May 09, 2025

Whereabouts- Jhumpa Lahiri


ජීවිතය හරහා ගමන් කරද්දී අප ගැටී, නොගැටී, බැඳී, නොබැඳී පසුකරන මං සලකුණු කෙතරම් ද? නැවතී කල්පනා කළොත් ඒ හැම නිමේෂයක්ම කතන්දරයක් බව ඔබට වැටහෙනු ඇත. ඒ කතන්දර අකුරු කර, එකට පෙළගස්වා පොතක් බවට හරවා ඇති අවස්ථාවක් සිතේ මවාගන්න. Jhumpa Lahiri ගේ Whereabouts පොත ගැන කළ හැකි සරල ම විස්තරය එයයි.

නමක් නැති කතානයිකාවක් විසින්, නමක් නැති නගරයක තනිව සරද්දී ඈ දකින දේ, මුණගැසෙන අය සහ ඒ ඇසුරෙන් සිහිවෙන හා වටහාගන්නා දේ මේ කුඩා නවකතාවට ප්‍රස්තුත වේ. ‘පොත් සාප්පුවේදී’, ‘මහමඟ දී’, ‘රූපලාවන්‍යාගාරයේදී’ යනුවෙන් කුඩා කොටස් වලට බෙදා ලේඛිකාව අපට මේ හැම මොහොතක සේයා රූ වැනි නිමේෂයන් ඉදිරිපත් කරන්නීය. 

‘The city doesn’t beckon or lend me a shoulder today. Maybe it knows I am about to leave’
-Upon Waking


‘We stop in the middle and look at the wall that flanks the river, and the shadows of pedestrians cast on its surface. They look like skittish ghosts advancing in a row, obedient souls passing from one realm to another. The bridge is flat and yet it’s as if the figures- vaporous shapes against the solid wall- are walking uphill, always climbing. They are like inmates who proceed, silently, towards a dreadful end.’
-On the Street

Jhumpa Lahiri බෙංගාලි සම්භවයක් ඇති දෙමව්පියන්ට දාව 1967දී ලන්ඩනයේදී උපන්නියකි. ඈ කුඩා කාලයේදීම ඔවුන් ඇමෙරිකාවේ පදිංචි වූ අතර ඈ හැදී වැඩුණේ එහි ය. පසු කාලීන ව ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳව ආචාර්ය උපාධියක් හැදෑරූ ඈ බොස්ටන් විශ්ව විද්‍යාලයේ නිර්මාණාත්මක ලේඛනය පිලිබඳ ව මහාචාර්ය ධූරයක් හෙබවූවා ය. 1999 දී පළ වූ Lahiri ගේ පළමු කෙටිකතා සංග්‍රහය වන Interpreter of Maladies කෘතියට පුලිට්සර් සම්මානයත්, හෙමිංවේ සම්මානයත් හිමිවිය. ඉනික්බිති ඈ ලියූ The Namesake, Unaccustomed Earth, The Lowland වැනි අනෙත් පොත්වලටත් විවිධ සම්මාන හිමි වූ අතර ඇතැම් නවකතා චිත්‍රපටි බවට ද හැරවිණි. ඉහත කී හැම කෘතියකින්ම Lahiri ඇමෙරිකාවේ වෙසෙන ඉන්දියානු සංක්‍රමණිකයන්ගේ ජීවිත සියුම් ව ගවේෂණය කිරීමත් විශේෂත්වයකි. 

පිටු 147ක කුඩා පොතක් වන Whereabouts නවකතාවේදී, පරිච්ඡේද 42ක් ඔස්සේ Lahiri අප ව විවිධ ගමනාන්ත වෙත රැගෙන යන්නීය. ඈ කියන්නේ කුඩා කතන්දර ද, ගද්‍ය කාව්‍ය ද කියා සිතෙන තරමට ඒවා අමුතු දුක්මුසු ලාලිත්‍යයකින් හෙබි ය. ඒ හැම පරිච්ඡේදයක් ම නවකතාවක නිර්මාණ සැලැස්මක කොටසක් නියෝජනය කරනු වෙනුවට සිතියමක අඳින ලද ගමන් සලකුණු ලෙස නිර්වචනය කළ හැක. 

Whereabouts නවකතාවේ අනෙත් සුවිශේෂත්වය නම් Lahiri එය ප්‍රථමයෙන් රචනා කළේ ඉතාලි බසින් වීමයි. තම සැමියා හා දරු දෙදෙනා සමඟ ඉතාලියේ පදිංචි වීමෙන් අනතුරුව ඉතාලි බසින් නිර්මාණකරණයේ යෙදෙන්නට පටන් ගත් ඈ එතෙක් හුරු පුරුදු ව තිබුණු බෙංගාලි සහ ඉංග්‍රීසි භාෂාවන්ට වඩා ඒ බසට පෙම් කරන්නට ගත් බව පවසන්නීය. එහි සුමට, සුනම්‍ය බව තමන්ට ලගන්නා සුළු නිර්මාණ බිහි කිරීමට හේතු වන බව ඈ විශ්වාස කළා ය. Dove mi trovo නමින් ඈ ලියූ පළමු ඉතාලි නවකතාව, පසු කාලීනව ඇය විසින්ම ඉංග්‍රීසි බසට හරවා Whereabouts නමින් ප්‍රකාශයට පත් වූයේ මෙලෙසයි. 

‘Solitude: it's become my trade. As it requires a certain discipline, it's a condition I try to perfect. And yet it plagues me, it weighs on me in spite of my knowing it so well.’
-In My Head

Lahiri ගේ කෘතිවල ඉංග්‍රීසි බස ඉතා පොහොසත් ය. එමෙන්ම සමස්ත නිර්මාණයේ සරල බවත්, පාඨකයා ගේ අවධානය ග්‍රහණය කරගනීමේ ගුණයත්, එහි විචිත්‍ර බව තවත් ඔපවත් කරයි.

‘Every blow in my life took place in spring. Each lasting sting. That’s why I’m afflicted by the green of the trees, the first peaches in the market, the light flowing skirts that the women in my neighborhood start to wear. These remind me only of loss, of betrayal, of disappointment. I dislike waking up and feeling inevitably pushed forward.’
-In Spring

තමන්ට හුරු බසින් නිර්මාණකරණයේ පර තෙරට ගිය පසු නුහුරු බසක් මුල සිට උගෙන එවැනිම හාස්කම් දක්වන Lahiri ගේ එඩිතර බව මම ප්‍රිය කරමි. වෙනත් රටක සම්භවයක් ඇති කෙනෙකු සමාජයක මුහුණදෙන කුඩා සමාජයීය, සංස්කෘතික අතරමං වීම් වල අහු මුළු ඈ විස්තර කරන සුන්දර බව මා සිත් ගනී. ඉතින් Jhumpa Lahiri මා ප්‍රිය කරන ලේඛිකාවක් වන්නේ එබැවිනි. Whereabouts නවකතාව මේ බැඳීම තවත් තර කළ බව මට දැනේ. 

Whereabouts (2021)- Jhumpa Lahiri
Bloomsbury Publishing

May 01, 2025

බැංකුව බංකොලොත්



සෙත් ගෝවින්ද් රාම් ට අයත් පිපාල්නගර් බැංකුවේ පඩිපෙළ අතුගාමින් උන් නාතු තමන්ටම මොනවාදෝ මුමුණමින් සිටියේය. ඔහු තම කුඩා කොස්ස ඉක්මණින් සහ නොසැලකිල්ලෙන් එහා මෙහා ගෙන යද්දී විසිරුණු දූවිල්ල, වළාකුලක් සේ ඉහළ නැඟී නැවතත් පඩි පෙළ මත පතිත විය. නාතු කුණු ඉවත් කරන තැටිය කුණු කූඩය මත වැරෙන් හඬවද්දී රෙදි අපුල්ලන්නාගේ පුත්‍රයා වන සීතාරාම් එතැනින් ගමන් කළේය. 

සීතාරාම් ගේ හිස මත අලුතින් අපුල්ලන ලද රෙදි සහිත පොට්ටනියක් විය. ඔහු යමින් සිටියේ ඒවා බෙදා හැරීමටයි.

“ඔච්චර දූවිලි අවුස්සන්න එපා බං!” ඔහු නාතු ට හඬගා කීවේය. “උඹ ඉල්ලුව විදිහට මෙයාලා පඩිය මාසෙකට රුපියල් දෙකකින් වැඩි නොකළ නිසා නිසා උඹ තාම කෙන්තියෙන්ද ඉන්නේ?”

“මම කැමති නැහැ ඒ ගැන කතා කරන්න,” අතුගාමින් සිටි ගැටවරයා කීවේය. “ඒක තියා මගේ මාසේ පඩිය වත් ලැබුණේ නැහැ. දැන් මාසේ විසිවෙනිදාත් වෙලා. කවුද හිතන්නේ බැංකුවක් මේ විදිහට දුප්පත් මිනිහෙක්ගේ පඩිය නොගෙවා තියාගෙන ඉඳීවී කියලා? මගේ පඩිය හම්බවුණ ගමන් මම නම් මෙතන තව සතියක් වත් වැඩකරන්නේ නැහැ, අස්වෙලා යනවා යන්න.”

නාතු මෙසේ කියමින් නැවතත් තම අත වූ තැටියෙන් වැරෙන් කුණු බාල්දියට තඩි බාන්නට වූයේ තමන් කී කරුණ ඔප්පු කිරීමටත් තම ආත්ම විශ්වාසය වැඩි කරගැනීමටත් මෙනි.

“උඹේ වැඩේ හරියන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා” සීතාරාම් කීවේය. “මාත් බලන්නම්කෝ උඹට ගැලපෙන රස්සාවක් තියේද කියලා.” ඇපිල්ලූ රෙදි පොට්ටනියෙන් හිසත් උරයත් අඩක් පමණ වැසී ගොස් තිබුණු ඒ තරුණයා, නිරුවත් දෙපයින් යන්නට ගියේය. 

සීතාරම් ගිය හතරවෙනි නිවසේදී එහි ගෙහිමි කාන්තාව ගෙවත්ත අතුගාන්නට කොලුවෙකු සොයන බව ඔහුට අසන්නට ලැබිණි. ඔහු තම පොට්ටනිය ගැටගසමින් මෙසේ කීවේය. 

“මම දන්න කොල්ලෙක් ඉන්නවා අතුගාන වැඩේ කරන, ඌ මේ දවස්වල රස්සාවක් හොයනවා. ලබන මාසේ ඉඳන් වැඩ පටන්ගන්න පුළුවන්. දැනට ඒකා වැඩකරන්නේ බැංකුවේ, ඒත් එහෙ හරියට පඩි ගෙවන්නේ නැහැලු, ඒ නිසායි අයින් වෙන්න හදන්නේ.”

“හැබෑට?” ශ්‍රීවස්තා මැතිණිය කීවාය. “හෙට ඇවිත් මාව හම්බවෙන්න කියපන්කො.”

තම සේවාදායකයාට මෙන්ම මිතුරාට සේවයක් කිරීමට ඉඩ ලැබීම ගැන සතුටින් සීතාරාම් යන්නට ගියේය. 

ශ්‍රීවස්තා මහත්මියට වෙළඳපලට යාමට අවශ්‍යතාවයක් තිබිණි. බිළිඳා බලාගැනීම ගැන ආයාට උපදෙස් දුන් ඈ දිවා ආහාරය ඉක්මණින් සූදානම් කරන්නැයි කෝකියාට අණ කළා ය. ඉනික්බිති ඈ පිපාල්නගර් වෙළඳපොල වෙත ගියේ සුපුරුදු ලෙස එහි රෙදි කඩ වල සැරිසැරීමට ය. 

කඩ වීදියේ එක කෙළවරක වූ විශාල සියඹලා ගස නිසා ඒ පෙදෙසම සෙවන වී තිබිණි. ශ්‍රීවස්තා මහත්මියට තම මිතුරිය වූ භූෂන් මහත්මිය ව මුණගැසුණේ ඈ මේ සෙවනේ ගිමන් හරිමින් සිටිද්දීය.භූෂන් මහත්මිය විශාල ලේන්සුවකින් පවන් ගසමින් සිටියාය. මේ ගෙවෙන්නේ පිපාල්නගර් ඉතිහාසයේ රස්නයෙන් වැඩිම ගිම්හාන කාලය බව ඈ සපථ කළාය. ඉනික්බිති ඈ ශ්‍රීවස්තා මහත්මියට තමන් මිළදීගැනීමට බලාපොරොත්තුවන රෙදි වර්ගයේ සාම්පලයක් පෙන්වූවා ය. විනාඩි පහක් තිස්සේ ඒ දෙදෙනා ඒ රෙද්දේ පාට, මෝස්තරය සහ වියමන ගැන කතා කළහ. ඒ මාතෘකාව අවසන් වූ පසු ශ්‍රීවස්තා මහත්මිය මෙසේ කීවාය. 

“දන්නවද මෙයා, සෙත් ගෝවින්ද් රාම්ගේ බැංකුවට තමන්ගේ සේවකයන්ට පඩි ගෙවාගන්නවත් බැහැලු. බැංකුව අතුගාන කොල්ලාට මාසෙකින් පඩි ගෙවලා නැහැ කියලා අද උදේ මට අහන්න ලැබුණා!”

“දෙයියනේ!” භූෂන් මහත්මිය පුදුම වූවාය. “අතුගාන කොල්ලාට ගෙවාගන්න බැරි නම් ලොකු ප්‍රශ්නයක් ඇති. එකත් එකටම අනෙත් සේවකයන්ට ගෙවන්නෙත් නැතිව ඇති.”

ඈ සියඹලා ගස සෙවනේ ශ්‍රීවස්තා මහත්මියව තනි කර තම සැමියා සොයා ගියා ය. ඔහු සිටියේ කමල් කිෂෝර් ගේ ඡායාරූප සාප්පුව ඉදිරියේ අසුන්ගෙන එහි හිමිකරු සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමිනි. 

“කොහෙද අනේ ගියේ?” භූෂන් මහත්මිය නෝක්කාඩු කීවාය. “මම පැයක විතර තිස්සේ ඔයාව හොයනවා!”

“කොහේ යන්නද?” භූෂන් මහතා කීවේය. “ඔයා එක කඩේක හිටියා නම් මට ඔයාව හොයාගන්න තිබුණා. ඒත් කොහෙද ඔයා මලෙන් මලට යන මී මැස්සියෙක් වගේ කඩෙන් කඩේට යනවානේ.”

“කියවන්න එපා අනේ, මේ රස්නේ නිසා තියෙන කරදර හොඳටම ඇති. පිපාල්නගර් වලට මොනවා වේගෙන එනවාද මන්දා, අන්න බැංකුවත් බංකොලොත් වෙන්න යනවාලු.”

මෙය ඇසු කමල් කිශෝර් වහා වහා මේ කතාව වෙත අවධානය යොමු කළේ ය. “ඒ මොන බැංකුවද?” 

“පිපාල්නගර් බැංකුව ඇර වෙන මොකක්ද? දැන් ඒකෙ සේවකයන්ටත් පඩි ගෙවන්නේ නැහැ කියලා ආරංචියි. මොකද? මට කියන්න එපා කිශෝර් මහත්තයාටත් ඒකෙ ගිණුමක් තියෙනවා කියලා!”

“මට නම් නෑ, ඒත් මගේ අසල්වැසියාට ගිණුමක් තියෙනවා!” ඉනික්බිති ඔහු අසල ඇති ලැටිස් වැටෙන් ඔබ්බෙහි සිටි කරණවෑමියා ඇමතුවේය. 

“දීප්චන්ද් ආරංචිද? අන්න පිපාල්නගර් බැංකුව බංකොලොත් වෙන්න ලු යන්නේ. පුළුවන් තරම් ඉක්මණින් තමුසෙගෙ සල්ලි ටික ගන්නවා!”

මෙය අසා කලබල වූ දීප්චන්ද් ගේ අත ලෙස්සා ගිය අතර ඒ මොහොතේ ඔහු හිසකෙස් කපමින් උන් වයස්ගත මහත්මයාගේ කණ මඳක් තුවාල විය. වේදනාවෙන් සහ ඒ මොහොතේ ඇසුණු පුවතෙහි කම්පනයෙන් කෑ ගැසූ ඒ මහතා අඩක් බාන ලද රැවුලින් යුතුව පාර පැන සිල්ලර භාණ්ඩ වෙළඳසැල වෙත දිව ගියේ එහි දුරකතනයක් වූ බැවිණි. ඉනික්බිති ඔහු වහා වහා සෙත් ගෝවින්ද් රාම් ගේ අංකය ඇමතුවේය. නමුත් ඒ මොහොතේ සෙත් නිවසේ නොසිටි අතර ඔහු කාශ්මීරයේ නිවාඩුවක් ගත කරමින් සිටි බව කියැවිණි. වයස්ගත මහත්මයා මේ කතාව විශ්වාස කළේ නැත. ඔහු ඉක්මන් ගමනින් බාබර් සාප්පුව වෙත නැවත ගොස් දීප්චන්ද් ට මෙසේ කීවේය. 

“අන්න කුරුල්ලා පියාඹලා! සෙත් ගෝවින්ද් රාම් ගම රට දාලා ගිහින්. ඒ කියන්නේ අනිවාර්යයෙන් බැංකුව කඩා වැටෙනවා.” මෙසේ කී ඔහු ඉක්මණින් තම කාර්යාලය වෙත ගියේ තම චෙක්පොත ගැනීමටයි. 

මේ පුවත කඩ වීදිය ඔස්සේ පැතිරුණේ ලැව් ගින්නක වේගයෙනි. සිල්ලර බඩු කඩයේ ගැනුම්කරුවන් වෙත ඉගිලී ගිය එය ඉන්පසු බුලත් වෙළෙන්දා, ඇඳුම් මසන්නා, රන් බඩු තනන්නා සහ පදික වේදිකාවේ උන් හිඟන්නා දක්වා ද පැතිරිණි. 

 ගණපත් නම් මහලු හිඟන්නා කොර වූ පාදයක් සහිත වූවෙකි. වසර ගණනාවක් තිස්සේ පදික වේදිකාවේ හිගමන් යැදි ඔහුව හැම දිනකම සවස් යාමයේදී එතැනින් ඉවතට ගෙන යනු ලැබුවේ යමෙකු විසින් වීල්බැරක්කයක් තබා තල්ලු කිරීමෙනි. ඔහු කිසි දිනක ඇවිදිනු කිසිවෙකු දැක තිබුණේ නැත. නමුත් බැංකුව බංකොලොත් වන බවට ලද ආරංචිය නිසා එක්වරම ගණපත් හුන් තැනින් නැගිට බැංකුව වෙත දිව යනු දැක හැම දෙනෙක්ම පුදුමයෙන් පුදුමයට පත් වූහ. ඔහුගේ ඉතිරුම් ගිණුමේ රුපියල් දහසක්ම තිබුණු බව පසුව ආරංචි විය. 

මේ ඇතිවූ අර්බුදය ගැන වීදි කෙළවරවල එකතු වූ මිනිසුන් කණ්ඩායම් සාකච්ඡා කරන්නට විය. පිපාල්නගර් ප්‍රදේශයේ සාමාන්‍යයෙන් කිසි ව්‍යසනයක් සිදු වූයේ නැත. ඊට ගංවතුරක්, භූ චලනයක් හෝ නියඟයක් එළඹුණේ කලාතුරකිනි. මේ නිසා ළඟදීම සිදුවීමට නියමිත පිපාල්නගර් බැංකුවේ කඩාවැටීම ගැන හැම කෙනෙක්ම මහත් සේ කලබල වූහ. ඇතැම්හු කල් ඇතිව දුරදක්නා නුවණින් තම මුදල් ඉන් ඉවත් කර ගැනීම ගැන හෝ එහි මුදල් තැන්පත් නොකිරීම ගැන උදම් ඇනූහ. තවත් අය මේ කඩාවැටීමට හේතු විය හැකි හේතු කාරණා ගැන තර්ක කළහ. ඔවුන්ගේ අදහස වූයේ සෙත් ගෝවින්ද් රාම්ගේ අනවශ්‍ය වියදම් මීට හේතු වූ බවයි. එක් අයෙකු කීවේ ඔහු නිසැකවම ප්‍රාන්තය හැර ගොස් ඇති බව වූ අතර තවත් අයෙක් ඔහු රට ද හැර ගොස් ඇති බව විශ්වාස කළේය. ඔහු පිපාල්නගර්හි ම කොහේ හෝ සැඟවී වටින බව තෙවැන්නෙක් තර්ක කළේය. සිව්වැන්නා කීවේ ඔහු සියඹලා ගසේ අත්තක ගෙල වැල ලා ගෙන සිටිද්දී එදින උදෑසන අතුගාන කොලුවා විසින් ඔහුව සොයා ගත් බවයි.

එදින මධ්‍යහ්නය වෙද්දී ඒ කුඩා බැංකුව සතුව තිබුණු මුදල් සංචිත සියල්ල අවසන් වී තිබිණි. ගනුදෙනුකරුවන්ගේ හිරිහැරයට ලක්වූ බැංකු කළමනාකරු මහත් අර්බුදයකට මුහුණ දුන්නේය. හදිසි මුදල් ප්‍රතිපාදන ලබාගැනීමට නම් කිලෝමීටර් තිහකට එපිටින් වූ වෙනත් බැංකුවකින් ඉල්ලීමක් කළ යුතුය. නමුත් මේ රැස්ව සිටි පිරිසට එතෙක් ඉවසා සිටින්නට පෙරැත්ත කළ හැකිදැයි ඔහුට විශ්වාසයක් තිබුණේ නැත. යාත්‍රාවක නැඟී කාශ්මීරයේ සංචාරයක යෙදෙමින් සිටි සෙත් ගෝවින්ද් රාම් සමඟ මේ ගැන සන්නිවේදනය කිරීමට ක්‍රමයක් තිබුණේ ද නැත. 

බැංකුවේ මුදල් ආපිට ගැනීමට පොදි කමින් සිටි මිනිසුන්ට, ඒ සඳහා පසු දින නැවත ඒමට දැනුම් දෙන ලදී. මේ ගැන මනාප නොවූ ඔව්හු එහි පඩිපෙළ මත රැස් කමින් කෑ ගසන්නට වූහ. “අපේ සල්ලි දීපල්ලා, නැත්නම් අපි බැංකුව කඩනවා” “සේප්පුවේ හැංගිලා ඉන්න සෙත් ව එළියට දාපල්ලා!” මෙවැනි වැකි දසත රැව් දෙන්නට විය. බැංකුවේ තැන්පතු ලෙස පයිසයක් වත් නොතිබුණු රස්තියාදුකරුවෝ මේ සෙනඟට එකතු වී ඔවුන්ව තවත් අවුළුවන්නට වූහ. බැංකුවේ දොරකඩ සිටගෙන සිටි කළමණාකරු රැස්ව සිටි පිරිස සන්සුන් කරන්නට උත්සාහ කළේය. බැංකුව සතුව විශාල ධනයක් ඇති බවත්, මේ මොහොතේදී නැතත් ඉක්මණින් ම එය ගනුදෙනුකරුවන්ට ලබාගත හැකි බවත්, ඒ සඳහා පසු දින නැවත පැමිණෙන ලෙසත් ඔහු පැහැදිලි කළේ ය. 

“අපිට සල්ලි ඕන දැන්!” සෙනඟ අතරින් හඬක් මතු විය. “දැන්, දැන්, දැන්!” 

ඈත සිට එල්ල වූ ගඩොලකින් පිපාල්නගර් බැංකුවේ වීදුරු කවුළුවක් සුණු විසුණු විය. 

පසු දින උදෑසන බැංකුවේ පඩිපෙළ අතුගෑමට නාතු ආ විට වීදුරු කැබලි, ගල් මුල් සහ වෙනත් කසලින් එය හැඩි වී තිබිණි. කෝපයෙන් සහ පිළිකුලින් දෑත එසවූ ඔහු මෙසේ කෑ ගසන්නට විය. 

“දාමරිකයෝ, බූරු පැටව්! මට බැංකුවෙන් පඩි පරක්කු මදිවට දැන් වැඩත් වැඩි වෙලා!”

ඔහු කුණු විසුරුවමින් වේගයෙන් අතුගාන්නට විය. 

“සුබ උදෑසනක් නාතු” රෙදි අපුල්ලන්නාගේ පුතා තම බයිසිකලයෙන් බසිමින් කීවේය. “ලබන මාසේ ඉඳන් අලුත් රස්සාවකට යන්න උඹ ලෑස්ති ද? කොහොමත් දැන් බැංකුව බංකොලොත් නිසා උඹට අලුත් රස්සාවක් හොයාගන්නම වෙනවානේ.”

“ඒ කොහොමද?” නාතු ඇසුවේය. 

“ඇයි උඹට ආරංචි වුණේ නැද්ද? තව ටික වෙලාවකින් පිපාල්නගර් වලින් බාගයක්ම මෙතනට එයි එයාලගේ සල්ලි ගන්න, එතකොට උඹට බලාගන්න පුළුවන්.” තමන්ගේ නමින් බැංකු ගිණුමක් නොවූ බැවින් මෙසේ කියා සතුටින් ආචාර කළ තරුණයා, තම බයිසිකලයේ නැඟී යන්නට ගියේය. 

නාතු තමන්ටම මුමුණා ගනිමින් නැවතත් තම කාර්යයේ යෙදිණි. වැඩ අවසන් වූ පසු ඔහු ඉහළම පඩියේ වාඩි වී කළමණාකරු පැමිණෙන තුරු බලා සිටින්නට විය. ඔහුගේ අරමුණ වූයේ කෙසේ හෝ තම පඩිය ලබා ගැනීමයි. 

“බැංකුවක් මෙහෙම කඩා වැටෙයි කියලා කවුද හිතුවේ!” ඈත බලමින් කල්පනාවේ නිමග්නව ඔහු තමන්ටම කියා ගත්තේය. “කොහොමද දන්නේ නැහැ මේක වුණේ..”


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of the story ‘The Boy who Broke the Bank’ by Ruskin Bond


Picture generated by Canva AI

සිසිල සඟරාව - මැයි 2025 කලාපය 

(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)



April 21, 2025

පරිසරයේ සෙනෙහෙවත් බව කවියේ සෞන්දර්යයට නඟන මේරි ඔලිවර්



කවියක් යනු සියුම් ලෙස මිනිස් සන්තානය ස්පර්ශ කළ හැකි බලගතු මායා යෂ්ටියක් බැව් කව් රස විඳින්නෝ දනිති. මේවා අතුරින් පරිසරයෙන් උකහා ගත් සෞන්දර්යයද, නැණවත්කම්ද එකට කැටි කර ගෙන සරල භාෂාවෙන් ලියවුණු කවි අප ඇස ගැටෙන්නේ කලාතුරකිනි. මේරි ඔලිවර්ගේ ‘ඩිවෝශන්ස්’ කවි එකතුව මට නම් මෙවැනි රස පිරි ආකරයක් හා සමානය.

වර්ෂ 1935දී අමෙරිකාවේ ක්ලේව්ලන්ඩ් ප්‍රදේශයේ උපන් මේරි ඔලිවර් කාව්‍යකරණයට පිවිස ඇත්තේ දාහතර වැනි වියේදීය. කටුක ළමාවියක් ගෙවා ඇති ඈ කවි ලිවීමට පෙලඹී ඇත්තේ සිය තනිකම දුරු කර ගැනීම සඳහාය. යොවුන් වයසේදී මෙන්ම පසුකාලීනවද මේරි ඔලිවර් තම කවි සඳහා නිමිති සපයා ගෙන ඇත්තේ අවට පරිසරයෙනි. තම නිවෙස අසල ඇවිදින්න යද්දී ඇස ගැටුණු ගහකොළ, පක්ෂීන්, පොකුණු සහ ඒවායේ නිවසන ජලජ සතුන්, තෘණ මල් ආදිය ඇයගේ හැම කවියකම පාහේ හිස ඔසවනු දක්නට හැකිය.

නිවෙසින් නික්ම
විවිධ දෑ බලන්න යමි

දකිමි,
දිලිසෙන හරිත සමක් ඇති ගෙම්බිය
ලිහිසි වේල් පටක් වැනි ඇයගේ බිත්තර
රන් පැහැති දාර ඇති දෑස

ඉහළට මතු වූ නෙලුම් මල් සහිත විල
තැන තැන රෝස පැහැ මල් ඉහිරුණු
එහි උණුසුම් ඉවුරු
සහ දීර්ඝ, නිශ්චල හවස් වරුව

බිමට වට සුදු වලාකුළක් වැනි
සුදු කෙකින්න
සෙමෙන් එක් අඩියක් තබා
මඳක් නැවතී
අනෙක තබන්නීය

බලා සිටිමි
නිසල දිය මත
ඈ
තමන්ගේම මෘදු පා සටහන් කවිය
ලියන අයුරු
(‘සමර් පොයම්’)

‘ඩිවෝශන්ස්’ කවි එකතුව දශක පහක් තිස්සේ මේරි ඔලිවර් ලියූ පැදි අතුරින් ඈ විසින්ම තෝරා ගත් කවිවලින් සමන්විතය. මෙහි කවි දෙසියයකට වැඩි ප්‍රමාණයක් අඩංගු වන අතර, ඊට ඈ 1963දී ලියූ කවි මෙන්ම 2015දී කළ නිර්මාණද ඇතුළත්ය. එකම කිවිඳියක මේ තරම් කාල පරාසයකදී කළ නිර්මාණ එකතුවක් රස විඳිද්දී පාඨකයා ඇයගේ ජීවන දෘෂ්ටියේ භක්තිවන්තයකු බවට පත් වීම නිරායාසයෙන්ම සිදු වන්නකි. මේරි ඔලිවර් සියලු මනුෂ්‍ය හැඟීම් පරිසරයේ කෝණයෙන් දකින්නියකි. ඇයට අනුව නම් මිනිසුන් සහ සතුන් වෙන් කර අඳින ඉර අහසත් පොළොවත් වෙන් කරන කඩයිම මෙන් අස්පෘශ්‍ය රේඛාවකි.

ඒ රතු කුරුල්ලා
වෙන කිසිවකුටවත් නොහැකි වූ ලෙස
තම පැහැයෙන් හාත්පස ගිනි ලමින්
මුළු සීත කාලය පුරා පැමිණීම ගැන
මම කෘතඥ වෙමි
(‘රෙඩ් බර්ඩ්’ කවියේ කොටසක්)

මම නිරතුරුවම වද වීමි
ගෙවත්ත සරුව වැඩේවිද?
ගංගා නිවැරදි දිශාවට ගලාවිද?
පෘථිවිය ඊට උගන්වා ඇති ක්‍රමයට භ්‍රමණය වේද?
එසේ නොවුණොත් මා එය නිවැරදි කරන්නේ කෙසේද?

අන්තිමේදී මේ වද වීම් කිසිවකින්
කිසිම පලක් නැති බව වැටහුණු නිසා
මම එය අත්හළෙමි
ඉනික්බිති මේ මහලු සිරුර ගෙන
උදෑසන වෙත ගොස්
ගී ගැයුවෙමි
(‘අයි වොරීඩ්’ කවියේ කොටසක්)

ඩිවෝශන්ස් කෘතියේ කවි අතර තනිකම, ප්‍රතික්ෂේප වීම සහ මරණය යන තේමා ඔස්සේ කවි ද තිබුණත් එහි පොදු තේමාව ලෙස ඈ ජීවිතය කෙරෙහි දක්වන විස්මයත්, කෘතඥ බවත් පැහැදිලිය. ඉතා සරල දේ තුළින් දෙවියන් දකින ඈ ඒ දෘෂ්ටිය පාඨකයා තුළද ඇති කරන්නට වැර දරයි.

දෙවියන්ගෙන් අනන්‍යතා සහතික සොයමින්
මිනිසුන් වෙහෙසෙන්නේ ඇයි?
අඳුර බිඳී අරුණලු නැඟීමම ඊට ප්‍රමාණවත් නොවේද?
(‘අයි වේක් ක්ලෝස් ටු මෝනින්’ කවියේ කොටසක්)

අවට පරිසරයේ සෙනෙහෙවත් බවත්, කවියේ සෞන්දර්යයත් බොහෝ අවස්ථාවලදී තමාගේ දිවි බේරා දුන් බව ඈ තම නිර්මාණ ගැන කළ සාකච්ඡාවකදී පවසා තිබේ. ජීවිතයේ නේකවිධ කඩාවැටීම් හමුවේ නොවැටී ඉන්නට ඈ පන්නරය ලබා ඇත්තේ මේ අරමුණු දෙකෙනි.

ශෝකය රහසින් නුඹේ පසුපස එන විට
තණ පිටිය වෙත යෑම ගැන
කල්පනා කර බලන්න
මින් පෙර කිසි දිනක නොදුටු දෙයක් දකින්න

ඔබේ මහපටැඟිල්ලක් තරම් වූ
හිම පළඟැටියකුගේ
ටැම්බරීන් නාදයක් වැනි හඬ අසන්න

ගිම්හාන වැස්සේ සරන
හමිංබර්ඩ් කුරුල්ලකු
තම තටුවලින් දිය බිඳු විසුරුවන යුරු බලන්න
(‘ද ලීෆ් ඇන්ඩ් ද ක්ලවුඩ්’ කවියේ කොටසක්)

1984දී ‘පුලිට්සර්’ සම්මානයත්, 1992දී ‘නැෂනල් බුක් අවෝඩ්’ සම්මානයත් ඇතුළු ඇගයීම් රාශියක් දිනා ඇති මේරි ඔලිවර්, අමෙරිකාවේ වැඩිම කවි පොත් අලෙවියක් ඇති කිවිඳිය ලෙස නම් දරා සිටින්නීය. එරට අද්‍යතන සාහිත්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන ලකුණක් ඉතිරි කළ කිවිඳිය 2019 වසරේදී ජීවිතයෙන් සමු ගත්තද, පරිසරය හා ඇය සතුව පැවති ගැඹුරු බැඳීමත්, පරම්පරා කිහිපයක පුළුල් රසික පිරිසකගේ හද බැඳ ගත් සරල කාව්‍ය රටාවත් තවත් බොහෝ කාලයක් පාඨක සිත් තුළ නොනැසී පවතිනු ඇත.

-හෙල්මලී ගුණතිලක
විදෙසක ලිවිසැරිය
සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය
20.04.2025


පසු සටහන

දිනමිණ පුවත්පතේ කවි පිටුවේ 'විදෙස් කවිය' කියන විශේෂාංගයට මම අඛණ්ඩ ව පරිවර්තිත කවියක් යවපු යුගයක් තිබුණා. හැම සතියටම එක බැගින් අවුරුදු හතක විතර කාලයක් මම මෙහෙම කවි යැව්වේ ඒ පිටුවේ කතෘ, මගේ මිතුරියක් වන කාංචනා අමිලානිගේ ඉල්ලීමට. ඇත්තටම නම් සතිය ගානේ සිංහලට ගැලපෙන, පුවත්පතේ වචන සීමාවන්ට ගැලපෙන ඉංග්‍රීසි කවියක් හොයන එක ටිකක් අමාරු වැඩක්. ඒත් මම ඒ මුළු කාලයම ඒ කටයුත්ත බොහොම සතුටින් කළා. ගණන් කර කියන්න බැරි තරමට විදෙස් කවි කියවමින්, ඉන් සමහරක් පරිවර්තනය කරමින් මම ගිය ඒ නිර්මාණ චාරිකාව මගේ ජීවිතයත් පොහොසත් කළා වගේම වර්ණවත් කළා කියලා කියන්න පුළුවන්. මේ ගමනේදී මට නිතරම මුණගැහුණු කෙනෙක් Mary Oliver. ඇගේ කවි මම සෑහෙන්න ප්‍රමාණයක් පරිවර්තනය කරලා ඇති. ඒ වගේම අවට ලෝකයේ සුන්දරත්වයෙන්, සාමයෙන් ටිකක් මගේ ලෝකයටත් එකතු කරගන්න ඒවා හේතු වෙන්න ඇති.


අන්තර්ජාලයෙන් Mary Oliver. ගේ කවි කියෙව්වත් මුලදී ඇගේ පොතක් මගේ සතුව තිබුණේ නැහැ, අනෙක ඈ ලියා ඇති කවි පොත් වලින් වැඩි ප්‍රමාණයක් දැන් මුද්‍රණයේත් නැහැ. ඔය අතරේ දවසක මට මෙල්බර්න් පොත් සාප්පුවකින් gift card එකක් ලැබුණා. පුස්තකාලයක රැකියාව කරන මම ඊට අමතරව පොත් ලක්ෂ ගණනක් තියෙන මෙල්බර්න් නගරයේ පුස්තකාල ජාලයක සාමාජිකාවක්. ඒ නිසා මට මෙරට දී පොතක් මිළදී ගන්න ඕන වෙන්නේ හරිම කළාතුරකින්. (ලංකාවෙන් නම් සිංහල පොත් තොග පිටින් අරගෙන එන එක වෙනමම කතාවක්) අනෙක, පොතකට ආදරේ වුණත් ඒ පොත මගේ ළඟ තිබිය යුතුයි කියලා මගේ අදහසක් නැහැ. ඒ නිසා මේ gift card එකෙන් මිළදී ගන්න ඕන පොත ගැන මම සෑහෙන්න කල්පනා කළා. අන්තිමේදී මගේ මතකෙට ආවේ Mary Oliver. ඇගේ කවි නම් ළඟ තියාගෙන ආයෙත් ආයෙත් කියවන්න පුළුවන් බව මට මතක් වුණා. ඇගේ පොත් ගැන හොයද්දි මට Devotions පොත ගැන දැනගන්න ලැබුණා. ඒ දශක ගාණක් තිස්සේ ඈ ලියූ කවි අතරින් ඈ ම තේරූ කවි දෙසීයක එකතුවක්! ඉතින් මටම තෑග්ගක් හැටියට මීට වැඩිය ගැලපෙන වෙන මොනවාද? මම Devotions පොතේ අයිතිකාරිය වුණේ එහෙමයි.

Devotions පොත නිතරම අත පාතින් තියාගෙන, අහඹුව දිග ඇරලා, ඒ පිටුවේ තියෙන කවිය කියවන්න මම කැමතියි. ඒ හැම වතාවකම ජීවිතය ගැන, ලෝකය ගැන හිතේ මතක හිටින සලකුණක් ඉතිරි කරන්න Mary Oliver කිවිඳිය සමත් .

April 02, 2025

හොඳින් නිම කළ රාජකාරිය


ධුකී නම් උයන්පල්ලා, අත්හැර දමන ලද ළිඳ වටා වැවී තිබුණු වල් පැලෑටි සුද්ධ කරමින් සිටියේය. කෙසඟ සිරුරක් සහ බකල ගැසුණු දෙපා සහිත වූ ඔහු බෙහෙවින් වයස්ගත අයෙකු විය. බැලූ බැල්මට දුර්වල බවක් පෙනුණත් ඔහුගේ සවිය තිබුණේ දෑතේ ත් දිගටි ඇඟිලි වලත් ය. ඔහු පෙටුනියා පැළයක් තරම් දුර්වල සේ පෙනුණත් ගසක එතුණු සවිමත් ලතාවක් තරම් ශක්ති සම්පන්න විය. 

“උඹ ළිඳ වහන්නද හදන්නේ?” මම ඇසුවෙමි. අට හැවිරිදි වූ මා ධුකී කැමතිම තැනැත්තා විය. මා උපදින්නත් පෙර සිට අප ගෙවත්ත රැක බලාගෙන තිබුණු ඔහු, මගේ පියා අන්ත්‍රා වන්නට පෙර ඔහුට සේවය කළ අතර දැන් මගේ මවත් සුළු පියා ත් වෙනුවෙන් සේවය කළේ ය. 

“වහලා දාන්න වෙයි මගේ හිතේ,” ධුකී පැවසුවේය. “මේජර් මහත්තයා ඒකනේ කරන්න කිව්වේ. අද හෙටම මහත්තයා ගෙදර එද්දී ළිඳ වහලා නැති බව දැක්කොත් වෙනදා වගේම හොඳටම කේන්ති අරන් මාව රස්සාවෙනුත් එළවයි!” 

ඔහු සඳහන් කළ ‘මේජර් මහත්තයා’ මගේ සුළු පියා වන මේජර් සමර්ස්කිල් විය. උත්තුංග දේහ ධාරී පුද්ගලයෙකු වූ ඔහු පෝලෝ ක්‍රීඩාවටත් වල් ඌරු දඩයමටත් ප්‍රිය කළේ ය. එමෙන්ම ඔහු මගේ පියාට වඩා හාත්පසින් වෙනස් පුද්ගලයෙකු විය. මගේ පියා නිරතුරුව මා පොත පත වෙත නැඹුරු කළ මුත් මේජර් ට අනුව නම් වුවමනාවට වඩා පොත් කියවීමෙන් මා අලස සිහින දකින්නකු බවට පත්වීමට ඉඩ තිබිණි. මේ නිසා ඔහු මගේ පොත් පත් මවෙතින් ඉවත් කළේ ය. මා මේජර් වරයාට වෛර කළ අතර මගේ අම්මා ඔහු හා විවාහ වීම ගැන මගේ පැහැදීමක් තිබුණේ නැත. 

“කොල්ලා නෝන්ජල් වැඩියි” ඔහු මගේ මවට කියනු මට ඇසී තිබිණි. “ඌ ට අශ්වයෝ පදින්න උගන්නන්න කවුරු හරි කතාකරගන්න ඕන” 

නමුත් අශ්වයන් පැදීමේ පන්තිය ආරම්භ වීමට පෙර මේජර් ගේ රෙජිමේන්තුව පේශ්වාර් වෙත අනුයුක්ත කරන ලදී. ඒ පෙදෙසේ යම් ගෝත්‍රිකයන් පිරිසකගේ කලහකාරී හැසිරීමක් අපේක්ෂාවෙන් මෙය සිදු වී තිබිණි. මේ රාජකාරිය වෙනුවෙන් මාස දෙකක් පමණ නිවසින් පිටව සිටි ඔහු, ඒ ගමන පිටත් වීමට මත්තෙන් වත්තේ වූ පැරණි ළිඳ වසා දැමීමට ධුකී ට අණ කළේය.  

“වත්තක් මැද්දේ මේ වගේ ළිඳක් ඇරලා දාලා තියෙන එක බොහොම භයානකයි. මම එද්දී මේක සම්පූර්ණයෙන් ම වහලා දාලා තියෙන්න ඕන.”

නිවස තනන්නත් පෙර සිට, වසර පනහක් තිස්සේ ගෙවත්තේ තිබුණු මේ ළිඳ වසා දැමීමට ධුකී ගේ කැමැත්තක් තිබුණේ නැත. එහි බිත්ති වල පරෙවි රංචුවක් විසූ අතර උන්ගේ මුදු හඬ නිසා ගෙවත්තේ නිතරම සොඳුරු ගුම් නදක් පැතිරිණි. රස්නය අධික ගිම්හාන මාසවලදී නිවසේ ජල කරාම සිඳී ගිය විට ජලය ලබා ගැනුණේ මේ ළිඳෙනි. ගෙවත්ත පිරිසිදු කරන මෙහෙකරුවා දුහුවිල්ල දුරු කිරීමට මේ ළිඳෙන් තම එළු හම් පැසට වතුර පුරවාගෙන ගෙවත්ත පුරා ඉස්සේ ය. 

ළිඳ නොවසා තැබීමට අවසර දෙන මෙන් ධුකී අම්මාගෙන් බැගෑපත් ව ඉල්ලා තිබිණි. 

“මේක වහලා දැම්මොත් පරෙවියන්ට මොකද වෙන්නේ?’ ඔහු ඇසුවේය.

“උන්ට නම් වෙන ළිඳක් හොයාගන්න බැරියැ” අම්මා කීවාය. “අනේ ධුකී ඔන්න ඕක වහලා දාන්න. මහත්තයා ආයෙත් ආවාම ඕක වහලා නැහැ කියලා දකිනවට මම කැමති නැහැ.”

මගේ මව ත් මේජර්වරයාට තරමක බියෙන් පසු වූ බව මට පෙනුණි. අප ආදරය කරන අයට බියවන්නේ කෙසේදැයි එදා මෙන්ම අදත් මට තේරුම් ගැනීමට අපහසු දෙයකි. 

මේජර් නිවසේ නොසිටි නිසා ඒ දිනවල මගේ ජීවිතය සුන්දර ලෙස ගෙවුණි. මා නැවතත් පොත් කියවීම ඇරඹූ අතර මගේ ප්‍රියතම නුග ගසේ අතු පතරේ ගැවසීමත්, අඹ බාල්දි පිටින් කා දැමීමත්, ධුකී එක්ක කතාබස් කරමින් ගෙවත්තේ සැරිසැරීමත් මගේ දින චරියාවේ කොටස් විය. 

මා මෙන්ම ධුකී ද මේජර්වරයාගේ ආගමනය ගැන කැමැත්තක් දැක්වූයේ නැත. තාත්තාගේ සේවකයෙකු වූ ඔහු, අම්මගේ දෙවෙනි කසාදයෙන් අනතුරුව තව දුරටත් අප නිවසේ රැඳී සිටියේ අම්මාට දැක්වූ භක්තියත් මා වෙත දැක්වූ සෙනෙහසත් නිසා පමණි. නමුත් මගේ අම්මාගෙන් නිරතුරුව දිස් වූයේ කෙනෙකු රැවටීමට තරම් සමත් දුර්වල බවක් සහ අසරණ ගතියකි. මේ නිසා සමර්ස්කිල් මේජර්වරයා ඇතුළු වැඩිමනත් පිරිමි ඈ ව ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූහ. තමන්ට මෙලෙස උදවු උපකාර ලැබීම ඇය ද ප්‍රිය කළා ය. 

“බේබිගේ තාත්තා ඉස්සර මේ ළිඳට හරි කැමතියි.” ධුකී කීවේය. “හවස්වරු වලට මහත්තයා මෙතැන ඉඳගෙන පොතක මල්, කුරුල්ලෝ, කෘමි සත්තු එහෙම අඳිනවා”

ධුකී සඳහන් කළ ඒ චිත්‍ර මගේ මතකයේ තිබිණි. එමෙන්ම මේජර්වරයා අප නිවසේ පදිංචියට ආ පසු ඔහු විසින් ඒවා විසි කර දමන ලද බවත් මගේ මතකයේ විය. මා කිසි දෙයක් ධුකීගෙන් නොසැඟවූ බැවින් ඔහු ද ඒ බව දැන සිටියේය. 

“මට නම් හරිම දුකයි මේ ළිඳ වහලා දාන්න. මේකට වැටුනොත් වැටෙන්නේ මෝඩයෙක් හරි බේබද්දෙක් හරි විතරයි” ඔහු කීවේය. 

නමුත් ඔහු ළිඳ වසා දැමීමේ කාර්යය සඳහා සූදානම් වූවේය. ඒ වෙනුවෙන් ගෙනා ලෑලි ද, ගඩොල් සහ සිමෙන්ති ද ළිඳ වට ගොඩ ගසා තිබිණි. 

“හෙට” ධුකී පැවසුවේය. “හෙට මම ළිඳ වහලා දානවා, අද නෙමෙයි. කුරුල්ලෝ තව එක දවසක් ඒකෙ හිටියාදෙන්. හෙට උදේට බේබිට පුළුවන් ළිඳෙන් කුරුල්ලෝ ටික එළවන්න මට උදවු කරන්න.”

මගේ සුළු පියා නැවත පැමිණෙන්නට නියමිත දින උදෑසන අම්මා කුලී අස් රියක් ගෙන්වාගෙන වෙළඳපොළට ගියාය. ඒ යුගයේ දී මෝටර් රථ සතු වූයේ සීමිත කිහිප දෙනෙකුට පමණි. කර්නල්වරු පවා ගමන් ගත්තේ මෙවැනි අස් රිය වලිනි. 

මේජර්වරයාගේ ආගමනය අපේක්ෂා කෙරුණේ හවස් වරුවේ වූ බැවින් මගේ අවසාන නිදහස් උදේ වරුව උපරිමයෙන් විඳ ගැනීමට මම ඉටා ගත්තෙමි. පළමුවෙන්ම මම මගේ ප්‍රියතම පොත් මට නිරතුරුව කියවීමට ගනු හැකිවන ලෙස වැසිකිළියක සැඟවූයෙමි. ඉනික්බිති මගේ සාක්කු දෙකේම අඹ ගෙඩි පුරවාගෙන නුග ගසට නැග ගත්තෙමි. ජුනි මාසයේ උෂ්ණාධික දවසකට ඒ අතු පතරේ සිසිල සහ අඳුර මැනවින් ගැලපුණි. 

අතු අතර සිටි මා වසන් වූ පත්‍ර තිරයට එපිටින් ධුකී ළිඳ අසල එහා මෙහා යනු මට පෙනුණි. ළිඳ වසා දැමීමට ඔහුගේ බලවත් අකමැත්ත පැහැදිලි ව දිස් විය. 

ඔහු “බේබි!” යැයි කීප වරක් හඬගා කතා කළ ද මට නුග ගසින් බැසීමට මහත් මැලිකමක් දැනෙන්නට විය. ධුකී දිග ලෑල්ලක් ගෙන ළිඳ හරහා තබා එහි එක කෙළවරකට ඇණ ගසන්නට විය. නුග ගසේ සිට මට ඔහුව පෙනුණේ බෙහෙවින් වයස්ගත ව, කුදු ගැසී ඇති ලෙසයි.

මේ වෙලාවේ අශ්ව රියක ගෙජ්ජි හඬ සහ රෝද වල කිරි කිරියක් ඇසුණු බැවින් කිසිවෙකු ගේට්ටුව දෙසට ළඟා වන බව පැහැදිලි විය. අම්මා ආපිට ඒමට වේලාසන වැඩි බැවින් ඒ පැමිණෙන්නේ කවුදැයි දැනගැනීමට මම ඝන නුග පත් අතරින් එබී බැලුවෙමි. මා ඇස ගැටුණු දෙයින් ඇති වූ පුදුමය නිසා මා හිඳ සිටි අත්තෙන් නොවැටී බේරුණේ අනූ නමයෙනි. ඒ පැමිණ සිටියේ මගේ සුළු පියා වන මේජර් වරයා ය. සිතුවාට වඩා කලින් ඔහු පැමිණ තිබිණි. 

මා නුග ගසින් පහළට බැස්සේ නැත. අම්මා එනතුරු මේජර් වරයාට සම්මුඛ වීමට මගේ බලාපොරොත්තුවක් නොතිබුණි.. 

අස් රියෙන් බට මේජර්වරයා තම බඩු මලු බරාඳය වෙත රැගෙන යන සේවකයන් දෙස මඳ වෙලාවක් බලා සිටියේය. ඔහුගේ මුහුණ රතු වී තිබුණු අතර බ්‍රිලන්ටයින් ආලේප කළ ඔහුගේ උඩු රැවුල මුහුණෙන් මතු වී පෙනුණි. ධුකී ඔහු වෙතට ළඟා වූයේ අකමැත්තෙන් මෙන් ආචාර කරමිනි.

“ආ, මේ ඉන්නේ මෝඩ බූරුවා!” මේජර්වරයා විහිළුවක් කරන්නට උත්සාහ කරමින් උස් හඬින් කීවේය. “මේ වත්තේ වැඩිපුර තියෙන්නේ කැලේ නේ. උඹ දැන් මේ වැඩ වලට වයස වැඩියි, උඹට විශ්‍රාම ගන්න කාලේ හරි වගේ. කෝ නෝනා?”

“නෝනා කඩේට ගියා.” ධුකී පිළිතුරු දුන්නේය.

“එතකොට කොල්ලා?” 

ධුකී ඊට පිළිතුරු ලෙස තම උරිස් හැකිලුවේය. “අද දවසටම මම බේබි ව දැක්කේ නැහැ මහත්තයා.”

“මොකක් කිව්වා?” මේජර් කෝපයෙන් කීය. “මදැයි ගෙදර ආවා, මං එද්දී පිළිගන්න කිසි කෙනෙක් නැහැ. පලයන්, ගිහින් උයන කොල්ලා ව ඇහැරවලා මට බොන්න සෝඩා මොනවා හරි ගෙන්න කියපන්.”

“උයන කොල්ලා යන්න ගියා.”

“මොන කෙහෙල්මලක්ද?” මේජර් නොරිස්සුමෙන් කීවේය.

මේ වෙද්දී අස් රිය යන්නට පිටත් වූ අතර මේජර්වරයා කෝපයෙන් ගෙවත්තේ ඒ මේ අත ඇවිදින්නට විය. අඩක් වසා දැමුණු ලිඳ ඔහුගේ ඇස ගැටුණේ එවිටයි. කෝපයෙන් දම් පැහැ වූ මුහුණෙන් යුතුව වහා වහා එහි ගිය ඔහු, මහා හඬින් මහලු උයන්පල්ලාට බැණ වදින්නට විය. 

ධුකී තම නිදහසට කරුණු ලෙස බොහෝ දේ කීය. ගඩොල් හිඟයක්, ඥාති දියණියකගේ අසනීපයක්, ප්‍රමිතියට නැති සිමෙන්ති වර්ගයක්, අයහපත් කාලගුණය, දේව කෝපය වැනි විවිධ හේතු කීවත් ඒ එකකින්වත් මේජර්වරයා සෑහීමකට පත් වූයේ නැත. අන්තිමේදී ධුකී ළිඳේ පතුලෙන් යමක් බුබුළු දමමින් මතුවන අයුරු ගැන කියමින් අත දිගු කර පෙන්වන්නට විය. මෙය බලන්නට මේජර් ළිඳ වටා වූ කෙටි තාප්පයට ගොඩවිය. තවදුරටත් ධුකී ළිඳ පතුලේ වූ යමක් පෙන්වමින් සිටි නිසා ඔහු මඳක් ළිඳට එබුනි.

ධුකී ගේ අත සෙලවුණේ මැජික් කරුවකුගේ අතක් මෙන් ඇසුරු සැණකිනි. ඔහු මේජර්වරයා ව තල්ලු කළ බවක් නොපෙනුණි, පෙනුණේ ඔහුගේ පශ්චාත් පෙදෙසට තට්ටුවක් දැමූ බවක් පමණි. මගේ සුළු පියා ළිං පතුලට අතුරුදන් වෙද්දී ඔහුගේ බූට්ස් සපත්තු වල දසුනක් මගේ නෙත ගැටුණි. විස්මලන්තයේ ඇලිස් ගේ කතාවත් ඈ හාවකුගේ ගුලක් පත්ලට අතුරුදන් වූ අයුරුත් ගැන මට එවෙලේ නොසිතා සිටින්නට නොහැකි විය. 

ඉනික්බිති දිය මතට යමක් වැටෙන මහා හඬක් නැඟුණු අතර ළිං බිත්තියේ උන් පරෙවියෝ අහසට නැඟී තෙවරක් ළිඳට ඉහළින් කැරකී නිවසේ වහලයේ වැසුවෝ ය. 

දිවා ආහාර වෙලාව වෙද්දී ධුකී ළිඳ සම්පූර්ණයෙන්ම ලෑලි ගසා ආවරණය කර තිබිණි. 

“මේජර් මහත්තයා හරි සතුටු වෙයි,” අම්මා නිවසට පැමිණි විට කීවාය. “හවස් වෙද්දී ඔය වැඩේ ඉවර කරන්න පුළුවන් නේද ධුකී?”

සන්ධ්‍යාව එළඹෙද්දී ළිඳ මුළුමනින්ම ගඩොලෙන් බැඳ වසා දමා තිබිණි. මෙතුවක් කල් ධුකී කළ වැඩ අතරින් වඩාත් වේගයෙන් නිම කළ රාජකාරිය මෙය විය. 

එළඹුණු සති කිහිපයේදී අම්මා වුමනාවෙනුත්, කරදර සිතිනුත්, වේදනාවෙනුත් අවසානයේදී පරාජය භාර ගන්නා විලසිනුත් මේජර් වරයාගේ ආගමනය ගැන බලා සිටියාය. මම නම් විනෝදයෙන් සහ උද්යෝගයෙන් ඇගේ ශෝකය දුරු කිරීමට උත්සාහ ගත්තෙමි. මේජර්වරයාගේ රෙජිමේන්තුවේ කර්නල්වරයාට අම්මා ලිපියක් ලියා තොරතුරු විමසූ විට ඔහු දන්වා තිබුණේ මේජර් ඊට දෙසතියකට පෙර නිවාඩු ලබා සිය නිවස වෙත යන්නට පිටත් වූ බවයි. ඉන්දියාවේ විශාල භුමි ප්‍රදේශයේ කොතැනකදී හෝ මේජර්වරයා අතුරුදන් වී තිබිණි.

ඒ කාලයේදී කෙනෙකුට මෙලෙස සදහටම අතුරුදන් වීම දුෂ්කර කාර්යයක් වූයේ නැත. මේජර්වරයා අතුරුදන් වී මාස කීපයක් ගතවූ පසු එක්කෝ ආපිට දුම්රිය ගමනේදී කිසිවකු විසින් ඔහු ව ඝාතනය කර ඔහුගේ සිරුර ගඟකට වීසි කරන ලද බව හෝ ඔහු යම් ගෝත්‍රික කාන්තාවක් සමඟ පැන ගොස් රටේ කොතැනක හෝ කෙළවරක වසන බව නිගමනය විය. 

අප ඔහු රහිතව ජීවිතය ගෙන යා යුතුව තිබිණි. ඒ වෙද්දී මෝසම් වැසි අවසන් වී තිබුණු අතර පේර වාරය එළඹෙමින් තිබිණි. මේ වෙද්දී අම්මා ව බලන්නට රාජකීය පාබල සේනාවේ කර්නල් වරයෙකු නිවසට යමින් එමින් සිටියේය. තරමක් වයස්ගත වූ මොහු, සැරවැරකම් නැති, දේවල් නිතර අමතක වන සුළු පුද්ගලයෙකු විය. ඔහුගෙන් කිසි කරදරයක් නොතිබුණු අතර ඔහුට නිවසේ තැන තැන චොකලට් තබා යන පුරුද්දක්ද විය.

“හොඳ මහත්තෙයෙක්” ධුකී කීවේය. ඔහුත් මමත් බෝගන්විලියා ගස පසුපස සිටගෙන කර්නල්වරයා නිවසට පිවිසෙන පඩි තරණය කරනු බලා සිටියෙමු. “බලන්න ඒ මහත්තයා අර සෆාරි තොප්පිය දාන ලස්සන, ඔලුව හොඳටම වැහෙන විදිහටයි දාන්නේ”

“ඒ තොප්පිය යට එයාට තට්ටේ තියෙන්නේ.” මම කීවෙමි.

“කමක් නැහැ, මං හිතන්නේ එයා හරියයි.”

“හරි නොගියොත් අපි ආයෙත් ළිඳ අරිමු.” මම පිළිතුරු දුන්නෙමි. 

එය අසා ධුකී ගේ අත වූ හෝස් පයිප්පය අත හැරුණු අතර ඔහුගේ දෙපා තෙමමින් ජලය ගලා යන්නට විය. නමුත් ඔහු ඉක්මනින්ම පියවි සිහිය ලබා, මගේ අත ගෙන පැරණි ළිඳ වෙත ගියේය. මේ වෙද්දී එය තට්ටු තුනකින් යුත් වේදිකාවක ස්වරූපය ගත් අතර ඉන් දිස් වූයේ මඟුල් කේක් ගෙඩියක පෙනුමකි. 

“අපි අපේ පරණ ළිඳ අමතක කරන්න නරකයි.” ඔහු කීවේය. “එන්න බේබි, අපි මල් පෝච්චි ටිකක් තියලා ඒක ලස්සන කරමු.”

ඉනික්බිති අපි විවිධ මීවන සහ ජෙරනියම් මල් ගස් සහිත පෝච්චි ගෙනැවිත් එතැන සැරසුවෙමු. ඒ කාර්යය ඉතා හොඳින් නිම කිරීම ගැන බොහෝ දෙනා ධුකී ට සුබ පැතූ හ. මගේ නම් එකම පසුතැවිල්ල වූයේ ළිඳෙන් පරෙවියන් ඉවත්ව යාමයි. 


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the story 'A Job Well Done' by Ruskin Bond 

Picture generated by Canva AI
සිසිල සඟරාව - අප්‍රේල් 2025 කලාපය 


(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)