December 25, 2022

නත්තල්!

 සුබ නත්තලක්!

මම නත්තල් සමරන කෙනෙක් නොවුණත් පුංචිම කාලේ නත්තල් සමරන රටක කාලයක් හිටිය නිසා ඒ සැමරුම මගේ ඇඟට කාවැදිලා ද කොහෙද. ඒ කාලේ ඉස්කෝලෙන් පල්ලියේ පූජාවට එක්කගෙන ගිය නිසා කට පාඩම් වුණු ගීතිකා එහෙම තාමත් මතකයි. ලංකාවේදීත් සෑහෙන්න කාලයක් යනකම් මම නත්තල් ගස් හැදුවා. අපේ ගෙදර කට්ටිය මගේ ඒ ආසාවල් සම සිතින් ඉවසුවා!

ඕස්ට්‍රේලියාවේදීත් පුතා පුංචි කාලේ ඉඳන් මෑතක් වෙනකම් නත්තලට නත්තල් ගහ සරසන එක අපි දෙන්නාගේ ලොකු රාජකාරියක් වුණා. ඉස්සරම නම් පුතා kindergarten එකේදී, ඉස්කෝලෙදි එහෙම හදපු නත්තල් සැරසිලි වලට මුල් තැනක් ලැබුණා. පස්සේ පස්සේ කඩෙන් ගත්ත සැරසිලි වලින් තමයි ගහ හැඩ වුණේ. පුතාට වඩා පුතාගේ අම්මාට තමයි මේ ප්‍රොජෙක්ට් එකේ වැඩි වුවමනාව කියලා තාත්තයි පුතායි ඒ කාලේ හිනා වුණා. දැන් ඉලන්දාරි වයසේ ඉන්න කොල්ලාට නත්තල් ගස් ගැන උනන්දුවක් නැහැ. අලුත් ගෙදරට පදිංචියට එද්දී පරණ නත්තල් ගහ දන් දුන්න නිසා මේ අවුරුද්දේ තමයි සෑහෙන්න කාලෙකට පස්සේ මම නත්තල් ගහක් හැදුවේ නැත්තේ. ඒ යුගයත් ඉවරයි.


ඒ වෙනුවට මම මේ සැරේ වෙන ප්‍රොජෙක්ට් එකකට අත ගැහුවා. ඒ තමයි hand painted christmas cards. කොහොමත් දෙසැම්බර් නිවාඩු කාලේ කියන්නේ මම බොහොම නිදහසේ ගෙවන කාලයක්. ඒ නිසා මේ වැඩේට ඕනෑතරම් කාල වේලාවත් ලැබුණා. තැපෑලෙන් ලියුම් යවනවා කියන එක බොහොම කලාතුරකින් සිද්ධ වෙන මේ කාලේ, මට පුරුද්දක් හැටියට තැපෑලෙන් christmas cards එවන කීප දෙනෙක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ම මම කළින් වැඩ කළ ඉස්කෝලවල යාළුවො. (මේක පුස්තකාලවල වැඩකරන අයගේ විශේෂත්වයක්ද මන්දා!) ඉතින් මේ සැරේ එයාලාට කඩෙන් ගත්ත cards යවනවා වෙනුවට දිය සායම් වලින් හැඩ වුණු සුබපැතුම් යවන්න මට හදිසියේ හිතුණා. මේ තමයි ඒවා. (මෙතැන කීපයක් අඩුයි, පින්තූරේ ගත්තාට පස්සෙත් තව කීපයක් ඇන්දා) දැනටමත් ඒවාට හොඳ ප්‍රතිචාර ලැබුණා. තමන් වෙනුවෙන් වැඩිපුර වෙලාවක් ගත කරලා චිත්‍රයක් ඇන්ද එකේ personal touch එක ගැන හැමෝටම සතුටුයි වගේ. ඒත් ඇත්තටම නම් ඒවා අඳිද්දී මට දැනුණු සතුට තමයි එතැන වටින්නෙම. the joy of little things!

මේ පින්තූරේ මම රැකියාව කරන ඉස්කෝලේ පුස්තකාලේ නත්තල් සැරසිලි. පොත් රාක්ක ටිකත් පසුබිමේ තියෙන නත්තල් සිරිය ගේන්නේ අමුතුම සතුටක්. 


දකුණු අර්ධ ගෝලයේ ඉන්න අපිට නම් හිම වැටෙන නත්තල් නැහැ. ඒ වෙනුවට මේ සැරේ තද රස්නයක් ලැබෙන්න නියමිතයි. ඒත් හිත ඇතුළේ ඉන්න පුංචි ළමයාට නත්තල් සමරන්න ඒවා බාධක නෙමෙයි!


10 comments:

  1. සතුට පිරි නත්තල් සමයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා Litseeker!

      Delete
  2. නත්තලට හිම නෑ කිව්වා නේද? ආ එහෙනං අපේ සාවියෙන් ටිකක්.
    https://www.youtube.com/watch?v=DfLJBYwAl50

    ReplyDelete
    Replies
    1. දෙයියනේ! ඔහොම හිම මෙහෙ තිබ්බා නම් මට නම් ඔරොත්තු නැති වෙයි!

      Delete
  3. පුස්තකාලෙක ඉන්න ලැබෙන එකම නත්තල් අවුරුදු වගේ තමයි....නැද්ද?
    දන්නවද මලී .....පුංචි දේවලින් සැනසෙන්න පුළුවන් කියන්නෙම පිනක්

    ReplyDelete
    Replies
    1. කුමුදු- පුස්තකාල රස්සාව මගේ dream come true වගේ. ඒ වගේම ඉස්කෝලෙක පුස්තකාලයක් නිසා දරුවෝ එක්ක ජීවිතේ ගතකරන්න ලැබෙන එකත් හරි නැවුම් අත්දැකීමක්. ඒ නිසා ඇත්ත, හැමදාම නත්තල්- අවුරුදු වගේ තමයි :)
      පුංචි දේවල් වලින් සතුටු වෙන එක පොඩි ළමයි බොහොම අපූරුවට කරනවා. අපිත් ආයෙත් හිතෙන් ටිකක් පොඩි වෙන එක තමයි මගේ හිතේ රහස

      Delete
  4. සුබ නත්තලක් සහ සුබ නව වසරක් නෝනා.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ඔබටත්!
      'නෝනා' කෑල්ලෙන් මේ හැට්ටර් මහත්මයා කියලා හිතුණා :D

      Delete
  5. මට මතකයි පුංචි කාලෙත් අර නත්තල් සමරපු කුඩා දූපත් රටේ සිටි කාලයේ අප කවුරුත් එකතු වී නත්තල් ගසක් සකස් කර නත්තල ඉතා සතුටින් භුක්ති වින්දා. ඒ රටෙත් මෙහේ ඕස්ට්‍රේලියාවේ වගේම නත්තල කාලයට හිම වැටීමක් නැහැ. කොහොම වෙතත් නියම නත්තල සම්පූර්ණ වීමට නම් හිම වැටීම සහ තද ශීතල තිබිය යුතුමයි. මේ අඩුව පිරිමැසීමට, ඕස්ට්‍රේලියාවේ සමහර ආයතන වල ශීත ඍතුවේ මැද හරියේදී (ජුලි මාසයේ 25 වනදා) "Christmas in July" කියා නත්තල සැමරීමක් කරනවා.

    ReplyDelete
  6. මම මේ අවුරුද්දෙ දැකපු ලස්සනම නත්තල් ගහ තමා මේ...

    https://ichef.bbci.co.uk/news/976/cpsprodpb/D99C/production/_128080755_abbotsfordtree.jpg.webp

    ReplyDelete