මම මුලින්ම Asterix පොතක් කියවද්දී මට අවුරුදු අටක් විතර ඇති. අපි සේෂෙල්ස් වල ඉන්න කාලේ අක්කලාත් මාත් සතිපතා එහෙ ටවුමේ පුස්තකාලෙන් පොත් ගත්තා. ඒ පුස්තකාලේදී Asterix සහ Tin Tin වගේ චිත්‍ර කතා පොත් දකිනකම් මම නම් ඊට කළින් ඒ වගේ පොත් දැකලා තිබුණේ නැහැ. ලංකාවේදී අපි දැකලා තිබුණේ චිත්‍ර කතා පත්තර, එහෙම නැත්නම් සති අන්ත පත්තරවල තිබුණු චිත්‍රකතා නේ.
Asterix පොත් කියවද්දී අමුතුම මායා ලෝකයකට යන්න ලැබෙනවා. රෝමන් සොල්දාදුවෝ එක්ක ගෝල් දේශයේ වැසියෝ නිරතුරුව පැටලෙන, ඒ සටන් වලින් බොහොම ලේසියෙන්ම ගෝල් වැසියෝ දිනන පොදු තේමාව වටේ එක එක විදිහෙන් මේ කතා ගෙතිලා තියෙනවා. මේවා අපිට නුහුරු තේමා උනත් ඒ හැම පොතක්ම එකින් එකට වෙනස්, හිත් ඇදගන්න විදිහට පෙළ ගැස්විලා තිබුණා. Asterix පොත් වගේම Tin Tin ගේ වීර ක්‍රියා පොත් පෙළත් අපි ඒ කාලේ කියෙව්වේ එක හුස්මට. Tin Tin, Captain Haddock යි Snowy බල්ලායි එක්ක ලෝකේ වටේ ගිහින් කරන වික්‍රම වලට ගැන රූප බලමින් අපි ඒ පොත් කියෙව්වේ හරි ආසාවෙන්. ඒ විස්තර ඉස්කෝලේ යාලුවන්ට කියද්දී එයාලා අපි කියන 'ටින් ටින්' වෙනුවට ප්‍රංශ ඌරුවට කිව්වේ ටැන් ටැන් නිසා පොඩි පටලැවිලි වුණා කියලාත් මට මතකයි.
පොඩි කාලේ පිස්සුවෙන් වගේ මේ වගේ වීර කතා කියෙව්වාට වැඩිහිටි වයසේදී ඒවා කියවන ආසාව අඩුයිනේ. මම වැඩ කරන ඉස්කෝලේ පුස්තකාලේ Asterix පොත් වගේම Tin Tin පොතුත් සම්පූර්ණ series පිටින් තිබුණත් මේතරම් කාලෙකට ආයෙත් කවදාවත් ඒවා පෙරලලා බලනන හිතිලාවත් තිබුණේ නැහැ. ඒ නිසා මම නිකමට වගේ මේ සැරේ නිවාඩුවට කියවන්න Asterix පොතක් ගෙදර ගෙනාවා.
මේ වතාවේ මේ පොත කියවද්දී මට මුලින්ම හිතුණ දේ තමයි 'දෙයියනේ ඉස්සරත් මේවායේ අකුරු මේ තරම් පොඩිද?" කියලා. ඒවා ඉතින් පොඩි කාලේදී නොතිබුණු, වයස යද්දී ඇතිවෙන ප්‍රශ්න. ඒ වගේම ඒ පොත්වල ළමයින්ට අහුවෙන සීමාවෙන් එහා humour එකක් තියෙන බවත් හරියටම තේරුණේ දැන් තමයි. උදාහරණයක් හැටියට Asterix පොත්වල හැම පිරිමි චරිතයකටම x වලින් ඉවරවෙන නමක් දීලා තියෙනවානේ. ඒවා Vitalstatistix, Ikonomikcrisix වගේ ඇත්තටම ඉංග්‍රීසි තේරුම් තියෙන වචන පොඩ්ඩක් එහා මෙහා කරලා බවත්, හැමෝටම කසාය හදන වෙද රාළගේ නම Getafix වීම, තිස්සෙම කරච්චලේට සින්දු කියන හාදයාගේ නම Cacofonix වීම වගේ දේවල් වල හාස්‍යයත් පොඩි ළමයින්ට නම් තේරෙනවා අඩුයි මගේ හිතේ.
ඉතින් ඇත්තටම මේ පොත් අපේ ළමා කාලයේ පදාසයක් විචිත්‍ර කළා කියලා බොහොම ආදරයෙන් මතක් කරන්න පුළුවන්. ඒ වගේම අදත් පුස්තකාලවල, පොත් කඩවල මේ පොත් දකින්න තියෙනවා කියන්නේ අපිට විතරක් නෙමෙයි, ඊළඟ පරම්පරාවලත් පුංචි ළමයින්ගේ ලෝකවල වීරයෝ හැටියට Asterix, Obelix, Tin Tin වගේ චරිත නොනවත්වාම ජයග්‍රාහී ගමනක් යන බවයි.
No comments:
Post a Comment