June 28, 2024

පිස්සුවෙන් පොත් කියවීම

මේ මම රැකියාව කරන පාසල් පුස්තකාලයේ කතාවක්. මේ පාසල මෙල්බර්න් වල ද්විතීයික බාලිකා පාසලක්, ඒකෙ  දැරිවියෝ පොත් කියවිල්ලට බොහොම මනාපයි. මේ විස්තරය පොත් කියවන්න කැමති එකේ ඊළඟ ලෙවල් එක හෙවත් පිස්සුවෙන් පොත් කියවීමේ අවස්තාවක් ගැන.

ළඟදී දවසක හතේ පන්තියේ දැරියක් පුස්තකාලයේදී මාව හොයාගෙන එනවා. අපි ඈ ට අදීති කියමු. ඈ Keeper of the Lost Cities පොත් මාලාවේ පළවෙනි පොත කියවපු බව කියලා දෙවෙනි පොත හොයාගන්න ඈ ට උදවු කරන්න පුලුවන්ද කියලා අහනවා. පොත available බව library system එකේ පෙන්නුවත් පුස්තකාලය පීරලා හොයද්දි අපි දෙන්නටම ඒක හොයාගන්න බැරිවෙනවා. ඒ එක්කම විවේක කාලය ඉවරවෙනවා. පන්තියට යන්න වෙලාව ආවත් අදීතිගේ මූන හොඳ නැහැ. මම ඇගේ නමත් පන්තියත් අහගන්නවා පොත හොයලා ඈට ඊමේල් පණිවිඩයක් තියන්න පොරොන්දු වෙමින්. ඒ වෙනුවෙන් මට ස්තූති කරන ඈ යන්න කලිනුත් 'මම කොහොම හරි ඉක්මණින් මේ දෙවෙනි පොත කියවන්න ඕන' කියලා මට මතක් කරලා දුවලා යනවා. 

Exile- Part 2 of the Series Keeper of the Lost Cities by Shannon Messenger

අදීති ගියාට පස්සේ තව ටිකක් නිවිහැනහිල්ලේ පොත හොයද්දි මට ඒක හම්බවෙනවා. Winter Reads වෙනුවෙන් හදලා තියෙන display එකක ඒක තිබුණු නිසා යි පොත් රාක්ක අතරේ අපි ඒක නොදැක්කේ. ඉතින් මම ඈට email කරනවා පොත හම්බවුණා ඇවිත් අරගෙන යන්න කියලා. ඊළඟ කාලපරිච්ඡේදයේම පුස්තකාලයට එන ඈ  ප්‍රීතියෙන් ඉපිලෙමින් පොත අරගෙන යනවා. 

කතාව පටන්ගන්නේ දැනුයි. මේ සිද්ධියට පස්සේ දවසේ ඉස්කෝලේ පටන් ගන්න කලින් අදීති පුස්තකාලයට දුවගෙන එනවා කළින් දා අරගෙන ගිය පොතත් අතේ තියාගෙන. මාව හොයාගෙන එන ඇගේ ඇස් දෙක දිලිසෙනවා. 

"මම පොත කියවලා ඉවර කළා!" ඈ රහසින් කියනවා. "ඊයේ රෑ නිදාගන්නේ නැතිවම මම පොත කියෙව්වා!" ඈ කියන්නේ ලොකු හපන්කමක් කළ ගානට. 

පුදුම වෙන මම ඒ පොත අතට අරගෙන පෙරළලා බලනවා. පිටු 568ක්! මට හිනා. "ඉතින් අද නිදිමත නැද්ද?" මගේ ප්‍රශ්නෙට "නෑ!" කියලා හිනාවෙමින්ම උත්තර දෙන ඇය පොත් රාක්ක අතරට දුවලා යනවා. අදීති ඊළඟට මා ළඟට එන්නේ Keeper of the Lost Cities පොත් මාලාවේ ඊළඟ පොත් හතර උස්සාගෙන. ඈ ඉන්නේ පුදුම සන්තෝසෙකින්. 

Keeper of the Lost Cities Series bu Shannon Messenger

"නිදිමරන්න එපා ඉතින් අදීති, හෙමින් සැරේ කියවන්න!"පොත් ටික ඇගේ නමට නිකුත් කරන ගමන් මම කියනවා. 

ඈ හිනාවෙලා පොත් ටික අරගෙන දුවලා යනවා. මම මොනවා කිව්වත් ඈ තව දවස් කීපයක් පොත් කියවන්න නිදි මරණ බව නම් ඒකාන්තයි. ඉතින් ආසාවෙන් පොත් කියවීමෙයි පිස්සුවෙන් පොත් කියවීමෙයි වෙනස ඕක තමයි!

මේ පුංචි  සිද්ධියෙන් මගේ හිත අතීතෙට ගියා. දෙයියනේ අපිත් මෙහෙම පිස්සුවෙන් පොත් කියෙව්ව කාලයක් තිබ්බා නේද කියලා මට මතක් වුණා. මම එහෙම කියවපු එක පොතක් තමයි උපුල් ශාන්ත සන්නස්ගල ගේ වස්සාන සිහිනය පොත.

වස්සාන සිහිනය පොත ප්‍රකාශයට පත් වුණේ මම ඕලෙවල් පන්තියේ වගේ ඉන්න කාලේ මගේ හිතේ. ඒ කාලේ ඒක පොතක් විතරක් නෙමෙයි උන්මාදයක් වුණා. ඒකෙ තිබුණු නිසඳැස් කෙල්ලෝ පොත්වල අන්තිම පිටුවල ලිව්වා. පෙම්වතුන්ට ලියුම් වල ලියලා දුන්නා. එහෙම වුණාට ඒ වෙද්දී මට නම් මේ පොත කියවන්න ලැබිලා තිබුණේ නැහැ. අලුතින්ම පළ වුණු ආදර කතාවක් අරන් දෙන්න කියලා අම්මලාට කටක් ඇරලා කියන්නත් බැහැනේ. පොත කියවන්න නොලැබුණු එකට විස්සෝපයෙන් කාලය ගතවෙද්දී එක සිකුරාදා හවසක මගේ නෑදෑ අයියා කෙනෙක් අපේ ගෙදර ආවා. එයාගේ ළඟ අලුත්ම වස්සාන සිහිනය පොතක් තිබුණා. අයියාගෙන් පොත ඉල්ලගෙන බලද්දී මට කැමති නම් ඒක කියවන්න පුළුවන් බවත්, ඒත් ඊළඟ දවසේ එයා පාන්දරින් පිටත් වෙලා යද්දී පොත වුවමනා බවත් කීවා. අදීති ට වගේ නෙමෙයි ඔන්න එදා මට නම් deadline එකක් තිබුණා! ඉතින් මම එදා රෑ නිදාගන්නේ නැතිව වස්සාන සිහිනය කියෙව්වා. අවුරුදු දාසයක විතර කෙල්ලෙක් රැයක් තිස්සේ වස්සාන සිහිනය පොත කියවද්දී කතාවේ ඉන්න චාපා සහ කසුන් වෙනුවෙන් අඬන්නත් සෑහෙන්න වෙලාවක් ගතවුණු බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මම හිතන්නේ ඒ මහා රෑ පානේ මම ඒ පොතේ තිබුණු නිසඳැස් සටහන් පොතක ලියාගත්තා ද කොහෙද. කොහොමහරි පස්සෙන්දා වෙද්දී කියවලා ඉවර වෙලා පොත අයිතිකාරයාට භාරදෙන්න මට පුළුවන් වුණා. රෑ තිස්සේ නිදිමරලා අඬ අඬ පොත කියවලා ඇස් රතු වෙලා මූන තඩිස්සි වෙලා තිබුණත් මම හිටියේ කොහොමහරි වස්සාන සිහිනය කියවපු ප්‍රීතියෙන් පිනා ගිහින්. ඉන්පස්සේ සෑහෙන්න කාලයක් යනකම් අර පොතෙන් ලියාගත්ත නිසඳැස් කටපාඩම් වෙලා තිබුණු බවත් දැන් නම් ආසාවට එකක් වත් මතක් නොවෙන බවත් ඒ එක්කම කියන්න වෙනවා. 

උපුල් ශාන්ත සන්නස්ගල ගේ වස්සාන සිහිනය source refresh.lk


රැයක් නිදිමරාගෙන පොතක් කියවන්න urge එකක් වැඩිහිටි අපිට එන්නේ නැත්තේ පස්සෙන්දාට තියෙන වැඩ ගැන, නිදි මැරුවාම හැදෙන ඔලුව කැක්කුම් ගැන එහෙම මතක් වෙලා අර සිතිවිල්ල යටපත් වෙන නිසා වෙන්න ඕන. ඒත් යෞවන කාලේදී මේ කිසි දෙයක් වැදගත් නැහැ, එකම එක නැවුම් බලාපොරොත්තුවකින් කිසි මහන්සියක් නැතිව motivate වෙන්න පුළුවන්. කාලෙන් කාලෙට මේ වගේ ඇතිවෙන ඇබ්බැහිවීම් ජීවිතේට පාට එකතු කරනවා කියලා මට හිතෙනවා. ඒ නිසා ඒ කාලේ නිදි මරාගෙන වස්සාන සිහිනය කියපු මං වගේ අයත්, මේ කාලේ නිදි මරාගෙන Keeper of the Lost Cities පොත් කියවන අදීති ලා වගේ අයත් හැමදාටම ඉඳීවි! 


17 comments:

  1. මෙන්න මේවා තමයි මම කැමති කතන්දර. අර පලවෙනි පිංතූරෙ පොතට එහායින් තියෙන්නෙ, චොකලට් නෝනලගෙ පුස්තකාලෙද?🤔

    මේ කතාව මාවත් අතීතයට අරං ගියා. පොඩි කාලෙ , පොත්වල පිටු අතරින් දැකපු හීන ලෝක මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බස්සා, මේ තමයි මම වැඩකරන තැන. Book heaven එකක් වගේ මේක :D
      අපි හැමෝටම මෙහෙම පොත් ඇබ්බැහි කතන්දර තියෙනවා නේද? වැඩිහිටි කාලේදී එහෙම පිස්සුවෙන් දේවල් කරන්න කාල වෙලාව මදි එක තමයි දුක

      Delete
    2. ෂා, හරිම ලස්සනයි. මොඩර්න්/ස්ලීක් පෙනුමක් තියෙන්නෙ. පොත් අතර ගැවසෙන්න, පොත් ගුල්ලොන්ට උදව් කරලා එන හිනා මල් දකින්න ලැබෙන එක වාසනාවක්.

      https://www.youtube.com/shorts/QgQKLfc2Msc

      Delete
    3. Thank you බස්සා! ඇත්තටම කෙනෙකුට තමන්ගේ dream job එක කරන්න ලැබෙන්නේ නැහැනේ ලේසියෙන්. ඒ අතින් මම වාසනාවන්තයි. මම සම්පූර්ණයෙන් වෙනස් පැත්තක ඉඳලා මේ පැත්තට ආවේ මේ රටට ආවාට පස්සේ. ඊටපස්සේ පුස්තකාල පැත්තෙන් වැඩිදුර ඉගෙන ගන්න පෙළඹුණා ආසාව වැඩිකමට.
      ළමයි එක්කත්, පොත් එක්කත් කාලේ ගතකරන්න ලැබෙන එක හරි rewarding :)

      Delete
    4. Pra Jay- :D
      Here are some more pics of the library
      https://photos.app.goo.gl/dvSzpTFsCmao1mDb8

      Delete
  2. පිස්සු හැදුනු පිස්සු වැටුණු පොත් එමටයි ඒ කාලේ
    කොහොමද වෙනස් වූයේ මගෙ ඒ තාලේ
    ඒ ඒ කලට ඒ ඒ විදිහ වෙනවා වෙන්නැති සීලේ
    දැන් නං දිගට කියවන්නෙකි මං ජාලේ

    ReplyDelete
    Replies
    1. ජාලේ තමයි පොත් කියවිල්ලට වෙච්ච ලොකුම ජංජාලේ කියලා කියන්න ඕන ඒත් කවි ගලපන්නත් බැහැ දැන් :D

      Delete
  3. පොත් නේද... හ්ම්ම්.. පොත්..
    පෙරලන්ට නං දන්නව නෝනේ..
    කියවන්ට දන්නෑ නොවැ. 😏😏😏
    😁😁😁

    පොත්කි යවල ගුටි කාපුවයි. බැණුං අහපුවයි. පොත් ගුල්ල, අරක මේක.කියල නං හදා ගත්තුවයි
    කියනව නං පෝස්ට් එකක් සයිස් කමෙන්ටුවක් අතෑරියැකි.

    ඇත්තට පෝස්ට් එකක් ලිව්වොත් මොකද..
    හ්ම්ම් 😏😏😏 නොට් බෑඩ් අයිඩියා. 😁😁😁

    අදිති ලා වගේ ළමයි ඉන්නව. අක්කලාගෙ කාලෙ වගේ පොත් වලට දැං ඉඩක් නෑ. පොතක් කියවනව නං ඒක ඉස්කෝල පොතක් වෙන්න ඕන. නැත්තං ගෙවල් වලිනුත් සහයොගයක් නැති තරං. එහෙමත් අම්ම කෙනෙක් තමා ළමයෙක් පොතක් කියවනවට කැමති.
    බුක් ෆෙයා එක ගන්නකො. අම්මල ළමයි එක්ක එනව. පොත් ගන්නව. ඒත් තියෙන්නෙ වැඩියම විෂය බද්ධ අධ්‍යාපනික පොත්. චූටි ෆික්ෂන් එකක් දෙකක් තියේ. ඒවත් හරි ප්‍රසිද්ධ ඉස්කෝල වලත් අතිරේක කියවීම් විදිහට රෙජිස්ටර් වෙච්ච එව්ව.

    වස්සාන සහිනය සුළඟ දිගේ ඇවිදින් කිය
    න්නෙ පිස්සු ලෝක ඈ. 😁😁😁

    ඒව කතා කරනව නං ඉතිම්.. හම්මේ..


    ReplyDelete
    Replies
    1. මහේෂ් - ඉතින් ලියමුකො පෝස්ට් එකක්, මේ තියෙන්නේ මාතෘකා කීපයක්ම!
      දැන් දැන් අම්මලා ළමයි පොත් කියවනවාට විරුද්ධයි කියලා මටත් ආරංචි වුණා. එක අම්මෙක් කිව්වාලු පොත් කියෙව්වාම ළමයින්ට ගණන් බැරි වෙනවා කියලා. ඒ මොන ලොජික් එකක් එකක්ද කියලා මම තාම කල්පනා කරනවා.
      ඕස්ට්‍රේලියාවේ නම් පුංචි කාලේ ඉඳන්ම ළමයින්ට පොත් කියවීමට ආදරයක් ඇති කරනවා. මම කලිනුත් පෝස්ට් කීපයක් ලියලා ඇති ඒ ගැන. ලොකු ළමයිනුත් පිස්සුවෙන් පොත් කියවනවා දකිද්දී තේරෙනවා මේ අද ඊයේ ඇති වුණු පුරුද්දක් නොවන බව.
      අපි කට්ටියක් එකතු වෙලා මේ සංකල්පය ලංකාවට ගැලපෙන විදිහට වෙනස් කරලා පෙරපාසල් වල ක්‍රියාත්මක කරනවා. දැනට පොලොන්නරුව දිඹුලාගල පැතිවල පෙර පාසල් 50ක විතර මේක ව්‍යාප්ත වෙලා බව කියන්න සතුටුයි. ඇත්තටම නම් අපි කළේ මුලින් පොඩි තල්ලුවක් දුන්නු එක විතරයි, ඉතුරු ටික තනිකරම එයාලගේ මහන්සිය. එහෙම දේවල් දැක්කාම හිතෙනවා තාමඅනාගත පරපුර ගැන පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියලා.

      Delete
  4. රෑ නිදි මරාගෙන පොත් කියවපු හැටියට මේකට මොකුත් නොලිය කොහොමද අප්පා. හොස්ටල් එකේදී සමහරු පොත් ගේන්නේ පහුවෙනිදට ගෙනියන්නයි. අපි සමහර පොත් කියෙව්වේ දෙන්නෙක් එකතු වෙලයි. සමහරු ඉක්මනට කියවන නිසා අපි pairs හදාගෙන තිබුනා පොත් කියවන. සමහර විට පොත හම්බවෙන්නේ රෑ දෙකට තුනට. ඒත් ඉතින් කියෙව්වා. එහෙම කියවපු පොතක් තමයි "කඳු පාමුල හෙවත් දෛව ගීතය" කියල එකක්. නම මතක වුනාට මොන විදියේ කතාවක්ද කියලවත් මතක නැහැ. කරුණාසේන ජයලත්, කුමාර කරුණාරත්න, කරුණාරත්න සපුතන්ත්‍රී වගේ ඒ කාලේ ප්‍රසිද්ධම අයගේ පොත් මහා ගොඩක් ඒ කාලේ ඔය වියට කියෙව්වා. මලී, ඔයාට ස්තූතිවන්ත වෙනවා මේ හැංගිලා තියෙන මතක මැණික් ඇදල එලියට ගන්නවට.

    ReplyDelete
    Replies
    1. කුමුදු - අපිට වෙන distractions නොතිබුණු නිසා වෙන්නැති පොත් අපේ ජීවිතේ වුණේ. දෙන්නෙක් එක්ක පොත් කියවපු හැටි මට අමතක වෙලා තිබ්බේ. ඒකට තමන්ගේ ස්පීඩ් එකට ගැලපෙන කෙනෙක්ම ඕන ඉතින්. ඔයා කියලා තියෙන කට්ටියගෙන් මට නම් හරිගියේ කරුණාසේන ජයලත් විතරයි. දැනටත් මගේ ළඟ එයාගේ පොත් කලෙක්ෂන් එකක් තියෙනවා.
      පරණ මතක වල රස නේද!

      Delete
  5. පෝස්ට් එකක් ලියන්න මතක මතක් වුණා මේක බැලුවම. සමහර දවස්වල රෑ එකට දෙකට ඉකිගහගහ අඬල තියෙනවා පොත් කියවන ගමන්. තාත්තාට සමහර කතාවල අවසානයන් වෙනස් කරන්නත් වුණා මගේ ඇඬිලි නවත්වන්න. අදිති මට මතක් කළා මගේ කුඩා කාලෙ - පුස්තකාලෙ තියෙන විසාල පොත් ගෙනියලා රෑ එළි වෙනතුරු කියවපු හැටි. ගෙදර රූපවාහිනියක් නොගෙනෙන්න අම්මා-තාත්තා අරන් තිබූ තීරණයත් - ගෙදර හැම තැනම තිබුණ පොත් පිරුණු විසාල රාක්කත් මාව අනවරත කියවන්නියක් කරන්න විසාල සාධකයක් වුණා කියා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. වර්ෂා- මෑත කාලේ නම් දෙමව්පියෝ රූපවාහිනිය ඇතුළු අනෙත් devices ළමයින්ව babysit කරන්න පාවිච්චි කරන හැටි කණගාටුදායකයි. ඔයාගේ නිර්මාණශීලී බවට අඩිතාලම වැටුණේ කොතැනින් ද කියලා පැහැදිලියි. ඒ මතක ලියන්න, ආසයි කියවන්න!

      Delete
  6. අද්භූත කතා ( හොල්මන්ම නොවේ) කියවන්න කැමති අය ඉන්නවද? මේ noSleep/ creepypasta කැටගරියේ කතා. කතෘගෙ නම "1000Vultures". නමේ හැටියෙන්ම හිතාගන්නකො කතාවල රඟ?

    හොල්මන් වගේ කතා පෙලක්

    ReplyDelete
    Replies
    1. ආ මම ඇත්තටම කියවනවම නෙමෙයි අහනවා. මයික්‍රොසොෆ්ට් Edge බ්‍රව්සරේ "Read Aloud" ඔන් කරගෙන හොඳ නැචුරල් වොයිස් එකක් දාගත්තාම, ලස්සනට කතන්දරේ කියනවා.

      Delete
    2. අද්භූත කතා මම කැමතියි. thank you බස්සා මේ ඔත්තුවට. මේක ට්‍රයි කරලා බලන්නම්. මම read aloud ගැන දැනගෙන හිටියේ නැහැනේ. ඔය විදිහේ හැටියට මට චිත්‍රයක් අඳින ගමන් එහෙම කතා අහන්න පුළුවන් :D

      Delete