July 15, 2022

බිංකුන්ඩෝ බොල බිංකුන්ඩෝ...


ළමා කාලයෙන් වැඩි හරියක් පිට රටක ඉඳලා ලංකාවට ආවාම ලංකාවේ ළමයි කරන සෙල්ලම්, පොඩි කවි සින්දු නොදැන හිටිය එක මට ඒ කාලේ ලොකු ප්‍රශ්නයක් වුණා. ලංකාවට ආව මුල කාලේදී මට සෙල්ලම් සගයෙක් හිටියා. ඒ නෑදෑ වෙන මල්ලි කෙනෙක්. මට ලංකාවේ සෙල්ලම් ගැන අතපොත් තිබ්බේ මේ මලයා තමයි. (මගේ අක්කලා දෙන්නා සෑහෙන්න තරමට මට වඩා වැඩිමල් නිසා උන් දෙන්නා මාත් එක්ක සෙල්ලම් කරනවා වෙනුවට මාව අවුස්සපු එක තමයි ඒ කාලේ කළේ. මාත් අතෑරියේ නැති බවත් තනිකර බඩපිස්සන්ගේ සර්වයිවල් මෝඩ් එකෙන් කටයුතු කරලා වලි බර ව හිටි බවත් මීට එකතුකරන්න කැමතියි.) මේ සෙල්ලම් වැඩිහරියක් එල්ලේ ගහන, කැටපෝල් හදන, සරුංගල් හදන කොලු සෙල්ලම්. මේ අතරේ ටික්කා කියන කෘමියාගේ පිටිපස්ස කොටස තද කරලා ටික්කො පන්නන එක, දිමියන්ට තණකොළ මල් වල යුෂ බොන්න දීලා මත් කරන එක වගේම බිං කුන්ඩෝ හාරන පොඩි පොඩි සෙල්ලම් එහෙමත් තිබුණා. දැන් නම් හිතෙනවා මේවා සත්ත්ව හිංසා නේද කියලා. ඒ කාලේ එහෙම හිතන්න තරම් මෝරලා හිටියේ නැහැ ඉතින්.

මේ අතීත සවාරිය ගියේ බිංකුන්ඩෙක්ව අහම්බෙන් හම්බ වුණු නිසා. ඇත්තටම නම් නෙමෙයි- වීඩියෝවක. ඉස්කෝලේ ළමයින්ගේ විද්‍යා පාඩමකට අදාළ අමතර තොරතුරු ටිකක් හොයද්දි තමයි මෙයාව මුණගැහුණේ. අවුරුදු ගාණකට පස්සේ බිං කුන්ඩෙක් ව දැකලා, ඌ ට antlion කියලා සෝබන නමක් තියෙනවා කියලා දැනගෙන- මට කරමින් හිටිය වැඩෙත් අමතක වුණා!

ඇත්තටම බිං කුන්ඩා කියන්නේ පුංචි මැස්සෙක් ගේ ලාවා අවධිය කියලා දැනගෙන හිටිය අය අත උස්සන්න බලන්න! මාත් ඒක දන්නේ දැන්. ළමයින්ට විද්‍යා වීඩියෝ හොයමින් හිටිය මාත් අන්තිමට ඒකෙන් මේකෙන් සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. Better late than never කියලා හිතලා මං වගේ මේ විස්තර නොදැන හිටිය අයත් එක්ක ඒ දැනුම බෙදාගන්නයි මේක ලිව්වේ.

බිංකුන්ඩා කියන්නේ antlion lacewing කියන පුංචි මැස්සාගේ ලාවා අවධිය. මේ කෘමියා මේ ලාවා අවධියේ අවුරුදු කීපයක් ජීවත් වෙනවා. වැලි සහිත බිමක කුඩා වලවල් හදාගෙන ජීවත් වෙන බිංකුන්ඩා ඒ වලවල් වලට වැටෙන කූඹින් ආහාරයට අරගන්නවා. කකුල් හයක් සහ සිරුරේ ප්‍රමාණයට තරමක් ලොකු හනු දෙකක් සහිත මේ කුඩා කෘමියා සැඟවී ඉන්නට පහසු වීමට දුඹුරු පැහැතියි. අන් කෘමීන් අතරින් බිංකුන්ඩාගේ තවත් පුදුම සහගත විශේෂයක් තිබෙනවා. ඒ තමයි ඌට බහිශ්‍රාවි පද්ධතියක් නැති එක. ඌ ලාවා අවධියේ සිරුරේ ඇතිවන සියලුම අපද්‍රව්‍ය කෝෂ අවධියේ කෝෂය නිපදවන්නට සිරුරේම ගබඩා කර තබාගන්නවා. කෝෂ අවධියේ මාසයක් පමණ ගතකරලා වැඩුණු lacewing මැස්සා පිටතට එනවා. මේ මැස්සාගේ ආයු කාලය දවස් 30ක් වගේ කෙටි කාලයක්. ඌ බැලූ බැල්මට බත් කූරෙක් වගේ වුණත් ඒ පවුලේ නෙමෙයි.
Antlion Lacewing


Antlion Larvae

ඉස්සර එළියේ සෙල්ලම් කරන්න බැරි වැස්ස දවස්වලට මල්ලියි මායි ගෙයි අයිනේ ඇන තියාගෙන පණ යනකම් බිං කුන්ඩෝ හාරනවා. දඟ වැඩක් නොකරන නිසාත්, වැස්සේ තෙමෙන්න ගිහින් නැති නිසාත් අපේ වැඩිහිටියන්ගෙනුත් මේ වැඩේට බාධාවක් නැහැ. අපි ඒ කාලේ කවි කිය කියා ගුල් වලින් හාර හාර එළියට අරන් තියෙන්නේ මේ තරම් වැඩ කාරයෙක්ව නේ ... දැන් නම් පවු කියලාත් හිතෙනවා!


Common Name: Antlion
Scientific Name: Myrmeleon sp.
Order: Neuroptera




9 comments:

  1. බිං කුන්ඩාගේ බෑවුමක් සහිත කෝණයක් වැනි උගුල සාදාගැනීමත් ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක්. බිං කුන්ඩා උගේ විශාල උදරය යටට සිටිනසේ සිහින් වැල්ලේ බඹරයක් වාගේ කැරකෙනවා. ඒ සමගම සිහින් වැලි පමණක් ඉතිරිවන ලෙස විශාල වැලි කට සහ සිහින් බොරළු පාද වලින් ඈතට වීසි කරනවා. මේ නිසා කෝණය වැනි උගුල සාදා ගන්නවා. ඌ කෝණයේ පතුලේ හරි මැද සිහින් වැල්ලේ සැඟවී සිටිනවා. කෝණයේ ගැට්ටට එන කුහුඹුවෙකු හෝ කඩියෙකු හෝ වෙනත් කුඩා කෘමියෙකු සිහින් වැල්ලේ එරෙමින් පතුළටම වැටෙනවා. හරියට quick sand තිබෙන තැනක වගේ. මේ නිසා උගේ මේ විශේෂ නිවාසය වැනි ස්ථානය ආහාර ලබාගැනීමේ උගුල. බිං කුන්ඩා මාංශ භක්ෂක සතෙක් වන්නේ මේ නිසයි. මෙම ජීවන ක්‍රියාවලියටම ගැලපෙන ආකාරයට උගේ යටි හනුව දෙපැත්තේ තියුණු දැති සහිත ශක්තිමත් ව්‍යුහ යුගලයක්ද තිබෙනවා. බිං කුන්ඩාගේ උගුල යම්කිසි ක්‍රමයකින් වැසි ගියහොත් ඌට මිනිත්තුවක් වැනි සුළු කාලයකදී අලුත් උගුලක් සාදා ගත හැකියි.

    ReplyDelete
    Replies
    1. AnonymousJuly 15, 2022

      යම් යම් කාරනා තාක්ෂණික හරි, සමහරක් කරුණු වැරදි දයා මල්ලි.

      -රංග තේනුවර -

      Delete
    2. AnonymousJuly 16, 2022

      රංග මල්ලි, සැල්මන් ෆිලට් කෑල්ලක් කාපු කාලයක් මතක නෑ මල්ලි.

      Delete
    3. තාත්තා - ඒ කාලේ අපි වැඩිය හිතුවේ නැතිවට බින්කුන්ඩා කියන්නේ ටිකක් සංකීර්ණ කෘමියෙක්

      Delete
  2. https://www.antlionpit.com/borges.html

    ReplyDelete
  3. අඩේ මේතරම් විස්තරයක් දැණගෙන හිටියෙ නෑ. අර මැස්සගෙ කතාව අහල තිබ්බෙම නෑ.🙏👌

    ReplyDelete
  4. මෙච්චර දෙයක් දැනගෙන නෙවෙයි හිතුවෙවත් නැහැනේ. Thanks ඔයාට

    ReplyDelete
  5. බස්සා, කුමුදු- කවුද හිතුවේ බින්කුන්ඩා කවදා හරි ඉගිලිලා යයි කියලා නේද? :D

    ReplyDelete