June 20, 2024

හොල්මන් ගුහාවට වෙච්ච දේ!


වෙසක් පොසොන් කාලේ ලංකාවේ නම් හැම හන්දියකම දන්සැල් මතු වෙනවානේ. දන්සැල් 'වඳිනවා'කියන්නේ වෙනමම සබ්ජෙක්ට් එකක්. මේ වතාවේ ලංකාවේ ගංවතුර තිබුණු නිසා දන්සැල් වල දෙන ජාතිත් ඒවා හදන ක්‍රම ගැනත් PHI මහත්තුරු වැඩියෙන් අවධානය යොමුකරනවා කියලා ආරංචි වුණා.

දන්සැල් වලට අමතරව මේ කාලෙට සංවිධානය කෙරෙන ආගමට සම්බන්ධයක් නැති දේවල් දෙදාස් ගණන් වල මුල කාලේදී යම් තහනමකට ලක් වුණා කියලා මතකයක් තියෙනවා. ඒ කියන්නේ ඔය ඔලු බක්කෝ නටනව වගේ දේවල්. ඒ වගේම දැන් දැන් බුද්ධාගම ගැන අලුත් සැලකිල්ලක් තියෙන නිසා වෙසක් පොසොන් කාලවලට හොල්මන් ගුහාවල්, අපායවල් වගේ දේවලුත් නැවතිලාද කියලා මම නම් දන්නේ නැහැ. මතක ඇති කාලෙක වෙසක් පොසොන් කාලෙට ලංකාවේ නොහිටිය නිසා මේවා ගැන අප්ඩේටඩ් නැහැ.

ලංකාවේ අපේ පළාතේ නම් හොල්මන් ගුහා තහනම් වුණේ ඒ කාලෙමයි. ඒක වුණේ මෙහෙමයි.

එක වෙසක් පෝයකට අපේ පැත්තේ මල්ලිලා සෙට් එකක් හොල්මන් ගුහාවක් හදන්න ලෑස්ති වුණා. මේක ටවුමට කිට්ටුව ලෑස්ති කළ නිසා ටවුමේ තොරණ බලන්න එන සෙනඟ මේකත් බලන්න එයි කියලා තමයි ප්ලෑන් කළේ. ඉතින් වට පිට ඇවිදලා ආධාර එහෙම හොයාගෙන කොල්ලෝ ටික වැඩේට බැස්සා. එක මල්ලි කෙනෙක්ගේ ගෙදරට ඉස්සරහ තිබුණු හිස් ඉඩමේ තමයි මේ ප්‍රොජෙක්ට් එක කෙරුණේ. මෙයාලා කළු ඉටිකොළ වලින් සැහෙන්න දුරට වංගු සහිත ගුහාවක් හදලා, ඒකෙ තැන තැන ඉඳන් නරඹන්නන්ගේ ඇඟට පනින්න වෙස්මූණු දාපු යක්ෂයෝ භූතයෝ ලෑස්ති කළා. ඒ වගේම යටිගිරියෙන් කෑ ගහන සද්ද රෙකෝඩ් කරලා ගුහාවේ තැනින් තැන ඇහෙන්න ස්පීකර් හයිකරන්නත් මේ කොල්ලෝ කුරුට්ටෝ අමතක කළේ නැහැ. මීට අමතරව දෙමව්පියන්ට කණිපින්දම් කියලා එයාලගේ ඇඳිරුම්කම් හරහා මෙයාලා මල් ශාලාවකින් මිනී පෙට්ටියක් පවා හොයාගෙන තිබුණේ ඒකේ මිනියක් වගේ කවුරුහරි වැතිරිලා ඉන්නත් ප්ලෑන් කරමින්. මේ වියදම් කවර් කරන්නත් හදිසියෙවත් ලාබයක් ලැබුණොත් කියලා හිතලාත් හොල්මන් ගුහාවට ඇතුල්වෙන දොරටුවෙන් ටිකට් එකකුත් කඩන්න තමයි නියමිතව තිබුණේ. ඉතින් පලවෙනි දවසේ ඇඳිරි වැටෙද්දී නමෝ විත්තියෙන් කොලු නඩය කළු ඇඳුම් ඇඳලා බය හිතෙන වෙස් මූණු දාගෙන එහෙම ලෑස්ති වුණා. එක කොලුවෙක් අත් දිග සුදු ෂර්ට් එකක්, කළු කලිසමක් එහෙම ඇඳලා මූන සුදු වෙන්න පවුඩර් උලාගෙන අර මිනී පෙට්ටියේ වැතිරිලා හිටියා. එයාට භාරව තිබුණේ, කළුවරේ එතැනින් කවුරු හරි යද්දී එකපාරට නැගිටලා පෙට්ටිය ඇතුළේ ඉඳගන්න.

ඉතින් මෙයාලා හිතුව විදිහටම හොල්මන් ගුහාව ගැන ආරංචිය ලැව් ගින්න වගේ පැතිරිලා තිබුණු නිසා පලවෙනි දවසෙම හොල්මන් ගුහාවේ ඇතුල්වීමේ දොරටුව ළඟ දිග පෝලිමක් තිබුණා. මුල ඉඳන්ම වැල නොකැඩී සෙනඟ ආවා. අර රෙකෝඩ් කරපු යටිගිරියෙන් කෑ ගහන සද්දවලට අමතරව හොල්මන් ගුහාව ඇතුලේ ඉන්න අය බයවෙලා කෑ ගැහුව සද්දෙත් වටපිටේ දෝංකාර දුන්නා. ටිකට් විකිණීමත් ජයටම කෙරුණා. මේ කාලේ 'අක්කලා' කියන කැටගරියට අයිති වෙලා හිටිය අපි කෙල්ලෝ ටික මේ වැඩ වලට කෙලින්ම සම්බන්ධ වුණේ නැහැ. හැබැයි හොල්මන් ගුහාව තිබුණු ඉඩමට ඉස්සරහ ගෙදර ඉඳන් ඒකෙ ප්‍රගතිය බලාගෙන ඉන්න අපි අමතක කළේ නැහැ.

රෑ වෙලා හොල්මන් ගුහාව අවට නොහිතුව තරමේ සෙනඟක් එකතු වෙලා හිටිය වෙලාවක එකපාරට ඒක ඇතුළේ කලබලයක් ඇහෙන්න ගත්තා. හොයලා බලද්දී මිනී පෙට්ටියෙන් නැගිට්ට මිනිය දැකලා ගෑනු ළමයෙක් බයවෙලා කලන්තේ දාලා! දැන් මොකද කරන්නේ? වෙස් මූනු දාපු යක්කු භූතයෝ ඔක්කොම එතැනට එකතු වුණා. මේ කලබලේ මැද ප්‍රධාන දොරටුවෙන් අලුතින් සෙනඟ ඇතුල් කිරීම නැවැත්තුවා. ටික වෙලාවක් ගියත් කෙල්ල ට සිහිය එන්නෙම නැති පාටයි. ඉතින් අන්තිමේදී යක්කු භූතයෝ ටිකයි මළ මිනියයි හැමෝම එකතුවෙලා කෙල්ල ව ඉස්සරහ ගෙදරට උස්සගෙන ගිහින් ඒ ගෙදර සෙටියේ හාන්සි කෙරෙව්වා. එයා ඇවිත් තිබුනේ තව යාළුවො ටිකක් එක්ක මිසක් වැඩිහිටියෝ එක්ක නෙමෙයි. ඉතින් ඒ ඉතුරු ගෑනු ළමයි ටිකත් තුෂ්නිම්භූත වෙලා බලාගෙන හිටියා විතරයි. අන්තිමේදී වටපිටේ හිටිය වැඩිහිටියෝ මැදිහත් වෙලා මූනට වතුර එහෙම ගහලා අමාරුවෙන් ඒ දැරිවි ට සිහිය ගත්තා. අමාරුවෙන් ඇස් අරින කෙල්ල ව දැකලා වැඩියෙන්ම සතුටු වුණේ මළ මිනියට හිටිය කොලුවා. වට වුණු සෙනඟ එහා මෙහා කරගෙන ඉක්මනින් එතැනට කිට්ටු වුණු ඒකා කෙල්ලගේ මූන ට පහත් වෙලා

"නංගි, මොකද වුණේ? දැන් ඔයාට සනීප ද?"කියලා ඇහුවා.

යන්තම් සිහිය ආව ගෑනු ළමයා තමන්ගේ මූන ඉස්සරහින්ම දැක්කේ අර මිනී පෙට්ටියේ ඉඳන් කෑ ගහගෙන නැගිට්ට මළ මිනිය. කළින් වතාවේ වගේ නෙමෙයි මේ වතාවේ මළ මිනිය කතාකරනවා! අනේ කෙල්ල ආයෙමත් කලන්තේ දැම්මා! මේක දැකලා මළ මිනියට කට්ටියගෙන් දෝස් මුරේ, වැඩියත්ම එතැන හිටිය වැඩිහිටියන්ගෙන්. අන්තිමේදී කවුදෝ ඇවිත් මළ මිනිය අහකට ඇදගෙන ගියාට පස්සේ තමයි ඒ ගෑනු ළමයාට ආයෙත් සිහිය අරගෙන ගෙදරට ඇරලුවේ.

කොහොමින් කොහොමින් හරි පහුවෙනිදා වෙද්දී හොල්මන් ගුහාවේ සිද්ද වුණු මේ ජවනිකාව ගැන විස්තර පළාතේ පැතිරිලා තිබුණා පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ කණටත් මේක යන්න වැඩි වෙලාවක් ගිහින් තිබුණේ නැහැ. ඉතින් ඊළඟට වුණේ හාමුදුරුවන්ගෙන් මේ කොලු නඩයට කැඳවීමක් ලැබුණු එක. එතැන සංවිධායක පිරිසෙන් වැඩිහරියක් දහම් පාසල් ශිෂ්‍යයෝ වෙච්ච නිසාත් මේ කැඳවීමට නොගිහින් ගමේ වසන්න ලැබෙන්නේ නැති නිසාත් කොල්ලෝ ටික පන්සලට ගිහින් බොහොම යටහත් පහත් ව හාමුදුරුවෝ ඉස්සරහ හිට ගත්තා ලු.

හාමුදුරුවෝ ඇහුව පළවෙනි ප්‍රශ්නේ 'වෙසක් පෝය සමරන්න හොල්මන් ගුහාව වැදගත් වෙන්නේ කොහොමද?'කියලා ලු!

අන්තිමේදී කොලු නඩේ අර තරම් මහන්සි වෙලා හදපු හොල්මන් ගුහාවට තිත තියන්න වුණා. ඒ විතරක් නෙමෙයි ඊළඟ වතාවේ ඉඳලා මෙහෙම මැරෑටි වැඩ නොකර පන්සලෙන් සංවිධානය කරන දන්සැලටත් වෙසක් කූඩුවටත් සම්බන්ධ වෙන්න හාමුදුරුවෝ එයාලා ව බලෙන්ම පොරොන්දු කරගත්තා ලු.

දැන් මේ කොලු තාත්තලා ඇත්තටම තාත්තලා. මළ මිනියට හිටිය ඉලන්දාරියා එහෙම අපිට නිතර හම්බවෙනවා. එහෙම වෙලාවට මේ පරණ හොල්මන් ගුහා කතා ඇතුළු පරණ කතා වල නොස්ටැල්ජියාවත් විනෝදයත් විඳින්න ලැබෙනවා. ඒත් දන්සැල් වල, හොල්මන් ගුහා වල ආතල් එක ලංකාවෙන් පිට ඉපදිලා හැදෙන වැඩෙන අපේ ළමයින්ට කවදාවත් පහදලා දෙන්න බැරි බව දැනුණාම පොඩි දුකක් නොදැනෙනවා නෙමෙයි. ඒ විස්තර in context මිසක් බාහිරින් විස්තර කරලා තේරුම් ගන්න බැරි දේවල් නේ. ඒත් ඉතින් කවදාහරි උන්ටත් උන්ගේ ළමයින්ට පහදලා විස්තර කරන්න බැරි වෙනම විනෝද ජවනිකා තියේවි!



photo - Unsplash

16 comments:

  1. ඇත්තටම කිව්වොත් තවමත් ඒවා තියෙනවා
    අද මට ඇහුනා රේඩියෝ නාලිකාවක මේ පොසොන් එකට භූත මන්දිර පන්සීය ගණනක් තියෙනවය කියල. නම වෙනස් වෙලා නේද

    ReplyDelete
    Replies
    1. හැබෑට? මං හිතුවා බුදුහාමුදුරුවොත් ලංකාවේ ඉපදුනා කියලා දැන් යන පුනරුදයේ හැටියට දැන් ඒ වගේ දේවල් නැත්තටම නැතිවෙලා කියලා. බලං ගියාම නැතිවෙලා නෙමෙයි වැඩි වෙලානේ! :D

      Delete
  2. //අනේ කෙල්ල ආයෙමත් කලන්තේ දැම්මා!//
    හෙහ්, හෙහ් මේක නං නියමයි.👌💐💐🙏
    මට මතක් වුනේ "ටීචර් ආන්න ආයෙ වැටුනා" එකයි, නර්ස්ලව පෙරලගෙන වැටෙන එකයි.🤣

    ReplyDelete
    Replies
    1. අපොයි මේ බස්සාගේ මතකේ තමයි මතකේ! :D
      ඒ 'කෙල්ල' නම් තාම අඛණ්ඩ ව ඒ ප්‍රතිපත්තියේමයි. දැන් සූදානම් පිට වැටෙන එක තමයි එකම වෙනස! හැබැයි හොල්මන් භූත කතාවලින් නම් දෙයියනේ කියලා ට්‍රිගර් වෙලා නැහැ. නැත්නම් අර රෑ තිස්සේ භූත කතා සීරිස් පිටින් බලද්දී සොරිම වෙන්න ඕන! එක අතකට එහෙම වුණා නම් ලේසියි. එදිනෙදා ජීවිතේ ඔපරේෂන්, ඉන්ජෙක්ෂන් කටු එහෙම මුණගැහෙනවා නේ හොල්මන් වලට වැඩිය! :D

      Delete
  3. හොල්මන් ගුහා නං තවමත් තියේ. කොටින්ම පන්සල් වල තියෙන වෙසක් පොහොන් කලාප වලත් තියෙනව.

    හොල්මන් ගුහාවක් හදනව කියනෙකත් ආතල් එකට වඩා සංකීර්ණ වැඩක්. මොකද කවුරු මොන පූචානං කියව්වත් බය වෙන්නෑ අපි බය නෑ කියාගෙන නේ එන්නෙ. ඇත්කටම කෙනෙක් බයවුණේ නැත්තං බැණුංුඅහ න්නත් එපැයි.

    ඔය වගේ අලකලංචි වුණාම ආයෙත් බැණුං අහන්න ඔන.
    හොල්මං ගුහා කරපු කවුරුවත් ආර්ථික පාඩු අත් විඳල නං නෑ දන්න තරං. අපේ මිනිස්සු මොනා වුණත් ඒ වගේ වැඩ වලට කැමතී.

    ඔළු බක්කොත් ඉඳ හිටල දකිනව ලොකුවට නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මහේෂ් මං හිතුවා දැන් ලංකාවේ යන එක එක ආගම්වාදී දේවල් නිසා ඔය වගේ බුද්ධාගමට අදාළ නැති දේවල් තුරන් වෙලා කියලා. ඒ වුනාට ඉතින් මම නම් එහෙම ලොකු වරදක් දකින්නේ නැහැ. කාටවත් හානියක් නැතිව විනෝද වෙන එකේ නරකක් නැහැනේ. අනික මිනිස්සුත් කැමැත්තෙන් නේ යන්නේ ඒවා බලන්න.

      ඔව්, හොල්මන් ගුහාවක් හදන එක හිතන තරම් ලේසි වැඩක් නොවන බව මාත් දැක්කේ මේ මල්ලිලාගේ ප්‍රොජෙක්ට් එකේදී තමයි. ඇතුලේ සම්පූර්ණ කළුවර වෙලා බැහැ මිනිස්සු පැටලිලා වැටෙන නිසා. එළිය වැඩි වෙලාත් බැහැ බය වෙනවා අඩු නිසා. අනික ඔයා කිව්වා වගේ හරියට බය උනේ නැත්නම් උනත් මිනිස්සු බනිනවා නේ. අපේ පළාතේ ආයෙත් හොල්මන් ගුහාවක් හැදුවද නම් දන්නේ නැහැ. ලොකු හාමුදුරුවෝ නම් තාම ඉන්නේ පරණ එක්කෙනාම තමයි :D

      Delete
  4. මම හිතන්නෙ හොල්මන් ගුහා හදන එකත් ඒවයෙ භූත නලු නිලියො යමපල්ලො ,යම වදකයො හැටියට රැගුම් පාන එකත් ,කොල්ලන්ගෙ භාශාවෙන් කිව්වොත් වෙනමම "ආතල්" එකක්. එම් වයසෙදි ඒකට සමාන වෙන ආතල් එකක් නැහැ.බලන්න යන අයත් යන්නෙ බය වෙන්නම තියෙන උවමනාව නිසානෙ.හරියට horror චිත්‍රපටයක් බලන්න යනව වගේ.නමුත් අර කෙල්ලගෙ කේස් එකේදි ,නොහිතූ,අනපේක්ශිත මොහොතක in a fraction of a second සිදු වූ shock එක දරා ගන්න බැරි වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. සරත්- ඔව් ඒක ඇත්ත. ඉස්සර නම් එහෙමකට බලන්න horror movies තිබ්බෙත් නැහැනේ. ඒ නිසා ඒ විනෝදෙ වෙනම ලෙවල් එකක් තමයි. කලන්තේ දාපු ගෑනු ළමයා බයවෙන්න බලාගෙන ආවාට මේ තරම් බයවෙයි කියලා හිතුවේ නැතිව ඇති :D

      Delete
  5. හොල්මන් ගුහවල් තියෙන්නේ ලංකවේ විතරක් නෙවෙයි මම හිතන්නේ, අප්ඩේට් වෙන්නේ නැති භාෂා මල භාෂා වෙනවා වගේ මේ සන්ස්කුතික අංගත් අප්ඩේට් උනේ නැත්නම් අනාගතේ මේවා පොලවට වැළලිලා යයි...

    ReplyDelete
    Replies
    1. ලලිත් - ඔව් ඔව් පිටරටවල තියෙන halls of horror ගැන මම විස්තර දැකලා තියෙනවා. අනික halloween වලට එහෙම කරන්නෙම ඔය වගේ භූතයෝ වගේ ඇඳුම් ඇඳගෙන මිනිස්සු බය කරන එකනේ. වෙසක්/පොසොන් වගේ ආගමික උත්සව වලට මේවා ලෑස්ති කළාම තමයි පොඩි පරස්පරයක් තියෙන්නේ. හැබැයි එහෙම නැතුව වෙන කවදා කරන්නද නේද? :D

      Delete
  6. කදිම මතක! මං දැක්කා පහුගිය දවස්වලත් ඔය වග‍ෙ තැනක්. මට කවදාවත් යන්න නං හිතිලා නෑ ඔ‍ය වග‍ෙ තැනකට. විනී ප්‍රඩක්ෂන්ස් කරල තිවුණ හාස්‍යරංගයකුයි මේ සටහනයි දැක්කම මටත් ලබන අවුරුද්ද දිහාට ගිහිං බලන්න හිතුණා!

    ReplyDelete
    Replies
    1. වර්ෂා- ඇත්තම කියනවා නම් මාත් බලලා නැහැ තාම හොල්මන් ගුහාවක් :D ඒකාලේ අර පොඩි උන්ගේ එකත් හරියට බලන්න ගියේ නැහැ අපේ ලොකුකම නිසා. දැන් ඉතිත් යන්න වෙන්නෙත් නැහැ. ඔයා වත් බලන්නකෝ මං වෙනුවට!

      Delete
  7. ඒ මතකනම් සුන්දර යි. හොල්මන් ගුහානන් අඩුවුණත් තවමත් තියෙනවා.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී!

      Delete
  8. මේ පෝස්ට් එක මලීගෙ "වඩාත්ම කියවූ" segment එකට එකතු වෙයි. මලී ඒ තරම් රසවත් විදිහට ලියලා.

    "ඉතින් අන්තිමේදී යක්කු භූතයෝ ටිකයි මළ මිනියයි හැමෝම එකතුවෙලා කෙල්ල ව ඉස්සරහ ගෙදරට උස්සගෙන ගිහින් ඒ ගෙදර සෙටියේ හාන්සි කෙරෙව්වා" මළ මිනියටත් නිවනක් නෑ මේ ගෑනු ළමයි කරගන්න දේවල් නිසා.

    ReplyDelete
    Replies
    1. thank you Lotus! පැරණි රස කතා උනත් ඔය මිතුරු සෙට් එකේ ජාමේ බේරෙන ඒවා විතරයි ලියන්න පුළුවන්. නැත්නම් මාත් ඉවරයි ඉතින් :D
      දෙවෙනි වටේට ගෑනු ළමයා කලන්තේ දැම්මේ නැත්නම් මළ මිනිය ගොඩ යනවා ෂුවර් කියලා තමයි ඒ කාලේ කතාව තිබුණේ! :D :D

      Delete