August 02, 2024

අන්තිම පත්‍රය



වොෂින්ටන් චතුරශ්‍රයෙන් බටහිර පෙදෙසේ මංමාවත් බොහෝ පැටලිලි සහගතය. ඒවා ඒ මේ අතට දිව යයි, ‘පෙදෙස්’ යැයි නම් කළ කොටස් වලට කැඩී යයි. මේ ‘පෙදෙස්’ ද නගරයට අමුතුම හැඩතල සහ කෝණ ලබා දී තිබිණි. මින් එක් මාවතක් නම් වට කීපයක් කැරකී දෙතුන් වතාවක් එයම කැපී යන සේ පිහිටා ඇත. වරක් එක් චිත්‍ර ශිල්පියෙක් මේ මාවතේ මෙවැනි සිදුවීමක් විය හැකි යැයි සිතුවේය. මුදල් නොමැති නිසා වෙළඳ සැලකින් චිත්‍ර ඇඳීමේ ආම්පන්න ණයට ගත් සිත්තරෙකු සිටී යයි උපකල්පනය කරන්න. ණයකරු සිත්තරාව සොයාගෙන මේ වීදිය දිගේ පැමිණියේ නම් ඔහුට ණය මුදල නොලබා ආපිට එන තමන්ව වුව මේ මාවතේදී මුණගැසිය හැක!

ඉතින් වැඩි කල් නොගොස් ග්‍රිනිච් විලේජ් යැයි නම් ලබා තිබුණු නගරයේ මේ අපූරු කොටස වෙත සිත්තරුන් පැමිණෙන්නට විය. ඔවුන් සෙව්වේ තමන්ගේ නිර්මාණ කටයුතු වලට ගැලපෙන, මනා සේ ආලෝකය ඇති උතුරු දෙසට හැරුණු ජනේලද, දහ අට වෙනි සියවසේ ආරට තැනුණු කුරිංචි වහලද, ඕලන්ද මෝස්තරයේ සොල්දර සහ මිළෙන් අඩු ගෙවල් කුළී ආදී දෑ ය. ඉනික්බිති ඔවුහු හය වන වීදියෙන් පිව්ටර් ලෝහ කෝප්ප ද, ව්‍යංජන දමන බඳුන් ද ගෙන්වාගෙන ඒ පෙදෙස ජනාවාසයක් බවට පත් කරගත් හ.

සූ සහ ජොන්සි ජීවත් වූයේ මෙහි නූස් තෙමහල් ගොඩනැගිල්ලක ඉහළම මහලේ වූ කුඩා නිවසක ය. ‘’ජොන්සි’ නම ජොආනා නමේ කෙටි ව්‍යවහාරය විය. මේ දෙදෙනාගෙන් එක් අයෙකු මේන් නගරයෙන් ද අනෙකා කැළිෆෝනියාවෙන් ද පැමිණ තිබිණි. අටවෙනි වීදියේ “ඩෙල්මෙනිකෝ’නම් අවන්හලකදී මුලින්ම හමුවූ මොවුහු, කතාබහේදී තමන් එකම වර්ගයේ කලා නිර්මාණ, චිකරි සලාද සහ ලොකු අත් දැමූ ගවුම් වලට කැමති බව සොයාගත් අතර පසු කලෙක දෙදෙනා එක නිවසක් කුළියට ගැනීමේ තීරණයට මේවා හේතු විය.

මේ පහුගිය මැයි මාසයේ දී ය.

ශීත කාලය එළඹෙද්දී ග්‍රීනිච් විලේජ් වෙත අමුතුම අමුත්තෙක් පැමිණියේ ය. දොස්තරවරු නියුමෝනියාව ලෙස හැඳින්වූ ඔහු, අයිස් මෙන් සීතල තම අතැඟිලි වලින් අතර මඟ දී හමුවන අය ස්පර්ශ කරමින් ජනපදය පුරා ඇවිද්දේය. මේ අමුත්තා නගරයෙන් නැගෙනහිර පෙදෙසේ එඩිතරව ඇවිද්දේ මහත් සෙනඟක් ගොදුරු කර අඩපණ කර දමමිනි. එහෙත් වංකගිරියක් සේ සැදුණු පටු මාවත් සහ පාසියෙන් හැඩ වූ ‘පෙදෙස්’ සහිත නගරයේ මේ කොටසේ ඔහු ඇවිද ගියේ හෙමි හෙමිනි.

නියුමෝනියා මහතා යහපත් ගති ඇති කරුණාවන්ත මහතෙක් නොවීය. කැලිෆෝනියාවේ මෘදු සුළඟ වැදී තුනී වූ ලේ සහිත, සිරුරෙන් කුඩා තරුණියක් ඔහු වැනි කලහකාරී, තදින් හුස්ම ගන්නා වියපත් මිනිසෙකුට ගැලපෙන ප්‍රතිමල්ලවයෙක් වූයේ නැත. නමුත් ජොන්සි ඔහුගේ ප්‍රහාරයට හසු වූවාය. ඉනික්බිති ඇය තම යකඩ ඇඳේ නිසොල්මන්ව වැතිර, කවුළුවෙන් එපිට යාබද නිවසේ ගඩොල් බිත්තිය දෙස බලාගත්වනම බලා සිටියා ය.

දිනක් කාර්යබහුල දොස්තරවරයා සූ ව කොරිඩෝව වෙත කැඳවූවේය.

“ඇගේ ජීවිතේ බේරීමේ සම්භාවිතාව දහයෙන් එකක් වගේ තමයි,” ඔහු තම අත වූ උෂ්ණත්වමානය සොලවමින් කීවේය. “ඒකත් ඈට ජීවත්වෙන්න උවමනාවක් තියෙනවා නම් විතරයි. අසනීප වුණාම මිනිස්සු මෙහෙම මල්ශාලා ගැනම හිතන්න ගත්තාම වෛද්‍ය විද්‍යාව විහිළුවක් වෙනවා. ඔයාගේ යාලුවා හිත හදාගෙන ඉන්නේ එයාට හොඳ වෙන්නේ නැහැ කියලා. එයාගේ හිතේ මොකක් හරි කරදරයක් තියෙනවද?”

“එයාට කවදාහරි නේපල්ස් වරායේ චිත්‍රයක් අඳින්න වුවමනා වෙලා තිබුණා.” සූ කීවා ය.

“චිත්‍ර? පුහ්! එහෙම නෙමෙයි, දෙසැරයක් හිතන්න වටින මොනවා හරි දෙයක් එයාගේ හිතේ තිබුණා ද? පිරිමියෙක් ගැන එහෙම?”

“පිරිමියෙක්?” සූ අසද්දී ඇගේ කටහඬේ යුදෙව්වන්ට ආවේනික උච්ඡාරණය පැහැදිලිව රැව් දෙනු ඇසිනි. “පිරිමියෙක් ගැන දෙසැරයක්- නෑ නෑ ඩොක්ටර්, එහෙම දෙයක් තිබුණේ නැහැ.”

“ඒක තමයි දුර්වලකම එහෙනම්,” දොස්තරවරයා කීවේය. “විද්‍යාවට කරන්න පුළුවන් හැම දේම මම කරන්නම්. හැබැයි මගේ ලෙඩෙක් තමන්ගේ අවමංගල පෙරහැරේ අශ්ව කරත්ත ගාන ගණන් කරන්න පටන් ගත්ත ගමන් මම මගේ බෙහෙත් වල ඇති සුව කිරීමේ ගුණයේ අනාවැකිය සීයට පනහකින් අඩු කරනවා. ඔයා කොහොමහරි කරලා එයාව ළඟ එන සීත ඍතුවට ගැලපෙන කබා මෝස්‌තර ගැන කතා කරන්න පෙළඹෙව්වොත් එයාගේ ජීවත් වීමේ සම්භාවිතාව පහෙන් එකක් දක්වා ඉහළ යාවි.”

දොස්තරවරයා යන්නට ගිය පසු සූ ඔවුන් චිත්‍ර අඳින කාමරයට ගොස් ජපන් කඩදාසි නැප්කිනයක් පෙඟෙන තුරු හැඬුවාය. ඉනික්බිති ඈ ජොන්සිගේ කාමරයට තම චිත්‍ර ආම්පන්න ද රැගෙන ගියේ කිසි බරක් පතලක් නැති ගමනින්, තාලයක් උරුවම් බාමිනි.

ජොන්සි කවුලුව වෙත මුහුණ හරවා වැතිර සිටියේ ඇඳේ රැල්ලක් වත් නොනඟා ය. ඈ නින්දේ පසු වේ යැයි සිතමින් සූ උරුවම් බෑම නැවත්වූවාය.

ඈ තම ආම්පන්න සකසාගෙන සඟරාවක් වෙත යැවීමට තීන්තයෙන් සිතුවමක් අඳින්නට විය. තරුණ සිත්තරුන් කලාව වෙත මං පාදා ගැනීම සඳහා තරුණ ලේඛකයන් සාහිත්‍යය වෙත මං පාදා ගැනීමට සඟරා වෙත එවූ කතන්දර වෙනුවෙන් සිතුවම් ඇඳිය යුතු ය. සූ මේ කතාවේ කතානායකයා වූ අයිඩහෝ ගොපල්ලාගේ සිතුවම ඇඳ, අශ්වයන් මත ගමනටම ගැලපෙන සේ ඔහු හැඳ සිටි අගනා කලිසම සිතුවම් කරද්දී ඇයට ඇඳ දෙසින් නොකඩවා නැඟෙන පහත් හඬක් ඇසුණි. ඈ වහා වහා ඒ අසලට ගියා ය.

ජොන්සි දෑස් අයාගෙන කවුළුවෙන් පිටත බලා ආපස්සට ගණන් කරමින් සිටියා ය.

“දොළහයි,” ඈ කීවා ය. ඉනික්බිති ටික වෙලාවකින් “එකොළහයි,” කී ඇය, “දහයයි, නමයි, අටයි, හතයි” යැයි එකවරම මෙන් කීවා ය.

මෙසේ ගණන් කිරීමට ඇත්තේ කුමක්දැයි සූ මහත් උනන්දුවෙන් කවුළුවෙන් එපිට බැලුවා ය. පහත පෙනෙන්නට තිබුණේ හිස්, මූසල ගෙවත්තකි. අඩි විස්සක් එපිටින් වූයේ යාබද නිවසක හිස් ගඩොල් බිත්තියයි. මුල කොටස දිරූ පැරණි අයිවි වැලක් මේ ගඩොල් බිත්තියේ මඟක් දුර පැමිණ තිබිණි. ශාරදයේ සීතල හුස්ම වැදී මේ වැලේ බොහෝ පත් ගිලිහී තිබුණු අත‍ර, නිරුවත් වීමට ආසන්න එහි ඉපල් අතු, කැඩී යමින් තිබුණු ගඩොල් අතරේ එල්ලී තිබෙනු පෙනුණි.

“මොකක්ද අනේ?” සූ ඇසුවා ය.

“හයයි,” ජොන්සි රහසින් මෙන් කීවා ය. “දැන් ඒවා ඉක්මණින් ඉක්මණින් වැටෙනවා. දවස් තුනකට කළින් එතැන සීයක් විතර තිබුණා. ඒවා ගනිද්දී මගේ ඔලුවත් රිදුණා. ඒත් දැන් ලේසියි. අන්න තව එකක් වැටුණා. දැන් ඉතිරි පහක් විතරයි.”

“මොනවා පහක් ද කෙල්ලේ? කියන්නකෝ මට”

“අර අයිවි වැලේ කොළ. අන්තිම කොළේ වැටුණාම මාත් යන්න ඕන. ඒ බව මම දවස් තුනක් තිස්සේ දැනගෙන හිටියා. ඇයි දොස්තර ඔයාට කිව්වේ නැද්ද?”

“මේ මොන විකාරයක්ද?” සූ කීවේ මනා සේ මවා ගත පිළිකුලෙනි. “මේ වැලක පරණ අයිවි කොළ වලයි ඔයාට සනීප වෙන එකෙයි මොකක්ද තියෙන සම්බන්දෙ? ඔයා හරි නරකයි, ඉස්සර මේ වැලට ඔයා හරි ආදරෙයි නේ. නිකම් පිස්සියෙක් වෙන්න එපා. මොනවද දන්නවාද දොස්තර උදේ කිව්වේ? එයා කිව්වා ඔට්ටු අල්ලන බාසාවෙන් කිව්වොත් ඔයාට හොඳ වෙන්න තියෙන ඉඩ දහයට එකක වාසියක් කියලා. ඒක නිකම් අපි ට්‍රෑම් එකක නැගලා නිව් යෝක් යන්න, එහෙම නැත්නම් අලුත් ගොඩනැගිල්ලක් පහු කරගෙන යන්න තියෙන සම්භාවිතාව වගේ. දැන් මේ කැඳ ටිකක් බොන්නකෝ. ඊටපස්සේ මේ සුඩී එයාගේ චිත්‍රෙ ඇඳලා ඉවරකරන්න ඕන. එතකොට එයාට පුළුවන් අර කතෘ මිනිහාට ඒක විකුණලා සල්ලි අරගෙන එයාගේ අසනීප දරුවාට පෝට් වයිනුත් කෑදර තමන්ට ඌරු මස් ගාතයකුත් අරගන්න.”

“ඔයා තව වයින් ගේන්න අවශ්‍ය වෙන එකක් නැහැ,” ජෝන්සි කීවේ තම දෑස කවුළුවෙන් එපිට රඳවාගෙනම ය. “අන්න තව එකක් වැටුණා. එපා, මට කැඳ ත් එපා. දැන් ඉතුරු හතරයි. කළුවර වැටෙන්න කලින් අන්තිම කොළෙත් වැටෙනවා මට බලන්න ඕන. ඊටපස්සේ මාත් යනවා.”

“ආදර ජොන්සි,” සූ ඈ වෙත නැඹුරු වෙමින් කීවා ය. “මට පොරොන්දු වෙනවද මම මේ වැඩේ කරලා ඉවර වෙනකම් ජනේලෙන් එළිය නොබලා, ඇස් දෙක වහගෙන ඉන්නවා කියලා. මම මේ චිත්‍ර ටික හෙට වෙද්දී දෙන්න ඕන. මට ඒකට ආලෝකය ඕන, නැත්නම් මම මේ පැලැල්ල පහත් කරනවා.”

“ඔයාට බැරිද එහා කාමරේ ඉඳන් චිත්‍ර අඳින්න?” ජොන්සි සීතල හඬකින් ඇසුවා ය.

“මම වඩාත් කැමතියි ඔයා එක්ක මෙතන ඉන්න,” සූ කීවාය. “අනික මම කැමති නැහැ ඔයා ඔය විකාර අයිවි කොළ දිහා බලනවාට.”

“එහෙනම් ඔයා ඉවර වුන ගමන් මට කියන්නකෝ,” කී ජොන්සි දෑස් පියාගෙන නිසොල්මන් වූවේ බිමට ඇද වැටුණු පිළිමයක් ලෙසිනි. “මට ඒ අන්තිම කොළයත් වැටෙනවා බලන්න ඕන. මට දැන් බලාගෙන ඉඳලා මහන්සියි. මට කල්පනා කරලාත් මහන්සියි. මට හැමදේම අත ඇරලා අර මහන්සිය නිසා වැටිලා යන අසරණ කොළ වගේ පහතට පාවෙලා යන්න ඕන.”

“දැන් නිදාගන්න උත්සාහ කරන්නකෝ,” සූ කීවාය. “මම දැන් යන්න ඕන බර්හ්මන් ට කතා කරලා මට පතල් කාරයාගේ චිත්‍රෙ අඳින්න එයාට ඒ චරිතේ අනුරුවක් හැටියට ඉන්න පුළුවන් ද අහන්න. මම විනාඩියෙන් එනවා, මම එනකම් හෙල්ලෙන්න එපා.”

බර්හ්මන් ඔවුන්ට පහත මාලයේ විසූ වයස්ගත චිත්‍ර ශිල්පියෙකු විය. වයස හැටත් පසු කරමින් සිටි ඔහුට මයිකල් ආන්ජලෝගේ චිත්‍රයේ මෝසස්ට වැනි කැරළි සහිත යටි රැවුලක් තිබිණි. නරාශ්වයෙකුගේ වැනි හිසක් තිබුණත් ඔහුගේ සිරුර කුඩා බහිරවයෙකුගේ වැනි විය. බර්හ්මන් කලාවේ පරාජිතයෙකි. හතලිස් වසරක් තිස්සේ ඔහු පින්සල් හරඹ කළත් කලාවේ දෙවඟනගේ දිගු ගවුමේ වාටිය ස්පර්ශ කිරීමටවත් ඔහුට හැකි වී නැත. හැම විටම ඔහු විශිෂ්ඨ කළා නිර්මාණයක් බිහි කිරීමට සූදානම් ව සිටියත් කිසි දිනක ඒ කාර්යය ආරම්භ කර නොතිබුණි. වසර ගණනක් පුරාවටම ඔහු ඉඳහිට වෙළඳ දැන්වීමක් වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කළා මිස වෙන කිසිම චිත්‍රයක් ඇඳ තිබුණේද නැත. ජනපදයේ තරුණ සිත්තරුන්ට චිත්‍ර ඇඳීමට වෘත්තීය ලෙස පෙනී සිටින මිනිස් අනුරුවක් වෙනුවෙන් ඉහළ මිළක් ගෙවීමට නොහැකි නිසා ඔහු ඒ කාර්යය කර දී යම් මුදලක් ඉපයුවේය. වුවමනාවට වඩා ජින් පානයට ලැදි වූ ඔහු නිතරම කතා කළේ බිහිවන්නට නියමිත තම විශිෂ්ඨ කලා නිර්මාණය ගැනයි. අන් අය ඔහුව දුටුවේ දෙවෙනි මහලේ විසූ තරුණ සිත්තරියන් දෙදෙනා ව ආරක්ෂා කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් ව සිටින, අනුන්ගේ දුර්වලකම් ගැන අවඥාවෙන් සලකන සැර පරුෂ කුඩා වයසක මිනිසෙකු ලෙසයි.

සූ යද්දී ඔහු පහත මාලයේ තම කුටියේ අඩ අඳුරේ සිටි අතර ඔහු වෙතින් ජුනිපර් බෙරී සුවඳක් තදින් වහනය විය. ඔහුගේ කුටියේ එක් කෙළවරක හිස් කැන්වසයක් තිබුණේ ඔහු විසිපස් වසරක් තිස්සේ බලා සිටින විශිෂ්ඨ නිර්මාණයේ නිමිත්ත එළඹෙන තුරුයි. ජොන්සිගේ හිතළුව ගැන ඔහුට විස්තර කළ සූ, ඇයත් නොබෝ දිනකින් ලෝකය අතහැර පත්‍රයක් ලෙසටම දුර්වල ව, සැහැල්ලු ව පාව යනු ඇතැයි තමන්ට ඇති බිය ගැන පැවසුවාය.

මෙවැනි විකාර රූපී මනස්ගාත ගැන තමන්ගේ ඇති පිළිකුලත් අවඥාවත් ගැන බර්හ්මන් කෑ ගසා කීවේ බමන මතින් රත් පැහැ වූ තම දෑසින් කඳුළු වැගිරෙද්දී ය. “මොන විකාරයක්ද?” ඔහු කෑ ගැසුවේය. “වැලකින් කොළ වැටුණා කියලා මිනිස්සු මැරෙනවා කියලා හිතන්න තරම් මෝඩයෝ ඉන්නවාද? මම එන්නේ නැහැ තමුන්ගේ චිත්‍ර ඇඳිල්ලට පෙනී ඉන්නත්, තමුන්ට බැරි වුණා මේ විකාරවලින් යාලුවාව බේරාගන්න. පවු අසරණ ජොන්සි මිස්!”

“ඈට බොහොම අසනීපයි, ඒ වගේම ඈ දුර්වලයි.” සූ කීවාය. “උණ විකාරය නිසා එයාට මේ වගේ අමුතු දේවල් හිතෙනවා. කමක් නැහැ බර්හ්මන් මහත්තයා, මගේ චිත්‍රයට පෙනී ඉන්න ආවේ නැතිවාට කාරි නැහැ, මම නම් හිතන්නේ තමුන් මහා නරක නාකි මිනිහෙක් කියලා.”

“කවුද දැන් එන්න බැහැ කිව්වේ?” බර්හ්මන් කෑගසන්නට විය. “හරි හරි මම එන්නම්, මේක අසනීප ජොන්සි මිස් ට ඉන්න සුදුසු තැනක් නෙමෙයි. මම කවදාහරි මගේ හොඳම චිත්‍රය ඇන්ද දවසට අපි ඔක්කොම මෙහෙන් යමු, දෙවියනේ ඇත්තටම යමු!”

ඔවුහු ඉහල මාලයට යද්දී ජොන්සි නින්දට වැටී සිටියා ය. සූ කවුළුවේ පැලැල්ල පහත් කර බර්හ්මන්ට අනෙත් කාමරය වෙත එන්නට සන් කළා ය. මෙහි සිට ඔවුහු බියපත් දෑසින් කවුළුවෙන් එපිට අයිවි වැල දෙස බලා නිහඬව එකිනෙකා දෙස බැලූහ. හිම ද මුසු වූ නොනවතින වැස්සක් ඇද වැටෙමින් තිබිණි. බර්හ්මන් සූ ගේ චිත්‍රය වෙනුවෙන් පතල්කරුවෙකුගේ අනුරුවක් වන්නට යටිකුරු කරන ලද කේතලයක් මත වාඩි විය.

පසුදා උදයේ පැයක නින්දෙන් පසු අවදි වූ සූ දුටුවේ කවුළුවේ පැලැල්ල වෙත අයාගත් උදාසීන දෑසින් බලා සිටින ජොන්සි ගේ රුවයි.

“මේක අයින් කරන්න, මට බලන්න ඕන” ඈ රහසින් අණ කළා ය.

සූ වෙහෙසුණු මනසින් යුතුව ඒ අණ පිළිපැද්දා ය. පසුගිය රාත්‍රිය පුරාවටම ඇද හැලුණු මහා වැස්සත් හැමූ වියරු සුළඟත් ඉවසාගෙන එකම එක අයිවී පතක් බිත්තිය අද්දර පෙනුණි. එය වැල මත වූ අවසාන පත්‍රය විය. එහි නටුව අසල තවමත් කොළ පැහැති ව පෙනුණු අතර දාර යන්තමින් කහ පැහැති වී තිබිණි. පොළොවෙන් අඩි විස්සක් පමණ උසකින් වූ එය, එඩිතරව වැල මත එල්ලී සිටියේය.

“මේ අන්තිම කොළය,” ජොන්සි කීවාය. “ඊයේ රෑ හුළඟ හමනවා මට ඇහුණා. මම නම් හිතුවේ මේක ඊයේ වැටෙයි කියලා. අද වැටෙයි, ඒ වෙලාවටම මාත් මැරෙයි.”

“අනේ අනේ!” සූ ජොන්සි වෙත නැඹුරුවෙමින් කීවාය. “ඔයාට තමන් ගැන හිතන්න බැරි නම් මං ගැන හිතන්න. එතකොට මම මොකද කරන්නේ?”

එහෙත් ජොන්සි පිළිතුරු දුන්නේ නැත. කෙනෙක් මේ මායාකාරී දුර ගමනට සූදානම් වීම මහත් සේ තනිකම දනවන ක්‍රියාවකි. මේ ගමනේ අරුමෝසම කෙතරම් ඇගේ සිත් ගෙන තිබිණිද යත් ඇගේ ජීවිතයේ වූ සෙසු මිතුදමේ බැමි බුරුල් වූවා සේ විය.

ඒ දවස ගෙවී ගියේ ය. අන්තිම අයිවී පත්‍රය බිත්තිය අද්දර එල්ලී ඇති අයුරු සැන්දෑ අඳුර අතරින් පවා ඔවුන්ට පෙනුණි. ඒ රාත්‍රියේ නැවතත් උතුරු සුළඟ වියරුවෙන් හැමූ අතර වර්ෂාව කවුළුවට පහර දෙනු ඇසිණි. පසු දින උදා වූ විගස කවුළුවේ පැලැල්ල විවර කරන ලෙස ජොන්සි සිත් පිත් නැති ලෙස අණ කළා ය.

එහෙත් අයිවි පත එලෙසම තිබිණි.

ජොන්සි බොහෝ වෙලාවක් ඇඳේ වැතිර ඒ දෙස බලා සිටියා ය. ඉනික්බිති ඈ උදුන අසල කුකුල් මස් සුප් හැඳි ගාමින් සිටි සූ ට කතා කළා ය.

“මම හරි නරක කෙල්ලෙක් සූඩී,” ජොන්සි කීවා ය. “මම කොයි තරම් නපුරු ද කියලා ඔප්පු කරන්න මොකක් හරි බලවේගයක් නිසා අර අන්තිම කොලය ඉතිරිවෙලා. මැරෙන්න හිතෙන එක පවක්. මට දැන් සුප් ටිකක් ගේන්න. ඊටපස්සේ කිරි වලට පෝට් වයින් ටිකක් දාලා ගේන්න- නැහැ මුලින්ම මට අර පොඩි කණ්නාඩිය ගේන්නකෝ. ඊටපස්සේ මගේ කොට්ට ටික ටිකක් උස්සන්න, මම ඇඳේ වාඩිවෙලා ඔයා උයන හැටි බලාගෙන ඉන්නම්.”

ඉන් හෝරාවකට පසු ඈ මෙසේ කීවාය

“සූඩී මගේ බලාපොරොත්තුවක් තියෙනවා කවදාහරි නේපල්ස් වරායේ චිත්‍රයක් අඳින්න.”

ඒ හවස්වරුවේ දොස්තර පැමිණියේය. “දැන් ඈ ජීවත්වීමේ සම්භාවිතාව පනහට පනහයි. හොඳට හෙදකම කළොත් ඔයා දිනන ලකුණු තියෙන්නේ.” ඔහු කොරිඩෝවේදී සූ ගේ දුර්වල වෙව්ලන අත අල්ලා කීවේය. “දැන් මම යන්න ඕන පහල තට්ටුවේ තව ලෙඩෙක් බලන්න. බර්හ්මන් කිව්වා එයාගේ නම, සිත්තරෙක් ලු. එයාටත් නියුමෝනියාව. වයසයි දුර්වලයි නිසා එයාගේ නම් තත්ත්වේ බරපතලයි, බේරගන්න බැරි හැඩයි, ඒත් වැඩි සුවපහසුව වෙනුවෙන් අද ඉස්පිරිතාලෙට ගෙනියනවා.”

ඊට පසු දිනයේදී දොස්තර සූ ට මෙසේ කීවේය. “ඔයාගේ යාලුවා ගැන බය වෙන්න දෙයක් නැහැ, ඔයා දිනුවා. හොඳට කෑම බීම දීලා බලාගන්න, එච්චරයි.”

ඒ හවස්වරුවේ සූ, ජොන්සි ඇඳේ වාඩිවී සාළුවක් ගොතමින් සිටි තැනට පැමිණ ඈ වැළඳ ගත්තාය.

“පුංචි සුදු මීයෝ, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. අද බර්හ්මන් මහත්තයා නිවුමෝනියාව හැදිලා ඉස්පිරිතාලේදී නැතිවුණා. එයා අසනීපෙන් හිටියේ දවස් දෙකයි. ගොඩනැගිල්ල පිරිසිදු කරන මනුස්සයා තමයි එයා කාමරේ වේදනාවෙන් ඉන්දැද්දී හොයාගෙන තියෙන්නේ. එයාගේ ඇඳුම් සපත්තු එහෙම තෙතබත් වෙලා ලු තිබුණේ. කාටවත් හිතාගන්න බැරි වෙලා එයා ඒවගේ සීතල වැස්ස දවසක කොහේ ගියාද කියලා. ඊටපස්සේ එයාලා දැකලා එළියේ ඒ වෙද්දීත් පත්තු වෙන ලන්තෑරුමකුත්, ඉනිමගකුත්, කොළ කහ පාට මිශ්‍ර කළ චිත්‍ර අඳින පලත්තකුත් තියෙනවා. අර බලන්න අර බිත්තියේ අන්තිම අයිවි කොලය දිහා. ඒක එක වතාවක් වත් හුළඟට හෙලවුණේ නැත්තේ ඇයි කියලා ඔයාට හිතුණා ද? ඒක තමයි බර්හ්මන්ගේ විශිෂ්ඨ කලා නිර්මාණය. ඒ වැලේ අන්තිම කොලය වැටුණු දවසේ එයා බිත්තියේ ඔය චිත්‍රය ඇඳලා.”


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of the short story ‘The Last Leaf’ by O. Henry

සිසිල සඟරාව- අගෝස්තු 2024 කලාපය 
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

digital art 

පසු සටහන - මේ කතාව හොයාගන්න ඔත්තුව දුන්න ප්‍රවීණ බ්ලොග් රචක රවී වීරසිංහ තුමා ට ස්තූතියි.

12 comments:

  1. //දොස්තරවරයා යන්නට ගිය පසු සූ ඔවුන් චිත්‍ර අඳින කාමරයට ගොස් ජපන් කඩදාසි නැප්කිනයක් පෙඟෙන තුරු හැඬුවාය. ඉනික්බිති ඈ ජොන්සිගේ කාමරයට තම චිත්‍ර ආම්පන්න ද රැගෙන ගියේ කිසි බරක් පතලක් නැති ගමනින්, තාලයක් උරුවම් බාමිනි.//
    එහෙම තමයි කවුරු හරි හිතාගන්නේ "මම මේක කරනවාමයි" කියල
    එහෙම නේද.....?
    චිත්‍රයෙ ලස්සන..........................!

    ReplyDelete
    Replies
    1. thank you Kumudu!
      අපිත් සමහර වෙලාවට නැප්කින් පෙඟෙනකම් අඬලා ඊටපස්සේ උරුවම් බාමින් ඉන්න මිනිස්සුනේ නේද?

      Delete
  2. Replies
    1. ස්තූතියි නවීන්!

      Delete
  3. +++++++++++++++++++++++++++++++++++++++👌🙏💐😁
    පස්සෙ ආයෙ එන්නං

    ReplyDelete
  4. අපි හැමෝගෙම “විශිෂ්ඨ කලා නිර්මාණය“ තව කෙනෙක්ගෙ යහපත වෙනුවෙන් කරපු දෙයක්ද ඒ කියන්නෙ.

    For the sake of both සූ and බර්හ්මන්, මම නම් කැමතියි කතාව win-win විදිහට ඉවර වුණා නම්. තවත් කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න අපි ඔය තරම්ම රිස්ක් එකක් ගන්න ඕනෙද. සාමාන්‍ය ජීවිතේ නම් මම නිතරම දකින්නෙ අනිත් අය ගැන හිතන්නෙ නැතුව කාගෙන ඉස්සරහට යන අය. අනිත් අය ගැන හිතන අය හුඟක් වෙලාවට ජීවිතේ පිටිපස්සෙන්. බැලන්ස් එක කොතනද කියලා හිතාගන්න අමාරුයි.

    මම වැඩියෙන්ම කැමති “මම කවදාහරි මගේ හොඳම චිත්‍රය ඇන්ද දවසට අපි ඔක්කොම මෙහෙන් යමු, දෙවියනේ ඇත්තටම යමු!” කොටසට. බර්හ්මන් ඒක කියන විදිහ මැවිලා පේනවා. යමක් කරන්න ඕනෙමයි කියලා තද අධිෂ්ටානයකින් ඉන්නකොට සමහර වෙලාවට එන childish, මෝඩ ගතිය එතනින් හොඳට පෙන්වනවා.

    "දොස්තරවරු නියුමෝනියාව ලෙස හැඳින්වූ ඔහු, අයිස් මෙන් සීතල තම අතැඟිලි වලින් අතර මඟ දී හමුවන අය ස්පර්ශ කරමින් ජනපදය පුරා ඇවිද්දේය". නියුමෝනියාව චුට්ටක් විතර 'humanize' කරලා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් Lotus, මේකේ බර්හ්මන් ගේ වැඩේ පොඩ්ඩක් dramatic වැඩියිත් එක්ක නේද? මේ වගේ සම්භාව්‍ය ලේඛකයන්ගේ කතාවල ඔය වගේ මොකක් හරි ඛේදාන්තයක් තියෙනවාම නේ. හැබැයි ජෝන්සි වගේ මැරෙන්න හිත හදා ගත්ත අයව බේරාගන්න බැරි කතාව නම් මාත් අහලා තියෙනවා. //තමන්ගේ අවමංගල පෙරහැරේ අශ්ව කරත්ත ගාන ගණින අය//
      'නියුමෝනියා මහතා!' සෑහෙන්න නම්බු දීලා එයාට :D

      Delete
  5. බර්හ්මාන් ගෑවෙන කොටම මට හිතුණ ඔය වගේ මොකක් හරි ජල්බරියක් තමා අන්තිමට වෙන්නෙ කියල.

    අන්තිම කොලේ වැටෙන්නෙ නැතිව තියෙනකොට වැඩේ කන්ෆර්ම්.

    ඇත්තටම ඔය ක්ලැසික් ලිට්රිච වල මනුස්සයෙක්ව නොමරා ඉවර කරන්නම බැරිද.. 🤷🤷🤷
    නිකං සුඛාන්තයක් කියලත් දුඛාන්තයක් කියලත් කියන්න බැරි හරි මූසල හිත් අවසානයක් තමා දැනෙන්නෙ.

    සමහර විට බර්හ්මාන් ගෙ කැපකිරීම උත්කර්ෂවත් කරන්න මනුස්සයව මරල දැම්මද දන්නෑ.

    පරිවර්තනය නම් නියමයි හැමදාම වගේ.
    🥰🥰🥰❤❤❤

    ReplyDelete
    Replies
    1. Thank you Mahesh
      මටත් ඕකම හිතුණා. බර්හ්මාන් ව මරන්නේ නැතිව නියුමෝනියාවෙන් විතරක් කතාව ගොඩ දාන්න තිබ්බා. ඒත් එතකොට සම්භාව්‍ය මදිද දන්නේ නැහැ!

      Delete
  6. ආයෙ ආවා. කියෙව්වා . නියමයි.
    ඔහොම විශිෂ්ඨ කලා නිර්මාණයක් කරන්න, ඊසල් එකක් ලෑස්ති කරගෙන ඉන්න තවත් හාදයෙක් ඉන්නවා. හැබැයි එයාගෙ නම "බර්හ්මාන්" නං නෙමෙයි.🤔

    අර වට කීපයක් කැරකී දෙතුන් වතාවක් එයම කැපී යන සේ පිහිටා ඇති මාවතේ කොටසයි ණය කාරයෙගෙ කෑල්ලයි නියමයි.🙏💐👌

    ReplyDelete
    Replies
    1. Thank You බස්සා!
      කවුද දන්නේ නැහැ නේද ඒ වෙන්ඩ කලාකරු? :D
      අයියෝ ඒ පාරවල් ටික ගැන විස්තරේ පරිවර්තනය කරන්න මාත් වට කීපයක් ගියා. එහෙම යද්දී ඒක ගොඩ දාගන්න බැරිව ඔලුව කස කස ආපහු එන මාවම හම්බවුණා! :D

      Delete