මට පහුගිය සතියේ අවස්ථා දෙකකදී මිතුරියන් දෙන්නෙක්
මුණ ගැහුණා. දෙන්නාම පළවෙනි වතාවට තමන්ගේ දරුවන් දිවා සුරැකුම් වල තියලා
වැඩට ආව අය. එක පුතෙකුගේ වයස අවුරුදු තුනක්. අනෙක් දූට මාස දහයක්.
"පළවෙනි දවසේ ඇඬුවා ද?" මම දෙන්නාගෙන්ම ඇසුවා.
"සෙල්ලම් කාර් එකක් දැකලා පුතා දුවලා ගියා. ඇඬුවේ නැහැ!" එක මිතුරියක් කිව්වා.
"කෙල්ල මගේ බෙල්ල බදාගෙන ඇඬුවා" අනෙත් මිතුරිය කිව්වා.
"මම ඇහුවේ ඔයා ඇඬුවා ද කියලා" මම හිනාවෙලා ඇහුවා.
මිතුරියෝ දෙන්නාම මොහොතකට ගල් ගැහුණා. ඊටපස්සේ දෙන්නම 'ඔව්' කියලා ඔලුව වැනුවා.
උපදින්න
කළින් මාස ගානක් ඉඳලාම, ඉපදුන දවසේ ඉඳලාම ළඟම හිටිය පුංචි ජීවිතයක් වෙන
කෙනෙකුගේ අතට දීලා පුංචි කාලෙකට හරි ඉවතට යන එක අමාරු වැඩක්. තමන් නැති
අතරේ දරුවා කරදරයක් නැතිව හොඳින් ඉඳීවි කියලා දැනගත්තත් ඒක අමාරු වැඩක්.
පුතාව
මුලින්ම දිවා සුරැකුමට දාද්දි එයාට අවුරුදු එකහමාරයි. පලවෙනි දවසේ පුතා
හොඳට ම ඇඬුවා. මගේ අතින් බිම තියන්න නොදී ම ඇඬුවා. පුතා නියමිත කාමරයට බාර
දීලා එලියට එද්දී මාත් හොඳට ම අඬනවා. එතැන හිටියා බොහොම කාරුණික පාලිකාවක්.
මේ වගේ කඳුළු ඒගොල්ලන්ගේ ජීවිතේ කොටසක් වෙන්න ඇති. ඈ මුලින්ම මට වචනයක්
වත් නොකියා ටිෂූ පෙට්ටියක් දුන්නා. ඊටපස්සේ ඇගේ කාර්යාලය පිටිපස්සේ පුංචි
මේසෙක වාඩි කෙරෙව්වා.
"ඔයාට වැඩට යන්න දුවන්න තියෙනවද?" ඈ මුලින්ම මගෙන් ඇහුවා.
"නැහැ, මම වැඩ පටන් ගන්නේ ලබන සතියේ. අද ආවේ රිහසල් එකකට" කඳුළු අතරින් මට කියාගන්න පුළුවන් වුණා.
"එහෙනම් ඔයාට තේ එකක් හදන්නද?" ඈ බොහොම කරුණාවෙන් ඇහුවා
"නැහැ, එපා, ස්තූතියි! මම යන්නම්, ඔයාගේ වෙලාව නාස්ති කළා ඇති!" මම යන්න ලෑස්ති වෙමින් කිව්වා.
"නැහැ,
මේකත් මගේ රස්සාවේ කොටසක් තමයි" ඈ හිනාවෙලා කිව්වා. "ළමයි වැඩිහරියක්
විනාඩි දහයක් ඇතුලත නැළවෙනවා කිව්වොත් ඔයා දැන් විස්වාස කරන එකක් නැහැ.ඔයා
ගෙදර යනවනම් ගිහිල්ලා නිස්කාංසුවේ ඉන්න බලන්න.. උයන්න.. ගෙවල් අස් කරන්න ලෑස්ති වෙන්න එපා. තේ එකක් හදාගන්න. ටිකක් වාඩි වෙලා ඉන්න. ඕනේ නම් තව
ටිකක් අඬන්න. දැන් අටයි නේ වෙලාව. ඔයා මට දහයමාරට කෝල් එකක් දෙන්න. ඒ
වෙද්දී මම ඔයාගේ පොඩ්ඩා ගැන හොයලා තියන්නම්. දහයමාර වෙද්දීත් ඔය දෙන්නාගෙන්
එක්කෙනෙක් අඬනවා නම් ඔයා ඇවිත් පුතාව අරගෙන යන්න. මොකද කියන්නේ? හා ද?" ඈ
ඇහුවා.
මම 'හා' කිව්වා. කොහොමත් මගේ නිවාඩු ඉවර නිසා මේ දේ වෙන්න
නියමිතව තිබුණු බවත් වෙන පිලියමක් නැති බවත් මම දැනගෙන හිටියා. ඉතින් එදා මම පුතාව තියලා ගෙදර ගියා. ඒ යද්දී 'අම්මා, අම්මා!' කියලා පුතා අඬනවා වගේ මඟ දිගටම ඇහුනා. ගෙදර ගිහින්
තව ටිකක් අඬලා කල්පනා කරද්දී බින්දුවක් බැමි බුරුල් කරන්න කාලේ ඇවිත් කියලා
මටම තේරුම් ගියා. ඒත් පාලු ගෙදර උහුලන්න බැරි නිස්සද්ද බවක් දැනුණා.
විනාඩි පහෙන් පහට පුතා මොනවා කරනවා ඇතිද කියලා හීල්ලුනා. අණ ලැබුණ විදිහටම
මම නියමිත වෙලාවට දිවා සුරැකුමට කතා කළා. මගේ කඳුළු නම් ඒ වෙද්දී වේලිලා
තිබුණේ. ඒත් පපුවේ බර එහෙමම තිබුණා.
"ඔයාගේ පුතා හරියටම මේ වෙලාවේ
රතු පාට ප්ලාස්ටික් ට්‍රක් එකකට වැලි පටවනවා වැලිගොඩේ ඉඳන්!" මගේ ඇමතුම
ගත්තු පාලිකාව හිනාවෙලා කිව්වා. "මතක ඇතිව ගෙදර ගෙනාවාම නාවලා ගන්න!"
"ඕක
තමයි මම ඔයාට කිව්වේ!" කියලා ඈ කිව්වේ නැහැ. "ඔයා කීව දේ හරි!" කියලා මමත්
කීවේ නැහැ. පුතාට මං නැතිව පාලු උනේ නැති එක ගැන පුංචි දුකක් හිතට
නොදැනුනා නෙමෙයි. ඒත් අම්මලාගේ -දරුවන්ගේ කඳුළු ගැන දන්න අය ඉන්න තැනකට පුතාව
බාරදෙන්න ලැබුණු එක ගැන මට සතුටක් දැනුණා. දැන් පුතා ඉස්කෝලෙත් යනවා. කාලේ
ගත වුණේ විදුලි වේගෙන්.
"බය වෙන්න එපා, බොහොම ඉක්මනට කාලේ ගතවෙනවා!" මම මගේ මිතුරියෝ දෙන්නාටම කිව්වා. "ළමයි හරි ඉක්මනට ලොකුවෙනවා!"
ඒ
දෙන්නාම හිනාවෙලා ඒ කතාව පිළිගත්තත් අත්ඇරීමේ බර ඒ හිත් දෙකේම පැහැදිලිව
තිබුණා. ඒ තුවාලත් කාලය සුව කරයි කියලා මම හිත හදා ගත්තා.
pic- kizie.com
oya dakala vidala tiyanawada autism daruwange ammala, me ammalage kaduluth barai tamai. namuth man kalin kiwwa daruwange ammala atha arinna ona sadakalikawa tamnage pathum, badim....
ReplyDeleteඔව් චතු, අතාරින්න ඉඩක් ලැබෙන්නෙම නැති ඒ වගේ කඳුළු බරින් ගොඩක් වැඩියි.
Deleteකුරුළු අම්මලා වගේ මිනිස් අම්මලට ළමයින්ව අතාරින්න බැරිවුනාට මේ තියන ජීවන රටාවත් එක්ක ඔවුන් ගොඩක් අසරණවෙලා. කොහොමවුනත් ඔබේ කතාවේ සුරැකුම් මධ්‍යස්ථානයේ පාළිකාවනම් ගෞරවය ලැබියයුතුම චරිතයක්.
ReplyDeleteජයවේවා...
ස්තූතියි කටුසු
Deleteඅනේ! මේක මාරයි <3
ReplyDeleteබස්සි <3 :)
Deleteහිතට දැනුනා....ලගදිම දවසක ඔය හැගීමට මුණ දෙන්න බලන් ඉන්නවෙ
ReplyDeleteස්තූතියි ශානු. Be strong!
Deletei often wonder... how do you write like this? i don't have a kid, but i have tears in my eyes reading this.
ReplyDelete<3
Hiranya, the answer is perhaps- 'from the heart' and you are lovely soul :) <3
Delete