March 24, 2023

අභය දානය

(පෙර සටහන)

මම රැකියාව කරන පුස්තකාලයේ වැඩියෙන්ම තියෙන්නේ වීදුරු බිත්ති. දවසක් හවසක මම දැක්කා මේ බිත්තියක් ළඟ බිම තටු ගහන ලස්සන තැඹිලි පාට මොනාක් සමනලයෙක් . sliding doors වලින් ඇතුලට ඇවිත් තිබුණ මෙයා ආයෙත් යන්න පාර හොයාගන්න බැරිව අසරණ වෙලා හිටියා. ඒ වෙලාවේ මට එයාට උදව්වක් කරන්න ඉඩක් ලැබුනේ නැහැ.

ඊට පස්සේ දවසේ පුස්තකාලේ පොත් රාක්කයක මේ සමනලයා වහලා ඉන්නවා මම ආයෙත් දැක්කා. ඒ වෙද්දී එයා හොඳටම හෙම්බත් වෙලා හිටිය බවක් පෙනුණා. මම ළඟට යද්දී එහාට මෙහාට වුණේත් අමාරුවෙන්. සමහරවිට රෑ තිස්සෙම මේ වීදුරු ගොඩනැගිල්ලේ ඒ අතට මේ අතට පියාඹන්න ඇති. ඉතින් මම බොහොම පරෙස්සමට ඒ සමනලයාව භාජනයකට අරගෙන එළියට ගිහින් මල් පඳුරකින් තිබ්බා. එයා තවත් සෑහෙන්න වෙලාවක් යනකම් නිසොල්මන්ව ඉඳලා පැයක් හමාරක් ගිහින් පියාඹලා ගිහින් තිබුණා. 

ඒ වෙලාවේ මට Nikki Giovaniගේ Mercy නම් කවිය මතක් වුණා. එක්තරා විදිහකට මේ නිමිති දෙක වෙනස්. ඒත් එක්තරා විදිහකට සමානයි. පහතින් තියෙන්නේ ඒ කවියේ පරිවර්තනයක්. 

--------------


මකුළුවා මරා දමන ලෙස
ඈ මගෙන් ඉල්ලා සිටියාය
එහෙත් ඒ සඳහා
මා අතට ගත්තේ
මට සොයාගතහැකි
සාමකාමීම ආයුධයි

කෝප්පයක් සහ අත පිස්නාවක් ගෙන
මකුළුවා අල්ලා එළියට දමා
ඌට නිදහසේ ඇවිද යන්නට ඉඩ දෙමි

කවදා හෝ දිනක, මා ද
කිසිවෙකුට හානි නොකර
ජීවත්ව සිටිමින් පමණක්
කොහේ හෝ වැරදි තැනක සිටියොත්

මටත්, මෙවැනිම
අභය දානයක්
ලැබෙනු ඇතැයි පතමි


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem Mercy by Nikki Giovanni

Digital Sketch





13 comments:

  1. සමනලයෝ කියන්නේ ස්පිරිට් කියල විශ්වාසයකුත් තියනවා. මට මකුළුවෝ මරන්න කියල කෑ ගහන කොට මාත් කරන්නේ ඕක තමයි.

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියාවේ විෂ මකුළුවෝ ඉන්න නිසා මෙහෙ ළමයි පොඩි කාලේ ඉඳන් මකුළුවන්ට බයයි. මෙහෙ ඉපදුනු අපේ පුත්‍රයාත් හරි අකමැතියි මකුළුවන්ට. එයාගේ කාමරේට මකුළුවෙක් ආවම මාත් ඌව මෙහෙම බේරනවා :)

      Delete
    2. මගේ කෙල්ලෝ දෙන්නා කෙලින්ම ඇඳන් උඩ නැත්නම් පුටු උඩ. මකුළුවා බිත්තියේ නම් අහලක ඉන්නේ නැහැ.

      Delete
  2. same here about my son....
    and he is 23 now
    kumudu

    ReplyDelete
    Replies
    1. අපේ කොල්ලාට ලංකාවට එහෙම ගියාම එහෙ ඉන්න විවිධ මකුළු වර්ග දැකලා කලන්තේ වගෙයි :D

      Delete
  3. ප්‍රභා ගනේෂන්March 24, 2023

    සතෙක් මරලා උගේ මළකුණ උයාගෙන කන එකත් වැඩක්ද ළමයිනේ කියලා අපේ මැරිච්ච වෙදමහත්තයා ඉස්සර නිතර කියනවා.

    ReplyDelete
  4. සමහර වෙලාවට, මේ වගේ අහඹු සුලු සිදුවීමක් වුනන් දිග කතාවක් කියනවා. සිදුවීම් දෙකේම පොදු තේමාවක්(සාමකාමී සහජීවනය) තියෙනවා කියල හිතුනා.

    ReplyDelete
    Replies
    1. සාමකාමී සහජීවනය තමයි හරි වචනය බස්සා. ඒත් ඉතින් rodents and pests ලා එක්ක ඕක කරන්න පොඩ්ඩක් අමාරු බව පිළිගන්න වෙනවා

      Delete
  5. "කවදා හෝ දිනක, මා ද කිසිවෙකුට හානි නොකර, ජීවත්ව සිටිමින් පමණක් කොහේ හෝ වැරදි තැනක සිටියොත්" සමහර වෙලාවට අපි හුඟ දෙනෙක්ගෙ තත්වෙ මේක නේද. ඒ වගේ වෙලාවට සමහරවිට ඉබේම වගේ එලියට එන්න පුලුවන් වෙන්නෙ අපි මේ වගේ 'අභය දාන' නිතරම දෙන නිසා වෙන්න ඇති.

    ඔරිජිනල් කවියත් බැලුවා. පරිවර්තනය කරද්දි මලී පාවිච්චි කරලා තියෙන වචන හරිම සුමටයි. (ඒ අස්සෙ Duffyගෙ Mercy සිංදුව ඇවිල්ලා ඒකත් බලලම ආවා).

    ReplyDelete
    Replies
    1. Lotus -ඒක ඇත්ත. මටත් මේ වගේ 'අභය දාන' ලැබිලා තියෙනවා හැබැයි ඒ මානසිකව බින්දුවට වැටිලා හිටිය වෙලාවල් වලදී ගොඩ එන්න උදවු ලැබුණු ජාතියේ ඒවා. ඒ ඔයා කියන විදිහට මාත් පුළුවන් වෙලාවට එහෙම කරන නිසා වෙන්නැති ඉතින්. :)

      //පරිවර්තනය කරද්දි මලී පාවිච්චි කරලා තියෙන වචන හරිම සුමටයි// thank you. මම කල්පනා කළා මම එහෙම විශේෂයක් කළා ද කියලා. එහෙම මතකයක් නම් නැහැ. සමහර විට මගේ ගබඩාවේ වචන එහෙමද දන්නේ නැහැ!

      Duffy ගේ සින්දුව ඇහිලා තිබ්බා මිසක් අහලා තිබ්බේ නැහැ. මේ පාරේම ගිහින් ඒකත් අහලා ආවා.

      Delete