January 26, 2016

සතිඅන්ත


ඒ සැප්තැම්බර් මාසයක්. පාර අද්දර එක පෙළට රොබරෝසියා පිරිලා තිබුණු කාලයක්. කැම්පස් ඇවිත් මාස තුන හතරක්.අපි හිටියේ නව කලාගාරේට හැරෙන තැන තිබුණු නා ගහ යට බංකුවේ. ඒ වෙද්දී එතැන සැරෙන් සැරේට බදු ගත්ත කීපදෙනා අතරට අපිත් ඉබේම එකතු වෙලා තිබුණා. පහලට අතු කඩා හැලුණු නා ගහේ දවාලටත් තිබුණේ ඇඟ නිවන සිහිලක්.

"අර ඇහෙන්නේ වඳුරෝ කෑගහන සද්දේ නෙමේද?" නා ගහේ කඳට හේත්තු වෙලා ඇස් පියාගෙනම මම රජිත්ගෙන් ඇහුවේ සැකෙන්. මේ කොළඹ? වඳුරෝ ඉන්න පුලුවන්ද?

"අයියෝ..ඔයා අහලා නැද්ද ජපුරේ වඳුරෝ සෙට් එක ගැන කතාව? මදි මදි.. දැනුවත් වෙලා මදි .. කොහේද රැග් කාලේ කට්ටි පැන්නා නේ! ඉන්නකෝ එහෙනම් මම කියලා දෙන්න.." රජිත් හරිබරි ගැහුණා.

"දැන් ඉතින් ඔන්න අතේ රෝලක් ද කොහෙද!" මම නෝක්කාඩුවට කිව්වේ රජි එක සැනින් මහා බොරු කතා ගොතන බව දන්න නිසා.

"පිස්සුද ළමයෝ.. මම ඔයාට එහෙම බොරු කියනවද?" රජිත් මාව ළඟට ඇදලා ගන්න ගමන් තවත් හිනාවුණා.

"ඔන්න මෙහෙමයි වුණේ...අර කැලේ තියෙනවනේ.." අපේ ඉස්සරහින් වනජීවී අධ්යයනාංශයට අයිති මහා රූස්ස ගස් තියෙන බිම්කඩ පෙන්නමින් එයා ලොකු කතාවකට මුලපිරුවා. "ඔන්න ෆොරෙස්ට්රියේ ළමයිට ගහ කොල ගැන ඉගෙන ගන්න ඒ කැලේ හැදුවා නේ. ඊට ටික කලකට පස්සේ කැම්පස් එක වටේ, මේ එගොඩවත්ත පැත්තේ... නාවින්නේ ඔයාලා වගේ ගෑනු ළමයිට නවතින්න බෝඩිං හදන්න කැලේ එළි කළා නේ.."

මේ කතාවේ ඇත්ත ප්රතිශතය බොහොම අඩු වෙන්න පුළුවන් බව දැනගෙන මම බොහොම අමාරුවෙන් හිනා නොවී ඔලුව වැනුවා.

"ඉතින් ඒ කාලේ ඒ පැතිවල හිටිය වඳුරෝ කතාවුනාලු 'මුන් හින්දානේ අපේ ගෙවල් දොරවල් නැතිවුනේ.. අපි ගිහින් උන්ගේ අස්සෙම පදිංචි වෙමු!' කියලා. එහෙම කියලා අර ෆොරෙස්ට්රියේ කැලේ නවාතැන් ගත්තලු"
"නෑ! මාර මොළේ නේ?" මම ලොකු පුදුමයක් මවා ගත්තා.

"ඔව් නේ?" රජි කටහඬ තවත් බැරෑරුම් කළා. "ඒ ආපු පාර ස්ටාෆ් එකට බන්දගන්නත් උපකුලපති ලෑස්ති උනාලු. උන් කිව්වලු නෑ එහෙම ඕනේ නෑ... ස්ටාෆ් බැඳුනහම ඔක්කොමත් හරි මුන් උත්තර පත්තරවල ලියන බොරු කියවන්න වෙනවනේ.. අපිට ඉන්න දුන්නම ඇති කියලා. එහෙමලු කට්ටිය මේක ඇතුලේ කැලේ පදිංචි උනේ!"

"අපෝ මෙයාට යන්න අපායක් නැහැ මේ කියන බොරු වලට!" මම හිනාවෙන ගමන් ම රජිත් ට පාරක් ගැහුවා. "මම කිව්වේ පටන් ගන්න කොටම අතේ රෝල් කියලා !"

"හා පුළුවන් නම් ඔප්පු කරන්න බොරුයි කියලා!" රජි මගෙන් ගුටි කන සීමාවෙන් ඈතට දිගඇදිලා හිනාවුනා. "හරි, ඒ ටික බොරුයි කියලා හිතනවානම් එක ඇත්තක් කියන්නද?"

"හා කියන්න බලන්න!" මම කට ඇද කළා."පුරුදුත් නැතිව ඇති ඇත්ත කියලා!"

"මේ කැලේ ඉන්න වඳුරු රංචුව හරි කුළු යි. සද්දේ අහුනාට දැකලා තියෙනවාද? නෑ නේ?"

"ඔව් දැකලා නම් නෑ" ඒ පාර මට පිළිගන්න වුණා.

"දැකලා නැති හේතුව ඔයා හැම සිකුරාදාම පහට සෝෂලොජි ලෙක්චර් එක ඉවරවෙලා ගෙදර දුවන නිසා!" රජි හිනාවුණේ ලෝකේ ලොකුම හොයාගැනීම කරපු ගානට.

"දැන් ඉතින් ඇත්තක් කියනවා කියලා නේද පටන් ගත්තේ?" මම තරහා මූණක් මවා ගත්තා. "තාම දොඩවන්නේ මනස්ගාත!"

"නෑ සුභා, මම ඇත්තමයි කියන්නේ" රජි හිනාව නවත්තලා කිව්වා. "කොහොම හරි ක්රමේකට මේ වඳුරු රැළ සති අන්ත අඳුරනවා. ඒ දවස්වලට මෙතැන ළමයි අඩු නිසා වෙන්න ඇති. සෙනසුරාදා අට වෙද්දී උන් මෙන්න මේ හරියේ... කස ගස් හෙවනේ! බලන්න ඕන පවුල් පිටින්, උකුණෝ බලනවා... ළමයි නළවනවා..කෝ ඉතින් ඒවා දකින්නේ කොහෙද..ඕගොල්ලෝ සති අන්තේ ගෙදර දුවනවනේ..අපි වගේ දුර පලාත්වල, නිතර ගෙදර නොයන ළමයින්ගේ දුක සැප බලන්න නවතින්නේ නැහැනේ " රජිත් ආයෙත් හිනාවුණා.

"රජිත් අතුකෝරළ!” මම බොහොම බරපතල තාලෙට කිව්වා. “තමුන් අහලා තියෙනවද අර කොටියා ආවා කියලා කෑගැහුව එඬේර ළමයාගේ කතාව? අන්න ඒ වගේ තමනුත් දැන් ඇත්තක් කිව්වත් කවුරුත් විස්වාස කරන්නේ නැති ගානට ඇවිත්!”

“කවුරු විස්වාස නොකලත් සුභානි ධීරරත්න මෙනෙවිය නම් මා කියන දේ විස්වාස කරන බව මට ඒකාන්තයි ස්වාමිනි. ඊට අමතරව අද සිට දින හතක්ම ඈ වඳුරු සිහින දකින බවටත් මම සහතික වෙමි!”

ඒ පාර නම් රජි කිව්වේ බංකුවෙන් නැගිටගෙන දුවන්න බලාගෙන. එදා අන්තිමට ගුටියක් දෙන්න මට රජි ව අල්ලාගන්න පුළුවන් උනේ සෝරත හොස්ටල් එකත් පහුකරලා ටික දුරක් දුවලා ගිහින්.
........................................................................

මේ ඔක්තෝම්බර්. පාරේ දිගට රොබරෝසියා ගස් වල පිපුණු මල් බොහොම කෙටි ආයු කාලෙකින් මියැදිලා ගිය බවට සාක්කි තිබුණු කාලයක්. කැම්පස් එකෙන් පිටවෙලා අවුරුදු අටක්. අද සෙනසුරාදා නිසා වෙනදාට තරම් මෙතැන කලබල නැහැ. ඒ නිසා ප්රධාන ගේට්ටුව කිට්ටුවම කාර් එක නවත්තන්න පුළුවන් වුණා.

“ඔයානේ මේකේ පුරුදු කාරී, එන්නකෝ මට පාර පෙන්නන්න!” පසන් කාර් එකෙන් බැහැලා මගේ පැත්තෙන් ඇතුලට එබිලා කිව්වා.

“මහා දෙයක් නැහැ අනේ පෙන්නන්න, අර සෙකියුරිටි ගෙන් අහන්නකො ලෙක්චරර්ස් ක්වාටර්ස් කොහෙද කියලා, එහෙම නැත්නම් ඔය තල් ගස් පේළිය දිගේ ම ඉස්සරහට යන්න. පාර බෙදෙන තැන නා ගහට එහා පෙනේවි. අනික පුතාට මේ දැන් නේ නින්ද ගියේ. උස්සගෙන යන්න ගිහින් අඩ නින්දේ ඇහැරුනොත් මෙතැන දෙක කරයි!” මම කිව්වේ බොහොම සාධාරණ හේතුවක්. දුකක් වගේ හැඟීමක බින්දුවක් වත් නොගෑවුණු හේතුවක්.

පසන් විශ්ව විද්යාලේ ගේට්ටුව ළඟදී යාළුවාට දෙන්න නියමිතව තිබුණු ලිපි ගොනුවේ විස්තර ආරක්ෂක නිලධාරියාට පෙන්නනවා මම කාර් එකේ පැති කණ්ණාඩියෙන් බලාගෙන හිටියා.

“එයා තැන හොයාගනිවී!” මම මටම හිත හදාගන්න මුමුණා ගත්තා.

මම හිටිය තැනට විශ්ව විද්යාලේ මායිම් වැටෙන් ඇතුළේ පුස්තකාලේ පැත්ත පෙනුණා. ඉස්සර නොතිබුණු සූරියකාන්ත මල් යායක් ඒ හරියේ එක පෙළට නැටුවා. සුමංගලේට උඩින් මහා වැහි කළුවක් එබිකම් කළා.

“සුභා, අපරාදේ ඔයාට පුතා අරන් එන්න තිබ්බේ!” කියාගෙන පසන් කාර් එකට ගොඩවෙනකම් මම හිටියේ ඈතින් පේන ඇහැල ගස් වල මුදුන් හරියේ.

“මම අර තල් ගස් දිගේ ටිකක් එහාට යද්දී, අර නා ගහක් තියෙන හරියේ, මෙන්න එළිමහනේ මහා වඳුරු රංචුවක්!මේ සෙනඟ ගැවසෙන තැනක් කියලා වගක් නැහැ. උන් උන්ගේ ලෝකේ! අනික මේ හැමතැනම ඉන්න රිලවු නෙමෙයි, කැලෑ වල ඉන්න ජාතියේ නියම හැලි වඳුරෝ රංචුවක්. පුතා දැක්කා නම් ආසා වෙයි!ආයෙත් වෙලාවක ඒක බලන්නම එන්න වටිනවා. උන් හැමදාම ඉන්නවද දන්නේ නැහැ” පසන් වාහනේ පණ ගන්වන ගමන් දිගටම කියනවා.

ඒතරම් වෙලා ඉහිරෙන්න බලාගෙන උන්නු වැහි කළුව අකුණක් එක්කම එක සැරේ කඩා හැලෙන්න ගත්තා. ඒ වැස්ස කාර් එක ඇතුලට ඉහිරිලා පුතාවත් තෙමෙයිද කියලා මට බය හිතුණා.

“හැමදාම නෑ, සති අන්තේ විතරයි!” මම හෙමින් සැරේ කිව්වේ එතකම්ම ඇරගෙන උන්නු කාර් එකේ වීදුරුව වහන ගමන්.



pic-www.sjp.ac.lk







6 comments:

  1. අතීතය සිහිනයක් පමණයි,,ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලලිත්

      Delete
  2. ලස්සනයි. සුලභ මාතෘකාවක් වුණත් අවසානය හිත කම්පනය කරන්න සමත්. කැම්පස් සම්බන්ධ කතා කොහොමත් මගේ හිතේ පොඩි සාංකාවක් වගේ එකක් ඇති කරනවා. ඒ මට කැම්පස් යන්න අවස්ථාව නොලැබුණු නිසා. වෙන වෙන දේවල් වලට නිතර පේරදෙණි කැම්පස් එකට ගිහින් තියන නිසා, ඒ අවස්ථාව අහිමි වීම වැඩියෙන් දැනෙනවා ඇති. ඉතින් "හන්තානට පායන හඳ ලස්සනයිද" කියලා අනිත් අයගෙන් තමා අහගන්නේ. මේක ජපුරේ කියලා දැක්කා.. ඒත් කැම්පස් කිව්වහම මට මැවෙන්නේ මම දන්න චිත්‍රය විතරයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර. කරුණාසේන ජයලත් ගේ සතී ගේ කතාව කියවලා 'කැම්පස්' කතාවක් ලියන්න ලොකු වුවමනාවක් ඇතිවුණා. ඒත් මගේ අතින් දිග කතා ලියවෙන්නේ නැති නිසා මේකට මීට වැඩිය 'ජපුර' දාන්න බැරි වුණා. :)

      Delete
  3. කවුන්සලේ තියෙන open canteen එකට වෙලා ප්ලේන්ටියක් බිබී අපි කසගස් දිහා බලාගෙන ඉන්නකොට අපි ඔය වදුරෝ රැල දිකිනවා. තව දෙයක් සුමන්ගලේ ඉස්සරහ තියෙන පොඩි කඩේ (tuck shop)පිටිපස්සෙන් තියෙනවා ලොකු ගහක්. මන් නම දන්නේ නැහැ . එත් එකේ හැම අවරුද්දේම නොවුනත් ලස්සන පුංචි කහපාට මල් වගයක් පිපෙනවා . පුදුම ලස්සනක්.රොබරොසියා ගැන කියපු නිසා මතක් කලේ. මාත් රොබරෝසියා වලට පුදුම විදියට ආසයි.

    ReplyDelete
    Replies
    1. ඒ ගහ වල් ඇහැල කියන ජාතියද? එහෙම බවක් මට යන්තම් වගේ මතකයි. මල් පිපුනහම පළාතම ලස්සනයි නේ? ස්තූතියි මේ පැත්තේ ආවාට! :)

      Delete