May 07, 2020

මන්සිතා





දූවිලි වලාකුළක් ඇවිත් බස් නැවතුම ළඟ වටයක් කැරකෙද්දී මන්සිතා මොහොතක් ඇස් දෙක වහගත්තා. පුපුරු ගහන දවල් ඉර එළිය බස් නැවතුමේ වහලට වැදිලා වටපිට අයගේ ඇස් නිලංකාර කළා. හිස් මුදුනින් ගැලුව දාඩිය ගලාගෙන ඇවිත් බෙල්ල මුලට එකතු වෙලා මන්සිතා ඔළුව වහගෙන උන්නු රෙදි පටේ බොඳවුනා. ඉස්කෝලේ නිල ඇඳුමේ පාටින්ම සාළුවකින් ඔළුව වහගන්න මන්සිතාට ඉස්කෝලෙන් අවසර දීලා තිබුණා. දූවිලි නිසා වහගත්ත ඇස් දෙක බින්දුවක් ඇරලා එයා අත් ඔරලෝසුව කරකවලා වෙලාව බැලුවා. 

ඊළඟ බස් එක එන්න තව විනාඩි දාහතයි. සහීර් ගේ ඉස්කෝලේ ඉඳන් මෙතැනට ඇවිදගෙන එන්න යන්නේ විනාඩි හයයි. ඉස්කෝලේ ඇරිලා දැන් විනාඩි එකොළහයි. ඒ කියන්නේ සහීර් විනාඩි පහක් පරක්කුයි! කොල්ලෝ රංචුවට වැටිලා වෙන ගමනක් ගිහින්වත්ද? ගුරුවරයෙක් ඉස්කෝලෙන් පස්සේ නවත්තගෙනවත්ද? මෙහෙම පරක්කු වුණාම අඩුවෙන්නේ දවසකට දෙන්නාට කතාකරන්න තියෙන විනාඩි ගාන කියලා සහීර් හොඳටම දන්නවා. දවසකට විනාඩි විසිදෙකයි. අද වගේ එහා මෙහා නූණොත් සතියකට විනාඩි එකසිය දහයයි. පැය දෙකකට ටිකක් අඩුයි. ඒත් ඒ විනාඩි එකසිය දහයට දෙන්නා 'කතාකරනවා' කියන්න පුළුවන් ද කියලා මන්සිතා අත් ඔරලෝසුව දිහා බලාගෙනම කල්පනා කළා. ඉස්කෝලේ ඇරෙන වෙලාවට බස් නැවතුම ඉස්කෝලේ ළමයින්ගෙන් පිරිලා. මෙතැනට එන ලොකු පන්තිවල ළමයි නම් එක්කෝ නොඉවසිල්ලෙන් අව්ව දිහා බලාගෙන ඉඳලා එන පළවෙනි බස් එකේම එල්ලිලා යනවා. එහෙමත් නැත්නම් කල්ලි ගැහිලා විහිළු තහළු කර කර ඉඳලා එන එක බස් එකකවත් නොගිහින් වරුවක්ම ඉන්නවා. පුංචි ළමයින්ගෙන් තමයි කරදරම. එහේ දුවනවා, මෙහෙ දුවනවා.. බංකුව උඩ නගිනවා.. වතුර බෝතල්වල වතුර ගහගන්නවා. ඔය කලබගෑනිය අතරේ තමයි සහීර්ගෙයි මන්සිතාගෙයි කතාබහ දිග ඇරෙන්නේ. 

"ඔයා කාලා ද?" සහීර් හැමදාම අහනවා.
"ඔව්. ඔයා?" මන්සිතා ත් අහනවා.
"නෑ, ගෙදර ගිහින්ම කනවා" සහීර් කියනවා.

ඒ ඇහුවේ කෑම ගැනම නෙමෙයි කියලා දෙන්නම දන්නවා. 

"කකුලේ රිදිල්ල අඩු ද?" පහුගිය ටිකේම මන්සිතා ඇහුවා. 

සහීර් සෙනසුරාදාට ළමයින්ට ක්‍රිකට් උගන්නන තැනක වැඩට යනවා. එතැන වැඩියත්ම කරන්න තියෙන්නේ ළමයින්ට ආම්පන්න බෙදලා දෙන්න, ආයෙත් ඒවා එකතු කරන්න, අස්පස් කරන්න වගේ වැඩ, සුළු ගාණක් හම්බවෙනවා. දවසක් සහීර් ඒ වැඩ කරමින් ඉන්න අතරේ ළමයෙක්ගේ අතින් එල්ලය වැරදිලා කැරකිලා ආව ලෙදර් බෝලයක් කකුලේ වැදිලා කකුල තැලිලා නිල් වෙලා තිබුණා.

"ඔව් දැන් ටිකක් රිදෙනවා අඩුයි" සහීර් කියනවා.
ඒත් සහීර් ඇවිදිද්දී කකුල අද්දන විදිහෙන් ඒ රිදිල්ල අඩු නැති බව මන්සිතා දන්නවා. ඒක මන්සිතා දන්නා බව සහීර් දන්නවා. 

මන්සිතා හැමදාම වාඩිවෙන්නේ බස් නැවතුමේ බංකුවේ කෙළවර, දකුණු බිත්තිය අයිනේ. එයාගේ ඉස්කෝලේ තියෙන්නේ බස් නැවතුම පේන මානයේ නිසා ඉක්මනට දුවලා ඇවිත් හැමදාම වාඩිවෙන්න එකම තැන අල්ලාගන්න එයාට අමාරු නැහැ. සහීර් ආවාම හැමදාම එතැන හිටගන්නේ පාරට පිටුපාලා, මන්සිතාව පාරට නොපෙනෙන විදිහට. එහෙම කරමු කියලාවත්, එහෙම කරමුද කියලාවත් දෙන්නා කවදාවත් කතාවෙලා නැහැ. ඒත් හැමදාම එහෙමම කෙරුණා. මන්සිතාගේ තාත්තා හරි මාමාලාගෙන් කෙනෙක් හරි මේ අවේලාවේ මෙතැනින් යන්න ඉඩ නැහැ තමයි. ඒත් හදිසියේවත් ගියොත්? මන්සිතා සහීර් එක්ක කතා කරද්දී එයාගේ ඔළුව වැහුණු සාළුව අතින් හදනවාත් වැඩියි. මන්සිතාගේ හිත එයාටත් නොදැනී එයාට හැංගෙන්න බල කරනවා ඇති කියලා ඒ වෙලාවට සහීර් ට හිතෙනවා. හැංගුණු තැනින් මිදිලා ඉගිලිලා යන්න හදන මන්සිතාගේ කෙස් කැරලි අතින් අල්ලලා නවත්තන්න හිතුණත් සහීර් එහෙම නොකරන්නේ ඒ නිසායි. 

මන්සිතා ආයෙත් වතාවක් අත් ඔරලෝසුව බැලුවේ වෙලාව බලන්නම නෙමෙයි. වෙලාව නොබැලුවත් දැන් සහීර් විනාඩි දහයකට වැඩිය පරක්කු බව මන්සිතා දන්නවා. මේ පහුගිය මාස දහයටම සහීර් කවදාවත් පරක්කු වෙලා නැහැ. ඉස්කෝලේ එන්න බැරිවුණු දවස්වලටත් එයා හවසට නොවරදවාම මෙතැනට මන්සිතාව බලන්න ආවා. සහීර් ගැන කේන්තියත්, එයාට කරදරයක් ද කියලා බයත් ඒ දෙකම යටපත් කරගෙන උහුලාගන්න බැරි තරමේ දුකකුත් මන්සිතාගේ හිතේ තෙරපුණා. ඉබේම ඇස් දෙකට ඉනුව කඳුළු එයා පිටිඅල්ලෙන් පිහිදාගත්තේ කාටවත් නොපෙනෙන්න. "එයාගේ කකුලේ අමාරුව එකපාරට වැඩි වුණා ද?" මන්සිතාට එක පාරට හිතුණා. එහෙම වෙන්න බැරි බව දැන දැනත් හිත ඇතුළේ මන්තරයක් වගේ ඒක එක දිගටම කියවුණා. බස් එක ආවාම ඒකෙ නොගිහින් සහීර් එනකම් තව ටික වේලාවක් බලාගෙන ඉන්න ඉඩක් නැති බව මන්සිතා දැනගෙන හිටියා. නියමිත වෙලාවට ගෙදර නොගියෝතින් ඊළඟට වෙන්න පුළුවන් දේවල් ගැන එයා හිතන්න වත් මහන්සි වුණේ නැහැ. බංකුව උඩ තිබුණු පොත් මල්ල උකුලට ගත්තු මන්සිතා සහීර් ට දෙන්න කියලා අතේ තියාගෙන හිටිය පොත මල්ලට දැම්මා. සහීර් පොත් කියවිල්ලට කම්මැලි බවත්, ඒත් මන්සිතා දෙන පොතක් නම් කියවන බවත් දෙන්නා කතා නොවී තේරුම්ගත්ත තව දෙයක්. කතාකරන්න තියෙන වෙලාව සීමිත විනාඩි ගාණක් වුණාම සමහර දේවල් කියවුණේ වචන වලින් නෙමෙයි. 

"මන්සිතා!" හති හඬක් ඇහිලා මන්සිතා ඔළුව ඉස්සුවේ තිගැස්මෙන්. එයාගේ ඉස්සරහා සහීර් හිටගෙන හිටියා. එයාගේ කමිසේ දාඩියෙන් තෙත් වෙලා තිබුණා. මූණ අව්වට රතු වෙලා දිලිසුණා. 

"ඔයාගේ බස් එක එන්න කලින් මම කොහොමහරි ආවානේ!" සහීර් කිව්වේ බස් නැවතුමේ බිත්තිය අල්ලාගෙන හති අරිමින්. දාඩිය පෙඟුණු මූණේ තිබුණේ ජයග්‍රාහී හිනාවක්. 

දැන් මන්සිතාට කලින් දැනුණු දුකත් බයත් අතුරුදන් වෙලා කේන්තිය විතරයි ඉතුරු. කොහෙද රස්තියාදුවක ගිහින් මේ ඇවිත් තියෙන්නේ! දැන් තමන්ගේ බස් එක එනවා නම් ගස්සගෙන ගිහින් නැගලා යන්න තිබුණා කියලා මන්සිතාට හිතුණා. එහෙම ගිහින් සහීර් ට පාඩමක් උගන්නන්න තිබුණා. එහෙම හිතුවත් බස් එක තාම නැති නිසා එයා කතා නොකරම ගිනිගහන අව්ව දිහා ඈත බලාගෙන හිටියා. ඇස් දෙකේ දැන් පිරිලා තිබුණේ තරහට ඉනුව කඳුළු. 

"මන්සිතා!" ආයෙත් සහීර් ගේ කටහඬ ඇහුණේ ළඟින්මයි. "මේක ඔයාට, ඒකයි පරක්කු වුණේ!" සහීර් කියන්නේ හිනාවෙන ගමන් බව අහක බලාගෙන උන්නු මන්සිතාට තේරුණා. තව සැරයක් නොහිතාම එයා ඔළුව හරවලා බැලුවා. 

සහීර් ගේ ලොකු අත්ල මැද්දේ පොඩි වුණු කඩදාසි කවරෙක සීනි මුරුක්කු අහුරක් තිබුණා. ඒක දිහා බලලා මන්සිතා සහීර් දිහා බැලුවේ පුදුමෙන්. සහීර් තාම හිනාවෙමින්. 

"මේ කකුලේ අමාරුව නොතිබ්බා නම මම කොහොමහරි මීට කලින් දුවලා එනවා! ඔයා දවසක් මේවා කන්න ආසයි කිව්වා නේ?"

මන්සිතාගේ ඇස් දෙකේ පිරිලා තිබුණු කඳුළු ඉහිරුනේ කිසිම පෙර දැනුම්දීමක් නැතිව. වචන ගොළු වෙලා තිබුණත් කඩදාසි කවරේ අතට ගන්න ගමන් සහීර් ට කඳුළු අතරින් හිනාවක් දෙන්න එයාට පුළුවන් වුණා. බස් එක ආවේ ඒ එක්කම. වටපිට හිටිය හැමෝම දඩිබිඩියේ බස් එකට නැග්ගා. මන්සිතාත් දුවලා ගිහින් ඒ පොදියට එකතු වුණා. සහීර් තාමත් හිනාවෙමින් බලාගෙන ඉන්න බව පිටත්වුණු බස් එකේ කවුළුවකින් මන්සිතා දැක්කා. 

පොඩි වුණු කඩදාසි කවරෙන් සීනි මුරුක්කුවක් අරගෙන කාටත් හොරෙන් කටට දාගත්තු මන්සිතාගේ මූනේත් හිනාවක් ඇඳුණා. 

Sketched with stylus on Lenovo Thinkpad


1 comment:

  1. මම එක පාරටම හිතුවේ 'මස්සිනා' කියල ටිකක් කියවලා ආපහු බැලු විටයි දැක්කේ මන්සිතා බව. මොට්ටක්කිලිය දා ගෙන සිටින මන්සිනා ව තනි ඉරකින් ඇඳීම ලොකු හපන් කමක්. කතාවත් අපුරුයි.

    ReplyDelete