March 25, 2025

රාජා



රාජාගේ නම රාජා බව අපි දැනගත්තේ ග්‍රාමසේවකගෙන්. ඒ වෙනකම් අවුරුදු ගාණක් තිස්සේ එයාට හැමෝ ම කීවේ ‘ගොළුවා’ කියලා. ඒක අපහාසෙටවත්, සමච්චලයටවත් කීව නමක් නෙමෙයි. ඇත්තට ම කවුරුවත් එයාගේ නම නොදැන හිටි නිසාත්, දැනගන්න විදිහක් නොතිබුණු නිසාත් කීව නමක්. රාජාට උපතින් කන් ඇහුණේ නැහැ. ඒ නිසා එයාට කතා කරන්නත් බැහැ. ඒත් අවුරුදු ගාණක් තිස්සෙ ම අපි එයාටත්, එයා අපිටත් බොහොම ලෙන්ගතුව ඉන්න ඒක කිසි බාධාවක් වුණේ නැහැ.

රාජා ජීවත් වුණේ ගෙයින් ගෙට ගිහින් කුලී වැඩ කරමින්. උදේට කොතැනක හරි ගෙයක් ළඟින් මතුවෙලා, ඒ අය පවරන ඕනෑම වැඩක් කරන්නත් හවසට දවසේ කුලී අරගෙන අතුරුදහන් වෙන්නත් රාජා පුරුදුවෙලා හිටියා. එයා ජීවත්වෙන තැනක් කවුරුවත් දැනගෙන නොහිටියේ ඒක අහගන්න ක්‍රමයක් නොතිබුණු නිසායි. පවරන ඕනෑම වැඩක් ‘යකෙක් වගේ’ කරන්න රාජා දක්ෂයි. එහෙම වැඩ පවරන්නත් වැඩේ පවරන කෙනාට යම් තරමක සංඥා භාෂා දැනුමක් වුවමනා වුණා. ඒත් රාජාට තියුණු බුද්ධියක් තිබුණු නිසා අනෙත් අය යන්තම් අතින් පයින් කියන දේවල් එයා එක සැණින් තේරුම් ගත්තා.

රාජා අපේ ගෙදර වත්ත පිටියේ වැඩ කරන්න නිතර ම ආවා. කළුම කළු හමක් තිබුණු රජාට තිබුණේ සුදුම සුදු හිනාවක්. රාජා පොඩි ළමයින්ටත්, සත්තුන්ටත් අසීමිතව ආදරය කළා. එයා අපේ වත්තේ වැඩකරන කාලේ ලොකු අක්කා එයාගේ අලුත උපන් පුතා වඩාගෙන ගෙමිදුලට එනවා දැක්කොත් රාජා කරමින් හිටිය ඕනෑම බරපතල වැඩක් නවත්තලා එතැනට යනවා. ඉන්පස්සේ ආදරය පිරුණු ඇස් වලින් ඈත ඉඳන් දරුවා දිහා බලාගෙන ඉන්නවා. තවත් ටික කාලයකින් ඒ පුතා මිදුලේ දුව පැන ඇවිදිද්දී, රාජාට ‘ගෝ මාමා’ කියලා කතාකරද්දී රාජා තමන්ගේ වැඩ නවත්තලා වත්තෙන් කඩාගත්ත මලක්, අහුලාගත්ත පිහාටුවක් පුතාට ගෙනත් දෙන්නේ පිරිකරක් පූජා කරනවා වගේ භක්තියෙන්. රාජාත් කසාද බැඳලා ද, එයාටත් දරුවෝ හිටිය ද කියලා අපිට දැනගන්න වුවමනා වුණත් අනෙත් හැම දේම තේරෙන රාජා අපි සංඥා වලින් ඇහුව ඒ ප්‍රශ්න විතරක් මඟ ඇරියා. 

දරුවන්ට ආදරය වුණා වගේ නෙමෙයි, සත්තුන්ට ආදරේ පෙන්නන්න ගිහින් රාජාට සිහිවටන කීපයකුත් ලැබිලා තිබුණා. එයා වැඩ කළ ගෙවල්වල බල්ලන්ව අතගාන්න ගිහින් උන් රාජාව හපා කාලා මැහුම් දාපු විස්තර රඟපාලා පෙන්නමින් සමහර දවස්වලට රාජා හිනාවුණා. සමහරවිට ඒ බල්ලෝ, තමන් ළඟට එන්න එපා කියලා රජාට අනතුරු අඟවන්න ගොරවද්දී ඒ බව නෑහිලා එයා උන්ව අතගාන්න ගියාද කියලා අපිට ඒවා දකිද්දී හිතුණා. අපේ ගෙදර හිටිය බලු පරම්පරාව නම් රාජාට පණ වගේ ආදරය කළා. රාජා ඉන්න දාට උන් අනෙත් හැම රාජකාරියක් ම අමතක කරලා වත්තේ එයා වැඩකරන තැන කිට්ටුවෙන් ඉන්න හරි කැමැත්තක් පෙන්නුවා. රාජාට කෑමට බත් බෙදලා දෙද්දී බල්ලන්ව එතැනින් එළවලා කූඩුවට නොදැම්මොත් රාජා බිම වාඩිවෙලා තමන්ගේ බත් පිඟානෙන් වැඩි කොටසක් බල්ලෝ එක්ක බෙදාගන්න බව අපි දැනගෙන හිටියා. 

රාජාට තිබුණු බුද්ධිය අප නිරන්තරයෙන් ම පුදුම කළා. ඕනෑම කැලැන්ඩරයක් අරගෙන දවස් හරියට පෙන්නන්න, ලබන සතියේ එයා ආයෙත් එන දවස හරියටම පෙන්නන්න එයා දැනගෙන හිටියා. කැලැන්ඩරේ මාස, දවස් මුද්‍රණය කරලා තිබුණේ සිංහලෙන්ද, ඉංග්‍රීසියෙන්ද කියන එක එයාට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊට අමතරව කඩේකට ගිහින් බඩු මිලදී ගෙන හරියට ම මුදල් ගෙවලා ඉතුරු සල්ලි ගණන් කරලා ගන්න, දුර ගමන් බස් කීපයක නැඟලා තමන්ට වුවමනා තැනට හරියට ම යන්න එයාට පුළුවන්කම තිබුණේ එක අකුරක්වත් නොදැනයි. ඒ වගේම රාජාට සමාජ බුද්ධියත් හොඳට ම පිහිටලා තිබුණා. රාජා කතෝලික ආගමේ බවට සාක්ෂියකට තිබුණේ බෙල්ලේ එල්ලාගෙන හිටිය ලොකු රිදී කුරුසය. ඒත් අප්‍රේල් මාසයේ අවුරුදු පහු වුණු ගමන් කොහෙන්දෝ හොයාගත්ත බුලත් අතක් අරගෙන එයා කුලී වැඩ කළ හැම ගෙදරට ම යන්න රාජා පුරුදු වෙලා හිටියා. එහෙම ගිහින් ඒ ගෙවල්වල පොඩි ළමයින්ට පවා බුලත් දීලා බිම වැටිලා වඳින්න උත්සාහ කරන රාජාට ඒ ගෙවල් වලින් සතුටු පඬුරුත්, තෑගි බෝගත්, කෑම බීමත් සෑහෙන්න තරමට ලැබෙන බව එයා පළපුරුද්දෙන් දැනගෙන හිටියා. එහෙම යන දවසට බෙල්ලේ එල්ලුණු රිදී කුරුසය ගලවලා තියලා යන්න එයා අමතක කළේ නැහැ. 

මේ වගේ අහිංසක කපටිකම් තිබුණත් රාජාගෙන් කාටවත් කිසිම කරදරයක් තිබුණේ නැහැ. කිසිම හොරයක් බොරුවක් වංචාවක් නැතිව එයා වැඩ කළ හැම ගෙදර ම විශ්වාසය රකිමින් එයා රාජකාරි කළා. රාජාට වැඩ පැවරුව හැම කෙනෙකුටම හැමදාම තිබුණු ප්‍රශ්නේ රාජාට පණිවිඩයක් දෙන්නේ කොහොමද කියන එක. එයා හිටිය ඉසව්වක් දැනගෙන හිටියත් කවුරුවත් එයාගේ ගෙදරක් තියෙන තැනක්වත්, පවුලක විස්තරයක්වත් දැනගෙන හිටියේ නැහැ. මේ නිසා රාජාට ම හිතිලා ගෙදරකට එනකම් කාටවත් එයාට පණිවිඩයක් යවලා ගෙන්නගන්න නම් බැරි වුණා. 

රාජා මාස ගාණකින් ආවේ නැති බව කාට කාටත් මතක් වෙන්න ගත්තේ වතු පිටි කැලෑ වෙද්දී, ගස්වල පොල් පැහිලා එක දෙක බිම වැටෙද්දී, වැට ඉණි දිරලා වැටෙද්දී. රාජා නිතර යන එන කීප තැනකින් ආරංචි කරලා බැලුවත් ඒ කිසි තැනකට මාස ගාණකින් රාජා ඇවිත් නැති බව අපිට දැනගන්න ලැබුණා. සමහරවිට එයා ඈත පළාතක වැඩකට යන්න ඇති කියලා හැමෝම කතා වුණා. තවත් මාස කීපයක් ගතවුණා. රාජා ගැන ඇත්තම විස්තරය දැනගන්න ලැබුණෙත් බොහොම අහඹු විදිහට. පන්සලේ කඨින පිංකම දවසේ රාජාගේ ගම් පළාතේ ග්‍රාමසේවක මහත්තයාව අපේ තාත්තාට මුණගැහිලා තිබුණා. රාජාගේ හැඩහුරුකම් එක්ක කියලා විස්තර අහද්දී තමයි තාත්තාට හරි විස්තරය දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ වෙද්දීත් රාජා ජීවිතෙන් සමු අරන් මාස කීපයක්. කුළී වැඩකට ගිය පළාතක බුලත් විටක් ගන්න රේල් පාර දිගේ ඇවිදගෙන යමින් හිටිය රාජා මහා දවාලක කෝච්චියක හැප්පිලා මිය ගිහින්. කෝච්චියේ නලා සද්දයත්, වටපිට මිනිසුන්ගේ කෑ ගැහීමත් නොඇහුණු හේතුවෙන් එහෙම අවාසනාවන්ත විදිහට රාජාට ජීවිතෙන් සමුගන්න යෙදිලා තිබිලා. ඒ තරම් කාලයක් කළුම කළු මූනකින් අපිට සුදුම සුදු හිනාවක් දුන්නු මිත්‍රයාගේ ඇත්ත නම ‘රාජා’ කියලාත් අපි දැනගත්තේ  ඒ දුක්බර ආරංචියත් එක්කමයි. 

-හෙල්මලී 

photo- unsplash


March 16, 2025

එකම ලෝකයක්

අද උදෑසන
අලංකාර ශ්වේත පැහැ කෙකින්න
ජල තලයට ඉහළින් පාව ගියාය

ඉනික්බිති ඈ
අප හැම අයිති මේ ලෝකයට ඉහළින් ඇති
නිල් අහසේ නොපෙනී සැඟවිණි

මේ ලොව හැම දෙයක්ම
කෙදිනක හෝ
අන් හැම දේකම කොටස් වේ

ඒ සිතිවිල්ල නිසා
මොහොතකට
මා ද ලස්සන බව මට දැනුණි

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of 'Poem of the One World' by Mary Oliver

Digital art


March 11, 2025

මනුසත් හැසිරුම් කදිමට විනිවිද දකින ඈන් ටයිලර්

“හැම විවාහයක්ම විවිධ අවධි පසු කරයි. ඒවා තුළ බොහෝ විට නැවත ඉපදීම් ඇත. ඇතැම් අවස්ථාවල පුද්ගලයන් දෙදෙනකු අතර කාල දෙකකදී හොඳ විවාහයක් සහ නරක විවාහයක් යන දෙකම පැවතිය හැකිය.”

අලුත් පොතක තේමාව වත් අන්තර්ගතය වත් නොදැන පාඨකයන් ලෙස අප එය තෝරාගන්නා අවස්ථාවක් ඇත් නම් ඒ, ඒ කතුවරයා පෙර නිර්මාණවලදී පා ඇති දස්කම්වල රස අප හඳුනන බැවිනි. මට නම් අමෙරිකානු ජාතික කතුවරියක වන ඈන් ටයිලර්ගේ පොත් ගෙන එන්නේ එවැනි හැඟීමකි. ඈන් ටයිලර් මානුෂීය හැඟීම් මනා සේ කියවන, පුද්ගල හැසිරීම් කදිමට විනිවිද දකින ලේඛිකාවකි. මිනිස් හැසිරීම්වල සංකීර්ණ බව සරලව සහ රසවත් ලෙස තම නිර්මාණ මඟින් විදහා පෑම ඇයගේ දස්කමයි. මේ, ඈ 2022දී ප්‍රකාශයට පත් කළ ‘ෆ්රෙන්ච් බ්රේඩ්’ නවකතාව ගැන සටහනකි.

ඈන් ටයිලර්ගේ සෙසු පොත් මෙන්ම ‘ෆ්රෙන්ච් බ්රේඩ්’ පොතද ලියවී ඇත්තේ පවුලක් තුළ දිගහැරෙන අතිශය සාමාන්‍ය මනුෂ්‍ය හැසිරීම පෙළගස්වමිනි. 1959 සිට 2020 දක්වා කාල වකවානුව ඔස්සේ දිවෙන මේ කතාව අමෙරිකාවේ බැල්ටිමෝර් ප්‍රදේශයේ එක්තරා මධ්‍යම පාන්තික පවුලක් තුළ සිදු වන හැලහැප්පිලි, කඩාවැටීම්, දිනුම් සහ සුළු සුළු දිලියුම් මැනවින් විස්තර කරයි.

“එහෙනම් මෙහෙමයි දේවල් වෙන්නේ,” ඕ කීවාය. “පවුල්වල සාමාජිකයෝ මෙහෙම දේවල් තමයි එකිනෙකා වෙනුවෙන් කරන්නේ. ඇත්ත බව පිළිගන්න අපහසු දේවල් ටිකක් හැංගීම, ආත්ම වංචාවන් කීපයකට, ඒ වගේම කරුණාවන්තකම් කීපයකට ඉඩ දීම...”

“ඇයි පොඩි කුරිරුකම්?” ඔහු විමසීය.

“ඔව්, පොඩි කුරුරුකම්වලටත් ඉඩ දීම!” ඕ පිළිතුරු දුන්නාය.

‘ෆ්රෙන්ච් බ්රේඩ්’ කෘතියේ කතානායක ගැරට් පවුල, පිටතින් බලද්දී සාර්ථක, ආදරණීය පවුලක් සේ පෙනුණද, එක් වහලයක් යට ජීවත් වන එහි සාමාජිකයෝ එකිනෙකාගෙන් වියුක්ත උප ඒකක වැනිය. ඔවුන් එකිනෙකාගේ අපේක්ෂා නොහඳුනන අතර, ඔවුන්ගේ සිතුම් පැතුම්වල පවා කිසිදු සමාන බවක් නැත. පවුලේ මව වන මර්සි ජීවිත කාලයක්ම චිත්‍ර ශිල්පිනියක වන්නට හීන දකිමින් උන් අයෙකි. ඇයගේ මේ සැබෑ නොවුණු සිහිනය තම දරුවන්ගේ පමණක් නොව ඔවුන්ගේද දරුවන්ගේ ජීවිතවලට පවා විවිධ මට්ටමින් බලපෑ බව මේ කතාව ගලා යද්දී පැහැදිලි වේ.

ගැරට් පවුලේ එකම පුතු වන ඩේවිඩ් වැඩෙන්නේ තම පියා තමා නොරුස්නා බව අදහමිනි. මේ නිසා ඔහු නිරතුරුවම සිය පවුලෙන් දුරස්ව වෙසෙන්නට උත්සාහ දරයි. මෙවැනි කුඩා ඉරිතැළීම් බහුල මේ පවුලේ කතාව කියවන්නන්ගේ හදවත් තුළට කාවදින්නේ ඔවුන්ද ඒ පවුලේ සාමාජිකයන් බවට පත්කරමිනි.

මේ කතාවේ හැම පරිච්ඡේදයක් සමඟම ලේඛිකාව ගැරට් පවුලේ සාමාජිකයන් අතීතයේ සිට වර්තමානයට ගෙන එන්නීය. කියවන්නාද ඔවුන් සමඟම ඒ ගමන එන්නේ අලුතින් පවුල තුළ ඇති වන හැලහැප්පිලිවලට තමාද මැදි වෙමිනි. ‘ෆ්රෙන්ච් බ්රේඩ්’ කෘතිය ගැන කළ කතාබහකදී ඈන් ටයිලර් මේ චරිතවල විකාශය අපූරු ලෙස විස්තර කරන්නීය. පවුලක සාමාජිකයන් අතර ඇති ආදරය ඔවුන් එකිනෙකා හා නොකියන දේවල සහ එකිනෙකා වෙනුවෙන් නොකරන දේවල පවා ගැබ්ව ඇති බව එහිදී ඇය අපට සිහිපත් කර දෙයි. ඇතැම් විට තමා මවන චරිත තමගේ පාලනයෙන් තොරව හැසිරෙන බවත්, ඔවුන්ගේ හිතුවක්කාර හැසිරීම් ගැන තමාට වගකිව නොහැකි බවත් ඈ කියන්නේ තම චරිතයේද ඇති විනෝදයට බර පැතිකඩක් විවර කරමිනි.

වර්ෂ 1941දී අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ උපන්නියක වන ඈන් ටයිලර් 1964 සිට මේ වන විට නවකතා 24ක් පළ කර ඇත. ඇයගේ පොත් අතුරින් ‘ඩිනර් ඇට් ද හෝම්සික් රෙස්ටෝරන්ට්’ (1982), ‘ද ඇක්සිඩෙන්ටල් ටුවරිස්ට්’(1985) යන ඒවා ප්‍රබන්ධ සඳහා වන පුලිට්සර් සම්මානයට නිර්දේශ වූ අතර, ‘බ්‍රීදින් ලෙසන්ස්’ (1988) නවකතාව 1989 දී එම සම්මානයෙන් පිදුම් ලැබීය.

මීට අමතරව මේ වෙද්දී ඈන් සිය ලේඛනය වෙනුවෙන් ‘මෑන් බුකර්’ ඇතුළු සම්මාන රැසක් හිමි කර ගෙන තිබේ. ඇයගේ 25 වැනි නවකතාව වන ‘ත්‍රී ඩේස් ඉන් ජූන්’ පසුගිය දා නිකුත් විය.



හෙල්මලී ගුණතිලක

විදෙසක ලිවිසැරිය
සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය  09.03.2025



March 08, 2025

කතන්දර - චිත්‍ර!

මගේ කෙටිකතා පොත් දෙක පළ වෙලා දැන් අවුරුදු කීපයක් වෙනවා. සහස් පියවර පොත ලියලා නම් අවුරුදු හයකුත් වුණා. ඒත් තාම මට පොත් කියවූ අයගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙන එක හරිම සතුටු කාරණයක්. මම හිතන්නේ ලියන කෙනෙකුට තමන්ගේ නිර්මාණයක් අනිත් අය රස වින්දා කියලා අහන්නට ලැබීම තමයි උපරිම සතුට. 

මට ළඟදී එහෙම පණිවිඩයක් ලැබුණා දක්ෂිණා වික්‍රමසිංහ නංගීගෙන්. මගේ කෙටිකතා රස වින්දා ට අමතරව ඈ තව පියවරක් ඉස්සරහට ගිහින්. ඒ සමහර කෙටිකතා කියවද්දී ඇගේ හිතේ මැවුණු රූප ඈ ඩිජිටල් චිත්‍ර බවට පත් කරලා. දක්ෂිණා මේවා මාත් එක්ක බෙදාගත්තාම මට පුදුම හිතුණා. ඒ කතාවල සාරය ඇගේ හිතට කා වැදුණු බව මේ නිර්මාණවලින් පැහැදිලියි. අනික මේවා මම ආසම විදිහේ සරල, සුන්දර චිත්‍ර!

ඉතින් දක්ෂිණා, මගේ කතන්දර වලට තව මානයක් එක් කළාට, ඒවා මාත් එක්ක බෙදා ගත්තාට බොහොම ස්තූතියි නංගි 🩷