May 25, 2026

මැකී යන මතක අතරේ සාංකාවක සේයා මවන ටීනා ෂෝ



අප වටා සිටින අය සමඟත්, කාලය සමඟත් අපගේ ජීවිත බැඳී ඇත්තේ මතකය නමැති සියුම් රැහැනින් බව  ඔබ කෙදිනක හෝ කල්පනා කර තිබේද? යම් හෙයකින් මේ රැහැන බිඳුණහොත් අපට අප පවා අහිමි වීමට ඉඩ ඇත. එසේ බිඳෙන නොබිඳෙන මතක බැමි අතර, විවිධ සීමා බාධක මැද නොසැලී පවතින මවක සහ දියණියක අතරේ  පවතින බැඳීම පිළිබඳ ලියවුණු නවකතාවකි ටීනා ෂෝ ලේඛිකාවගේ ‘අ හවුස් බිල්ට් ඕන් සෑන්ඩ්’. 

මේ කෘතියේ කතානායිකාව වන පනස් අට හැවිරිදි මැක්සීන් අඩු වයසින් එළඹෙන ඩිමෙන්ෂියා රෝග තත්ත්වයකට මුහුණ දෙමින් සිටින්නීය. මේ නිසා ඇයට ඇතැම්විට යථාව මායාවක් බවටත්, මායාව යථා ව බවටත් පත්වේ. කටුක ළමා කාලයක් සහ තාරුණ්‍යයක් ගෙවා ඇති මැක්සීන් හට දිවියේ සන්ධ්‍යා අවධියේදී වත් සැනසුමක් ලබන්නට මේ රෝගය ඉඩ නොදෙන බව පැහැදිලිය. එහෙත් තම රෝගී තත්ත්වය තවත් බරපතල වීමට පෙර, තම ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් සඟවා තිබුණු රහසක් නිරාවරණය කිරීමට ඇය දරන උත්සාහය මේ කතාවේ වස්තු බීජයයි. එහෙත් මැකී යමින් පවතින මතකයත් සමඟ මෙය ලේසි පහසු කාර්යයක් නම් නොවේ.

මේ මැක්සීන් ගේ කතාව වූවත් එය ඇගේ දියණිය වන රෝස් ගේ කතාවද වේ. තම මව වයෝවෘද්ධ වීමටත් පෙර බරපතල රෝගී තත්ත්වයකට ගොදුරු වූ විට ඊට මුහුණ දෙන්නට තමන් කුමක් කළ යුතු දැයි රෝස් උභතෝකෝටික ගැටලුවකට මැදි වේ. එක් අතකින් තම මව ගැන ඇය තුළ පවතින අසීමිත ආදරයත්, තවත් අතකින් මාතෘත්වය ලැබීමට නොහැකිව තම පෞද්ගලික ජීවිතයේ මුහුණ පාන්නට සිදුව ඇති නොවිසඳෙන ගැටලුත් අතරට මැදිවන රෝස් බෙහෙවින් අසරණ වන්නීය. මීට සමාන්තරව රෝස් ගේ මතකයද ඇය සමඟ හැංගිමුත්තන් කරමින් පවතී. නිරතුරුව ඇගේ හුස්ම හිර කරමින් නැගී එන බියට ඈඳුණු කුඩා කල මතකය කුමක්ද? සිය ළමා විය හා බැඳුණු, තම මතකය අගිස්සේ සෙලවෙන අභිරහස කුමක්ද?

‘අ හවුස් බිල්ට් ඕන් සෑන්ඩ්’ කියවද්දී පුද්ගලයෙකුට තම මතකය අහිමිවීමේ ඛේදාන්තය අප වෙළා ගන්නා අතර ජීවිතයේ ඕනෑම මොහොතක ගිලිහිය හැකි මතකය වැනි මහඟු සම්පතක් ගැන නැවතී නොසිතීම ගැන එය අප තුළ තැවුලක් ඇති කරවයි. තවත් අතකට මේ කෘතිය මනුෂ්‍ය සබඳතා වල අළු පැහැති ස්වභාවය ගැන යළි යළිත් සිතීමට අප පොළඹවයි; හරි වැරැද්ද අතර ඇති බොඳ වුණු සීමාව ගැනත්, හැම විටම හැම කෙනෙකුම විපතෙන් බේරා ගනු නොහැකි බව ගැනත් අපට පාඩම් උගන්වයි. මේ හැම දේට ම වැඩියෙන් මවක් සහ දියණියක් අතර පවතින නොනිමි බැඳීම මුදු ලෙස හුවා දක්වමින් ලේඛිකාව මේ කතාව නිර්මාණය කර ඇති ආකාරය කියවන්නාගේ සිත ඇද බැඳ ගනී. 

නවසීලන්ත ජාතික ලේඛිකාවක් වන ටීනා ෂෝ, ළමා කතා සහ යොවුන් නවකතා කීපයක් ඇතුළුව කෘතීන් පහළොවක් රචනා කර ඇත. නවසීලන්තයේ සුන්දර කඳු නිම්න, මුහුදු තීර සහ ගොවිපොළ ජීවිත තම කතන්දර වලට මනා සේ මුහු කරගැනීම ඇයගේ අපූරු දක්ෂතාවකි. 

‘අ හවුස් බිල්ට් ඕන් සෑන්ඩ්’ කෘතියට 2023 වසරේදී හොඳම අත්පිටපත සඳහා ප්‍රදානය කරනු ලබන මයිකල් ගිෆ්කින්ස් සම්මානය හිමිවිය. 


A House Built on Sand by Tina Shaw (2024)
The Text Publishing Company

-හෙල්මලී ගුණතිලක 


සිළුමිණ විදෙසක ලිවිසැරිය - 24 මැයි 2026



No comments:

Post a Comment