මම ඈට රෙබෙකා කියන්නම්. රෙබෙකා මම කළින් රැකියාව කළ ආයතනයක මගේ ප්‍රධානියා. ඒ රැකියාවට සම්මුඛ පරීක්ෂණයෙන් මාව තෝරලා ගත්තේත් රෙබෙකා. "ඔයාව දැක්ක ගමන් අපේ ටීම් එකට හරියනම කෙනා ඔයා බව මම දැනගත්තා" රැකියාවට ගිය මුල් දවසේ එයා මට එහෙම කීවා. රෙබෙකා පුංචි සිරුරක් තියෙන බොහොම ප්‍රියමනාප, හිනාවෙන් දවස ගෙවන කෙනෙක්. ඒත් ඒ පුංචි ශරීරය ඇතුළේ ඕනෑම අභියෝගයකට ඔලුව කෙලින් තියාගෙන මුහුණ දෙන, හරි කෙලින් තීරණ ගන්න බොහොම ශූර කාන්තාවක් ඉන්න බව මම නොබෝ දවසකින් ඉගෙන ගත්තා.
අපේ කණ්ඩායමේ උන්නු තුන්වෙනියා නිකී. රෙබෙකා අනාවැකි කීව විදිහටම අපි තුන්දෙනා බොහොම ඉක්මණින් හොඳම යාළුවො වුණා. මම සතුටින්ම රැකියාව කළ ආයතනයක් ඒක. අපි ඒ දවස්වල විනාඩි පහට ලොකු තීරණ ගත්තේ උදේ කෑම කන ගමන් මේසේ වටේ වාඩිවෙලා. ලොකු ප්‍රශ්න විසඳුවේ කිට්ටුව තිබුණු කොෆී ෂොප් එකකට ඇවිදගෙන ගිහින් කැපුචිනෝ බොන ගමන්. අපි තුන්දෙනා එක වගේ මහන්සි වෙලා ඒ ආයතනයේ ව්‍යාපෘති කීපයක්ම කළා. මෙහෙම බොහොම සමීපව වැඩකරන අතරේ අපි අපේ විස්තර හැම දෙයක්ම බෙදාගත්තා. ඒ දවස්වල රෙබෙකාගේ තාත්තා ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳිමින් හිටියේ. තාත්තාගේ අසනීපය නිසා එයාලගේ ජීවිතවල ඇතිවුණු හැල හැප්පිලි රෙබෙකා අපි එක්ක කීවා. තාත්තා වෙනුවෙන් නිවාඩු ගන්න ඕන උනාම නිකී ත් මාත් රෙබෙකාගේ වැඩ බෙදාගෙන එයාව නිදහස් කළා.
මෙහෙම කාලය ගතවුණා. එක්තරා කාලයකදී රෙබෙකාත් නිකී ත් මාත් තුන්දෙනාම ඒ ආයතනයෙන් වෙන් වෙලා විසිරිලා ගියා. ඉන්පස්සේ අපි තුන් තැනක වැඩ කළත් මාස කීපයකට වතාවක් වත් මුනගැහෙන්න උත්සාහ කළා. එහෙම මුණගැහුණු වෙලාවල් වලට පරණ කතා මතක් කරලා ඇති තරම් හිනාවුණා. කොරෝනා කාලයෙදී අපේ මේ මුණගැහීම් අතපසු වුණත් දුරකථන ඇමතුමකින් කෙටි පණිවිඩයකින් අපේ යාළුකම් ඒ විදිහටම පැවතුණා. ඒත් ඉන්පස්සේ ටික කලක් යද්දී රෙබෙකා ක්‍රම ක්‍රමයෙන් නිහඬ වුණා. එයාගේ ජීවිතේ තිබුණු කරදර සමනය වෙනකම් එයාට නිදහසේ ඉන්න දෙන්න හිතුව නිසා මම නම් ඒ නිහඬ බව දුරස්වීමක් හැටියට ගත්තේ නැහැ.
මෑත දවසක මට නිකී ව හම්බවුණා. අපි ඒ මුණගැහුණේ සෑහෙන්න කාලෙකින්. දැක්ක ගමන් නිකී දුවලා ඇවිත් මාව බදාගෙන එකපාරට අඬන්න පටන්ගත්තා.
"ඇයි නිකී? මොකක් හරි ප්‍රශ්නයක් ද?" මම පුදුමයෙන් ඇහුවා. නිකී කියන්නේ එහෙම ලේසියෙන් අඬන කෙනෙක් නෙමෙයි.
"ඔව් හෙල්මලී. ප්‍රශ්නයක් තමයි. මට නෙමෙයි හැබැයි රෙබෙකාට." නිකී කඳුළු අතරින් කීවා. "ඔයාට මේක ෆෝන් එකෙන් කියන්න මට හිත දුන්නේ නැහැ, ඒකයි කළින් නොකීවේ. ඒකට සොරි"
"ඇයි රෙබෙකා ට මොකද?" මම ඇහුවේ කලබලයෙන්.
"රෙබෙකාට.." නිකී අමාරුවෙන් වචන ගැලපුවා. "රෙබෙකාට ඇල්සයිමර් හෙල්මලී. එයා අපේ පණිවිඩ වලට උත්තර එවන්නේ නැති නිසා මම කියන්නෙත් නැතිව බලෙන් වගේ එයාගේ ගෙදරට ගියා. එයා තමයි ගෙදර දොර ඇරියේ. ඒත් එයා මාව ඇඳිරුවේ වත් නැහැ! කාව හම්බවෙන්නද ආවේ කියලා මගෙන් ඇහුවා. එයාගේ මහත්තයා ඉක්මනට ඇවිත් මට විස්තරේ කිව්වා. රෙබෙකා ගෙදර කිසි කෙනෙක් ව අඳුනන්නෙත් නැහැලු" එහෙම කියලා නිකී ආයෙත් මාව බදාගෙන අඬන්න ගත්තා.
ඉතින්, අසනීපයක කුරිරු බව නිසා හරිම කෙටි කාලයක් ඇතුළත බොහොම සුන්දර මනුස්සයෙක් ඒ විදිහට වියැකිලා ගිහින් තිබුණා.
ඇල්සයිමර්, ඩිමෙන්ෂියා වගේ අසනීප ගැන කළින් අහලා තිබුණත්, ජීවිතේ පළවෙනි වතාවට මට සමීපම කෙනෙක් ගැන එහෙම ආරංචියක් ලැබුණාම දැනුණු කම්පනය නිසායි මේ සටහන ලියවුණේ. රෙබෙකාගේ සැහැල්ලු හිනාව මට දැනුත් මැවිලා පේනවා. ඒ දවස්වල තාත්තාගේ ඇල්සයිමර් රෝගය නිසා පීඩිත වෙලා හිටිය ඈට දෛවය දීලා තියෙන්නේ කුරිරු තෑග්ගක්.
මතකය කියන්නේ අපිව අතීතෙට වගේම වර්තමානයට බැඳලා තියන බොහොම සියුම් තන්තුවක්. ඒක ගිලිහුණු දවසට අපිට අපිවම නැතිවෙනවා වගේම අනෙත් අයටත් අපිව නැතිවෙනවා. මතකය අහිමි වුණත් ඒ පුද්ගලයා ජීවත් වෙනවා. පවුලේ අයට, රැක බලාගන්න අයට රෝගියාගේ අතීත මතක එක්ක ගැටෙමින් මතකය හිස් වුණු අලුත් පුද්ගලයා එක්ක ගනුදෙනු කරන්න වෙනවා.
නිකී මුනගැහිලා ආපිට ආවට පස්සේ මට මේ වගේ දේවල් කල්පනා වුණා. සමහර දේවල් අපට වෙනස් කරන්න බැහැ ඒවා ගැන කල්පනා කරන්න විතරයි පුළුවන්. ඒ එක්කම, මතකය අහිමි වුණු රෙබෙකා, ජීවිතේ කලබල අතරේ වුණත් අපි 'අපි' හැටියට ගතකරන හැම මොහොතක්ම වටිනා බව මට මතක් කරලා ගියා කියලාත් හිතුණා.
Have you ever walked along a shoreline, only to have your footprints washed away? That's what Alzheimer's is like. The waves erase the marks we leave behind, and all the sand castles.- Pat Summit
Photo- The perennial version of the Forget-me-not flower, Pentaglottis- captured in the Dandenong Ranges, Melbourne
(පින්තූරය ගැන පසු කතාව- ළඟදී දවසක අපි Dandenong Ranges ප්‍රදේශයේ උත්සව ශාලාවක තිබුණු මඟුල් ගෙදරකට සහභාගී වුණා. ඒක තිබුණේ හරිම ලස්සන පරිසරයක. ඒ ලස්සන බලමින් යද්දී මම අහඹු විදිහට මේ මල් කිනිත්තේ පින්තූරයක් ගත්තා. මම ඒ පරිසරයේ වෙන කිසිම පින්තූරයක් අරගෙන නැති බවත්, ගත්ත මේ මල් කිනිත්ත Forget-me-not වර්ගයේ මලක් බවත් මම දැනගත්තේ ගෙදර ආවාට පස්සේ යි. රෙබෙකා ගැන ආරංචිය මට ලැබුණේ ඊට පස්සේ දවසේ. ඉතින් මේ මල් කිනිත්ත ඈටම තමයි)
මේ කතාව කිණිසි පාරක් වගේ පපුවට කිඳා බැස්සා, දුකක් වගේම බයකුත් එක්ක. ආරෝග්‍යා පරමා ලාභා, සංතුට්ථි පරමං ධනං!
ReplyDeleteබස්සා
Deleteමටත් ඒ ආරංචිය ලොකු ෂොක් එකක් වුණා. ඕන දෙයක් තමන්ට වෙනකම් අපට හරියට දැනෙන්නේ නැහැ කියන එක ඇත්ත තමයි.
මැඩලා සියලු රෝදුක් දිගු දිවියකට
ReplyDeleteහිමිකම් කියන්නට යනකොට මිනිසාට
'සොබා දහම් දිනිති'ය එක විදිහකට
මේ වගෙ පහර දෙනවාදෝ හිතෙයි මට
පියාගෙ දුක සැප බැලුවා ඒ මදිද
Deleteගුණ යහපත් දුවකට සලකන හැටිද
මිනීමරුවො, හොරු වැජඹෙන්නේ මොකද
ඉන්නව කියන දෙයියෝ ඉන්නේ කොහෙද
පියාගෙ දුක සැප බැලුවා එය ඇත්තයි
Deleteගුණවත් දුවක වූවා ඒකත් ඇත්තයි
පව් කළවුන් දිගු කල් වැජඹෙනව තමයි
දෙයියොත් විතැන් වීලා, ඔහේ දන්නෙ නැතෙයි?
මේ වගේ කවි ලියන්න බැරි මම! ඒ නිසා නිදි ටයි බස්සාටයි ගද්‍ය උත්තරයක් තමයි ලැබෙන්නේ.
Deleteඇත්තටම නම් ජීවිතේ හරි අසාධාරණයි තමයි. රෙබෙකා ට මතක එයාගේ නංගිව විතරලු. ඒ නංගිට දැනෙන දේවල් හිතන්නකෝ. ජීවිතෙන් එක කාලයක් තාත්තා නිසා දුක් වින්දා, ඉතුරු ටික අක්කා නිසා දුක් විඳිනවා. තාත්තාත් තාම ජීවතුන් අතර!
මලී, අපේ අම්මාත් අමතක වීමේ රෝගයටයි- පිළිකාවටයි ගොදුරු වෙලා ඉඳල මේ නොවැම්බර් 15 වෙනිදා මියගියේ. අම්මගෙ මතකයේ මහිම කියවෙන posts තුනක් මං ලිව්වා, වෙලාව තියෙනවා නං කියවල බලන්න. මෙන්න links:
Deleteමවුනි, මා ඔබ රැවටුවා නොවේ! -පළමුවෙනි කොටස
https://nidigepanchathanthare.blogspot.com/2023/07/blog-post_25.html
දෙවෙනි කොටස
https://nidigepanchathanthare.blogspot.com/2023/07/blog-post_29.html
තෙවෙනි කොටස
https://nidigepanchathanthare.blogspot.com/2023/08/blog-post.html
නිදි ගේ අම්මා අසනීපෙන් හිටිය බව මතක තිබුනා, ඒත් අමතකවීමේ රෝගය තිබුණු බව මතක තිබුණේ නැහැ. එහෙනම් මේ ගැන first hand experience ඇතිනේ. ආයෙත් පෝස්ට් ටික කියවන්නම්. ස්තූතියි බෙදගත්තාට
DeleteHmm
ReplyDelete:(
Deleteහපොයි ඒක නොකියෙව්වනම් හොඳයි කියලා හිතුනා
ReplyDeleteඉවාන් -
Deleteකම්පනයක් ඇතිවුණා නම් සමාවෙන්න.
Never take life for granted කියන පණිවිඩේ දෙන්න තමයි මට වුවමනා වුණේ
මේ ලඟකදි මට මේ ලෙඩේ ගැන කියනකොට මටනම් හිතුනෙ ඒක එක්තරා විදිහක වාසනාවන්ත ලෙඩක් විදිහටයි. අපි ජීවිතේ සතුටුවෙන, දුක්වෙන දේවල් වලට හේතුව අපිට ආශ්‍රය කරන අය, පවුලේ අය, එදිනෙදා වෙන දේවල් ගැන තියෙන මතකය නිසයි. මේ ඔක්කොම අමතක වුනොත් ඊට පස්සේ කිසි බැඳීමක් හෝ කරදර වීමක් නැහැනෙ. ඒ වෙලාවට හිතෙන දෙයක් කරනවා, බඩගිනි වුනොත් කනවා, නිදි මත වුනොත් නිදාගන්නවා විතරයි කරන්න තියෙන්නෙ. එකම දේ එහෙම ජීවත් වෙන්න ඕන කරන සල්ලි, බැංකුව කොහෙද තියෙන්නේ, කීයක් තියෙනවද ආදියත් අමතක වෙලා යන එක. ලඟ ඉන්න අයට මහ කරදරයක් වුනත් මේ තත්ත්වය තියෙන අයට ලොකු මානසික විවේකයක් තියෙනවා කියල හිතෙනවා.
ReplyDeleteජීවත්වීම කියන්නෙ, නිරන්තර සටනක් . සමහර ප්‍රශ්ණ, සසර කලකිරෙන්න තරම් දරුණු බවත් ඇත්ත. සහජයෙන්ම කම්මැලි බකමූණෙක් වෙච්ච මට, කාළයක් ලොකු ප්‍රශ්ණයක් වුනා සැප පහසු ජීවිත තියන බටහිර තරුණ අය, කට්ට කාගෙන හිමාලෙ නඟින්නෙ ඇයි කියලා. ඇයි හත්තික්කේ, කන්ද මුදුනෙ කැපචීනෝ තියෙන එකක් යෑ?
Deleteදැන් හිතෙනවා දුක නැත්නම් සැපක් කියල දෙයක් නෑ කියලා. ඇල්සයිමර් වලින් එන්නෙ "වැජිටබල්" ජීවිතයක්. ඒකෙ මානසික විවේකය/නිරාමික සුවය තියනවද කියන එක ප්‍රශ්ණාත්මකයි. මට නං ඇල්සයිමර්/ඩිමෙන්ෂියා දෙකම එපා. ටිකක් කලින් "කික් ද බකට්" අවුලක් නෑ , ලෙඩ වෙලා ලැබෙන දීර්ඝායුෂ නැතුව. සංවාදයට් විවෘතයි....
ඉයන්- ඒ විදිහට linearව මේ අසනීපෙ progress නොවෙන එක තමයි ලොකුම ප්‍රශ්නේ. කරදර අමතක කරලා රික්තකයක ඉන්න ඉඩ දෙන්නේ නැහැ ඒක. පලවෙනි දේ තමයි සමහර දේවල් විතරක් සමහර වෙලාවට විතරක් අමතක වීම. දෙවෙනි එක තමයි ඈත අතීතය හොඳට මතක තිබිලා මෑත දේවල් අමතක වීම. උදාහරණයක් හැටියට සමහර දාට මම කවුද කියලා මට මතකයි ඒත් ගමනක් ගියාම ගෙදර තියන තැන මතක නැහැ. සමහර දාට මගේ මතකය මගේ දුවගේ අවුරුදු පහේ වයසෙන් නැවතිලා. එතකොට මම මගේ වැඩිහිටි දුවට කරදර කරනවා ඔයා කවුද? අනේ මට දුවව ඉස්කෝලෙන් ගන්න යන්න තියෙනවා, ඉක්මනට එක්ක යන්න කියලා. මෙහෙම වුනාම නිරන්තරයෙන් confusion spiral එකක ඉන්නේ. රෙබෙකාගේ දොස්තර කියලා තියෙනවාලු එයාට මතක තියෙන්නේ එයාගේ නංගි විතරක් නිසා වෙන යාලුවන්ව මුනගස්වලා confusion එක වැඩි කරන්න එපා කියලා. ඒ නිසා අපිත් ඒ ඉල්ලීමට ඇහුම්කන් දීලා එයාව බලන්න නොයන්න තීරණය කළා. අනිත් හැම අතින්ම ශරීර සෞඛ්‍යය තිබුණත් මතකය නැතිව ජීවිතේ බොහොම දුෂ්කරයි මේ විදිහේ හැටියට.
Deleteබස්සා- ඇල්සයිමර් වලින් වෙජිටබල් වෙන්නේ මනස. නිකී කියනවා "The saddest thing is that she looks exactly as we knew her" කියලා. මටත් හිතෙනවා මතකය නැතිව ජීවත් වෙන්න අමාරු වෙයි කියලා. ළමයා ව පොඩ්ඩක් එතෙර කළාට පස්සේ කික් ද බකට් වලට ලෑස්තියි :)
මම ඉස්සර දවසක "The Father" කියලා ෆිල්ම් එකක් ගැන ලිව්වා. ඒත් මේ ලෙඩේ ගැන තමයි. ඉඩක් ලැබුනොත් හොයාගෙන බලන්න
ඉයන්, සති දෙකකට කලින් තලපත්පිටියේ පදිංචි අජන්ත ගමගේ මිතුරාගේ අම්මා වියෝ වුණා. (විස්තර ලිව්වේ සමහරවිට ඔයා එයාව දන්නවා ඇති කියල හිතා ගෙනයි.) ඒ අම්මාත් මේ අමතක වීමේ රෝගයේ බිල්ලක්. එයා ඉඩක් ලැබුණු වහාම ඇඳුම් ටිකක් පොදි බැඳගෙන ඉබාගාතේ යන්නයි පුරුදු වෙලා හිටියේ.
Deleteඅපේ සුමිතුරු නෙවිල්ලගේ අම්මාත් මේ රෝගයටම ගොදුරු වුණා. එයා කළේ ගෙදර දොර ජනෙල් සේරම වහගෙන හිටීම... එයා සමහරදාට නෙවිල්වවත් හඳුනා ගත්තේ නැහැ. "තමුසේ කොහොමද චූටියා වෙන්නේ? අපේ චූටි ජංගියක් ඇඳගෙන සෙල්ලම් කර-කරනේ හිටියේ." කියලා නෙවිල්ටම කිව්වා.
ඔය විස්තර කිව්වේ එකිනෙකාගේ රෝග තත්ත්ව වෙනස් විදිහට බලපාන බව පහැදිලි කරන්නයි.
ලංකාවේ මේ රෝගය නරක විදිහට පැතිරෙමින් තියෙන පාටයි. මා දන්නා තවත් මව්වරුන් තිදෙනෙකුම දැන් මෙයට ගොදුරු වෙලා ඉන්නේ!
බස්සා මහත්තයෝ, මටත් වෙජිටබල් එකක් වෙන ජීවිතයක් එපා! කරදර වුණත් අභියෝගාත්මක ජීවිතයක් හොඳා.
DeleteThe Bucket List- 2007 ෆිලුම බලල තියෙනවා නේද?
මලී, The Father හරිම දුක හිතෙන කතාවක් කියන්නේ!
DeleteThe Bucket List- 2007 මම කැමතිම එකක්. The Father ගැන මලී ලිව්ව කියල මතකයි, බැලුවද කොහෙද?
Deleteනිදි- The Father මාව නොසෑහෙන්න කම්පනය කළ කතාවක්! The Bucket List බලලා නැහැ, හොයාගෙන බලන්න ඕන
Deleteහපෝයි දෙයියනේ! The Bucket List නොබලපු දෑස මක්කටැයි? The Shawshank Redemption බලලත් නැද්ද?🤔
Deleteමගේ චිත්‍රපටි බැලිල්ල ගැන ඉතින් ඒකෙන්ම තේරෙනවා නේ :D
Deleteදෙයියනේ කියලා The Shawshank Redemption බැලුවා. ඒ බැලුවෙත් ඒක නොබලා ජීවත් වෙලා වැඩක් නැත කියලා තගක් දාපු නිසා
මට තේරෙනවා, එක එක්කෙනාගෙ රස වින්ඳනය සමාන නොවන බව. ඒත් මට හොඳම චිත්‍රපටි ලැබිලා තියෙන්නෙ, අනෙක් අයගෙ රෙකමන්ඩේෂන් වලින් තමයි. සමහර ඒව නං හිට් ඇන්ඩ් මිස් තමයි මටත්.😁
DeleteThe Shawshank Redemption මෙතෙක් හැදිච්ච හොඳම ෆිල්ම්ස් දහයෙන් එකක්ද කොහෙද. බලන්නමයි කියල මට ඒක දුන්නේ නමී. ඇත්තටම නියම ෆිලුමක්!
Delete