December 09, 2015

පින්තූරයක් නැත


"මුහුණුපොතේ ඉල්ලීමක්- වැඩියෙන්ම ආදරේ දැනුණු වෙලාවල ගැණුනු පින්තුර පහක් පළ කරන්න"

මුහුණ නිකටෙන් ඔසවා
පිසදා කඳුළු බිඳුවක්
රළු මහපටැඟිල්ලෙන්...
"නිදිමත ඇස් - කඳුළු පිරුනාම ලස්සන!"
හිනැහෙමින් කියූ දින



පින්තූරයක් නැත


දුම්රියේ සිහිසුන් වූ දා
බිය වී බොහොමත්ම
වාරු කරගෙන ළය මතට
"බෙහෙත් ගමු, ප්‍රෙෂර් බලමු!"
කලබලෙන් කියූ දින

පින්තූරයක් නැත


පීරා නිමක් නැති කවි රැස
අමුණා එකින් එක පිටු මත
තනවා දී පොතක්,
මගේ විස්මය දැක
දෑස දල්වා සිනාසුණු දින

පින්තූරයක් නැත


නොවැදගත් දේකට
අමනාප වී බිඳකට
යන්නටම යන්නට ගොස්
"හිතෙන්නෙත් නැහැ යන්නට"
කියා යළි ඇවිදින්
ලඟට වී එරවූ දින

පින්තූරයක් නැත


තටු ඉරී තිබුණත්
ඉගිලිය යුතුම බව දුර
පහදා සෙනෙහසින්
ඉගිලෙන්න වරම් ලද දා
පස්වනක් සතුටින්
නළල සිඹ සු'පැතූ දින

පින්තූරයක් නැත


ස්තූතියි බූන්දි! 





7 comments:

  1. ආදරණීය සිතිවිලි.....ලස්සනයි මලී අවංකවම

    ReplyDelete
  2. ස්තූතියි!

    ReplyDelete
  3. නිදි වරා වෙහෙසී
    පැමිණි සුභ දිනයක
    පෝරු මස්තකයක
    විඳි නේක වද මැද
    රූ ශිල්පි අණකට
    ආදරෙන් හිනැහුණ

    ඡායාරූපයක් ඇත

    ReplyDelete
    Replies
    1. අතීතයත් අනාගයත් අතර මැද මොහොත!

      Delete
  4. ගොඩක් ලස්සනයි !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිරෝ!

      Delete