October 26, 2021

||අන්සතු ඔබ ||


සමහර සින්දු ගැන විස්තර ලියන්න දෙයක් නැහැ. ඒ විස්තරේ සින්දුවෙමයි තියෙන්නේ. මේ සින්දුවේ පද වගේම visual එක ගැනත් මට කියන්න වචන නැහැ. ඇත්තටම නිරුත්තරයි. මේ සින්දුවක් නෙමෙයි විනාඩි ගාණක් ඇතුළත සියුම් හැඟීම් සාගරයක් පෙන්නන චිත්‍රපටියක්.

Artist - Thisara Weerasinghe | Melody - Thisara Weerasinghe | Lyrics - Rushan Silva | Music - Lahiru De Costa | Cast - Xavier Kanishka / Nipuni Poojitha Gunawardhana | Directed by Nimna Dewpura



October 20, 2021

October 17, 2021

ගැලපෙන තැන්වල නොගැලපෙන සින්දු


මොන්ටිසෝරියේ කොන්සර්ට් එක පටන්ගන්නකම් බලාගෙන ඉන්දැද්දී ස්පීකර් වලින් 'ළඳේ මුලා වී ගියා නම්, එපා ඔයාගේ සිනාවන්' වගේ සින්දු ඇහිලා තියෙනවද? පුංචි තරු තෝරන තරඟ වලදී 'රුචිරාණනි අසන්න, එකපාර මා මරන්න' කියලා ගායනා කරන බටු ඇට සයිස් තරඟකාරයෝ දැකලා තියෙනවද? මේ වගේ වෙලාවල් වලට මෙතන මොකක්දෝ වැරද්දක් තියෙනවා කියලා හිතෙනවද? එහෙනම් ආයෙත් අහන්න දෙයක් නැහැ, ඔයාත් මං වගේ සින්දු ටිකක් වැඩිපුරත් එක්ක ඔලුවට ගන්න කෙනෙක්.

අපි සමහර හින්දි සින්දු, දෙමළ සින්දුවලට ආසා වෙන්නේ ඒවායින් මොනවද කියවෙන්නේ කියලා දන්නේවත් නැතිවයි. ඒත් සමහරු හොඳට තේරුම තේරෙන සිංහල සින්දුවලත් අදහස තේරුම් නොගෙන පටලැවිලි හදාගන්න වෙලාවල් තියෙනවා. ගොඩාක් වෙලාවට එහෙම වෙන්නේ සින්දුවක මුල් වචන දෙක තුන විතරක් ඔලුවට අරගත්තාම. මෙහෙම අය හදිසියේ වත් රේඩියෝ නාලිකාවක සින්දු තෝරන රස්සාව කළොත් සිද්ධ වෙන්නේ බොහොම විනෝදජනක වැඩ. හොඳම උදාහරණය තමයි පෝය දවස්වලට නීලා වික්‍රමසිංහගේ 'බෝධියේ විහාරයේ' සින්දුව රේඩියෝවල ප්‍රචාරය කරන එක. පළවෙනි වචන දෙක බෝධියේ -විහාරයේ වුණාට මේක ආගමික සින්දුවක් නෙමෙයි කියලා තේරුම් ගන්න මහා අමාරුවක් නැහැ. වෙසක් කාලෙකදී නිරංජලා සරෝජිනීගේ 'කෙදිනද කූඩු හදන්නට එන්නේ' ප්‍රචාරය වුණා කියන කතාව නම් මේ වගේ සිද්ධි ඇසුරෙන් ඉපදුණු විහිලු කතාවක් වෙන්න ඕන.

90 දශකයේදී රූපවාහිනියේ පරණ සින්දුවලට අලුතින් visuals දාලා පෙන්නන්න පටන් ගත්තා. මේකෙන් මේ සින්දුවලට අලුත් පණක් ලැබිලා තරුණ පරම්පරාව අතරේ ඒවා ආයෙත් පැතිරෙන්න හේතු වුණා. මෙහෙම අලුතින් හැදුව සින්දුවක් මට අද වගේ මතකයි. ඒ තමයි ටී එම් ගේ 'එක සිත දෙතැනක නතරවෙලා' සින්දුව. මේකේ පළවෙනි පදෙන් එහෙම කිව්වට ඒකෙන් කියවෙන්නේ දෙන්නෙකුගේ හිත් එකම හිතක් වුණු හැටි ගැන බව ඊළඟ පද කීපෙදී තේරෙනවා. ඒත් කරුමෙට ඒ කාලේ මේ සින්දුවට visuals හැදුව කෙනා අහලා තිබුණේ ඒකෙ පළවෙනි පදය විතරයි. මේ නිසා ඒ සින්දුවේ රූප රාමුවලින් පෙන්නුවේ එක තරුණයෙක් තරුණියන් දෙන්නෙකුට ආදරය කරන හැටි. 'එක සිත දෙතැනක නතරවෙලා!' සෑහෙන්න වියදම් කරලා හැදුව visual එකෙන් සින්දුවට දුන්නේ සම්පූර්ණ වෙනස්ම, වැරදිම අර්ථයක්.

මේ විදිහට මඟුල් ගෙවල්වල විරහ ගීත වාදනය කරන එක නිතර සිද්ධ වෙනවා. සින්දු වල තාලේයි ජනප්‍රිය බවයි ගැන හිතලා වාදනය කළත් මේවායින් කියන්නේ ලොකුම සයිස් එකේ බූට් ගැන. මිල්ටන්ගේ 'අවසර නැත මට', ක්ලැරන්ස්ගේ 'දිනක මේ නදී තීරේ', නිරෝෂා විරාජිනීගේ 'දම්පාට හැන්දෑව' එහෙම මේ කැටගරියට අයිතියි. ඒත් හරිනම් මඟුල් ගෙවල්වල කියන්න ඕන, මඟුල් වීඩියෝ වල දාන්න ඕන wedding theme එකක සින්දුවක් වෙන නීලා වික්‍රමසිංහගේ 'චාමර සැලුනාවේ' සින්දුව නම් ඒ වගේ තැන්වල කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ සින්දුව තියෙන 'දෙවෙනි ගමන' චිත්‍රපටියේ තේමාව නිසා ඒක මඟුල් ගෙදරකට ගැලපෙන්නේ නැහැ කියලා මිනිස්සු හිතනවා වෙන්න පුලුවන්ද? එහෙම දේවල් හිතෙනවා නම් ඒ මිනිස්සු මඟුල් ගෙදර 'රේණු රේණු මල් මිටේ රේණු... ඈට පෙම් කරන්න මට බෑ ලු' කියලා කියන සින්දුවක් වාදනය කරන්න ඉඩ දෙයිද? මේවා මට තියෙන දැවෙන ප්‍රශ්න.

ඉස්සරත් මට යාළුවො කියනවා සින්දුවක් අහන්න ගියාම ඒවායේ අල ගිය තැන් මුල ගිය තැන් හොයන්නේ නැතිව ඒක රස විඳින්න ඉගෙන ගන්න කියලා. ඒ නිසා එක අතකට මේ විදිහට සින්දුවල තේරුම් ඕනෑවටත් වඩා ඔලුවට යන එක ඕෆ් කරන්න විදිහක් තිබ්බා නම් ඕන සිංදුවකට ඕන visual එකක් බලාගෙන, මඟුල් ගෙදරක විරහ ගීයක් අහගෙන ප්‍රීතියෙන් ඉන්න තිබුණා, හැබෑටම!



Photo- Unsplash



October 12, 2021

ඉර එළිය බිඳක්



මේ දවස්වල මෙල්බර්න් නගරය දිග ලෝක්ඩවුන් නිද්‍රාවකින් නික්මෙන්නයි ලෑස්තිය. දැනට උසස් පෙළ පන්තිවල ළමුන්ටත් විශේෂ අවශ්‍යතා ඇති ළමුන්ටත් පාසල් විවෘතයි. පාසලේ පුස්තකාලය විවෘත නිසා අපිත් මාස ගණනකට පස්සේ සුපුරුදු විදිහට වැඩට යනවා.

වැහි දවස් පේළියක්ම ගතවෙලා අද ලස්සනට අව්ව පායලා තියෙන දවසක්. විවේක කාලයේදී ඒ ඉර එළිය විඳින්න කියලා හිතලා මම ගොඩනැඟිල්ලෙන් එළියට යන්න ආවා. මේ ගොඩනැඟිල්ලට ඇතුල්වෙන්න තියෙන්නේ වීදුරු sliding door එකක්. ගොඩනැගිල්ලෙන් වැඩිහරියක් වහලත් බිත්තිත් වීදුරු. දේශගුණයට ගැලපෙන්න හදලා තියෙන නිසා මේවායේ ජනේල අරින්න බැහැ. මම දොර කිට්ටුවට යද්දී අමුතු දසුනක් දැක්කා. විශේෂ අවශ්‍යතා ඇති කණ්ඩායමේ දැරියක් දොර ළඟ එහෙ මෙහෙ දුවමින් මොකක්දෝ කරන්න මහන්සි වෙනවා. ටිකක් කිට්ටු වෙද්දි මම දැක්කා අතරමං වෙලා ගොඩනැඟිල්ල ඇතුළට ආව කුරුල්ලෙක්. හැමතැනම තියෙන වීදුරු නිසා රැවටුණු කුරුල්ලා එළියට පියාඹන්න උත්සාහ කරමින් වහලේත් බිත්ති වලත් හැපෙමින් හිටියා. දොර sensory දොරක් නිසා ඒක ළඟ කවුරුවත් හිටගත්තේ නැත්නම් ඒක ඉබේම වැහෙනවා. දැරිය කුරුල්ලාට ඒ පැත්තට පාර පෙන්නද්දී දොර වැහිලා ඉවරයි.

මොහොතක් බලාගෙන ඉන්දැද්දී මට මේ ගැටලුව තේරුණා.

"I will stand by the door" මම කීවා.
ඈ මට ස්තුතිවන්ත හිනාවක් පෑවා.

ඉන්පස්සේ මේ වැඩේ ලේසි වුණා. දොර ඇරෙද්දී මම ටිකක් බිත්තියට මුවා වුණේ ඒ වෙද්දීත් හොඳටම බයවෙලා හිටිය කුරුල්ලාව තවත් බය නොකරන්න. අපේ පුංචි සැලසුම සාර්ථක වුණා. දැරිය පාර පෙන්නුවාම කුරුල්ලා විවර දොරෙන් එළියට ඉගිලිලා ගියේ විදුලි වේගයෙන්.

"He is free!" ඈ මට කීවේ ලොකු හිනාවක් එක්ක.

අඳුරු කාල අතරේ ඉර එළිය දිලිසෙන දවස් තියෙනවා. සමහර වේලාවට ඒ ඉර එළිය හිනාවක්, වචනයක්, පුංචි කරුණාවන්ත ක්‍රියාවක් හැටියට වෙස් වලාගෙන එන්නත් පුළුවන් බව අමතක කරන්න නරකයි.

October 10, 2021

අවුරුදු හයක්!

Hot Chocolate Days බ්ලොග් එක පටන් අරන් අවුරුදු හයකට කිට්ටුයි. කිසිම දෙයක් නොලියන කාල, නිතර නිතර ලියන කාල පහුකරගෙන බොහොම දුරක් ඇවිත්. ඉස්සර බ්ලොග් එකේ දැම්මේ කවි විතරක් උනත්, දැන් මේකේ මගේ කෙටි කතාත්, පරිවර්තනත්, මම ඇන්ද චිත්‍රත්, චිත්‍රපටි ගැන, සින්දු ගැන, පොත් ගැන විස්තරත් හැම දෙයක්ම තියෙනවා. දිනමිණ පත්තරේට සතිපතා (වසත් සුළඟ කවි පිටුව මුද්‍රණය වෙන කාලවලදී) මම පරිවර්තනය කරන කවිය  බෙදාගන්නත් මට බ්ලොග් එක උදවු වුණා. 

රසිකයෝ බ්ලොග් කියවන එක අඩු නිසා බ්ලොග් ලියවිල්ල අඩුවෙලා යන කාලෙක මම නම් හෙමින් හෙමින් බ්ලොග් එක අප්ඩේට් කරනවා. කවුරුවත් කියෙව්වත් නැතත්, මටම මම ලියන දේ පරෙස්සම් කරලා තියන්න, හදිසියකට ඉස්සර ලීව දෙයක් හොයාගන්න online archive එකක් හැටියට මේක ප්‍රයෝජනයි. බ්ලොග් එකට ගොඩ වැදිලා, ලියලා තියන දෙයක් කියවලා, අඩුපාඩුවක් පෙන්නලා දීලා, තව තවත් දිරි ගැන්වෙන කමෙන්ට් එකක් දාලා යන අයට ස්තූතියි කියන්නම ඕන. ඒ අය නිසා ලැබෙන motivation එක මිල කරන්න බැහැ.

බ්ලොග් එකේ header පින්තූරේ මාරුකළේ 'සංවත්සරය' වෙනුවෙන් නෙමෙයි. කම්මැලිකමට ඩිජිටල් චිත්‍ර අඳින පුරුද්දක් මට මෑතක ඉඳන් තියෙනවා. මම මේ චිත්‍රය අඳිනවා බලාගෙන හිටිය මගේ පුත්‍රයා තමයි කිව්වේ මේක බ්ලොග් එකට ගැලපෙනවනේ කියලා. ඒකත් ඇත්ත නේන්නම් කියලා මටත් හිතුණා. 

ඉතින් අලුත් චිත්‍රෙ කෝප්ප දෙකක්ම තියෙන එකේ තව කාලයක් මාත් එක්ක hot chocolate කෝප්පයක් බොන්න මේ පැත්තට ගොඩ වදින්න කියලා ආරාධනා කරනවා!

මලී ~

Digital painting with watercolour brush



October 08, 2021

Capernaum (Movie)




Capernaum 2018දී තිරගත වුණු, Nadine Labaki අධ්‍යක්ෂණය කළ ලෙබනන්හි නිපදවුණු චිත්‍රපටියක්.  මේ බේරූට් නගරයේ ජීවත් වෙන දොළොස් හැවිරිදි පිරිමි ළමයෙක් වටා ගෙතුණු කතාවක්. සේන් තම දරුණු, හිංසාකාරී පවුලෙන් නික්මෙන්නේ ඒ කරදර දරාගන්න බැරිම තැන. ඉන්පස්සේ එයාට මුණගහෙනවා නීති විරෝධී විදිහට ඒ රටේ කුඩා දරුවෙක් එක්ක ජීවත්වෙන ඉතියෝපියානු කාන්තාවක්. විවිධාකාර කරදර බාධක වලට මුහුණ දෙන සේන් අන්තිමේදී දරුණු අපරාධයකට හිර භාරයට පත්වෙනවා. හිරේ ඉන්දැද්දී එයා පුදුම සහගත දෙයක් කරනවා. ඒ තමයි තමන්ව ලෝකයට ගෙනාවාට එයාගේ දෙමව්පියන්ට නඩු පවරන එක.


මේ චිත්‍රපටියෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ ලෝකය පුරාම ඇතිවන යුද්ධ සහ වෙනත් විවිධ ගැටුම්, වැඩිහිටියන්ගේ වැරදි තීරණ, අක්‍රමවත් පාලන ක්‍රම ආදී හැම දෙයක්ම නිසා වඩාත්ම පීඩාවට පත්වන්නේ කුඩා දරුවන් බව. Capernaum හි විශේෂත්වය තමයි ඒකෙ ප්‍රධාන චරිත රඟපාන වැඩි දෙනෙක් නළු නිලියන් නොවීම. සේන් ගේ චරිතය අති දක්ෂ විදිහට රඟපාන Zain Al Rafeea බේරූට් නගරයේ වාසය කළ සිරියානු සරණාගත දරුවෙක්. චිත්‍රපටියේ දෙබස් හැඩගැස්වීමට ඔහු සරණාගත කඳවුරු වල වාසය කිරීමේදී ලැබුණු අත්දැකීම් ඇසුරෙන් දායකත්වයත් ලබා දුන්නා ලු. මේ චිත්‍රපටියේ සේන් ඇතුළු අනෙත් නළු නිලියන්ගේ, විශේෂයෙන්ම ළමුන්ගේ- බොහොමත්ම තාත්වික රඟපෑම නරඹන්නා තුළ ඇතිකරන්නේ තදබල කම්පනයක්.

සේන් වැනි කුඩා දරුවන්ට සමාජයේ තමන්ගේ පැවත්ම වෙනුවෙන් වයසට වඩා වැඩියෙන් මුහුකුරා ගිය විදිහට හැසිරෙන්නට සිදුවීමත්, ඒ කටුක බව ඇතුළත දැල්වෙන මනුෂ්‍යත්වයේ කුඩා එළි තිතත්, නොසැලෙන ගුණයත් මේ චිත්‍රපටියෙන් අපූරු විදිහට නිරූපණය වෙනවා.

Capernaum චිත්‍රපටිය 2019දී Best Foreign Language Film එකට හිමි Academy සම්මානය දිනාගෙන තියෙනවා. ඒ වගේම ඒක තවත් විවිධ සම්මාන විශාල ප්‍රමාණයකට නිර්දේශ වීමත්, සම්මාන රාශියක් හිමිකරගෙන තිබීමත් පුදුමයක් නෙමෙයි.

Capernaum චිත්‍රපටයේ නැරඹුවාට පස්සේ ඒකෙ එන සේන්, සහාර්, යෝනාස් වගේ දරුවන් ලෝකය පුරා කොයිතරම් විසිරිලා ඇතිද යන සිතිවිල්ල ගෙන එන්නේ ගැඹුරු රිදුමක්.  

October 03, 2021

Camaro- Phil Kaye

Phil Kaye ගේ කවිවල ඇත්තේ අමුතුම අපූරු බවකි. ඔහු ඒවා ඉදිරිපත් කරන්නේද සිත ඇද බැඳ ගන්නා විලසිනි. මතකයේ රැඳෙන, මතක් කර නැවත නැවතත් රස විඳිනු හැකි ඒ කවි, මගේ ප්‍රියතම කවි ලැයිස්තුවේ ඉහළින්ම ඇත. 


Camaro- Phil Kaye

Button Poetry