September 11, 2019

කාබුල් වෙළෙන්දා


Translation of the short story Cabuliwallah by Rabindranath Thagore




මගේ පස් හැවිරිදි දියණිය, මිණි, නොදොඩා සිටින්නට දන්නේම නැති කෙල්ලකි. ඇගේ දිවියේ විනාඩියක් වත් නිහඬ ව ගත කර අපතේ යවා නැති බව මම නම් තදින් විශ්වාස කරමි. ඇගේ මව මේ ගැන කේන්ති ගෙන ඒ දෙඩවිලි නවතාලන්නට වෙහෙසුණත්, මා නම් කිසිවිටකවත් එසේ කළේ නැත. මිණි නිහඬව සිටිනු දැකීම අසාමාන්‍ය දසුනක් වූ අතර මට එය දරාගනු බැරි දෙයක් විය. ඉතින් මාත් ඈ හා නිරතුරුවම රස කතාබහේ යෙදුණි. 

ඇතැම්විට සිදුවූයේ මෙවැන්නකි. මගේ අලුත්ම නවකතා පොතේ දාහත්වන පරිච්ජේදය ලියමින් සිටිනා වෙලාවක, මිණි හෙරක මෙන් රහසේම කාමරයට විත් මගේ අත අල්ලා ගෙන මෙසේ කියන්නීය.

"තාත්තා! රාම් දයාල් දොරටු පාලකයා කපුටා කියලා කියන්නේ වැරදියට! එයා මුකුත් දන්නේ නැහැ නේද?"

මා ඈට ලෝකයේ ඇති භාෂාවල වෙනස්කම් ගැන පැහැදිලි කරන්නට තැත් කරද්දීම ඈ වෙනම මාතෘකාවක් පටන්ගෙන අවසන් ය. 

"භෝලා කියනවා අහසේ අලියෙක් ඉඳගෙන උගේ හොඬවැලෙන් වතුර විදින එකලු අපිට වහිනවා වගේ පේන්නේ! ඇත්තද තාත්තා?"

ඊට ගැලපෙන පිළිතුරක් මා ගොනු කරද්දී ඇගේ කතා වෙනත් දෙසකට දිවගොස් හමාර ය. 

"තාත්තා! අම්මාගෙයි ඔයාගෙයි මොකක්ද තියෙන නෑකම?"

ඉතා අමාරුවෙන් සිනාව වළක්වා ගන්නා මා "මිණි! ගිහින් භෝලා එක්ක සෙල්ලම් කරන්න, මම වැඩක්!" කියාගන්නට සමත් වේ. 

මගේ කාමරයේ කවුළුවට මහපාර හොඳින් දිස් විය. දිනක් දැරිය මේසය අසල බිම මගේ දෙපා කිට්ටුවෙන් සෙල්ලම් කරමින් උන්නා ය. මගේ පොතේ දාහත් වන පරිච්ජේදය ලියා නිම කරන්නට මම වෙහෙසෙමින් සිටියෙමි. ඒ කතාවේ වීරයා වූ ප්‍රතාප් සිං, වීරවරිය වූ කාංචනලතා ව බදා වැළඳගෙන මාලිගාවේ තුන්වෙනි මහලේ කවුළුවකින් පනින්නට සූදානම් වූවා පමණයි, මිණි කෑ ගසමින් කවුළුව අසලට දිව ගියා ය. 

"කාබුල් වෙළෙන්දෙක්, කාබුල් වෙළෙන්දෙක්!" ඈ කෑ ගෑවා ය. 

ඈ කී පරිදිම කාබුල් සිට පැමිණි වෙළෙන්දෙක් මහමඟ ගමන් කරමින් සිටියේ ය. ඔහුගේ උපන්බිම වැසියන් පළඳින ආකාරයේ බුරුල් කිළුටු ඇඳුමක් ඔහු ඇඳ සිටි අතර හිසේ කුඩා තලප්පාවක් ද විය. ඔහු පිටේ මල්ලක් එල්ලාගෙන සිටි අතර අතේ මිදි පිරවූ පෙට්ටියක් විය. 

දියණිය ඔහුට හඬගැසුවේ කුමන අදහසකින්දැයි මා නොදැන සිටි නමුත් එය අසා 'දාහත්වන පරිච්ජේදය ලියලා හමාරයි!' කියා නම් මට සිතිනි. දැරිය දුටු වෙළෙන්දා අපගේ ගෙවත්ත වෙත හැරුණු මොහොතේම දැරිය බියෙන් ත්‍රස්ත වී මව වෙත ගොස් සැඟවුනා ය. හැඩි දැඩි මිනිසා අත වූ මල්ලේ ඈ වැනිම ළමයින් තව කීප දෙනෙක් ඇති බවට අන්ධ විශ්වාසයක් මිණි හට තිබූ බව පෙනිණි. ඒ අතරවාරයේ වෙළෙන්දා සිනාසෙමින් මා අභියස සිටගෙන සිටියේ ය. 

මගේ පොතේ වීරයාත් වීරවරියත් පසු වූ අඩමාන අවස්ථාව සලකා කුමක් හෝ මිළ දී ගෙන මොහුව යවා දමන්නට මට හදිසි ආවේගයක් ඇති විය. එහෙත් මා ඔහුගෙන් සුළු දේවල් කිහිපයක් මිළදී ගනිද්දී අබ්දුල් රහමාන් ගැන, රුසියානුවන් ගැන, ඉංග්‍රීසින් ගැන, දේශසීමා ප්‍රතිපත්ති ගැන අප අතරේ කතාබහක් ඇති විය. 

යන්නට පිටත් වෙද්දී “පුංචි බේබි කෝ සර්?” යැයි ඔහු විමසී ය.

මිණි ගේ සිතේ මේ මිනිසා ගැන පැලපදියම් ව ඇති බොරු බිය තුරන් කළ යුතු බව සිතූ මම ඇය ව පිටතට කැඳවාගෙන ආවෙමි. ඇය මගේ පුටුව අසල සිටගෙන කාබුල් වෙළෙන්දාත් ඔහුගේ මල්ලත් දෙස බලා සිටියා ය. ඔහු ඇයට වියළි මිදි සහ කජු පියලි අහුරක් දුන් නමුත් ඈ එය පිළිනොගෙන මා වෙතම ඇලී සිටියේ වැඩුණු සැකයෙනි. 

ඒ ඔවුන්ගේ පළමු හමුවීමයි.

ඊට දින කිහිපයකට පසු උදෑසනක නිවසින් පිටවෙද්දී මිණි දොරකඩ අසල බංකුවක හිඳ ඇගේ දෙපා අසල වාඩිගෙන සිටි කාබුල් වෙළෙන්දා සමඟ ඉතා සතුටින් කතාබහක යෙදෙනු දැක මම ඉමහත් පුදුමයට පත් වුණෙමි. තාත්තාට අමතරව තමන්ට මෙලෙසින් ඉවසිල්ලෙන් සවන් දෙන වෙන කිසිවෙක් දියණියට පෙර කිසිදිනක ලැබී තිබුණේ නැත. ඒ වෙද්දීත් අමුත්තා ඇයට තෑගි කළ ආමන්ඩ් ඇට සහ වියළි මිදි වලින් ඇගේ පුංචි ඇඟලුමේ කෙළවරක් පිරී තිබිණි. “මොකටද එයාට මේවා දුන්නේ?” විමසමින් මා ඔහුට ඒ වෙනුවෙන් ශත අටක් දුන් විට ඔහු විරෝධයක් නොපා ම එය ගෙන සිය සාක්කුවේ රුවා ගත්තේ ය. 

එහෙත් මා ඉන් පැයකට පමණ පසු නැවත නිවසට එද්දී ඒ අවාසනාවන්ත කාසිය එහි වටිනාකමෙන් දෙගුණයකටත් වඩා වැඩි තරමේ කලබැගෑනියක් සිදු කර තිබිණි. වෙළෙන්දා මා දුන් කාසිය මිණි හට දී තිබුණු අතර එය ඇය අත දිලිසෙමින් තිබියදී ඇගේ මවට හසු වී තිබිණි. 

“ඔයාට කොහෙන්ද ඔය සල්ලි?” අම්මා සැකයෙන් ඇගෙන් විමසා ඇත.

“මට කාබුල් වෙළෙන්දා දුන්නේ” මිණි සතුටින් පිළිතුරු දී ඇත

“කාබුල් වෙළෙන්දා දුන්නා! අනේ මිණි ඔයා මොකටද ඒක එයාගෙන් ගත්තේ?” අම්මා කම්පාවෙන් කෑ ගසා ඇත. 

එවෙලේ නිවසට ආ මාහට මිණි ට සිදු වන්නට නියමිත ව තිබුණු ව්‍යසනයෙන් ඈ ව ගලවා ගන්නට හැකි විය. මඳක් ප්‍රශ්න කිරීමෙන් පසු මට මේ මිතුරුකමේ සැබෑ තතු අනාවරණය විය. ඒ, ඔවුන් දෙදෙනා මුණගැසුණු පළමු හෝ දෙවෙනි අවස්ථාව නොවන බවත්, නිරන්තරයෙන් ආමන්ඩ් ඇට සහ වෙනත් රසකැවිලි අල්ලස් දී දැරිය තමන් වෙත ඇති අධික බිය මඟහරවා ගැනීමට වෙළෙන්දා සමත් වී ඇති බවත්, දැන් ඒ දෙදෙනා හොඳ යහළුවන් බවත් මට සොයාගනු හැකි විය. 

මේ දෙදෙනාට ම වෙන් වූ අපූරු විහිලු රැසක් තිබුණු අතර දෙදෙනාම ඉන් මහත් විනෝදයක් ලැබූ හ. උස මහත මිනිසා අබියස හිඳ සිටින මිණි ඉතාමත් කුඩාවට, එහෙත් බෙහෙවින්ම උදාර ව දිස් විය. ඈ කැකිරි පලමින් ඔහුගෙන් ප්‍රශ්න අසන්නට පටන් ගනී. 

“කාබුල් වෙළෙන්දා, කාබුල් වෙළෙන්දා.. මොනවාද ඔය මල්ලේ තියෙන්නේ?”

“අලියෙක්!” ඔහු කඳුකර වැසියන්ගේ නාසික හඬින් පිළිතුරු දේ.

බැලූ බැල්මට මෙහි මහා හාස්‍යයක් නොතිබුණත් ඒ දෙදෙනා නම් ඉන් මහත් සතුටක් ලැබූ බව පෙනිණි. එය අසා සිටි මටත් කුඩා දරුවෙක් වැඩිහිටියෙක් හා සමඟ කරන කතාබහේ අමුතු චිත්තාකර්ෂණීය බවක් දැනිණි. 

තමන්ගේ වාරය පැමිණි විට වෙළෙන්දා ත් නොදෙවෙනිව මිණි ගෙන් ප්‍රශ්න අසන්නට විය. 

“දැන් කවද්ද පුංචි බේබි මාමණ්ඩිලාගේ ගෙදර යන්නේ?”

බෙංගාලි කෙල්ලන් ‘මාමණ්ඩි ගේ ගෙදර’ ගැන ඉගෙනගන්නේ කුඩා කාලයේ දී ම ය. එහෙත් අප මඳක් අලුත් පන්නයේ වූ බැවින් මෙවැනි දේ දැරියගෙන් වසන් කර තිබුණු අතර මේ ප්‍රශ්නයෙන් ඇය මඳක් වික්ෂිප්ත වූ බවක් දිස් විය. එහෙත් ඒ බවක් නොපෙන්වා ඈ උපාය නුවණින් “ඔයාත් යනවාද එහේ?” යැයි වෙළෙන්දාගෙන් ආපිට ප්‍රශ්න කළා ය. 

කාබුල් වෙළෙන්දාගේ පන්තියේ මිනිසුන් අතර ‘මාමණ්ඩි ගේ ගෙදර' යන පදයට යටි අරුතක් තිබිණි. ඔවුහු එය හිරේ විලංගුවේ වැටෙනවාටත් යෙදූ හ. ඔවුන් එසේ කීවේ එය තමන්ගේ කිසි වියදමක් නොමැතිව, කා බී සැපට සිටිය හැකි තැනක් යන්න අදහස් වන්න යි. ඉතින් මේ හැඩිදැඩි වෙළෙන්දා දියණිය නැඟූ ප්‍රශ්නය ඒ අරුතින් වටහා ගත් බවක් පෙනිණි. 

සිතින් මවාගත් පොලිස්කරුවෙක් වෙත අත මිට මොලවමින් “ආ..මාමණ්ඩි ට මම තඩිබාන්න ඉන්නේ!” යැයි ඔහු කීය. මෙය අසා ගුටි කන මාමණ්ඩියෙක් සිතින් මවාගත් මිණි මහා හඬින් සිනාසෙන්නට වූ අතර ඇගේ ඒ සිනාවට වෙළෙන්දාත් හවුල් විය. 

අතීතයේදී එවැනිම සරත් කාලවලදී පැරණි රජවරු වෙනත් සතුරු රාජධානි අත්පත් කරගැනීමට යුධ වැදුණු නමුත් මම කල්කටාවේ මගේ කුඩා මුල්ලෙන් නොසෙල්වී ම මනසින් ලොව පුරා ඇවිද්දෙමි. වෙනත් රටක නමක් ඇසුණු පමණින්, මඟ තොට දී විදේශිකයෙක් දුටු පමණින් මගේ සිත සිහින ජාලයක් වියන්නට උත්සුක විය. එරට කඳු නිම්න ගැන, වනාන්තරයක් අසල කුඩා නිවහනක් ගැන, එහි මිනිසුන් ගතකළ නිදහස් නිවහල් දිවිය ගැන කතන්දර මවාගන්නට මම පුරුදු ව සිටියෙමි. සමහරවිට මේ දවල් සිහින මැවීම මා සිදුකළේ මා ගත කළ ඒකාකාරී ජීවිතය සංචාරයක අදහසින් පවා උඩු යටිකුරු වන බව දැන සිටි නිසා විය හැක. කාබුල් වෙළෙන්දා ළඟපාතක සිටින විට ඔහුගේ ගම් ප්‍රදේශයේ ශූෂ්ක කඳු පන්ති සහ ඒ අතරින් දිවෙන පටු අඩි පාරවල් වෙත මම නිරතුරුව සිතින් ගමන් කළෙමි. බඩු පොදි ඔසවා යන ඔටුවන්, අමුතු තුවක්කු සහ හෙල්ල අතින් ගත් තලප්පා බැඳි වෙළෙඳුන් තැනිතලා බිම් මතින් ගමන් කරනු මට මැවී පෙනුණි. ඒත් මෙවැනි අවස්ථා වලදී මිණි ගේ අම්මා මගේ දැහැන බිඳින්නේ ‘අර මිනිහාගෙන් පරෙස්සම් වෙන්න ඕන!’ යැයි ඇවිටිලි කරමිනි. 

අවාසනාවකට මෙන් මිණි ගේ අම්මා ඉතා කුලෑටි කාන්තාවක් විය. පාර දෙසින් ශබ්දයක් ඇසුණු විට, නොඑසේ නම් නිවස දෙසට කවුරුන් හෝ පැමිණෙනු පෙනුණු විට ඈ වහා වහා ඒ ගැන වැරදි නිගමනයන්ට එළඹෙන්නට උත්සුක වේ. හැමවිටම ඒ එන්නේ හොරු ය, බේබද්දන් ය, සර්පයන් ය, කොටි ය. එක්කෝ මැලේරියාව ය, කැරපොත්තන් ය. නොඑසේ නම් දළඹුවන් ය. කොයිතරම් කාලයක් ගත වූවත් ඇයට මෙවැනි භීතිකාවන්ගෙන් මිදෙනු නොහැකි විය. මේ නිසා කාබුල් වෙළෙන්දා ගැන මහත් සැකයෙන් පසු වූ ඈ ඔහු ගැන ඇස ගසාගෙන සිටින මෙන් මගෙන් අයැද්දා ය. 

ඇය නිකරුණේ බිය වී ඇති බව කියා එය විහිළුවකින් බැහැර කරන්නට මා උත්සාහ කළත් ඈ බරපතල ප්‍රශ්න නඟා මගේ තර්ක බින්දා ය. 

ළමුන් පැහැරගෙන යාම රට තොට සිදුවෙන්නේ නැති ද?

කාබුල් නගරයේ වහල් සේවය තියෙන බව කියවෙන්නේ බොරු ද?

මේ හැඩිදැඩි මිනිසා මේ පුංචි දරුවා පැහැරගනී යන්න විය නොහැකි ම ද?

එය සිදුවිය හැකි දෙයක් වූ නමුත් එවැන්නක් සිදු නොවනු ඇති බව ඇයට ඒත්තු ගන්වන්නට මා මහන්සි ගත්තත් ඇගේ බියේ වෙනසක් සිදු වූයේ නැත. එහෙත් ඒ මිනිසාට නිවස වෙත ඒමට තහංචි පැනවීම නුසුදුසු බවක් දැනුණු හෙයින් මේ මිතුරුකම වෙනසක් නොවී ම ගලා ගියේ ය. 

හැම වසරකම ජනවාරි මාසයේ මැදදී රාමන් නම් වූ ඒ කාබුල් වෙළෙන්දා තමන්ගේ ගම රට බලා යෑම පුරුද්දක් කරගෙන සිටියේ ය. ඒ කාලය කිට්ටු වෙද්දී ඔහු ඉතා කාර්යබහුල වූයේ ගෙයින් ගෙට ගොස් ණය එකතු කරගැනීමට වෙහෙසුණු නිසා ය. එහෙත් මේ වසරේ නම් ඒ රාජකාරි අතරතුරේ දී පවා ඔහු මිණි බලන්නට එන්නට කෙසේ හෝ වෙලාව සොයා ගත්තේ ය. පිටින් බලන්නෙකුට නම් මෙය මේ දෙන්නාගේ කුමන්ත්‍රණයක් සේ පෙනෙන්නට ඉඩ තිබුණේ උදය වරුවේ බැරි වුවහොත් කෙසේ හෝ හවස් වරුවේ දී හෝ ඔහු ඈ බලන්නට පැමිණි නිසා ය. 

ඇතැම්විට බඩු පොදි අතින් ගත් මේ හැඩිදැඩි මිනිසා අඳුරු දොරකඩකින් මතුවනු දකිද්දී මා හට වුව තිගැස්මක් ඇති වූ නමුත් “ආ කාබුල් වෙළෙන්දා! කාබුල් වෙළෙන්දා!” කියමින් මිණි ඔහු වෙත දිව යනු දකිද්දී, වයසින් අහසට පොළොව වැනි වූ මේ මිතුරන් දෙදෙනාගේ විහිලු තහළු ඇසෙද්දී මටත් යම් සැනසිල්ලක් දැනිණි. 

ඔහු නිවාඩුවට ගම රට බලා යන්නට නියමිතව තිබුණු දිනට දින කිහිපයකට කලින් මා මගේ පොතේ හරි වැරදි බලමින් කාමරයේ විය. කාලගුණය තරමක් සීතල වූවත් කවුළුවෙන් ආ හිරු රැස් තීරුවක් මගේ දෙපා ස්පර්ශ කර මඳ උණුසුමක් පැතිරවීය. වේලාව උදෑසන අටට ආසන්න ව තිබුණු අතර පාන්දරින්ම මහමඟ ට බට මගීන් තමන්ගේ හිස් ආවරණය කරගෙන නිවෙස් බලා යනු පෙනිණි. හිටිවනම මහා පාර දෙසින් කලබගෑනියක් ඇසුණු අතර මා එබී බලද්දී දුටුවේ මාංචු ලූ රාමන් ව පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කැඳවාගෙන යන ආකාරය යි. ඔවුන් පසුපසින් කුතුහලයෙන් පිරුණු කොලු රංචුවක් ද විය. කාබුල් වෙළෙන්දාගේ ඇඳුම් වල ලේ පැල්ලම් තිබුණු අතර එක් පොලිස් නිලධාරියකු අත පිහියක් විය. මම වහා වහා දිව ගොස් ඔවුන් ව නවත්වා සිදුව ඇති දේ ගැන විස්තර ඇසුවෙමි. පිරිසේ සිටි අය කී දෙයින් මට තේරුම් ගියේ රාම්පුරි සාළුවක් මිළදී ගැනීම වෙනුවෙන් මගේ අසල්වැසියෙක් රාමන් ට ණයක් තිබුණු බවත්, ඒ ගැන විමසද්දී ඔහු එය ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඉන්පසු ඇති වූ රණ්ඩුවේ දී රාමන් ඔහුට පහර දී ඇති බවත් ය. මේ විස්තර කිරීම් සිදුකෙරෙද්දීත් චූදිතයා තම සතුරාට විවිධ අපහාස කරමින් පසු විය. මේ අතරේ අප නිවසේ බරාඳයෙන් හදිසියේ මතු වූ මගේ කුඩා මිණි “ආ කාබුල් වෙළෙන්දා! කාබුල් වෙළෙන්දා!” යැයි සුපුරුදු ලෙස කෑ ගසමින් දිව ආවා ය. ඈව දුටු විට රාමන් ගේ මුහුණ සතුටින් දිලිසෙන්නට විය. එදා නම් ඔහු සතුව මල්ලක් නොතිබුණු නිසා එහි අලියෙක් සිටී ද නැද්ද යන වග ගැන ඇයට ඔහුගෙන් විමසන්නට නොහැකි බැවින් ඇය ඉක්මණින් ම ඊළඟ ප්‍රශ්නයට යොමු වූවා ය. 

“ඔයා මාමණ්ඩි ගේ ගෙදර යනවාද?”

රාමන් එය අසා සිනාසී, “ඔවු පුංචි බේබි, හරියට හරි, එහේ තමයි මම මේ යන්නේ!” යැයි කීය. 

ඒත් ඒ පිළිතුරින් ඈ සතුටු වූ බවක් නොපෙන්වූ නිසා ඔහු මාංචු ලූ දෑත පෙන්වා 

“මගේ අත් දෙක ගැට ගහලා නේ, නැත්නම් මම දෙනවා උන්දැට හොඳ පාරක්!” ද කීය. 

ජීවිත හානි කිරීමට තැත් කිරීම හා පහර දීම වෙනුවෙන් රාමන් ට වසර කීපයක සිර දඬුවමක් ලැබුණි. 

සුපුරුදු ලෙස කාලය ගත වූ අතර ඒ කාලයේදී කිසිවෙකුටවත් රාමන් ව සිහිපත් වූයේ නැත. කලක් නිදහසේ විසූ කඳුකර වැසියා සිරකුටියක වසර ගණනක් ගත කරන බව අපට මතක් වූයේ වත් නැත. ප්‍රීතියෙන්, සැහැල්ලුවෙන් සිටි මගේ කුඩා මිණි ට පවා ඇගේ පරණ මිතුරා අමතක වූ බව මට කියන්නට කණගාටු ය. ඇය වයසෙන් වැඩෙද්දී ඇගේ ජීවිතයට අලුත් සගයන් එක් වූ අතර ඇය වැඩිපුරම ආශ්‍රය කළේ වෙනත් දැරියන් ය. ඇය ඔවුන් හා කෙතරම් කාලය ගත කළාද යත් ඇගේ පියාව බලන්නට ඔහුගේ කාමරයට එන්නට පවා ඇයට වෙලාවක් තිබුණේ නැත. ඒ වෙද්දී අප දෙදෙනාගේ කතාබහ නැත්තටම නැති තරම් විය. 

වසර ගණනක් ගත වූ පසු එළඹුණු එක් සරත් සමයක මිණි ගේ විවාහය සඳහා කටයුතු සූදානම් කර තිබිණි. ඊට දින යෙදී තිබුණේ පූජා නිවාඩු වකවානුවේ දී ය. දුර්ගා කයිලාස් වෙත යද්දී අප නිවසේ ආලෝකයත් පියා ගේ නිවස අඳුරේ තනිකර සැමියා ගේ නිවස වෙත යන්නට නියමිත ව තිබිණි. 

එය දීප්තිමත් උදෑසනක් විය. වැසි වැටී වටපිටාවේ අලුත් පිවිතුරු බවක් දිස් විය. නුමුහුන් රත්‍රන් සේ බැබලුනු හිරු කිරණ නිසා කල්කටාවේ අතුරු මාවතක තිබුණු අප නිවසේ ගඩොල් බිත්ති පවා දිදුලමින් තිබිණි. පාන්දර පටන් මඟුල් උළෙල වෙනුවෙන් අප නිවසේ වැයෙමින් තිබුණු නළා හඬේ හැම ස්වරයක් පාසා ම මහද සැලිනි. ඒ වැයුණු බයිරවී රාගයෙ විලාපය එළඹෙමින් තිබුණු වියෝව ගැන මා හට දැනුණු වේදනාව උත්සන්න කරවී ය. මගේ මිණි එදා විවාපත් වෙන්නට නියමිතව තිබිණි!

පාන්දර සිටම නිවස සද්ද බද්ද හා කලබලයෙන් පිරී තිබිණි. මැද මිදුලේ සිටවූ උණ බම්බු අතර වියනක් බඳින්නට නියමිතව තිබිණි. සිහින් කිංකිණි හඬ නංවන පොකුරු පහන් හැම කාමරයකත් බරාඳයේත් එල්ලන්නට නියමිතව තිබිණි. බැලු බැලූ අත නොනිම් කඩිමුඩියත් උද්වේගයත් දක්නට විය. මා මගේ කුටියේ ගණන් පරීක්ෂා කරමින් සිටිද්දී යම් පුද්ගලයෙකු ඇතුල් වී, මට ගෞරවයෙන් ආචාර කර පසෙකින් සිට ගත්තේ ය. ඒ කාබුල් වෙළෙන්දා වූ රාමන් විය. මට මුලදී ඔහුව හඳුනාගැනීමට දුෂ්කර වූයේ ඔහු අත මල්ලක් නොතිබූ නිසාත්, ඔහුගේ දිගු කොණ්ඩය කොටට කපා තිබුණු නිසාත්, ඔහු සතුව පෙර තිබුණු ප්‍රබෝධමත් බව පෙනෙන්නට නොතිබුණු නිසා ත් ය. එහෙත් ඔහු මා හා සිනාසුණු සැණින් මම ඔහුව හඳුනාගත්තෙමි.

"උඹ කවද්ද ආවේ රාමන්?" මම ඔහුගෙන් ඇසුවෙමි.


"ඊයේ හවස හිරෙන් නිදහස් වුණා" ඔහු කීය.


ඒ වදන්වල කර්කශ බවක් මට දැනුණි. තම සහෝදර වැසියෙකුට තුවාල කළ පුද්ගලයෙක් හා මා පෙර කෙදිනකවත් සාමීචි පවත්වා තිබුණේ නැති අතර ඒ බව වැටහුණු විට මගේ හදවත කීරි ගැසිණි. අද වැනි සුභ දිනයක ඔහු නෑවිත් සිටියා නම් යහපත් බව මට සිතිණි.

"අද උත්සව දවසක්, ඒ නිසා මට වැඩ ගොඩයි. උඹට බැරිද වෙන දවසක ආපහු එන්න?" මම ඇසීමි.

එය අසා ඔහු වහා වහා යන්නට හැරුණත්, දොර ළඟ මඳක් නතර වී "මට පුංචි බේබි ව ඩිංගකට බලන්න බැරිද සර්?" යැයි විමසී ය. මිණි තවමත් පෙර සේ ම නොවෙනස් ව ඇති බව ඔහු විශ්වාස කර තිබිණි. "ආ! කාබුල් වෙළෙන්දා.. කාබුල් වෙළෙන්දා!" කියමින් ඇය ඔහු වෙත දිව එනු ඇතැයි ඔහු මවාගෙන ඉන්නට ඇත. අතීතයේදී කළ පරිදිම දෙදෙනාට සිනාසෙමින් කතා කරනු හැකිවේ යැයි ඔහු සිතා තිබිණි. ඔහු අත තිබුණු මුදල් සියල්ල අහිමි වූ නිසා වෙනත් වෙළෙන්දෙකුගෙන් කෙසේ හෝ ඉල්ලා ගත් ආමන්ඩ් ඇට සහ වියළි මිදි මුලක් ඔහු රැගෙන විත් තිබුණේ මේ අතීත මතකයන් මැද ගැවසෙමිනි.

"අද ගෙදර උත්සවයක්. අද කවුරුවත් මුණගැහෙන්න බැහැ" මම නැවතත් කීවෙමි.

එය අසා ඔහුගේ මුහුණ අඳුරු විය. ඔහු කල්පනා බරව මා දෙස බලා හිඳ "සුබ දවසක්" කියා පිටතට යන්නට ගියේ ය.

ඔහු ගැන තරමක අනුකම්පාවක් දැනුණු නිසා මා ඔහුට නැවත හඬ ගසන්නට යද්දී ඔහුම ආපිට පැමිණියේ ය. නැවතත් මා අසලට පැමිණි ඔහු 

"මම මේ ගෙනාව දේවල් ටික පුංචි බේබි ට දෙන්න පුළුවන් ද සර්?" කියා ඇසීය. මම ඔහු වෙතින් එය අරගෙන ඒ සඳහා මුදල් ගෙවන්නට සූදානම් වෙද්දී ඔහු මගේ අත අල්ලා එය වැළකීය.

"සර් බොහොම කරුණාවන්තයි, මට සල්ලි එපා, මාව මතක තියාගන්න-ඒ ඇති. මහත්තයාගේ දුව වගේම දුවෙක් මටත් ගමේ ඉන්නවා. ඈ ව මතක් වෙලායි මම පුංචි බේබි ට රසකැවිලි ගේන්නේ, නැතිව මට වාසියක් ගන්න නෙමෙයි"

මෙසේ කියා තමන්ගේ කිළුටු ලෝගුවට අත යැවූ ඔහු කුණු වැකුණු කුඩා කඩදාසි කැබැල්ලක් පිටතට ගත්තේ ය. ඔහු ඉතා ප්‍රවේසමෙන් එය දිග හැර, දෑතින් ම මගේ මේසය මත ඇතිරී ය. එහි තිබුණේ පුංචි අතක සලකුණකි. එය අත්ලක තීන්ත තවරා කඩදාසියක් මත තැබූ විට ඇතිවන සලකුණක් මිස ඡායාරූපයක්වත් රේඛා චිත්‍රයක්වත් නොවී ය. ඔහු වසරක් පාසා කල්කටාවට පැමිණ ගෙන් ගෙට ගොස් බඩු විකුණා තිබුණේ කුඩා දියණියගේ අත්ලත ස්පර්ශය හැමදාම හදවත අසලින් තබාගෙන ය. 


මගේ දෑසට කඳුළු පිරුණි. ඔහු කාබුල් සිට පැමිණි පලතුරු වෙළෙන්දෙක් පමණක් බව මට අමතක විය. ඔහු හා බලද්දී මා නම් - එහෙත් මා ඔහුට වැඩිය කවරෙක් ද? ඔහුත් මා වැනිම පියෙකි. දුර ඈත කඳුකර නිවහනක වෙසෙන ඔහුගේ පුංචි පාර්වතී ගේ අත්ලත සලකුණ මට මගේ කුඩා මිණි ව සිහියට ගෙනාවේ ය.


මිණි ව කැඳවාගෙන එන්නැයි මම ඇතුල් ගෙයට වහාම පණිවිඩයක් යැව්වෙමි. ඊට බොහෝ විරෝධතා මතු වූවත් මා ඒ කිසිවකට සවන් දුන්නේ නැත. නොබෝ වෙලාවකින් රතු මඟුල් සාරියෙන් සැරසී, නළලත සඳුන් තවරා තරුණ මනාලියක් ලෙස අලංකාර ව උන් මිණි පැමිණ විනීත ව මා අසලින් සිටගත්තා ය.

මේ වෙනස දැක කාබුල් වෙළෙන්දා මහත් විශ්මයට පත් වූ බවක් පෙනිණි. ඔවුන්ගේ පැරණි මිතුදම ට නැවත පණ දීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. අවසානයේදී ඔහු සිනාසී 

"පුංචි බේබි මාමණ්ඩි ලාගේ ගෙදර යනවද?" කියා ඇසී ය.

එහෙත් මේ වෙද්දී මිණි 'මාමණ්ඩි ලාගේ ගෙදර යන' යෙදුමේ නියම තේරුම දැන සිටි නිසා ඇයට පෙර පරිදි සැහැල්ලුවෙන් පිළිතුරු දෙනු නොහැකි විය. ඇය ලැජ්ජාවෙන් රතු වූ මුහුණ සඟවාගෙන ඔහු අසල සිටගෙන සිටියා ය.

මිණි ත් කාබුල් වෙළෙන්දා ත් මුලින්ම මුණ ගැසුණු දිනය සිහිවී මට මහත් ශෝකයක් දැනුණි. මිණි යන්නට ගිය විට රාමන් දිගු සුසුමක් හෙලා බිම හිඳගත්තේ ය. ඔහු නැති අතරතුරේ දී ඔහුගේ දියණියත් වයසින් වැඩෙන්නට ඇති බවත් දැන් ඔහුට ඇය සමඟත් අලුතින් මිතුරු වීමට සිදුවිය හැකි බවත් ඔහුට හදිසියේ සිතී තිබිණි. ඔහු එද්දී සිටි ආකාරයට වඩා ඈ බෙහෙවින්ම වෙනස් වී ඇති බව සහතික ය. පසුගිය අට වසරට ඈට මොනවා නොවන්නට ඇති ද?

නැවතත් මඟුල් නලා හඬ ඇසෙන්නට වූ අතර සරත් සමයේ ලා හිරු එළිය අප වටා පැතිරෙමින් තිබිණි. එහෙත් අපගේ පටු කල්කටා වීදියේ උන් රාමන් මනසින් දකිමින් සිටියේ ඇෆ්ගනිස්ථානයේ ශුෂ්ක කඳු පෙළ ය.

සාක්කුවෙන් මුදල් නෝට්ටුවක් ගත් මා, එය ඔහුට දුන්නේ "උඹේ රටට, උඹේ දුව ගාවට පලයන් රාමන්, උඹ අද මුණගැහුණු එකේ සතුට මගේ කෙල්ල ට වාසනාව ගෙනේවි" කියමිනි. 

මේ මුදල් ත්‍යාගය දුන් නිසා එදා උත්සවයේ සමහර විශේෂාංග කපා හැරීමට මට සිදු විය. විදුලි බුබුළු දැල්වීමටත්, හමුදා තූර්ය වාදක කණ්ඩායම ගෙන්වීමටත් නොහැකි වීම ගැන නිවසේ කාන්තාවෝ නම් මහත් තැවුලට පත්ව සිටියහ. ඒත් දුර ඈත දේශයක, බොහෝ කලක් මඟ හැරී සිටි පියෙකුට තම දියණිය නැවත මුණගැසේ ය යන සිතිවිල්ල මට නම් ඒ මඟුල් උත්සවය බෙහෙවින්ම ආලෝකමත් කරන්නට සමත් විය.


From the book- Cabuliwallah and Other Stories by Rabindranath Tagore
Picture- copyright free image from Pixabay

September 08, 2019

ඩැෆඩිල්!


මේ දවස්වල මෙහේ ඉර එළිය වැඩියෙන් තියෙන, මල් පිපෙන කාලේ. වසන්තය එන බව අපිට මුලින්ම කියන්නේ ඩැෆඩිල් මල්. හීතල කාලේ හරියකට ඉවර වෙන්නත් කළින් ඒවා බොහොම එඩිතරව පිපිලා, ඉර එළියේ කහ පාට හැමතැනම තවරලා වටපිට එළිය කරනවා. 

අවුරුදු ගානකට එපිට ඉඳන් කහපාට ඩැෆඩිල් මල් යායක් තදටම මගේ මතකයට කාවැදිලා තියෙනවා- හැබැයි ඒ නම් පින්තූරයකින්. මම මුලින්ම ඉස්කෝලෙ තෑගි බෙදාදීමේ උත්සවයකදී තෑග්ගක් ලැබුවේ අට වසරේදී. ඒ කාලේ එක එක අංශ වලින් English Day තරඟ තිබුණා . ඒ අවුරුද්දේ Spelling Competition  එකේ පලවෙනි තැන  දිනලා මට තෑග්ග හැටියට ලැබුණේ Ladybird Favourite Poems කියලා පුංචි පොතක්. ඒ වෙද්දී මම පොත් කියවිල්ලට ඇබ්බැහි වුණු පොත් ගුල්ලියක් වෙලා හිටියේ. රහස් පරීක්ෂක පොත් කියවලා මත් වෙලා, කරන්න බැරි වැඩක් බව දැන දැනත් රහස් පරීකෂකයෙක් වෙන්න ඕන කියලා හිතෙමින් තිබුණු කාලේ. ඒත් මම ඒ වෙද්දී කවදාවත් ඉංග්‍රීසි කවි පොතක් කියවලා තිබුණේ නැහැ. මේ පොත අතට ලැබිලා ඒකෙ කවරේ දෙපැත්තේ තිබුණු ලස්සන පින්තූර දිහා මම සෑහෙන්න වෙලාවක් බලාගෙන හිටියා මට මතකයි. ඉස්සරහා තිබුණේ කහ මල් පිපුණු ඩැෆඩිල් යායක්. පිටිපස්සේ තිබුණේ උස ගස් තිබුණු වනාන්තරයක්. ඒ පින්තූර දෙකේම හිතෙන් ඇවිදගෙන ගිහින් අතරමං වෙන්න පුළුවන් ලස්සනක් තිබුණා. 


Ladybird Favourite Poetry book - front & back
photos from arranalexander.co.uk



මේ පොතේ කවි විස්සක් විතර තිබුණු බවක් මට මතකයි. ඒත් මේ වෙද්දී මගේ මතකයේ රැඳිලා තියෙන්නේ එයින් කීපයක් විතරයි. ඒ  Rudyard Kiplingගේ  If කවියත්, William Henry Davies ගේ Leisure කවියත්, Audenගේ  Night Mail කවියත්, William Wordsworth ගේ Daffodils කවියත්. මේ කවි ඔක්කොම අතරින් මම හරියටම වශී වුණේ Daffodils කවියට කිව්වොත් හරි. ඒ වචනවල නැගලා මාත් බොහොම ලේසියෙන් ඩැෆඩිල් මල් පිපුණු කඳු නිම්න දිගේ ගියා. මේ කවියට ආසා නිසාම මම මේ පොත කාලයක් යනකම් නිතරම ළඟම තියාගෙන හිටියා, යන යන තැන අරගෙනත් ගියා, කවියත් කටපාඩම් වුණා. ඒ තරම් ආදරය කළ පොත දැන් නම් ඉතින් කොහේදවත් දන්නේ නැහැ!

ඊළඟ අවුරුද්දේ English Day තරඟ වල Poetry Reciting අංශයට නියමිතව තිබුණේ මේ කවිය බව දැක්කාම මට දැනුණේ නොහිතුව තැනකදී හොඳ යාලුවෙක් මුණගැහුණාම දැනෙන සතුට! මමත් ඉතින් ඒ අවුරුද්දේ ඒ තරඟයටත් ඇතුල් වුණා. Spelling වගේ නෙමෙයි, කවියට කොයිතරම් ආදරේ උනත් මට Poetry Reciting නම් බැරි බව මම දැනගත්තේ ඒ අවුරුද්දේ තමයි! 

මේ දවස්වල අපේ වත්තෙත් තැන තැන ඩැෆඩිල් මල් පිපෙනවා. අඳුරු වැහි කාලයක් කෙළවර මේ මල් ගේන අලුත් බලාපොරොත්තු වලට මම කැමතියි. ඒ වගේම මේවා දකිද්දී හැබැහින් ඩැෆඩිල් මල් නොදැක ඒවාට ආදරය කළ අවුරුදු දහතුනේ වයසට එක මොහොතින් ඉගිලෙන්නත් පුළුවන්! 


I Wandered Lonely as a Cloud |William Wordsworth

I wandered lonely as a cloud
That floats on high o'er vales and hills,
When all at once I saw a crowd,
A host, of golden daffodils;
Beside the lake, beneath the trees,
Fluttering and dancing in the breeze.

Continuous as the stars that shine
And twinkle on the milky way,
They stretched in never-ending line
Along the margin of a bay:
Ten thousand saw I at a glance,
Tossing their heads in sprightly dance.

The waves beside them danced; but they
Out-did the sparkling waves in glee:
A poet could not but be gay,
In such a jocund company:
I gazed—and gazed—but little thought
What wealth the show to me had brought:

For oft, when on my couch I lie
In vacant or in pensive mood,
They flash upon that inward eye
Which is the bliss of solitude;
And then my heart with pleasure fills,
And dances with the daffodils.


Photo- Daffodils in my backyard

August 22, 2019

Serena Geddes, වමත් චිත්‍ර සහ සිංහල ක්‍රමයට 'හා' කීම


ඕස්ට්‍රේලියාවේ පාසැල් වල Book Week එක සමරන්නේ හැම අවුරුද්දෙම අගෝස්තු මාසේ තුන්වෙනි සතියේ. හැම අවුරුද්දෙම Children's Book Council of Australia (CBCA) එකෙන් දෙන තේමාවකට අනුව තමයි මේ වැඩසටහන් පෙළගැස්වෙන්නේ. මේ අවුරුද්දේ තේමාව "Reading is my Secret Power". ප්‍රාථමික පාසැල් වල නම් පුංචි ළමයින්ට වැඩියෙන්ම ගැලපෙන අංගත් ද්විතියික පාසැල් වල නම් සාහිත්‍යයට වැඩි බරක් ඇති අංගත් ඇතිව Book Week වැඩසටහන් සංවිධානය කෙරෙනවා. පොත් කතුවරුන් ලිවීම ගැන පවත්වන වැඩමුළු, පොත් ප්‍රදර්ශන, පොත් අලෙවි කුටි, පොතක චරිතයක් විදිහට ළමයින්ට ඇඳගෙන එන්න අවස්ථාව දෙන විකට ඇඳුම් තරඟ වගේ එක එක විදිහේ දේවල් මේ සතියේදී පාසැල් වල දකින්න පුළුවන්. 


Author and Illustrator- Serena Geddes
photo- www.greenleafpress.net
මම රැකියාව කරන පාසැලේ Book Week එකේ ප්‍රධාන අංගයක් වුණේ ප්‍රකට චිත්‍ර ශිල්පිනියක් වගේම ළමා පොත් කතුවරියක් වන Serena Geddes ළමයි කණ්ඩායමක් එක්ක කළ චිත්‍ර වැඩමුළුවක්. සෙරීනා ගේ චිත්‍ර ලෝකය පුරා ළමා පොත් පනහකට වැඩි ප්‍රමාණයක් හැඩ කරලා තියෙන බවත්, ඇය කාලයක් සිඩ්නි නගරයේ Walt Disney Animationsහි රැකියාව කර ඇති බවත් මම දැනගත්තේ එදා. මීට අමතරව සෙරීනා ම චිත්‍ර ඇන්ද ඇගේ පලවෙනි ළමා පොත අද හෙට එළිදැක්වෙනවා.

පුංචි කාලේ ඉඳන්ම රේඛා චිත්‍රත් කාටූන් චිත්‍රත් අඳින්න පුංචි පිස්සුවක් තියෙන මට මෙහෙම චිත්‍ර ශිල්පිනියක් මුණගැහෙන්න ලැබුණු එක බොහොම සතුටක් වුණා. ඒත් වැඩ රාජකාරී අතරේ සෙරීනාගේ චිත්‍ර වැඩමුළුවට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණේ බොහොම පුංචි වෙලාවක් විතරයි. ඒ පුංචි වෙලාවේදී ඇය අපූරු ක්‍රියාකාරකමක් කරනවා මම දුටුවා. ඒ තමයි එකම භාණ්ඩයක් වම් අතිනුත් දකුණු අතිනුත් අඳින්න උත්සාහ කරන්න ශිෂ්‍යාවන්ට අභියෝග කරන එක. එකම කඩදාසියක දෙපැත්තක මෙහෙම අඳිද්දී හුරු අතින් සහ නුහුරු අතින් එකම දේ නිර්මාණය වෙන වෙනස් විදිහ අපූරුවට නිරූපණය වෙනවා. වැඩි දෙනාගේ නුහුරු අත වන වම් අතෙන් අඳිද්දී මොලයේ දකුණු පැත්ත ක්‍රියාත්මක වන බවත් මොලයේ දකුණු පැත්ත හැඩතල හඳුනාගන්නවා මිසක් ඒ ඇන්ද භාණ්ඩය, හෙවනැල්ල ආදී දේ හරියටම නිර්වචනය නොකරන බවත් ඒ නිසා වමතින් අඳින චිත්‍ර බොහෝ විට පැතලි බවත් ඇය පැහැදිලි කළා. 'වම් අතින් බැරි නිසා' කිසිදිනක ඉන් චිත්‍ර අඳින්න උත්සාහ නොකළ අපි නොදන්නා මෙවගේ දේ තව කොයිතරම් ඇත්දැයි මට එවෙලේ හිතුණා.

වමතින් සහ දකුණු අතින් එකම දේ අඳින්න උත්සාහයක්

වැඩමුළුව අවසානයේ සෙරීනා පුංචි සංග්‍රහයකට අපි එක්ක එකතුවුණා. කතා බහ අතරේ මම ලංකාවේ බව කියද්දී ඇය පුදුමයෙන් සිනාසුණා.

"My Dad is Sinhalese too!"ඈ කීවා

ඒ පාර නම් පුදුම වුණේ මම!
ඇයගෙන් 'ලංකාවේ බවක්' නොපෙනෙන්නේ ඇගේ අම්මා අයිරිෂ් ජාතික කාන්තාවක් නිසා බවත් ඇය අම්මා වගේම නිසා බවත් ඇය කීවා.

තමන්ට සිංහල කතාකරන්න බැරි නමුත් ඇතැම් දේ තේරෙන බව කී සෙරීනා හැමදේටම වැඩියෙන් 'Sri Lankan head wag' එක කර 'හා' කියන්න දන්නා බව මට රඟපා පෙන්නුවේ සිනාසෙමින්!





August 03, 2019

මරන්න ගෙන ගිය බැටළුවා


Translation of the short story 'Lamb to the Slaughter' by Roald Dahl
 
 

උණුසුම්ව, පිරිසිදුව තිබුණු කාමරයේ ජනෙල් තිර වසා තිබිණි. ඇගේ පුටුව අසලත් ඊට ඉදිරියෙන් තිබුණු හිස් පුටුව අසලත් මේස ලාම්පු දල්වා තිබිණි. ඈ පසුපස තිබූ මේසය මත උස වීදුරු දෙකක සෝඩා වතුරත්, විස්කිත් විය. තර්මොස් බඳුනක් අලුත් අයිස් කැටවලින් පුරවා තිබිණි

මේරි මැලෝනි ඇගේ සැමියා රැකියාවෙන් පසු ගෙදර එනතුරු බලාගෙන සිටියා ය.

ඇය වරින්වර ඔරලෝසුව දෙස නෙත් යොමු කළේ කලබලයකින් නොවේ. ඈ එසේ කළේ ගතවෙන හැම විනාඩියක් පාසාම ඔහු එන වෙලාව ළඟා වන බව මතක් කරමින් සතුටු වන්නට ය. ඈ වටා පැතිරුණේ මඳහසක ස්වරූපය යි. ඈ කළ හැම දේකම මුදු බව දැවටී තිබිණි. මැහුම වෙත ඇගේ හිස නැමී තිබුණේ නොවූ විරූ නිසල බවකිනි. මේ ඇගේ ගැබිණි බවේ හය වෙනි මාසය නිසා ඇගේ හමේ විනිවිද පෙනෙන ගතියක් තිබුණි. ඇගේ වත පුරා අමුතු සිලිටි බවක් පැතිරී තිබුණු අතර, දෑස අලුත් සෞම්‍ය ගතියකින් පෙරට වඩා විශාලව දිස් විය. ඔරලෝසුවේ වෙලාව පහට දහයක් ලෙස සටහන් වෙද්දී ඈ වඩාත් හොඳින් සවන් දෙන්නට විය.  ඉන් සුළු මොහොතකට පසු, හරියටම වේලාවට, එළියේ රථයක් නවත්වන හඬත්, එහි දොරක් වැසෙන හඬත්, කවුළුව අසලින් පිය ගැටෙන හඬත්, දොරේ යතුර කරකැවෙන හඬත් ඇසිණි. ඇය මැහුම පසෙකින් තබා නැගිට ඉදිරියට ගියේ ඔහු එද්දීම හාදුවක් දීමට ය.

“හෙලෝ ඩාලිං” ඈ කීවා ය.
“හෙලෝ ඩාලිං” ඔහු පිළිතුරු දුන්නේ ය.

ඇය ඔහුගේ කබාය ගෙන එය අල්මාරියේ රැඳවූවා ය. ඉනික්බිති බීම තබා තිබුණු තැනට ගොස් ඔහුට සැර බවින් වැඩි බීම වඩියක් ද, තමන්ට සැර අඩු වීදුරුවක් ද ගෙනැවිත් නැවත මහමින් සිටි ඇඟලුම අතට ගෙන හිඳගත්තා ය. ඔහු ඇයට ඉදිරියෙන් ඇති අසුනේ හිඳ, දෑතින්ම උස වීදුරුව කලතමින් සිටියේ එහි වූ අයිස් කැට ගැටී සිහින් හඬක්  නැංවෙන ලෙසිණි. 

ඇයට නම් මේ දවසේ තෘප්තිකර ම වේලාව යි. පළමු විස්කි වීදුරුව අවසන් වන තුරු ඔහු නිහඬව සිටීමට ප්‍රිය කරන බව ඇය දැන සිටියා ය. දවස පුරාම නිවසේ තනිව ගත කළ දිගු හෝරාවන්ට පසු එළැඹෙන මේ වේලාවේ ඈ ද නිහඬව ඔහුගේ සමාගම විඳින්නට කැමැත්තෙන් සිටියා ය. ඔහු ඇසුරේ දැනෙන සුවය උපරිමයෙන් විඳිමින් ඔහු හා තනි වූ විට ඔහුගෙන් නික්මුණු පිරිමි රශ්මියේ ඈ කිමිදුණේ හිරු රැස් නාන අයෙක් මෙනි. ඔහු දොරකින් ඇතුල් වන ආකාරයට, කාමරයක් හරහා දිගු අඩි තබමින් ඇවිදින ආකාරයට, සැහැල්ලුවෙන් අසුනක හිඳ සිටින ආකාරයට ඈ ආදරය කළා ය. ඔහු ඈ දෙස බලද්දී ඔහුගේ දෑසේ දිස් වූ තියුණු, කල්පනා භරිත පෙනුමටත්, ඔහුගේ මුවේ හැඩයටත් ඈ ප්‍රිය කළා ය. ඒ හැමටත් වඩා ඔහු විස්කි වීදුරුවේ බලයෙන් තමන්ගේ මහන්සිය අඩු වෙන තෙක් ඒ තෙහෙට්ටුව ගැන කිසිවක් නොකීම ගැනත් ඇයට මහත් ආදරයක් දැනුණි.

“මහන්සි ද ඩාලිං?”

“ඔව්” ඔහු කීය. “හරි මහන්සියි” එසේ කියූ ඔහු හදිසියේම වෙනදාට නොකරන දෙයක් කළේ ය. ඒ, වීදුරුව ඔසවා එහි ඉතිරි ව තිබුණු විස්කි වඩිය එක හුස්මට මුවට හලා ගැනීම ය . ඇය ඔහු දෙස එක එල්ලේ බලා සිටියේ නැතත් වීදුරුවේ අඩකට වඩා විස්කි තිබුණු බව අයිස් කැට හිස් වීදුරුවේ ගැටෙන හඬින් ඇයට වැටහිණි. පුටුවේ ඉදිරිපසට නැමී මොහොතක් නිසොල්මන් ව උන් ඔහු, නැගිට තවත් විස්කි වීදුරුවක් වත්කර ගැනීම පිණිස සෙමෙන් ඇවිද ගියේ ය.

“මං අරන් දෙන්නම්!” ඇය හඬ නගා කීවේ පුටුවෙන් වහා වහා නැගිටමිනි. 

“වාඩිවෙන්න” ඔහු කීය.

ඔහු නැවත පැමිණි විට ඔහුගේ අලුත් බීම වඩියේ විස්කි සාන්ද්‍රණය වැඩි කම නිසා එය තද පැහැති බව ඇයට පෙනිණි.

“ඩාලිං, ඔයාගේ සෙරෙප්පු දෙක ගෙනත් දෙන්නද?”

“එපා”

ඔහු අඳුරු පැහැ බීම වීදුරුව තොලගාන අයුරු ඈ බලා සිටියා ය. එහි සැර බව නිසාම තෙල් ගතියෙන් යුතු රැළි නැගෙනු ඇයට පෙනිණි.

“ඔයා තරම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ටත් දවස තිස්සෙම හිටගෙන ඉන්න වෙන එක හරි අසාධාරණයක් කියලායි මට නම් හිතෙන්නේ” ඈ කීවා ය.

ඔහු කිසිවක් කීවේ නැති නිසා ඇය යළිත් ඇගේ අතේ වූ මැහුම වෙත නෙත යොමු කළා ය. ඔහු වීදුරුව තොලගාන හැම වරකම එහි අයිස් කැට ගැටෙන හඬ ඇයට පැහැදිලි ව ඇසිනි.

“ඩාලිං මම ඔයාට චීස් ටිකක් ගේන්නද? අද බ්‍රහස්පතින්දා නිසා මම රෑට කෑම හැදුවේ නැහැ.”

“එපා” ඔහු කීය.

“ඔයාට කෑමට එළියට යන්න මහන්සි වැඩි නම් තාම උයන්න පරක්කු වැඩි නැහැ” ඇය දිගටම කියාගෙන ගියා ය. “ෆ්‍රීසර් එකේ ඕනෑතරම් මස් ජාති තියෙනවා. ඔයාට ඔය පුටුවෙන් නැගිටින්නේවත් නැතිවම කෑම කන්න පුළුවන්”
ඔහුගෙන් පිළිතුරක්, සිනහවක්, කුමක් හෝ සන් කිරීමක් ලැබේදැයි ඇගේ දෑස බලාපොරොත්තුවෙන් විය.

“කොයිකටත් මම ඔයාට මුලින්ම චීස් ටිකක් එක්ක ක්‍රැකර්ස් ටිකක් ගේන්නම්” ඇය යළිත් කීවා ය.

“මට ඕන නැහැ” ඔහු කීය.

ඔහු දෙස අයාගත් විශාල දෙනෙතින් යුතුව ඇය නොසන්සුන් ව පුටුවේ හිඳ සිටියා ය.

“ඒත් ඔයා මොනවා හරි කන්න ඕන නේ! මම ලෑස්ති කරන්නම්, එතකොට ඔයාට ඕන නම් කන්න පුළුවන්, අකමැති නම් නොකා ඉන්න පුළුවන්”

ඇය පුටුවෙන් නැගිට මැහුම මේස ලාම්පුව අසලින් තැබුවා ය.

“වාඩිවෙන්න” ඔහු කීවේය. “විනාඩියකට වාඩිවෙන්න”

ඇයට බියක් දැනෙන්නට වූයේ එවිට ය.

“ඉතින් වාඩිවෙන්න” ඔහු නැවතත් කීය.

ඇය හෙමින් සීරුවේ පුටුවට පහත් වූයේ කැළඹුණු විශාල දෑස ඔහු දෙස යොමාගත් ගමන්ම ය. ඔහු දෙවෙනි බීම වඩිය අවසන් කර හිස් වීදුරුව තුළට ඔරවාගෙන සිටියේ ය.

“මේ අහන්න” ඔහු කීය. “මට ඔයාට කියන්න දෙයක් තියෙනවා”

“ඇයි ඩාලිං? මොකක් හරි ප්‍රශ්නයක් ද?”

මේ වෙද්දී ඔහු සම්පූර්ණයෙන්ම නිසොල්මන් ව සිටියේ ය. ඔහු හිස නවා සිටියේ ලාම්පුවේ ආලෝකය මුහුණෙන් කොටසකට වැටී මුව අඳුරේ තිබෙන ලෙස ය. ඔහුගේ වම් ඇස අසල නහරයක් ගැහෙන බව ඇයට පෙනිණි.

“ඔයාට මේක ටිකක් කම්පනයක් වෙයි” ඔහු කීය. “ඒත් මම සෑහෙන්න කල්පනා කරලා තීරණය කළා ඒක ඔයාට කෙළින්ම කියන එකයි කරන්න ඕන කියලා. ඔයා මට වැඩිය දොස් කියන එකක් නැහැ කියලා මං හිතනවා”

ඉනික්බිති ඔහු ඇයට කීවේ ය. ඒ සඳහා උපරිමයෙන් විනාඩි තුන හතරක් මිස ඊට වැඩි වේලාවක් ගත වූයේ නැත. ඇය බොහෝ සෙයින් නිශ්චලව ඒ සියල්ල අසා සිටියේ කැලඹීමක් මුසු වූ ත්‍රාසයකිනි. ඔහුගේ මුවින් ගිලිහෙන වචනයක් පාසා ඔහු ඇයගෙන් දුරස් වෙමින් සිටියේ ය.

“ඉතින් ඒක තමයි විස්තරය” ඔහු අවසන් වශයෙන් කී ය. “මං දන්නවා මේ ඔයාට මේක කියන්න හොඳ වෙලාවක් නෙමෙයි කියලා, ඒත් වෙන ගැලපෙන වෙලාවක් එන එකක් නැහැ. මම කොහොමත් ඔයාට සල්ලි දෙන්නම්, ඔයාගේ වැඩ කටයුතු ගැන බලන්නම්. ඒත් ඔයා ප්‍රශ්න ඇති කරන්නේ නැතිවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙම වුනොත් මගේ රස්සාවට හොඳ නැහැ”

ඇයට මුලින්ම සිතුණේ ඒ කිසිවක් විශ්වාස නොකර ප්‍රතික්ෂේප කරන්නට ය. සමහරවිට ඔහු කිසි දෙයක් නොකියන්නට ඇති  බවත්, මේ සියල්ලම ඈ සිතින් මවා ගන්නට ඇති බවත් ඇයට සිතිණි. සමහරවිට ඈ සුපුරුදු වැඩකටයුතු වල නියැලුනොත්, මේ කිසිවක් නොඇසුණා සේ රඟපෑවොත් ටික වෙලාවක් යද්දී මේ කිසිවක් සිදු නොවූ බව ඇයට දැනෙනු ඇත.

“මම කෑම ලෑස්ති කරන්නම්” ඇය රහසෙන් මෙන් කියන්නට සමත් විය. මෙවර නම් ඔහු ඇයව වැළකුවේ නැත.
කාමරය හරහා ගමන් කරද්දී ඇයට තමන් පාවෙන බවක් දැනිණි. සුළු අප්පිරියාවක්, ඔක්කාර ගතියක් ඇරෙන්නට ඇයට වෙන කිසිවක් දැනුණේ නැත. ඇය යාන්ත්‍රිකව මෙන් බිම් මහලට ගොස්, විදුලි බුබුල දල්වා, ෆ්රීසරය විවර කර, අත ගැටුණු පළමු දේ පිටතට ගත්තා ය. එය ඔතා තිබුණු කඩදාසිය ඉවත් කර ඇය එය දෙස බැලුවා ය.

එය බැටළු මස් ගාතයක් විය.

එහෙනම් ඔවුන්ට රෑ කෑමට බැටළු මස් අහාරයට ගනු හැක. මස් ගාතයේ සිහින් කෙළවර දෑතින්ම අල්ලාගෙන ඇය එය යළි උඩුමහලට ගෙන ගියා ය. විසිත්ත කාමරය හරහා යද්දී ඔහු ඇයට පිටුපා කවුළුවෙන් පිටත බලා  සිටිනු දැක ඇය නැවතුණා ය.

“දෙවියන්ගේ නාමෙට මට කෑම හදන්න එපා” ඇය නැවත ආ හඬ ඇසුණත් ආපසු හැරී නොබලාම ඔහු කීය. “මම එළියට යනවා”

ඒ මොහොතේ මේරි ඔහු වෙත ඇවිද ගොස්, බිඳක්වත් නොනැවතී, ඈ අත තිබුණු සීතලෙන් ගල් වූ මස් ගාතය ඉහළට ඔසවා හැකි වෙර යොදා ඔහුගේ හිස පසුපසට පහර දුන්නා ය.

එය යකඩ ආයුධයකින් ගැසූ පහරක් තරමට ශක්තිමත් විය.

ඈ අඩියක් පසුපසට ගෙන බලා සිටියා ය. වඩාත්ම පුදුම සහගත කරුණ වූයේ පහර වැදුණු පසු ත් ඔහු තත්පර හතරක් පහක් වැනි වැනී සිටගෙනම පසුවීමයි. ඉන්පසු ඔහු කපා හෙළූ කඳක් සේ බිම ඇද වැටුණි.

ඔහු ඇද වැටුණු හඬේ බියකරු බව, ඔහුගේ සිරුරේ ගැටී මේසයක් උඩු යටිකුරු වීම වැනි දේ ඇයව කම්පනයෙන් මුදවා ගැනීමට සමත් විය. ඇය සෙමෙන් සිහි එලවා ගනිමින් සිටියා ය. ඇයට පුදුමයක් ද තද සීතලක් ද දැනෙමින් තිබිණි. වේගයෙන් ඇසිපිය හෙලමින් ඇය ඔහුගේ සිරුර දෙස බලා සිටියේ ඒ විහිලු සහගත මස් ගාතය දෑතින්ම තදින් අල්ලාගත්වනම ය. 

හරි, ඈ තමාටම කියාගත්තා ය. මම එයාව මැරුවා.

ඇගේ මනස හදිසියේම නිරවුල් වී තිබුණේ පුදුම සහගත ලෙස ය. ඇය ඉතා වේගයෙන් සිතන්නට විය. රහස් පරීක්ෂක නිලධාරියෙක්ගේ බිරිඳ වූ ඈ මීට අදාළ දඬුවම ගැන හොඳාකාරවම දැනගෙන සිටියා ය. ඇයට ඒ ගැන කම්පාවක් දැනුණේ නැති අතර එය එක්තරා ආකාරයක සැනසිල්ලක් සේ සිතෙමින් තිබිණි. එහෙත් දරුවාට කුමක් සිදුවනු ඇතිද? නූපන් දරුවන් කුසේ දරාගත් මිනීමරුවන් වෙනුවෙන් තිබුණේ කවරාකාරයේ නීති ද? ඔවුන් අම්මාත් දරුවාත් දෙදෙනාම මරා දැමුවා ද? නොඑසේ නම් දඬුවම දීමට දරුවා බිහි වන තුරු බලා සිටියා ද?

මේරි මැලෝනි ඒ ගැන දැන සිටියේ නැත. ඒ නිසා ඒ අවදානම ගැනීමට ඇගේ සූදානමක් තිබුණේ ද නැත.

ඇය මස් ගාතය කුස්සියට ගෙන ගොස්, එය බඳුනක බහා, විදුලි පෝරණුව ක්‍රියාත්මක කර, එය ඊට ඇතුළු කළා ය. ඉනික්බිති දෑත සෝදා ඉහළ මාලයේ නිදන කාමරය වෙත දිව ගියා ය. කැඩපත ඉදිරියේ හිඳ කොණ්ඩය පිළිවෙල කර වත්සුණු තවරා ගත්තා ය. ඇය සිනාවක් පලඳාගන්නට උත්සාහ කළ නමුත් එය අමුතු විරිත්තීමක් සේ දිස් විය. ඈ යළි වරක් උත්සාහ කළා ය.

“හෙලෝ සෑම්” ඈ උද්යෝගයෙන්, ශබ්ද නගා කැඩපතට කීවා ය.
ඇගේ කටහඬේ තිබුණේ නොගැලපෙන ස්වරයකි.

“කරුණාකරලා මට අල ටිකක් දෙන්න සෑම්, බෝංචි ටින් එකකුත් දෙන්න”
එවර නම් ඇගේ කටහඬත් සිනාවත් සාමාන්‍ය වෙමින් තිබිණි. ඇය තව කීපවරක් ඒ ස්වරය අභ්‍යාස කළා ය. ඉන්පසු පහත මාලයට දිවගොස්, කබාය ඇඟලාගෙන, නිවසේ පසුපස දොරින් පිටවී මහමඟට බැස්සා ය.

වෙලාව සවස හය පසු වී නොතිබුණත් කඩය තුළ විදුලි බුබුළු දැල්වී තිබුණි.

“හෙලෝ සෑම්” ඇය කවුන්ටරය පසුපස උන් මිනිසා වෙත සිනාවක් පාමින් කීවා ය.

“සුබ සන්ධ්‍යාවක් මිසිස් මැලෝනි, කොහොමද?”
“කරුණාකරලා මට අල ටිකක් දෙන්න සෑම්, ආ.. ඔව්, බෝංචි ටින් එකකුත් දෙන්න”
ඔහු ඈ ඉල්ලූ දෑ දීමට උත්සුක විය.

“පැට්‍රික් ට මහන්සිලු, අද රෑ කෑමට එලියට යන්න බැහැලු” ඈ ඔහුට කීවාය. “අපි සාමන්‍යයෙන් බ්‍රහස්පතින්දාට රෑ කෑමට එළියට යනවා. අද ඉතින් ගෙදර උයන්න එලවලු මොනවත් නැති බව එයාට අහු වුණා”

“එහෙනම් මස් ටිකකුත් ඕනද මිසිස් මැලෝනි?”

“නෑ, බොහොම ස්තූතියි, මස් තියෙනවා. මම ෆ්රීසර් එකෙන් හොඳ බැටළු මස් ගාතයක් ගත්තා”

“ආ!”

“අනේ මන්දා සෑම්, මම නම් ඒතරම් කැමති නැහැ හීතල පිටින්ම මස් උයන්න, ඒත් අද ඒක කරන්න වුණා. ඔයා හිතන්නේ ප්‍රශ්නයක් නැතිවෙයිද?”

“මම නම් හිතන්නේ ඕකේ ලොකු වෙනසක් නැහැ කියලා” කඩහිමියා කීය “මේ ලොකු අල වලින් දාන්නද?”

“ඔව් ඒවා හොඳයි, එයින් දෙකක් දාන්න”

“වෙන මොනවාද?” ඔහු හිස ඇල කර ඇය දෙස බලා සිනාසෙමින් ඇසීය. “කෑමට පස්සේ? අතුරුපසට මොනවද දෙන්න හිතාගෙන ඉන්නේ?”

“සෑම් හිතන්නේ මොනවාද හොඳ?”

කඩහිමියා කඩය සිසාරා නෙත් යොමු කළේය. “ ලොකු චීස්කේක් කෑල්ලක් දුන්නොත් මොකද? එයා ඒවාට කැමති බව මම දන්නවා”

“නියමයි” ඈ කීවාය. “එයා චීස්කේක් කන්න හරිම ආසයි”

හැමදේම ඔතා අසුරා දුන් පසු ඈ මුදල් ගෙවා, ඇගේ කාන්තිමත් ම සිනහව ඔහුට දී “බොහොම ස්තූතියි සෑම්, සුබ රාත්‍රියක්” කීවාය.

“ඔබටත් බොහොම ස්තූතියි මිසිස් මැලෝනි, සුබ රාත්‍රියක්”

දැන්, මේ සිදුවන්නේ රෑ කෑම පිළියෙළ කෙරෙන තුරු බලා සිටින තම සැමියා වෙත් තමන් ඉක්මනින් ගෙදර යෑම බව ඇය තමන්ටම කියා ගත්තාය. ඔහු දවස පුරා වෙහෙසවී ගෙදර පැමිණ ඇති නිසා ඇය රෑ කෑම හැකි තරම් රසවත් ව පිළියෙළ කළ යුතු ය. මෙවැනි සිතුවිල්ලකින් නිවසට යන ඇය හට හදිසියේ වත් එහිදී අසාමාන්‍ය, බියකරු දෙයක් දකින්නට ලැබුණොත් ඇය කම්පනයත් ශෝකයත් නිසා උමතුවෙන් මෙන් හැසිරෙන්නට ඉඩ ඇත. එහෙත් ඇය එවැනි කිසි දෙයක් තුන් හිතකින් වත් බලාපොරොත්තු වන්නේ නැත. ඇය මේ කඩයෙන් එළවලු මිළදීගෙන ගෙදරට යනවා පමණි. මිසිස් පැට්‍රික් මැලෝනි බ්‍රහස්පතින්දා හවසක කඩෙන් එළවලු මිළදීගෙන තම සැමියාට රෑ කෑම සූදානම් කරන්නට ගෙදර යනවා පමණි.

එහෙමයි ක්‍රමය, ඇය ඈ ටම කියාගත්තාය. හරි විදිහට, සාමාන්‍ය විදිහට හැම දේම කරන්න. හැමදේම ස්වභාවිකව කරද්දී රඟපාන්නට වුවමනා නොවනු ඇත.

ඉතින් මේ විදිහට සිතූ නිසා නිවසේ පසුපස දොරටුවෙන් ඇතුළු වෙද්දී ඈ පුංචි තාලයක් මුමුණමින්, සිනාසෙමින් සිටියා ය. 
“පැට්‍රික්!” ඈ හඬ නඟා කතා කළා ය. “ඔයාට කොහොමද ඩාලිං?”
 
ඇය අත වූ පාර්සලය මේසය මත තැබූ ඈ විසිත්ත කාමරය වෙත ගියා ය. එසේ ගොස් හදිසියේම ඔහු එහි බිම වැටී සිටි අයුරු දුටු විට, ඔහුගේ දෙපා ඇකිලී, අතක් සිරුරට යටවී ඇඹරී තිබෙනු දුටු විට ඇයට සැබවින්ම කම්පනයක් දැනුණි. ඔහු ගැන ඇගේ සිතේ නිධන්ගතව තිබුණු ආදරය උතුරායන්නට විය. ඇය ඔහු වෙත දිවගොස්, ඔහු අසල දණගසාගෙන වැළපෙන්නට විය. එය කෙතරම් පහසු වීද යත් කිසිම රඟපෑමක් අවශ්‍ය වූයේ නැත.

විනාඩි කිහිපයකට පසු ඇය නැගිට දුරකථනය වෙත ගියා ය. පොලීසියේ දුරකථන අංකය ඇය දැන සිටි අතර අනෙත් පසින් පිළිතුරු ලැබුණු විට ඈ කෑගසන්නට විය.

“ඉක්මනට එන්න! ඉක්මනට! පැට්‍රික් මැරිලා!”

“කවුද කතාකරන්නේ?”

“මිසිස් මැලෝනි, මිසිස් පැට්‍රික් මැලෝනි”

“මොකක්? පැට්‍රික් මැලෝනි මැරිලා?”

“මට එහෙම හිතෙනවා” ඈ හඬා වැටෙන්නට විය. “එයා බිම වැටිලා ඉන්නේ, මට හිතෙන්නේ එයා මැරිලා කියලා”
“අපි ඉක්මණටම එනවා”

පොලිස් රථය ඉතාමත් ඉක්මණින් පැමිණියේ ය. ඇය දොර විවර කළ විට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් නිවසට ඇතුළු විය. ඈ ඔවුන් දෙදෙනාව හැඳිනුවාය. ඈ ඒ පොලිස් ස්ථානයේ හැම දෙනෙක්ම පාහේ හැඳිනුවා ය. ඇය වැළපෙමින් ජැක් නූනන් නම් පොලිස් නිලධාරියාගේ සිරුරට බර විය. ඔහු සෙමෙන් ඇයව පුටුවක අසුන් ගැන්වුවේය.
“එයා මැරිලාද?” ඇය හඬමින්ම ඇසුවා ය.

“බොහොම කණගාටුයි, මැරිලා නම් තමයි. මොකද වුණේ?”

ඇය කඩයට ගිය අයුරු, ආපසු නිවසට ආ පසු ඔහු බිම වැටී සිටිනු දුටු අයුරු කෙටියෙන් විස්තර කළා ය. ඇය හඬමින් විස්තර කියද්දී නූනන් නම් පොලිස් නිලධාරියා මියගිය මිනිසාගේ හිස පසුපස වියළි ලේ පැල්ලමක් දුටුවේය. ඔහු වහාම දුරකථනය වෙත ගියේ ය.

වැඩි වෙලාවක්  ගතවන්නට මත්තෙන් දොස්තර කෙනෙක්, රහස් පරීක්ෂක වරුන් දෙදෙනෙක්, පොලිස් ජායාරූප ශිල්පියෙක්, ඇඟිලි සලකුණු විශේෂඥයෙක් ඇතුළු තවත් නිලධාරීහු කිහිපදෙනෙක්ම පැමිණියහ. මල සිරුර අසල රහස් සාකච්ඡා පැවැත්විණි. රහස් පරීක්ෂක නිලධාරීන් ඇගෙන් නොනවත්වා ප්‍රශ්න රැසක් අසන්නට විය. ඔවුහු ඇයට කරුණාවෙන් කතා කළහ. ඇය යළිත් මුල සිටම ඇගේ කතාව කීවා ය.  පැට්‍රික් එද්දී ඈ ඇඳුමක් මසමින් සිටි බව, ඔහුට මහන්සි වැඩි නිසා කෑමට එළියට නොගොස් සිටින්නට තීරණය කළ බව, ඇය මස් පිසීම සඳහා පෝරණුවට දමා එළවලු ගෙන ඒමට කඩයට ගොස් එද්දී ඔහු බිම වැටී සිටි අයුරු විස්තර කළා ය.

“කොයි කඩේ ද?” එක් නිලධාරියෙක් ඇසීය.

ඇය ඊට පිළිතුරු දුන් විට ඔහු ඇගෙන් ඉවතට හැරී තවත් නිලධාරියෙකුට රහසින් යමක් කීවේ ය. දෙවැන්නා වහා වහා නිවසින් පිටතට ගියේ ය.

පැය කාලකින් ඔහු නැවත පැමිණියේ සටහන් පිරුණු කඩදාසියක් අතැතිව ය. වැළපෙමින් සිටි ඇයට ඔවුන්ගේ රහස් සාකච්ඡාවල ඇතැම් වැකි ඇසිණි.
“බොහොම සාමාන්‍ය විදිහට හිටියේ.. සතුටින්.. මහත්තයාට හොඳ කෑමක් දෙන්න ඕනෑකම තිබුණා, බෝංචි, චීස්කේක්.. එයා නම් වෙන්න විදිහක් නැහැ”

ටික වෙලාවකට පසු දොස්තරත්, ජායාරූප ශිල්පියාත් තව මිනිසුන් දෙදෙනෙකුත් සිරුර රැගෙන ගියහ. ඇඟිලි සලකුණු ශිල්පියාත් ගිය පසු ඉතිරි වූයේ රහස් පරීක්ෂක නිලධාරීන් දෙදෙනාත් පොලිස් නිලධාරීන් දෙදෙනාත්  පමණි. ඔවුන් ඇයට සැලකුවේ ඉතා විනීතව ය. ඇයට මේ නිවසින් පිටව යන්නට ජැක් නූනන් යෝජනා කළේ ය. ඇගේ සොයුරියගේ නිවසට එසේත් නැත්නම් ඔහුගේම නිවසට වුව යා හැකි බවත් ඔහුගේ බිරිඳ ඇයට නවාතැන් දෙනු ඇති බවත් ඔහු කීය.

එහෙත් ඇය ඒ යෝජනා සියල්ල ප්‍රතික්ෂේප කළා ය. ඇයට අඩියක් වත් සෙලවෙනු බැරි තරමේ අපහසුවක්  දැනෙන බව කී ඇය ඔවුන්ගේ රාජකාරි වලට බාධාවක් නොකරන බවට පොරොන්දු වී එතැනම රැඳී සිටින්නට අවසර ඉල්ලුවා ය.

ඇයට අමාරුවක් දැනෙනවා නම් නිදන කාමරයට ගොස් මඳක් වැතිරී සිටීම වඩාත් සුදුසු නොවන්නේදැයි එවර ජැක් නූනන් විමසුවේ ය.

ඇයට ඒ පුටුවටම වී ටික වෙලාවක් සිටින්නට අවශ්‍ය බව ඇය කියා සිටියා ය. ටික වේලාවක් ගත වූ පසු ඇයගේ අමාරු ගතිය පහවූ විට ඇය එතැනින් ඉවත්වන බව කීවා ය.

ඉන්පසු ඔවුහු ඇයට එතැනම ඉන්නට ඉඩ හැර නිවස පරීක්ෂා කිරීමේ නියැලුණහ. ඉඳහිට රහස් පරීක්ෂක වරයෙක් ඇයගෙන් ප්‍රශ්නයක් දෙකක් අසනු පෙනිණි. ඇගේ සැමියා මියගොස් ඇත්තේ හිසේ පසුපසට එල්ල කළ තද පහරක් නිසා බව ජැක් නූනන් ඇයට සෙමෙන් පැහැදිලි කළේය. ඔවුහු ඒ ආයුධය සොයමින් සිටියහ. මිනීමරුවා එය රැගෙන පලායන්නට ඉඩ තිබුණු බවත් නොඑසේ නම් එය ඉවත දමා හෝ සඟවා යන්නට ඇති බවත් ඔහු පැහැදිලි කළේ ය.

“මේක ඉතින් පරණ කතාවම තමයි. ආයුධය හොයාගත්තොත් මිනීමරුවා අල්ලන්න පූළුවන්”

ටික වෙලාවකට පසු එක් රහස් පරීක්ෂකවරයෙක් ඇය අසලින් අසුන් ගෙන නිවසේ ආයුධයක් ලෙස භාවිත කළ හැකිව තිබුණු දෙයක් ගැන ඇයට අදහසක් තිබුණේ දැයි විමසුවේ ය. මුරිච්චි යතුරක්, එසේත් නැත්නම් බර යකඩ  මල් පෝච්චියක් වැනි දෙයක් නිවසින් අතුරුදන් වී ඇත්දැයි සොයා බලන මෙන් ඔහු ඉල්ලා සිටියේ ය.

ඔවුන්ගේ නිවසේ යකඩ මල් පෝච්චි නොතිබුණු බව ඈ කීවා ය.

“එහෙනම් මුරිච්චි යතුරක්?”

එවැනි ආයුධයක් නොතිබුණු බවට ඇයට විශ්වාස නමුත් එවැනි වෙනත් දේ ගරාජයේ තිබෙන්නට හැකි බව ඈ කීය. 

නිවස පරීක්ෂාකිරීම නොකඩවාම සිදු විය. තවත් පොලිස් නිලධාරීන් නිවස වටා සැරිසරන බව ඇය දැනගෙන සිටියා ය. ඔවුන්ගේ අඩි ශබ්දය මිදුල දෙසින් නිරතුරුව ඇසුණු අතර වරින්වර විදුලි පන්දම් එළියක් තිර රෙදි අතරින් පෙනිණි. ඒ වෙද්දී රාත්‍රිය එළැඹි තිබුණි. වෙලාව රාත්‍රී නමයට ආසන්න බව සාලයේ ඔරලෝසුවෙන් ඇය දුටුවා ය. නිවස පරීක්ෂා කරමින් උන් නිලධාරීන් සිව් දෙනා හෙම්බත් ව සිටියහ. 

“ජැක්” ඊළඟ වතාවේ ජැක් නූනන් එතැනින් යන්නට ආ විට ඈ ඔහුව ඇමතුවේ ය. “මට අතනින් බොන්න මොනවා හරි ගෙනැත් දෙනවා ද?”

“හරි ඉන්න මම දෙන්නම්, ඔයා කිව්වේ විස්කි ද?”

“ඔව්, හැබැයි පුංචි වීදුරුවක්. එයින් මගේ අමාරු ගතිය මඟ ඇරිලා යන්න පුළුවන්”
ඔහු ඇය අතට වීදුරුවක් දුන්නේ ය.

“ඔයාත් එකක් බොන්න. දැන් හොඳටම මහන්සි ඇතිනේ. මට කොයිතරම් හොඳට සැලකුවාද ඔයගොල්ලෝ හැමෝම.”

“අපේ නීති වලට නම් පටහැනියි, ඒත් මම පොඩ්ඩක් බොන්නම්, නැතිනම් තව ටිකක් වෙලා යන්න කළින් මාව මහන්සියට ඇදගෙන වැටෙයි”

එයින් පසු එතැනට පැමිණි අනෙත් අයත් මඳ පෙරැත්තයකින් පසු පුංචි විස්කි වඩියක් බීමට එකඟ විය. ඔවුහු වීදුරු අතැතිව තැන තැන සිටගෙන සිටි අතර ඈ ළඟපාතක සිටි නිසා අපහසුතාවයෙන් එකල මෙකල වෙමින් ඇගේ හිත හැදීමට නොයෙක් දේ කියමින් පසු වූහ. කුස්සියට යන්නට ගිය ජැක් නූනන් යළිත් එසැණින් නැවත පැමිණියේ ය

“මිසිස් මැලෝනි, තාම පෝරණුව වැඩකරන බව දන්නවාද? මස් ටික තාම ඇතුලේ ද?”

“ආ ඔව්නේ! හැබෑටම!” ඇය කීය.

“මම ඒක නිවලා දාන්නද?”

“අනේ ජැක් ඒක නිවනවාද? බොහොම ස්තූතියි”

පොලිස් නිලධාරියා දෙවෙනි වරට කුස්සියෙන් පිටතට එද්දී ඈ කඳුළු පිරුණු විශාල දෑසින් ඔහු දෙස බැලුවා ය.

“ජැක් නූනන්”

“ඔව්?”

“ඔයාට පුලුවන්ද මට උදව්වක් කරන්න?- ඔයාටයි මේ අනෙත් කට්ටියටයි?”

“අපි උත්සාහ කරන්නම් මිසිස් මැලෝනි”

“මෙතැන ඉන්න හැමෝම පැට්‍රික් ගේ හොඳ යාලුවෝ, ඔයගොල්ලෝ ඇවිත් ඉන්නේ එයාව මැරුව මිනීමරුවා අල්ලන්න. ඔයගොල්ලන්ගේ රෑ කෑම වෙලාව දැන් හොඳටම පහුවෙලා නිසා හැමෝටම දැන් උහුලන්න බැරි තරම් බඩගිනි ඇති. ඔයගොල්ලන්ට කෑම ටිකක් නොදී ගෙදර තියාගත්තා කියලා දැනගත්තොත් පැට්‍රික්ගෙන් මට කවදාවත් සමාවක් ලැබෙන එකක් නැහැ. ඔයගොල්ලෝ එකතුවෙලා අර කෑම ටික කනවාද? පෝරණුවේ තිබුණු මස් ටික මේ වෙද්දී ගාණට හරි ගිහින් ඇති.”

“කොහොමවත්ම බැහැ” නූනන් කීය.

“අනේ කොහොමහරි කන්න” ඈ බැගෑපත් වූවාය. “මට නම් කිසි දෙයක් කටේ තියන්න බැහැ. එයා ඉන්දැද්දී උය උයා හිටිය දෙයක් නම් කොහොමවත්ම කන්න බැහැ. ඒ නිසා ඔයගොල්ලෝ ඒ ටික කෑවොත් මට ඒක ලොකු උදව්වක් වේවි. ඊටපස්සේ රාජකාරි ඉවරකරන්න”

නිලධාරීහු කිහිපදෙනා මුලදී අදිමදි කළත් ඔවුන් හැමදෙනාම තද කුසගින්නෙන් පසු වුණු බැවින් අවසානයේදී හැමදෙනාම කුස්සියට ගොස් කෑම බෙදාගන්නට වූහ. කාන්තාව ඇය උන් තැනම හිඳිමින් ඔවුන්ගේ කතාබහට සවන් දෙමින් සිටියාය. මස් තළුමරමින් ඔවුනොවුන් අතරේ කතා කරමින් සිටි ඔවුන්ගේ හඬ ඇයට ඇසිණි.

“තව ටිකක් බෙදා ගන්න චාලි”

“ඉවර කරන්න හොඳ නැහැ නේද?”

“එයා කිව්වේ අපිට ඉවර කරන්න කියලා, ඒ නිසා කමු”

“පැට්‍රික් ට ගහන්න මිනීමරුවා පාවිච්චි කරලා තිබුණේ ලොකු ආයුධයක්. දොස්තර කිව්වේ හිස්කබල කුඩුවෙලා කියලා”

“ඒ නිසාම තමයි ඒක හොයාගන්න එක ලේසි වෙන්න ඕන”

“ඔව් මමත් හිතුවේ ඒකමයි”

“ඔයතරම් ලොකු ආයුධයක් නම් මිනීමරුවාට පැනලා යද්දී ඕක උස්සාගෙන යන්න බැහැනේ”

“මම නම් කියන්නේ ඕක මේ හතර මායිමේ ම ඇති”

“සමහරවිට අපේ නහයවල් යටම ඇති, මොකද කියන්නේ ජැක්?”

එහා කාමරයේ මේරි මැලෝනි සෙමෙන් සිනාසෙන්නට පටන් ගත්තාය.
 
 
 
 
Original Story from the book 'Lamb to the Slaughter' by Roald Dahl published in 1953
Photo- Source: Wikimedia Commons- Mary Cassatt, Woman Sewing
 

August 01, 2019

'Tis a fearful thing to love what death can touch...


For Those Who Have Died, by Judah Halevi

'Tis a fearful thing
to love
what death can touch.
To love, to hope, to dream,
and oh, to lose.

A thing for fools, this,
love,
but a holy thing,
to love what death can touch.

For your life has lived in me;
Your laugh once lifted me;
Your word was a gift to me.

To remember this brings painful joy.

'Tis a human thing, love,
a holy thing,
to love
what death can touch.


පරිවර්තනය කරන්නට උත්සාහ කළහොත් අරුත බිඳක් හෝ වෙනස් විය හැකි නිසා එසේ නොකර මේ කවිය එලෙසම බෙදාගන්නට හිතුණේ එහි සුවිශේෂ බව නිසායි. Judah Halevi එකොලොස් වන ශතවර්ෂයේදී කී මේ දේ සදාකාලික සත්‍යයක් බව දැනෙන්නේ මරණය විවිධ වෙස් ගෙන විටින් විට අප මුණගැහෙන්නට එන විටයි. 

මෙය දකිද්දී මට නම් එකවරම සිහිවුණේ ටික කලකට කලින් වේලාසනම යන්නට ගිය මා දන්නා පුංචි සුරංගනාවියකගේ කිරි සිනාවක්. 

'Tis a fearful thing to love what death can touch!



July 25, 2019

Courtney Cox සහ බේකරියේ වෑන් එක


ඉස්සර ටීවී එකේ ගියා Misfits of Science කියලා වැඩසටහනක්. අනූ ගණන් මුල හරියේ වගේ මතක. ඒකෙ හිටියේ අමුතු superpowers තියෙන කොල්ලෝ තුන්දෙනෙකුයි කෙල්ලෙකුයි. ඒගොල්ලෝ ඒ බලය පාවිච්චි කරලා අසාධාරණයට, අවනීතියට විරුද්ධව සටන් කරනවා. බොහොම සම්ප්‍රදායික වීර කතාවක්. 

මේකේ කෙල්ලට හිටියේ Courtney Cox. එයාටත් අවුරුදු විසි ගාණක් විතර ඒ කාලේ- ඒ නිසා බොහොම ලස්සනට හිටියා. ඒකේ එයාගේ නම Gloria. අත් දෙකෙන් ඔලුව අල්ලාගෙන මනසේ ශක්තියෙන් ලේසර් එකක් විදින එක එයාගේ බලය. අපි මේක බලද්දී අවුරුදු දොළහක්- දහතුනක් වගේ. ඒ වීර වැඩ කටත් ඇරන් බලාගෙන ඉන්න වයස. Misfits බලපු දාට පස්සෙන්දා ස්කූල් වෑන් එකේ ඒ ගැන තමයි කතාව. වැඩියත්ම Courtney Cox ගැන! අපිත් ඉතින් ඒ කාලේ Gloria වගේ ඔලුව අල්ලාගෙන එක එක්කෙනාට ලේසර් විදින්න ට්‍රයි කරනවා.

ඔය Misfits ලාට තිබුණා අමුතු හැඩේ වෑන් එකක්. නිකම් පෙට්ටියක් වගේ. ඒකෙ නැගලා ගිහින් තමයි කට්ටිය වීර වැඩ කරන්නේ. ඒගොල්ලන්ට වුවමනා ඔක්කොම ආම්පන්න ඒක ඇතුලේ තිබුණා . මේ කාලේ අපේ පැත්තේ බේකරියකට ගත්තා ටිකක් අර වගේ පෙට්ටි වෑන් එකක්. සාමාන්‍යයෙන් පාරේ දකින්න තිබුණු ජාතියේ නෙමෙයි. උසයි, හතරැස්. පොඩි පිටසක්වල පෙනුමක් ඒකට තිබුණා. ඉතින් මේක බේකරියේ වාහනේ කියලා හොඳටම දැනගෙන හිටියත් අපිට ඒක අපේ ලෝකල් Misfit මධ්‍යස්ථානය වගේ දැනෙන්න ගත්තේ ඒ වැඩසටහන ට පිස්සු වැටිලා හිටිය නිසා. උදේ පාන්දර ස්කූල් වෑන් එක එහෙ මෙහෙ ගිහින් කොළඹ යන ළමයි එකතු කරගනිද්දී මේ බේකරි වෑන් එක කීප සැරයක් මුණගැහෙනවා. මොකද ඒ වෙලාවට තමයි බේකරියෙන් අවට කඩ වලට පාන් දාන්නේ. කලින් දවසේ බලපු Misfits වැඩසටහනේ හිතෙන් හිටිය අපිට උදේ පාන්දර කළුවරේ බේකරියේ වෑන් එක ඉස්සරහට හම්බවුණා කියන්නේ නිකම් Courtney Cox ව හැබැහින් දැක්කා හා සමානයි. පුදුම සතුටක් දැනුණේ!
අනේ ඉතින් ඒ කාලේ අපේ හරි සරල ජීවිත නේද කියලා හිතෙනවා ඕවා මතක් වෙද්දී . 

අද Courtney Cox අමුත්තෙක් විදිහට ඇවිත් තිබුණ ටීවී වැඩසටහනක් දැකලායි මේ ටික ඔක්කොම මතක් වුණේ. 'අනේ එයා වයසට ගිහින් නේ!' කියලා හිතුණා අර Misfits එකේ රඟපාපු කෙල්ල ව මතක් වෙලා. 'නැතුව ඉතින්! ඇයි අපි!' කියලා හිතුණා කට ඇරගෙන Misfits බලපු කෙල්ලව මතක් වෙලා!

Misfits of Science

photo from Next-episode.net

July 18, 2019

ආත්මාර්ථකාමී යෝධයා

Translation of the short story The Selfish Giant | Oscar Wilde


හැම හවසකම පාසැල ඇරී නිවෙස් වෙත යන අතරතුරේදී ළමුන් පිරිස යෝධයාගේ උයනේ සෙල්ලම් කරන්නට පුරුදු ව සිටියහ.

එය සිනිඳු තණකොළ පිරුණු විශාල සොඳුරු උයනක් විය. පොළොවේ තැන තැන තාරුකා වැනි මල් විසිර තිබිණි. වසන්ත කාලයට ලා රෝස පැහැති මල් පිපෙන, සරත් කාලයට රසවත් ඵල දරන පීච් ගස් දුසිමක් ද එහි එක කෙළවරක විය. ගස්වල අතු පතරින් ඇසුණු කුරුලු ගී හඬ කෙතරම් මිහිරි වී ද යත්, ළමුන් වරින් වර තමන්ගේ සෙල්ලම් නවතා ඊට සවන් දෙනු පෙනිණි. “අපි කොයිතරම් සතුටින් ද?” ඔවුහු නිතරම එකිනෙකාට කියා ගත් හ.

නමුත් දිනක් යෝධයා ආපසු පැමිණියේ ය. ඔහුගේ මිතුරු කෝනිෂ් රාක්ෂයා බලන්නට ගොස් සිටි ඔහු, එහි සත් වසරක් නවාතැන්ගෙන හිඳ තිබිණි. වසර හතක් ගතවෙද්දී කතාකරන්නට තිබුණු සියල්ලම කියා හමාර ව තිබුණු බැවින් යෝධයාට යළිත් තමන්ගේ මාලිගය වෙත යන්නට සිත් පහළ වී තිබිණි. ඔහු නැවත එද්දී කුඩා ළමුන් ඔහුගේ උයනේ සෙල්ලම් කරන අයුරු දුර තියාම ඔහුට පෙනිණි.

“මෙතැන මොකද කරන්නේ?” ඔහු රළු හඬකින් කෑ ගසද්දී ළමෝ පලා ගියහ.

“මගේ උයන, මගේම උයනයි" යෝධයා තමන්ටම කියාගත්තේ ය. “ඒ බව ඕනෑම කෙනෙකුට තේරෙනවා. මෙතැන සෙල්ලම් කරන්න පුළුවන් මට විතරයි, වෙන කාටවත් බැහැ"

උයන වටා උස් තාප්පයක් ඉදිකළ යෝධයා එහි දැන්වීමක් ද එල්වී ය. 

‘අනවසරයෙන් ඇතුල්වීම තහනම්’

ඔහු ඉතාමත් ආත්මාර්ථකාමී යෝධයෙකි.

අසරණ ළමුන්ට සෙල්ලම් කරන්නට තැනක් අහිමි විය. ඔවුන් මහපාරේ සෙල්ලම් කරන්නට උත්සාහ කළත් එහි තිබුණු දූවිලිත් ගල් බොරළු ත් නිසා එය ඉතා අප්‍රසන්න විය. පාසැල නිම වූ පසු ඔවුහු උස තාප්පය අසලින් ගමන් කරමින් ඇතුළත ගෙවත්ත ගැන කතා කරන්නට පුරුදු වූහ.

“අපි එහේ කොයිතරම් සතුටින් හිටියාද?" ඔවුහු එකිනෙකාට කියා ගත් හ.

වසන්තය උදා වූ විට හැමතැනම මල් පිපී, කුරුලු පැටවුන් ඉගිලෙමින් වටපිටාව ඉතා අලංකාරව තිබිණි. ඒත් ආත්මාර්ථකාමී යෝධයාගේ උයනේ පමණක් ශීත කාලය නොවෙනස් ව තිබිණි. එහි ළමුන් නොසිටි නිසා කුරුල්ලන් ගී ගැයීමට වෙහෙසුණේ නැති අතර ගස් වලට මල් පුබුදුවන්නට අමතක විය. වරක් එක මලක් පොළොවෙන් හිස ඔසවද්දී යෝධයාගේ දැන්වීම් පුවරුව නෙත ගැටී, ළමුන් ගැන ඇති වූ මහත් අනුකම්පාවෙන් නැවතත් පොළොව යටට ගොස් නිදන්නට විය. මේ වෙනස ගැන සතුටු වූයේ හිම ත් තුහින ත් පමණි. ‘වසන්තයට මේ උයන අමතක වෙලා!’ ඔවුහු ප්‍රීති ඝෝෂා කළ හ. ‘දැන් අපිට අවුරුද්ද පුරාම මෙතැන ඉන්න පුළුවන්'. හිම ඇගේ විසල් ශ්වේත ලෝගුවෙන් උයනම වසා ගත් අතර තුහින උයනේ ගස් සියල්ලම රිදී පාටින් පාට කළේ ය. ඉනික්බිති ඔවුහු ඔවුන්ගේ මිතුරු උතුරු සුළඟට එහි නවතින්නට ඇරයුම් කළ හ. උණුහුම් ලොම් කබා ඇඟලාගෙන ආ උතුරු සුළඟ, දවස පුරාම ගෙරවිලි නඟමින් උයන වටා දිව යන්නටත් මාළිගාවේ දුම් කවුළු කඩා දමන්නට උත්සාහ කරන්නටත් විය. “මේක බොහොම ලස්සන තැනක්" ඔහු කීය. “අපි හිම වැස්සටත් ඇවිල්ලා යන්න එන්න කියමු" ඉතින් ඒ ආරාධනාවෙන් උයනට පැමිණි හිම වැස්ස අළු පැහැති ඇඳුම් ආයිත්තම් ඇඟලා සිටි අතර ඔහුගේ හුස්මත් හිම මෙන් සීතල විය. හැම දවසකම පැය තුන හතරක් තිස්සේ මාළිගාවේ වහලය මත රැඟුම් පෑ ඔහු එහි උළු කැට ත් වැඩි ප්‍රමාණයක් බිඳ දමා තිබිණි. 

“මට තේරෙන්නේ නැහැ මේ සැරේ වසන්තය ඇයි මේ තරම් පරක්කු කියලා" තමන්ගේ සීතල අඳුරු උයන දෙස මාළිගාවේ කවුළුවකින් බලා සිටි ආත්මාර්ථකාමී යෝධයා තමන්ටම කියාගත්තේ ය. “ඉක්මණටම දේශගුණයේ වෙනසක් වුණොත් හොඳයි"

ඒත් වසන්තයවත්, ගිම්හානයවත් උයනට ආවේම නැත. සරත් කාලය අනෙත් හැම ගෙවත්තකටම රසවත් ඵල ලබාදුන්නත් යෝධයාට නම් කිසිවක් ම දුන්නේ නැත. “ඔහු ආත්මාර්ථකාමී වැඩියි!’ සරත් කාලය ප්‍රකාශ කර තිබිණි. ඒනිසා යෝධයාගේ උයනේ හිම ත්, තුහින ත්, හිම වැස්ස ත්, උතුරු සුළඟ ත් පමණක් ගස් අතර රැඟුම් රඟමින් පසු වූහ.

එක් උදෑසනක යෝධයා නිදි ඇඳේ හිඳිද්දී අපූරු සංගීතයක් කණ වැකිණි. එය කෙතරම් මිහිරි ද යත් ඔහුට මුලදී සිතුණේ රජතුමාගේ සංගීත කණ්ඩායම උයන අසලින් ගමන් කරනවා විය හැකි බවයි. ඒත් ඒ ඔහුගේ කවුළුව අසල ගී ගයමින් උන් පුංචි කුරුල්ලෙක් බව ඔහු දුටුවේ පසුව ය. යෝධයා ට කලකින් කුරුලු ගීයක් ඇසී තිබුණේ නැති නිසා එය ලොව ඇති මිහිරිම තනුව බව ඔහුට සිතිණි. එවිටම වහල මත හිම වැස්සේ දැඟලුම නැවතුණු අතර උතුරු සුලඟේ ගෙරවිල්ලද අඩු විය. කවුළුව අතරින් මන පිනවන මල් සුවඳක්ද ගලා එන්නට විය. “වසන්තය ඇවිල්ලා වගේ!” යැයි කෑගසමින් යෝධයා ඇඳෙන් බිමට පැන කවුළුවෙන් එබී බැලුවේ ය.

ඔහු දුටුවේ කුමක් ද?

තාප්පයේ සිදුරකින් ළමුන් උයනට රහසින් ඇතුළු වී තිබිණි. ඔවුන් සිටියේ ගස් වල අතුපතර වාඩිගෙන ය. බැලු බැලූ අත හැම ගසකම කුඩා දරුවෙක් විය. ළමුන් ආපසු පැමිණීම ගැන ගස් කොයිතරම් සතුටු වී ද යත් ඒවා තම අතු මලින් පුරවා තාලයට සොලවමින් විය. කුරුල්ලන් ප්‍රමෝදයෙන් ගී ගයමින් පියාඹමින් සිටි අතර  මල් තණ බිස්සෙන්  හිස්  ඔසවා සිනාසෙමින් විය. එහෙත් මේ සොඳුරු දසුන් පිරි උයනේ එක් කෙළවරක පමණක් ශීත කාලය තවමත් පෙනෙන්නට තිබිණි. උයනේ ඈත මුල්ලක කුඩා දරුවෙක් ගසකට නැග ගනු නොහැකිව හඬමින් පසු විය. “නගින්න දරුවෝ නගින්න!’ යැයි උනන්දු කරමින් ගස තම අතු පහත් කළ නමුත් දරුවා ඊට නගින්නට කුඩා වැඩි විය.

මෙය බලා සිටි යෝධයාගේ පපුව උණු විය. “මම කොයිතරම් ආත්මාර්ථකාමී විදිහටද වැඩ කරලා තියෙන්නේ" ඔහු කීය. “දැන් මම දන්නවා ඇයි වසන්තය මගේ උයනට ආවේ නැත්තේ ඇයි කියලා. මම අර පුංචි දරුවා ව ගහ මුදුනින් තියනවා. ඊටපස්සේ තාප්පය කඩා දානවා. මගේ උයන හැමදාටම පුංචි ළමයින්ට සෙල්ලම් උයනක් වෙන්න ඕන” ඔහු මෙතක් කල් කළ දේ ගැන ඔහුට මහත් පසු තැවිල්ලක් දැනෙමින් තිබිණි.

ඉතින් ඔහු හෙමින් සීරුවේ මාළිගාවේ බිම් මහලට ගොස් එහි ඉදිරිපස දොර විවර කර උයනට පා තැබුවේය. ඒත් ඔහු ව දුටු සැණින් උයනේ සෙල්ලම් කරමින් සිටි ළමුන් රංචුවම බියෙන් පැන දිවූහ. ඒ සමඟම උයන යළි වරක් ශීත කාලයේ ගිලුනි. උයනේ කෙළවර හඬමින් සිටි පුංචි දරුවා පමණක් උයනෙන් පලා නොගියේ ඔහුගේ දෑසේ පිරී තිබුණු කඳුළු නිසා ඔහු යෝධයාව නොදුටු හෙයිනි. යෝධයා හෙමින් සීරුවේ ඔහු ළඟට ගොස් ඔහුව ඔසවා ගසේ අත්තක් මතින් තැබුවේය. එසැණින් ගස පුරා මල් පිරී ඉතිරුණු අතර කුරුල්ලන් ගී ගැයීමට ඒ වෙත රොක්විය. පුංචි දරුවා යෝධයාගේ ගෙල වටා දෑත යවා ඔහුට හාදුවක් දුන්නේය. යෝධයා නපුරු නැති බව දුටු සෙසු ළමුන් ද දිව ආ අතර ඔවුන් සමඟම වසන්තයත් යළි උයන වෙත එළඹිණි.

‘ළමයිනේ, දැන් මේ උයන උඹලාගේ’ කී යෝධයා විශාල පොරොවක් ගෙන උයන වටා තිබුණු තාප්පය කඩා බිඳ දැම්මේය. මධ්‍යහනයේ නගරය වෙත ගොස් ආපසු එමින් සිටි ගම්වැසියන් දුටුවේ ඉතාමත් අලංකාර උයනක තම දරුවන් හා සෙල්ලම් කරන යෝධයාවයි. දවස පුරාම මෙලෙස සෙල්ලම් කළ ළමුන් සවස් වෙද්දී යෝධයා වෙත ආවේ ඔවුන් නිවෙස් වෙත යන බව කියා සමු ගැනීමට යි.

“කෝ උඹලාගේ පුංචි යාළුවා?” යෝධයා ඇසීය. “අර මම ගහට නගින්න උදවු කළ ළමයා?” ඒ කුඩා දරුවාට යෝධයා වැඩියෙන්ම ආදරය කළේ ඔහු යෝධයාව වැළඳගෙන හාදුවක් දුන් නිසා ය.

“අපි දන්නේ නැහැ" ළමෝ කීහ. “එයා යන්න ගිහින් වගෙයි"

“එයාට කියන්න හෙට මතක ඇතිව ආයෙත් එන්න කියලා" යෝධයා කීවේ ය. ඒත් ඒ ළමයා ව තමන් නොහඳුනන බවත්, ඔහු වෙසෙන තැනක් නොදන්නා බවත්, ඉන් පෙර ඔහුව කිසි දවසක දැක නැති බවත් ළමුන් කී විට යෝධයාට මහත් ශෝකයක් දැනිණි.

හැම දිනකම පාසැල හමාර වූ පසු ළමෝ පිරිස යෝධයා හා සෙල්ලම් කරන්නට පැමිණියහ. ඒත් යෝධයා ආදරය කළ කුඩා පිරිමි ළමයා නම් යළි කෙදිනකවත් දකින්නට ලැබුණේ නැත. යෝධයා ළමුන් හැම දෙනාටම කරුණාව පෑ නමුත් ඔහුගේ පළවෙනිම පුංචි යාළුවා යළි දකින්නට මඟ බලා සිටියේ ය. යෝධයා නිතර ඔහු ගැන දෙඩූ අතර “අනේ ඔහුව දකින්නට ඇත්නම්” යැයි තැවුනේ ය.

මෙලෙස අවුරුදු ගණනක් ගතවෙද්දී යෝධයා කෙමෙන් වයෝවෘද්ධ විය.  ඔහුට දැන් දැන් ළමුන් හා සෙල්ලම් කරන්නට සවිය තිබුණේ නැත. ඒ වෙනුවට හාන්සි පුටුවක වැතිරී ළමුන් සෙල්ලම් කරන අයුරු නරඹමින්, උයනේ විසිතුරු බලමින් ඔහු කාලය ගත කළේ ය. “මගේ උයනේ කොයිතරම් සුන්දර මල් වර්ග තියෙනවාද" ඔහු කීය. “ඒත් ලස්සනම මල් වර්ගය තමයි පුංචි ළමයි"

ශීත කාලයේ දිනක් යෝධයා තම කවුළුවෙන් පිටත බලා සිටියේ ය. ඔහු ඒ වෙද්දී ශීත කාලයට වෛර නොකළේ එය වසන්තය නිදා උන් කාලයත්, මල් විවේක ගන්නා කාලයත් බව දැන සිටි නිසා ය.

උයනේ කෙලවර දුටු දෙයක් දෙස  ඔහු හිටිහැටියේ ම යළිත් බැලුවේ පුදුමයෙන් දෑස පිසලමිනි. එතැන අපූරු දසුනක් මැවී තිබිණි. උයනේ ඈතම කෙලවරේ ගසක් සුදු පැහැ මලින් පිරී තිබිණි. ඒ ගසේ අතු රන් පැහැයෙන් බැබලුණු අතර ඒවා රිදී ඵල වලින් බර ව තිබිණි. ඒ ගස යට යෝධයා ආදරය කළ කුඩා දරුවා දකිනු හැකි විය.

යෝධයා පහළ මාලයටත්, උයනටත් දිව ගියේ ඉතා සතුටිනි. ඔහු වහා වහා තණ පිටිය හරහා දිව ගොස් කුඩා දරුවා අසලට ගියේ ය. එහෙත් දරුවාට ලං වෙද්දී යෝධයාගේ වත කේන්තියෙන් රත් පැහැ විය.

“කවුද ඔබට තුවාල කළේ?” ඔහු කෑගෑවේය.

ඒ, කුඩා දරුවාගේ දෙඅත්ලේත් දෙපයේත් ඇණ ගැසූ සලකුණු පෙනුණු නිසා ය.

“ඔබට අත තියන්නට කිට්ටු වුණේ කවුද?” යෝධයා කේන්තියෙන් පිපිරී ය. “මට නම කියන්න! මම මගේ කඩුව අරගෙන ගිහින් ඔහුව මරලා දානවා"

“එපා” කුඩා දරුවා පිළිතුරු දුන්නේ ය. “මේ ආදරය වෙනුවෙන් ලද තුවාල"

යෝධයාට දරුවාගේ අමුතු ගාම්භීර බවක් හදිසියේ දැනිණි.

“ඔබ කවුද?” ඔහු ඇසුවේ දරුවා ළඟ දණින් වැටෙමිනි.

දරුවා යෝධයා වෙත සිනාවක් පෑවේ ය.

“ඉස්සර දවසක ඔබ මට ඔබේ උයනේ සෙල්ලම් කරන්නට ඉඩ දුන්නා. අද ඔබ මගේ උයන ට යන්න එන්න. මගේ උයන පාරාදීසය යි"

එදා හවස ළමුන් පිරිස උයනට දිව ආ විට දුටුවේ යෝධයා ගසක් යට වැතිරී මිය ගොස් සිටි ආකාරය යි. ඔහුගේ සිරුර සුදු මල් පෙති වලින් වැසී තිබිණි. 

Photo Source: Wikimedia commons, illustration by Walter Crane of the story "The Selfish Giant" in Wilde's book, The Happy Prince and Other Tales



July 14, 2019

චිත්‍ර උපදෙස්

දැන් අපිට සීතල කාලේ. පුතාටයි මටයි ඉස්කෝලේ නිවාඩු. මේ ටිකේ සමහර දවස්වල දවල්ට ලස්සනට අව්ව තිබුණත් හවස් වෙද්දී හුළඟ හමලා වහින්න ගන්නවා. හොඳට උණුහුම් වෙලා පොත් කියවන්න කියාපු දවස් ටික.

"අම්මාටයි, තාත්තාටයි, සීයාටයි මම බොන්න hot chocolate හදන්නද?" එහෙම හවස් වරු වල පුතා අහන්නේ ළඟදී ඉගෙන ගත්ත ශිල්පය දක්වන්න ලෑස්ති වෙලා.

"Hot Chocolate කිව්වේ අම්මාගේ බ්ලොග් එක වගේද?" සීයා විහිළුවක් කරනවා.
කොල්ලා බොහොම ආඩම්බරයෙන් දුම් දාන mugs හතරක් අරගෙන එනවා.

"මට හිතයි hot chocolate කෝප්පයක් අඳින්න" මම පුතාට කියනවා. මම බොහොම ප්‍රාථමික විදිහට laptop එකේ Paint වලින් චිත්‍ර අඳිනවාට පුතා කැමති නැහැ. එක එක ජාතියේ චිත්‍ර අඳින apps එයා මට හොයලා දෙනවා හැමදාම. ඒත් මට ඒ එකක්වත් අල්ලන්නේ නැහැ. යල් පැනපු ක්‍රමයම තමයි හරියන්නේ. තෙල් සායම් චිත්‍රයක් අඳින විදිහ ගැන තියෙන උපදෙස් ටිකක් බලාගෙන මම Paint වලින්ම මේ චිත්‍රය අඳිනවා.

"හොඳයි, හොඳයි.. ගොඩාක් මහන්සි වුණු බව පේනවා. අලුත් ක්‍රමයකින් ඇන්දා නම් සෑහෙන්න දුරක් යන්න තිබ්බ කෙනෙක්!" කොල්ලා මේක බලලා මට අවවාදයකුත් දීලා යනවා.



July 11, 2019

මකරානන්දය- විරාජිනී තෙන්නකෝන්


විරාජිනී තෙන්නකෝන් ගේ 'මකරානන්දය' නවකතාව මා තෝරාගත්තේ ඇගේ කෙටි කතා සංග්‍රහය වන 'අච්චාරු සහ වෙනත් කතා' හි රසවත් බව ගැන යහපත් මතකයක් තිබුණු නිසා ය. මේ නවකතාව කියවීමෙන් කතුවරියගේ ලිවීමේ හැකියාව ගැන ඇතිව තිබූ ඒ පැහැදීම වැඩි විය. එක හුස්මට කියවාගෙන යාමට පොළඹවන ඇගේ ලිවීමේ ශෛල්‍යයත් නැවුම් ප්‍රස්තුත භාවිතයත් මීට හේතු විය.

අතීතයත්, වර්තමානයත් මනා කොට ගොනු කර ලියැවුණු මකරානන්දය, වැවේගම නම් පිටිසර ගම්මානයක ගැමි ජීවිතය අතරටත් කොළඹ හතේ දේශපාලන හා ව්‍යාපාරික මඩ ගොහොරුවටත් අප ව කැඳවාගෙන යයි. පන්ති භේදයෙන් පීඩිත ගැමියන් ඉන් මිදී හිස ඔසවන්නට දරන දුෂ්කර ප්‍රයත්නයත් ජ්‍යෝතිෂ්‍ය හා මිත්‍යා විශ්වාස මත එල්බගත් නාගරික ජනතාව නොදැනුවත්වම වැටී ඇති අගාධයේ ගැඹුරත් කතුවරිය මනා ලෙස ගෙන හැර පාන්නීය. මේ කෘතිය පුරාවටම මුණගැහෙන නංහාමි, රන්මැණිකා, පද්ම ශ්‍රී ආදී චරිත ඉදිරිපත් කර ඇති සියුම් ආකාරය, කියවන්නා කතාව වෙත බැඳ තබා ගනී.

කතාවේ පිවිසුම වන සේපාල නම් නගර සභා කම්කරුවාගේ කතාව වෙනම නවකතාවක් ලෙස ඉදිරිපත් කරන්නට තරම් පොහොසත් ය. කෘතියේ යම් කොටස් සංස්කරණය වී තරමක් කෙටි වූවා නම් අගෙයි යි සිතුණු අවස්ථා තිබුණ ද සමස්තයක් හැටියට මකරානන්දය කියවිය යුතු පොතක් හැටියට නම් කරනු කැමැත්තෙමි. 

මකරානන්දය- විරාජිනී තෙන්නකෝන්
සරසවි ප්‍රකාශනයකි



July 04, 2019

දුර ඈත දේශ

(Translation of Tim Winton's short story 'Distant Lands')



'තඩි මේසි' යන විසුළු නම පටබැඳී තිබුණු ඈ රැකියාව කළේ ඇගේ පියාගේ පොත් කඩයේ ය. නොන්ඩි කකුලක් තිබුණු ඇගේ පියා නිරතුරුව කෝපයෙන් පසුවූයේ ඔහුගේ ආබාධය හේතුවෙන් අතීතයේදී ඔහු ව හමුදා සේවයට නොගැනීම නිසා ය. දවස තිස්සෙම ඔහු කඩය තුළ සඟරා පිරුණු රාක්ක අතර නොන්ඩි ගසමින් එහා මෙහා ඇවිද්දේ හොරු ඇල්ලීමටත් මුදල් නොගෙවා පොත් කියවමින් කඩයේ රස්තියාදු වන්නන් එළවා දැමීමටත් ය. කෙල්ල ගේ අම්මා නම් දවස පුරාම කැෂියර් පුටුවේ හිඳ පාරේ ගමන් කරන රථ දෙස දෑස යොමාගෙන ම පසුවිය. ඈ එතැන උන් බව මේසි ට නම් මතක් වූයේ පරණ නැෂනල් රේඩියෝවේ ඒකාකාරී ශබ්දය ඇසෙද්දී පමණි. නගරාන්තර දිවෙන විශාල ග්‍රේහවුන්ඩ් බසය කඩය පසු කර උතුරු දෙසින් ඇති නගරය වෙත දවසකට වරක් ගමන් කළේය. දෙමව්පියන් කඩය ඇයට භාර දී දිවා ආහාරය සඳහා නිවසට යන වෙලාව නම් ඇයට සැනසිලිදායක කාලයක් විය. 

හැම දිනකම, දිවා අහාර පැයේදී උස තලඑළලු පුද්ගලයෙක් කඩයට පැමිණියේ ය. කඩයේ දොරින් ඇතුල් වූ වහාම ඔහු මඳක් නිසොල්මන් ව සිටින්නේ එක්කෝ අඳුරට දෑස හුරුකරගැනීමට, නොඑසේ නම් හිත හදා ගන්නට ය. ඉන්පසු ඔහු කෙළින්ම යන්නේ එක් පොත් රාක්කයක් වෙතට ය. එහි තිබෙන 'දුර ඈත දේශ' නම් වූ පොතක් අතට ගන්නා ඔහු, එක පාදයක් රාක්කයේ යට තට්ටුව මත රඳවාගෙන, හිටගෙනම විනාඩි පහලවක් ඒ පොත කියවයි. මුලින්ම කඩයට ආ දිනයේ ඔහු පොත කියෙව්වේ සොරෙක් මෙනි. එදා ඔහු කියවන්නට වැය කළ තරම් ම වෙලාවක් වටපිට බලන්නට වැය කළේ ය. පොතේ විසිතුරු දම් පැහැති කවරයට ඉහළින් දිස් වුණු ඔහුගේ දෑස නොසන්සුන්ව, සුදු පැහැති ව පෙනිණි. ඔහුගේ කියවීම ගැන තමන්ට වගක් නැති බව පෙන්වීමට කෙල්ල ඔහු හා සිනා සී උරහිස් හැකිලුවා ය. 

"හොඳයි ද පොත?" පළමු දවසේ ඔහු සතයක් වත් වියදම් නොකර කඩයෙන් පිටතට ඇවිද යද්දී ඇය ඇසුවා ය. 

ඔහු දෑස බිමට යොමාගෙන ඈ ව පසුකරගෙන ගියා මිස පිළිතුරු ලෙස වචනයක් වත් කීවේ නැත. මහමඟට පිළිපන් ඔහු තමන්ගේ ටයි පටිය සකසාගෙන, වරාය පිසගෙන හමන දුගඳ සුළඟ නොවදින්නට කබායේ බොත්තම් පියවාගෙන යන්නට ගියේ ය. 

ඉන්පසුත් ඔහු නැවත නැවත පැමිණි නමුත් ඇය දෙස බැලුවේ වත් ඇය ව හඳුනන බවක් පෙන්වූයේ වත් නැත. මුදල් නොගෙවා කඩයේ විකුණන්නට ඇති පොතක් කියවන ඔහු පකිස්තානු කාරයෙක් දැයි ඇයට සැකයක් ඇති විය. ඇගේ පියා මේ සිද්ධිය දන්නේ නම් ඔහු ව පළවා හරිනු ඇත. අමුත්තාගේ කෝපි පාට දෑත පිරිසිදුවට පිළිවෙලට තිබිණි. ඔහුගේ ඇඳුම් කට්ටලය හොඳින් මසන ලද ඉස්තරම් වර්ගයේ එකක් විය. ඔහු ගිය පසු ඇය 'දුර ඈත දේශ' පොත පරීක්ෂා කළ විට දුටුවේ ඔහු තනි කළු කෙස් ගසකින් තමන් කියවමින් උන් පිටුව සලකුණු කර ගොස් ඇති බව ය. ඒ බව හැරෙන්නට ඒ පොත කියවන ලද බවක් බැලූ බැල්මට නම් නොපෙනිණි. එහි පසු පිටුවේ 'මේ පොත කිසිදින ඉවර නොවේ යැයි ඔබ පතනු ඇත' යැයි මුද්‍රිත ව තිබිණි. 

මෙසේ සති ගණන් ගත වෙද්දී 'දුර ඈත දේශ' තමනුත් කියවිය යුතුදැයි ඇය කල්පනා කරන්නට විය. තලඑළලු මිනිසා එය කියවීමෙන් මහත් ජවයක් ලබා ගන්නා බව ඔහු කඩයෙන් එලියට ගිය පසු සුළඟට එරෙහිව සිය කබාය බොත්තම් ලන අයුරෙන්ම පැහැදිලි ව පෙනිණි. එහෙත් එය පිටු බොහෝ ගණනක් ඇති පොතක් නිසාත්, ඇය පාසැල් වියෙන් පසු පොතක් කියවා නැති නිසාත්, එය කියවීම අනුන්ගේ කතාවක් හොරෙන් අසා සිටීමක් වැනි නොමනා දෙයක් බව දැනෙන නිසාත් ඇය ඉන් වැළකිණි. දැනට දිවා ආහාර විවේකයේදී ඔහු එනතුරු මඟ බලා සිටීමත්, ඔහු කඩය තුල සිටින විට ඔහු හා දැනෙන අමුතු මිතුරුකම විඳීම ත් ඇයට සෑහිනි. ඇයට තමන් යම් රහස් කුමන්ත්‍රණයක කොටස්කාරියක් බව දැනෙමින් තිබිණි. කෑම පැයේ දී කඩය තුළ ක්‍රියාත්මක වූයේ ඇගේ නීති ය. පොත කියවද්දී පොත් රාක්කයේ පහළ තට්ටුව මත රැඳවුණු ඔහුගේ ඔප දැමුණු සපත්තුවත්, විදුලි බුබුළු වල එලියට දිලිසුනු ඔහුගේ පහතට නැමුණු නළල ත් ඇයට මහත් සතුටක් ගෙන දුනි. 

ඇයට ක්‍රීඩාවන්ට සමත්කමක් තිබුණේ නැත. ඇය පොත්පත් කියවූයේ නැත. ඇයට පෙම්වතෙක් හිටියේ නැත. ඇතැම් දිනවල ඈ පාපැදියේ නැගී නගරයේ කෙලවර වෙත ගොස් අධිවේගී මාර්ගය දෙස බලා සිටින්නට පුරුදුව සිටියා ය. ඈ දවසින් දවස තව තවත් තර වන බවක් ඈට දැනෙමින් තිබිණි. වරාය දෙසින් හමන් දුගඳ ඇයට මහත් සේ අප්‍රසන්න ව තිබිණි. මෙතරම් කල් මෙහි විසූ තමන් වෙතින් ද ඒ ගඳ වහනය වේදැයි ඇය නිතරම කල්පනා කළා ය. 

පොත කියවීම හොඳින් කෙරීගෙන යනවාදැයි ඔහුගෙන අසන්නට ඇයට කිහිප වරක්ම සිතිනි. වරක් ඇයට ඔහු ලඟට ගොස් ඔහු ඒ පොත හොරෙන් කියවීම ගැන අසා අභියෝග කරන්නටත් ඔහු එය කියවන්නේ කුමකටදැයි අසන්නටත් සිතිණි. එහෙත් එසේ කරන්නට අසුනෙන් නැගිටිද්දී ම, මුව විවර කරද්දීම ඉන් සිදුවන්නේ ඔවුන් දෙදෙනාගේම දිවා විවේකය විනාශ කර දැමීමක් බව ඇයට වැටහිණි. කඩයට ආ පළමු දවසින් පසු ඔහු ඇය දෙස එක වරක්වත් නොබැලුවත්, ඔවුන් අතර කිසිම කතාබහක් සිදු නොවූවත්, ඔහු කිසිදින කඩෙන් යමක් මිළදී නොගත්තත්, ඔවුන් එකිනෙකා ව තේරුම් ගෙන සිටි බවක් මේසි ට වැටහිණි. මීට පෙර කිසි කෙනෙක් සමඟ මෙවැනි නිහඬ තෙරුම්ගැනීමක් ඇයට දැනී නොතිබිණි. 

දවසක් තලඑළලු මිනිසා පැමිණියේ ප්‍රමාද ව ය. ඒ වෙද්දී ඇගේ දෙමව්පියන් දිවා අහාරයෙන් පසු නැවත කඩයට පැමිණ තිබිණි. එය දැක ඇයට ඇගේ සිරුර සිරවෙන ගතියක් දැනිණි. ඔහු වගක් නොමැතිව කඩයේ කෙලවර පොත් රාක්කය වෙත ඇවිද ගියේ ය. ඇය හුස්මක්වත් නොගෙන බලා සිටියා ය. එහෙත් පොතට අත තියන්නත් පෙර ඔහුට ඇගේ මව රේඩියෝවට ඉහලින් ඔහු වෙත හෙලන බැල්ම දැනුණා සේ විය. ඔහු වහා වහා කඩයෙන් පිටව ගියේ ය. ඊළඟ දිනයේ ඔහු පැමිණියේ නියමිත වේලාවටම ය. 

දිනක් මීටත් වඩා බරපතල අර්බුදයක් ඇති විය. දිලිසෙන කබායක් හැඳ සිටි, රතු පැහැති පිම්බුණු මුහුණක් ඇති ගැහැනියක් 'දුර ඈත දේශ' පොත මිලදීගන්නට කවුන්ටරය වෙත රැගෙන ආවා ය. ඒ වෙලාවේ මේසි ගේ අම්මා කඩයෙන් පිටත පදික වේදිකාවේ සිට තෙමුණු පත්තර මිටි කඩය තුළට ඇදගෙන එමින් සිටියා ය. 

"සමාවෙන්න" කෙල්ල කීවා ය. "ඔය පොත වෙන්කරලා තියෙන්නේ"
"මොකක්? වෙන්කරලා? මේක පුස්තකාලයක් ද?" රතු මුහුණැති ගැහැණිය කෑගෑවා ය.
"ඒක ඇනවුමක්. සමාවෙන්න"

ඊළඟ දිනයේ දිවා විවේකය තෙක් ඒ පොත රඳවා ගැනීම කෙසේ හෝ කරගත යුතු යයි ඇයට දැනෙමින් තිබිණි. මෙවැනිම තවත් පොතක් නගරයෙන් ගෙන්වා ගැනීමට සති ගණනක් වැය වන්නට හැක. අමුත්තා නැතිව ගෙවෙන දිවා විවේකයන් ගැන සිතීම පවා ඇය තුළ මහත් බියක් ඇති කරන්නට සමත් විය. 

"ඒ ජාතියේ වෙන පොත් නැද්ද?" මහත ගැහැණිය මස් එල්ලෙන, මුදු පිරුණු ඇඟිලි ඇති අතක් කවුන්ටරය මත තබමින් ඇසුවා ය.
"කණගාටුයි වෙන නැහැ”

කළ යුත්තේ කුමක්දැයි සිතමින් ඒ ගැහැණිය මඳ වෙලාවක් එතැන ලතවුණු නමුත් අවසානයේ ඒ පොත කවුන්ටරයේ වීදුරුව මත දමා ගසා යන්නට ගියා ය. තමන්ට පිටුපා යන ඒ මහත සිරුර දකිද්දී මේසි ට බියක් දැනිණි. 'මමත් ඒ වගෙයි' ඇයට සිතෙන්නට විය. ඒ සිරුරේ මහත බවටත් වඩා යම් වැදගත් දෙයක අඩුපාඩුවක් මේසි ට කැපී පෙනෙන්නට විය. ඒ ගැහැණියට පොත වුවමනා ව තිබුණේ නැති බවත් තමන් හා ඇති කරගත් ඒ පුංචි රණ්ඩුව කම්මැලිකම දුරු කරගැනීමට කළ දෙයක් බවත් ඇයට වැටහිණි. 

අම්මා පත්තර මිටි කඩය තුලට ඇදගෙන එන අයුරු මේසි බලා සිටියා ය. තාත්තා කේන්තියෙන් නොන්ඩි කකුල විසිකරමින් එතැනින් ගියේ ය. එළියේ හිස් ග්‍රේහවුන්ඩ් බසයක් පිටත් වෙමින් තිබිණි. 

එදා රෑ කඩය වසා දමන්නට උදවු වෙද්දී මේසිට මෙතෙක් කල් නොදැනුණු අමුතුම දෙගිඩියාවක් දැනෙමින් තිබිණි. එහෙත් රාත්‍රී ආහාර වෙලාව වෙද්දී එය සමනය වී තිබුණු අතර ඇය පුටුවේම නින්ද යන තෙක් රූපවාහිනිය නැරඹුවා ය. 

පසු දින ඇයට මහත් වරදකාර බවක් දැනිණි. ඇයට යහළුවන් සිටියේ නැත. ඇයව රැක බලා ගත්තේ ඇගේ දෙමව්පියන් ය. ඒ කුඩා නගරයේ රැකියා සොයාගැනීම දුෂ්කර නිසා පාසැලින් ඉවත් වූ පසු ඔවුහු ඇයට රැකියාවක් දුන්නෝ ය. ඇතැම්විට ඇය හිතූ තරම් දේවල් අප්‍රසන්න නොවන්නට ඇත. 

පසු දිනත් සුපුරුදු ලෙස තලඑළලු මිනිසා කඩයට පැමිණියේය. ඔහු කියවන අයුරු බලා සිටි ඇයට ඔහු කඩවසම් නැති නමුත් ඔහුගේ පැහැය ප්‍රියමනාප බව සිතිණි. ඔහුගේ දත් පෙළ ඔප දැමූ හාල් ඇට සේ දිස් විය. ඔහු පිටුවක් පෙරලද්දී ඇයට තම මුවේ නිරායාසයෙන් සිනහවක් නැඟෙනු දැනිණි. ඔහු ඒ ශබ්ද නැඟෙන සේ පිටු පෙරළන්නේ අමුතු උනන්දුවකින් ද? ඇයට මේ දැනෙමින් තිබෙන්නේ සතුට බව ඇයට ඒකාන්තයෙන්ම වැටහිණි. සතුට නම් මෙයයි, වෙන කිසි දෙයක් නොවේ.

කඩය හිස් ව තිබිණි. කඩයේ සිටියේ ‘දුර ඈත දේශ’ කියවන තලඑළලු මිනිසාත් ඔහු දෙස එළිපිටම එබී බලන ඇය ත් පමණි. ඔවුන් අතර තිබුණේ විසිතුරු ව දිලිසෙන පොත් කවර දහසක් පමණි. ‘ඔහුත් සතුටින්’ ඔහු තවත් පිටුවක් පෙරලනු බලා සිටි ඇයට සිතිණි. 

ඇය බලා සිටිද්දී කෝපි පාට මිනිසා පොතේ අන්තිම පිටුව පෙරලුවේ ය. ඇයගේ උගුර සිරවෙනු සහ හදවත නතර වෙනු ඇයට දැනිණි. ඔහු සුසුමක් හෙලනු ඇයට ඇසිනි. ඔහු පොත වසා නැවත රාක්කය මත තබනු ඇයට පෙනිණි. ඔහු කවුන්ටරය වෙත එමින් සිටියේ ය. 

ඔහු සිනාසෙද්දී ඔහුගේ කුඩා දසන් පැහැදිලිව දිස් විය. 
“ස්තුතියි” ඔහු කීය. 
ඇය මුව විවර කළත් කිසිවක් කීවේ නැත. 
“මේ බස් එක‍ට” ඔහු මුදල් නෝට්ටුවක් ඇගේ අත්ලත තැබුවේ ය. “යන්නම්” 

‘තඩි මේසි’ යන විසුළු නම ලැබූ කෙල්ල ඔහු යන අයුරු බලා සිටියා ය. ඔහු මහමඟට ගොස් වරාය දෙසින් හමන සුළඟ නොවදින්න කොලරය ඔසවාගෙන යන්නට ගියේ ය. 

මොහොතකට පසු ඇය කඩයේ කෙළවර වෙත ඇවිද ගියා ය. ඇගේ සිතිවිලි කැළඹී, පටලැවී තිබිණි. ‘දුර ඈත දේශ’ රාක්කය මත තිබුණි. එහි තිබුණු කළු කෙස් ගස ඇය ඇහින්දා ය. එය තම ඇඟිල්ල වටා එතූ විට ලේ ගමන නවතා ඇඟිල්ල නිල් පැහැයට හරවන්නට තරම් එය සවිමත් විය. රාක්කයට පිටුපා සිටි ඇයගෙන් කෙඳිරියක් නික්මිණි. ඔහු දුන් ඩොලර් පනහේ නෝට්ටුව අලුත්ම එකක් විය. ඇය එය තම තනපට තුළ රඳවාගෙන රාක්කය ට හේත්තු වී දොර දෙස බලා සිටියා ය. ඇය හුස්ම ගනිද්දී තනපට තුළ ඇති මුදල් නොට්ටුවෙන් විදුලියක් වැනි ශබ්දයක් නිකුත් විය. 

ඇයට ඇගේ දෙමව්පියන් දොරකඩදී මුණගැසිනි. සැකයෙන් ඔවුන්ගේ මුහුණු අඳුරු වන හැටි ඇයට පෙනිණි. ඇය සෙමෙන් දිලිසෙමින් සිටියා ය. 

photo- Eureka books


June 26, 2019

හයේ පන්තියේ ආර්ථික විද්‍යාව

පුතාලාට ඉස්කෝලේ හැම semester එකටම එක ප්‍රධාන මාතෘකාවක් තියෙනවා. එතකොට ඒ වාරේ ගණිතය, Inquiry වගේ පාඩම් ඔක්කොම මේ මාතෘකාවට සම්බන්ධයි.

'මේ වාරේ අපි පන්තියේ ඉගෙනගන්නේ economy එක ගැන!'
අලුත් වාරේ මුල දවසක පුතා ඉස්කෝලේ ඇරිලා ඇවිත් බොහොම උනන්දුවෙන් කිව්වා. 

' economy එක? හයේ පන්තියේදී?' මම ඇහුවේ සැකෙන් වගේ. අපි ඉස්කෝලේ යද්දී පුංචි පන්තිවලදී ඔය වගේ බරපතල දේවල් කළේ නැහැනේ.

"ඔව්.. ඔව්.. බඩු වලට තියෙන ඉල්ලුම, ඒවායේ සැපයුම, මිළ තීරණය වෙන හැටි වගේ දේවල්" පුතා කටපාඩමින් කිව්වා. පාඩමට හැඳින්වීමක් එදා කෙරිලා කියලා මට හිතුණා. නැත්නම් ඒ එයා දන්නා දේවල් නෙමෙයි.

"ඕවා දැන්ම? අපි ඕවා කළේ ඒ ලෙවල් වලට නේ!" මම ඇහුවේ හිතේ සැකෙන්.

ඒත් පුතාට මගේ ඒ සැකය ගැන වගක්වත් තිබුණේ නැහැ.
"ඒ  පාඩමට හරි ආසා හිතෙනවා අම්මේ.. ඉල්ලුමට සැපයුම නැති උනාම මිළ ඉහළ යන හැටි වගේ දේවල් අපි ඉගෙනගත්තා.. මම තමයි හොඳම උදාහරණෙ කිව්වේ කියලා ටීචර් කිව්වා. හීතල කාලෙට අඹ පිටරටින් ගෙන්නන්න ඕන හින්දා ඒවා ගණන් යන හැටි තාත්තා දවසක් කිව්වානේ. ඒ කතාවයි මම කිව්වේ"

ඒක අහලා නම් මට හිනා ගියා. ඉල්ලුම සැපයුම වගේ ටිකක් සංකීර්ණ සංකල්පයක් කියලා දුන්නු ගමන්ම තේරුණු පුතා ගැන මට පුංචි ආඩම්බරයකුත් දැනුණා. අපි මේවා ඉස්කෝලෙදි ඉගෙනගත්ත මතක අවුස්සද්දි නම් මට දැනුනේ තිත්ත රසක්. අපිට උසස් පෙළ පන්තියේදී ආර්ථික විද්‍යාව ඉගැන්නුව ගුරුවරිය මට මතක් වුණා. මුල්ම දවසේ, පාඩම ගැන කිසිම හැඳින්වීමක් නොකර, ගහෙන් ගෙඩි එන්නා වගේ ඒ ගුරුවරිය අපිට ඉල්ලුම සැපයුම වක්‍රයක් අඳින්න කිව්වා. ඒ කාලේ අපි වක්‍රයක් කියන්නේ ප්‍රස්තාරයකට කියලාවත් හරියට දැනගෙන හිටියේ නැහැ. හිතේ සැකයට, එකිනෙකාගෙන් බලාගෙන අපි එදා එක එක විදිහේ ප්‍රස්තාර ඇන්දා. වචනයක්වත් නොකියා ඒවා හැම එකක්ම බැලුව ඒ ගුරුවරිය ඒවාට රතුපාටින් ලොකු වැරදි ලකුණු දාලා බින්දුවක් දැම්මා. කිසිම දෙයක් උගන්නන්නේ නැතිව පැවරුමක් දීලා, ඒකට වැරදි ලකුණු කරලා ඒ විදියට පලවෙනි දවසෙම අපේ හිත් කඩා දාලා ඒ ගුරුවරිය බලාපොරොත්තු වුණේ මොකක්ද කියලා මට අදටත් පැහැදිලි නැහැ. උසස් පෙළ අවුරුදු දෙකම ඇගේ ඉගැන්වීම් මීට වඩා ලොකු වෙනසක් වුණේ නැති බවත් පලවෙනි දවසේ විෂය ගැන ඇතිවුණු අප්‍රසන්න බව දිගටම තිබුණු බවත් මට හොඳට මතකයි.

පුතාගේ අලුත් පාඩම ගැන තිබුණු උනන්දුව ඉක්මනටම නැතිවෙලා යයි කියලා මම මුලදී හිතුවත් සිද්ධ වුණේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක්. දවස ගානේ ම ඉස්කෝලේ ගිහින් ගෙදර ආව ගමන් පුතා මට ඒ ගැන විස්තර කිව්වේ පුදුම සතුටකින්. ඒ නිසාම ඒ අමුතු පාඩම ගැන තව ටිකක් විස්තර හොයලා බලන්න මටත් හිතුණා.

මේ පාඩමට පුතාගේ හය වසර පන්තිය කණ්ඩායම් කිහිපයකට බෙදලා තිබුණා. එක කණ්ඩායමක සාමාජිකයෝ පස්දෙනයි. මේ අයට ලැබුණු පැවරුම තමයි වෙළඳපල ට අලුත් භාණ්ඩයක් හඳුන්වලා දීම. වෙළඳපල කිව්වේ ඉස්කෝලේ ප්‍රාථමික අංශයේ ළමයි. මුලින්ම කණ්ඩායම සාකච්ජා කරලා අලුත් නිෂ්පාදනයක් ගැන එකඟතාවයකට එන්න ඕන. ඒ භාණ්ඩය ගුරුතුමිය දෙන අමුද්‍රව්‍ය වලින් ළමයින්ටම නිපදවන්න පුළුවන්, ඒ වගේම ඉස්කෝලේ අනිත් ළමයි මිලදී ගන්න කැමති දෙයක් වෙන්න ඕන. නිෂ්පාදනයට කලින් කණ්ඩායමේ නියෝජිතයෝ දෙන්නෙක් වෙන පන්ති කිහිපයකට ගිහින් වෙළදපල අධ්‍යයනයක් කරන්න ඕන. ඒ කියන්නේ අපි මෙහෙම භාණ්ඩයක් හැදුවෙත් ඔයගොල්ලෝ ගන්න කැමතිද, ඒ වගේ දේකට කීයක් ගෙවන්න කැමතිද කියලා අනෙත් පන්තිවල ළමයින්ගෙන් ප්‍රශ්න අහලා සටහන් කරගන්න එක. තමන්ගේ කණ්ඩායමෙන් හදන්න හිතුව භාණ්ඩයට ලැබුණු ප්‍රතිචාර හොඳ නැත්නම් ආයෙත් මුල ඉඳන් වෙන අදහසක් ගැන හිතලා බලන්නයි නියමිත වෙලා තිබුණේ.

අන්තිමේදී භාණ්ඩයක් හරියටම තීරණය කරගත්තාට පස්සේ  නිෂ්පාදන අවධිය. හැම කණ්ඩායමටම ගුරුතුමියගෙන් බොරු සල්ලි එක සමාන  ප්‍රමාණයක් ලැබුණා. ඒ තමයි ප්‍රාග්ධනය. මීට අමතරව ගුරුවරිය ළඟ කාඩ්බෝඩ්, රිබන්, පුළුන්, රෙදි කෑලි, පාට කූරු, කතුරු,  ලියුම්කවර, වගේ අමුද්‍රව්‍ය සහ මෙවලම් තිබුණා. ඒ හැම දේටම නියමිත මිළක් තිබුණා. හැම කණ්ඩායමක් ම තමන්ට ලැබුණු ප්‍රාග්ධනය කළමනාකරණය කරගෙන ගුරුවරියගෙන්  තමන්ට අවශ්‍ය දේ මිලදීගන්න ඕන. අතේ තියෙන සල්ලි එක්ක බලලා භාණ්ඩ නිෂ්පාදනයට වැයවෙන මුදල අනුව තමන් නිෂ්පාදනය කරන ඒකක ගණන තීරණය කරන්නත් ඕන. මීට අමතරව තව අතුරු නීතිත් තිබුණා. පන්තියටම තියෙන්නේ එක laminating machine එකයි. එක stapler එකයි. ඒවා පාවිච්චි කරන්නත් ගුරුතුමියට අර සල්ලි දෙන්න ඕන විතරක් නෙමෙයි, තමන්ගේ වාරය එනකම් ලැයිස්තුවකට නම දාලා බලාගෙන ඉන්නත් ඕන, මුදල් දුන්නු පිළිවෙලටයි පාවිච්චියට අවසර ලැබෙන්නේ. ඒ පියවර හරියකට කල් ඇතිව සැලසුම් කර ගත්තේ නැත්නම් තමන්ගේ වාරය එනකම් බලාගෙන ඉන්දැද්දී නිෂ්පාදනය පමා වෙනවා.

මේ හැම දේටම අමතරව ගුරුතුමිය තවත් ලස්සන වැඩක් සැලසුම් කරලා තිබුණා. ගුරුතුමියගේ අම්මාත් විශ්‍රාම ගිය ගුරුවරියක්. ඒ අම්මාත් දුවගේ පන්තියේ මේ ආර්ථික විද්‍යා ව්‍යාපෘතියට සහාය දෙන්න කැමති වෙලා. ඈට මහන්න පුළුවන් නිසා තමන්ගේ මහන මැෂිමත් අරගෙනම පන්තියට ඇවිත් සති දෙකකට හයේ පන්තියේ ළමයින්ට තමන්ගේ සේවාව සපයන්න ඉදිරිපත් වෙලා. ඒත් ඒ සේවාවත් නිකම් ගන්න බැහැ කියලා ගුරුතුමිය පන්තියට අනතුරු අඟවලා. අනිත් අමුද්‍රව්‍ය මෙවලම් වලට වගේම ගුරුවරියගේ අම්මාගේ සේවාව ගන්නවා නම් ඊට නියමිත මිලක් බොරු සල්ලි වලින් ගෙවන්න නියම කරලා.

මේ විදිහට මේ ව්‍යාපෘතියේ නිෂ්පාදන ඉවර කරන්න නියමිත දවසක් තිබුණා. එදාට ඉන්ටවල් එකට පන්තියේ පුංචි පොලක් තියලා ප්‍රාථමික අංශයේ ළමයින්ටයි ගුරුවරුන්ටයි තමන්ගේ නිෂ්පාදන විකුණන්න නියමිත වෙලා තිබුණා.

පුතාගේ පන්තියේ පුංචි ආර්ථික විද්‍යා පාඩම අහලා මට හරි පුදුම හිතුණා. අපි අවුරුදු ගණනක් ගතකරලා ඉස්කොලේදීත් සරසවියේත් ඉගෙනගත්ත ආර්ථික විද්‍යා සංකල්ප හැම එකම වගේ බොහොම සරලව, ආසා හිතෙන විදිහට එකට කැටි කළ ලස්සන! අනේ අපිට මෙහෙම ගුරුවරු හිටියේ නැහැනේ කියලා මට හීල්ලුණා.

Emoji Key Tag

පන්තියේ ආර්ථික විද්‍යා ව්‍යාපෘතියට පුතාගේ කණ්ඩායම තෝරාගෙන තිබුණේ key tags  හදලා විකුණන්න. ඒවාත් නිකම් ආවාට ගියාට key tags නෙමෙයි. emoji වර්ගයේ ඒවා. emoji භාණ්ඩවලට හොඳ ඉල්ලුමක් තියෙනවා කියලා පුතා කියනකම් මම නම් ඒ බව දැනගෙන හිටියෙවත් නැහැ.  ඒ නිසා හොඳ ලාභයක් ලබන්න පුළුවන් නිසාලු තෝරාගත්තේ. මේවායේ යකඩ මුදු තියෙන කොටස කෑලි දොළහේ කට්ටල හැටියට පුතාගේ කණ්ඩායම ගුරුවරියගෙන් මිළදීගෙන. වැඩිපුරම සල්ලි ගියේ ඒවාට කියලා පුතා කිව්වේ හිතේ අමාරුවෙන්. එක එක emoji වර්ග කහපාට ෆෙල්ට් රෙදි වල ඇඳලා කපන එක, ඇස්, කටවල් එහෙම කපලා ඒවායේ අලවන වැඩ එහෙම කණ්ඩායමේ සාමාජිකයෝ බෙදාගෙන කළා.  ගුරුවරියගේ අම්මාගේ සේවය මිලදීගෙන ඒ ගොල්ලෝ emojiයේ  පලු දෙක එකතුකරලා මූට්ටු කරන කොටස කරගෙන. ඒකටත් තමන්ගේ ප්‍රාග්ධනයෙන් සැලකිය යුතු කොටසක් වැය වුණත් නිමාව ඉස්තරම් කියලා පුතා ඇවිත් මට කිව්වේ හරි ආඩම්බරයෙන්. අන්තිමට පුළුන් පුරවලා ගත්තාම ළමයි ටික බලාපොරොත්තු වුණු විදිහටම key tag එකට හොඳ පෙනුමක් ලැබිලා.

පන්ති භාර ගුරුවරියත් නොහිතුව තව පියවරක් ඉස්සරහට යන්න මේ කණ්ඩායමට පුළුවන් වෙලා. ඒ තමයි ඉස්කෝලේ වටේ ගිහින් තමන්ගේ අනාගත පාරිභෝගිකයන්ගෙන් pre- orders ගත්තු එක. ඒ කියන්නේ 'අපි emoji key tags හදනවා, ඔයා කැමති එක කිව්වොත් අපි හදලා දෙන්නම්' කියලා ගැනුම්කරුවන් එක්ක පොඩි deal එකක් ගහන එක. මේ වගේ පියවර නිසා මේ කණ්ඩායමට නොහිතුව තරමේ ඇනවුම් ලැබිලා. ආර්ථික විද්‍යාව ගැන ගැඹුරින් නොදැන හිටියත් මේගොල්ලෝ එක එක වර්ගයේ වෙළඳපල කොටස් වල කැමැත්තට අනුව තමන්ගේ භාණ්ඩය බොහොම සීරුවට ස්ථානගත කරලා කියලා මට තේරුණා. පන්තියේ අනිත් කණ්ඩායම් බිත්ති සැරසිලි, සුබපැතුම් පත්, පෑන් රඳවන, කාසි දාන පුංචි පර්ස් වගේ දේවල් හදන බව පුතා දවස ගානේ ඇවිත් වාර්තා කළා. එයා ඒ දවස් ටිකේ ඉස්කෝලේ ගියේ හරිම ආසාවෙන්. 'key tag project එකේ වැඩ තියෙනවා!' කියලා හැමදාම වගේ පාන්දරින්ම ඉස්කෝලේ යන්න පෙරළි කළා. ඉස්කෝලේ වැඩකට පුතාගේ මේ වගේ උනන්දුවක් ඊට කලින් මම කවදාවත් දැකලා තිබුණේ නැහැ.

පුතාගේ කණ්ඩායමේ key tags උණු කැවුම් වගේ විකුණුනු බව පන්තියේ පොළ දවසේ පුතා ගෙදර ඇවිත් කිව්වේ බොහොම සන්තෝසයෙන්. ඉස්කෝලේ ප්‍රාථමික අංශයේ පුංචි පාරිභෝගිකයන්ට මේ පොළ ගැන දැනුවත් කරන්න කල් ඇතිව පුතාගේ පන්තියේ ළමයි ඉස්කෝලේ පුරා වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කරලා, උදය රැස්වීමේ නිවේදන කරලා තිබුණු එක මීට හේතු වෙන්න ඇති. එදා pre- orders දීපු අය වේලාසනින්ම ඇවිත් තමන්ගේ බඩු අරගෙන ගියාලු. ප්‍රාග්ධනයට යෙදෙව්වේ බොරු සල්ලි උනත් බඩු විකුණලා පුතාලාට අදායම ලැබිලා තිබුණේ ඇත්ත සල්ලිවලින්. හැම භාණ්ඩයකම මිළ ඩොලර් 4-5 වගේ ගණනකට නියම කරන්න ගුරුවරිය උපදෙස් දීලා තිබුණා. ලැබුණු ආදායම පිළිවෙලට ලියාගන්න එක, මුළු ආදායම කණ්ඩායමේ සාමාජිකයන් අතරේ සමානව බෙදාගන්න එකත් මේ ව්‍යාපෘතියේම කොටසක්. ඉතින් අන්තිමට පුතාගේ කණ්ඩායම හැදුව හැම key tag එකක් ම  විකිණිලා, ආදායමෙන් තමන්ගේ කොටසත් අරගෙන පුතා එදා ගෙදර ආවේ රටක් රාජ්‍යයක් දිනුව ගාණට.

ගුරුවරියගේ අම්මා පන්තියට කරපු උදවු වලට පන්තියේම ළමයි තමන්ට ලැබුණු සල්ලි වලින් කොටසක් දාලා පුංචි තෑග්ගක් අරන්, කාඩ් එකක හැමෝම අත්සන් කරලා දීලා තිබුණේ කවුරුවත් කියලා නෙමයි.
'අපි ටීචර් ගේ අම්මා ගේ සේවය ගත්තාට දුන්නේ බොරු සල්ලි නේ, එයා ආවේ අපිට මේ project එක කරන්න උදවු වෙන්න නේ.. ඒනිසා අපි හිතුවා තෑග්ගක් දෙන එක හොඳයි කියලා' පුතා මට ඒගැන පැහැදිලි කළේ එහෙමයි.

මේ අපූරු ආර්ථික විද්‍යා පාඩම මතක් වෙන්න මටත් key tag එකක් ගේන්න කියලා මම පුතාට සල්ලි දුන්නා. මගේ ළඟ තියෙන ඒ  සිහිවටනයේ පින්තූරයක් තමයි ඉහතින් තියෙන්නේ. 

සංකීර්ණයි කියලා අපි හිතාගෙන ඉන්න ආර්ථික විද්‍යා සංකල්ප හරිම සරලව, ළමයි පුංචි කාලෙම කියලා දෙන්න පුළුවන් බවට මේ හයේ පන්තියේ ආර්ථික විද්‍යා ව්‍යාපෘතිය හොඳ උදාහරණයක්. මේ වගේ දේවල් විෂය මාලාවලට එකතුකරන අධ්‍යාපනඥයින් වගේම ඒවා බොහොම ලස්සන විදිහට පන්තියට ඉදිරිපත් කරන ගුරුවරුත් ඉන්න එක වාසනාවක්. ඊට අමතරව කිසිම වාසියක් නොලබා තමන්ගේ කාලය ශ්‍රමය හයේ පන්තියේ කොල්ලෝ කෙල්ලෝ ටිකක් වෙනුවෙන් සති දෙකක් දන් දෙන්න ලෑස්ති ගුරුවරියගේ අම්මා වගේ අය නම් බොහොම සුවිශේෂී උදවිය. මෙහෙම ඉගෙනගත්තු ආර්ථික විද්‍යා සංකල්ප පුතාට ලේසියෙන් අමතක වෙන එකක් නැති බව නම් මට හොඳටම විශ්වාසයි.

පසු ස‍ටහන

මේ මාතෘකාවට අදාළ නොවුණත් පසු සටහනක් එකතු කරන්න හිතුණා ආර්ථික විද්‍යා ගුරුවරයෙක් ගැන. ඉස්කෝලෙදි විෂය එපා කරපු ගුරුවරියක් හිටියට මගේ මොකක්දෝ වාසනාවකට මට බොහොම ඉස්තරම් ටියුෂන් ගුරුවරයෙක් ලැබුණා ඒ විෂයට. ඒ, ඒ කාලේ හොරණ විද්‍යාරත්න පිරිවෙනේ ඉගැන්නුව ජයසිරි සිල්වා සර්. සර් නිකම් විනොදෙට වගේ ටියුෂන් කළේ. කවදාවත් මහා පරිමාණයෙන් පන්ති කරන්න, tutes ගහලා බෙදන්න සර් ට වුවමනාවක් තිබුණේ නැහැ. ළමයි හත් අට දෙනෙක් එකතුකරගෙන විෂය කියලා දෙන්න විතරයි ඕන වුණේ. උසස් පෙළට ගිය අලුත ඒ ටියුෂන් පන්තියට ගිය මුල්ම දවසේ ජයසිරි සර් පන්තියේ ළමයින්ට ආර්ථික විද්‍යාව ඇසුරෙන් ඔප්පු කරලා පෙන්නුවා ඇයි අපි කැම්පස් යන්න ඕන කියන එක. ඒකට ලොකු ගණනය කිරීමක් ඇතුලත් වුණා. අම්මාගෙන් බීපු කිරි වල ණය, තාත්තාලා අම්මලා අපි වෙනුවෙන් වෙහෙස වුණු, නිදිමරපු, වියදම් කළ, අවස්ථා කැප කළ ඒවායේ ණය වගේ ලොකු විස්තරයක් ඒකට ඇතුලත් වුණා. අවසාන නිගමනය තමයි දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කළාම ඒ ණය කැපිලා යන හැටි. මේ විස්තරය කොයිතරම් තාත්විකව, හිත ඇද ගන්න විදිහට කියලා දුන්නාද කියනවානම් පන්තියේ ළමයි ටික අහගෙන හිටියේ කටවල් ඇරගෙන. ඒ දේවල් අපි හැමෝම දැනගෙන හිටිය දේවල් උනත් මට නම් කවදාවත් එහෙම තර්කානුකූලව හිතට දැනිලා තිබුණේ නැහැ. මං හිතන්නේ මං වගේම එදා පන්තියේ හිටිය හැමෝම තමන්ට උපරිමයෙන් මහන්සි වෙන්න අධිෂ්ටාන කරගන්න ඒ කතාව හේතු වුණා. සර් ඒ අවුරුදු දෙකේ පුදුම ලස්සනකට ආර්ථික විද්‍යාව ඉගැන්නුවා. අන්තිමට සර්ගෙන් ලැබුණු විෂය දැනුම නිසා මමත් ආර්ථික විද්‍යාව ඉහලින් සමත් වුණා. 

ජයසිරි සර් ඊට වැඩිකල් නොගිහින් රිය අනතුරකින් අකාලේ නැතිවුණා. ඒ වෙද්දී සර් ට අවුරුදු පනහක්වත් නැහැ මං හිතන්නේ. හොඳ මිනිස්සු යන්න ගියත් තමන්ගේ හොඳ ඉතිරිවෙන බවට ජයසිරි සර් හොඳ උදාහරණයක්.




Related Posts Plugin for WordPress, Blogger...