July 10, 2022

සොඳුරු ක්වීන්ස්ලන්තයේ දින හතක්

පහුගිය නිවාඩුවේ ඔස්ට්‍රේලියාව ඇතුළේ ටිකක් දුර ගමනක් යන්න අවස්ථාව ලැබුණා. කලිනුත් රට ඇතුළේ හැම ප්‍රාන්තයකටම මේ වගේ ගමන් කීපයක් ගිහින් තිබුණත් කාලය ගතවෙද්දී ඒ ගමන් වල පොඩි පොඩි විස්තර මතකයෙන් ගිලිහෙන නිසා මේ වතාවේ ඒ ගැන විස්තරයක් ලියන්න හිතුණා. වැඩියත්ම ගමනට සහභාගී වෙන්න ඉඩ නොලැබුණු තාත්තාගේ ඉල්ලීමට.

Barron Gorge National Park, Qld

අපේ මේ ගමනේ සම්පූර්ණ දුර 7000km විතර. රටේ ගිනිකොණ දිග මෙල්බර්න් නගරයේ ජීවත්වෙන අපි ඊසාන කෙළවරේ Cairns වලට ගිහින් තමයි මේ ගමන පටන් ගත්තේ. Melb - Cairns අතර තියෙන 3000km තරම් දුර අපි ගියේ ගුවනින්. මේ ගමනට පැය තුනකට වැඩි ප්‍රමාණයක් ගත වෙනවා. Cairns - Sunshine Coast 1900km වගේ දුරක් වාහනයෙන් ගිහින් ආපිට Sunshine Coast - Melbourne 1500km දුර නැවතත් ගුවනින් ආවා. වාහනයෙන් එද්දී අතරමඟ නගර තුනක නවාතැන් ගනිමින් ආවේ. 


Cairns කියන්නේ Queensland ප්‍රාන්තයේ උතුරු කෙළවරේ තියෙන නගරයක්. ඒ නගරයේ තියෙන්නේ මෝසම් සහිත නිවර්තන දේශගුණයක්. මේ දේශගුණය ලංකාවේ දේශගුණයට සෑහෙන්න සමානයි කියලා කිව්වත් අපි ගිය දවස්වල නම් දැනුණේ වැඩිය රස්නේ නැති නුවරඑළියේ දේශගුණය වගේ. මෙහෙ නොවැම්බර් -මැයි කාලය අධික මෝසම් කාලගුණයක් තියෙනවාලු. සෞම්‍ය දේශගුණයක් තියෙන මෙල්බර්න් ඉඳන් ආව අපිට ලංකාවේදී දැකලා ඇහැට හුරු ගහ කොළ දැක්කාම නම් ආයෙත් ලංකාවට ගියා වගේ හැඟීමක් තමයි දැනුණේ. පොල් වතු, කෙසෙල් වතු, උක් වතු එහෙම Cairns නගරය වටේම දකින්න තිබුණා. ඊට අමතරව කැන්ද ගස්, නිදිකුම්බා, ක්‍රෝටන් එහෙම බලන බලන අත හැම තැනම තිබුණා. 








Cairns වල අපි ගිය විශේෂ තැන් මේ. 

  • Kuranda Scenic Railway and Skyrail

මේ Cairns යනවා නම් අනිවාර්යයෙන් යා යුතුම ගමනක්. Cairns වලින් පටන්ගෙන වැසි වනාන්තරයක් හරහා මුහුදු මට්ටමෙන් 327m ඉහළින් තියෙන Kuranda නම් කුඩා ගම්මානයකට විශේෂ දුම්රියකින් යන ගමනක් මේ. මේ ගමනේදී Barron Falls, Stony Creek Falls ඇතුළු බොහොම ලස්සන දිය ඇලි කිහිපයක්ම පහුවෙනවා.

මේ දුම්රිය මාර්ගය හදන්න පටන්ගෙන තියෙන්නේ 1886දී. දුෂ්කර වනාන්තර ප්‍රදේශයක මිනිස් ශ්‍රමයෙන් විතරක් පාලම් සහ බිංගෙවල් රැසක් එක්ක නිමකරලා තියෙන මේ දුම්රිය මාර්ගයත් ඓතිහාසික වටිනාකමින් යුතු එකක්. 



සංචාරකයන් වෙනුවෙන්ම සැකසුණු Kuranda ගම්මානයේ අසිරිය විඳලා ආපිට එද්දී Skyrail නම් Cable Car එකෙන් එන්න පුළුවන්. මේ ගමන හරිම මනස්කාන්තයි. වැසි වනාන්තරය උඩින් යද්දී, පහල ගස් කොළන් වල එක එක කොළ පාටවල් දකිද්දී හරිම ආසා හිතෙනවා. (වීඩියෝ එක පුංචි වීම ගැන සමාවෙන්න. මීට ලොකු කරන්න ට්‍රයි කළා, හරි ගියේ නැහැ)



  • Green Island
මේ දූපත පිහිටා තිබෙන්නේ ප්‍රධාන ගොඩබිමේ සිට 27km දුරින්. මෙය මුළුමනින්ම කොරල් පරයකින් වටවී තිබෙන අතර Great Barrier reef එකටත් අයත් වෙනවා. මේ දූපතට යන බෝට්ටු ගමනත් විශේෂ අත්දැකීමක්. මීට අමතරව දූපතට ගියාට පස්සේ කොරල් පර හොඳින් දැකගැනීමට දිය යට කිමිදීමට (snorkeling) හෝ වීදුරු පතුලක් සහිත කුඩා බෝට්ටුවක යාමට අවස්ථාව තියෙනවා. 




මීට අමතරව Cairns සහ ඒ අවට තියෙන නැරඹීමට වටිනා තැන් කීපයක් මේ 

Crystal Cascades Falls 
Port Douglas 
Josephine Falls 

Cairns City

මේ ගමනේදී අපිට Bundaberg Distilling Company බලන්න යන්න අවස්ථාව ලැබුණා. ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ රම් වර්ගයක් වන Bundaberg Rum නිෂ්පාදනය කරන මේ කර්මාන්ත ශාලාව Sunshine Coast සිට 270km පමණ දුරකින් පිහිටා තිබෙන්නේ. අපට මෙහි කර්මාන්ත ශාලාව නරඹන්න අවස්ථාව ලැබුණා. මේ අවට තිබෙන උක් වතු වල උක් අස්වැන්න සීනි නිෂ්පාදනයට යොදා ගත්තාට පස්සේ ඉතිරිවන අතුරු ඵලය මේ කර්මාන්ත ශාලාවේ රම් නිෂ්පාදනය සඳහා යොදාගන්නවා. 1888 සිට ක්‍රියාත්මක මේ නිෂ්පාදන ක්‍රියාවලිය මඟින් විවිධ වර්ග වල රම් සහ බියර් වර්ග නිපදවෙන අතර ඒවා ජාත්‍යාන්තර සම්මානයට ද පාත්‍ර වී තිබෙනවා. අපට කර්මාන්ත ශාලාව ඇතුළත ඡායාරූප ගැනීමට අවසර ලැබුණේ නැතත්, කැමති වර්ගයකින් රම් වර්ග දෙකක් රස බලන්න නම් අවසර ලැබුණා. 


මීට අමතරව අපි මේ ගමනේ දී Mission Beach, Townsville, Bowen, Airlie Beach, Mackay, Rockhampton, Hervey Bay, Noosa Heads යන ප්‍රදේශ වලත් සංචාරය කළා.

දින හතක් තිස්සේ ගිය මේ ගමනේදී සුවිශේෂී තැන් බොහොමයක් නරඹන්නට ලැබුණා. මේ සටහනට එක් කළේ ඉන් කිහිපයක් පමණයි. සොඳුරු දේශගුණයක් සහිත Queensland ප්‍රාන්තයේ Cairns, Sunshine Coast ප්‍රදේශ වල සංචාරය බොහොම ප්‍රිය ජනක අත්දැකීමක් වුණා. 


15 comments:

  1. ++++++++++++++++++++++++

    ReplyDelete
  2. ඕ.......................මලී,
    මේ තමයි මම කැමතිම මාතෘකාව.........
    කවුරු හරි travel කරපු එකක් ගැන කියවන එක....විස්තර හොඳටම මදි
    මදි ....මදි.....මදි........
    හරිනම් පොතක් තරම් ලියන්න ඕන.
    ආරියසේන යූ ගමගේ දොස්තර මහත්තයා දන්නවනේ...?
    එයා travel කරලා ලියපු ඔක්කොම පොත් මා ළඟ තියෙනවා
    හරියට මම ගියා වගෙයි දැනෙන්නේ.....
    මගේම අවාසනාවට තමයි ඒ මහතා නැතිවෙන්නේ.
    මතක ඇතුව ගහක් කොලක් ගානේ විස්තර කරන්න මීට පස්සෙ...

    ReplyDelete
    Replies
    1. කුමුදු- ආරියසේන යූ ගමගේ මහත්තයාගේ චාරිකා ලිපි ගියා නේද ලක්බිම වගේ පත්තරේක? මට මතකයි රස කර කර කියවනවා ඉස්සර.

      ඒ වගේ රසට නම් ලියන්න බැහැ මගේ හිතේ මට. මේ ටික ලියන්නත් අමාරු වුණා, මට හිතුනෙම boring ඇති, දිග වැඩියි කියලා. අනික එහෙම චාරිකා සටහන් ලියනවා නම් ඒ ගැන හිතලම ෆොටෝ ගන්න ඕන බව තේරුණේ ලියන්න ගිහින් සමහර තැන්වල ගැලපෙන ෆොටෝ නැති බව තේරුණාම.

      ඊළඟ සැරේ මීට හොඳට ලියන්නට ට්‍රයි එකක් දාන්නම්. :)

      Delete
  3. Replies
    1. Pra Jay නම් හැමදාම වැට ගහලා නේ ඒකට කොපි රයිට් ගත්තේ. බස්සා වැටක් ගහන්නේ speechless උනාම ද? :D

      Delete
    2. මේ වෙලාවෙ ඇවිදින්න අකමැති නිසා.🤣

      Delete
    3. ඇවිදීමට වඩා ලිස්සීම ප්‍රබුද්ද නිසා

      Delete
  4. වෙලාවක යන් ඕනේ කියන රටවල් ලිස්ට් එකක් තියනව. මෙත් එකක් තමයි

    ReplyDelete
    Replies
    1. අජිත්- No time like the present කියනවානේ, එමු!

      Delete
  5. පසුගිය දින කිහිපයේම ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වයේ තොරතුරු ගැනම සිත යෙදවූවා මිස Blog Posts කියවන්නට ලැබුණේ නැහැ. Queensland සංචාරය ගැන ලියා ඇති විස්තරය කියවන්නට ලැබුණේ අද යි. අලුත් තොරතුරු රාශියක් දැනගන්නට ලැබුණා. ඒ වගේම FB දමා තිබුණු photos එහෙමත් හරි අගෙයි. පොල්වතු, කෙසෙල් වතු, උක් වතු ආදිය දකින විට ලංකාවේ දුටු එවැනි තැන් මැවී පෙනෙනවා. ඉහත කුමුදු කියා තිබෙන ආකාරයට සමහර තොරතුරු තව ටිකක් විස්තරාත්මකව ඉදිරිපත් කරන්නට තිබුණා. විශේෂයෙන්ම දුම්රිය ගමන සහ මහා බාධක කොරල් පරය පිළිබඳව.
    ඉඩ ලැබුණු විටක තව විස්තර ලියන්න. මටත් trip එක ගියා වගේම දැනෙනවා.
    තාත්තා.

    ReplyDelete
    Replies
    1. තාත්තා- ඔව් මට මේ සංචාරක විස්තර ලියලා හුරු නැහැ. ඊළඟ සැරේ කොටස් කීපෙකට වගේ ලියන්න බලමු. Cairns නම් නවතින්න හිතුණා. හැබැයි රසෙන් කාලෙට හොඳටම රස්නෙයි ලු.

      Delete
  6. Cairns ගිහින් තියෙනවා, නමුත් Gold Coast, Sunshine Coast තාම බකට් ලිස්ට් එකේ. sky rail ගියා, snorkeling කලා (ගිය දූපතේ නම මතක නෑ). අපි ගියේ දෙසැම්බ', අව්ව හා රස්නය ඉතාම වැඩියි.

    මලීගෙ විස්තරේ හා ෆොටොස් ලස්සනයි. තව විස්තර පස්සෙ ලියන්නත් පුලුවන්නෙ කට්ටිය කියනවා වගේ. (හැබැයි මම නම් වැඩියෙන් කැමති මලීගෙ කතා, කවි හා පරිවර්තන වලට මට හිතෙන්නෙ ඒ තමයි මලීගෙ speciality එක).

    ReplyDelete
    Replies
    1. Lotus - අපි මීට අවුරුදු කීපෙකට කලින් Gold Coast, Brisbane පැත්තේ ගිහින් ආවා. පුත්‍රයා amusement parks වල යන්න sea world, movie world එහෙම බලන්න ආසා වයසේදී.
      දෙසැම්බර් ජනවාරි කාලවලදී Cairns රස්නේ + වැස්ස වැඩියි කියලා අපිටත් ආරංචි වුණා. විශ්‍රාම අරන් එහෙ පදිංචියට යන්න ඇතිවුණු අදහසට පොඩි පරහකට තියෙන්නේ ඒක. :D

      සංචාරක විස්තර රසට ලියන කෙරුවාව අමාරුයි කියලා මටත් හිතුණා. ප්‍රබන්ධ තමයි මට හොඳටම පුළුවන් මගේ හිතේ!

      Delete