December 04, 2022

නත්තලට පෙර දා

Translation of the short story 'One Christmas Eve' by Langston Hughes (1902-1967)



උණුසුම් උදුන අසල රාත්‍රී ආහාරය සකසමින් සිටි 'කාල වර්ණ' සේවිකාව වන ආසීට දැනුණේ මහත් වෙහෙසකි. එදා දවසේ කෑම වේල් සඳහා කෑම පිසින අතරතුරේදීම ඈ තමන් සේවය කළ සුදු ජාතිකයන්ගේ නිවස හෙට එළඹෙන නත්තල වෙනුවෙන් සම්පූර්ණයෙන්ම පිරිසිදු කර තිබිණි.ඒ වෙද්දී ඇයට දරුණු කොන්දේ වේදනාවක් දැනුණු අතර අධික තෙහෙට්ටුව නිසාම ක්ලාන්ත ගතියක්ද දැනුණි. ඉක්මණින්ම ගෙහිමි කාන්තාවත් ඇගේ දරු දෙදෙනාත් රාත්‍රී ආහාරය ගැනීමට නිවසට පැමිණෙන්නේ නම් ඇයට තම වැඩ මුරය අවසන් කරන්නට හැකි වනු ඇත. දැනටමත් දිලිසෙන සැරසුමින් පිරී ඉටිපන්දම් දැල්වීමට සූදානම් කර තිබුණු නත්තල් ගසේ එල්ලීමට තවත් විසිතුරු අරුමෝසම් දේ මිලදී ගැනීමට ඔවුන් ගොස් තිබිණි.

ජෝ වෙනුවෙන් තමන්ටද නත්තල් ගසක් මිළදී ගන්නට ඇත්නම් කියා ආසීට සිතුණි. ළමා කාලයේදී එවැනි දේ ලැබීම සුන්දර අත්දැකීමක් වූවත් ඔහුට කිසිදිනක එවැන්නක් ලැබී තිබුණේ නැත. පස් හැවිරිදි ජෝගේ හයවෙනි උපන්දිනයට තිබුණේ මාස කිහිපයකි. සුදු ගෙහිමියන්ගේ උදුනේ රෝස්ට් වෙමින් තිබුණු මස් වෙත දෑස යොමු කරගෙනම ආසී කල්පනා කළේ සෙල්ලම් බඩු වෙනුවෙන් ඇයට එදින කෙතරම් මුදලක් වෙන්කළ හැකිද යන්නයි. ඇයට සතියකට ලැබුනේ ඩොලර් හතක පඩියක් වූ අතර ඉන් හතරක්ම වැය වූයේ ඇගේ නවාතැනටත්, ආසී වැඩට ආ විට ජෝ ව බලාගත් ඒ නිවස හිමි කාන්තාවට ගෙවීමටත් ය.

"දෙවියනේ, දරුවෙක් උස් මහත් කරන එක හිතන තරම් ලේසි නැහැ," ඈ කල්පනා කළා ය.

මුළුතැන්ගෙහි මේසය මත වූ ඔරලෝසුව වෙත ඈ දෑස් යොමු කරද්දී හත පසුවී තිබිණි. සුදු මිනිසුන් මෙතරම් අනුන් කෙරෙහි නොසැලකිලිමත් වූවේ කෙලෙසද? ඔවුන් රාත්‍රී අහාරයට ගෙදර නොඑන්නේ ඇයි? කඩ පෙළ වසා දමන්නට පෙර ඇය බඩු මිළදීගත යුතු බව ඔවුහු දැන සිටියහ. ඔවුන් ඉක්මණින්ම නොපැමිණියහොත් ඇයට ජෝ වෙනුවෙන් කිසිවක් මිළදී ගන්නට නොහැකි වනු ඇත. ජෝ බලාගත් කාන්තාවත්, ඉක්මණින් ඔහුගෙන් මිදී කඩ පොළ වෙත යාමට මඟ බලා සිටිනවා ඇත.

"මොන කරුමයක්ද!" ආසී තමාටම කියාගත්තාය. "මට සල්ලි තිබුණා නම් මම මෙයාලගේ කෑම උදුනේම තියලා යනවා. කඩ ටික වහන්න කලින් යන්නයි මට වුවමනා." ඒත් ඇයට ඒ වෙද්දීත් ඒ සතියේ පඩිය ලැබී තිබුණේ නැත. පඩි ලැබීමට නියමිත දවසට දිනකට පමණ පෙර වැටුණ ඒ දිනයේදී ඇයට පඩි ගෙවීමට ගෙහිමි කාන්තාව පොරොන්දු වී තිබුණි.

නිවසේ ඉදිරිපස දෙසින් දොරක් වැහෙන හඬත්, සිනා සහ කතාබහ හඬත් ඇසෙන්නට විය. ඒ වෙත ගිය ආසී දුටුවේ ගෙහිමි කාන්තාවත් ඇගේ දරුවනුත් ඔවුන්ගේ හිම කබා ගලවන අයුරුයි.

"ම්ම්ම් අද නම් නියම ක්‍රිස්මස් ඊව් එකක්," එක දරුවෙක් ආසී ට කීවේය. "එළියේ හොඳටම හිම වැටෙනවා, අම්මා තව පොඩ්ඩෙන් රතු ලයිට් එකකට කාර් එක නවත්තන්නේ නැතිව එලවාගෙන යනවා. හිම හින්දා එළියේ කිසි දෙයක් පේන්නේ නැහැ, මරු!"

"කෑම ලෑස්තියි," ආසී කීවාය. තම පාවහන් හිමේ ඇවිදීමට නුසුදුසු බව ඇයට කල්පනා වෙමින් තිබිණි.
එදින සුදු ගෙවැසියන් කෑමට හැකි තරම් වෙලාව ගත් බවක් ආසී ට හැඟිනි. ඈ පිඟන් සෝදන අතරේදී ගෙහිමි කත ඇගේ මුදල් රැගෙන පැමිණියාය.

"ආසී," ඈ කීවාය, "සමාවෙන්න, මම ඔයාට අද ඩොලර් පහක් විතරක් දුන්නොත් ප්‍රශ්නයක්ද? මේ ළමයි එක්ක තෑගි ගන්න ගිහින් මගේ මාරු සල්ලි ඉවර වුනා."

"මට ඩොලර් හතක් ලැබෙනවා නම් තමයි කැමති," ආසී කීවාය. "මට ඒ මුදල ඕන."

"කරන්න දෙයක් නැහැ මගේ ළඟ හතක් නැහැ ඔයාට දෙන්න," ගෙහිමි කත කීවාය. "සතියම ගෙවෙන්න කලින් ඔයාට සම්පූර්ණ මුදලම වුවමනා බව මම දැනගෙන හිටියේ නැහැ. මගේ ළඟ මාරු සල්ලි නැහැ."

ආසී ඩොලර් පහ ගත්තාය. හැකිතරම් උණුසුම් ලෙස සැරසුණු ඈ පා ඉක්මන් කර ගියේ කුඩා ජෝ සිටි තම නිවස වෙතටයි. ඔහුට අඩුම තරමේ නගරයේ කඩ සාප්පු වල ඇති නත්තල් ගස් බලන්නට ඉඩ ලැබෙනු ඇත.

කහ පැහැති සමකින් යුතු, තරබාරු, ඇගේ නිවස හිමි කාන්තාව පසුවූයේ කේන්තියෙනි. "ඔයා මේ දරුවා ගන්න අද ඉක්මණින් ඒවි කියලා මම හිතුවා. මාත් කැමතියි ඉඳහිට එළියට යන්න, හරිද?" ඈ ආසී ට දොස් පැවරුවාය.
ආසී ඊට පිළිතුරු නොදුන්නේ දරුවාව දිවා රෑ දෙකෙහිම බලාගැනීම තමන්ගේ රාජකාරිය නොවන බව ඈ කීමට ඉඩ ඇති නිසායි.

"එන්න ජෝ," ආසී තම පුතුට කීවාය, "අපි පාර දිගේ යමු."

"මට ආරංචියි නගරයේ නත්තල් සීයෙක් ඉන්නවා කියලා," ජෝ තම තුනී වූ කුඩා කබාය ඇඟලා ගනිමින් කීවේය. "මට එයාව බලන්න ඕන."

"ඒක නම් මම දන්නේ නැහැ," ඔහුගේ මව කීවාය. "ඉක්මන් කරලා ඔය බූට්ස් දෙක දාගන්න. වැඩි වෙලාවක් යන්න කලින් කඩ ටික වහයි."

නගරය වෙත යාමට සෑහෙන දුරක් යා යුතු විය. හිම වැටෙද්දීම ඒ මැදින් දෙදෙනා ඇවිද ගියේ තරමක අපහසුවෙන් වූවත් හිම නිසා දසත අලංකාර දසුනක් මැවුනි.

නගරයේ ප්‍රධාන වීදියේ නිල් සහ රතු විදුලි බුබුළු එල්ලා තිබුණි. නගර ශාලාව ඉදිරිපස නත්තල් ගසක් තිබුණත් එහි තිබුණේ විදුලි බුබුළු පමණක් වූ අතර එය පාමුල තෑගි තිබුණේ නැත. වෙළඳසැල් කවුළුවල සෙල්ලම් බඩු රැසක් තිබුණත් ඒවා තිබුණේ විකිණීම පිණිසයි.

"අම්මා, මට අරවා ඕන-" ජෝ නිරතුරුවම එසේ කීවත් ඔහුගේ මව නෑසුණු සේ ඉදිරියටම ඇවිද ගියාය. ඒ වෙද්දී රාත්‍රී දහයට ආසන්නව තිබුණු අතර වෙළඳසැල් වසා දමන්නට ආසන්න විය. ආසී ට ජෝ වෙනුවෙන් බාල අත්වැසුම් ජෝඩුවක්, ඔහුව උණුසුම් ව තබන්නට ආයිත්තමක් සහ සෙල්ලම් බඩුවක් දෙකක් ගන්නට වුවමනාව තිබිණි. පාවිච්චි කරන ලද ඇඳුම් විකුණන තැනකින් කුඩා දරුවන්ගේ ඇඳුම් කිහිපයක් ලබාගනු හැකිවෙනු ඇතැයි ඈ සිතුවාය. ශත දහයට බඩු විකුණන වෙළඳ සැලින් සෙල්ලම් බඩු කිහිපයක් ද ගනු හැකි වනු ඇත.

"ඕ අර බලන්න!" කුඩා ජෝ වෙළඳ සැල්වල කවුළු වෙත අත දිගු කරමින් මතුරමින් සිටියේය. සැරසිලි සඳහා යොදාගෙන තිබුණු විදුලි බුබුළු වැල් මෙන්ම වෙළඳ සැල් පෙළත් ඒවායේ දිදුලන නාම පුවරුත් උණුසුම් ව අලංකාරව දිස් විය.

ජෝ සඳහා අත්වැසුම් සහ වෙනත් දේ මිලදී ගැනීමට ආසී ට ඩොලරයකට වඩා වැය විය. තවත් වෙළඳ සැලකින් ඈ ශත හතලිස් නමයකට ඔහුට විශාල රස කැවිලි මල්ලක් ගත්තාය. ඉනික්බිති ඈ සෙනඟ අතරින් ඔහුව මිළ අඩුවට භාණ්ඩ විකුණනු ලබන තැනකට කැඳවාගෙන ගියාය. ඒ අතරමගදී ඔවුහු චිත්‍රපටි ශාලාවක් පසු කළහ. එහි ගොස් චිත්‍රපටි නැරඹීමට තමන්ට වුවමනා බව ජෝ කීවේය.
"බැහැ දරුවෝ! බැල්ටිමෝර් වල වගේ මෙහෙ කළු ජාතිකයින්ට චිත්‍රපටි බලන්න බැහැ. මේ වගේ පොඩි නගරවල ඊට ඉඩක් නැහැ. අපිට ඇතුළට යන්න බැහැ." ආසී කීවාය.
"ආහ්!" එය අසා කුඩා ජෝ කීවේය.
ශත දහයට බඩු විකුණන වෙළඳ සැලේ මහත් සෙනඟක් රැස් කමින් සිටියහ.ඉන් පිටත නැවතී තමන් එනතුරු සිටින ලෙස ආසී ජෝ ට කීවේ සෙනග අතරේ ඔහුව කැටුව යාම දුෂ්කර ක්‍රියාවක් බැවිනි. එමෙන්ම ඇය මිළට ගැනීමට බලාපොරොත්තු වූ සෙල්ලම් බඩු ඔහු දකිනවාට ඇය මනාප වූයේ නැත. ඒවා හෙට දින උදෑසන නත්තල් සීයාගෙන් ලැබෙන්නට නියමිත විය.

කුඩා ජෝ වෙළඳ සැල ඉදිරිපස ආලෝකය වැටෙන පෙදෙසේ හිම මත බලා සිටියේය. ඔහු පසුකර සෙනඟ යමින් එමින් තිබිණි. දිලිසෙන සැරසිලි සහිත නත්තල කෙතරම් සුන්දරද! නත්තල් සීයා කොහේ හෝ සිට පැමිණ එල්ලා තබන ලද මේස් තුළට තෑගි දමනවා ඇත. මඟ යනෙන හැම කෙනෙකුම පාර්සල් ඔසවාගෙන යමින් සිටි අතර කුඩා දරුවන් වෙතින් දිස් වූයේ මහත් ප්‍රීතියකි.

ටික වෙලාවකින් වෙළඳ සල ඉදිරිපස කල්පනා කරමින් බලා සිටීම ජෝට තිත්ත විය. හාත්පස වෙළඳසැල්වල කවුළුවල බැලීමට දේවල් රැසක් තිබිණි. ඔහු වටපිට බලමින් ටිකෙන් ටික ඉදිරියට යන්නට ගත්තේය . මෙසේ ඇවිදිමින් සිටි ඔහු සුදු ජාතිකයන්ගේ චිත්‍රපට ශාලාව දක්වා ම පැමිණ තිබිණි.

චිත්‍රපටි ශාලාවේ පිවිසුම් හලත්, එහි වීදුරු දොරවල් වලින් ඔබ්බෙන් ඇති පෙදෙසත් උණුසුම් ව, දිලිසෙමින් ඉතා අලංකාර ව දිස් විය. එතුළට එබී බැලූ ජෝ, එහි තිබුණු හොලී අතු, පාට පීත්ත පටි සහ විදුලි තරු සැරසිලි යට මනස්කාන්ත නත්තල් ගසක් දුටුවේය. සුදු ජාතික දරුවන් පිරිසක් සහ වැඩිහිටියන් කිහිප දෙනෙක් නත්තල් ගස අසල සිටි රතු ඇඳුමින් සැරසුණු තරබාරු විනෝදකාමී මිනිසෙක් වටා රැස්වී සිටිනු පෙනුණි. ඇත්තටම ඒ කවුද? කුඩා ජෝ ගේ දෑස විශ්මයෙන් මහත් විය. ඒ සිටියේ සාමාන්‍ය මිනිසෙක් නොව නත්තල් සීයා යි!

කුඩා ජෝ වීදුරු දොර තල්ලු කරගෙන චිත්‍රපටි ශාලාවේ පිවිසුම් කොටස වෙත දිව ගියේය. රැස්ව සිටි පිරිස අතරින් ඔහු රිංගා ගියේ නත්තල් සීයා හොඳින් දැකගැනීමටයි. නත්තල් සීයා කුඩා දරුවන්ට සතුන්ගේ හැඩයෙන් යුතු විස්කෝතු සහිත පෙට්ටි සහ රසකැවිලි වර්ග තෑගි දෙමින් සිටියේය. ඔහුට පසුපසින් වූ නත්තල් ගසේ විශාල දැන්වීම් පුවරුවක් විය. (ජෝට මෙය තවම කියවා ගැනීමට හැකියාව තිබුණේ නැත) 'අපගේ කුඩාම ගනුදෙනුකරුවන්ට නත්තල් සීයාගෙන් සුබ නත්තලක්!" එහි එලෙස සඳහන් විය.
පිවිසුම් ශාලාව වටා තැන තැන තවත් දැන්වීම් පුවරු කිහිපයක් විය.
"චිත්‍රපටි දර්ශනයෙන් පසු ඔබේ දරුවන් සමඟ නත්තල් සීයා බලන්න යන්න."
'ජේම් චිත්‍රපටි ශාලාව තම ගනුදෙනුකරුවන් සතුටින් තැබීමට ප්‍රිය කරයි- අපගේ නත්තල් සීයා හමුවෙන්න එන්න"

රතු ඇඳුමකින් සැරසී සිටි නත්තල් සීයාගේ සුදු රැවුල පුරා දිලිසෙන හිම කුඩු විසිරී තිබිණි. ඔහුගේ දෙපා අසල කුඩා බෙර, ටක වැනි ශබ්ද උපදවන සෙල්ලම් බඩු සහ සෙල්ලම් අශ්වයන් තිබුණත් ඉන් කිසිවක් ඔහු තෑගි ලෙස බෙදා දුන්නේ නැත. ඒ අසල තිබුණු දැන්වීමේ සඳහන් වූයේ (ජෝ ට කියවීමට හැකියාවක් තිබුණා නම්) නත්තල් දවසේ කරනු ලබන දිනුම් ඇදීමකදී ඒවා වේදිකාවේදී ජයග්‍රහකයින්ට බෙදා දෙන බවයි. එදින නත්තල් සීයා කුඩා දරුවන්ට බෙදමින් සිටියේ විස්කෝතු සහ රසකැවිලි පමණකි.

රසකැවිල්ලක් ලබාගැනීමට මහත් ආශාවක් ජෝ තුළ වැඩුණි. ඔහු ටිකෙන් ටික නත්තල් සීයා වෙත ලං වූ අතර අන්තිමේදී ඔහු සිටියේ රැස්ව සිටි සෙනඟට ඉදිරියෙනි. නත්තල් සීයා ජෝ ව දුටුවේ එවිටයි.

නීග්‍රෝ දරුවෙකු දුටු විට මිනිසුන් උපහාසයෙන් හිනැහෙන්නේ ඇයි? නත්තල් සීයාත් අවට රැස්ව සිටි පිරිසත් සුදු ජාතික චිත්‍රපටි ශාලාවක සිටීමට කිසිම අයිතියක් නොතිබුණු ජෝ දෙස බලා එලෙස උපහාසයෙන් හිනැහුණහ. ඉනික්බිති නත්තල් සීයා කපටි ලෙස ඉදිරියට නැමී ඔහුගේ දෙපා අසල තිබුණු යකඩ ටකයක් අතට ගෙන එය මහා හඬින් ජෝ ඉදිරියේ නාද කළේය. මෙය හාස්‍යජනක බැවින් දරුවන් ඇතුළු සියලුම සුදු ජාතිකයෝ මහා හඬින්

සිනාසුනහ. නමුත් ජෝ සිනාසුණේ නැත. ඒ හඬට මහත් සේ බියගැන්වී සිටි ඔහු ආපසු හැරී චිත්‍රපටි ශාලාවේ උණුසුම් පිවිසුම් හලෙන් පිටත හිම සහ මිනිසුන් පිරුණු මහා මාර්ගයට දිව ගියේය. ඒ සිනා හඬින් බිය වී හඬන්නට පටන් ගත් ඔහු තම මව සොයමින් ඇවිදින්නට විය. නත්තල් සීයා එලෙස ළමයින්ව බිය කර සිනාසෙන කෙනෙක් බව ඔහුට කිසිදිනක සිතී තිබුණේ නැත.

මාර්ගයේ සිටි ජනකාය යමින් සිටියේ වැරදි අතට බවක් ඔහුට දැනුණි. ඔහුට ඔහුගේ මව වත් ඇය සිටි වෙළඳසැල වත් සොයාගැනීමට නොහැකි විය. වුවමනාවටත් වඩා මිනිසුන්-සුදු මිනිසුන්- දසත පිරී සිටියේ හිම මත වැටුණු සුදු සෙවනැලි ලෙසින් මුළු ලෝකයම සුදු මිනිසුන්ගෙන් පිරී ඇති බවක් දක්වමිනි.
කලබලයත් සිත කරදරයට පත් වීමත් නිසා වත අඳුරු වූ ආසී පාර හරහා දිව විත් ජෝව අල්ලා ගත්තේ ඒ මොහොතේදී ය. ආ පැමිණෙන තෙක් මහා දිගු කාලයක් ගත වූ බවක් ඔහුට දැනුණි. ඇගේ දෑතේ පාර්සල් පිරී තිබුණත් එක් අතක් නිදහස් කරගත් ඈ, ඔහුව වැරෙන් සෙලවූයේ ඔහුදේ දත් දෙපෙලත් දෙදරා යන පරිදි ය.
"මම ඉන්න කීව තැන නොහිටියේ ඇයි?" ආසී මහා හඬින් ප්‍රශ්න කළාය. "මම හොඳටම තෙහෙට්ටු වෙලා ඉන්නේ, මට බැහැ ඔයාව හොය හොයා පාරවල් පුරා ඇවිදින්න. මට හිතයි හොඳ ගුටියක් දෙන්න."
ටික වෙලාවකින්, තම හති ඇරීම අඩු වූ පසු චිත්‍රපටි ශාලාවට ගිය ගමන ගැන ජෝ තම මවට කීවේය.
"ඒත් නත්තල් සීයා මට කිසි දෙයක් දුන්නේ නැහැ," ජෝ හැඬුම්බරව කීවේය. "එයා මහා ඝෝෂාවක් කළා, මම එලියට දුවලා ආවා."

"හොඳ වැඩේ," අපහසුවෙන් හිම මතින් ගමන් කරමින් සිටි ආසී කීවාය. "ඔයාට ඒක ඇතුළට යන්න කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. මම කිව්වා මම තියලා ගිය තැන ඉන්න කියලා."

"ඉතින් මම නත්තල් සීයාව දැක්ක නිසානේ ඇතුලට ගියේ." කුඩා ජෝ කීවේය.

"හහ්! ඒ නත්තල් සීයා නෙමෙයි," ආසී පැහැදිලි කළාය. "ඒ නත්තල් සීයා වුණා නම් ඔයාට එහෙම සලකන්නේ නැහැ. මම එක සැරයක් කිව්වා වගේ ඕක සුදු මිනිස්සුන්ගේ චිත්‍රපටි ශාලාවක් විතරයි. ඒ හිටියේ නිකම්ම නිකම් වයසක සුදු මිනිහෙක් විතරයි."

"ආහ්..," ජෝ කීවේය.

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක


painting-watercolour on paper

සිසිල මාසික ඊ සඟරාව - දෙසැම්බර් 2022 කලාපය
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

7 comments:

  1. Replies
    1. නවීන්- මේ විදිහට මිනිස්සුන්ට සලකන තැන් තාම ලෝකයේ තියෙනවනේ

      Delete
    2. මොනවා කරන්නද ඉතින්🥺

      ලෝකෙ සාධාරණ හැමෝටම හොඳ තැනක් නෙමෙයි නෙහ්...

      ඉස්සර කාලෙට වඩා නම් සෑහෙන හොඳ තත්වෙකට ඇවිත් තියෙනවා හැබැයි නේද

      Delete
  2. ඒ හිටියේ නිකම්ම නිකම් වයසක සුදු මිනිහෙක් විතරයි."// That is the point.....

    ReplyDelete
    Replies
    1. ලලිත්- ඔව් ඒ වාක්‍යයෙන් කතාවම කැටි කරලා තියෙනවා නේද?

      Delete
    2. ඒක ඉතින් සිත නිවන කතාවක් නෙහ්...

      ඔය විදියට බලනවා නම් කොච්චර දේවල් ඔහොම බලන්න පුලුවන්ද...

      අන්තිමට රහත් වෙලාම නවති😅

      Delete
  3. Naththale arutha mathak karala dena lassana kathawa!

    ReplyDelete