ඒ වසරේ පාසලේ
වාණිජ උළෙල සංවිධානය කළේ අප ය. 'අප' නම් වූයේ අතලොස්සක් වූ කෙල්ලන්
රංචුවකි. සුපුරුදු ලෙසට අනන්ත අප්‍රමාණ බාධා තිබිණි. අතන මෙතැන දුවමින්-අවම
නිදහස, අවම අරමුදල් ඇතිව සිදු කළ මේ කටයුත්ත
අතුරේ යාමකට සමාන විය. මේ වාණිජ උළෙලට අංග රැසක්
ඇතුළත් වී තිබුණද, උත්සවයේ අවසාන අංගය ලෙස වාණිජ
අංශයම එක් වී සමූහ ගීයක්ද ගැයිය යුතු යැයි යෝජනා වූයේ අහම්බෙනි. ඊට සූදානම්
වීමට පවා කාල වේලාව මඳ වූවත් එම යෝජනාව එසැණින් සම්මත විය. මීට ගැලපෙන
ගීයක් සොයාගෙන ඒමේ වගකීම එක් මිතුරියකට පැවරිණි. ඒ අනුව දිනක මධ්‍යහ්නක, ආර්ථික විද්‍යාව කාල පරිච්ජේදය ‘කට්’ කර, අප ප්‍රධාන ශාලාවේ තිරයෙන්
පසුපසට රැස් වුනෙමු. සී ඩී තැටි වෙනුවට කැසට් පට තිබුණු යුගයක, ඈ කැසට්
යන්ත්‍රයක් සහ කැසට් පටයක් අතින් ගෙන අප එනතුරු සිටියා ය.
මා මුල් වරට මේ ගීතය ඇසුවේ එදා, පාසැල් වේදිකාව මත, තද රත් පැහැ තිර වලින් වටවූ අඳුරු ඉඩකඩේ දී ය. තවත් දැරියන් රැසක් මා සමඟ එදා උන්නත් මට දැනුණේ ඒ ගීතය ගැයෙන්නේ මටම පමණක් බවයි. ඒ කුඩා ඉඩකඩේ දී මා හද පසා කරගෙන ගිය ඒ ගීය ඊට පෙර දී වත්, ඉන්පසුව ඊයේ පෙරේදා වනතුරුවත් කිසිදිනෙක මා සවන් වැකුණේ නැත. පළමු වරට ගීය ඇසෙද්දීත්, සැමගේ ඉල්ලීම පරිදි දෙවැනි තුන්වෙනි වර එය අසද්දීත්, දෑස් අග කඳුලක් නොනැඟුණු කෙනෙක් එතැන සිටියේ නැත. එදා අප ඒ ගීයේ පදවැල අකුරෙන් ලියාගත්තේ කැසට් පටය කිහිප වරක් වාදනය කරමින්-නතර කරමින් ය. ජායා පිටපත් ගැනීම බහුල නොවුණු එකල තමන්ගේ අත් අකුරින් තම තමන්ගේ පිටපත් ලියාගැනිණි. දහසක් වැඩ රාජකාරි මැද ගීය පාඩම් කර ගැනිණි.
වාණිජ දිනය එළැඹි නිමවිය. එදා උත්සවයේ අඩුපාඩු සිදුවිණි ද, අමුත්තන් සතුටට පත්වූයේ ද, ගුරුවරියන්ගෙන් අප දොස් ඇසුවාද කියා මට මේ වෙද්දී මතක නැත. එහෙත් ඒ දවස ගැන විසි වසරකට පසුවත් මතකයේ තිබෙන්නේ මේ ගීතයයි. එදා මෙන්ම අදත් එහි පද කට පාඩම් ය. එදා අප මේ ගීය ගයද්දී සභාවෙන් 'හ්ම්' හඬක් නෑසිණි. ගීතය නිම වූ විට වරුවක් තිස්සේ අත්පොලසන් නාදයක් ඇසිණි.
මවගෙන් ඈත් වී යන්නට සිදුවූ දියණියක් ගැන මෙහි නීලා ගයන්නීය. දියණිය යළි එනතුරු මවගේ තනි රකින්න යැයි ඈ සියොතුන් ගෙන් ඉල්ලයි. හීනෙන් හැමදාමත් ඈ අම්මා ළඟම බව පවසයි. මේ පද වැල් එදා අප ජීවිත වලට එක එල්ලේ බලනොපෑව ද ඒ වෙද්දී පාසැල් දිවියේ අවසන් මාස කීපය ගත කරමින් උන් අපි, වෙන්වීම් වල සේයා දකිමින් උන්නෙමු. පාසැල සමඟම අතැර යන්නේ සොඳුරු ළමා කාලය බවත්, ඉතින් මෙතැනින් නික්මී පිවිසෙන ලෝකය සොඳුරු ම, සුභ ම නොවන බවත් අප දැන සිටියෙමු. පාසැල වට කළ පවුරු හතරෙන් එපිටට ඉගිලීමේ තදබල ආසාවත්, නිම් නැති බියත් එක ලෙස අප හදවත් වසා පැතිරී තිබිණි. එදා, වේදිකාව මතින් ඇසුණේ අපගේ ඒ සුසුමේ ත් සිනහවේත් හඬයි.
ලා
ඉරෙන් ඉල්ලා රම්‍ය ගී මාලා
සීතලේ
පින්නේ පීදිලා
මාලතී
සේනා, මල් ලන්දේ, ගම් මැද්දේ
තාම
මට සුවඳයි සේ එදා
මාල
ගිරවුන්නේ අතු පතරේ සැංගී
බාල
වසු පැටියෝ නාඬන්නේ
නීල
නල රැල්ලේ මුතුලැල්ලේ පාවෙලා
මා
කෙසේ ඉම්දෝ ඉතින් අනේ
අම්මේ, ඔබේ තුරුලෙන් වෙන් වෙලා
යන්නේ
සිත ඔබ ළඟ රඳවලා
මා, රෑ සිහිනෙන් සෑමදා
ගං
පියසේ ගී ගයා
ඔබ
නින්දෙන් ඇහැරවා
සැඟවී
යන්නේ
නාඬන්
දූ ගැන කඳුළැල් සලා
හීනෙන්
ඈ ඔබ ළඟමයි සදා
මා
එනතුරු හෙට ගම් බලා
අම්මා
ඇත මඟ බලා
සියොතුන්
නොරැඳී කැලේ
ඈ
සනහන්නේ
පද- ගාමිණි විජේතුංග
තනු- නිමල් මෙන්ඩිස්
හඬ- නීලා වික්‍රමසිංහ
මට මේ සිංදුව නම් එච්චරම ඇහිලා නෑ වගෙයි මතක නම්.
ReplyDeleteඇත්තමයි මලී.. මං අහල නෑ මේ සිංදුව
ReplyDeleteස්තුතියි මලී..... ආදරණීය ගීතයක් ...
ReplyDeleteස්තුතියි, දිනේෂ්, දේශක, මෙතු. ඔව් මේක අහන්නේ ලැබෙන්නෙම නැති තරම්.
ReplyDelete