November 24, 2021

තනි ඉරක ඇවිදීම

Translation of the poem Walking at Noon | Nicolette Stasko


වසන්තයට කිට්ටු දවසක
කෙටි දුරක් ඇවිදිද්දී
පෙනෙන දසුන් කෙතරම් අපූරු ද

අයෙක් ගල් පවුරකට පිටදී
හිරු රැස් නාන්නේ
ඵල පිරුණු රට දෙහි ගසක් මෙනි

පෙම්වතුන් දෙදෙනෙක්
දෑත් නොඅල්ලාම
ඉතා උද්යෝගයෙන්
එකිනෙකා වෙත නැඹුරුව සිටී
ඔවුන්ගේ හාත්පස
උයන පුරා මල් පිපෙමිනි

තරුණ කතක්, තනිවම
දේවදාර ගසක සෙවනේ
ලී කොටයක් මත හිඳ
ලිපියක් කියවමිනි

ගලාහ් කුරුල්ලන් මෙන්
රොක් වෙන සිසුන්
දොඩමින්, සැන්විච් පෙති කමිනි

මා පසු කර යන
බයිසිකල්ද, දුවන්නන්ද
බොඳවී පෙනේ

විශාල ගිරවෙක්
විදිලියක් සේ ඉගිල යයි

මම
ඔවුන් අතරින්
දළ වශයෙන් තනි ඉරක ඇවිදිමි

තව කෙනෙක් දකිනු ඇත්තේ

ලෙලෙන දිගු වැහි කබායක් පැළඳි
එතරම්ම තරුණ නැති කාන්තාවක් බවයි

ඈ සිනාසෙමිනි 

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක


දිනමිණ වසත් සුළඟ 17.11.2021  

https://epaper.dinamina.lk/Home/ShareImage?Pictureid=19b66508

Photo- summer in Ballarat VIC

 


 



November 20, 2021

Steinbeck සහ නැවත කියවීමේ සතුට




මම මේ දවස්වල John Steinbeckගේ Of Mice and Men පොත කියවමින්. මේක පුතාට ලබන අවුරුද්දට ඉස්කෝලේ පොත් ලැයිස්තුවට තියෙන නවකතා වලින් එකක්. පොත් ලැයිස්තුවේ අනිත් පොත් වලට කලින් නවකතා ටික ගෙදරට එවන එක ඕස්ට්‍රේලියාවේ ඉස්කෝල වල සාමාන්‍ය ක්‍රමය. එතකොට දරුවන්ට ඒ පොත් කියවන්න ඉස්සරහට එන දෙසැම්බර් නිවාඩුව ඇතුළුව ඕන තරම් කල් තියෙනවානේ. ඒත් මේ පොත නම් පුත්‍රයා කියවන්න කලින් මම කියවන්න ගත්තේ පරණ යාලුවෙක් හම්බවුණු සතුටින්. නිතරම පොත් එක්ක ගැවසෙන, පොත් ඇසුරේම රස්සාවත් කරන මම එක පොතක් දෙසැරයක් කියවන්නේ කලාතුරකින්. එහෙම වෙන්න නම් ඒක සුවිශේෂී පොතක් වෙන්න ඕන. ඉතින් Of Mice and Men පොතත් ඒ වර්ගයට අයිති පොතක්. බැලූ බැල්මට සරල බවක් පේන මේ කතන්දරය ගෙතිලා තියෙන්නේ ගොවිපොළක වැඩ කරන සේවකයෝ දෙන්නෙක් ගැන. ඒත් මේ දෙන්නා මුහුණ දෙන වැරදි වැටහීම්, ඉරිසියාකම්, දුෂ්ඨකම් වගේම එයාලාගේ තනිකම සහ පාළුව වගේ රිදුම් දෙන හැඟීම් John Steinbeck විස්තර කරලා තියෙන්නේ තදින් හිතට දැනෙන විදිහට. මේ පොත කැලිෆෝනියාවේ වගා නිම්නයක, ගොවිපොලක, සේවක කුටියක දූවිලි පිරුණු අඳුරට කියවන්නාව කැඳවාගෙන ගිහින් හදිසියේම එතැනදී සිද්ධ වෙන කැළඹිලි මැදට අත අරිනවා. පිටු එකසිය ගානක පුංචිම නවකතාවක් වන Of Mice and Men අපිට ඉතුරු කරලා යන කම්පනය නම් ටොන් ගාණක් බරයි. John Steinbeck මගේ ප්‍රියතම කතුවරයෙක් වෙන්නේ එයාගේ මේ වචන හාස්කම් නිසායි.

මම මුලින්ම John Steinbeckගේ පොතක් කියවද්දී මම හිටියේ නමයේ පන්තියේ. ඉස්සර අපේ හොරණ ගෙදර අසල්වැසි ගෙදරක නැවතිලා හිටියා ඒ කාලේ තිබුණු DELIC ගුරු අභ්‍යාස පාඨමාලාවේ උගන්නන්න ආව ඇමෙරිකන් ගුරුවරියක් සහ ගුරුවරයෙක්. ඒ දෙන්නා කම්මැලි වෙලාවට කතා කර කර ඉන්න අපේ ගෙදර එනවා. එහෙම ආව වෙලාවක ඒ ගුරුවරිය මම පොත් ගුල්ලියක් බව දැනගෙන මට එයා ළඟ තිබුණු John Steinbeckගේ The Grapes of Wrath පොත දුන්නා කියවන්න. ඒක නම් පිටු පන්සීය ගානකට කිට්ටු ලොකු පොතක්. ඒ පොත කියවද්දී අවුරුදු දාහතරක් වයසේ හිටිය මම පොත ඇතුලේ ජීවත් වුණා කිව්වොත් නිවැරදියි. ඇත්තටම කියනවානම් ලංකාවේ හැදුණු ඒ වයසේ ළමයෙකුට ඒ පොත බර වැඩියි කියලා මට තේරෙන්නේ දැන් තමයි. පොතක් කියවලා තදබල කම්පනයට පත්වෙන්න පුළුවන් බව මම මුල්වරට දැනගත්තේ The Grapes of Wrath පොතෙන්. ඒ වගේම John Steinbeck කියන්නේ වචන වලින් විචිත්‍ර චිත්ත රූප මවන මායාකාරයෙක් කියලත් මම දැනගත්තේ ඒ පොතෙන්.

අවුරුදු තිහකට පස්සෙ, අදත් John Steinbeckගේ ලියවිල්ලට මට දැනුණු ආසක්ත බව එහෙමමයි. ඊට අමතරව මගේ පුතාටත් මම මුලින්ම ඒ ලියවිලි කියවපු වයසේදීම ඒ කතුවරයාව මුණගැහෙන්න ලැබෙන නිසා දැනෙන්නේ ලොකු සතුටක්. ඇත්තටම මේ විදිහට පොත් කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මායා බලය ගෙනියන බලගතු මැජික් යෂ්ටියක්!

November 14, 2021

වස



“ඔන්න අපි ජනේලෙන් එළියේ ගස් පේළියක් එහෙම ලෑස්ති කරලා තිබ්බා ඔයාට ඔතනට හවසට අව්ව වැටෙනවාට”

කවිතා රැකියාවට ආ පළමු දිනයේ හවස් වරුවේ ඇගේ මේසය අසලින් ගිය ජුලියන් කීවේ සිනාසෙමිනි. ඒ වෙද්දී ඈ යන්තමින් ඒ කාර්යාලයේ පරිසරයට හුරුවෙමින් සිටියා පමණි.


“ඉස්සර හවසට මේ පළාතේ ඉන්න බැහැ! ඉර බැහැගෙන යද්දී ඉර එළිය කෙළින්ම ඔය වීදුරුවට වදිනවා.බොහොම අමාරුවෙන් තමයි ඉහළට කියලා කියලා ඔතැන ඔය වයිට් සීඩර් ගස් පේළිය ඉන්දවාගත්තේ ”

විශාල වීදුරු කවුළුවෙන් එපිට ඇති එකම උසැති, එක වැනිම ගස් පෙළ දෙස කවිතා උවමනාවෙන් බැලුවේ එවිටයි. සිහින් පත්‍රයෙන් පිරුණු, විහුදුණු අතු පතරින් යුත් ඒ ගස් පෙළ ජනේලයෙන් මෙපිටට ගෙන ආවේ කොල පැහැති සිසිලකි. ජුලියන් කී පරිදි වයිට් සීඩර් නමැති ඒ ගස් වර්ගය ගැන ඈ ඉන් පෙර දැන සිටියේ නැත. මේ කතාබහෙන් පසු කවුළුවෙන් එපිට ගස් පෙළ මිතුරන් සේ සලකා නිරතුරුව ඒවා නිරීක්ෂණය කරන්නට කවිතා පුරුදු වූවාය. සෘතුවෙන් සෘතුවට වෙනස්වන ඒවායේ ඇඳුම් ආයිත්තම් ඇයව පුදුමයට පත් කළේ ය. වසත් කාලයට කුඩා පස් පෙති දම්-සුදු මලකින් හිස් සරසාගන්නා ඒ සීඩර් ගස් සීත කාලය එළඹෙද්දී පත්‍ර සියල්ල අත් හැර කහ පැහැති කුඩා පල රැසක් අභරණ මෙන් අතු පුරා පළඳාගන්නේ සාදයකට යන්නට සැරසෙන්නට මෙනි. රැකියාවේ බරින් හිස පීඩිත ඇතැම් වෙලාවල් වලට මේ ගස් අතරින් පෙරී එන හිරුරැස් ඉරි දෙස බලා සිටීමම කවිතාට ගෙන ආවේ මහත් සහනයකි.

එහෙත් වෙනදා මෙන් නොව අද නම් කවිතා කාර්යාලයට ආ මොහොතේ සිට කල් ගතකළේ සීඩර් ගස් මුදුන් වල අතරමං වූ දෑසිනි. අද දවසේ නිම කළ යුතු රාජකාරී ලැයිස්තුව ඇය ඉදිරිපස ඇති පරිගණක තිරයේ මඳින් මඳ දිගු වෙද්දී පවා ඒ ගැඹුරු කල්පනාවෙන් මිදෙන්නට ඇයට අසීරු විය.

'නිර්මාණාත්මක ලේඛනය' ගැන කතාබහ කරන පාඨමාලාවකට කවිතා මීට සති කිහිපයකට පෙරාතුව සම්බන්ධ වූයේ ඇගේ සමීපතම මිතුරිය වන මේගන්ගේ පෙරැත්තයෙන් බේරෙනු බැරි වූ නිසා ය. ඈ මෙතක් කලකට කවර ආකාරයක හෝ ලේඛනයක යෙදී නැතත් මිතුරිය බලෙන්ම කවිතාගේ නම ඊට ඇතුළත් කර තිබිණි. කවිතා රැකියාවේ නොයෙදෙන හැම මොහොතක්ම තට්ටු නිවාස සංකීර්ණයේ තම කුඩා නිවසේ ස්වයං නිවාස අඩස්සියට ලක්වී කාලය ගත කරන බවට මිතුරිය චෝදනා කිරීම මීට හේතු වී තිබිණි.

“'අඛණ්ඩ ව නිර්මාණ කියවීම’ කියලා කෝස් එකක් තිබ්බේ නැහැ, ඒ නිසා දැනට මාත් එක්ක මේකට යමු!' කියා මිතුරිය සිනාසුණේ කවිතා නිතරම රෑ දෙගොඩහරි යාමය වන තුරු නොනිඳා පොත් කියවන බව දැන සිටි බැවිනි. මිතුරු සමාගම් අඩු කවිතාට ‘සිතට දැනෙන’ මිතුරියකට සිටියේ මෑතකදී අහම්බෙන් පුස්තකාලයේදී ම හඳුනාගත් මේගන් පමණි. තම එකම මිතුරියගේ හිත අස්වසන්නට පාඨමාලාවේ එක සැසියකට පමණක් සහභාගී වන්නටත් කුමක් හෝ නිදහසට කරුණක් කියා ඉනික්බිති ඉන් මිදෙන්නටත් කවිතා මුලදී සිතා සිටියා ය. "අපි ඉන්නේ ලියන අය මහන්සි වෙලා ලියන දේවල් කියවන්න මිසක් මහන්සිවෙලා ලියන්න නෙමෙයි!' ඇගේ මතය විය. එහෙත් බොහෝවිට සිත නතරවන්නේ නොසිතන තැන් වල බව ඔප්පු කරමින් සිදු වූයේ අනිකකි. විවිධ වයසින් යුතු සිසු කණ්ඩායමකින් සමන්විත වූ ඒ නිර්මාණාත්මක ලේඛන සැසිය, පාඨමාලාවකට වඩා සුහද හමුවක ලක්ෂණ ගත්තේ ය. එය මෙහෙයවූ ගුරුවරිය සිසුන් ව නිරන්තරයෙන්ම කතාකරන්නට පොළඹවමින්, කවිතා වැනි පන්තියේ නිශ්ශබ්ද සිසුන් ගේ අදහස් පවා කරලියට ගෙනෙමින් ඉතා සිත් ගන්නාසුළු ලෙස ඉගැන්වීමේ නිරත වුවා ය. මේ හැමට වඩා කවිතාගේ සිත් ගත්තේ ඈ ඔවුන්ට නිර්මාණාත්මක ලේඛනයේ යෙදෙන්නට සැපයූ නොසිතූ විරූ මාතෘකා ය. පිටින් සරල බවක් පෙනුන ද, ඒවා යටතේ යමක් ලියන්නට නම් තම පරිකල්පනය මෙතෙක් නොකළ ලෙසකට කැළඹිය යුතු බව වටහාගන්නට කවිතා ට වැඩි කල් ගත වූයේ නැත. මුලදී මිතුරිය සතුටු කරන්නට පමණක් පන්තියට සහභාගී වන්නට සිතා සිටි කවිතා නොබෝ දිනකින් ඒ දිනය එළඹෙන තෙක් ඇඟිලි ගනින්නට වූයේ නොඉවසිල්ලෙනි. ඊළඟ සතියේ කරගෙන එන්නට පවරනු ලබන ගෙදර වැඩ ඈ පන්තිය අවසන් ව ගෙදරට ගිය වහාම මහත් උනන්දුවෙන් සම්පූර්ණ කළාය. කවිතාගේ මේ උද්යෝගය දුටු මේගන් බොහෝ සතුටු වූ අතර බලහත්කාරයෙන් ඇය ව ඒ පන්තියට කැඳවා ගෙන ඒම පිළිබඳව උදම් ඇනුවා ය.

එහෙත් මේ සතියේ නිර්මාණාත්මක ලේඛන පන්තිය කවිතාගේ ඒ සතුටු සිතුවිලි සම්පූර්ණයෙන්ම ඇණ හිටුවන්නට සමත් විය. වෙනදාට සතිය පුරාම ලේඛන පන්තියේ ඊළඟ සැසිය ගැන සිතමින් කල් ගත කළ ඈ මෙවර නම් පසු වූයේ ගල් ගැසුණු සිතෙනි. මීට හේතුව පසුගිය පන්තියේදී ගුරුවරිය විසින් ඊළඟ සතියේ පැවරුම ගැන කී විස්තරයයි.

"තමන් කිසි දවසක කිසි කෙනෙකුට නොකීව දෙයක් ලියාගෙන එන්න- වචන තුන්සීයයි!" පන්තියේ අන්තිම විනාඩි කිහිපයේදී වැඩි විස්තර රහිතව මෙලෙස පැවරූ ඈ හරස් ප්‍රශ්න ආදියට ඉඩ නොතබා ම යන්නට ගියා ය. ඉනික්බිති පන්තියම කඩි ගුලක් සේ ඇවිස්සිණි. වෙනදාටත් පන්තිය අවසන් වූ පසු පැවරුම් ගැනත්, පොතපත ගැනත් නිරතුරුව සුහද කතාබහ සිදුකෙරුණත් එදා නම් එහි වූයේ එකම ගාලගෝට්ටියකි. මේ සතියේ පැවරුමේ අසාර්ථක බව ගැන හැම දෙනාටම කියන්නට යමක් තිබිණි. සිසුන් විසින් පෙර කිසි කෙනෙකුට නොකී දෙයක් පැවරුමක් වෙනුවෙන් ලියනු ඇති අපේක්ෂා කිරීම කොයිතරම් අභව්‍ය ද යන බව, එවැනි බරපතල දෙයක් වචන තුන්සීයකට ලඝු කිරීමේ දුෂ්කර බව ආදිය පිලිබඳව සිසුන් අතරේ ක්ෂණික විවාද පැන නැඟුණි. කවිතා ඒ කතාබහට සම්බන්ධ නොවෙමින් නිහඬව ම තම පොත් පත් එක්කාසු කරගනිමින් උන්නත් ඇගේ මනස ද කැළඹෙමින් තිබිණි. මේගන් පවා පොදු කතාබහට එක්වෙමින් මොන මොනවාද කියනු ඇසුණත් කවිතා ගේ අවධානය තිබුණේ බොහෝ ඈතක ය.

එදා ආපිට නිවසට එද්දීත්, ඉන්පසු ගෙවුණු දින කිහිපය පුරාවටත් කවිතාගේ මනසේ රැව් දුන්නේ එකම වැකියකි. 'කිසි දවසක කිසි කෙනෙකුට නොකීව දෙයක්!' පසුදිනට එළි වෙද්දී ත් ඈ මන්තරයක් මෙන් ඒ වැකිය අවිඥානිකව මුමුණමින් සිටියා ය. පැවරුම් සම්පූර්ණ නොකළත් ඒ ගුරුවරියගෙන් නම් දොසක් නොලැබෙන බවත්, පන්තියේ සෙස්සන් බොහෝවිට මේ පැවරුමට නම් කිසිවක් නොලියනු ඇති බවත් හොඳාකාරවම දැනගෙන උන්නත්, කවිතාට ඒ මාතෘකාව ගැන තිබුණු ආකර්ෂණය අඩු වූයේම නැත. ඒ වෙනුවට අගේ මනස පිරුණේ ඒ ගැන එකිනෙකට සම්බන්ධ නැති වාද විවාද රැසකිනි. "දෙන්නෙක් විතරක් දන්නා දෙයක් කිසි දවසක කිසි කෙනෙකුට නොකීව දෙයක් වෙන්න පුළුවන් ද?" "කිසි දාක කිසි කෙනෙකුට නොකීව දෙයක් තව අයට කීවාම ඉන් දැනෙන පිළිස්සුම අඩු වෙනවාද ?" ඈට ඒ ගැන නිරතුරුවම සිතීමෙන් මිදෙන්නට හැකි වූයේ නැත. හදවත කෙළවර අත්හැර දැමූ පෙදෙසක, අගුලු ලා තිබුණු කුටියක දොර අරිනු පිණිස යතුරක් කවුරුන් හෝ තම අත තබා ඇති බවක් කවිතා ට දැනෙමින් තිබුණි. ඒ දොර විවර කරනවාද, මෙතෙක් කළ පරිදි තරයේ අගුලු ලාගෙනම සිටිනවා ද යයි තීරණය කරනු නොහැකිව ඇය අහස පොලොව ගැටලමින් පසුවිය.

නිර්මාණාත්මක ලේඛන පන්තියේ ලැබුණු පවරුමෙන් පසු එළඹුණු දෙවෙනි රාත්‍රියේ කවිතා පසු වූයේ උණ විකාරයෙන් මෙනි. නින්දත් නොනින්දත් අතර තීරුවේ සක්මන් කරමින් උන් ඈ බියකරු මායාවන් දකිමින් සිටියාය.

"කවිතා නුපුරුදු නගරයක ඇවිදිමින් සිටියා ය. බැලු බැලූ අත ඇයව තෙරපමින්, පසු කරමින් මහා ජන ගඟක් විය. එහෙත් ලං ලං ව බැලූ විට ඒ කිසිකෙනෙකුට මුහුණක් ඇති බවක් නොපෙනිණි. ඔවුන් රොබෝවන් සේ ලහි ලහියේ ඇවිදිමින් සිටියහ. යා යුතු තැනක් නොදැන උන් කවිතා ට මඟ සලකුණක් අසාගන්නටවත් ඔවුන් නතර වූයේ නැත. ඒ නතර වූවත් ඔවුන්ට දකින්නට කතාකරන්නට මුහුණක් කටක් තිබුණේ නැත. කෑගසමින්, වැටෙමින්, යලි නැගිටිමින් කවිතා ඒ මේ අත දිව යන්නට විය. කිසිකෙනෙක් ඈ වෙනුවෙන් නතර වුයේ නැත. හෙම්බත්ව සිහි විසඥ ව මෙන් සිටියදී ඈ ව කවුරුන් හෝ නැගිටවනු ඇයට දැනිණි. ඔහුට මුහුණක් පමණක් නොව සිනාවක් පවා තිබිණි. ඈ වියරුවෙන් මෙන් ඔහුගේ බාහුවේ එල්ලිනි. ඔහු ඇය ව නගරයේ කලබලයෙන් ඈතට ගෙන ගියේ ය. ඔහු සිනාසුණත් කතාකළේ නැත. මුහුණු නැති පිරිස අතරින් මතුවූ ඔහුගේ මුහුණ සැබෑ මුහුණක් දැයි කවිතා නිරතුරුව ස්පර්ශ කර බැලුවා ය. ඇගේ සැකය ගැන ඔහු සිනාසුණා පමණි. ඔවුහු දෙදෙනා නිහඬවම බොහෝ දිගු මඟක යමින් සිටියහ. ඒ යන තැන දැන් සිටියේ ඔහු පමණි. බොහෝ වෙහෙසකර ගමනකට පසු ඔවුහු හෙලක් මතට පැමිණ සිටියහ. ඔහු සිනාසෙමින් සිටියත් ඔහු තතනන්නේ ඇයව හෙල මතුපිටින් පහලට තල්ලු කරන්නට යැයි ඇයට හදිසියේ වැටහිණි. ඇය සැකයෙන් ඔහුගේ මුහුණ බැලුවා ය. එහි තිබුනේ දත් විලිස්සුණු උරග මුහුණකි. එහි කට දෙකෙළවරින් ලේ වෑස්සෙමින් තිබිණි. ඇය ඔහු හා පොරබදන්නට විය. ඔහු ඇයට වඩා ශක්තිවන්ත වූවත් කවිතා වඩාත් ඉක්මන් විය. ඉතා ආයාසයෙන් ඇය ඔහුව ප්‍රපාතයට තල්ලු කර දැමුවා ය. ඔහුගේ ග්‍රහණයෙන් මිදුණු පසු ඈ ආපසු නොබලා දුවන්නට විය. එහෙත් එසේ දුවද්දී ඇයට නුහුරැ බරක්, අපහසුවක් දැනෙන්නට විය. ඇය ගේ බඳ බදා උරග මිනිසාගේ මුහුණ ම ඇති කුඩා උරගයෙක් විය. උගේ කටින් ද ලේ වෑස්සෙමින් තිබිණි. හැකිතරම් වැර යොදා කවිතා ඒ උරග පැටවාගේ ග්‍රහණය ඉවත් කරගත්තා ය. එසැණින් ම ඈ ඌවත් හෙල පහලට විසි කළා ය. එසේ ඉවත් කරද්දී කුඩා උරග පැටවා තමන්ගේ මුහුණෙන් පදාසයක් ද ඉරාගෙන තිබිණි. එය කවිතාට වැටහුණේ වැටි වැටී ආපසු දුවද්දී ය. ඉනික්බිති ඇය ද මුහුණක් නැති කෙනෙක් බවට පත් වූවාය."

ඒ බියකරු සිහිනයෙන් කවිතා අවදි වූයේ කෑ ගසමිනි. වාසනාවකට මෙන් ඇගේ හඬ අසන්නට කිසිවෙක් ළඟ සිටියේ නැත. මහත් වේලාවක් තිස්සේ අතපය අඩපණ ව සිටි බවක් ඇයට දැනෙන්නට වූ අතර මේ මතකය රඳවා ගැනීමටද බලවත් පෙළඹුමක් දැනුණි. ගැහෙමින් පරිගණකය වෙත ගිය කවිතා මුළු සිහිනයම අකුරු කර දැමුවා ය. ඒ කාර්යය නිම වූ සැණින් නැවත යහනට වූ ඇය ගැඹුරු නින්දකට එළඹුණා ය.

පසුදා කවිතාගේ ගේ මනස කැළඹුණු ගතිය තරමක් පහව ගොස් තිබිණි. එහෙත් රැකියාවට ගියත් වැඩක යෙදෙන්නට තරම් නිරවුල් මනසක් ඇය ට නොතිබිණි. කවුළුවෙන් එපිට සීඩර් ගස් පෙළ කහ පැහැති පල පිරුණු අතුපතර නලවමින් පසුවිය. ඒ දෙසම නෙත් යොමා සිටි ඇය ට පෙරදා රැයේ අසිහියෙන් මෙන් ලියූ තමාගේ සිහිනය නැවත කියවා බලන්නට සිත් විය. යළි වරක් අකුරු අතරින් ඒ අඳුරු මායාවේ සැරිසරද්දී මේ සිහිනයේ ගැඹුර කවිතාට වැටහිණි. උඩුසිත නිද්‍රාගතව තියෙද්දී තම යටිසිත සිහිනයක් ලෙසින් අතීතය මිටිකර දක්වා තිබිණි. සිහින උපමා රූපක ඇසුරෙන් පණිවිඩ කියන බව ඇය අසා තිබුණත් කිසි දිනෙක මෙතරම් ප්‍රබලව එය අත් වින්ද තිබුණේ නැත. මේ තම ‘කිසි දවසක කිසි කෙනෙකුට නොකීව දෙයක්’ විය!

නමුත් පැවරුමට එක එල්ලේ පිළිතුරක් නොවන අගක් මුලක් නැති මේ ‘සිහින කතාව’ ලියා යැව්වොත් එය ගුරුවරියගේ කෙබඳු ඇගයීමකට ලක්වේද, පන්තියේ සෙසු සගයන් ඊට කවර ප්‍රතිචාර දක්වාවි ද සිතා කවිතා තැවෙන්නට වූයේ සීඩර් ගස් මුදුන් වෙත රඳවා ගත් දෑසිනි.

ජූලියන් තමන් අසලටම එනු ඈ දුටුවේ වත් නැත.

"මොකද ගස් දිහා බලාගෙන භාවනා කරනවද? හැඩට තිබුණට ඔය ගස්වල ගෙඩියක් වත් කුරුල්ලෝ කන්නේ නැහැ. දුර ඉඳන් බලන්න විතරක් හොඳයි. ඒවා ලස්සනට තිබුණාට වස!' කියමින් ඔහු යන්නට ගියේ ඇගේ බැල්ම මෙන්ම සිතිවිලි ද ගස් පෙළ වෙත ඇති බව සිතමිනි.

එය අසා කවිතා මොහොතක් ගල් ගැසුණාය. වැඩි බරක් පතලක් රහිතව ජූලියන්ගෙන් පිටවුණු ඒ වදනින් තමන්ගේ සිතිවිලි චක්‍රයක් සම්පූර්ණ වූ බවක්, තමන් ගමනාන්තයකට ළඟා වූ බවක් ඇයට දැනුණි.

'ලස්සන උනාට වස!' තම සිත තුළත් කවුරුන්දෝ මුමුණනු ඇයට දැනුණි. වසර ගණනාවක් තිස්සේ තමන් පීඩාවට පත් වූ වරදකාරී හැඟීමක් සිතෙන් නිදහස් වනු ඇයට දැනුණි. කිසි දවසක කිසි කෙනෙකුට නොකීව දෙය එලෙසම පවතින්නට ඉඩ හැරිය ඈ සිහිනය ගැන ලියූ තම ලියවිල්ල මකා දමා තමන් ඉදිරිපිට ගොඩ ගැසී තිබුණු රාජකාරි වෙත දෑස යොමු කළා ය.



photo- White Cedar tree in bloom- Flemington, Melb

November 13, 2021

වැස්සද?



අනෝරා වැහි ඉහිරී
දුර ඈත කඳු මත්තෙන්
මතක මීදුම් පැතිරෙන
තෙතබරිත වූ දිනයක

දෙතොලග මඳ සිනාවෙන් 
නුඹ මැවේ නෙතු අද්දර

පිටුවක කොණක් සන් කර
වසා ලා කියවූ පොත
කෝපි උගුරක් තොලගා
නෙතු හෙලයි කඳු යායට

හදවත පුරා මුල් ඇදි
පාළුව, විසල් තනිකම
නුහුලනා දිනයන් ඇත
 
ඔහෙත් හරියට වැස්සද?

November 11, 2021

ප්‍රවේගය මනින්න paper planes


දරුවෝ ඉස්කෝලේ යද්දී දෙමව්පියොත් ආයෙත් ඉස්කෝලේ යනවා කියලා කතාවක් තියෙනවනේ. එහෙම වෙන්නේ ඒ කාලෙට අපිට වැඩිහිටි කෝණයකින් ආයෙත් පාසැල් අධ්‍යාපනය දකින්න අවස්ථාවක් ලැබෙන නිසා වෙන්න ඇති.

අවුරුදු දාහතරක් වුණු මගේ පුතා ඉගෙනගන්නේ මෙල්බර්න් නගරයේ පිරිමි ළමුන්ගේ පාසලක. සාමාන්‍යයෙන් මේ වයසේ ළමයි ටිකක් දඩබ්බර නාහෙට නාහන අය බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. විශේෂයෙන් පිරිමි ළමයි විතරක් ඉගෙන ගන්න පාසලක මේ දරුවන්ගේ අවධානය විෂය කරුණු වලට නම්මලා තියාගන්න ගුරුවරුන්ට ඇප කැප වෙන්න වෙනවා. පුතාලාගේ සමහර පාඩම් හරි අපූරුවට, 'දැනෙන්න' උගන්නන වෙලාවල් මම නිරීක්ෂණය කරලා තියෙනවා. මේ වයසේ ළමයින්ගේ ස්වභාවික නැඹුරුවීම්, ප්‍රියතාවයන්ට එරෙහි නොවී පුළුවන් අවස්ථා වලදී මේවා ඇසුරෙන්ම විෂය මාලාව ඉදිරිපත් කිරීම තමයි මම දැක්ක විශේෂත්වය.

උදාහරණයක් හැටියට ළඟදී දවසක පුතාලාට ප්‍රවේගය පාඩම උගන්නන්න paper planes පාවිච්චි කරලා තිබුණා. එක එක ගනකමින් යුත් කඩදාසි වලින් planes හදලා පිට්ටනියට අරගෙන ගිහින් ඒවා යන දුර මැනලා කළ ඒ පාඩම හරිම විනෝදජනක බව පුතා කිව්වා. බොහොම දුර යන 'මිග්' වර්ගයේ paper planes හදන්න ගුරුවරයා අතුරු පාඩමක් කළ බවත් අන්තිමේදී ළමයි අතරේ පොඩි plane තරඟයක් තිබ්බ බවත් පුතා කිව්වේ හරිම සතුටින්. එහෙම විනෝදයෙන් ඉගෙන ගත්තාම විෂය කරුණු මතක හිටින බව අහන්න දෙයකුත් නෙමෙයිනේ.

මේ වගේම පුතාලාට තියෙනවා VCD කියලා විෂයක්. Visual Communication and Design. මේකෙන් communication design, environmental design and industrial design කියන කොටස් ගැන මූලික කරුණු හඳුන්වලා දෙනවා. පුතාලාගේ මේ පාඩමෙන් දුන්නු එක පැවරුමක් තමයි video game එකක කවරයක් නිර්මාණය කිරීම. අලුතින් game එකක් ගැන හිතලා, ඒක පාවිච්චි කරන වයස සීමාවේ අයට ආකර්ෂණය වෙන විදිහට පාට, රූප යොදාගෙන මේ කවරය නිර්මාණය කරන්න ඕන. මේ වගේ කවරෙක තියෙන්න ඕන හැම විස්තරයක්ම (සුදුසු වයස කාණ්ඩය, තාක්ෂණික විස්තර ආදිය) ඇතුලත් කරන්න ඕන. ඉතින් මේ පැවරුම කරන්න ඉලන්දාරියාට තිබුණු උනන්දුව ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නැහැනේ. ගෙදර ඇවිත් කන්නේ බොන්නත් වුවමනාවක් නැතිව මිනිහා මේකට මහන්සි වුණා. 'පරිසරය සුරැකීම ගැන පෝස්ටරයක් හදන්න' වගේ ඇල්මැරුණු මාතෘකාවක් නොදී මේ වයසේ ළමයින්ගේ හිතට ළඟ video game වගේ දෙයක් යොදා ගැනීමෙන් මේ පාඩම් කොයිතරම් සාර්ථක වෙනවද?

මේ ඉගැන්නුම් ක්‍රම දකිද්දී අපි ඉගෙනගත්ත ක්‍රම මට මතක්වෙන්නේ නිරායාසයෙන්. රටවල් දෙකක්වත්, අවුරුදු තිහක විතර කාලයේ වෙනසක්වත් සංසන්දනය කරන්න බැරි බව නම් ඇත්ත. ඒත් මේ වගේ හිතට ළඟ ක්‍රම වලට, ආසා හිතෙන විදිහට නැතිව ඒ කාලේ කටපාඩම් කරලා ඉගෙනගත්ත අපි ගැන පුංචි දුකක් දැනෙන එක වළක්වන්න බැහැ. පුතාලා ඉගෙනගන්න මේ ක්‍රම වලට අමුතුවෙන් වියදමක් යන්නේ නැහැ. ගුරුවරුන්ගේ නිර්මාණශීලී බවත්, දරුවන්ගේ මනස තේරුම් ගන්න ඇති සූදානමත්, වෙනස් දෙයක් කරන්න ඉඩ පහසුකමත් විතරයි අවශ්‍ය. අපිට ඉතින් ඒ අවස්ථාව මඟ ඇරුණා. අඩුම ගාණේ දරුවෝ වත් එහෙම ඉගෙනගන්න වාසනාව ලබලා. 

 
photo Unsplash



November 03, 2021

ගූගල් සිතියම්

Translation of the poem 'Google Maps' by Pamodi Kuruppu

ඉඳහිට දිනක
දුරකථනය අතට ගෙන
ගූගල් සිතියම් වල
මම ඔබ සොයමි

ආදරය අමුතුම උමතුවක් වී
ප්‍රාථමික හද ගැස්මක් රැව්දෙන
මේ නගරයේ
මත්තේගොඩ, කොට්ටාව සොයමි මම

සිතියමේ චන්ද්‍රිකා දර්ශනය වෙත මාරු වී
එහි මාවත් ඔස්සේ දිව යමි
ඔබ නිවස වෙත වාහනය එළවද්දී
යන්නේ මේ මගෙහි යැයි සිතමි

ඔබ පසුකරන කෙත්වතු
පටු මං, පෙට්ටි කඩ, සල් ගස් හන්දිය
ආදී හැම මඟ සලකුණක්ම
මා නරඹන්නේ
ඉක්මන් සිහි කැඳවීමට ඒවා අවශ්‍ය බැවිනි

නැවත නැවතත්
ඒ මඟ හදාරමි
නුගේගොඩත් මත්තෙගොඩත් අතර දුර සොයමි
ස්පර්ශ තිරයක නම්
එය දබරැඟිල්ලත් මහපටැඟිල්ලත් අතර තරම්
ඉතා කුඩා දුරකි

දන්නවාද?
සිතියමක අප කෙතරම් සමීපද යත්
ඇඟිලි තුඩු යා කිරීමෙන් පවා
අප දෙදෙන එක්තැන් කළ හැක

ඔබ නැති විට
මම ගූගල් සිතියම් පිරික්සමි
එවිට හැම මොහොතකම
ඔබ සමීප ය


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

දිනමිණ 03.11.2021 වසත් සුළඟ අතිරේකය