March 29, 2017

දිල්

මීට අවුරුදු ගණනාවකට පෙර බම්බලපිටියේ, ජායා පාරේ පන්තියක මා චාටඩ් එකවුන්ටන්සි ඉගෙනගත් කාලයක් තිබිණි. කවුළු අතරින් ලුණු හුළඟ විසිරුන, කෝච්චි හඬ කණ ළඟින්ම ඇසුන, අතුරු සිදුරු නැතිව සිසුන් පිරුණු ඒ පන්තියේදී දිනක් ඈ මා උන් මේසයට හවුලට වාඩිවෙන්නට ආවාය. එකල ඈ දිලිනි අක්කා ය. නමුත් ඒ හමුවීමෙන් නොබෝ දිනකින්ම නම්බු පට්ටම් ගිලිහී ඈ දිල් බවට පත්විය. චාටඩ් පන්තියෙන් ඇරඹී, පසු කලෙක සරසවියේදී දළු ලා වැඩුණු ඒ මිතුදමට මේ වෙද්දී වසර විස්සකි!

දිල් ත් මාත් උපාධි පාඨමාලා දෙකක උන්නත්සරසවියේ පළමු වසරේ, පළමු මාස කිහිපයේදී ම අහඹු ලෙස එකම බෝඩිමක නවාතැන් ගත්තෙමු. එතැනින් නොනැවතී අනිත් හැම බෝඩිමක් දක්වාත් මේ මිතුරු හවුල නොවෙනස් ව පැවතිණි. දිල් ඉතාමත් නිශ්ශබ්ද ඉවසිලිවත් චරිතයක් බවට ඇගේ මිතුරු මිතුරියන් සාක්කි දරනු ඇත. සරසවි කාලය පුරාවට මගේ කාමර සගයා වීම ම දිල් ගේ ඉවසීම මැනීමට හොඳ මිනුමකි. ඈට කේන්ති නම් නොයන ම තරම් ය. එකල සෝඩා බෝතල් කේන්ති කාරියක් වූ මා හා නොකඩවා යාළුකම් පවත්වා ගැනීමට මේ බව ඈට උදවු වන්නට ඇත. එකම එක වතාවක් පමණක් දිල් සරසවියේ කැන්ටිමකදී වගතුවක් නැති කතාවක් කී කොල්ලෙකුගේ කොලරයෙන් අල්ලා බැන වැදුණු  හැටි නම් මට හොඳහැටි මතක ය. වෙනදාට දිල් ගේ ඇති නිවුණු ගති සොබා හැඳිනූ බලා සිටි සැම ත්, ඒ අදාළ කොල්ලාත් පුදුමයෙන් පුදුමයට පත් වී නිශ්ශබ්ද වූ නිසා ඒ අවුල දුර දිග නොගොස් වහා වහා විසඳුනි. ඒ හැර මේ විසි වසරටම මා දිල් ගේ කේන්ති දැක නැත!

දිල් වෙතින් පිටතට දිස් වෙන අති සීරියස් ගතිය නිසා ඇයට එක එකාට කවටකම් කර බේරෙන්නට උපන් හැකියාවක් තිබිණි.එකල ඇතැම් දිනවල අප දෙදෙනාටම දේශන නොමැති විරාම වලදී  බස් රථයක නැගී නුගේගොඩ රස්තියාදුවේ යාමට අපි පුරුද්දක් කරගෙන උන්නෙමු.  අප සරසවියේ උන්නේ දෙදාස් බර ගණන් වල නිසා එකල ජංගම දුරකථන භාවිතයේ පැවතුනේ ඉතා කලාතුරකිනි.  දිනක් එසේ යන ගමනකදී අපගේ ඉදිරි අසුනේ උන් තරුණයෙකු අලුත්ම ගඩොල් බාගේ ජංගමයකින් මහා හඬින් සංවාදයක් පවත්වමින් උන්නේය.

"මං එනකම් හොංකොං ඩීල් එක ක්ලෝස් කරන්න එපා.. දැන් ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම හරිද?" 
ඔහු උස් හඬින් කෑගෑවේ බසයටම ඇසෙන ලෙසටයි.

"හරි හරි ඒවා ඔක්කොම හරි!" 
දිල් ඔහුට පිටිපස අසුනේ සිට ඉතා සන්සුන් ව ඉදිරිය බලාගෙන පැවසුවා ය.

එක් වරක් ඇය දෙස හැරී බැලූ තරුණයා තව දුරටත් දුරකථන සංවාදය ගෙනයන්නට විය. 
"එතකොට දැන් බැංකොක් ෆ්ලයිට් එක තියෙන්නේ කීයටද?"

"ඒක තියෙන්නේ තුනයි කාලට" 
නැවතත් දිල් පසුපස අසුනේ සිට ඉතා ස්ථිර ලෙස පැවසුවාය. මෙවර නම් තරුණයා ක්ෂණිකව දිල් දෙස බැලුවේ සැකයෙනි.

"කීයටද මම එයාපෝට් ඉන්න ඕන?" 
ඔහු එවර නම් ප්‍රශ්නය ඇසුවේ එක එල්ලේ දිල් දෙස බලාගෙන යි. 'හා උත්තර දීපන් බලන්න!' වැනි බැල්මක් ඔහුගේ දෑසේ විය.

"දොළහට විතර හිටියාම ඇති නේ හෙල්?" 
එවර දිල් පසෙක උන් මාවත් කතාවට එක්කාසු කරගත්තේ සිද්ධිය වඩාත් සංකීර්ණ කරමිනි. 

දිල් කෙතරම් සන්සුන්ව උන්නත් ඊට වඩා බෙහෙවින් ප්‍රාථමික මට්ටමේ උන් මට සිනාව නවතාගන්නට නොහැකි විය. අප දෙදෙනා ම දවා හළු කරන බැල්මක් හෙලූ තරුණයානිදහසේ තම දුරකථන සංවාදය නිම කිරීමට අසුනෙන් නැගිට වෙනත් අසුනක් සොයාගෙන ගියේ විශේෂණ පද කිහිපයක් ද මුමුණමිනි.

"පිස්සුද මැට්ටි එක එක කොල්ලන්ගේ කෝල්ස් වලට අග අල්ලන්නේ??" 

මා ඉතා අමාරුවෙන් සිනහව නවතාගෙන ඇගෙන් විමසූ විට දිල් පැවසූයේ  "ඉතින් එයාගේ කෝල් එකට මම උත්තර දුන්නා කියලා ඔප්පු කරන්නේ කොහොමද? මම ඔයාත් එක්ක කතා කළා වෙන්න බැරිද?" වැනි ඉතා තාර්කික අපබ්‍රංසයකි. 

දිල් මෙසේ බොහෝ අවස්ථාවල බස් රථවලදී දුරකථන සංවාද උපකාර සේවාව සිදු කළ ද එකම අවස්ථාවකවත් අප දෙදෙනා ගුටි නොකෑ බව මා වාර්තා කරන්නේ සතුටිනි!

දිල් සතු තවත් සුවිශේෂ දස්කමක් විය. එනම්  ඇතැම් දිනවල සරසවියේ දේශනවලදී ඉදිරි අසුනක හිඳ, දෑස ඇරගෙනම තද නින්දේ පසුවීමයි. දේශනය අවසන ඇගේ සටහනේ ඇත්තේ බලි කුරුටු රැසකි. එහෙත් ඇගේ මේ වික්‍රමය කිසි විටෙක අනාවරණය වී ඈ දොස් අසා නැත. එමෙන්ම ඈට ඉන් පාඩුවක්ද වී නැත. දිල් පැවරුම් සම්පූර්ණ කිරීම බලා සිටීම එකල බෝඩිමේ අපගේ විනෝදාංශයකි. පැවරුමේ ඩෙඩ්ලයින් එකට පෙර දා රෑ මේස රෙදි යටින්, පැරණි පොත් පත් අස්සෙන් තමන්ගේ අසම්පූර්ණ සටහන් සොයාගන්නා දිල්, 'නයිටක් ගසා' කෙසේ හෝ හරවත් ලියවිල්ලක් ලියා ඊට ඉහළ ලකුණු ගැනීම සාමාන්‍ය දෙයක් විය.

අප දෙදෙනා බැච් දෙකක උන්නත් සරසවියට ආවේ ගියේ එකටය. එකෙක් අනිකාගේ දේශන අහවරවන තෙක් සරසවියේ අතන මෙතන තාවර වීම සාමාන්‍ය දෙයක් විය. එමෙන්ම එකිනෙකාගේ මිතුරු මිතුරියන් ද හවුලේ ආශ්‍රය කෙරිණි. වරක් දිල් ඇතුළු මිතුරු කැළ නිමවූ වේදිකා නාට්‍යයක තිර රචනය/ අංග රචනය/වේදිකා අලංකරණය ආදී සියලු කාර්යයන්ට පැත්තක සිට අත දැමීමට මට ද වරම් ලැබුණේ එලෙසයි. හවස් වනතුරු සරසවියේ කස ගස් සෙවනේ දෙබස් යලි යලි ලියමින්නාට්‍යය පුහුණුවෙමින්, මා ඇතුළු කිසිදාක මෙවැනි කාර්යයක් නොකළ පිරිසක්  විසින් මේ නාට්‍යය නිපදවන ලදී. මෙහිදී දිල් පණ පෙව්වේ කතාවේ මිත්තණිය ගේ චරිතයටයි. පුයර දමා ඇගේ දිගු කේශ කලාපය සුදු පැහැ කිරීමටත්, ඈට නවගුණ වැලක් ලෙස පාවිච්චියට මගේ මිතුරෙකුගේ කරෙහි තිබුණු රස්තියාදු ඇට මාලයක් සොයාදීමත් මට පැවරිණි. කොණ්ඩයට පුයර දැමීම ඉවසා සිටි දිල් නවගුණවැල නම් පාවිච්චියට ගත්තේ කිහිපවරක් සබන් දමා සේදීමෙන් පසු ය! කෙසේ හෝ අන්තිමේදී මේ නාට්‍යය කෙතරම් සාර්ථක වී ද යත් අප නොසිතූ ලෙස එය අන්තර්-පීඨ නාට්‍ය තරඟාවලියකටත් සුදුසුකම් ලැබීය. පසෙක සිට නාට්‍යය නිෂ්පාදනයට සම්බන්ධ වූ මට එලෙසම පසෙක සිට මේ ජයග්‍රහණයට හවුල් වීමට ද අවස්ථාව හිමිවූයේ දිල් නිසාම ය.

සිවු වසරක් ම බෝඩිම්වල ගතකල නිසා දිල්ටත් මටත් කෑම සම්බන්ධයෙන් නම් මතක රැසක් ඇත. අපගේ පළමු බෝඩිමේදී  කිසිම පෙර දැනුම් දීමකින් තොරව අපට ඇතැම් දිනවල රාත්‍රී කෑම අහිමි විය. ඒ බෝඩිමේ ඇන්ටි ඉවුම් පිහුම් ස්ට්‍රයික්  කළ දිනවල ය. කිසිදු හැල හොල්මනක් නොමැතිව ඇය එසේ කාමරයට වී ඉන්නේ අපේ ගැටළුවක් නිසා නොව දුරක සේවය කල ඇගේ සැමියා සමඟ දුරකථනයෙන් බහින් බස් වූ දිනට බව අප සොයා ගත්තේ සෑහෙන නිරාහාර රාත්‍රීන් ගතවූ පසු ය. රත්තණපිටිය හන්දියට සෑහෙන දුරකින්, පාලු අතුරු පාරක තිබුණු ඒ බෝඩිමෙන් පිටවී රෑට නම් කෑම සොයා කඩවල රස්තියාදු වීමට අපට හැකියාවක් තිබුනේ නැත. ඒ නිවසේදී අපට කුස්සියත් තහනම් ප්‍රදේශයක් වූ නිසා කෝකටත් සූදානමින්, නිතර කාමරයේ ක්‍රීම් ක්‍රැකර් ආදිය තොග වශයෙන් ගබඩා කරගෙන සිටියෙමු. හවසට බෝඩිමට පැමිණි විට ඇන්ටි ව කෙසේ හෝ කතාවට අල්ලාගෙන, ඇගේ මූඩ් එක බලා, ‘අද රෑට කන්න හම්බවෙන දවසක්ද?’ යැයි සොයාගන්නට එකල දිල් ට විශේෂ දස්කමක් විය.

ඉන්පසුව උන් බෝඩිම් වලදී කඩ කෑම කා නිදි වර්ජිතව ගෙවුණු රාත්‍රියයන්, ගිහාන්ස් ඇතුළු සරසවිය අවට කෑම කඩ වල සේවකයන් සමඟ සිදුවූ 'මත ගැටුම්', අති විශේෂ ජපුරේ කැලේ-කඩේ නම් කැන්ටිමේ කොත්තු රොටි, එගොඩවත්ත කන්ද බැස බෝඩිමට එන ගමනේදී 'ජම්බෝ ජොලියක්' කෙතරම් දුරක් දක්වා දිය නොවී පවතියිදැයි ඔට්ටු ඇල්ලීම්, සිඟිති හැලිබොරේන්ජ් අවශ්‍යතා ආදිය දිල් ගේත් මගේත් කෑම මතක ලැයිස්තුවේ තැන තැන ඇත. කෙසේ වෙතත් දිල් අතින් පිසෙන කෑම ඉතා රසවත් බව මා හරියටම සොයාගත්තේ අවසන් වසරේදී අප 'උයාගෙන කන' බෝඩිමකට සැපත් වූ පසුවයි. එකල දිල් සීමිත අඩුවැඩිය යොදාගෙන එක එක වර්ගයේ 'දිල් ස්පෙෂල්' කෑම වර්ග පිසුවා ය. චිකන් හොද්දට බිත්තරයක් කඩා දමා- 'එකම පවුලේනේ - ඔන්නොහේ කන්න!' යැයි අපව උනන්දු කළා ය. මේ ප්‍රණීත කෑම සෙසු අපට කෙතරම් සතුටට කරුණක් වීද යත් දවල් කෑම කා අත සෝදාගන්නටත් පෙර 'දිල්, රෑට මොනවද?" යැයි අසන්නට අපි පුරුදු වී සිටියෙමු. මීට අමතරව ඒ බෝඩිමේ ඇන්ටිගේ දියණියන් ද මවගේ බැනුම් මැද, රෑ වෙද්දී තම පිඟන් රැගෙන බෝඩිමට සේන්දු වන්නට පුරුදු වීමත් දිල්ගේ ඉවුම් හැකියාවට සාක්කි විය.

දිල් ත් මාත් දිල් ගේ නංගීත් හැඩරුවෙන් යම් සමානකමක් තිබීම තනිකරම අහඹු සිදුවීමක් විය. මා දිල්ගේ නිවසට ගොස් සිටි දිනක අප තිදෙනා දුටු ඇගේ දුර නෑදෑ නැන්දා කෙනෙකු 'අනේ... කෙල්ලෝ තුන්දෙනාම තාත්තා මයි!' පැවසුවේ ඉතා ආදරයෙනි. අප තිදෙනා එය අසා වැටි වැටී සිනාසුණේ කුමකටදැයි ඒ නැන්දා තවමත් කල්පනා කරනවා ඇත! දිල් මගේ ගෙදර ස්ථිර පදිංචි වීසා ලැබුවේ අප මිතුරුකමේ මුල දවස්වලමය. සරසවි නිවාඩු කාල, ස්ටඩි ලීව් කාල ඈ එහි නිරතුරුව ගත කළාය. එහිදී ඈ මටත් වඩා නිවසේ වැඩපල වලට සම්බන්ධ වී, සැමගේ සිත් දිනාගෙන නිවැසියෙක්ම වූවා ය. දැන් ගජ ඉලන්දාරියෙක් වී ඇති ලොකු අක්කාගේ ලොකු පුතා එකල බහ තෝරන වයසේදී 'දිල්, දිල්' කියමින් ඈ පස්සෙන්ම වැටී සිටි අයුරු මට මැවී පෙනේ. ආපසු හැරී බලද්දී, බෝඩිමේදීත්, ගෙදරදී ත් හවුලේ පාඩම් කරන්නට දිල් ත් මාත් වෙන්කළ කාලයෙන් වැඩි හරියක් ගත වූයේ නන් දෙඩවිලි, නවකතා කියවිලි, රස්තියාදු ආදී විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් වලට බැවින් අප දෙදෙනාම විභාග සමත් වීමත් පුදුමයට කරුණකි!

[මේ සටහන දිල් ගේ උපන්දිනයට ලියැවුණකි. අප අතර දුර මුහුදු කිහිපයක් නිසා දිල් ටත් මටත් නිතර හමුවිය නොහැක. යම් තරමක අන්තර්ජාල ආසාත්මිකතාවයක් ඇති දිල් ව නිතර ඔන්ලයින් මුණගැසෙන්නේද නැත. හමුවන හැම වරකම ඊයේ වෙන් වූවා සේ  යළිත් වරු ගණන් දොඩමලු විය හැකි මිතුරුකම් ඇතිවන්නේ කලාතුරකිනි. විසිවසක් පැරණි මේ මිතුදමත් එවැන්නකි.]

sketched in Paint

9 comments:

  1. මගෙත් අතීතය මතක් උනා

    ReplyDelete
    Replies
    1. බෝඩිම් අතීත හැමෝටම තියෙනවා වගේ!

      Delete
  2. /පුයර දමා ඇගේ දිගු කේශ කලාපය සුදු පැහැ කිරීමටත්, /

    ඈ? ඔහේ කියන්නෙ මේ සාමාන්‍ය නෝමල් පවුඩර්? මූණෙ ගාන එව්ව? එව්ව කොණ්ඩෙට අල්ලල හිටිනවද? මම ඔය ඇහුවමයි.

    එක පාරක් මම අවුරුදු අටේදි විතර තාපසයෙකුට ඉඳල කොණ්ඩෙ සුදු කලේ පේන්ට් එකක් ගාල. ඒක ගියේ නෑ සතියක් විතර. හොඳ වෙලාවට වාරාවසාන දවසෙ නාට්‍යය තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි නේ රවී, සීමිත සම්පත් වලින් වැඩේ කෙරෙන්න ඕන නේ. බෝඩිම් වල ඉන්නකොට ඔය විච්චූරණ ජාති නැහැනේ. අනික දිල් ට සෑහෙන දිග කොණ්ඩයක් තිබ්බා. ඕකේ ඉතින් මොනවා ගාලා පිරිමහන්නද? කොණ්ඩයක් බැඳලා'නෝමල්' පවුඩර් බෝතලයක්ම වගේ හැලුවා ඔලුවට. සාමාන්‍ය සුදු පාටක් ආවා. නෑව ගමන් යන නිසා දිල් ගෙන් විරෝධයක් තිබ්බෙත් නැහැ ඒ වැඩේට.

      රවී අර තාපසයාට රඟපාපු කතාවත් ලියමුකො වෙලාවක සීරියස් එකක් වගේ වෙන්න! :D

      Delete
  3. රවිගේ තාපස කතාව අහන්න මමත් කැමතියි. ඒක කොටස් කීයකින් අවසන් කල හැකි කතාවක්ද? කොහොමත් රවිගේ ඒවා 'Mega Blog' නේද?

    ReplyDelete
  4. මලීගේ චිත්‍ර නම හරියටම හරි. දිල් ඔයිට වඩා ටිකක් උස නේද? ඇඳුම නම් එයාට නියමෙට ගැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. ලිව්වාට පස්සෙයි චිත්‍රෙ ඇන්දේ-ඒකටම කියලා හිතලා නෙමෙයි. නැත්නම් දිල් ගේ දිග කොන්ඩේ අඳිනවා කොහොමහරි! :)

      Delete