August 01, 2017

චෙරි රස චොකලට්

කවුරුහරි පිටරට සවාරියක් ගිහින් එද්දී කාර්යාල සගයන්ට මොනවා හරි රසකැවිල්ලක් ගේන එක දැන් අපේ කාර්යාලේ චාරිත්‍රයක් වෙලා. හදිසියේවත් අමතක වුණොත් ළඟම තියෙන කඩේකින්වත් කෑමක් නොගෙනාවොත් විසුමක් නැහැ. ලිතුවේනියාට ගිය සංචාරයකට පස්සේ ජුඩිත් ආයෙත් ආවේ අද. ඈ නම් අමතක නොකරම මොනවදෝ පාර්සලයක් ගෙනත් කෑම කන මේසය උඩින් තිබ්බා. උදේ තේ බොන වෙලාවේ හැමෝම ඒක වටේ රොක් වුණා.

"ඔයගොල්ලන්ට මම විශේෂ ලිතුවේනියානු චොකලට් ජාතියක් ගෙනාවා. මේවා චෙරි රසයි... මම ආසම ජාතිය! හැබැයි ඒ ආස ඒවා රස නිසාම විතරක් නෙමෙයි!"

ජුඩිත් බොහොම උද්යෝගයෙන් චොකලට් බෙදන ගමන් කීවා. කෝපි බිබී චොකලට් කන ගමන් අපිත් ජුඩිත් ගේ චොකලට් කතා අහන්න එකතු වුණා.

"අපි ඉස්සර හරිම දුප්පත්. තාත්තා රේල්ලුවේ වැඩ කළේ. අපි හිටියේ රේල්ලුවේ සේවකයන්ගේ නිල නිවාසවල. නිවාස කිව්වාට ඒවා නිකම් කෑලි දෙකේ පේළි ගෙවල්. රේල්ලුවේ දුම් බැඳිලා ඒ ගෙවල් ඔක්කොම කළු ගැහිලා තිබුණේ. අපි හැමෝටමත් ඒ දුම් නිසා හැමදාම හොඳ නොවෙන කැස්සක් තිබ්බා. ඒත් වෙන ජීවිතයක් නොදැන හිටිය නංගිටයි මටයි ඉතින් ඒවායේ අඩුපාඩුවක් තේරුණේ නැහැ! අපි කැමතිම වැඩේ තමයි ඉස්කෝලේ ඇරිලා ඇවිත් රේල් පාර දිගේ ඇවිදින්න යන එක. එහෙම ටික දුරක් ගියහම තියෙන ලඳු කැලෑවේ සෙල්ලම් කරන්න අපි හරි ආසයි. සමහරවිට එහෙම වුණේ පේළි ගෙවල්වල එලියට බහින්නවත් හරිහමන් මිදුලක් නොතිබුණු නිසා වෙන්න ඇති.ඒත් අම්මලා අපිට රේල් පාර දිගේ ඇවිදින්න යන්න තහනම් කරලා තිබුණේ. අපි නම් හිතුවේ ඒ අයගේ නපුරුකමට කියලා. ඒත් දැන් නම් තේරෙනවා එහෙම යන ගමනකදී එක එක විදිහේ අනතුරු වෙන්න තිබ්බා කියලා. ඒ කාලේ අපිට ඒවා ගාණක් තිබුණේ නැහැ." 

ජුඩිත් එක හුස්මට කියාගෙන ගියා. ඇගේ කතාව අහගෙන ඈ එක්කම අපිත් ලිතුවේනියාවේ ඈත ගමක රේල් පාරක් දිගේ ඇවිදගෙන ගියා.

"එහෙම ඇවිදින්න ගිය සමහර දාට ටික වෙලාවක් ගිහින් අම්මා මල්ලිවත් ඉනේ ගහගෙන අපිව හොයන්න රේල් පාර දිගේ එනවා. එහෙම ඇවිත් අපි දෙන්නාව කණෙන් ඇදගෙන ගෙදර යනවා. අම්මා අපිට ගහන්නේ නැහැ. සියලුම දඬුවම් තාත්තාගෙන් නිකුත් විය යුතුයි කියලා ප්‍රතිපත්තියක් අම්මාගේ තිබුණා. "ආවදෙන්කෝ තාත්තා.. මම ඉල්ලලා දෙන්නම් හොඳවැයින්!" ඈ ආපිට ගෙදර එන ගමනේදී තර්ජනය කරනවා. අපි දඟ වැඩක් කළ දවසට ඇගේ නීතිය වුණේ තාත්තා එනකම් අපි කිසිම සෙල්ලමක නිරත නොවී දොරකඩ පඩිය උඩ වාඩිවෙලා ඉන්න ඕන බව. තාත්තා ගේට්ටුවෙන් ඇතුල් වුණු ගමන් අම්මාගෙන් නඩුව අහලා එතනදීම තමන්ගේ බඳ පටිය ගලවනවා. නංගිටත් මටත් එවෙලේම පාරවල් කිහිපයක් ලැබෙනවා. ඇත්තටම කියනවානම් ඒ දඬුවමේ අමාරුම කොටස වුණේ පාරවල් දරාගන්නා එක නෙමෙයි. පාරවල් ලැබෙන බව දැන දැන ඒවා ලැබෙනකම් පැය ගණනක් බලාගෙන ඉන්න එක. ඒත් ඒ කාලේ අපි ඒ තීන්දු ප්‍රශ්න කළේ නැහැ. කී දේ නාහා දඟ වැඩ කළ එක නතර කළේත් නැහැ. ඒනිසා ඉඳහිට හම් පටි පාරවල් පිට හරහා වදින එක නැවතුනෙත් නැහැ.

ජුඩිත් හිනාවෙමින් කීවත් ඇගේ ඇස් වල කඳුළු දිලිසුණා. 

"එක දවසක් නංගිත් මාත් මොකක් නමුත් ලොකු දඟ වැඩක් කරලා තිබුණා. හරියටම මොකක්ද කියලා මේ වෙද්දී මතක නැතත් සෙල්ලමකදී ඉස්කෝලේ ඇඳුම් ඉරුණු බවක් මට යන්තම් මතකයි. ඇඳුම් ඉරාගත්තොත් අළුත් ඇඳුම් ගන්න සල්ලි යනවා. එහෙම නාස්ති කරන්න සල්ලි අපිට තිබුණේ නැහැ. කවදාවත් නැතිව එදා අම්මගෙනුත් අපිට පාරක් දෙකක් වැදුණා. ඒත් තාත්තාගෙන් හරි දඬුවම ලැබෙනකම් වෙනදා වගේම පඩිය උඩ බලාගෙන ඉන්නත් අණ ලැබුණා.  ඒ වෙද්දී මට වයස අවුරුදු හතක් අටක් විතර. නොහිතා දඟ වැඩ කළත්, ඒවායේ බරපතලකම පස්සේ තේරිලා පසුතැවිල්ලක් ඇතිවෙන තරම් වයස. ඒනිසා තාත්තා එනකම් බලාගෙන ඉන්න අතරේ නංගිට වඩා වැඩියෙන් මම පිච්චෙමින් හිටියේ. ඉරුණු ගවුමේ පලු දෙක එකතු කරමින්, මොනයම් හාස්කමකින් හරි ඒ ඉරුණු තැන හාවෙන්නයි හිතමින්, හූල්ලමින් මම උන්නේ. අඬලා වැඩක් නැති බව තේරෙන්න තරම් මම මෝරලා හිටියේ. ඒත් අඬන්නේ නැතිව පපුවේ එකතුවෙන කඳුළුවල බර දරාගන්න මම දැනගෙන හිටියේ නැහැ."

"වෙනදා වෙලාවටම තාත්තා මහන්සියෙන් කොර ගහමින් අඩිපාර දිගේ එද්දී කළුවරත් වැටිලා තිබුණේ. සුපුරුදු විදිහට අම්මා ගේට්ටුව ළඟදී තාත්තාට මොන මොනවාදෝ කිව්වා. තාත්තාත් ආපිට ඒවාට උත්තර දුන්නා. තාත්තා අපේ ලඟට එද්දී පැය ගාණක් තිස්සේ බලාගෙන උන්නු දඬුවම විඳින්න මමත් නංගිත් සූදානම් වුණා. අපි උන්නේ බිම බලාගෙන. ඒත් එදා වෙනදාට පිට හරහා වදින හම් පටි පාර වෙනුවට ඇහුනේ තාත්තාගේ කටහඬ. 

'වයිකායි!' තාත්තා හෙමින් සැරේ කිව්වා. 

ඒ කියන්නේ 'මගේ පුංචි හිඟන්නියෝ' වගේ අදහසක්. 

තාත්තාගේ කටහඬේ තිබුණු ආදරේ දැනිලා අපි දෙන්නාම ඔලුව උස්සලා බැලුවේ එක සැරේ. තාත්තා අතේ හම් පටිය වෙනුවට තිබුණේ පාර්සලයක්. දඬුවමක් නොලැබී මේ වෙන දේ හිතාගන්න බැරිව මම ගල් ගැහිලා ඉන්දැද්දී නංගි තාත්තාගේ අතින් ඒ පාර්සලය ඩැහැගත්තා. ඒකෙ තිබුණේ මේ මම අද ගෙනාව චෙරි චොකලට්. ඊට කළින් කවදාවත් තාත්තා අපිට වැඩ ඇරිලා එද්දී රසකැවිල්ලක් ගෙනත් නැහැ. එහෙම කරන්න තරම් වත්කමක් අපිට තිබුණේ නැහැ. ඒත් එදා විශේෂ දවසක්. තාත්තා අවුරුදු ගාණක් රෑ ඉස්කෝලේ ගිහින් මහන්සි වෙලා ඉගෙනගත්තු නිසා රස්සාවේ උසස්වීමක් ලැබිලා. අළුත් තනතුරක්, පඩි වැඩි වීමක් එක්කම අළුත් නිල නිවාසෙකුත් ලැබිලා. ඒ විස්තර අපි දැනගත්තේ පස්සේ. ඒ වෙලාවේ නම් දැනුණේ පුදුමයක්, සතුටක් එක්ක වැරැද්දට දඬුවමක් නොලැබුණු එක ගැන නොහිතූ විදිහේ රිදුමක් විතරයි. ඒ හැඟීම විස්තර කරන්න මට තේරෙන්නේ නැහැ. එදා ඉඳන් අද වෙනකම් මම අනන්ත රසකැවිලි ජාති කාලා ඇති. ඒත් මට මේ චෙරි චොකලට් තරම් රස දෙයක් නම් හම්බවෙලා නැහැ! නංගිට නම් මේ සිද්ධිය මතක නැහැ. මට නම් අමතක වෙන්නේ නැහැ!"

ජුඩිත් කතාව ඉවර කරද්දී කෑම කාමරයම නිහඬ වෙලා. අහගෙන උන්නු හැමෝගෙම ඇස් අග කඳුළු දිලිසුණා. කියන්න ඕන මොනවාදැයි හිතාගන්න බැරිව හැමෝම ගොළුවෙලා උන්නා. 

"මේ මොකද හැමෝම දුකෙන් වගේ?" ජුඩිත් සුපුරුදු විදිහටම හිනා වුණා. "ඒක සතුටු කතාවක්! ඒ නිසා අඬන්න බැහැ! කෝ මේ චොකලට් ටික කාලා ඉවර කරන්න!" ඈ ආයෙත් චොකලට් පාර්සලය අතින් අත යැව්වා.  අවුරුදු ගණනාවකට ඉස්සර පුංචි ජුඩිත්ට දැනුණු බලාපොරොත්තුවේත් අනපේක්ෂිත සතුටේත් රස ඒ චෙරි චොකලට් අතරින් අපටත් දැනුණා. 


Image result for rail tracks overgrown
pic- ornusminerals











6 comments:

  1. සත්‍යය ප්‍රබන්ධයට වඩා විශ්මයජනකය කියලා කියනවනේ. යම් යම් දේ එක්ක බද්ධ වුණු අපි නොහොතන කතා කොච්චර නම් ඇද්ද මේ වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් තිසර, සමහර වෙලාවට කතාවට සෘජුවම සම්බන්ධ කෙනාට නොතේරුණත් අහන අය ඒ කතාවට නොහිතන විදිහට සංවේදී වෙන්න පුළුවන්. තමන්ටත් දැනුන සමාන අත්දැකීමක් මතක් වෙලා කම්පනයක් ඇතිවෙන්නත් පුළුවන්.

      Delete
  2. ඔබේ කතාව මාව මනසින් ලිතුවේනියාවට රැගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසංග

      Delete
  3. හරිම හොඳ කතාවක්. මට ලංකාවේ වගේ දැනුනා. රේල් පාර, සේවක නිවාස, රේල් පාර දිගේ ඇවිදීම,අම්මා මල්ලිවත් ඉනේ ගහගෙන ඒම, අගහිඟකම් ආදිය අපේ ඈත පලාත්වල තවමත් තිබෙනවා. ඒ උනත් ලංකාවේ ළමයින්ට බඳ පටියෙන් ගහන්නේ නැහැනේ. අපේ තිබෙන්නේ "වේවැල්, කෝටු, නාරං, සියඹලා අතු" බව පැරණි සාහිත්‍යයේත් පෙන්වා දී තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ වගේ ජීවිත ලෝකේ හැම අහුමුල්ලකම ඇති! ජුඩිත් ගේ නෑයෝ කවුරුත් දැන් ලිතුවේනියාවේ නැතත් පරණ තැන් බලලා මතකය අලුත් කරගන්නයි ගිහින් තිබුණේ. ඒ ගමනෙන් recover වෙන්න ටිකක් කල් ගියා කියලා තමයි එයා කියන්නේ.

      Delete