෙන් ප්ලාස්ටික් සෙල්ලම් බඩු ද, ඒ මතට ලෑල්ල ද වැටුණු නිසා ඒවායේ අවසානය ඛේදජනක විය. මේ පිළිබඳව හඬා දොඩා වැඩිහිටියන්ට පැමිණිලි කිරීමෙන් බැනුමකට වැඩි ප්‍රතිපලයක් නොලැබෙන බවට දැනුණු ‘ළමා ඉව’ නිසා ඒ කෝප්ප පීරිසි කට්ටලයේ හදිසි අතුරුදන් වීම රහසක් ලෙසින්ම සුරැකිණි. සේෂෙල්ස් හි පදිංචිය අතහැර ලංකාවට ගොස් බොහෝ කලකට පසු යළිත් වරක් නිවාඩුවකට එහි යන්නට ඉඩ ලද විටෙක මගේ ‘නැවත දැක බලා ගත යුතු ලැයිස්තුවේ’ මුල හරියේම මේ පිණි ජම්බු ගස තිබිණි. ඒ වෙද්දීත් අප උන් නිවසේ අලුත් අයිතිකරුවන් ඊට කිසිම හානියක් නොකර තිබුණා පමණක් නොව මා නැවත එහි යද්දීත් පෙර කලකදී මෙන් එහි අතුපතර කුඩා උන් රංචුවක්ම කෑ කෝ ගසමින් හිඳිනු දක්නට හැකි විය. 

‘මතකය වෙරළත ඇවිදින කුඩා දරුවෙකි. ඔහු අහුලා සුරැකිව තබාගන්නේ මොනවාදැයි කිසිවෙකුට කල්තබා දැනගන්නට නොහැක”- පියර්ස් හැරිස් ගේ මේ කියමන කෙතරම් සත්‍ය දැයි සිතෙන්නේ හිත පතුලේ සුරැකිව ඇති මෙවැනි මතක කැබලිති බොහෝ කලකට පසු යළිත් අතට ගත් විට තවමත් දිදුලන ඒවායේ දිස්නය දකිද්දී ය.