කවියක් යනු සියුම් ලෙස මිනිස් සන්තානය ස්පර්ශ කළ හැකි බලගතු මායා යෂ්ටියක් බැව් කව් රස විඳින්නෝ දනිති. මේවා අතුරින් පරිසරයෙන් උකහා ගත් සෞන්දර්යයද, නැණවත්කම්ද එකට කැටි කර ගෙන සරල භාෂාවෙන් ලියවුණු කවි අප ඇස ගැටෙන්නේ කලාතුරකිනි. මේරි ඔලිවර්ගේ ‘ඩිවෝශන්ස්’ කවි එකතුව මට නම් මෙවැනි රස පිරි ආකරයක් හා සමානය.
වර්ෂ 1935දී අමෙරිකාවේ ක්ලේව්ලන්ඩ් ප්‍රදේශයේ උපන් මේරි ඔලිවර් කාව්‍යකරණයට පිවිස ඇත්තේ දාහතර වැනි වියේදීය. කටුක ළමාවියක් ගෙවා ඇති ඈ කවි ලිවීමට පෙලඹී ඇත්තේ සිය තනිකම දුරු කර ගැනීම සඳහාය. යොවුන් වයසේදී මෙන්ම පසුකාලීනවද මේරි ඔලිවර් තම කවි සඳහා නිමිති සපයා ගෙන ඇත්තේ අවට පරිසරයෙනි. තම නිවෙස අසල ඇවිදින්න යද්දී ඇස ගැටුණු ගහකොළ, පක්ෂීන්, පොකුණු සහ ඒවායේ නිවසන ජලජ සතුන්, තෘණ මල් ආදිය ඇයගේ හැම කවියකම පාහේ හිස ඔසවනු දක්නට හැකිය.
නිවෙසින් නික්ම
විවිධ දෑ බලන්න යමි
දකිමි,
දිලිසෙන හරිත සමක් ඇති ගෙම්බිය
ලිහිසි වේල් පටක් වැනි ඇයගේ බිත්තර
රන් පැහැති දාර ඇති දෑස
ඉහළට මතු වූ නෙලුම් මල් සහිත විල
තැන තැන රෝස පැහැ මල් ඉහිරුණු
එහි උණුසුම් ඉවුරු
සහ දීර්ඝ, නිශ්චල හවස් වරුව
බිමට වට සුදු වලාකුළක් වැනි
සුදු කෙකින්න
සෙමෙන් එක් අඩියක් තබා
මඳක් නැවතී
අනෙක තබන්නීය
බලා සිටිමි
නිසල දිය මත
ඈ
තමන්ගේම මෘදු පා සටහන් කවිය
ලියන අයුරු
(‘සමර් පොයම්’)
‘ඩිවෝශන්ස්’ කවි එකතුව දශක පහක් තිස්සේ මේරි ඔලිවර් ලියූ පැදි අතුරින් ඈ විසින්ම තෝරා ගත් කවිවලින් සමන්විතය. මෙහි කවි දෙසියයකට වැඩි ප්‍රමාණයක් අඩංගු වන අතර, ඊට ඈ 1963දී ලියූ කවි මෙන්ම 2015දී කළ නිර්මාණද ඇතුළත්ය. එකම කිවිඳියක මේ තරම් කාල පරාසයකදී කළ නිර්මාණ එකතුවක් රස විඳිද්දී පාඨකයා ඇයගේ ජීවන දෘෂ්ටියේ භක්තිවන්තයකු බවට පත් වීම නිරායාසයෙන්ම සිදු වන්නකි. මේරි ඔලිවර් සියලු මනුෂ්‍ය හැඟීම් පරිසරයේ කෝණයෙන් දකින්නියකි. ඇයට අනුව නම් මිනිසුන් සහ සතුන් වෙන් කර අඳින ඉර අහසත් පොළොවත් වෙන් කරන කඩයිම මෙන් අස්පෘශ්‍ය රේඛාවකි.
ඒ රතු කුරුල්ලා
වෙන කිසිවකුටවත් නොහැකි වූ ලෙස
තම පැහැයෙන් හාත්පස ගිනි ලමින්
මුළු සීත කාලය පුරා පැමිණීම ගැන
මම කෘතඥ වෙමි
(‘රෙඩ් බර්ඩ්’ කවියේ කොටසක්)
මම නිරතුරුවම වද වීමි
ගෙවත්ත සරුව වැඩේවිද?
ගංගා නිවැරදි දිශාවට ගලාවිද?
පෘථිවිය ඊට උගන්වා ඇති ක්‍රමයට භ්‍රමණය වේද?
එසේ නොවුණොත් මා එය නිවැරදි කරන්නේ කෙසේද?
අන්තිමේදී මේ වද වීම් කිසිවකින්
කිසිම පලක් නැති බව වැටහුණු නිසා
මම එය අත්හළෙමි
ඉනික්බිති මේ මහලු සිරුර ගෙන
උදෑසන වෙත ගොස්
ගී ගැයුවෙමි
(‘අයි වොරීඩ්’ කවියේ කොටසක්)
ඩිවෝශන්ස් කෘතියේ කවි අතර තනිකම, ප්‍රතික්ෂේප වීම සහ මරණය යන තේමා ඔස්සේ කවි ද තිබුණත් එහි පොදු තේමාව ලෙස ඈ ජීවිතය කෙරෙහි දක්වන විස්මයත්, කෘතඥ බවත් පැහැදිලිය. ඉතා සරල දේ තුළින් දෙවියන් දකින ඈ ඒ දෘෂ්ටිය පාඨකයා තුළද ඇති කරන්නට වැර දරයි.
දෙවියන්ගෙන් අනන්‍යතා සහතික සොයමින්
මිනිසුන් වෙහෙසෙන්නේ ඇයි?
අඳුර බිඳී අරුණලු නැඟීමම ඊට ප්‍රමාණවත් නොවේද?
(‘අයි වේක් ක්ලෝස් ටු මෝනින්’ කවියේ කොටසක්)
අවට පරිසරයේ සෙනෙහෙවත් බවත්, කවියේ සෞන්දර්යයත් බොහෝ අවස්ථාවලදී තමාගේ දිවි බේරා දුන් බව ඈ තම නිර්මාණ ගැන කළ සාකච්ඡාවකදී පවසා තිබේ. ජීවිතයේ නේකවිධ කඩාවැටීම් හමුවේ නොවැටී ඉන්නට ඈ පන්නරය ලබා ඇත්තේ මේ අරමුණු දෙකෙනි.
ශෝකය රහසින් නුඹේ පසුපස එන විට
තණ පිටිය වෙත යෑම ගැන
කල්පනා කර බලන්න
මින් පෙර කිසි දිනක නොදුටු දෙයක් දකින්න
ඔබේ මහපටැඟිල්ලක් තරම් වූ
හිම පළඟැටියකුගේ
ටැම්බරීන් නාදයක් වැනි හඬ අසන්න
ගිම්හාන වැස්සේ සරන
හමිංබර්ඩ් කුරුල්ලකු
තම තටුවලින් දිය බිඳු විසුරුවන යුරු බලන්න
(‘ද ලීෆ් ඇන්ඩ් ද ක්ලවුඩ්’ කවියේ කොටසක්)
1984දී ‘පුලිට්සර්’ සම්මානයත්, 1992දී ‘නැෂනල් බුක් අවෝඩ්’ සම්මානයත් ඇතුළු ඇගයීම් රාශියක් දිනා ඇති මේරි ඔලිවර්, අමෙරිකාවේ වැඩිම කවි පොත් අලෙවියක් ඇති කිවිඳිය ලෙස නම් දරා සිටින්නීය. එරට අද්‍යතන සාහිත්‍ය ක්ෂේත්රයේ නොමැකෙන ලකුණක් ඉතිරි කළ කිවිඳිය 2019 වසරේදී ජීවිතයෙන් සමු ගත්තද, පරිසරය හා ඇය සතුව පැවති ගැඹුරු බැඳීමත්, පරම්පරා කිහිපයක පුළුල් රසික පිරිසකගේ හද බැඳ ගත් සරල කාව්‍ය රටාවත් තවත් බොහෝ කාලයක් පාඨක සිත් තුළ නොනැසී පවතිනු ඇත.
විදෙසක ලිවිසැරිය
සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය
20.04.2025
පසු සටහන
දිනමිණ පුවත්පතේ කවි පිටුවේ 'විදෙස් කවිය' කියන විශේෂාංගයට මම අඛණ්ඩ ව පරිවර්තිත කවියක් යවපු යුගයක් තිබුණා. හැම සතියටම එක බැගින් අවුරුදු හතක විතර කාලයක් මම මෙහෙම කවි යැව්වේ ඒ පිටුවේ කතෘ, මගේ මිතුරියක් වන කාංචනා අමිලානිගේ ඉල්ලීමට. ඇත්තටම නම් සතිය ගානේ සිංහලට ගැලපෙන, පුවත්පතේ වචන සීමාවන්ට ගැලපෙන ඉංග්‍රීසි කවියක් හොයන එක ටිකක් අමාරු වැඩක්. ඒත් මම ඒ මුළු කාලයම ඒ කටයුත්ත බොහොම සතුටින් කළා. ගණන් කර කියන්න බැරි තරමට විදෙස් කවි කියවමින්, ඉන් සමහරක් පරිවර්තනය කරමින් මම ගිය ඒ නිර්මාණ චාරිකාව මගේ ජීවිතයත් පොහොසත් කළා වගේම වර්ණවත් කළා කියලා කියන්න පුළුවන්. මේ ගමනේදී මට නිතරම මුණගැහුණු කෙනෙක් Mary Oliver. ඇගේ කවි මම සෑහෙන්න ප්‍රමාණයක් පරිවර්තනය කරලා ඇති. ඒ වගේම අවට ලෝකයේ සුන්දරත්වයෙන්, සාමයෙන් ටිකක් මගේ ලෝකයටත් එකතු කරගන්න ඒවා හේතු වෙන්න ඇති.
අන්තර්ජාලයෙන් Mary Oliver. ගේ කවි කියෙව්වත් මුලදී ඇගේ පොතක් මගේ සතුව තිබුණේ නැහැ, අනෙක ඈ ලියා ඇති කවි පොත් වලින් වැඩි ප්‍රමාණයක් දැන් මුද්‍රණයේත් නැහැ. ඔය අතරේ දවසක මට මෙල්බර්න් පොත් සාප්පුවකින් gift card එකක් ලැබුණා. පුස්තකාලයක රැකියාව කරන මම ඊට අමතරව පොත් ලක්ෂ ගණනක් තියෙන මෙල්බර්න් නගරයේ පුස්තකාල ජාලයක සාමාජිකාවක්. ඒ නිසා මට මෙරට දී පොතක් මිළදී ගන්න ඕන වෙන්නේ හරිම කළාතුරකින්. (ලංකාවෙන් නම් සිංහල පොත් තොග පිටින් අරගෙන එන එක වෙනමම කතාවක්) අනෙක, පොතකට ආදරේ වුණත් ඒ පොත මගේ ළඟ තිබිය යුතුයි කියලා මගේ අදහසක් නැහැ. ඒ නිසා මේ gift card එකෙන් මිළදී ගන්න ඕන පොත ගැන මම සෑහෙන්න කල්පනා කළා. අන්තිමේදී මගේ මතකෙට ආවේ Mary Oliver. ඇගේ කවි නම් ළඟ තියාගෙන ආයෙත් ආයෙත් කියවන්න පුළුවන් බව මට මතක් වුණා. ඇගේ පොත් ගැන හොයද්දි මට Devotions පොත ගැන දැනගන්න ලැබුණා. ඒ දශක ගාණක් තිස්සේ ඈ ලියූ කවි අතරින් ඈ ම තේරූ කවි දෙසීයක එකතුවක්! ඉතින් මටම තෑග්ගක් හැටියට මීට වැඩිය ගැලපෙන වෙන මොනවාද? මම Devotions පොතේ අයිතිකාරිය වුණේ එහෙමයි.
Devotions පොත නිතරම අත පාතින් තියාගෙන, අහඹුව දිග ඇරලා, ඒ පිටුවේ තියෙන කවිය කියවන්න මම කැමතියි. ඒ හැම වතාවකම ජීවිතය ගැන, ලෝකය ගැන හිතේ මතක හිටින සලකුණක් ඉතිරි කරන්න Mary Oliver කිවිඳිය සමත් .
ඈ කෙතරම් නිවී සැනසිලද කියල මුහුනෙන්ම පෙනෙනවා
ReplyDeleteඔයා නිසාම එයාගේ කවි අපි ගොඩක් කියෙව්වනේ
ස්තූතිය ඔයාටත්.....................!
ඔව් කුමුදු, ස්වභාව ධර්මය වැළඳ ගැනීම නිසා එයා එක්තරා නිවීමක් ලබලා බව පැහැදිලියි නේද? එයාගේ කවි කියවීමත්, පරිවර්තනයත් ඇත්තටම සතුටක්
Delete"දෙවියන්ගෙන් අනන්‍යතා සහතික සොයමින් මිනිසුන් වෙහෙසෙන්නේ ඇයි? අඳුර බිඳී අරුණලු නැඟීමම ඊට ප්‍රමාණවත් නොවේද?" කොහොමද ඒක!
ReplyDeleteකිව්වත් වගේ හරිම calm මූණක් ඇයට තියෙන්නෙ. මේ තරම් wisdom එකක් "සත්‍ය" අවබෝද කරගැනීම තුළින් ලබා ගෙන ඇත්තෙ.
ඔව් Lotus, වයස අසූ ගාණක් වෙනකම් ජීවිත කාලයක් තිස්සේ ඈ ලබාගත්ත wisdom එක නිසා ඒ වගේ සන්සුන් පෙනුමක් ලැබෙනවා ඇති නේද
Deleteමම Wednesday's Child කියෙව්වා මලී. මට හිතෙන්නෙ අපිට ඒ තරම් relatable විදිහට ඒ කතා දැනෙන්නෙ අනවශ්‍ය විදිහට පාඨකයාව දුක, වේදනව වගේ හැඟීම් ඇතුලෙ ගිල්වීමක් (immerse) කරන්නෙ නැති නිසා කියලා. ඉතාම තදින් දුක, වේදනාව දැනෙන දේවල් වුණත් ඇය කියන්නෙ යම් තරමක witty, sarcastic විදිහකට නේද. There's some refusal of sentimentality. මට හිතෙන්නෙ එයාගෙ delivery එකේ සාර්තකත්වය එතන කියලා.
ReplyDeleteLotus, ඔයා කියන දේම Yiyun Li ගේ පොත් කියවද්දි මට හිතුණා. ගැඹුරු වේදනාත්මක ජීවිත සිද්ධි එයා සරලව පෙළ ගස්වන්නේ නිකම් තමන්ව/කතා නායකයාව තරමක හාස්‍යයට ලක් කරන ගමන් වගේ නේද? It's like the skill of laughing at oneself. මෙහෙම යන අතරේ පිහි ඇනුමක් වගේ wisdom එකකුත් මැදට එකතු කරනවා . එයාගේ ජීවිතය ගැන විස්තර කියවද්දී මට හිතුණා එයා මූණ දුන්නු කරදර වල හැටියට මේක වෙන්නැති කියලා එයාගේ surviving mechanism එක. බැරෑරුම් සිද්ධි සරලව දකින්න, ඒවා වෙන චරිතයකට ආරූඩ කරලා කෙටිකතා ලියන්න පුළුවන්කම වෙන්නැති.
Deleteමාර්තු 25 New Yorker සඟරාවේ Li, The Deaths—and Lives—of Two Sons කියලා කෙටිකතාවක් ලියලා තියෙනවා. ඒක ළමයි දෙන්නෙක්ම suicide කරගත්තු අම්මා කෙනෙක් ගැන කතාවක්, හැබැයි ඒකෙ setting එක routine medical checkup එකක්! I think that sums up her talent of writing about extraordinary things in a very ordinary way.