August 22, 2024

Book Week 2024

අගෝස්තු මාසේ තුන්වෙනි සතිය කියන්නේ ඕස්ට්‍රේලියාවේ පාසල්වල 'Book Week' හෙවත් පොත් සමරන සතිය. මේ සතිය බොහෝ වෙලාවට සංවිධානය කරන්නේ ඉස්කෝලවල පුස්තකාලවලින්. මේ රටේ ප්‍රාථමික පාසල්වල පවා සම්පත් බහුල පුස්තකාල තිබීම විශේෂත්වයක්. ඉතින් පුංචි කාලේ ඉඳන් දරුවන් තුළ ඇති කියවීමේ ආසාව සමරන්න හොඳම කාලයක් මේ Book Week එක. 

මේ සතියේදී පාසල්වල විවිධ වැඩසටහන් සංවිධානය කෙරෙනවා. පොත් කතුවරු අමුත්තන් හැටියට ගෙන්වලා සකච්ඡා, වැඩමුළු පවත්වනවා, පොත් සල්පිල්, ප්‍රදර්ශන, පොත් ගැන පුංචි තරඟ තියෙනවා. ඒ වගේම මේ සතියේ දවසක ඉස්කෝලවල book week parade එකක් තියෙනවා. එදාට ළමයින්ට පොතක තමන් කැමතිම චරිතයක් විදිහට ඇඳගෙන එන්න පුළුවන්. ගුරුවරුත් මේ විනෝදයටම එකතු වෙලා පොත් වල චරිත වගේ ඇඳගෙන එනවා. ඉන්පස්සේ පාසල් රැස්වීමක තමන් ආස පොත් ගැන කතුවරු ගැන හැමෝම අදහස් බෙදාගන්නවා. ඇත්තටම ඒක හරි රසබර අත්දැකීමක්.

Children's Book Council of Australia (CBCA) එකෙන් මේ සතියට සමාන්තරව සම්මාන උළෙලක් පවත්වනවා. එයින් හොඳම ළමා පොතට, යෞවන වයසේ දරුවන්ට ලියවුණු පොත් අතරින් හොඳම පොතට, හොඳම පොත් චිත්‍ර නිර්මාණ ශිල්පියාට වගේ විවිධ අංශවලින් ජයග්‍රාහකයෝ තෝරනවා. ඒ වගේම හැම අවුරුද්දකම Book Week එකට අදාළ තේමා පාඨය තීරණය කරන්නෙත් CBCA එකෙන්. මේ අවුරුද්දේ ඒ පාඨය 'Reading is Magic'. පාසල්වල Book Week උත්සව සංවිධානය කරද්දී මේ තේමාව උදව්වට ගන්නවා. 

මම රැකියාව කරන්නේ ද්විතියික පාසලක පුස්තකාලයක නිසා අපි Book Week සමරන්නේ තරමක් සාහිත්‍යමය පැත්තට බර වෙන්න. පාසලේ විවිධ වසරවලට නිර්දේශිත කියවීම් පොත් ලියූ කතුවරු මේ සතියේ පාසලට ගෙන්වන්න අපි මහන්සි වෙනවා. එයාලාගේ කතාබහ අහද්දී, වැඩමුළු වලට සම්බන්ධ වෙද්දී පාසලේ සිසුවියන්ට ඒ ලිවීම් රටා ගැන, ලිවීමේ ක්‍රමෝපායන් ගැන වඩාත් හොඳ අවබෝධයක් ලැබෙනවා. එයාලට ඒ කතුවරුන්ගෙන් ප්‍රශ්න අහන්න, එයාලා එක්ක තර්ක කරන්න ඉඩකඩ ලැබෙනවා. Book Week එකේ අන්තිම දවස අපි වෙන් කරන්නේ පාසලේ සිසුවියන්ගේ ලේඛන නිර්මාණ බෙදාගන්න අවස්තාවක් දෙන්න. එදාට පුස්තකාලයෙන් open mic event එකක් සංවිධානය කරනවා. දරුවන්ට තමන් ලීව කවි කතා ඉදිරිපත් කරන්න, ඒවා ගැන කතාකරන්න ඒක හොඳ අවස්තාවක්. ඒ වගේම නිර්මාණකරණයේ යෙදෙන ගුරුවරුත් එදාට එයාලගේ නිර්මාණ දරුවන් එක්ක බෙදා ගන්නවා.

ඉතින් මෙහෙමයි ඕස්ට්‍රේලියාවේ අපේ Book Week ගතවෙන්නේ. පොත් කියවීම අපි එදිනෙදා හැමදාම කරන දෙයක් වුණත් පොත් සමරන්න මේ විදිහට සතියක් ලැබෙන එක හරිම සුවිශේෂී දෙයක්. 

Author - Wendy Orr

Caroline Jane Knight- Fifth great niece of Jane Austen

Author - Maxine Beneba Clarke



10 comments:

  1. අපේ පාසල් වල ළමයින්ට මේ අවස්ථාව නැහැ
    ඇයිද මන්දා
    ළමයින්ටත් පොත් කියවන්න වෙලාව නැහැනේ ඉතින්
    අර පන්තියයි................මේ පන්තියයි
    ගොඩක් අම්මලාත් ළමයි පොත් කියවනවට විරුද්දයි
    පොත් කියවිල්ලෙන් මොනතරම් වටිනාකමක් එක්වෙනවද කියල උගන්නන්න කෙනෙක් ඉන්නවනම්

    ReplyDelete
    Replies
    1. ඒක නම් හරිම අපරාධයක් නේද කුමුදු? අපි ඇති වෙන්න පොතුත් කියෙව්වා, විබාගත් පාස් වුණා. දැන් තියෙන තරඟය තරම්ම නැතත් ඒ කාලෙත් තරඟේ තිබ්බා. අලුත් පරම්පරාව කරන කියන දේවල් දැක්කාම බයත් හිතෙනවා, පුදුම විදිහට පසුගාමී අදහස් තියෙන්නේ.

      Delete
  2. හ්ම්.....මේක කියවලා සතුටක් වගේම දුකකුත් දැණුනා.☹️
    🙏👌💐

    ReplyDelete
    Replies
    1. ඔව් බස්සා, මෙහෙම දේවල් සංවිධානය කරන්න සම්බන්ධ වෙන්න ලැබීම ඒවායේ ප්‍රතිපල දකින්න ලැබීම මටත් සතුටක්. ඒත් මේ වගේ වැඩසටහන් කරන්න ලංකාවේ ක්‍රමයක් නැති එක දුකක්. මේ සංකල්පයට අනුව පොත් සහ කියවීම ආශ්‍රිතව වැඩසටහනක් කරන්න ලොකු වියදමක් යන්නේ නැහැ. ඒත් ඒවායින් ලැබෙන ප්‍රතිපලය විශාලයි.
      මම මේ සටහන බෙදා ගත්තාම නිට්ටඹුවේ යටියන කනිෂ්ඨ විදුහලේ ගුරුවරියක් වන ජයලිය ජයසේකර මහත්මිය තමන්ගේ පාසලේ කළ කියවීම් කඳවුරු කීපයක් ගැන වටිනා ආරංචියක් ලැබුණා. ආකල්පමය වෙනසකින් විතරක් මේ වගේ දේවල් බොහොම සාර්ථකව කරන්න පුළුවන් බවට ඒක සාක්කියක්.

      Delete
    2. පාසැල් අධ්‍යාපනය වට්ටෝරු ගතවී, වානිජකරණය වී ඇති යුගයක එවැනි ගුරු මාතාවන් තවමත් ඉන්නා බව ඇහන ලැබීමත් සතුටක්. 👌💐🙏

      Delete
  3. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන කණගාටුවක් තමා දැනේනනෙ

    ReplyDelete
    Replies
    1. ඔව් - කොයිතරම් දක්ෂයෝ ඉන්න රටක්ද!

      Delete
  4. මලී හා බස්සාගෙ සංවාදයේදී කියවුණු විදිහට ඇත්තටම ලොකු වියදමක් යන්නෙ නෑනේ මේවගේ දේවල් කරන්න. පොතක තමන් කැමති චරිතයක් විදිහට අඳගෙන එන එක වුණත් ලොකූ වියදමක් යන දෙයක් නෙවෙයිනෙ, ගෙදර තියෙන දේවලින් කරගන්න පුලුවන්. නමුත් ඒ හරහා පොඩි අයට ලැබෙන creative inspiration එක කොයි තරම් වටිනවද.

    ReplyDelete
    Replies
    1. Lotus- ඔව් ඇත්තටම මෙහෙ සමහර ප්‍රයිමරි ඉස්කෝල වල වියදම් කරලා costumes හදන එක වළක්වන්න හොඳම 'ගෙදර හදපු' costume එකට පොඩි තෑග්ගක් දෙනවා මං දැකලා තියෙනවා. ඉතින් කාඩ්බෝඩ් වලින් කපපු අත්තටු, ලී කඩු, කඩදාසි pirate තොප්පි එහෙම එතකොට හැමතැනම දකින්න තියෙනවා. මේවා ඇඳන් යද්දී පොඩි උන්ගේ සන්තෝසේ තමයි මිළ කරන්න බැරි. එයාලා එදාට ඒ චරිතේ ඇතුලේ ජීවත් වෙනවා.

      ඇත්තටම නම් ළමයින්ගේ හිත් ඇතුළේ අපූරු ෆැන්ටසි ලෝකයක් තියෙනවා. පොත් වලින්, මේ වගේ වැඩසටහන් වලින් ඒවාට පණ දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධික තරඟය, අනෙකාව පරදන්න පොඩි කාලේ ඉඳන් පුරුදු කිරීම වගේ දේවල් වලින් ඒවා මරල දාන්නත් පුළුවන්.

      Delete
  5. මෙහෙ විශ්විද්‍යාලවල පුස්තකාලවල නම් මානව පුස්තකාල සංකල්පය යටතේ මෙහෙම කතුවරු ගෙන්වලා සිසු සිසුවියන්ට සාකච්ඡා කරන්න ඉඩහසර සලසා දෙනවා. පාසල්වල නම් මා දන්නෙ නැහැ එහෙම වෙනවද කියා. ඉතා වටින සංකල්පයක්!

    ReplyDelete