February 21, 2019

පිංකි


මේ ඉන්නේ පිංකි. නමට ගැලපෙන සුකුමාල පෙනුමක් නම් නෑ තමයි. ඒත් ඉතින් එක එක්කෙනා තමන්ට දාපු නම් ගැන පිංකි ට වගකීම බාරගන්න බැහැ. පිංකි බොහොම විශේෂ සතෙක්. ඒකට හේතුව මෙයා රස්සාවක් කරන බැල්ලියක්. මේ පින්තූරේ තියෙන ගෙදර නෙමෙයි මෙයාගේ පදිංචිය. ඊට හැතැප්මක් විතර එහා වෙන ගෙදරක්. මේ එයා රස්සාව කරන තැන. මෙයා හැමදාම උදේ හතට මේ ගෙදරට එනවා. ඇවිත් දවසෙන් වැඩිහරියක් ගත කරනවා. උදේට, දවල්ට, රෑට එතැනින් කෑම කනවා. ඩියුටි ඕෆ් වෙලා ගෙදර යන්න පරක්කු වෙන්න පිංකි කැමති නැති නිසා රෑ කෑම එක නම් ටිකක් වේලාසනින් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හවස හයට විතර රෑට කෑම කාලා පිංකි වැඩ ඇරිලා ගෙදර යනවා.

'පිංකි' කියලා නම දාලා තියෙන්නේ රස්සාව කරන ගෙදර කට්ටිය. ඒ කෑම දෙන්න අඬගහන්න ඕන නිසා. රස්සාව කරන ගෙදරත් බල්ලෙක් ඉන්නවා. එයා එක්ක පිංකි ගේ වැඩි බජනයක් නැහැ. කිසිම ආදර සම්බන්ධයක්වත්, යාළුකමක් වත්, තරහක් වත් නැහැ. එයා එයාගේ පාඩුවේ ඉන්නවා. පිංකි රස්සාව කරගෙන පාඩුවේ ඉන්නවා. රස්සාවට කියලා ලොකුවට තියෙන්නේ වත්තට එන පිටස්තරයෙකුට බුරන එක විතරයි. වැටක් කැඩුණු තැනකින් හරකෙක් වත්තට ආවොත්, එහෙම නැත්නම් හිඟන්නෙක් ආවොත් එහෙම පිංකි වහාම ක්‍රියාත්මක වෙලා බුරලා ඒ ආක්‍රමණ වළක්වලා දානවා. ගෙදර බල්ලාට ටිකක් නාටු පාන්කඩ පෙනුමක් තියෙන නිසාත්, තමන්ට ටිකක් වැදගත් සැර පාටක් තියෙන නිසාත් මේ වැඩේ හරියට කෙරෙන්න නම් තමන්ම ඉන්න ඕන බව පිංකිට තේරෙනවා. ගෙදර අයත් තමන් ඉන්නවාට අකමැත්තක් නැත්තේ ඒ නිසා වෙන්න ඕන කියලා පිංකිට හිතෙනවා. එහෙමයි කියලා ගෙදර කට්ටිය එක්කවත් එයා වැඩි ඇඟෑලිකමක් නැහැ. කවුරුහරි ළඟට ආවොත් නැගිටලා යනවා. ඒ, රස්සාව කරගෙන ඉන්න අනවශ්‍ය යාළුකම් මොකටද කියලා හිතන නිසා

මේ ගෙදර බලෙන් වගේ රස්සාවට ආවාට ඒ රස්සාව ස්ථිර වෙයිද කියලා බයෙන් තමයි මුලදී පිංකි හිටියේ. කියන්න බැහැනේ ඉතින්, එක බල්ලෙක් ඉන්න ගෙදරකට, උදේ ඇවිත් හවස යන තව බල්ලෙක් නවත්තගන්න ගෙදර කට්ටිය කැමති වෙයිද කවුද දන්නේ? ඒ දවස්වල පිංකි දවල් දවසට හිටියේත් මිදුලේ කෙළවරක. කවුරුහරි ගල් ගෙඩියකින් හරි ගැහුවොත් එහෙම දුවන්න බලාගෙන! ඒ විදිහට දෙගිඩියාවෙන් හිටිය දවසක, හවසක ඇඳිරි වැටීගෙන එනකොට, ගෙදර කුස්සිය පැත්තේ ඉඳන් කෙනෙක් තව කෙනෙකුට කිව්වා "අනේ අර බැල්ලිට ගෙදර යන්නත් තියනවා... ඉක්මනට කෑම ටික ලෑස්ති කරලා දෙන්න!" කියලා. ඒ කතාව නිසා පිංකි දැනගත්තා තමන්ගේ රස්සාව ස්ථිර වෙලා කියලා. එදායින් පස්සේ පිංකි කිසිම බයක් සැකක් නැතිව උදේට රාජකාරියට වාර්තා කළා. හැමෝටම හොඳට පේන හරියෙන්ම හාන්සිවෙලා හිටියා. ගෙදරට එන අමුත්තන්ට ටිකක් වැඩිපුර සද්දෙන් බිරුවා. කෑම දෙන්න අඬගැහුවාම 'නැතුවට කමකුත් නැහැ!' වගේ ටිකක් වෙලා වැදගත්කමට ඉඳලාම කන්න ගියා.

කොහොම උනත් මේ රස්සාව පරෙස්සම් කරගන්න තමයි පිංකිගේ බලාපොරොත්තුව. දැන් කාලේ හැටියට ගෙදරට ළඟපාතක ස්ථීර රස්සාවක් තියෙනවා කියන එක කොයිතරම් ලොකු දෙයක්ද? අනික තුන් වේලටම කෑමත් එක්ක!

ප. ලි. පින්තූරය අපැහැදිලි, ළඟට එනවාට අකමැති පිංකි ව බොහෝ දුර සිට ඡායාරූපගතකර crop කළ නිසා ය.

February 14, 2019

අතුරුදන් වීමේ කලාව



මේ මම අන්තර්ජාලේ සැරිසරද්දී දැකපු පින්තූරයක්. අඩුවැඩි වශයෙන් අපි කවුරුත් මෙහෙම කරන වෙලාවල් තියෙන බව මතක් වෙලා මට මේක දැකලා හිනා ගියා.  වැඩියත්ම අන්තර්වර්ත එහෙම නැත්නම් introvert අය. මම මේක පුතාට පෙන්නුවාම එයාටත් හොඳටම හිනා. ටිකක් සද්ද බද්ද අඩු ළමයෙක් නිසා එයාටත් දැන්මම මේක තේරුම් ගන්න පුළුවන් වගේ. හැබැයි දැන් මම මොනවා හරි සෙනග මුණගැහෙන්න තියෙන දේකට අදි මදි කරද්දී " Come on Amma, don't be a social vegan!" කියලා කියන්නත් මිනිහා අමතක කරන්නේ නැහැ!  

මේ කියමන මට මතක් වුණේ Nayomi Shihab Nye ගේ The Art of Disappearing කවිය කියෙව්වාම. ඒකත් එක්තරා විදිහකට social vegan කෙනෙක් වෙන හැටි ගැන කියවෙන එකක්. මේ තියෙන්නේ ඒ කවිය පරිවර්තනය කරන්න උත්සාහයක්. මුල් කවියත් ඒකෙ හඬ පටිගත කිරීමත් තියෙන වෙබ් අඩවියට පරිවර්තනයට පහළින් ඇති ලින්ක් එකෙන් යන්න පුළුවන්.

(දැන් පරිවර්තන කවි යවන්න දිනමිණ පත්තරේ කවි පිටුව නැති නිසාත්, මට නිතරම පොත් පත් වලත්, අන්තර්ජාලයේ හිතට අල්ලන ඉංග්‍රීසි කවි කියවන්න හම්බවෙන නිසාත් ඒවා බෙදාගන්න පරිවර්තනය කරලා මෙහෙම පළ කරන්න හිතුණා. )

The Art Of Disappearing - Poem by Naomi Shihab Nye
         
අතුරුදන් වීමේ කලාව
              
"අප කළින් මුණගැසී තිබෙනවා නේද?"
ඔවුන් ඇසූ විට
"නැහැ!" කියන්න
ඔබට ඔවුන්ගේ සාද ආදියට ආරාධනා කළ විට
පිළිතුරු දෙන්නට පළමුව
ඒ සාද වල විස්තර මතක් කරගන්න
උස් හඬින් තමන් ලියූ කවියක් ගැන ඔබට කියන අය ගැන
කඩදාසි පිඟන් වල පිළිගැන්වූ තෙල් බැඳුනු ලිංගුස් ගැන  

"අප නැවත හමුවිය යුතුයි!"
ඔවුන් කියූ විට 
"ඒ ඇයි?" කියා විමසන්න 

ඔබ ඔවුන්ට ආදරය නැතිවා නොවෙයි
එහෙත් ඔබ පසුවන්නේ
අමතක කරනු බැරි  වැදගත් දේ
යළි මතක් කරන්නට උත්සාහ දරමිනි.

ගස්. පාන්දර ඇසෙන ආරාමයේ ඝණ්ටා හඬ

ඔබ අලුත් ව්‍යාපෘතියක නිරත බව
ඔවුන්ට පවසන්න.
එය කිසිදින නිම නොවෙන ව්‍යාපෘතියකි

වෙළඳ සැලකදී කවුරුන් හෝ ඔබව හඳුනාගත් විට
ඉක්මණින් හිසින් සන් කර ගෝවා ගෙඩියක් වෙන්න
දස වසරකින් නොදුටු කෙනෙක් ඔබේ දොරකඩට ආ විට
ඔබේ අලුත් ගීත ඔහුට ගයන්නට නොවෙහෙසෙන්න
ඒ මඟහැරුණු කාලය ඔබට යළි ලබාගනු නොහැක

ඕනෑම මොහොතක ගිලිහී යා හැකි බව දන්නා
තුරු පතක් සේ සැරිසරන්න
ඉන්පසු ඔබේ කාලය යෙදවිය යුතු දේ ගැන තීරණය කරන්න 
 


The Art of Disappearing on Poemhunter


pic- teepublic.com


February 11, 2019

The Shape of Water



"Unable to perceive the shape of you, I find you all around me. Your presence fills my eyes with your love. It humbles my heart, for you are everywhere."


Narration at the end of the movie "The Shape of Water" 
Adapted works of Hakim Sanai


From the beginning of time, many definitions and interpretations have been laid out in an attempt to identify the universal phenomenon, love. But these infinite attempts at definition makes it clearer that there is no uniformity, no rules or laws, and most importantly no limits to where love can bloom.

The Shape of Water (2017) is a American film directed by Guillermo del Toro and written by del Toro and Vanessa Taylor. Sally Hawkins and Doug Jones star in the film bringing to life the desperation and uniqueness of love. Set in the American Cold War era this film has enough suspense and emotion to capture the undivided attention of viewers. 

The Shape of Water has won 4 Oscar awards. It has also accumulated 117 other wins and 322 nominations of various awards. That says it all, really. 


Rating: R (for sexual content, graphic nudity, violence and language)
Genre: Drama, Science Fiction & Fantasy, Romance
Runtime: 119 minutes
Studio: Fox Searchlight Pictures

February 01, 2019

නවතාලනු ලබන වසත් සුළඟ

අවුරුද්දේ මුලම බොහොම කණගාටුදායක ආරංචියක් අහන්න ලැබුණා. බොහොමයක් අලුත් ඒ වගේම නම ගිය, ප්‍රසිද්ධ ලේඛක ලේඛිකාවෝ කවි, කතන්දර ලිව්ව දිනමිණ පත්තරේ වසත් සුළඟ නිර්මාණ පිටුව අහෝසි වෙන්න යන බව. මේ පිටුවේ නිර්මාණයක් පළ වුණු නිසා ආත්ම ශක්තිය වැඩිවෙලා තව තව ලියන්න පෙළඹුණු මහා සෙනඟ අතරේ මමත් එක්කෙනෙක් විතරයි. මගේ කවි වගෙම කෙටිම කෙටි කතා ගණනාවක්ම මේ පිටුවේ පළ වෙලා තියෙනවා. ඊට අමතරව කොයිතරම් වැඩ රාජකාරි තිබුණත් හැම සතියෙම වගේ විදෙස් කවිය ට කවියක් පරිවර්තනය කරන්න මම අමතක කළේ නැත්තේ ඒවා පළවීමෙන් මම සතුටක් ලබනවා වගෙම කියවීමෙන් සතුටක් ලබන කොටසක් ඉන්න බව දන්නා නිසායි.

වැඩිවන පිරිවැය එක්ක කාලෙන් කාලෙට ලාභ අරමුණු කළ ආයතනවලට මේ වගේ තීරණ ගන්න වෙන බව ඇත්ත. ඒත් පාඨක ප්‍රතිචාර ඉහළින් තියෙන පිටුවක් අයින් කරන එකෙන් ලාභයට බලපෑමක් එන්නේ නැද්ද?
දිනමිණ වසත් සුළඟ පිටුව නිසා ලේඛනයට පිවිසුණු අයට, ඉස්සරහට පිවිසෙන්නට ඉන්න අයට, ඒ පිටුවේ නිර්මාණ කියවලා රසවිඳින අයට වෙන අසාධාරණයට විසඳුමක් කෝ?