March 17, 2026

දිවි මංපෙත නොපෙනී යන සීමා සිත්තමට නඟන පෝල් තෙරෝ



හැම ජීවිතයකම සියලු දේ නොපෙනී යන එක්තරා ලක්ෂ්‍යයක් ඇත. එනම්: ඒ දිවිය හරහා දිවෙන සියලු රේඛා අභිසරණය වී, ඉන් ඔබ්බට කිසිත් නොපෙනෙන සීමාවයි. එවන් අවස්ථාවකට එළඹුණු විට ඔබ ජීවිතයේ ගන්නා තීරණ කොයි ආකාරයේ ඒවා විය හැකිද? ලේඛක පෝල් තෙරෝගේ ‘වැනිෂින්ග් පොයින්ට්’ කෙටිකතා එකතුව විවිධ ජීවිතවල මෙවැනි නොපෙනී යන ලක්ෂ්‍යය ගැන කතා කරයි. ඒ තේමාව ඔස්සේ හාස්‍යය, භීතිය, සහකම්පනය, කුතූහලය ආදි විවිධ සංවේදනා දනවමින් ඉදිරිපත් වන මේ කතා දහඅට, පාඨකයා විචිත්‍ර සාහිත්‍යමය ගමනක කැඳවාගෙන යෑමට සමත් වෙයි.

1941දී අමෙරිකාවේ මැසචුසෙට්ස්හි උපන් පෝල් තෙරෝ, තරුණ වියේ පටන් සංචාරය ප්‍රිය කළේය. වසර ගණනාවක් උගන්ඩාව, සිංගප්පූරුව සහ එංගලන්තය ආදි රටවල විශ්වවිද්‍යාලයන්හි දේශක තනතුරු හොබවා ඇති ඔහු, තවත් බොහෝ රටවල සංචාරය කර ඇත. මේ රටවල අත්දැකීම් ඇසුරෙන් ලේඛනයේ යෙදී, ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ චාරිකා සටහන් ලේඛකයකු හැටියටයි. 1975 දී ඔහුගේ ‘ද ග්රේට් රේල්වේ බසාර්’ නම් චාරිකා සටහන් පොත එළිදැක්වීමේදීම එහි පිටපත් මිලියන එකහමාරක් අලෙවි වූ බව සඳහන් වේ. වසර කීපයක් තුළ මෙවැනිම තවත් පොත් කිහිපයක් ලිවීමෙන් අනතුරුව ඔහු අමෙරිකාවේ ප්‍රසිද්ධතම චාරිකා සටහන් ලේඛකයා ලෙස විරුදාවලිය ලැබුවේය.

2025 ජනවාරි මස පළ වූ තෙරෝගේ ‘වැනිෂින්ග් පොයින්ට්’ කෙටිකතා එකතුවද එක්තරා ආකාරයක චාරිකා සටහනකි. එහි කතන්දර ඔස්සේ ඔබට හවායිහි පැරණි උක් වගා බිම් හරහා ඇවිද යන්නට, සැම්බියාවේ දුෂ්කර පාසලක ගුරු නිවෙසක වෙසෙන්නට, අමෙරිකාවේ බොස්ටන්හි පල්ලියක පසු පෙළේ අසුන් ගන්නට, යාත්‍රාවක නැඟී මැලේසියාවේ කෝටා කිනබාලු මුහුදු තීරය තරණය කරන්නට ඉඩ හසර ලැබේ. එහෙත් කතුවරයා මේ කතන්දරවලදී වදනින් අප ඉදිරියේ මවා දෙන්නේ ඒ ඒ තැන්හි භූ විෂමතා නොව, මිනිස් හැසිරුම්වල විචිත්‍ර බවයි. එක්තරා ආකාරයකට මේ කතන්දර හැම එකක්ම යම් අවසානයක් ගැන කියයි. ඒවා වයෝවෘද්ධ බව හා බැඳුණු තනිකම, අහිමිවීම් හා මරණය ගැන කතා කරයි. තනිකමේ අන්තයට ගිය කෙනකු තෝරාගන්නේ මරණයද, අලුත් ජීවන සගයෙක්ද? සියල්ල අහිමි වූවකුට පළි ගැනීමට තරම් මානසික ඒකාග්‍රතාවක් තිබෙනු හැකිද? අප ස්වභාවධර්මය රකින්නේ නම් නිතැතින්ම ස්වභාවධර්මය අප රකිනු ඇතිද? ‘වැනිෂින්ග් පොයින්ට්’ කියවාගෙන යද්දී මෙවැනි ප්‍රශ්න නිතැතින්ම පාඨකයාගේ සිතේ ඇඳී මැකී යයි. 

මේ කෙටිකතා අතුරින් වඩාත්ම මා සිත් ගත්තේ අනපේක්ෂිත අවසානයන් සහිත කතන්දරය. සරලව සුන්දරව ගලා යමින් තිබී පාඨකයා වැරෙන් සොලවා කම්පනයට පත් කිරීමට ‘අඩෝබෝ’ සහ ‘හෙඩ්මාස්ටර්’ වැනි කතා සමත් වේ. කතාව තුළ සුරක්ෂිත බව මවා ගෙන ඇත්තේ අපම බවත්, අප සිත්වල මවා ගන්නා ලෝකය තරම් යථාව ඇතැම් විට සුන්දර නොවන බවත් ඒ කතන්දර මඟින් සිහි කැඳවාලීමට තෙරෝ සමත් වේ. තම ලේඛනයේදී පෙර කිසි කලෙක කෙටිකතා නොලියුවුණු තේමා තෝරා ගනීමට ඔහු දක්ෂයෙකි. ඔහුගේ ඇතැම් කතන්දර බොහෝ දිගු කෙටිකතාය. එහෙත් ඒවා තුළ ධ්‍යානයට සමවැදෙන කියවන්නාට ඒ බව දැනෙන්නේ වත් නැත. තෙරෝ මේ ‘වැනිෂින්ග් පොයින්ට්’ කෘතියේ කෙටිකතා දහ අට හවායිහි සිදු වූ ඒවා, අන් තැන්වල සිදු වූ ඒවා සහ මතක සැමරුම් වශයෙන් තුන් කොටසකට බෙදා ඉදිරිපත් කරයි. මතක සැමරුම් කතන්දර සෙසු ඒවා තරම් ත්‍රාසයෙන් සහ කුතූහලයෙන් පිරුණු ඒවා නොවීම මේ පොතේ තරමක දුර්වලකමක් සේ පෙනුණද, ඒවායේ තේමා හා නිමිතිද කිසි සේත් එකිනෙකට සමාන නොවන බවද සඳහන් කළ යුතුය. පෝල් තෙරෝගේ විචිත්‍රවත් ලේඛන ශෛලිය නිසා ඔහුගේ ඇතැම් නිර්මාණ සලරූ බවටද හරවා තිබේ. මේවා අතුරින් ඔහු ලියූ ‘ද මොස්කිටෝ කෝස්ට්’ නම් නවකතාව චිත්‍රපටයක් හා මාලා නාටකයක් බවටද,  ‘ද ලන්ඩන් එම්බසි’ නම් ඔහුගේ කෙටිකතා එකතුව බ්‍රිතාන්‍ය රුපවාහිනී ජාලයේ කොටස් හයක මාලා නාටකයක් බවටද පත් කර තිබීම සුවිශේෂයි.’ මේ වෙද්දී පොත් හැටකට වඩා රචනා කර ඇති තෙරෝ බොහෝ කෙටිකතා රචකයන්ට වඩා කෙටි කතා සංග්‍රහ ලියා ඇති බව සඳහන්ය. 

තම දිවියේ අට වැනි දශකය ගෙවද්දීත් පාඨකයා සසල කර, මතකයේ රැඳෙන නිර්මාණ දායාද කිරීමට සමත් පෝල් තෙරෝ වැනි ලේඛකයන් නිසා සාහිත්‍ය ලෝකයේ විචිත්‍රත්වය සුරැකෙන බව මගේ විශ්වාසයයි.

-හෙල්මලී ගුණතිලක 

විදෙසක ලිවිසැරිය විශේෂාංගය, සිළුමිණ, 2026, මාර්තු 15


March 13, 2026

බර



මීටත් වඩා
ශෝකයට සමීප වීමට නම්
මා මියැදිය යුතු බව
මට සිතුණු කාලයක් විය

නමුත් මා තවත් ශෝකයට සමීප වූවත්
මියැදුණේ නැත
එකත් එකටම
මීට දෙවියන්ගේ ද,
මගේ මිතුරන්ගේ ද
දායකත්වයක් තිබෙන්නට ඇත

නමුත් මා සිටියේ පීඩිතවයි
කවියන් කියනා පරිදි
මගේ සිනහව අතුරුදන් ව තිබිණි

මගේ මිතුරු ඩැනියෙල්
(ඔහු සිංහයන් අතර පවා නිර්භීතයි)
මෙසේ කීවේ එවිටයි

“ඔබ උසුලන බර
පොත් හෝ ගඩොල් හෝ ශෝකය
මින් කවර එකක් වූවත්
වඩාත් වැදගත් වන්නේ
එය බිම තැබිය නොහැකි විට
ඔබ එය
වැළඳ ගන්නා ආකාරයයි,
සමබර කරගනිමින්
උසුලනා ආකාරයයි”

ඉතින් මම තව දුරටත් ඒ කලාව ප්‍රගුණ කළෙමි
ඔබ ඒ බව දුටුවේද?

විස්මිත මගේ මුවින්
ඉඳහිට සිනාවක් නික්මෙනු
ඔබට ඇසී ඇත්ද?

සුළඟට හසු වූ රෝස මල්,
සැඩ රළ මත මුහුදු පාත්තයන්,
ආපිට නොලැබෙන ප්‍රේමයන්
වැනි
මේ ලෝකයේ කරුණාවන්ත
එහෙත්
ඇතැම්විට කරදරයට ලක් ව ඇති දේ දෙස
මා නතර වී
ප්‍රසාද බැල්මෙන් බලනු ඔබ දැක ඇත්ද?

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'Heavy' by Mary Oliver


Digital art

March 05, 2026

වල් පැලෑටිය



අංගූරි මගේ අසල්වැසියාගේ අලුත් මනමාලියයි. හැම මනමාලියක්ම අලුත් වූවත් ඈ නම් කීප ආකාරයකට අලුත් සේ සැලකිය හැකි විය. ඇගේ සැමියා පෙරදී විවාහ වී සිටි බැවින් ඔහු නම් කසාදය යන විෂයට ආධුනිකයෙක් නොවිණි. මීට අමතරව ඔවුහු විවාපත්ව වසර කීපයක් යනතුරු අංගූරි ව නිවසට කැඳවාගෙන ඒමට නොහැකි වූ බැවින් ‘අලුත්’ යන විශේෂණය ඇයට තවත් ගැලපුණි.

මීට සය වසරකට පෙරදී ප්‍රභාති තම පළමු බිරිඳගේ ආදාහනයට සිය ගමට ගියේය. අවමඟුල් කටයුතු අවසාන වූ පසු අංගූරි ගේ පියා ප්‍රභාතිව සොයා විත් ඔහුගේ තෙත තුවාය මිරිකා ඔහු වෙත ගෙනහැර පෑවේය. මෙහි අදහස වූයේ ‘ඔබේ කඳුළු මෙලෙස පිසදමමි’ යන්නයි. අඩියක් හමාරක් දිග තුවායක් පෙඟෙන්නට කඳුළු හෙලිය හැකි මිනිසෙකු මේ මිහිපිට නොමැති අතර ඉහත කී තුවාය තෙත බරිත වී තිබුණේ ප්‍රභාති ස්නානයෙන් පසු ඇඟ පිස දැමීමෙනි. නමුත් නාඹර දියණියක් ඇති පියෙකු මෙලෙස වැන්දඹු පිරිමියෙකුගේ තුවායක් මිරිකා හැරීමෙන් ‘මියගිය ඔබගේ බිරිඳගේ තැන ගැනීමට මගේ දියණිය ඔබට දෙමි. තව දුරටත් ශෝක නොවෙන්න’ වැනි අදහසක් ගම්‍ය විය.

ඉතින් අංගූරි ප්‍රභාතිගේ මනාලිය වූයේ එලෙසයි. නමුත් ඇයව නිවසට කැඳවාගෙන ඒම පස් වසරකින් ප්‍රමාද කිරීමට සිදු වූයේ ඇගේ වයසත්, ඇගේ මවගේ අංශභාග තත්ත්වයත් සැලකීමෙනි. පැමිණි මුල් කාලයේදී ඈ කිසිවකුගේ බැල්මට හසු නොවන පරිදි පර්දාවෙන් මුහුණ වසා සිටියාය. නමුත් කාලය ගත වෙද්දී, ක්‍රම ක්‍රමයෙන්, අනෙත් හින්දු කාන්තාවන් කළ පරිද්දෙන් ඈ ඉන් තම හිස පමණක් වසන්නට පුරුදු වූවාය. අංගූරිගේ දසුන සිත පිනවන්නක් විය, ඇගේ සිනාව මිණි කිංකිණි දහසක හඬට සමාන විය. තම රිදී අභරණ ගැන උද්දාමයෙන් පසු වූ අංගූරි, ඒවා පැළඳුවේ ඉමහත් සතුටිනි. ඈ කළ කී හැම දෙයක්ම ඒවායේ දිස්නයත්, ඒවා එකට ගැටීමෙන් උපදින හඬත් තීව්ර කිරීමේ අරමුණින් විය.

ගිම්හාන ඍතුව උදාවෙද්දී කාලගුණය ක්‍රම ක්‍රමයෙන් උණුසුම් විය. මේ නිසා අංගූරිද වැඩි කාලයක් නිවසින් පිටත ගත කරන්නට විය. මගේ නිවස ඉදිරිපස විශාල කොහොඹ ගස් කීපයක් වූ අතර ඒ අසල අත් හරින ලද ළිඳක් ද විය. මේ අවට සිසිලසක් තිබුණු බැවින් ඈ එහි ගැවසීමට ප්‍රිය කළාය. 

“ලොකු නෝනා මොකක්ද කියවන්නේ?”

දිනක් මා කොහොඹ ගසක සෙවනේ පොතක් කියවමින් සිටියදී අංගූරි මා වෙත පැමිණ ඇසුවාය.

“ඔයාටත් ඕනද කියවන්න?”

“මම කියවන්න දන්නේ නැහැනේ”

“කියවන්න ඉගෙන ගන්න ඕනද?”

“අපොයි එපා!”

“ඒ මොකද? කියවන්න ඉගෙන ගන්න එකේ වැරැද්ද මොකක්ද?”

“ගෑනු කියවන එක පවක්!”

“එතකොට පිරිමි?”

“එයාලට ඒක පවක් නෙමෙයි.”

“කවුද ඔයාට මේ විකාර කිව්වේ?”

“මම දන්නවා”

“ඉතින් මම මේ කියවන්නේ, එහෙනම් මම පව් පුරවාගන්නවා වෙන්න ඇති”

“නගරේ ගෑනු අයට ඒක පවක් නෙමෙයි, ගමේ අයට විතරයි”

මීට අප දෙදෙනාම සිනාසුනෙමු. තමා අසා ඇති දේවල් ප්‍රශ්න කිරීමට ඈ උගෙන තිබුණේ නැත. ඈ විශ්වාස කළ දේවල් ඈට සැනසිල්ල ගෙන දේ නම් ඒ පැවැත්ම විනිශ්චය කරන්නට මා කවුදැයි මට සිතිණි.

අංගූරිගේ තලෙළු පැහැ සිරුරින් නිරතුරුව ප්‍රහර්ෂයත්, නොසිඳෙන සුන්දර බවත් විහිදුණි. කාන්තා සිරුර අනන ලද පාන් පිටි ගුලියක් වැනි යැයි මා කොතැනක හෝ අසා තිබිණි. ප්‍රමාණවත් ව අනා නොමැති වීමෙන් බුරුල් වන හෝ උවමනාවට වඩා ඇනීමෙන් ඇලෙන සුළු වන පිටි ගුලි බොහෝ තිබුණත් හරි පදමට අනන ලද ඒවා දක්නට ලැබුණේ කලාතුරකිනි. අංගූරිගේ සිරුර වැටුණේ මේ තෙවෙනි වර්ගයටයි. ඇගේ පේශී වල සෙලවුමේ ලාලිත්‍යය මට සිහි කැඳවූයේ තදින් වෙලන ලද දඟරයක විභවයයි. ඇගේ මුහුණ, පියයුරු, දෑත, දෙපය ආදී හැම දෙයක්ම මේ අදහස තීව්ර කළ අතර ඇය දැකුම මා තුළ වෙනස්ම ආකාරයක ජීවී -අලස සුවයක් ජනිත කළේ ය. ඉනික්බිති මා ප්‍රභාති ගැන සිතන්නට විය. වියපත්, මිටි, ඇදවුණු මුවින් යුතු මිනිසෙකු වූ ඔහුගේ සිරුරේ කෘෂ බව ජ්‍යාමිතියේ පියා වන යුක්ලීඩ් ට පවා හිසරදයක් වන්නට ඉඩ තිබිණි. හදිසියේම විසුළු සහගත  සිතිවිල්ලක් මගේ සිතේ ඇඳිනි. ප්‍රභාති සිටින්නේ අංගූරි ව වසාගෙනයි. එනම් ප්‍රභාති, අංගූරි නම් පිටි ගුලිය වසන ලද රෙදි කඩ මිස එය රස බලන තැනැත්තා නොවේ. මේ සිතිවිල්ල නිසා මට සිනාවක් නැඟෙන්නට ආ නමුත් මා එය ආයාසයෙන් මැඩ ගත්තේ ඊට හේතුව ඇයට වැටහෙනු ඇතැයි බියෙනි. කතාව වෙනතකට හැරවීමට මම ඇගේ ගමේ මඟුල් යෝජනා කිරීමේ ක්‍රමය ගැන විමසුවෙමි.

“ගෑනු ළමයෙක් අවුරුදු පහක් හයක් වගේ කාලෙකදී පිරිමියෙක්ගේ දෙපතුලක් අගය කරලා, ඒ කෙනාව තෝරාගත්තාම තමයි කසාද බඳින්නේ.”

“එයා කොහොමද එහෙම තෝරන්නේ?”

“ඒ ගෑනු ළමයාගේ තාත්තා පිරිමි කෙනාගෙන් සල්ලි අරන් එයාගේ දෙපතුල ළඟ මල් තියනවා ගෑනු ළමයාට දකින්න.”

“ඉතින් අන්තිමට බලද්දී ඒ දෙපතුල තෝරාගෙන තියෙන්නේ ගෑනු ළමයාගේ තාත්තා නේ.”

“එයා ඉතින් දුව වෙනුවෙන් නේ ඒක කරන්නේ. අන්තිමේදී දුව නේ තෝරන්නේ.”

“ඉතින් ඒ ළමයා කවදාවත් අර පිරිමියාව හරියට දැකලා නැහැනේ.”

“ඔව් ගෑනු ළමයින්ට එහෙම දකින්න වෙන්නේ නැහැ ඉතින්”

“ඒ කියන්නේ කිසිම ගෑනු ළමයෙක් තමන්ගේ අනාගත සැමියා ව කල් ඇතිව හරියකට දකින්නේ නැහැ කියන එකද?”

“නෑ” කී අංගූරි මඳ වෙලාවක් කල්පනාභරිතව පසු වූවා ය. “ආදරය කරන අය නම් දකිනවා” 

“ඔයාගේ ගමේ ගෑනු ළමයින්ට එහෙම ආදර සම්බන්ධතා තියෙනවාද?”

“කීප දෙනෙකුට”

“ඉතින් ඒක පාපයක් හැටියට සැලකෙන්නේ නැද්ද?” පෙරදිනක කාන්තාවන් අකුරු උගෙනීම ගැන ඈ කී දේ සිහිවී මම ඇසුවෙමි.

“නෑ. මෙහෙමනේ ඒක වෙන්නේ, එහෙම එයාලා ආදරෙන් බැඳෙන්නේ ඒ පෙම්වතා ගෑනු ළමයාට වල් පැලෑටියක් කවන නිසානේ.” 

“වල් පැලෑටියක්? මොන?”

“කැලේ හැදෙන ජාතියේ එකක්.”

“ඉතින් ඒ බව ගෑනු ළමයා දන්නේ නැද්ද?”

“බුලත්විටක දාලානේ දෙන්නේ. ඒක කෑවාට පස්සේ ඒ ගෑනු ළමයින්ට ඒ පෙම්වතාගෙන් තොර ලෝකයක් නැහැ. මම මේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා ඒක වෙනවා.”

“කාවද ඔයා දැක්කේ?”

“මගේ යාලුවෙක්, එයා මට වැඩිය ටිකක් වැඩිමල්”

“ඉතින් මොකද වුණේ?”

“එයා ඒ මනුස්සයා එක්ක නගරයට පැනලා ගියා.”

“ඔයා කොහොමද දන්නේ ඒක වුණේ වල් පැලෑටිය කැවුණු නිසා කියලා?”

“නැතුව ඉතින් වෙන හේතුවක් තියෙන්න පුළුවන්ද? නැත්නම් එයා එහෙම අම්මා තාත්තාව දාලා යයිද? ඒ කොල්ලා නගරයෙන් මගේ යාළුවාට එක එක විසිතුරු බඩු, ඇඳුම්, රසකැවිලි එහෙම ගෙනත් දුන්නා.”

“ඉතින් වල් පැලෑටිය කොහොමද දුන්නේ?”

“රසකැවිලි වල දාලා දෙන්න ඇති. නැත්නම් කොහොමද ඒ ගෑනු ළමයාගේ ආදරේ ගත්තේ?”

“ආදරේ වෙන විදිවලින් ගන්නත් පුළුවන්. ඔයා හිතන්නේ එහෙම වෙන විදි නැද්ද?”

“වෙන විදිහක් නැහැ. එයාගේ අම්මලාට එයාගේ ඒ ගති එපා වෙලා හිටියේ.”

“ඉතින් ඔයා ඔය වල් පැලෑටිය දැකලා තියෙනවද?”

“නෑ ඒක ඈත පළාතකින් ලු ගේන්නේ. මගේ අම්මා නිතරම මට අනතුරු ඇඟෙව්වා කාගෙන්වත් බුලත්විට වත් රසකැවිලි වත් ගන්න එපා කියලා. ඒවාට පිරිමි ඔය වල් පැලෑටිය දායි කියලා.”

“ඔයා නම් හරිම නුවණක්කාරයිනේ. කොහොමද ඉතින් ඔයාගේ යාලුවා ඕකට අහුවුණේ?”

“එයා ඕක කරගත්තේ විහින් දුක්විඳින්න,” ඈ දැඩි ස්වරයෙන් කීවාය. ඉනික්බිති ඇගේ මුව අඳුරු වූයේ මිතුරිය සිහිවූ බැවින් විය හැක. “පව්, අන්තිමට ඒ කෙල්ලට හොඳටම පිස්සු හැදුණා.” ඈ දුක්මුසු ව කීවාය. “කොණ්ඩේ පීරන්නෙත් නැතිව, රෑ තිස්සේ සින්දු කිය කියා..”

“මොන සින්දුද එයා කිව්වේ?”

“මම දන්නේ නැහැ. ඔය වල් පැලෑටිය කැවුන හැමෝම සින්දු කියනවා, ඒවගේම අඬනවා.”

මේ වෙද්දී මේ කතාබහ විඳ දරා ගැනීමට අපහසු මට්ටමට පැමිණ තිබුණු බැවින් මම ඇගෙන් සමුගතිමි. 

මීට ටික දිනකට පසු  අංගූරි ව්‍යාකුල සිතින් යුතුව කොහොඹ ගස යට සිටිනු මම දුටුවෙමි. සාමාන්‍යයෙන් නම් ඈ ළිඳ අසලට එද්දී ඇගේ පාද වල නූපුර හඬ ඈතට ඇසෙන නමුත් එදා ඒවා නිහඬ ව තිබිණි. 

“මොකද  අංගූරි?”

ඈ මා දෙස හිස් බැල්මෙන් බලා මෙසේ කීවාය. “ලොකු නෝනා මට අකුරු උගන්නනවාද?”

“ඇයි, මොකද වුණේ?”

“මට මගේ නම ලියන්න උගන්නන්න.”

“ඔයාට අකුරු ඉගෙන ගන්න ඕන ඇයි? කාටහරි ලියුම් ලියන්නද? කාටද?”

ඈ පිළිතුරු නොදුන් අතර නැවතත් තම සිතිවිලි අතර අතරමං වූවාය. 

“ඉතින් ඒක පාපයක් නෙමෙයිද?” ඇගේ දුක්මුසු ස්වරූපයෙන් මුදවා ගැනීමේ අදහසින් මම විමසුවෙමි. නමුත් ඈ නිහඬ ව ම පසු විය. හවස්වරුවේ කෙටි නින්දකින් අනතුරුව මා යළි එහි එද්දීත් අංගූරි ශෝකී ස්වරයකින් තනියම ගීයක් මුමුණමින් එතැනම සිටියාය. මා එන හඬ ඇසී හදිසියේම ගැයුම නැවැත්වූ ඈ සන්ධ්‍යාවේ සීත සුළඟ නිසා දෙඋර හකුලුවා ගත්තාය.

“ඔයා ලස්සනට සින්දු කියනවා අංගූරි” මා කියූ විට ඈ කඳුළු වළකාගෙන සිනාවක් නඟන්නට අසාර්ථක උත්සාහයක යෙදුණා ය. 

“මම සින්දු කියන්න දන්නේ නැහැ”

“ඉතින් ඔය දැන් කිව්වේ!”

“ඒක මේ..”

“ඒක ඔයාගේ යාලුවා කීව සින්දුව” මම ඈ වෙනුවෙන් ඇගේ වාක්‍ය සම්පූර්ණ කළෙමි. 

“එයාගෙන් තමයි මම ඒක ඇහුවේ.”

“මට ඇහෙන්න ඒක කියන්න”

“සිව් මසක සිසිරයකි හර්දයේ
මගේ හද ගැහෙමිනි, පෙම්වත
ගිම්හානයේ සිව් මස,
සුළඟ දිලිසේ හිරු රැස් මැද
ඉනිකිබිති සිව් මසක් වැසි වසී,
වළාකුළු සසල වේ ගගනත”

“අංගූරි!” මා දැඩි හඬින් කියද්දී ඈ මදෙස බැලුවේ ධ්‍යානයකට සම වැදුණු, නොඑසේ නම් අර වල් පැලෑටිය කැවුණු එකියක් ලෙසිනි. ඇගේ දෙඋරින් අල්ලා වැරෙන් සොලවන්නට සිතුණත් මම ඇගේ දෙඋරින් අල්ලා ඈ ව මා සමීපයට ගෙන ඈ පිළිවෙලකට කෑම කන්නේදැයි විමසුවෙමි. ඈ නොකෑ බව කීවාය. ප්‍රභාති තම හාම්පුතාගේ නිවසින් ආහාර ගන්නා බැවින් අංගූරි කෑම පිසුවේ තමන්ට පමණි. 

“අද ඉව්වාද?”

“තාම නෑ”

“උදේ තේ එක බිව්වාද?”

“තේ? අද කිරි නෑ”

“ඒ මොකද කිරි නැත්තේ?”

“අද කිරි ලැබුණේ නෑ. රාම් ටාරා..”

“එයාද ඔයාලට කිරි ගේන්නේ?” ඈ හිස සැලුවාය. 

රාම් ටාරා යනු රාත්‍රි සේවයේ යෙදෙන මුරකරුවාය. අතීතයේදී නම් තම වැඩ මුරය උදෑසන අවසන් කරන රාම් අපගේ නිවසින් තේ බී, ළිඳ අසල වූ ඔහුගේ කුඩා ඇඳ වෙත යාමට පුරුදු ව සිටියේය. නමුත් ප්‍රභාති අංගූරිව විවාහ කරගැනීමෙන් අනතුරුව ඔහු උදෑසන තේ පිළියෙළ කළේ ප්‍රභාතිගේ ගෙදරදීය. හැම උදෑසනක ම ඔහුත්, අංගූරිත්, ප්‍රභාති ත් ගිනි මැලය වටා වාඩි වී තේ බීවෝය. මීට තෙදිනකට පෙර රාම් ටාරා කිසියම් කටයුත්තක් සඳහා තම ගම බලා ගොස් තිබිණි. 

“ඔයා දවස් තුනකින් තේ බීලා නැද්ද?” 

ඈ නැති බව හඟවන්නට හිස සැලුවාය. 

“ඒ දවස් ටිකේම කාලාත් නැහැ නේද?”

ඈ නිහඬවම සිටියේ මගේ අනුමානය නිවැරදි බව ඔප්පු කරමිනි. 

රාම් ටාරා ගේ රුව මම සිහියට නඟා ගත්තෙමි. ඔහු මනා පෙනුමින් යුක්ත වූ, කඩිසර, විනෝදකාමී මිනිසෙකු විය. ඔහු කතා කරද්දී නිරතුරුවම දෙතොලග සිනහවක් දඟ කරනු පෙනුණි. 

“අංගූරි?”

“ඔව් ලොකු නෝනා?”

“ඔයාට අර වල් පැලෑටිය කැවුනා වෙන්න බැරිද?”

ඇගේ දෑසින් නොකඩවා කඳුළු කඩා හැලෙන්නට විය.

“මට සාප වේවි!” ඈ වෙව්ලුම්කන කටහඬින් කීවාය. “මම කවදාවත් එයාගෙන් රසකැවිලි ගත්තේ නැහැ, අඩුම ගානේ බුලත් විටක් වත්… ඒත් තේ නම්..”

ඇයට ඒ වාක්‍යය සම්පූර්ණ කරගැනීමට නොහැකි වූයේ ඇගේ වදන් තවත් කඳුළු ගංගාවක ගිලී ගිය බැවිණි. 


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the short story ‘The Weed’ by Amrita Pritam
Translated from Punjabi by Raj Gill
AI Image


February 27, 2026

~ගිනි පුළිඟු වන් කෙටි කවි~


'දිනය පුරා
දැවෙන උදුනින්
තෝරාගනිමි
ගිනි පුළිඟු’

ගිනි පුළිඟු යන නම ලද, ගිනි පුළිඟු වැනි කෙටි කවි එකතුවක පිවිසුම ලෙස මේ කවිය කොයිතරම් උචිත ද! මේ අගනා කෘතිය ගැන දිගු විස්තරයක් වදන් කීපයකට ලඝු කිරීමට ඒ කෙටි කවියම සමත් වේ.

ගිනි පුළිඟු -කෙටි කවි එකතුව පෝලන්ත ජාතික ක්‍රිස්ටෝෆ් චයිෂෙව්ස්කිගේ ‘ෆයර්වර්ඩ්ස් -ටයිනි පොයම්ස්’ නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. ඉතා කුඩා කවි 166කින් සමන්විත මේ කෘතිය සිංහල කියවන්නන්ට රස විඳින්නට අවස්ථාව ලැබෙන්නේ ශ්‍රී ලංකික සහෘදයන් කිහිප දෙනෙකුගේ සාමූහික පරිවර්තන ප්‍රයත්නයක ප්‍රතිපලයක් ලෙසිනි. අමා ඔවිනි අලුත්ගේ, වත්සලා කන්නන්ගර, ලවණ්‍යා විජේසේකර සහ මොහාන් ධර්මරත්න යන අය විසින් මේ කවි රැස පරිවර්තනය කර ඇති අතර එය අපූරු පොතක් බවට සංස්කරණය වී ඇත්තේ මොහාන් ධර්මරත්න ගේ දායකත්වයෙනි.

කවියකු, කතුවරයකු, සමාජ ක්‍රියාකාරියෙකු, ගුරුවරයකු සහ නළුවකු වශයෙන් විවිධ භූමිකා වලට පණ පොවන ක්‍රිස්ටෝෆ් චයිෂෙව්ස්කි, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේ සාහිත්‍ය කටයුතු වෙනුවෙන් ඉමහත් සේවයක් සිදුකරන අයෙකි. ෆයර්වර්ඩ්ස් කෘතියේ පිවිසුමේ තම මවට ලියූ ලිපියක කවියා ඇයට ස්තූති කරන්නේ තමන්ට සොබාදහමට අතපොත් තැබීම පිළිබඳවයි. මේ කුඩා කවි වලින් බහුතරයක්ම ස්වභාව ධර්මයේ සුන්දර නිමේෂයන් හා බැඳී පැවතීම සුවිශේෂී කාරණාවකි.

මිහිදුම් හාදුවෙහි
වෙළුණු පොකුණත
නිහඬවම අසුන්ගෙන
අප දෙදෙන

---

හේමන්ත මැහැල්ල
පත් රහිත
සිය නගන සිරුරෙහි
දවටා ගනී ආලෝකය

---

ලෝකය රඟදෙයි
වැහි ගිනි දලු මැද
ඔබ කුඩයක් අතැතිව

කවියක සාන්ද්‍ර බව වැඩිවන්නේ එය කෙටි වූ තරමටය යන්න චයිෂෙව්ස්කිගේ කෙටි කවි වලින් මනාව පිළිබිඹු වේ. මෙවැනි කවියක් කියවීමට ගතවන්නේ කුඩා මොහොතක් වූවත් ඒ ගැන තව බොහෝ වෙලාවක් නැවතී කල්පනා කිරීමට හැකිවීම මෙහි අගය වැඩි කරයි. මනුෂ්‍ය පැවැත්ම ගැනත්, මරණය ගැනත් වචන කීපයකින් කියවන්නාගේ සිතේ ගිනි ඇවිලවීම මේ කෙටි කවි වල සුවිශේෂත්වයයි.

දයාවෙන් ජීවත් වන්න
කැදලි තනන්න, සිහින දකින්න
මුවන්ට කැළැල් ඇති නොවන සේ

----

අප රැස් කරන ලද
ආලෝකය පමණක්
ශේෂ ව
අන් සියල්ල වියැකෙමින්

---

හිඳී කිසිවකු මා තුළ
මගේ කැමැත්තට එරෙහිව
මගෙම තර්කයට එරෙහිව

හැම කවියකටම ගැලපෙන සේ චයිෂෙව්ස්කි කවියා විසින් සිය කැමරාවට හසු කරගන්නා ලද කළු සුදු සේයාරුවක් ඇතුළත් කර තිබීම මේ ‘ගිනි පුළිඟු’ කෘතියට තවත් මානයක් එක් කරයි. කවි වලින් කියවන්නාගේ සිතේ ජනනය කරනු ලබන මායාමය බව මේ සේයා රූ වලින් තවත් තීව්ර කෙරේ.

මුලින් පෝලන්ත භාෂාවෙන් ලියවුණු මේ කවි ඉනික්බිති කතුවරයා සහ පෝලන්ත ජාතික කතුවරුන් කිහිපදෙනෙකු විසින් ඉංග්‍රීසි බසට හරවා කෘතියකට ගොනු කර ඇති අතර ඉහත කී ශ්‍රී ලාංකික පර්වර්තක කණ්ඩායමේ කැපවීම නිසා ඒවා දැන් සිංහල පාඨකයන්ට ද රස විඳීමට ඉඩ හසර සැලසී තිබේ. ඔවුන් විසින් මේ කවිවල රසයත්, ඒවායේ සාන්ද්‍ර ගුණයත් නොනසා සිදුකරන ලද මේ අපූරු පරිවර්තන කාර්යය අගය කළ යුතුය. ‘ගිනි පුළිඟු - කෙටි කවි’ කෘතිය එක් වරක් කියවා අවසන් කරනු ලබන පොතක් නොව, ළඟ තබාගෙන, වරින් වර කියවමින් රස විඳිය යුත්තක් බව එය කියවද්දී ඔබට පසක් වනු ඇත.

හෙල්මලී ගුණතිලක

ගිනි පුළිඟු- කෙටි කවි (2025)
ක්‍රිස්ටෝෆ් චයිෂෙව්ස්කිගේ ‘ෆයර්වර්ඩ්ස් -ටයිනි පොයම්ස්’ හි පරිවර්තනයක්
පරිවර්තනය අමා ඔවිනි අලුත්ගේ, වත්සලා කන්නන්ගර, ලවණ්‍යා විජේසේකර සහ මොහාන් ධර්මරත්න
සංස්කරණය මොහාන් ධර්මරත්න
සුභාවි ප්‍රකාශනයක්



February 24, 2026

එකේ පන්තියේ කතාවක්



එකේ පන්තියට ඉර එළිය වැටෙන්නේ අනිත් හැමතැනටම කළින්. ඒකට හේතුව ඉර එළිය පරක්කු දවසටත් හිනා කිචි බිචියෙන් එළිය අරගෙන පොඩ්ඩෝ ටික පන්තියට දුවගෙන එන නිසා. මේ එකේ පන්තිය භාර ටීචර් මිසිස් රොබර්ට්ස්. පන්තියේ පොඩ්ඩෝ ටික එයාට පණ ඇරලා. මිසිස් රොබර්ට්ස්ගේ ආදරේ නිසා මේ දරු දැරියෝ හැමෝම ඉස්කෝලේ එන්නේ හරි උනන්දුවෙන්. 

ඒත් හදිසියේම එක දවසක් උදේ පන්තියේ දොරකඩ ඉඳන් ළමයින්ව පිළිගන්න මිසිස් රොබර්ට්ස් හිටියේ නැහැ. ඒ වෙනුවට එතැන හිටියේ සර් කෙනෙක්, එයාගේ පෙනුමත් නුහුරුයි. එකේ පන්තියේ පොඩ්ඩෝ ටික පන්තියට නොගිහින් දොරකඩ රැඳුනා.

"ගුඩ් මෝනින්, මම මිස්ට විල්ෆර්ඩ්, අද මම තමයි ඔයාලගේ ටීචර්. මිසිස් රොබර්ට්ස් අසනීප වෙලා නිසා අදට විතරක් ඔයාලගේ පන්තිය බලාගන්නේ මම" ඒ සර් ලොකු හිනාවකින් කිව්වා.

ඒත් පොඩ්ඩෝ අතර කසු කුසුවක්. එක්කෙනා දෙන්නා තමන්ගේ ඩෙස්ක් වලට ගිහින් වාඩි වුණත් හැමෝගෙම ඇස් මිස්ටර් විල්ෆර්ඩ් දිහා ඇලවුණු ගමන්මයි තිබුණේ. මේකට හේතුව ඒ ගුරුවරයාගේ හමේ මේ පොඩ්ඩෝ කවදාවත් දැකලා නැති වෙනසක් තිබුණ එක. එයා විටිලයිගෝ එහෙම නැත්නම් සුදු කබර රෝගයට ගොදුරු වුණු කෙනෙක්. මේ පොඩ්ඩන්ට නම් මේක අමුතුම දසුනක් වුණා. 

එකේ පන්තියේ මේ කැළඹීම ගැන නොදැන මිස්ට විල්ෆර්ඩ් පන්තියේ නම් ලකුණු කරන්නයි ලෑස්තිය. ඒත් පන්තිය පුරාවටම අත් පහලවක් විස්සක් ඉස්සිලා. එහෙම තමයි මිසිස් රොබර්ට්ස් එයාලට කියලා දීලා තිබුණේ, ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් කෑ ගහන්න එපා, තමන්ට ඒ ප්‍රශ්නේ අහන්න වාරයක් ලැබෙනකම් අත උස්සාගෙන ඉන්න කියලා. 

"ආ මේ පන්තියේ ළමයින්ට උදේම ප්‍රශ්න ගොඩාක් තියෙනවා වගේ, මුලින්ම අපි නම් ලකුණු කරලා ඉමු නේද?" මිස්ට විල්ෆර්ඩ් එකේ පන්තියේ නම් ටික ලකුණු කරන්න පටන් ගත්තා. 

"හරි ඔයා අහන්න පළවෙනි ප්‍රශ්නේ" ඉන්පස්සේ මිස්ට විල්ෆර්ඩ් ඉස්සරහා පේළියෙ අත උස්සාගෙන ඉන්න ගෑනු ළමයෙක්ගෙන් පටන් ගත්තා.

"ඔයාගේ හමට මොකද වුණේ?" ජෙසී බොහොම ඍජුවම මිස්ට විල්ෆර්ඩ්ගෙන් ඇහුවා. ඒ එක්කම උඩට ඉස්සිලා තිබුණු ඉතුරු අත් ටික පහළට වැටුණා. අනිත් අයත් අහන්න ඉඳලා තියෙන්නේ ඒ ප්‍රශ්නේ!

මිස්ට විල්ෆර්ඩ් කලබල වුණේ නැහැ. එයාට පුංචි ළමයින්ගේ ඍජු ප්‍රශ්න පුරුදුයි. 

"බොහොම හොඳ ප්‍රශ්නයක්! මට තියෙන්නේ හමේ රෝගයක්. ඒකට විටිලයිගෝ කියලා කියන්නේ. ඒකෙන් වෙන්නේ හමේ තිබුණු පාට අඩුවෙලා මේ සුදු පාට වැඩි වෙන එක. මට ඒකෙන් කිසිම වේදනාවක් නැහැ. ඒ වගේම ඒක බෝ වෙන්නෙත් නැහැ"

මේක අහලා එකේ පන්තිය ටිකක් නිශ්ශබ්ද වුණා. හැමෝම මේ විස්තරේ තේරුම් ගන්න උත්සාහ කරමින් හිටියේ. 

තවත් අතක් උඩට ඉස්සුණා, ඒ ජමාල්.

"ඒකට ඔයා බේත් බොන්නේ නැද්ද, අපේ තාත්තා කියන්නේ ලෙඩ හොඳවෙන්න නම් බේත් බොන්න ඕන කියලා."

"ඔයාගේ තාත්තා හරි, බේත් බිව්වාම ගොඩාක් ලෙඩ හොඳ වෙනවා තමයි. ඒත් මේක නම් එහෙම බේත් බීලා හොඳ කරන්න අමාරු ලෙඩක්. ඒ වගේ ලෙඩත් මේ ලෝකේ තියෙනවා."

ඒ පාර නම් එකේ පන්තියේ පොඩි කසුකුසුවක් ගියා. බේත් බීලා හොඳ වෙන්නේ නැති ලෙඩ! එහෙම දේවල් ගැන මෙයාලා කළින් දැනගෙන හිටියේ නෑ.

ටික වෙලාවකින් තවත් අතක් උඩට ඉස්සුණා. ඒ කටකාර ඉසබෙලා.

"මිස්ටර් විල්ෆර්ඩ්, ඔයාගේ හම සුදු පාට වෙන ලෙඩේ බෝ වෙන්නේ නෑ කියලා ඔයා කිව්වාට, කොයිකටත් ඔයා අද අපේ පොත් අල්ලන්න එපා හොඳේ." එයා කිව්වා.

ඒක අහලා එකේ පන්තියේ ඉතුරු පොඩ්ඩෝ ටික උඩට ගත්ත හුස්ම පහළට නොදා බලාගෙන හිටියා. ගුරුවරයෙකුට තමන්ගේ පොත් අල්ලන්න එපා කියලා ළමයෙක් කියන එක! මිසිස් රොබර්ට්ස් හිටියා නම් ඉසබෙලාගේ මේ කතාවට මොනවා කියයිද!

හැබැයි මිස්ට විල්ෆර්ඩ් නම් ඉසබෙලාගේ ඒ කතාවෙන් කේන්ති ගත්ත බවක් පෙනුණේ නැහැ.

"මම පොරොන්දු වෙනවා මේක මගෙන් ඔයාලට බෝවෙන්නේ නැහැ කියලා. මට දැන් මේක හැදිලා අවුරුදු දහයක් විතර වෙනවා. ඒත් මාත් එක්ක එකම ගෙදර ඉන්න මගේ නෝනාත් දූලා දෙන්නත් තාම තනි පාටට ඉන්නවා!" එහෙම කියලා එයා හයියෙන් හිනාවුණා. "ඕගොල්ලන්ට මාව විශ්වාසයිද?"

මේකට නම් මුළු එකේ පන්තියෙන්ම හයියෙන් "ඔව්!" කියලා උත්තරයක් ලැබුණා.  

මිස්ට විල්ෆර්ඩ්ගේ හමේ පාටේ වෙනස ගැන එකේ පන්තියට තිබුණු ප්‍රශ්න විසඳුණු බවක් තමයි පෙනුණේ. ඒත් මිස්ට විල්ෆර්ඩ් දවසේ පාඩම පටන්ගන්න යද්දී එක පුංචි අතක් උඩට ඉස්සෙනවා දැක්කා. ඒ අසීෆ්. 

"මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ?" මිස්ට විල්ෆර්ඩ් ඇහුවා.

"මිස්ට විල්ෆර්ඩ්, මම හිතන්නේ ඔයා ගහක් වගේ" අසීෆ් තියුණු කටහඬකින් කීවේ පුංචි හිනාවක් එක්ක. 

"එහෙමද? ඒ මොකද ඔයාට එහෙම හිතුණේ?" මිස්ට විල්ෆර්ඩ් ඇහුවා.

"අර බලන්න පිට්ටනිය වටේ තියන ගම් ගස්. ඒවායේ කඳේත් ඔයාගේ හමේ වගේ පාට කීපයක මෝස්‌තර තියෙනවා, හරි ලස්සනයි. ඒ නිසා මම නම් හිතන්නේ ඔයා ගම් ගහක් වගේ!" අසීෆ් දිගටම කියාගෙන ගියා. 

අවුරුදු ගානක් තිස්සේ තමන්ගේ හම ගැන ඉස්කෝලවල ළමයින්ගෙන් එක එක විදිහේ කතන්දර අහලා ඒවාට හොඳට පුරුදුවෙලා හිටිය මිස්ට විල්ෆර්ඩ් මේ කතාව අහලා ටිකක් නිරුත්තර වුණා. 

අසීෆ් ළඟට ඇවිත් එයාගේ පුටුව ළඟ බිමට පහත්වුණු මිස්ට විල්ෆර්ඩ් "ඔයාගේ නම මොකක්ද පුතා?" කියලා ඇහුවා.

"අසීෆ්" අසීෆ් උත්තර දුන්නේ ඇස් දෙක ලොකු කරගෙන

"ඔයාගේ ඒ අදහසට බොහොම ස්තූතියි, අසීෆ්. මම ඊළඟ වතාවේ මගේ හමේ අසනීපෙ ගැන අනෙත් අයට කියද්දී ඔයා කීවා වගේ ගම් ගස් ගැනත් කියන්න ඕන. ඒවගේම ගම් ගහක් දකින හැම සැරයක්ම මට ඔයාව මතක් වෙයි. ස්තූතියි පුතා!" 

මෙහෙම කියලා ආයෙත් තමන්ගේ මේසය ළඟට යද්දී මිස්ට විල්ෆර්ඩ්ගේ ඇස් දෙකේ හීනි දිලිසුමක් තිබුණු බව එකේ පන්තියේ කවුරුවත්ම දැක්කේ නැහැ. 


(සත්‍ය කතාවක් ඇසුරින්)

AI picture


February 20, 2026

නොනිමි නරි කතා


ඉතින් ඒ නරියා මොන වගේද?
සුරංගනා කතාවක, රහස් ආයිත්තම් ඇඟ ලූ කුමාරයෙක් වගේ

ඌ මොනවාද හොයමින් හිටියේ?
තරු අතරින් තණබිමට වැටුණු හාවෙක්ව

ඌ හැඩට කොණ්ඩය පීරලා කුමාරයෙක් වගේ ඔටුන්නක් හිසලා හිටියාද?
නෑ, ඌ රළුයි, උරුලෑ ගඳකුත් තිබුණා, හැබැයි හරිම ලස්සනයි
අපිට ලස්සන අවතක්සේරු කරන්න බැහැනේ නේද?


ඉතින් ඔයා කාර් එක නැවැත්තුවා ද?
නෑ, මම යමින් උන් ගමන දිගටම ගියා, මට ඒ ගමන ගැන මතක නැහැ

එහෙනම් මොනවාද මතක?
නරියා ගැන, නරියා ගැන!

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'More of the Unfinishable Fox Story' by Mary Oliver

පසු සටහන- මම නරින්ට බොහොම කැමති කෙනෙක්නෙ. මෙල්බර්න් නගරයේ නරි හිටියාට අපිට උන්ව දකින්න වෙන්නේ පාර තොටේ වාහන වලට හැපිලා මැරිලා ඉන්දැද්දී තමයි. මෙයාලගේ මායාමය ලස්සන නිසා මම නිතරම නරි අඳිනවාත් එක්ක. මගේ ප්‍රියතම කිවිඳියක් වන Mary Oliverත් මං වගේම නරි ෆෑන් කෙනෙක් බව මම දැනගත්තේ මේ කවිය දැක්කාම!
මේක තමයි මේකේ මම කැමතිම කෑල්ල-

//එහෙනම් මොනවාද මතක? නරියා ගැන, නරියා ගැන!// 😅


image of fox sketched by hand

 

February 16, 2026

දාරක වියෝගයේ වේදනාව කටු තුඩින් ලියන අයියන්දේ - විදෙසක ලිවිසැරිය



මෙලොව කවර මවකට හෝ පියකුට වුව සිදු විය හැකි ලොකුම ඛේදවාචකය තමන්ගේ දරුවකු අහිමි වීම බවට විවාදයක් නැත. එය ඔවුන්ගේ මනසට කිසි දින සුව නොවන තුවාලයකි. ඉසබෙල් අයියන්දේ විසින් රචිත ‘ද වින්ඩ් නෝස් මයි නේම්’ නම් පොතට පදනම් වන්නේ දශක කිහිපයක් ඔස්සේ මෙලෙස එකිනෙකා අහිමි වූ දරුවන් සහ මවුපියන් කිහිප දෙනකුගේ එකට ඈඳුණු ජීවිත පිළිබඳ කතාවකි. 

“ලෙටීෂියා සතු වඩාත් බියකරු මතකය නම් රාත්‍රියක රියෝ ග්‍රන්දේ ගඟින් එතෙර වූ දිනයයි. එවේලේ ඇයගේ පියා රබර් ටියුබයක ආධාරයෙන් පා වෙද්දී, ඈ ලණුවකින් ඔහු වෙත ගැටගසා තිබිණි. ලෙටීෂියා එතෙක් පරිස්සම් කරගෙන තිබුණු, අඳුරේ පවා දිලිසෙන කුඩා කුරුසය සැඩ දියේ වැටී සැඟව ගියේ එදිනය. පසු කලෙකත් ඈ ඇතැම් රාත්‍රීන්වල බිය වී අවදි වූයේ ඒ බියකරු දිනයේ දැනුණු සීතල, ත්‍රාසය, අඳුර, නිහඬ බව, යාච්ඤා මිමිනුම් සහ ගං දියේ සැඩ රළ ළඟ ළඟම දැනීම නිසාය.” 

‘ද වින්ඩ් නෝස් මයි නේම්’ හි කතාන්දරය ගෙතෙන්නේ එකිනෙකාට කිසිම ඥාතිත්වයක් නැති සැමුවෙල්, ලෙටීෂියා සහ ඇනීටා වටාය. මේ තිදෙනාම තම ළමා අවධියේ විවිධ ආකාරයේ බිඳවැටීම්වලට ලක් වූ, විවිධ හේතු මත තම මවුපියන්ගෙන් වෙන් වීමට සිදු වුණු අයයි. ඒ හැම වෙන් වීමක්ම තමන්ගේ කිසිම වරදක් රහිතව, ඔවුන් කිසියම් ජාතියක්, ජන වර්ගයක් නියෝජනය කිරීම නිසා සිදු වූ ඒවාය. තනිකමේ සහ අසරණ බවේ පතුලක් නොපෙනෙන දුක ඔවුහු හොඳින් හඳුනිති. එමෙන්ම ඒ දුක් ජය ගැනීමේත්, ඊට අනෙකාට සවියක් වීමේත් ක්‍රම ඔවුහු ඉවෙන් මෙන් දනිති. මේ නිසා අවසානයේදී ඔවුන් එකිනෙකා වෙත බැඳෙන්නේ ලේ ඥාතිත්වයටත් වඩා සවිමත් බැම්මකිනි. 

“ඒ කතාබහ අතරතුරදී ඇති වූ දිගු විරාමයේදී ලෙටීෂියා කඳුළු පිසලන්නට වූ අතර, සැමුවෙල් තමන්ගේම අතීතය සිහියට නඟාගත්තේය. තම හදවතේ රහස් කුටියක සිර කර තිබුණු වේදනාත්මක මතක නැවත ඔහු වෙත වේගයෙන් ගලා එන්නට විය. ඒ කෑගැසීම්, දසත පැතිරුණු දුම්රොටු, තමන්ට දැනුණු බිය සහ දුම්රියපොළේදී තමාට සමු දුන්, ශෝකයෙන් පීඩිත තම මවගේ රුව ඔහුට යළි සිහි විය.”

අයියන්දේ මේ කතාව ඉදිරියට ගෙනයන්නේ එහි එක් එක් චරිතයේ දෘෂ්ටිකෝණයෙනි. මේ නිසා අවතැන් වීමේ පීඩාකාරි බව කොයි තරම් සංකීර්ණද යන බව මෙන්ම ඒ හැම කතාවකම හරය කොතරම් එකිනෙකට සමානද යන බව පෙන්වීමට ඈ සමත් වී තිබේ. මීට සමාන්තරව, මෙවැනි හඬක් නැති අවතැන් වූවන් වෙනුවෙන් කිසිම වාසියක් නොලබා, තම කාලය, ශ්‍රමය, ධනය කැප කර සටන් කරන කණ්ඩායම් ගැනත් ලේඛිකාව මේ කෘතියෙන් තතු මතු කරන්නීය. මේ අරමුණට කැප වූ විවිධ ස්වේච්ඡා ආයතනවල සාමාජිකයන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාත්, මූල්‍ය, නෛතික සහ සමාජීය දායකත්වය නිසාත් මේ පීඩිතයන්ගේ ජීවිත අංශුමාත්‍රිකව හෝ යහපත් අතට හැරෙන බව ඇය මේ කතාවෙන් පෙන්වයි. 

චිලී සම්භවයක් ඇති ඉසබෙල් අයියන්දේ 1942දී උපත ලැබුවේ පීරුහිදීය. ඈ පොත් 30කට ආසන්න ප්‍රමාණයක් ලියා ඇති අතර, ඒවා භාෂා 42කට පරිවර්තනය වී ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් ලබා තිබේ. සාහිත්‍ය ලෝකයට ඇයගෙන් ලැබුණු දායකත්වය වෙනුවෙන් අයියන්දේ ගෞරව ආචාර්ය පදවි පහළොවකින් පිදුම් ලබා තිබේ. ලිවීමට අමතරව ඈ මානව හිමිකම් සුරැකීමේ අරමුණ වෙනුවෙන්ද තම කාලය වෙන් කරන අතර, ඇය අරඹා ඇති මානවවාදි පදනම ලොව පුරා පීඩාවට පත් කාන්තාවන් සහ දැරියන් වෙනුවෙන් පෙනී සිටී.  

ඉසබෙල් අයියන්දේ තම පදනමේ කටයුතු ගැන පවසන මේ අදහසින් ඇයගේ ජීවන දර්ශනයත් ‘ද වින්ඩ් නෝස් මයි නේම්’ කතාවේ සාරයත් මැනවින් හුවා දැක්වේ:

“ඇතැම් විට අප සතුව ඇති සීමිත සම්පත්වලින් කළ හැකි දේ ක්ෂුද්‍ර වීම ගැන මම කම්පාවට පත් වෙමි. එහෙත් අප විසින් ලෝකය වෙත කරනු ලබන බලපෑම සංඛ්‍යාවලින් ගණනය කළ නොහැකි බව මගේ කණ්ඩායමේ සාමාජිකයෝ මට සිහිපත් කරති. අපගේ මෙහෙය මැනිය හැක්කේ ජීවිතවලිනි.”

හෙල්මලී ගුණතිලක

සිළුමිණ - විදෙසක ලිවිසැරිය 15.02.2026 

February 09, 2026

ටෙලිෆෝන් මතක


පහුගිය දවසක අපේ පුතාත්, ලොකු අක්කාගේ පුතාලත් ඇතුළු තරුණ ළමයි කීපදෙනෙක් එක්ක කතාබහක ඉන්දැද්දී 'ටෙලිෆෝන්' ගැන මාතෘකාව ආවා. මේ ළමයි නම් හොඳටම දැනගෙන හිටියේ මොබයිල් ෆෝන්ස් ගැන විතරයි. ලෑන්ඩ් ෆෝන්ස් වුණත් එයාලා දැනගෙන හිටියේ බොත්තම් ඔබන, ස්පීකර් දාන්න පුළුවන් වර්ගයේ ඒවා. පරණ ජාතියේ ඉලක්කම් කරකවන ෆෝන් එකක් අපේ ගෙදර තිබුණු බව තාත්තාත්, අක්කාත්, මාත් කීවම එයාලට හරි පුදුමයි. ඉතින් ඒ කතාබහෙන් තමයි මේ ටෙලිෆෝන් මතක සටහන මතු වුණේ.

අසූව දශකයේ මැද හරියේදී ලංකාවේ ගෙවල් වල ලෑන්ඩ් ෆෝන්ස් වැඩිය තිබුණේ නැහැ, ඒවා තිබුණේ ආයතන වල, පොස්ට් ඔෆිස් වල එහෙම තමයි. ඔය කාලේ අපේ ගෙදර තිබුණා අඳුරු කොල පාට, නොම්මර කරකවන ටෙලිෆෝන් එකක්. ඒක තියලා තිබුණේ ගෙදර ඉස්සරහම තිබුණු කන්තෝරු කාමරේ මේසයක් උඩ තියපු ලොකු ටෙලිෆෝන් ඩිරෙක්ට්‍රි එකක් උඩ. ඔය පොත පෙරළලා තමයි ඒ කාලේ කාගේ කාගේත් නොම්මර හොයාගත්තේ. මේ පොත බස්නාහිර පළාතට වෙනමම ද මුළු රටේම නොම්මර එක පොතක තිබුණා ද කියලා මට මේ වෙද්දී මතක නැහැ.

ඒ කාලේ ඉතින් වැඩිය කාටවත් ටෙලිෆෝන් නොතිබුණු නිසා අපිට නම් ඕක තිබ්බත් කතාකරන්න කෙනෙක් හිටියේත් නැහැ. තාත්තා ට නම් ඒකට රාජකාරී ඇමතුම් ආවා. ඕක ring වෙද්දී කුස්සියටත් ඇහුණා- එහෙමට සද්දයි. ඒ කාලේ ටෙලිෆෝන් answer කළේ වැඩිහිටියෝ විතරයි, ඒ තරම් වැදගත් තැනක් ගෙදර එකට ලැබුණා. ඒ වගේම තමයි ඒ කාලේ තමන් ඉන්න දුරකථන කලාපෙන් පිට කලාපයකට කෝල් එකක් ගන්නවා නම් 'එක්ස්චේන්ජ්' එකක් හරහා ගන්න සිදු වුණු එක. ඉතින් අපි පානදුර එක්ස්චේන්ජ් එකට කතාකරලා අපිට ඕන නොම්මරේ කියනවා. එතැන ඔපරේටර් ඒ නොම්මරේට කතාකරලා, අපිට ආයෙත් කෝල් කරලා 'මෙන්න ඔයාගේ කෝල් එක' කියලා සම්බන්ධ කරනවා. මේකට විනාඩි දහයක් පහලවක් යන්න පුළුවන්, ඉන්ස්ටන්ට් කෝල්ස් කියලා ජාතියක් තිබුණේ ළඟ පාතට විතරයි. මට මතකයි කළුබෝවිල හිටිය අපේ පුංචි අම්මාලගේ ගෙදරට අම්මලා ඒ විදිහට එක්ස්චේන්ජ් එක හරහා කෝල්ස් ගන්නවා. 

ඊට අමතරව අපේ ගෙදර තිබුණු ටෙලිෆෝන් එකෙන් පොඩි සමාජ මෙහෙවරකුත් වුණා. ඒ කාලේ අපේ පළාතේ තරුණයෝ එක එක තාක්ෂණික රස්සාවලට මැද පෙරදිග රටවලට යන්න පටන්ගෙන තිබුණ කාලේ. ඒත් එයාලගේ පෙම්වතියො හිටිය ලංකාවේ. ඉතින් මේ අයියලා අපේ ගෙවල් අහල පහල හිටිය එයාලගේ පෙම්වතියන්ට කෝල් කළේ අපේ ගෙදර ටෙලිෆෝන් එකට. ඒකත් කෝල්ස් දෙකකට තමයි සිද්ධ වුණේ. මුලින් කතාකරලා ෆෝන් එක ගන්න අම්මාට කියනවා 'ඇන්ටි, ලාලනී ට තව විනාඩි දහයකින් ඔහෙට ඇවිත් ඉන්න කියන්න පුලුවන්ද?' වගේ පණිවිඩයක්. ඊටපස්සේ විනාඩි දහයකින් ආයෙත් කතාකරනවා ලාලනී එක්ක කතාකරන බලාපොරොත්තුවෙන්. ඔය විනාඩි දහය ඇතුළත අහල පහල ගෙවල් වලට මේ පණිවිඩය අරගෙන යන රාජකාරිය පවුලේ බාලයා වශයෙන් මට තමයි පැවරුණේ. ඒ කාලේ වයස අවුරුදු දහයක් වගේ තරමේ හිටිය මට මේ පෙම්වතුන්ගේ කෝල්ස් වල තිබුණු වැදගත්කමක් ලොකුවට තේරුණේ නැහැ, හැබැයි මං එක පයින් මේ පණිවිඩ ගෙන යාම කළා.  

අනුන්ගේ ගෙදරකට ගිහින් තමන්ගේ පෙම්වතා එක්ක ටෙලිෆෝන් එකෙන් කතාකරන්න සිද්ධ වෙනවා කියන එක ඒ කාලේ මේ අක්කලාට මහා කරදරකාරී වැඩක් වෙන්න ඇති කියලා දැන් නම් හිතෙනවා. හැබැයි ඉතින් එයාලට කතාකරන්න තිබුණු එකම ක්‍රමයත් ඒකනේ. ෆෝන් එක තිබුණේ ගෙදර පොදු තැනක නෙමෙයි නිසා එයාලට ඒ කතාබහට උවමනා privacy එක නම් තිබුණා. හැබැයි ඉතින් සමහර දාට ඔය කෝල්ස් අතර පෙම්වතුන් ජෝඩුවගේ රණ්ඩුත් සිද්ධ වුණු බව මතකයි. ඒ බව අපි දැනගන්නේ අදාළ අක්කා කෝල් එක ඉවරවෙලා කඳුළු පිහදමමින් "තෑන්ක් යූ ඇන්ටි, ගිහින් එන්නම් නංගි" කියලා හැඬුම්බරව අපේ ගෙදර අයට කියද්දී. හැබැයි කියන්න සන්තෝසයි, මම එහෙම ටෙලිෆෝන් පණිවිඩ ගැන පණිවිඩ අරගෙන ගිය ඔක්කොම ජෝඩු කසාද බැඳලා දැන් දරු මුනුපුරොත් ඉන්නවා! 

දැන් තියන මොබයිල් ෆෝන්ස් අපට ඉස්සරට වැඩිය ප්‍රයෝජන බව, නැතිව බැරි බව ඇත්තයි. හැබැයි මට හිතෙන්නේ තිස්සෙම අත පාත තියෙන නිසා අපට ඒකෙ අගය අඩුයි කියලා. එක්ස්චේන්ජ් එකක් හරහා කතාකරලා, බලාගෙන ඉඳලා, දුරබැහැර ට කෝල්ස් ගන්න වුණා නම්, අපේ ආදරණීයෙකුගේ කටහඬ අහන්න අසල්වැසි ගෙදරකට ගිහින් බලාගෙන ඉන්න වුණා නම් සමහර විට අපට දැන් අපේ අතේ තියෙන මේ ක්ෂණික පණිවිඩ හුවමාරු උපකරණයේත් අගය වැඩි වැඩියෙන් දැනේවි!


Picture-AI 


February 02, 2026

ජෝජ් සහ රංජි



මගේ ඥාති සොයුරු ජෝජ්, නැවත වතාවක් අසල්වැසි නගරයේ මානසික රෝහලින් පැන ගොස් ඇතැයි මට ආරංචි වූ විට වැඩි කල් නොගොස් ඔහු මගේ දොරකඩ පෙනී සිටිනු ඇති බව මම දැන සිටියෙමි. සාමාන්‍යයෙන් මෙය සිදු වූයේ ක්‍රිකට් සමය ඇරඹීමත් සමඟ ය. ‘ප්‍රශ්නයක් නැහැ,’ මම කල්පනා කළෙමි. ‘මිනිහා ආවාම මම කෝච්චියේ දාගෙන ආයෙත් ඉස්පිරිතාලෙට අරගෙන යනවා’

ජෝජ් පහුගිය වසර කීපය පුරාවට කීප වතාවක්ම මේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් අතර ඔහු දරුණු පුද්ගලයෙකු නොවුණු නිසා ඔහුට එහි යම් තරමක නිදහසක් ලැබී තිබුණි. මේ නිසාම ඔහු ඉඳහිට ‘ටෙස්ට් තරඟයක’ ක්‍රීඩා කිරීමට රෝහලින් බැහැරට ගියේය. ජෝජ් සිතා සිටියේ තමන් නැපෝලියන් බව වත් ගෙන්ගිස් කාන් බව වත් නොව, ක්‍රිකට් ක්‍රීඩාවේ කුමාරයා ලෙස සැලකුණු ශ්‍රේෂ්ඨ රංජි නම් ක්‍රීඩා තරුව බවයි. මින් නොනැවතී තමන් ඉන්දියානු ක්‍රිකට් පිළේ නායකයා බවද ඔහු ඇදහුවේ සැබවින්ම රංජි  ක්‍රීඩා කළේ එංගලන්ත පිළ වෙනුවෙන් බව වත් නොසලකමිනි.

ඉතින් ජෝජ් මගේ දොරකඩ පෙනී සිටි විට ඔහු එක අතකින් ක්‍රිකට් පිත්තක් ද අනෙත් අතින් බෝල් ගාඩ් පැළඳුමක් ද රැගෙන සිටීම ගැන මා පුදුම වූයේ නැත.

“ඔයා ලෑස්ති නැද්ද?” ඔහු ඇසුවේය. “මැච් එක එකොළහට පටන්ගන්නවා”

දුම්රිය පිටත් වන්නේ එකොළහ පසු වී විනාඩි පහළවක් ගෙවුණු තැන බව සිහි වී මම මෙසේ කීවෙමි.

“තව ඕනෑ තරම් වෙලාව තියෙනවා, මම ලෑස්ති වෙනකම් ඇවිත් මොනවා හරි බොමු” 

ජෝජ් අසුන් ගෙන බියර් වීදුරුවක් ඉල්ලුවේය. මා ඔහුට එය ගෙනැවිත් දුන් විට ඔහු නොපමාව එය අසල වූ මීවන පැළයක් සහිත පෝච්චියට වත්කෙරුවේ “ඒකට තිබහ පාටයි” යැයි පවසමිනි. 

මා ඉක්මණින් සූදානම් වූයේ ඔහු මීළඟට වීදුරු ඩිකැන්ටරය සමඟ පිති හරඹ කරතැයි බියෙනි. ඉනික්බිති ඔහුගේ අත ගෙන නිවසින් පිටවූ මම රික්ෂෝවකට හඬ ගැසුවෙමි. 

“ස්ටේෂමට යමු,” මම රික්ෂෝ රියදුරුට රහසින් කීවෙමි. 

“ෆෙරෝස්ශා කොට්ලා,” ජෝජ් දිල්ලියේ ප්‍රසිද්ධ ක්‍රිකට් පිටියේ නම හඬ නඟා කීවේය. 

යා යුතු තැන මඟදී හෝ රියදුරු ට පැහැදිලි කිරීමේ අදහසින් මම ජෝජ් ව රික්ෂෝවට නංවා ගත්තෙමි. 

“ස්ටේෂමටයි යන්න ඕන” මඟදී මම තරමක් හඬ නඟා කීවෙමි.

“කොට්ලා” මගේ ඥාති සොයුරු එවැනිම තානයකින් ස්ථිරව පැවසීය.

රික්ෂෝ රියදුරු ක්‍රිකට් පිටිය වෙත එක එල්ලේම ධාවනය කරන්නට විය. බැලූ බැල්මට මා කී දේට වඩා ජෝජ් කී දේ ඔහු වෙත වැඩි බලපෑමක් කර ඇති බවක් පෙනුණි.

“මේ බලනවා,” මම ඔහුගේ උරහිසට තට්ටු කරමින් පැවසීය. “මේ මගේ නෑදෑ වෙන කෙනෙක්, එයාගේ ඔලුව හොඳ නැහැ. එයා මේ එහෙම අයට බෙහෙත් කරන ඉස්පිරිතාලයකින් පැනලා ඇවිත් තියෙන්නේ. අද දවස ඇතුළත මම මිනිහාව ආයෙත් එතනට බාර දෙන්න නම් අපි එකොළහයි කාලේ කෝච්චිය අල්ලා ගන්න ඕන.”

රික්ෂෝ රියදුරු ධාවනය බාල කර ජෝජ් දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට විය. ජෝජ් ඔහු වෙත උද්යෝගීමත් සිනාවක් පා, මා පෙන්වා තම නළලට ඇඟිල්ලෙන් තට්ටු කළේය. රියදුරු අනුකම්පාවෙන් හිස වනා, ක්‍රිකට් පිටිය වෙත නොකඩවා රික්ෂෝව ධාවනය කරන්නට විය. 

උමතු බවත් ප්‍රකෘති සිහියත් අතර වෙනස සියුම් බව මා කවදත් විශ්වාස කළ නමුත් එය මෙතරම් සියුම් යැයි කෙදිනකවත් සිතා තිබුණේ නැත. අන්තිමේදී කරදරේ වැටුණේ මායි! සැබවින්ම උමතුවෙන් පසුවූයේ ජෝජ් ද, මා ද, රියදුරු ද?

මේ වෙද්දී අපි ක්‍රීඩා පිටිය වෙත එළඹෙමින් සිටියෙමු. දවසක් පුරාවටම ක්‍රිකට් ක්‍රීඩාව නරඹන ජෝජ් ව බලාගැනීමට මගේ කිසිම අදහසක් තිබුණේ නැත. ඒ තරඟ කෙතරම් ඒකාකාරී වූවත් ඔහු ඒවා අතරේදී බෙහෙවින් උනන්දුවටත්, කලබලයටත් පත් වෙයි. වරක් ඔහු පිටිය වටා වූ බාධක මතින් පැන තම පිත්ත ද රැගෙන විකට්ටුව වෙත ගොස් තිබුණේ තුන් වන පිතිකරු ලෙස (මෙය රංජි ගේ ප්‍රියතම ප්‍රවේශය ලු) තරඟ කිරීමේ අදහසිනි. මෙදින ජෝජ්ව පිටියෙන් ඉවතට කැඳවාගෙන යන්නට උත්සාහ කළ තරඟ විනිසුරුට ඔහු පහරදී තිබිණි. තවත් අවස්ථාවක ඔහු පිටිය හරහා දිව ගොස් තිබුනේ බෝල් ගාඩ් පැළඳුමෙන් පමණක් සැරසීගෙනයි. 

එදින නම් රික්ෂෝවේ ගමන බාල වෙද්දී ඉන් බිමට පැන ඉවතට දිවගොස්, රියදුරුට නියම ත්‍රාසයක් දුන්නේ මායි. ජෝජ් සතුව මුදල් තිබුණේද, එදින රියදුරු ට ගෙවීමක් සිදුවුණි ද යන වග මට කිසි දිනක දැන ගන්නට ලැබුණේ නැත. සාමාන්‍යයෙන් රික්ෂෝ රියදුරන් දරුණු ජන කොටසක් බවට ප්‍රචලිත නමුත් මානසික රෝගීන් ද එවැනිම අය බවට විශ්වාසයක් පවතී. කෙසේ වෙතත් මේ සිද්ධිය ගැන පසු කලෙක ජෝජ් ට මතක තිබුණු බවක් පෙනෙන්නට තිබුණේ ද නැත. 

මීට දින තුනකට පසු මට මානසික රෝහලින් පණිවිඩයක් ලැබුණේ ජෝජ් විසින්ම නැවත එහි පැමිණ ඇති බව කියමිනි. එසේ පැමිණෙද්දී තමන් ශතකයක් ගැසූ බවට ඔහු පාරම්බාමින් සිටි නිසා ඔහු යම් ආකාරයකට ඒ ක්‍රිකට් තරඟයට සම්බන්ධ වූවා ද විය හැක.

ජෝජ් දරුණු මිනිසකු නොවූවත්, අදටත් මට ඒ රික්ෂෝ රියදුරු ගැන නම් යම් සැකයක් පවතින්නේ මා නැවත කිසි දිනක ඔහු ව දිල්ලියේදී නොදුටු බැවිණි. ඔහු වෙනත් ප්‍රදේශයකට පදිංචියට නොගියේ නම් ඔහුගේ මේ අතුරුදන්වීම ජෝජ් ගේ රික්ෂෝ ගමන සමඟ සම්බන්ධයක් ඇති බව මගේ අදහසයි. කොහොමත් කොට්ලා ක්‍රීඩාංගනය පිහිටා ඇත්තේ යමුනා ගංගාව ආසන්නයේම ය.


 පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of the story George and Ranji by Ruskin Bond

Picture- Gemini


January 20, 2026

ජීවත් වීමේ ක්‍රමය




මා ජීවත් විය යුත්තේ කෙසේදැයි
මම පර්සිගෙන් විමසමි

ආදරය, ආදරය, ආදරය පර්සි කියයි
අනික
දිලිසෙන වෙරළේ, සුන්බුන් අතරින් සහ දූවිල්ල මැදින්
නිතරම ඉක්මන් ගමනින් යෑම
ඉනික්බිති නිදා ගැනීම

ඔබගේ සිරුර
උණුසුමටත්, ගැහෙන හදටත් බාර දීම
තව,
විශ්වාස කිරීම

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem I Ask Percy How I Should Live My Life by Mary Oliver

Digital art

January 12, 2026

මකර චිත්‍ර

 මකරෙක් වුණත් පොතක් පතක් කියෝගෙන ඉන්ඩෝන! 😎


watercolour pencil art


January 04, 2026

ලාම්පුතෙල් ගඳ



පිටතින් ඇසුණු අශ්ව හේෂාරාවය හැඳිනූ ගුලේරි නිවසින් පිටතට දිව්වාය. එහි සිටියේ තම පියාගේ ගම්මානයෙන් පැමිණි වෙළඹයි. ඈ ආදරයෙන් උගේ ගෙල වැළඳගත්තේ ඒ තම මහගෙදර දොරටුවයැයි  සලකමින් මෙනි.

ගුලේරි ගේ දෙමාපියන් වාසය කළේ චම්බා නම් ගම්මානයෙහි ය. උස් බිමක වූ ඇගේ සැමියාගේ ගම්මානයේ සිට විහිදුණු මාර්ගය එක්තරා වංගුවකින් පසු තද බෑවුමකින් යුක්ත විය. මෙතැන සිට ඒ මඟ යන එන්නන් ගේ දෙපා පාමුළ සිට බොහෝ ඈතකින් චම්බා ගම්මානය දිස් වේ. ගුලේරි ට තම උපන් ගම සිහි වී පාළුවක් දැනුණු වෙලාවල දී ඈ තම සැමියා වන මනක් ද රැගෙන මේ බෑවුම ඇරඹෙන තැනට යන්නීය. හිරු එළිය වැටී දුර ගම්මානයේ නිවෙස් දිලිසෙනු දකින ඈ ආපිට එන්නේ ආඩම්බරයෙන් තම හදවත පුරවා ගනිමිනි. 

සෑම වර්ෂයකම, අස්වනු නෙලා අවසන් වූ පසු ගුලේරි ට තම දෙමව්පියන් සමඟ දින කිහිපයක් ගත කිරීමට අවසර ලැබුණි. ඈ ව චම්බා වෙත ආපිට කැඳවාගෙන එන්නට ඔවුහු ලකරමන්දී වෙත කවුරුන් හෝ යැව්වෝය. විවාහයෙන් පසු චම්බාවෙන් පිටත විසු ඇගේ මිතුරියන් දෙදෙනෙකු ද මේ කාලයේදී තම නිවෙස් බලා පැමිණි අතර මේ තරුණියන් ඇඟිලි ගනිමින් සිටියේ මේ වාර්ෂික හමුවීමේදී තම දුක සතුට බෙදා ගැනීමටයි. එම කාලයේදී ඔවුන් ගමන් බිමන් ගියේ එකටයි. චම්බා හි අස්වනු මංගල්ලය යෙදුණේ ද මේ කාලයේ බැවින් ඔවුහු ඒ වෙනුවෙන් අලුත් ඇඳුම් සකසා ගත්හ. උත්සවය වෙනුවෙන් තම දුපත්තා සාළු විවිධ වර්ණ ගන්වා, කැඳ දමා, දිලිසුම වෙනුවෙන් මයිකා කුඩු ඉසින ඔවුහු වීදුරු වළලු සහ රිදී තෝඩු ද මිළදී ගත්හ. 

අස්වනු කාලය එළඹෙන තුරු ගුලේරි නිරතුරුවම ඇඟිලි ගැන්නා ය. ශරතයේ සුළඟින් මෝසම් වළාකුළු එළි පෙහෙළි වෙද්දී ඈ ට වෙන කිසි දෙයක් ගැන සිතන්නට වේලාවක් නොවී ය. හරකුන්ට කෑම දෙමින්, තම සැමියාගේ දෙමාපියන්ට කෑම පිසිමින් එදිනෙදා කටයුතු වල නියැලුණු ඈ, ඉනික්බිති කාලය ගත කළේ තමන් ව කැඳවා යන්නට චම්බා වෙතින් කවුරුන් හෝ පැමිණෙන්නට තව කොයිතරම් කාලයක් ගතවේදැයි සිතන්නටයි. 

ඉතින්, මෙවරත් ඇගේ වාර්ෂික ගමනට කාලය එළැඹි තිබිණි. ඈ තමා කැඳවාගෙන යාමට ආ වෙළඹ ව ආදරයෙන් අත ගා, තම පියාගේ සේවකයකු වූ නාතු ව පිළිගෙන, පසු දින ගමන ට සූදානම් වූවා ය. මේ ගමන ගැන අගේ සතුට වදනින් විස්තර කිරීම අවශ්‍ය වූයේ නැත, එය ඇගේ මුහුණින් පැහැදිලි ව දිස් විය. ඇගේ සැමියා දුම් උරමින්, තම දෑස වසාගත්වනම පසුවිය. එක්කෝ ඔහු දුම්කොළට අකමැති බවක්, එසේ නොමැති නම් ඔහුට තම බිරිඳට මුහුණ දීමට නොහැකි බවක් පෙනුණි. 

“ඔයා එනවා නේද චම්බා වල අස්වනු මංගල්ලෙට? එක දවසකට හරි එන්න හොඳේ,” ඈ බැගෑපත් වූවාය. 

මනක් තම දුම් පයිප්පය පසෙකින් තැබුවත් ඊට පිළිතුරු දුන්නේ නැත. 

“ඇයි ඔයා උත්තර දෙන්නේ නැත්තේ?” ඈ තරමක් නොරිස්සුමින් විමසුවාය. “මම දෙයක් කියන්නද?”

“මම දන්නවා ඔයා කියන්න යන දේ, ඔයා අම්මලා බලන්න යන්නේ අවුරුද්දට සැරයයි කියලානේ කියන්න හදන්නේ. මේ තරම් කාලෙකට කවුරුවත් ඔයාව නැවැත්තුවේ නැහැනේ.” 

“එහෙනම් දැන් ඇයි මාව නවත්තන්න හදන්නේ?” 

“මේ වතාවේ විතරක් ඔය ගමන නොගිහින් ඉන්න,” ඔහු බැගෑපත් වූයේය.

“ඔයාගේ අම්මා කිසි දෙයක් කීවේ නැහැනේ, ඉතින් ඔයා මොකද මට බාධා කරන්නේ?” ගුලේරි කුඩා දැරියකු සේ මුරණ්ඩු වෙමින් ඇසුවාය.

“අපේ අම්මා..” මනක් යමක් කියන්නට ඇරඹුවත් ඒ වාක්‍යය අවසන් කළේ නැත. 

අන්තිමේදී ගුලේරි කාලයක් තිස්සේ අපේක්ෂාවෙන් උන් දිනය එළඹිණි. ඈ අරුණෝදයට පෙරාතුවම ගමනට සූදානම් වී සිටියාය. ඇයට දරුවන් නොවූ බැවින් ඔවුන් ව දමා යාමේ හෝ ඈ හා රැගෙන යාමේ ගැටළු පැන නැඟුණේ නැත. නාතු වෙළඹ ගේ සෑදලය සකස් කරද්දී ඈ මනක්ගේ දෙමව්පියන්ගෙන් සමුගත්තා ය. ඔවුහු ඇගේ හිස අතගා ඇයට ආශීර්වාද කළ හ. 

“මම මඟක් දුරට ඔයා එක්ක එන්නම්,” මනක් කීවේය. 

ඔවුන් පිටත් වෙද්දී සතුටින් පසු වූ ගුලේරි, මනක් ගේ බටනලාව ඇගේ දුපත්තා සාළුව අස්සේ සඟවා ගත්තා ය. කජ්ජාර් ගම්මානය පසු වූ පසු මාර්ගය ඍජුවම බෑවුම් වූයේ චම්බා වෙතටයි. ඒ ඉසව්වේදී ඈ සඟවාගෙන සිටි බටනලාව පිටතට ගෙන ඔහුට දුන්නා ය. 

“තාලයක් පිඹින්නකෝ,” ඇය ඔහුගේ අත අල්ලා ඉල්ලා සිටි නමුත් තම සිතිවිලි වල අතරමං වී සිටි ඔහු ඊට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. 

“ඇයි ඔයා බටනලාව පිඹින්නේ නැත්තේ?” 

දුක්මුසු ව ඈ දෙස බැලූ ඔහු බටනලාව දෙතොලට තබා වේදනාකාරී අඳෝනාවක් වැයුවේ ය. 

“ගුලේරි, අනේ යන්න එපා,” ඔහු බැගෑපත් ව ඉල්ලා සිටියේය. “මම ආයෙමත් වතාවක් ඉල්ලනවා, මේ වතාවේ යන්න එපා.” තවදුරටත් කතාකරගනු නොහැකිව ඔහු බටනලාව ඈ අත තැබීය. 

“ඉතින් ඇයි ඒ?” ඈ ඇසුවාය. “ඔයා එන්න මා එක්ක, මම පොරොන්දු වෙනවා ඉන්පස්සේ අපි දෙන්නට එකට ආපිට එන්න පුළුවන්” 

මනක් නැවත ඇයට නවතින්නයැයි ඉල්ලීමක් කළේ නැත. 

ඔවුන් මාවත අද්දර නතර වූ වේලාවේදී නාතු, වෙළඹ ව මඳක් ඉදිරියට අරගෙන ගියේ ඔවුන් දෙදෙනාට තනිවන්නට ඉඩ හරිමිනි. මීට සත් වසරකට පෙර තමන් තම මිතුරන් රංචුවක් සමඟ චම්බා හි අස්වනු මංගල්ලයට ගියේ මේ පාරෙන් ම බව මනක් ට සිහි විය. ඔහුට ගුලේරි ව මුණගැසුණේත්, ඔවුන්ගේ හදවත් බැඳුණේත් ඒ උත්සවයේදී යි. 

“ඔයා නොපැහුණු බඩ ඉරිඟු කරලක් වගේ කිරි පාටයි,” එදා ඈ සමඟ තනි වන්නට ඉඩ ලැබුණු විට ඔහු කීවේය. 

“අමු බඩ ඉරිඟු කන්නේ හරක් නේ,” ඈ තම අත වැරෙන් ඔහු වෙතින් මුදා ගනිමින් කීවාය. “මිනිස්සු නම් බඩ ඉරිඟු කන්නේ පුළුස්සලා. ඔයාට මාව ඕන නම් ගිහින් අපේ තාත්තාගෙන් අවසර ඉල්ලන්න.”

මනමාලියක් කැන්දාගෙන ඒමේදීම ඇයට නියමිත මිළ ගෙවා දැමීම මනක් ගේ පරම්පරාවේ සිරිත විය. මනක් කැළඹුමෙන් පසු වූයේ ගුලේරි ගේ පියා ඇය වෙනුවෙන් කෙතරම් මිළක් නියම කරනු ඇත්දැයි නොදැන සිටි බැවිනි. නමුත් ගුලේරි ගේ පියා නගරබද ව පවා වාසය කර තිබුණු, අත මිට සරු පුද්ගලයෙකු වූ බැවින් තම දියණිය වෙනුවෙන් මුදලක් අය නොකරන්නත්, හොඳ පවුලක පිරිමියෙකුට ඈ ව දෙන්නත් පෙර සිට ඉටාගෙන තිබිණි. මනක් මේ අවශ්‍යතාවය සම්පූර්ණ කළ බව ඔහුට හැඟුණු අතර වැඩි කල් නොයවා ඒ විවාහය සිදු කෙරිණි. අතීත මතකයන් අතරේ කිමිදෙමින් උන් මනක් නැවතත් පියවි සිහියට එළඹුණේ ගුලේරි තම උර මත අත තැබූ විටයි. 

“මොනවද කල්පනා කරන්නේ?”

ඔහු පිළිතුරු දුන්නේ නැත. වෙළඹ නොඉවසිල්ලෙන් හේෂාරාවය කළ අතර ගුලේරි යන්නට නැගිට්ටාය. 

“ඔයා දන්නවාද මෙතැන ඉඳන් හැතැප්මක් දෙකක් ගියාම තියෙන බ්ලූ බෙල් කැලය?” ඇය ඇසුවාය. “කතාවක් තියෙනවා ඒක හරහා යන අය බීරි වෙනවා කියලා. අද ඔයාත් ඒ පැත්තෙන් ඇවිල්ලා වගේ, මම කියන කිසිදෙයක් ඇහෙන්නේ නැහැ.”

“ඔයා හරි ගුලේරි, ඔයා කියන කිසි දෙයක් මට ඇහෙන්නේ නැහැ,” මනක් සුසුමක් හෙලුවේ ය. 

ඔවුහු මොහොතක් එකිනෙකා දෙස බලාගත්වනම පසු වූහ. දෙදෙනාටම අනෙකාගේ සිතේ වූ කිසි දෙයක් වැටහුණේ නැත. 

“මම දැන් යන්නම්” ගුලේරි මෘදු ලෙස කීවාය. “ඔයාත් ආපිට යන්න, ගෙදර ඉඳන් බොහොම දුරක් ඇවිල්ලා නේ.”

“ඔයාත් දිගටම පයින් නේ ආවේ, දැන් ඉතුරු ටික වෙළඹ පිටේ යන්න,” මනක් පිළිතුරු දුන්නේය.

“මෙන්න ඔයාගේ බට නලාව”

“ඔයා ඒක තියාගන්න.”

“උත්සවේ අන්තිම දවසේ ඇවිත් මට ඇහෙන්න බටනලාව පිඹිනවා ද?” ඈ සිනාසෙමින් ඇසුවා ය. ඇගේ දෑස හිරු එළිය සේ දීප්තිමත් ව දැල්විණි. මනක් ඉවත බලාගත්තේය. ව්‍යාකූල සිතින් ගුලේරි චම්බා බලා පිටත් වූ අතර මනක් ආපිට හැරී නිවස වෙත පැමිණියේය.

පිළට ගොඩ වූ ඔහු හිස් බැල්මෙන් යුතුව එහි ලණු ඇඳ මත හිඳ ගත්තේය. 

“උඹ ගිහින් සෑහෙන වෙලාවක් ගත වුණානේ, චම්බා වලටම ගියාද?” ඔහුගේ මව විමසුවාය.

“නැහැ කන්ද මුදුනට විතරයි ගියේ.” මනක් පිළිතුරු දෙද්දී ඔහුගේ කටහඬ ශෝකයෙන් බර වී තිබිණි. 

“මොකද උඹ වයසක ගෑනියෙක් වගේ කෙඳිරිගාන්නේ, පිරිමියෙක් වෙයන්!” ඔහුගේ මව තදින් කීවාය.

“උඹත් ගෑනියෙක් නේ, උඹට බැරිද ඉඳ හිටවත් ගෑනියෙක් වගේ අඬන්න?” යැයි ඇගෙන් අසන්නට සිතුණත් ඔහු නිහඬවම පසුවිය. 

මනක් සහ ගුලේරි විවාහ වී සත් වසක් ගත වූවත් ඇයට දරුවෙකු නොලැබුණු බැවින් මේ තත්ත්වය අටවෙනි වසරක් දක්වා ගෙන නොයාමට මනක් ගේ මව රහසින් ප්‍රතිඥා දී තිබිණි. මේ වසරේදී ඇගේ ඒ තීරණය අනුව ඈ මනක් ට දෙවෙනි බිරිඳක් ගෙන ඒමට රුපියල් පන්සීයක් වැය කර තිබුණු අතර අලුත් මනමාලිය කැඳවාගෙන ඒමට ඈ බලා සිටියේ ගුලේරි තම මව්පියන් බලන්නට ගොස් සිටි මේ වකවානුවයි. මේ බව මනක් ද දැන සිටියේය. මවටත්, චාරිත්‍රයටත් කීකරු වෙමින් මනක් ගේ සිරුර අලුත් බිරිඳ වෙත ප්‍රතිචාර දැක්වූවත් ඔහුගේ හදවත ගල් වී තිබිණි. 

එක් උදෑසනක ඔහු පිලේ හිඳ දුම් උරමින් සිටියදී ඔහුගේ පැරණි මිතුරෙකු ඒ අසලින් ගමන් ගත්තේය. 

“ආ භවානි, කොහෙද මේ උදේ පාන්දරම යන්නේ?”

භවානි එය අසා නැවතුණි. ඔහුගේ උර මත කුඩා පොට්ටනියක් විය. 

“කොහෙවත් නැහැ,” ඔහු මනක්ගේ දෑස මඟ හරිමින් කීවේය. 

“නෑ කිව්වාට කොහේ හරි යන පාටයි, ගෙට ගොඩවෙලා යන්න එනවා ද?”

භවානි පිලේ ඇන තබාගෙන මනක් වෙතින් දුම් පයිප්පය ගත්තේය. 

“මම අස්වනු මංගල්ලෙට චම්බා යනවා.” ඔහු අන්තිමේදී කීවේය. 

ඔහුගේ වචන ඉඳිකටු තුඩක් මෙන් මනක් ගේ හදවත පසාරු කරන්නට සමත් විය. 

“අද ද ඒ උත්සවේ?”

“හැම අවුරුද්දෙම එකම දවසේනේ ඒක තියෙන්නේ,” භවානි උපහාසයෙන් පිළිතුරු දුන්නේ ය. “ඇයි උඹට මතක නැද්ද මීට අවුරුදු හතකට ඉස්සෙල්ලා අපි කට්ටියක් එකතුවෙලා ඔය ගමන ගියා?” ඔහු මීට වැඩි දෙයක් නොකීවත් ඒ වදන්වල ගැබ් වූ චෝදනාව මනක් ට හොඳින් වැටහුණු අතර ඔහුට අපහසුවක් දැනුණි. භවානි දුම් පයිප්පය පසෙක තබා තම පොට්ටනිය අතට ගත්තේය. ඔහුගේ බටනලාව ඉන් පිටතට දිස් විය. භවානි නොපෙනී යන තුරු මනක් ගේ දෑස් රැඳී තිබුණේ ඒ බටනලාව වෙතයි. 

ඊට පසු දින මනක් කුඹුරේ සිටිද්දී භවානි ආපසු එනු දුටුවේය. ඔහු ඉක්මනින් ඉවත බලාගත්තේ අස්වනු මංගල්ලය ගැන කිසිවක් දැනගැනීමට ඔහුට උවමනාවක් නොතිබුණු බැවිනි. නමුත් භවානි ඔහු ව සොයා විත් ඔහු ඉදිරිපසින් හිඳ ගත්තේය. ඔහුගේ මුහුණ වේදනාවෙන් අළු පැහැ ව ගොස් තිබිණි.

“ගුලේරි මැරිලා,” භවානි හැඟීම් රහිත ව කීය.

“මොකක්?”

“උඹ තව කසාදයක් කරගත්තා කියලා ආරංචි උනාම ඒකි ඇඟේ ලාම්පුතෙල් හලාගෙන ගිනි තියාගෙන.”

වේදනාවෙන් ගොළු වූ මනක් ට තම ජීවිතය ද දැවී අළු වී යන බවක් දැනුණි. 

කාලය ගත විය. මනක් නැවතත් කුඹුරු වැඩ ඇරඹීය. ඔහු වෙත ආහාර පිළිගැන්වුණු විට ඔහු ඒවා අනුභව කළේ ය. නමුත් ඔහුගෙන් දිස් වූයේ මළ මිනියක පෙනුමකි. ඔහුගේ දෑස හිස් වී, මුහුණ හැඟීම් විරහිත ව ගොස් තිබිණි. 

“මම එයාගේ බිරිඳ නෙමෙයි,” ඔහුගේ බිරිඳ ගතු කීවා ය. “එයා මාව කසාද බැඳලා විතරයි.” 

එහෙත් වැඩි කල් යාමට මත්තෙන් ඈ ගැබ් ගත් බැවින් මනක් ගේ මව අලුත් ලේලිය ගැන සතුටු වූවා ය. ඈ ඒ ආරංචිය ගැන මනක් ට කී විට ඔහු බලා සිටියේ ඒ කිසිවක් නොවැටහුණු ලෙසිනි. ඔහුගේ දෑස හිස් ව ම පැවතිණි. මනක් ගේ මේ ගතිගුණ ටික කලකට ඉවසන මෙන් ඔහුගේ මව සිය ලේලියගෙන් ඉල්ලා සිටියාය. අලුත උපන් දරුවා තම පියා වෙතට දුන් විට මනක් වෙනස් වන බවට ඇයගේ විශ්වාසය විය.

නොබෝ දිනකින් ඇගේ ප්‍රාර්ථනය ඉටු වෙමින් මනක් ගේ බිරිඳ පුතෙකු බිහි කළා ය. සතුටින් ඉපිලෙමින් උන් ඔහුගේ මව බිළිඳා නහවා, අලුත් ඇඳුම් අන්දවා මනක් ගේ උකුලෙන් තැබුවේය. ඔහු කිසිත් නොවැටහුණු ලෙසින් බොහෝ වෙලාවක් දරුවා දෙස බලා සිටියේ හැඟීම් විරහිත මුහුණෙනි. හදිසියේම ඔහුගේ හිස් දෑස ත්‍රාසයෙන් පිරුණි.

“මූව අයින් කරපියව්..අයින් කරපියව්..” ඔහු උමතුවෙන් කෑ ගසන්නට විය. “මූ ළඟ ලාම්පුතෙල් ගඳයි!”

පරිවර්තනය හෙල්මලී ගුණතිලක 

Translation of the short story 'The Stench of Kerosene' by Amrita Pritam

Picture- Gemini