July 27, 2018

විද්‍යා ප්‍රබන්ධ නොස්ටැල්ජියාවක සටහන්

මෑතක සිට ගමන් බිමන් යන අතරතුර වාහනයේදී මගේ කණ පිරෙන්නට විද්‍යා ප්‍රබන්ධ කතා ගැන අසන්නට ලැබීමේ ප්‍රවනතාවයක් ඇත. ඒ, ඒ පොත් ශානරය ළඟදී සොයාගත් මගේ එකොළොස් හැවිරිදි පුත්‍රයාගෙනි. මෑත කාලයේදී නම් විද්‍යා ප්‍රබන්ධ කියවීමට මගේ විශාල නැඹුරුවක් ඇති නොවුනත් පුතුගේ කතා අසද්දී මා ද මෙවැනිම කුතුහලයකින් ඒවා කියවූ කාලයක් සිහි විය.

මට ද කුඩා කාලයේ පටන් පොත් කියවීමේ මහත් පිපාසයක් තිබිණි. ඒ ඒ  කාලවලදී තිබුණු විශාලතම ගැටලුව නම් කියවන්නට දෑ සොයාගැනීම ය. මෙසේ කියවන්නට 'කුමක් හෝ පොතක්' සොයමින් සිටි මට වයස දොළහ-දහතුන කාලයේදී අහඹු ලෙස පොත් ඉල්ලමක් හමුවිය.


එකල තාත්තා ලංකාවේ සිටියේ නැත. අම්මාත් අක්කලාත් මාත් මසකට වරක් වත් ආච්චි බලන්නට තාත්තාගේ මහගෙදර යන්නට පුරුදු වී සිටියෙමු. එහි සිටියේ ආච්චීත්, එවකට අවිවාහකව පසු වූ නැන්දලා දෙදෙනාත් බාල ම බාප්පාත් පමණි. බොහෝ විට අප එහි පැය තුන හතරක් ගතකළ බැවින් මේවා කලබල ගමන් නොවිණි. මෙවන් ගමනකදී මා බාප්පාගේ කාමරයේ පොත් අල්මාරිය අවුස්සා පොත් පෙරළා බලන්නට වූයේ සුපුරුදු ලෙස කියවන්නට යමක් සොයමිනි. ආච්චි කියන්නාක් මෙන් 'රටේම තිබෙන ගමන්' ඇති බාප්පා නිතර ගෙදර නොසිටීම මට පහසුවක් විය. ඒ පොත් අල්මාරියේ තිබී 'Amazing Stories ' නම් පැරණි සඟරා මිටියක් මට හමුවිණි. පෙරලා බලද්දී ඒවා ඒ වෙද්දීත් වසර තිහක් පමණ පැරණි ඇමෙරිකානු සඟරා බවත් ඒවායේ තිබුණේ විද්‍යා ප්‍රබන්ධ බවත් මට වැටහිණි. පොත් අල්මාරිය අසලම බිම හිඳගෙන පලවෙනි සඟරාව කියවූ මා එදා ගෙදර යද්දී තවත් සඟරා දෙකතුනක් ගෙන ගියේ ඒ කතා කෙරෙහි සිත ඇලුණු නිසා ය. අවසර ගන්නට බාප්පා ගෙදර නොසිටි නිසාත්, ආපසු එහි එන දිනක ඒවා නැවත ගෙන එන්නට සිතා සිටි නිසාත් එසේ ගෙනයාම වරදක් ලෙස මට නොහැඟිනි. පොත් පිපාසාව සියල්ලට වඩා බලවත් විය. ගෙදරදී නිවිහැනහිල්ලේ කියවූ පසු මේ Amazing Stories සඟරා වෙත ඇබ්බැහි වන්නට මට වැඩි කලක් ගත වූයේ නැත. ඒ වෙද්දී මා විද්‍යා ප්‍රබන්ධ කියවා තිබුණේ නැති අතර අඟහරු ජීවින් ගැන, සිතිවිලි කියවිය හැකි රොබෝවරුන් ගැන, මායා ග්‍රහලෝක ගැන ලියැවී තිබුණු මේ කතා මාහට ඉතා රසවත් විය. ඒවායේ තිබුනේ දුර්වර්ණ වූ රේඛා චිත්‍ර සහිත පිටු වූ නමුත් කතා එක හුස්මට කියවන්නට ඒ බව බාධාවක් නොවීය. මා මෙලෙස කිහිප වතාවක්ම බාප්පාගේ සඟරා එකතුවෙන් සඟරා ගෙදර ගෙනා අතර, කලින් වතාවේ ගෙනා සඟරා යළිත් ගෙන ගොස් අල්මාරියේ තිබුණු තැනම තැබීමට අමතක කළේ නැත. මීට අවසර ගන්නට ගියා නම් කවුරුන් හෝ එපා කියනු  ඇතැයි යන ළමා සිතිවිල්ල මසිතෙහි වූ නිසා ඒ ගැන නිහඬවම ඉන්නට මා උනන්දු විය.


 
 
පැරණි Amazing Stories සඟරා


එහෙත් දිනක් අප මහගෙදරට ගොස් සිටි විටෙක බාප්පා මා පසෙකට අඬ ගැසුවේය. මේ නම් පොත් අල්මාරිය ඇවිස්සීම ගැන බැනුමක් යැයි මට ක්ෂණික බියක් දැනිණි.

'ඔයා පුතේ ඔය අල්මාරියේ තියෙන ඕන පොතක්, සඟරාවක් ගෙදර අරගෙන ගිහින් තියාගෙන කියවන්න. ඒවා ඔයගොල්ලන්ගේ තාත්තාම කාලයක් තිස්සේ එකතු කරපු පොත්පත්. ඒ නිසා සැරෙන් සැරේ ආයෙත් ගෙනත් තියන්න  ඕන නැහැ. ඔයා ළඟ තමයි ඕවා තියෙන්න ඕන!' යයි කියූ බාප්පා මගේ හිසද  අතගා යන්නට ගියේ ය. එය අසා මට මහත් සතුටක් මෙන්ම ලජ්ජාවක්ද දැනිණි. මා වරින්වර සිය කාමරයේ ඇති පොත් අල්මාරිය අවුස්සන බවත් එහි පොත් ගෙදර ගෙනගොස් යලිත් ගෙනවිත් තබන බවත් බාප්පා මුල සිටම දැනගෙන සිටින්නට ඇත. ඒ කාර්යය මා ඔහුට දැනුම් දී කළ යුතුව තිබිණි. එහෙත් ඉන් තරහා නොගත් ඔහු මට රිසි සේ ඒවා අයිති කරගන්නට අවසර දෙන්නට තරම් කාරුණික විය. එතෙක් මා කියවා තිබුණේ තාත්තාම කාලයක් තිස්සේ එකතු කරන ලද සඟරා මිටියකි! අවසරය ලැබුණු දිනම, Amazing Stories මිටියම ගෙදර ගෙන ආ මම කාලයක් යනතුරු නැවත නැවත කියවමින් ඒවා රස වින්දෙමි. අදටත් ඒවායේ තිබූ බොහෝ කතා පැහැදිලිව මතකයේ රැඳී ඇත.

මගේ විද්‍යා ප්‍රබන්ධ මතක ගැන පුතුට කියා ඔහුට ඒ සඟරාවක පින්තූරයක් පෙන්වීමට අන්තර්ජාලයේ සොයද්දී තවත් අපූරු දෙයක් මට හමු විනි. එනම් Amazing Stories සඟරා වල පැරණි කලාප රාශියක් දැන් අන්තර්ජාලය හරහාම කියවිය හැකි බවයි. වසර අසූවකටත් වඩා පැරණි කලාප පවා එහි තිබුණු අතර මා කියවූ 1950-60 දශකවල කලාප දැක මට දැනුණේ පැරණි මිතුරෙක් දැකීමේ ප්‍රීතියයි. මේවායේ ඇති විද්‍යා ප්‍රබන්ධ කතාවල සුවිශේෂත්වය නම් කෙතරම් පැරණි වූවත් ඒවා කියවද්දී යල්පැනගිය බවක් නොහැඟීමයි. සමහරවිට මේ timeless බව ඒවා අනාගතය වෙත හැරුණු නෙතින් ලියවුනු නිසා විය හැක. යලිත් මුණගැසීමේ ප්‍රීතිය නිමිත්තෙන් මින් කතා කිහිපයක්ම නැවතත් කියවූ මා හට දැනුණේ වසර තිහක් තරම් එපිට අතීතයකට නොස්ටැල්ජියාවකි.

ඔබත් විද්‍යා ප්‍රබන්ධ රසිකයෙක් නම්, ඒ ප්‍රබන්ධ කතා පැරණි වූවත් ඒ බව ඔබේ රසවින්දනයට බාධාවක් නොවේ නම් පැරණි Amazing Stories සඟරා වෙත ඔබට මෙතැනින් පිවිසිය හැක.
 
නොඑසේ නම් ඔබ විද්‍යා ප්‍රබන්ධ රසිකයෙක් නොවුණත් හිරිගඩු පිපෙන වර්ගයේ එක් කෙටිකතාවක් හෝ කියවීමට මනාපයක් ඇත්නම් Philip K Dick ගේ The Commuter කෙටිකතාව (140 පිටුව) කියවන මෙන් ඔබට ඇරයුම් කරමි. ( Amazing Stories, Aug-Sept 1953. Volume 27, Number 6, pp 140-151)

https://archive.org/details/Amazing_Stories_v27n06_1953.08-09_images_



2 comments:

  1. කාලයාගේ ඉක්මයාම සහ පදිංචි ස්ථාන වෙනස් කිරීම වැනි නොවැලක්විය හේතු නිසා මටත් සහමුලින්ම අමතකවී ගියා Amazing Siories පොත් තොගය ගැන. ලියා තිබෙන Post එක නිසා මට එකවරටම වසර හැටක් පමණ අතීතයට යාමට හැකි උනා. ඇත්තටම මේ පොත් තොගය දැන් කොහෙද? තාමත් තිබෙනවානම් ඒවායේ කෞතුක අගයකුත් තිබෙනවා !. ඔය පොත් ගැන උනන්දුව ඇති වුයේ මිනිසා හඳ මත පා තැබූ කාලයේදීයි. ආතර් ක්ලාක් වියතාණන් විසින් ලියන් ලද විද්‍යා ප්‍රබන්ධත් ඔය කතා අතර ඇති. විවිධ උපකරණ සහ අද්භූත ක්‍රමවේද භාවිත කර අභ්‍යවකාශයේ කරන දස්කම් ගැන කියවන්නට හරිම ආශාවක් ඒ කාලේ අපට තිබුණේ.

    සකස් කර තිබෙන කතන්දරය හරි අගෙයි.

    ReplyDelete
  2. ලිංකුවට ස්තූූතියි

    ReplyDelete