ජග්දීෂ් බාබු මුලින්ම ඒ කුඩා කොලුවාව දුටුවේ වෙළඳ පොළ පසු කර එද්දී හමුවන විශාල දැන්වීම් පුවරුවක් සහිත කුඩා අවන්හලේදීය. ඔහුට පැහැපත් සමක්, දිලිසෙන දෑසක් සහ රන්-දුඹුරු මිශ්‍ර කොණ්ඩයක් තිබිණි. එමෙන්ම නෙලුම් පතක් මත රූටා යන දිය බිඳකට ඇති අසාමාන්‍ය ජීවී බවක් ඔහු සතු විය. කොලුවාගේ වයස අවුරුදු නමයක් හෝ දහයක් විය හැකි බව අනුමානු කළ හැකි වූයේ ඔහුගේ දෑසේ වූ තියුණු බැල්මෙනි.
ජග්දීෂ් බාබු අඩක් දැල්වුණු දුම්වැටිය උරමින් අවන්හලට ඇතුලු වෙද්දී කොලුවා සිටියේ මේස අස් කරමිනි. එහෙත් ජග්දීෂ් බාබු අවන්හලේ කෙලවර මේසයක අසුන් ගනිද්දී කොලුවා ඔහු ඉදිරියේ පෙනී සිටියේ ඒ අසුනට කවුරුන් හෝ එනතුරු පැය ගණනක් බලා සිටි පරිද්දෙනි. ඔහු කිසිත් නොකියා, ගෞරවයෙන් මඳක් හිස පහත් කර සිනාසුණා පමණි. තේ කෝප්පයක් සඳහා ඇනවුම් ලැබ නැවතත් සිනාවක් පෑ ඔහු, ආපිට ගොස් ඉතා ඉක්මණින් එය රැගෙන ආවේය.
හැඟීම් යනු අමුතු දේවල් ය. කෙනෙකුට කිසිවකු නොමැති තැනක තනි වූවත් කිසිම තනිකමක් නොවිඳ පැවතිය හැකිය. එසේ වන්නේ ඒ හුදකලාව තුළ වුවත් හැම දේම තමන්ගේය යන හැඟීම ඇති විටයි. අනෙත් අතට දස දහසක් සෙනඟ අතරේ වුවත් කෙනෙකුට තනිකමක් දැනීමට ඉඩ තිබේ. මේ, තමන් වටා ඇති කිසි දෙයක් තමන්ගේ නොවන බව, ආගන්තුක බව දැනෙන වේලාවටයි. මේ නිසා පුද්ගලයෙකුගේ හුදෙකලාව හෝ තනිකම පැන නඟින්නේ ඔවුන්ගේ අතීතයේ සිදු වූ වෙන්වීම් හෝ අත් හැරීම් මුල්කොටගෙන බව සත්‍යයකි.
ජග්දීෂ් බාබු ඒ නගරයට පැමිණ තිබුණේ දුර ඈත පෙදෙසකින් වූ අතර ඔහු ජීවත් වූයේ තනිවමය. වෙළඳපොළේ කලබලයත්, අවන්හලේ ඝෝෂාවත් මැද ඔහුට නිරතුරුවම දැනුණේ ඔහු ඒ හැම දෙයකින්ම වියුක්තව පවතින බවකි. සමහරවිට ටික කලක් මේ පෙදෙසේ වාසය කළහොත් ඔහුට ඒ පරිසරයට යම් ළබැඳි බවක් දැනෙන්නට ඉඩ තිබුණි. නමුත් එදින නම් ඔහුට ඒ වටපිටාව සමඟ දැනුණේ අයිතිවීමකට වඩා ආගන්තුක බවකි. තම ගම් පෙදෙසේ මිනිසුන් ගැනත්, එහි පාසල සහ සිසුන් ගැනත්, ඊට අසල්වැසි නගරයක තිබුණු අවන්හල ගැනත් ඔහු අතීතකාමයෙන් යුතු ව සිහි කරන්නට විය.
“තේ එක, සා’හිබ්”
ජග්දීෂ් බාබු තම දුම්වැටියේ අලු ගසා දැමුවේය. තම තේ කෝප්පය ගෙනා කොලුවා ‘සා’හිබ්’ උච්චාරණය කළ ආකාරයේ හුරු බවක්, එ තුළින් තමන් සොයමින් සිටි දෙයක් ලැබුණු බවක් ඔහුට දැනුණි. ඔහු තම සැකය තහවුරු කරගන්නට කොලුවා ව කතාවට අල්ලා ගත්තේය.
“උඹේ නම මොකක්ද?”
“මදන්”
“බොහොම හොඳයි, මදන්! උඹේ ගම කොහෙද?”
“මම කඳුකර පළාතේ බාබුජි”
“කඳු නම් කොයිතරම් තියෙනවාද- ආබු, ඩාර්ජීලිං, මසූරි, සිම්ලා, අල්මෝරා… කොයි කන්දේ ද උඹේ ගම තියෙන්නේ?”
“අල්මෝරා, සා’හිබ්” ඔහු සිනාසෙමින් කීවේය. “අල්මෝරා”
“අල්මෝරා වල කොයි ගමද?” ජග්දීෂ් බාබු තව දුරටත් ඇසීය.
කොලුවා මඳක් පැකිලුනි.
“ඒක බොහොම දුර ගමක් සා’හිබ්. අල්මෝරා ඉඳනුත් හැතැප්ම පහළවක් විස්සක් ඇති.” තම ගමේ අමුතු නම ගැන ලැජ්ජාවෙන්දෝ කොලුවා පිළිතුරු දීම මඟහැරියේ ය.
“හරි ඉතින් දුර වුණත් නමක් ඇතිනේ.” ජග්දීෂ් බාබු අත හැරියේ නැත.
“දෝතියල්ගොන්” කොලුවා ලැජ්ජාවෙන් පිළිතුරු දුන්නේ ය.
ජග්දීෂ් බාබුගේ මුහුණේ වූ තනිකම අතුරුදන් විය. තමන් ඊට අසල්වැසි ගමක බව ඔහු සිනාසී පැවසූ විට මදන් කෙතරම් සතුටු වූවා ද යත් ඔහු අතින් තේ කෝප්පය සහිත තැටිල්ල අත්හැරෙන්නට ද ගියේය. ඔහු කිසිත් නොකියා තෝන්තුවෙන් මෙන් බලා සිටියේ අතීතය සිහි කරගන්නට උත්සාහ දරමින් මෙනි.
අතීතය… ගම... උස් කඳු.. ගඟ… අම්මා… තාත්තා… අක්කා, නංගි… අයියා..
ජග්දීෂ් බාබු වෙතින් මදන් දුටුවේ කාගේ රුවද? මවගේ? පියාගේ? සහෝදරියන්ගේ? නැත, ඔහු එහි දුටුවේ තම වැඩිමල් සොයුරාගේ රුවයි. ඔව්, ඒ තම ඩාජ්යු වැනි අයෙකි!
දින කීපයක් ගත වෙද්දී ජග්දීෂ් බාබු සහ මදන් අතර වූ ආගන්තුක බව අතුරුදන් විය. ඔහු අවන්හලේ අසුන්ගත් සැණින් මදන් “කොහොමද ඩාජ්යු!” “අද නම් හොඳටම හීතලයි ඩාජ්යු” “මෙහෙටත් හිම වැටෙනවාද ඩාජ්යු?” “අද වැඩිය කාලා නැහැනේ ඩාජ්යු” වැනි යමක් හඬ ගා කියන්නට විය.
කොතැනකින් හෝ “කොල්ලා!” කියා හඬ ගසනු ඇසුණු විට ඒ හඬේ දෝංකාරය මැකෙන්නත් පෙර ඔහු එතැන පෙනී සිටියි. ඒ ඇනවුම ගෙන ආපසු යන්නට හැරෙද්දී “ඩාජ්යුටත් මොනවා හරි ගේන්නද?” කියා අසන්නට ඔහු අමතක කළේ නැත.
“මට වතුර ටිකක්.”
“මේ ගේනවා ඩාජ්යු” එවිට මදන් අවන්හලේ එහා කෙළවරේ සිට හඬ නඟා පිළිතුරු දෙයි. ඔහු නිරතුරුවම ‘ඩාජ්යු’ යන වදන කීවේ කලක් වෙන්ව සිටි තම දරුවා වැළඳ ගන්නා මවක් මෙන් සෙනෙහෙසිනි.
ටික කලක් ගත වෙද්දී ජග්දීෂ් බාබුගේ තනිකම අතුරුදන් විය. වෙළඳපොළත්, අවන්හලත් පමණක් නොව ඒ නගරයම ඔහුට තමන්ගේ බවක් හැඟිනි. එසේ වුවත් අවන්හලේ හැම තැනින්ම මදන් ඔහුට ‘ඩාජ්යු’ යැයි අමතන හඬ නැඟීම නම් ඒ වෙද්දී ඔහුට හිසරදයක් වී තිබිණි.
මෙලෙස මදන් නිතරම තමන්ට ඩාජ්යු යැයි ඇමතීම ජග්දීෂ් බාබු අලුතින් ආරෝපණය කර ගත් මධ්‍යම පාන්තික සිතුවිලි රටාවට පටහැනි විය. මහන්තත්වයේ බලවත් බව හමුවේ ඇඟලුම්කමේ සිහින් හුයට පැවැත්මක් තිබුණේ නැත.
“මදන්! මෙහෙ වරෙන්!”
“මේ එනවා, ඩාජ්යු! තේ ගේන්නද, ඩාජ්යු?”
“තේ එපා, ඒත් උඹ මොකද මේ හැම තිස්සෙම ඩාජ්යු, ඩාජ්යු කිය කියා කෑ ගහන්නේ? උඹට මනුස්සයෙක්ගේ වැදගත්කම ගැන තේරුමක් නැද්ද?” කේන්තියෙන් රත් පැහැ ගැන්වී සිටි ජග්දීෂ් බාබුට තම මුවින් පිටවෙන වදන් ගැන පාලනයක් තිබුණේ නැත. ‘වැදගත්කම’යනු කුමක්දැයි මදන්ට තේරුමක් තිබේදැයි සිතන්නට ඔහු නැවතුණේ ද නැත. නමුත් පැහැදිලි කිරීමක් රහිතවම මදන් හැම දේම තේරුම් ගත්තේය. ඒ තරම් කුඩා වයසකදී ලෝකයම තේරුම් ගන්නට එඩිතර වූ ඔහුට එක් කුඩා වදනක් තේරුම් ගැනීම අපහසු වූයේ නැත.
හිසරදයක් ඇති බවට කඩයේ හිමි කරුට හේතු දක්වා මදන් තම කුඩා කුටියට ගොස් දෙදණ මත හිස හොවා හඬා වැටුණේය. තම නිවසින් පිටව බොහෝ දුරක කල් ගෙවද්දී ඔහු ජග්දීෂ් බාබුවෙත පෑ ඇඟලුම්කම ස්වභාවිකව ඉපදුණු දෙයක් විය. නමුත් මේ සිද්ධියෙන් අනතුරුව, මේ නුහුරු ප්‍රදේශයේදී කවුරුන් විසින් හෝ තමන්ව තම පවුලේ අයගේ තුරුලෙන් සහ ආරක්ෂාවෙන් හදිසියේම උදුරා දමන ලද බවක් ඔහුට පළමු වතාවට දැනුණි.
ඉනික්බිති ඔහු නැවතත් රාජකාරියට ගියේය.
ඊළඟ දවසේදී අවන්හලට යන අතරමඟ දී ජග්දීෂ් බාබුට තම ළමා කාලයේ මිතුරකු වූ හේමන්ත් මුණගැසිණි. අවන්හලේ අසුන් ගත් පසු ඔහු මදන්ට හඬ ගැසූ විට කොලුවා තමන් ව මඟ හරින බවක් ඔහුට දැනුණි. දෙවන වතාවේදී හඬ ගැසූ විට මදන් ඔවුන් වෙත පැමිණියේය.
වෙනදා දිස් වූ මඳහස ඔහුගේ මුවේ දක්නට තිබුණේ නැත. වෙනදා මෙන් ඔහු “මොනවාද ගේන්න ඕන ඩාජ්යු?” කියා ඇසුවේද නැත. එබැවින් “තේ දෙකයි, ඔම්ලට් දෙකයි” කියමින් තමන්ටම තම ඇනවුම දෙන්නට ජග්දීෂ් බාබුට සිදු විය. ඉනික්බිති මදන් “ඉක්මනට ගේන්නම් ඩාජ්යු,” කියනවා වෙනුවට “ඉක්මණින් ගේන්නම් සා’හිබ්” යැයි කීවේ ඔහුට අමුත්තකුට සේ සලකමිනි.
“කඳුකරේ පැත්තේ කොල්ලෙක් වගේ නේද?”හේමන්ත් අනුමාන කළේ ය.
“ඒ වගේ”යැයි මිමිනූ ජග්දීෂ් බාබු කතාව වෙන අතකට හැරවූයේ ය.
ටික වෙලාවකින් මදන් තේ රැගෙන පැමිණියේය.
“උඹේ නම මොකක්ද?”හේමන්ත් මිතුරු ලීලාවකින් ඇසුවේය.
මේසය වටා නිහඬබවක් පැතිරිණි. ජග්දීෂ් බාබු තම දෑස තේ කෝප්පය වෙත ම එල්ල කර සිටියේය. මදන් ගේ දෑස ඉදිරියේ පා වුණේ නම් අතීත මතකයන් පමණි. මේ ආකාරයටම දිනක් ජග්දීෂ් බාබු තම නම විමසූ හැටි.. ඉනික්බිති “ඩාජ්යු, කෝ අද හරියට කෑම කාලාත් නැහැ” වැනි කතාබහ සහ ඉනික්බිති “උඹට මනුස්සයෙක්ගේ වැදගත්කම ගැන තේරුමක් නැද්ද?” කී දවස…
ජග්දීෂ් බාබු දෑස ඔසවා බලද්දී දුටුවේ මදන් ගිනි කන්දක් සේ පිපිරුමට ආසන්න ව සිටි බවයි.
“උඹේ නම මොකක්ද?”හේමන්ත් නැවත වතාවක් ඇසුවේය.
“සා’හිබ්, මෙහෙ හැමෝම මට කියන්නේ කොල්ලා කියලා” කී මදන් ඉක්මණින් එතැනින් ඉවතට ගියේය.
“මෝඩ බූරුවෙක්” හේමන්ත් තේ කෝප්පය තොල ගාමින් පැවසීය. “ඌට උගේ නමවත් මතක නැහැ!”
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the short story ‘Big Brother’by Shekhar Joshi
AI Image