December 29, 2025

මිස්ටර් පෝක්


මිස්ටර් පෝක් කියන්නේ මම දන්නා අඳුනන ඌරෙක්. එයා මගේ මිතුරියක් වන සැලීගේ සුරතලා. සැලී උද්‍යාන නිර්මාණ ශිල්පිනියක්. ඒ වගේම එයාට තියෙනවා ගෙවතු නඩත්තු ව්‍යාපාරයක්. තමන්ගේ ගෙවත්තේ කැලෑව වැවිලා නම් සැලීගේ ආයතනයට කිව්වාම එයාලා ඇවිත් ඒක ලස්සන කරලා දෙනවා. 

මිස්ටර් පෝක්ව සැලී ගොවිපොළකින් බේරාගෙන තියෙන්නේ ඌ පුංචිම පුංචි කාලේ. එයාව මසට ඇතිකරමින් ඉන්දැද්දී බේරාගත්තු නිසාලු ඒ නම දැම්මේ. "හොඳ වෙලාවට මිස්ට පෝක් එයාගේ නමේ තේරුම දන්නේ නැහැ!" සැලී මට කියන්නේ හිනාවෙමින්. ගෙනෙද්දී දෑතට වඩාගෙන ආව පුංචි ඌරු පැටියා දැන් නම් කිලෝ හාර පන්සීයක් බර ඌරු තඩියෙක්. හැබැයි එයා හරි ප්‍රිය මනාප පෙනුමක් තියෙන ලස්සන හිනාවක් තියෙන ඌරු මහත්තයෙක්! 

සැලී යන සමහර ගෙවතු අලංකරණ, නඩත්තු වැඩ වලටත් මිස්ටර් පෝක් ව අරගෙන යනවා. වැඩියත්ම පොලොව හාරන්න, පස බුරුල් කරන්න තියෙන දවස්වලට. ඒවාට මිස්ටර් පෝක් ලොකු සහයෝගයක් දෙනවාලු. එහෙම හාරද්දී හම්බවෙන අල ජාති, මුල් එහෙම එයාට කන්න ලැබෙන එක බෝනස් එකක් ඉතින්. වැඩ කරන වෙලාවට වැස්සක් එහෙම වැටෙන්න ගත්තොත් ආයෙත් මිස්ටර් පෝක් ව ගෙදර ගෙනියනවා බොරු ලු. එයා ඒ තරමට වැස්සට ආසයි. මේ ගමන් වලදී සැලී ගේ පොඩි ට්‍රක් එකේ පිටිපස්ස ඇරලා මිස්ටර් පෝක් ව එළියට ගනිද්දී ගෙහිමියන්ගේ මූනු වල පුදුමය බලන්න සැලී හරි ආසයි. I love to see their jaws drop when they see him! සැලී කියන්නේ හරි විනෝදෙන්.

සැලී ගේ අතේ පුංචි ඌරු පැටියෙකුගේ ටැටූ එකක් තියෙනවා. ඒක නම් එයා ගහලා තියෙන්නේ මිස්ටර් පෝක් හම්බවෙන්න කළින් ලු. පොඩි කාලේ එයාගේ ආසම පොත Charlotte's Web කියන ළමා කතාව ලු. ඒකෙ විල්බර් කියන ඌරු පැටියා වෙනුවෙනුයි ඒ ටැටූ එක එයා පස්සේ කාලෙක ගහගෙන තියෙන්නේ. සැලී ගේ මේ ඌරු ආදරය නිසා මම එයාට මේ ඌරාව ඇඳලා දුන්නා. මේ ඉන්නේ වැස්සේ නටන මිස්ටර් පෝක්. මේක කලින් ලැබුණා නම් දැනට තියෙන ටැටූ එක වෙනුවට මේක ගහන්නත් තිබ්බා කියලා සැලී හිනාවෙනවා!

12 comments:

  1. "හැබැයි එයා හරි ප්‍රිය මනාප පෙනුමක් තියෙන ලස්සන හිනාවක් තියෙන ඌරු මහත්තයෙක්!" එයා හිනා වෙනවා බලන්න ආසාවක් ඇති වුණා 😊.

    "ගෙනෙද්දී දෑතට වඩාගෙන ආව පුංචි ඌරු පැටියා....". How sweet.

    සැලී සහ මිස්ටර් පෝක් ගැන මලී කලින් දවසක ලිව්වා නේද; සැලීගෙ ලාස්ට් ඩේ ඇට් ස්කූල් වගේ මට මතක. සැලීට නේද පරෙවියන්ව පේන්න බැරි 😍🤣

    ReplyDelete
    Replies
    1. Lotus ගේ මතකයට සම්මානයක් දෙන්න වටිනවා. ඔය ගානට දේවල් මතක තිබ්බාම මදැයි! :D
      ඔව් මේ ඒ සැලී තමයි. මේ තියෙන්නේ කලින් පෝස්ට් එක
      https://hotchocolatedays.blogspot.com/2021/03/blog-post_22.html
      පරෙවියෝ නෙමෙයි හැබැයි තාරාවෝ! 😂

      Delete
  2. දන්නා අඳුනන ඌරෙක්! 🤣 අහා! රස්සාවක් කරන ඌරු මහත්තයෙක්. වංසෙ පොට්-බෙලි වෙන්ටෑ?😜

    සුබ නව වසරක්!

    ReplyDelete
    Replies
    1. ඔව්, බොහොම වැදගත් ඌරු මහත්තයෙක්! :D
      ඔබටත් සුබ නව වසරක්!

      Delete
  3. +++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  4. mr pork ගේ පින්තුරයක් තිබ්බනම් මරු

    ReplyDelete
    Replies
    1. පින්තූරයක් නම් නෑ කුමුදු.
      ඔයා ගෙදර ඇවිල්ලා නේද

      Delete
    2. ඔව් ආවා. අනේ....දැන් තමයි අම්බානක වැඩ කියන එක වැටහුනේ හරියටම. නිවාඩු තිබ්බත් දාගන්න විදියක් නැහැ, අන්තිම දවසනේ. හොඳටම වැඩ. හොඳම ලස්සනම කාලයක් ගතකලා. ඔයාගේ හමුවීම ඒක වර්ණවත් කලා, Thanks for everything Malee.

      Delete
    3. අහඹු හමුවීම් බොහොම සුන්දරයි! ස්තූතියි ඒ සොඳුරු මොහොතට.
      ආයෙත් වතාවක් පිළිවෙලට හමුවෙමු.
      ඔයාටත් පවුලේ අයටත් සුබ නව වසරක්!

      Delete