October 22, 2023

සාරි කතා (ශනිදා දහයට)

මේක ශනිදාවට සාරි කතාවක්.

මම මුලින්ම සාරි ඇන්දේ ඉස්කෝලේ සෝෂල් එකට. එතකොට වයස දහ අටක් විතර ඇති. ඒකාලේ fashion එක two colour cotton සාරි සහ cowl හැට්ට අත. නුහුරට සාරි ඇඳන් පේළියට හිටගෙන ගත්ත ඒ කාලේ පින්තුර මතක ඇතිව දැන් හංගලා තියෙන්නේ .

ඊටපස්සේ කැම්පස් යද්දී අපේ බෝඩිමේ රූමියෙක් හදිසියේම සෙකන්ඩ් ඉයර් එකේදී බැන්ද නිසා ආයෙත් සාරි අඳින්න වුණා. ඒ කාලේ ඉතින් හෝ ගාලා සාරි දෙකක් වගේ තමයි සන්තකේට තිබ්බේ. ඒ මගුල් ගෙදර ගැන මතක තියෙන්නේ දවසම සාරිය නොවැටී තබාගැනීමේ දුෂ්කර ක්‍රියාව. එදා ගත්ත පින්තූරත් අර කලින් පින්තූර එක්කම හංගලා තියෙනවා. අක්කලාගේ මඟුල් ගෙවල් වලට ඇන්ද නිසා ඊටපස්සේ සාරි ඇඳීමේ පොඩි හැකියාවක් මතු වුණා. මේ කාලේ වෙද්දී වැඩ දාපු ටිෂූ සාරි කරලියට ආව බව මතකයි. මේවාට ඇන්දේ වාටිවලට පබළු ඇල්ලුව හැට්ට. ඒ කාලේ බොහොම කෙට්ටුවට හිටිය අපි වගේ ගෑනු ළමයි අතරේ මේ ටිෂූ සාරි ජනප්‍රිය වුණේ ඒවා ඇන්දාම 'මහතට පේන' නිසා. එහෙම අරමුණකින් ඇඳුමක් ඇන්ද කාලයක් ගැන දැන් නම් හිතාගන්නත් බැහැ!

convocation එකට අඳින්න අම්මා අරන් දුන්න සාරිය තාම මගේ ළඟ තියෙනවා. ඒකත් beige and jade cotton සාරියක්.  ඒ කාලේ වෙද්දී යන්තම් සාරි දෙකක් තුනක් අයිතිය තිබ්බ මට බොහොම ඉක්මණින් ජීවිතේම සාරි බවට පත්වුණේ නොහිතුව විදිහට. කැම්පස් එකෙන් පිටවෙලා ටික කලකින් ලංකාවේ ප්‍රසිද්ධ ආයතන ජාලයක කොළඹට කිට්ටු ශාඛාවක මට රස්සාවක් ලැබුණා. මේ සතියේ ඉන්ටවීව් තිබිලා ලබන සතියේ ඉඳන් 'සාරි ඇඳන්' වැඩට එන්න කියපු රස්සාවක් ඒක. ඒ නිසා මට ඒ වෙනුවෙන් එකසැරේ සාරි දහයක් දොළහක් ගන්න සිද්ධ වුණා. ඒ දවස්වල අම්මා දිවා රෑ මට හැට්ට මැහුව බව මතකයි. ඉන්පස්සේ එළඹුණේ රෑට සාරි මදින, පාන්දර සාරි අඳින, සති අන්තවල සාරි හෝදන, වත්ත පුරා රෙදි වැල් බැඳලා සාරි වේලන කාලයක්. ඒ කාලෙත් මම ඇන්දේ cotton සහ handloom සාරි නිසා මේ හැම වැඩක්ම සංසාරේ තරම් දිගයි. ඒ තනිකඩ කාලේ- රස්සාවට යනවා එනවා ඇරෙන්න ගෙදර වෙන ලොකු වැඩක් නොතිබුණු නිසා මිසක් දැන් කාලෙක නම් ඔහොම දිග වැඩ කරන්න බැරිවෙයි.

මේ රස්සාව කරන කාලේ සාරි සම්බන්ධ මතක හිටින දේවල් දෙකක් වුණා. දෙකම factory visit අතරේදී. පළවෙනි එක factory floor එකක් හරහා යද්දී බිම තිබුණු grate එකකට මගේ සෙරෙප්පු අඩියක් අහුවෙලා කැඩිලා ගිය එක. සාරි අඳින හැමෝම දන්නවා අඩි උස සෙරෙප්පු නැති උනොත් සාරියේ වාටිය පෑගෙන බව. ඉතින් එදා දවසේ ඒ factory visit එකේ ඉතුරු ටික ගෙවුණේ එක අඩි උස සෙරෙප්පුවක්, එක කොට සෙරෙප්පුවක් සහ තිස්සෙම පෑගෙන සාරියක් එක්ක. දෙවෙනි එක factory visit එකක් ගිහින් ආපිට එද්දී. ගෙදර යන්න බස් එකක් ගන්න ලේසි වෙන්න මම අපි ගිය වෑන් එකෙන් ටවුන් හෝල් වලින් බැස්සා. එහෙම බහිද්දී ඒ වෑන් එකේ නවන සීට් එකක පැටලිලා මගේ සාරියේ පදාසයක් ඉරිලා ගියා. එදා මද්දහනක ඉරිලා එල්ලෙන සාරියක් එක්ක මම වරුවක් ටවුන් හෝල් බස් හෝල්ට් එකේ හිටගෙන හිටියා ඉතින්. මම බොහොම ආදරේ කරපු ඒ සාරිය එහෙම ඉරුණාට පස්සේ  විශ්‍රාම යවන්න වුණා.

ගෑනු අපිට කාගේ හරි මඟුල් ගෙදරකට ආරාධනාවක් ලැබෙනවා කියන්නේ ඒ එක්කම "මොකක්ද අඳින්නේ?" කියන සදාකාලික ගැටලුව මතු වෙනවා කියන එකනේ. එක වයසේ යාළුවො ඔක්කොම වගේ එක වකවානුවක බඳිද්දී මේක තවත් බරපතලයි. මේ හැම මඟුල් ගෙදරකටම එකම කට්ටිය එද්දී තත්ත්වය ශෝචනීයයි. මේ සාරි කතාවේ මමත් එක දිගට මඟුල් ගෙවල් වලට මෙහෙම සාරි ඇන්ද chapter එකකුත් ගතවුණා. මේ කාලේ නම් රස්සාවක් කරපු නිසා සාරි ශොපින් ගිහින් අත දිග ඇරලා වියදම් කරන එක අපේ විනෝදාංශයක් වෙලා තිබුණා. 

හැමදාම සාරි ම ඇන්ද මම බඳින දවසේ ඔසරියක් ඇන්දේ මාව හැඩ ගන්වපු කෙනාගේ උපදෙස් මත සුපුරුදු විදිහට 'මහතට පේන්න'. ඒත් එදා ඔසරියට එහෙම විශ්ව කර්මයක් වුණේ නැති නිසා ඔන්න ඔහේ එදාත් සාරි ම අඳින්න තිබුණා කියලා හිතෙන්නේ දැන් තමයි. දෙයියනේ කියලා එතැනින් එහාට මේ නිරන්තර සාරි ඇඳිල්ල ඉවර වුණේ ඉන්පස්සේ අපි පිටරට පදිංචියට ආව නිසා. කාලයක් තිස්සේ රස්සාවට අඳින්න ඕන නිසා මහන්සිවෙලා ආදරෙන් එකතුකරගත්ත මගේ සාරි එකතුව යාළුවො අතරේ බෙදලා දෙද්දී පොඩි දුකකුත් ලොකු නිදහසකුත් දැනුණා.

දැන් නම් මම සාරි අඳින්නේ බොහොම කලාතුරකින්. මෙල්බර්න් වලදී උත්සවයකට, මඟුල් ගෙදරකට සාරි අඳින්න යෙදෙන්නේ අවුරුද්දකට සැරයක් දෙකක් වගේ තමයි. දැන් ඉතින් ඉස්සර වගේ කොටුවේ සාරි කඩවල 'සාරි රස්තියාදු' නැහැ. හැට්ට මහන්න දැන් අම්මාත් නැහැ. ඒත් නිතර නොලැබෙන නිසා ද මන්දා දැන් ඉඳහිට සාරි අඳින්න ආසාවකුත් නැත්තේ නැහැ. ඔහොම තමයි ඉතින් ලෝක ස්වභාවය! 



photo - Ardy Arjun on Unsplash
(two colour cotton සාරි මේ වගේ තමයි. අපි ඇන්දේ මෙහෙම රත්තරන් පාටවල් නොතිබ්බ ඒවා)


29 comments:

  1. රසබර කතා මතකෙට අරගෙනම කාරිය
    හරබර ලෙසට ලියලා අද ගැනම සාරිය
    කරදර වුනත් ඇග ලා ගෙන තිබූ වීරිය
    විසිතුර මැවේ ලිපියේ දැන් එපා ගෝරිය...

    ජයවේවා මලී

    ReplyDelete
    Replies
    1. අපූරු කවිය දුමින්ද!
      කවියෙන් ම උත්තර දෙන්න තරම් සිව්පද හැකියාව දියුණු නැහැ :D

      Delete
  2. ආවෙ එක දාගෙන යන්න. ආයෙ එන්නං.🙏👌

    ReplyDelete
    Replies
    1. සෙනසුරාදාට පෝස්ට් වැටෙන වේගෙට කමෙන්ට් කරන්නම සතියක් යනවා නේද බස්සා?

      Delete
    2. ආයෙ අහලා? මම වලිගෙ ගිණිගත්ත හනුමා වගේ එහෙට මෙහෙට දුවනවා. ඒකයි මේ එක දාගෙන යන්නෙ, මඟ ඇරුනොත් කියලා.😊

      Delete
  3. රසවත් සාරි මතක, ජය!
    මගේ ඉන්දීය මිතුරියක් ඉන්නවා ඇය හරිම ආසයි අපේ රටේ කැන්ඩියන් මෝස්තරේට.
    සාරි ගන්න යනවා කියද්දි මතක් වුනේ නන්දා මාලිනියගේ මමයි කන්තෝරුවේ යතුරු ලියන්නි ගීතය.

    ReplyDelete
    Replies
    1. ගල්මල් - මාත් ආසයි ඔසරියට.ඒත් ඒ කාලේ ටක් ටික් ටුක් ගාලා සාරි අඳින්න විතරයි දැනගෙන හිටියේ. මොකද මට ඒ සාස්තරේ ඉගැන්නුව අම්මලා අක්කලා ඔක්කොමත් ඇන්දේ සාරි නිසා.
      ආයෙත් අහන්න ඕන නන්දා මාලනී ගේ සින්දුව

      Delete
  4. ලංකාවේ හිටිය එකම ශෝව්ෆර් ගයිඩ් කාන්තාව මුළු වෘත්තීය ජීවිත කාලය පුරාවටම ඇඳලා තියෙන්නේ සාරි. (මට මතක විදියට බතික් සාරී) ඉතිං එයාව පත්තරේකිං ඉන්ටර්වීව් කරද්දි අහලා තිබුනා ඔයාට බය හිතුනේ නැද්ද තනිවම නොදන්නා කෙනෙක් අය සමග යන්න? කියලා.
    එතකිට එයා කියලා තිබුනේ එයාගේ ඇඳුමට විදේශිකයින් විශාල ගරුත්වයක් තිබුනා කියලයි!
    කොහොමත් මගේ නම් වැඩි නැඹුරුව ඔසරියට නොව සාරියටය!
    අර කොටුවේ සාරි කඩ වලට යන කාලේ යන්න ඇති නේද "අස්ලාම් මාර්කට්" කියලා සාරිම තියෙන ගොඩ නැගිල්ලකට?
    මම වරක් ගියා මදුරාසියේ "නල්ලි", "කුමරන් සිලක්" සාරි කඩ දෙකට!
    මම ඒ ගැන මුකුත් නොලියා ඉන්නම්!

    කොහොම උනත් ශනිදා දහයට පැමිණි ඔබට ස්තූතියි බොක්කෙන්ම!

    ReplyDelete
    Replies
    1. කාන්තා Chauffeur guideලා ත් ඉඳලා තියෙනවද? ඒකත් ලොකු වැඩක් නේද?
      අස්ලාම් මාකට් ගියාදත් අහනවා :D
      කාලයක් තිබුණා අපේ ගෙදර කෙල්ලෝ තුන්දෙනයි අම්මයි ඔක්කොම දිනපතා සාරි අඳින. ඉතින් අපි නිතර යන එන තැනක් තමයි ඔය! මදුරාසියේ සාරි කඩ ගැනත් ලියමුකො පෝස්ට් එකක්. මම දිල්ලියේ සාරි කඩ වලට නම් ගිහින් තියෙනවා.
      ඔබතුමාගේ මේ ශනිදා දහය අදහස නියමයි. කම්මැලි නොවී බ්ලොග් අප්ඩේට් කරන්න අපි පෙළඹෙනවා ඒ වැඩෙන්.

      Delete
  5. පිරිමියෙක් වීම නම් වාසනාවක්. ඕනම වෙඩිං එකකට එකම සූට් එක. ශර්ට් එක සහ ටයි එක විතරක් වෙනස්. ඔෆිස් යන්න කළු, නිල් කලිසම් 3ක් සහ සුදුපාට ශර්ට් 4-5 ක් තිබ්බම අවුරුදු 2 ක් විතර අදින්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඉයන් - ඔව් අප්පා. පුදුම වාසනාවක් ඒක.
      මගුල් ගෙදරක යන්න ගියාම මම සති ගාණක් තිස්සේ plan කරනවා. අදාළ දවසේ පැය ගානක් ලෑස්ති වෙනවා.
      ගෙදර අනිත් බෝයිස් ලා දෙන්නා විනාඩි පහළවකින් රෙඩී :\

      Delete
  6. හැඩ අඩු නං උස්ස උස්ස
    පෙන්නන්නට හරිම දස්ස
    සාරිය කොහොමත් විශේෂ
    ඇඳුමකි- දිනු ළඳුන් රිස්ස

    ReplyDelete
    Replies
    1. මේකට උත්තර නොදෙන්නේ නම් සිවුපද බැරි නිසායි ඔන්න නිදි :D

      Delete
  7. (එරන්දි නැවත ලිවීම අරඹා ඇත! එහෙත් සින්ඩි සහ බ්ලොග් රෝල් වල ඒ බව නොපෙනේ. මේ ලින්කුවෙන් ඊට ගොඩ වදින්න! https://buddhikaerandijayasinghe.blogspot.com/ )



    (ඉවාන් පවුලූෂා නැවත පැමිණ ඇත ! මෙතැනින් ගොස් හමුවී කතා බස් කරණ්න! එහෙත් සින්ඩි සහ බ්ලොග් රෝල් වල ඒ බව නොපෙනේ. මේ ලින්කුවෙන් ඊට ගොඩ වදින්න! https://iwanpaulooshaa.blogspot.com/2023/10/blog-post_22.html

    ReplyDelete
  8. සාරි පස්න වගේ පස්න පිරිමින්ට නැති එක ලොකු දෙයක්. නැත්තං අපි වගේ කම්මැලි වහන්දෑලා මොනා කරයිද.කවුද දන්නෙ.

    ඔය ශොපින් යනව කියද්දී කියද්දි මතක් උනේ. ගෙදර උන්දෑ එක්ක එහෙම shopping යන්න වෙනවා නම් විශේෂයෙන්ම සාරි ගන්ඩ වෙඩින් එකට වගේම විශේෂ අවස්ථාවකට හරි සාරියක් ගන්ඩ යනවනම් මම කියන්නේ මම ඔයාව ගිහිල්ලා දාන්නං කැමති වෙලාවක කැමති දෙයක් කරගෙන මට කෝල් එකක් දෙන්න කියල. මම කරන්නේ කොහේ හරි රවුමක් දදා ඉන්න එක. අම්මෝ එහෙම දුකක්

    ReplyDelete
    Replies
    1. මහේෂ්- මට මැවිලා පේනවා කම්මැලි පිරිමි සාරිය බාගෙට එල්ලාගෙන කෝච්චියට දුවනවා :D

      ගොඩාක් හස්බන්ඩ් ලා ඔය බෝට්ටුවේ තමයි මගේ හිතේ. ඒකනේ ලොකු සාරි කඩවල සෝෆා පුටු තියලා තියෙන්නේ පිරිමි ගොල්ලට වාඩිවෙලා කල් මරන්න! අපේ ගෙදර මනුස්සයා නම් ඕකේ අනිත් පැත්ත. එයා සාරි තෝරන වැඩේට actively සම්බන්ධ වෙනවා බොහොම කැමැත්තෙන්. එයා මම නැතිව ලංකාවට ගිය වෙලාවක මම නොකියාම මට සාරි හතක් අටක් ගෙනත් තිබුණා. ඒ තරමට ඒ ගැන උනන්දුයි සහ එයාගේ තේරිලි නියමයි :)

      Delete
    2. එහෙම සම්මාදං වෙන්න තිවුණ එක්කඩේකිං දෙක්කිං තෝරල ගන්නව නං 🙈🙈🙈

      Delete
    3. ඒ කතාවේ නම් පොඩි ඇත්තක් තියෙනවා. :D
      වැඩිය ෂොපින් යන්න අකමැති මම සාමාන්‍යයෙන් ගිය මුල්ම කඩෙන් ඔක්කොම අරගෙන එනවා!

      Delete
  9. 🙂👩‍⚕‍👩‍⚖‍👩‍🔧👩‍🔬👩‍🎨👩‍🚒💃👡👍

    ReplyDelete
  10. මගේ බිරින්දෑ ඉනෙස් ට අඳින්න ඕන වුනේ සාරිය බඳින දවසට. ඒක ගත්තේ වෙම්බ්ලි වලින්, ඒ කාලේ හැටියට ටිකක් ලොකු ගානක් වුනා. එයා ටික කාලයක් සාරි ඇන්ද, අමං එහෙම හිටි දවස් වල. මේ පාර එයාගේ අවුරුදු 50 උපන් දිනේට එයා කිව්වා හැමෝටම සාරි ඇඳන් එන්න කියල. එයයි දුවල දෙන්නයි සවුතෝල් ගියා සාරි ගේන්න . තුන් දෙනාම අරගෙන ආවට පස්සේ මට කියනව අඳින්න කියල දෙන්නලු. මං ඇහුවා තමුසෙලා කවද හරි දැකලා තියෙනවද මම සාරි ඇඳලා ඉන්නව කියල. 😀 පස්සේ යූටියුබ් පිහිටෙන් තුන් දෙනාම වැඩේ ගොඩ දාගත්ත.

    ReplyDelete
    Replies
    1. //තමුසෙලා කවද හරි දැකලා තියෙනවද මම සාරි ඇඳලා ඉන්නව?//
      හෙහ්,හෙහ් මේක නියමයි අප්පා. අම්මපා පොඩි පෝස්ට් කෑල්ලක් කොටන්න තරං වටින කතාව. 😁😂🤣👌👍

      Delete
    2. අජිත් - ඒක මරු කතාව. කැමැත්තෙන් දුෂ්කර ක්‍රියා කරන ඉනෙස් ට මගේ ප්‍රණාමය!

      ඕකෙම වෙන ඩේ ටු ඩේ වර්ෂන් යනවා අපේ ගෙදර
      "මගේ සරම දැක්කාද?'
      "හැබෑට මම අන්තිමට ඒක ඇඳලා කොහේ දැම්මද මතක නැහැනේ"
      යසට තනියම හොයාගන්නවා තමුන්නේ සරම තමුන්ම ඊටපස්සේ 😃

      Delete
  11. අපොයි දෙයියනේ මම පරක්කු වෙලානේ
    සාරි කතා.....හත්වලාමේ.......අනන්තයි
    ඒත් දැන්නම් සාරි පටලවන්නේ නැති තරම්

    ReplyDelete
    Replies
    1. මම නම් ලංකාවේ රස්සාවට සාරි ඇන්දේ ටික කාලයනෙ. ඔයාට ඇති සෑහෙන්න සාරි කතා :)

      Delete
  12. සාරි කතා නම් මරු. දැන් අපටත් සරම් කතා ලියන්න වෙයි වගේ .....

    ReplyDelete
    Replies
    1. අනුරුද්ධ- ඔන්න ඊළඟ ශනිදා දහය ට මාතෘකාවක් :D

      Delete