May 23, 2016

කාලයෙන් එක මොහොතක්




ඉර එළිය තැවරිලා මීදුම යන්තම් මැකෙන්න ගත්තු වෙලාවක තාත්තෙකුයි දුවෙකුයි ලොකු කතාවක්. තාත්තා බිමටම තරම් පහත් වෙලා යි දූ ගේ කතා අහන්නේ. දෙන්නාට තියෙන්නේ ජාති දෙකක කැරලි කොණ්ඩ දෙකක්. කෙළි පොඩ්ඩ ට අවුරුදු දෙකක් විතර ඇති. දඟ මූණක්! ඇවිදිනවා කියන දේ ලොකු හපන්කමක් බව ඒ පුංචි මූණෙන් ම පේනවා. අනික තාත්තාගේ ඇඟිල්ලක් අල්ලාගෙන යන්න ලැබුණු එක!

තාත්තා වැඩට යන්න යන ගමන්. එක අතක රාජකාරි මල්ල. ටයි පටියකුත් ඒ අතේම පටලවාගෙන. ලෑස්ති වෙලා ඉවර වෙන්න ඉඩ ලැබුණේ නැතිව ඇති. ඒ අතේම තවත් දෙයක්. පුංචි රෝස පාට මල්ලක්. පුංචි ළමයින්ගේ අඩුම කුඩුම දාගෙන උන් පිටේ එල්ලගෙන යන ජාතියේ මල්ලක්. ඒ හැම දේම එක අතක තියෙන්නේ අනිත් අතින් පුංචි අතක් අල්ලාගෙන යන නිසා. වඩාගෙන යන්න නොදෙන "මට තනියම යන්න ඕන!" කියන ගතියක් පේන කෙල්ලෙක්. පුංචි නිල් කලිසමක්, කහ රතු තිත් වැටුණු කමිසයක්, ඇබින්දං දම් පාට බූට්ස් දෙකක්- කෙල්ල හදිසියේ පාර අයිනේ පිපුණ මල් පොකුරක් වගෙයි.

අතකින් දූගේ අත අල්ලාගෙන යන නිසා තාත්තාට යන්න වෙලා තියෙන්නෙත් දූගේ වේගේට. දූ ට නම් කිසිම හදිසියක් නැහැ. හදිසි වෙන්නේ මොකටද? උදේ ඉර ත් එක්ක අහස රත්තරන් පාට වේගෙන එන වෙලාව. බලන්න කොයිතරම් දේවල් තියෙනවාද? තාත්තයි දුවයි ඇවිදගෙන යන පාර අයිනෙන් එක එක පාට වාහන පේලියක්ම යනවා. සමහර වේලාවට ඒ වාහන පේළිය කූඹී තරම් හෙමින් යන්නේ. සැරින් සැරේ දූ ගමන නවත්තලා ඔළුව ඇල කරගෙන වාහන පේළිය දිහා බලාගෙන ඉන්නවා. ලොකු වාහන, පොඩි වාහන, දිලිසෙන වාහන! තාත්තා ඒ වෙලාවට දූ එක්ක නවතිනවා. අත අත නෑරම දූගේ පුදුමේ දිහා පුංචි හිනාවකින් බලාගෙන ඉන්නවා. දූ රතු කාර් එකක් පෙන්නලා තාත්තාට මොනවදෝ කියනවා. තාත්තා හිනාවෙවීම ඔළුව වනනවා.

ඊළඟ අඩි කීපයේදී දූට තවත් පුදුමයක් මුණගැහෙනවා. පාර අයිනේ තණකොළ තීරුවේ පුංචි සුදු -කහ මල් යායක්! මේවා උදේ ඉරත් එක්ක පිපිලා හවසට පරවෙලා යන කැලෑ මල් ජාතියක්. ඒත් ඒ බව දෝණි දන්නේ නැහැනේ. ලොකු හිනාවක් එක්ක උඩ පැනගෙන දූ එතනට දුවන්නේ තාත්තාව ඇදගෙනමයි. තාත්තාගේ අත අත්ඇරලා දුව තණකොළ තීරුවේ බිම ඉඳගන්නවා. අද නම් මල් ගොඩාක් එකතු කරගන්නයි කල්පනාව. තාත්තාගේ නළල ඩිංගක් රැළි වෙනවා. කමිසේ අත මෑත් කරලා ඔරලෝසුව දිහා බලනවා. හිනාවත් අඩු වෙනවා. පරක්කු වෙයි වගේ! පුංචි ඇඟිලිවලට පොඩි වුණු මල් අහුරක් දූ තාත්තාට දික්කරන්නේ ඒ වෙලාවෙයි. පුංචි මූණේ හිනා ඉතිරෙනවා. මේ තරම් ලස්සන මල් තාත්තා කවදාවත් දැකලා තියෙනවාද! තාත්තා දූ ගේ හිනාව දිහා බලාගෙන ඉන්නවා. තත්පරයක් ඇතුළත කල්පයක් ගත වෙනවා. හැමදාම නොරැඳෙන පුංචි හිනා, හැමදාම නොපිපෙන පුංචි මල්- තාත්තාගේ හිත වටේ දුවනවා පේනවා වගේ. කල්පයක් එක තත්පරයකින් ගෙවෙනවා. තාත්තාත් හිනාවෙලා අතේ තිබුණු මලු ටික බිම තියනවා. දූ ළඟින්ම බිමින් වාඩිවෙනවා. දූගේ හිනාව තවත් වැඩි වෙනවා. දූ අත්පොඩි ගහනවා. තාත්තා මලක් අරගෙන දුවගේ කොණ්ඩේ රඳවනවා. මුළු ලෝකෙම මොහොතක් නවතිනවා. ඉර එළිය අහස තව ටිකක් රත්තරන් පාට කරනවා.

pic- Peruvian Daisy, drawn with MS Paint




4 comments:

  1. හරි ලස්සන සටහනක්!!! ඉවසිලිවන්ත තාත්තෙකුයි, හුරුබුහුටි චූටි දුවකුයි...කොතරම් සුන්දරද ඒ උදෑසන.....



    මම කැමතිම පොතක කොටසක්!!! One could not count the moons that shimmer on her roofs, Or the thousand splendid suns that hide behind her walls.- Khaled Hosseini

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුණ!

      A Thousand Splendid Suns-මගෙත්!මම මේතරම් කල් කියවපු පොත් අතරින් කැමතිම පොත කියන්න පුළුවන්.

      Delete
  2. මේ කල්ප තත්පර තියනව නේද? මග හැරගන්න හොඳම නැති ජාතියක්, මොකද මග හැරුණොත් කල්පයක මතක සටහන්.... දුවල නම් ඔහොම්මම තමයි... තාත්තලට වැඩට යන්න තියනවා කියලා ගාණක්වත් නෑ.. :)

    චිත්‍ර ශිල්පය එන්න එන්නම දියුණු වෙනවා..., almost like a real one :)

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? එකම ප්‍රශ්නේ ඒක කල්ප තත්පරයක් කියලා තේරෙන්නේ ගෙවිලා ගියාට පස්සෙයි!තාත්තලාටත් ඉතින් දුවෙක් කිව්වොත් එහෙම ඉර හඳ ත් ගෙනත් දේවි, හරි නේද? :)

      චිත්‍ර ශිල්පය- thank you!මගේ කොල්ලා ත් කිව්වා 'You seem to be getting better at this Amma' කියලා!

      Delete