October 10, 2021

අවුරුදු හයක්!

Hot Chocolate Days බ්ලොග් එක පටන් අරන් අවුරුදු හයකට කිට්ටුයි. කිසිම දෙයක් නොලියන කාල, නිතර නිතර ලියන කාල පහුකරගෙන බොහොම දුරක් ඇවිත්. ඉස්සර බ්ලොග් එකේ දැම්මේ කවි විතරක් උනත්, දැන් මේකේ මගේ කෙටි කතාත්, පරිවර්තනත්, මම ඇන්ද චිත්‍රත්, චිත්‍රපටි ගැන, සින්දු ගැන, පොත් ගැන විස්තරත් හැම දෙයක්ම තියෙනවා. දිනමිණ පත්තරේට සතිපතා (වසත් සුළඟ කවි පිටුව මුද්‍රණය වෙන කාලවලදී) මම පරිවර්තනය කරන කවිය  බෙදාගන්නත් මට බ්ලොග් එක උදවු වුණා. 

රසිකයෝ බ්ලොග් කියවන එක අඩු නිසා බ්ලොග් ලියවිල්ල අඩුවෙලා යන කාලෙක මම නම් හෙමින් හෙමින් බ්ලොග් එක අප්ඩේට් කරනවා. කවුරුවත් කියෙව්වත් නැතත්, මටම මම ලියන දේ පරෙස්සම් කරලා තියන්න, හදිසියකට ඉස්සර ලීව දෙයක් හොයාගන්න online archive එකක් හැටියට මේක ප්‍රයෝජනයි. බ්ලොග් එකට ගොඩ වැදිලා, ලියලා තියන දෙයක් කියවලා, අඩුපාඩුවක් පෙන්නලා දීලා, තව තවත් දිරි ගැන්වෙන කමෙන්ට් එකක් දාලා යන අයට ස්තූතියි කියන්නම ඕන. ඒ අය නිසා ලැබෙන motivation එක මිල කරන්න බැහැ.

බ්ලොග් එකේ header පින්තූරේ මාරුකළේ 'සංවත්සරය' වෙනුවෙන් නෙමෙයි. කම්මැලිකමට ඩිජිටල් චිත්‍ර අඳින පුරුද්දක් මට මෑතක ඉඳන් තියෙනවා. මම මේ චිත්‍රය අඳිනවා බලාගෙන හිටිය මගේ පුත්‍රයා තමයි කිව්වේ මේක බ්ලොග් එකට ගැලපෙනවනේ කියලා. ඒකත් ඇත්ත නේන්නම් කියලා මටත් හිතුණා. 

ඉතින් අලුත් චිත්‍රෙ කෝප්ප දෙකක්ම තියෙන එකේ තව කාලයක් මාත් එක්ක hot chocolate කෝප්පයක් බොන්න මේ පැත්තට ගොඩ වදින්න කියලා ආරාධනා කරනවා!

මලී ~

Digital painting with watercolour brush



34 comments:

  1. මගේ බ්ලොග් එකටත් මුලින්ම ඇවිත් කමෙන්ට් දාපු අයගෙන් කෙනෙක් ඔබ. එදා ඉඳල ඇවිත් හැම පෝස්ට් එකක්ම කියවනවා. ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Litseeker, තව තව ලියමු!

      Delete
  2. ඉස්සර අපේ සුදු නැන්දා ඒ කියන්නේ තාත්තාගේ බාල නංගි ට තිබුනා සමරු පොතක් හෙවත් ඔටෝග්‍රාෆ් එකක්. මම මගේ ජීවිතේටපලවෙනියෙම්ම එහෙම එකක් දැක්කේ එයා ළඟ තිබුලා. ඒ කාලේ අකුරු කියවන්න බැරි උනත් පහු කාලෙක ඒක මට කියවන්නට ලැබුනා. එයා කසාද බැඳලා පරකඩුවට යන කොට ඔය කියන පොත් පිංච තියලා ගියේ. මම හිතන්නේ ඉස්ගෙඩි කාලේ තියෙන වලිග ගෙම්බො වෙනකොට නැතිකර ගන්නවා වගේ සීන් එකක් වෙන්න ඇති. කොහොමටත් "මොකටද ඔය පරණ කෙහෙම්මල් !" කියලා එයා තියලා ගිය එක කියවන කොට ලස්සන ලස්සන වැකි ඒකෙ තිබිලා ඇහැ ගැටුනා මතකයි. මේ මම කියන්නේ දශක පහක මතක! එකේ පලමු පිටුවේ තිබ්බේ මේ පොත ලියන්න කියලා තිබුණු ආරාධනාවක්! ඉතින් ඒකෙ අන්තිම පිටුවේ තිබ්බේ කවි දෙපදයක්! මැදට වෙන්න නොයෙක් වර්ණයෙන් යුතුවූ පිටු තිබ්බත් මේ ක ලිව්ව සුදු නැන්දාගේ මිත්‍රයා අන්තිම පිටුව තෝරාගෙන මෙන්න මෙහෙම ලියා තිබ්බා.
    "කෙතරම් යාළුවන් සිටියත් ඉහල පෙලේ
    සිරිමල් තමයි අන්තිම පිට ඉවර කලේ . . ."
    කියලා. ආන්න ඒවාගේ පසුගිය වසර 6 ක කාලය පුරාවට මොනතරම් පාඨක පාඨිකාවන් මේ පිටුවට පිය මැන තිබුනත් නව වසරේ පලමු කමෙන්ටුව යොදන්නට මම තමයි ඔන්න මුලින්ම ආවේ!
    මේ දිනවල අපි කුඩා පිරිසක් බ්ලොග් ලියන්නන් හා අළුතින් ඒ සඳහා එක්වීමට කැමති අය හා එක්ව මෙම කලාව නැතිනම් වේදිකාව තරමක් ස්ථාවර කිරීමට පොඩි උත්සාහයක යෙදෙනවා. ඉති ඒ නිසම ඉදිරියේ තරමක හෝ බ්ලොග් ලියන්නන් මෙන්ම කියවන්නන් වැඩි වේවි. ඔබගේ පිය තුමා මේ ගැන පොඩිත්තක් දන්නවා! මම හැමදා කියනවා වාගේම දැන් අපට ඕන බ්ලොග් පෝස්ටු වැස්සක් සමග කමෙන්ටු කුණාටුවක්. ඒ නිසාම ඔබ වැබි අකණ්ඩව ලියනා අය ගැන අපගේ ඇත්තේ අතිශය ගෞරවයක්.
    ඉතින් ඔබ දිගටම ලියන්න! අපිට හැකි හැම විටකම එන්නම් ගිණි උඳුන දෙසට දෙපා විහිදුවාගෙන උනුසුම් කෝපි කෝප්පයක් බොමින් දොඩ මළුවෙන්නට!
    වැඩි පුර පිටු ලියැවෙන කමෙන්ටු කුණාටු හඹා එන සුභ නව වසරක්!

    ReplyDelete
    Replies
    1. Thattaya- බ්ලොග් ලිවීමට ආධුනිකයන්ට මඟ පෙන්නන උත්සාහය දැක්කා. හරිම සතුටුයි. ඒ කතාබහ නිසා බ්ලොග් මගේ එකටත් අමුත්තෝ ප්‍රමාණය වැඩි වෙලා වගේ. ඒ ප්‍රොජෙක්ට් එකට ඕනෑම උදව්වක් දෙන්නම්. මාත් අවුරුදු ගාණක් තිස්සේ බ්ලොගර් වල සැරිසරලා පොඩි පොඩි දේවල් ටිකක් දන්නවා. වැරදිලා ඉගෙනගත්ත දේවල් බොහොමයි. තාත්තාටත් විවේකය ගතකරන්න බ්ලොග් එකක් හදාගන්න පාර පෙන්නුවේ මමයි. තාත්තා දැන් මට වැඩිය බ්ලොග් ලෝකයේ ක්‍රියා කාරීයි! :D මේ කලාව නැතිවෙලා යන්නේ නැතිව දිගටම පවත්වාගෙන යන්න අපට පුළුවන් වේවි.

      Delete
  3. අම්මට සිරි මගේ මාගල ලියලා ඉවර වෙන කොට මම දෙක වෙලානේ ! මල පනිනවා ගෙඩි ඉදෙනවා කියන්නේ නිකං ද! ? කමක් නෑ ඕක ඔහොමම තිබුනාවේ. අඩු ගානේ මගේ උත්සාහය වත් කැටපත් වෙනවානේ? කටුස්සා ලස්සන පෝස්ට් එකක් ලියලා අපේ මහන්සියට සපෝට් එකක් විදියට! මෙන්න ලින්කුව! ගොඩ වැදී එන්න! https://katusuhadawatha.blogspot.com/2021/10/blog-post.html

    ReplyDelete
    Replies
    1. //අම්මට සිරි මගේ මාගල ලියලා ඉවර වෙන කොට මම දෙක වෙලානේ// :D
      ඔන්න ඒ මහන්සියට උපහාරයක් වශයෙන් කටුසුව follow කරලා ආවා

      Delete
  4. මෙන්න මගෙන්:

    සිත්තර අඳින්න හරිම ආසයි, ඒත් හැකියාව නෑ. පටන් ගත්තා, ටියුටෝරියල් බැලුව, අනිත් අය අඳින ලස්සන දැක්කාම ඇඞුනා. පටන් ගන්නවා, ඒත් මගදි හබක්, කම්මැලි හිතෙනවා. දන්න ගුරුහරුකම් ටිකක් දුන්නොත් උදව්වක්.:)

    පහල තියෙන ටික ගෙනත් අලවන්නෙ ඩ්‍රැකියගෙ මේ පෝස්ට් එකෙන්.
    https://drackey.blogspot.com/2021/10/blog-post.html?showComment=1633477165019#c5271302602371060765

    //එතන ඒ තියෙන්නෙ මං මෙච්චර කාලෙයක් දුක් මහන්සියෙං දාඩිය මුගුරු දාගෙන, ඉණට වස්තරෙයක් නැතුව, බඩට කන්ඩ නැතුව ලියාගත්තු පෝස්ට් ඩිංගය//

    මෙන්න මේ නිසා, ඔතන "Manage Blog" සබ්-කැටගරිය යටතේ තියෙන බැකප් බටන් එකට කොටන එක නං වැදගත්. එතකොට blog-අද දිනය.xml කියලා ෆයිල් එකක් බාගත වෙනවා. හුඟක් පෝස්ට් තියේ නං 20Mb විතර වේවි. ඒක ප්‍රයෝජනවත් වේවි පස්සට. අමතක කරන්න හොඳ නැති දේ, අපි මේ පුම්ක ඉරාගෙන පෝස්ට් ලිව්වට, ඉන්නෙ ගූගලයාගෙ කුලී නිවසක කියන එක. ඕනෙ වෙලාවක පස්සට පයින් පාරක් වදින්න ඇහැකි, එලියට විසික්කා වෙන්න.

    ReplyDelete
    Replies
    1. බස්සා- මම ඉස්සර ඉඳන්ම චිත්‍ර අංශෙට මනාපයි. වැඩියත්ම sketching. ඒ ගැන ලීව පෝස්ට් එකකුත් තියෙන බව මතක් වුණා හදිසියේ
      https://hotchocolatedays.blogspot.com/2018/07/blog-post_6.html.

      උපදෙසක් දෙන්න තරම් නම් මම ප්‍රවීණයෙක් නෙමෙයි. කියන්න තියෙන්නේ වෙනස් ක්‍රම අත්හදා බලන්න, never give up කියලා තමයි. මම digital චිත්‍ර අඳින්න ගත්තේ මෑතක. ඒක try කරන්න paint3D ප්‍රෝග්‍රෑම් එක එහෙම නියමයි. සෑහෙන්න basic, ඒත් ලොකු දේවල් කරන්න පුළුවන්. (මේ පෝස්ට් එකේ චිත්‍රය ඇන්දෙත් ඒකෙන්.)

      Backup කරන්න මතක් කළ එක හොඳයි. කාලයකට කළින් කළා, ඒත් නිතර කරන්න ඕන දෙයක්නේ ඒක. වැඩි හොඳට drive එකේම save කරගත්තා.

      පොඩි ටෙක්නිකල් ප්‍රශ්නයක්, මම බ්ලොග් එකේ හෙඩර් එක වෙනස් කළා නේ. mobile view එකේ අලුත් පින්තූරේ පෙන්නන්නේ නැහැනේ. blogger forum එකෙනුත් මම උදවු ඉල්ලුවා. පිළියමක් දන්නවා නම් කියන්නකෝ.

      Delete
    2. සීවරං දෙයියනේ! paint3D වලින්? මම කොරල් පේන්ට්, ක්‍රීටා, ෆ්‍රෙෂ් පේන්ට් ඔක්කොම දාගෙනත් හබක්. හ්ම්....බස්සොන්ට තියෙන්නෙ talon මිසක්කා talent නෙමෙයි.😒😢

      iPad එකේ මේ හෙඩර් එක යස අගේට එනවා. මොබයිල් එකට කප්පාදු කරපු( ඔලුව කපල ඇති) වෙනම එකක් තමයි යන්නෙ, රිසෝසස් වලට ගැලපෙන්න. එකෙ අගට පොඩි ලින්ක් එකක් තියනවා " Show Web version" කියලා. ඒකට කෙටුවොත් හරියට පෙන්නාවි, හැබැයි, හරිම පොඩියි, ලොකු කරගෙන තමයි කියවන්න වෙන්නෙ.

      ඔය මගේ සත දෙක. බුරා තමා ඔස්තාර් ටක්කෙටම දැණගන්න.

      Delete
    3. Mobile version එක design කරන්නෙ ඔය වැඩිපුර තියෙන graphics ආරලු-බූරලු අයින් කරලා, කියවන්නාට ෆෝන් එකෙන් ඇහැට අමාරුවක් නැතුව කියවන්න පුළුවන්, සරල, responsive design එකක් හා easy loading page එකක් විදියට තමා මලී. ඒක ඒ විදියටම තිබ්බානං හොඳා කියලයි මම හිතන්නෙ. Simplicity is the best attraction.

      Delete
    4. ස්තූතියි,Buratino කලින් header එක පෙනිලා දැන් පෙන්නේ නැති නිසායි මම කලබල වුණේ. එක්කෝ අර කිව්වත් වගේ ඔහොමම තියන්නම්. thank you උපදෙසට

      Delete
    5. බස්සා, Buratino වැඩේ හරි! forum එකෙන් ගොඩ දාලා දුන්නා.

      Delete
    6. නියමයි😊

      ආං හැලප කඩේ ආයෙ ඇරලා. ගිහින් හැලපයක් කොටාබෑව නං.😊
      https://helapakade.blogspot.com/2021/10/5.html

      Delete
    7. මේ පැත්තෙත් යන්ට. මලී කැමති වේවි
      https://geemuthumala.blogspot.com/2021/10/mouth-organ-music-in-sinhalese-songs-of.html

      Delete
    8. ගිහින් බලද්දී දැක්කේ මම ඒක follow කරන බව :) ආසාම සින්දු කීපයක් තිබ්බා. ඔය වගේ ඔත්තු දිගටම දෙන්න මහේෂ්.

      Delete
  5. හරිම අගෙයි මලියේ හිතනා විදිහ
    කරන දෙයින් ලැබේවි සතුටේ කොටහ
    නාල්ලා ලියන පෑනට ඔබෙ පලිහ
    ලියමු පෙන්නලා 'පසු නොබහින විදිහ'

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි!

      කවියකින්ම උත්තරයක් ලියන්න තිබ්බා නම් අගෙයි, දැන් වුවමනාවකටවත් කවියක් ලියවෙන්නේ නැති හැටි!:(

      Delete
  6. අවුරුදු 6ක් කියන්නෙ ලේසි පාසු කාලයක් නෙමෙයි. හොට් චොකලට් පටං ගත්ත මුල් කාලෙ ඉදං කියව්ව. හැම වෙලේම කමෙන්ට් නැතිවුණත්. අනික අපිටත් කාලයක් තිබුණ හැම දේම එපා වෙච්ච. 😃 ඒ කාලෙ නං බ්ලොග් කියන්නෙ මොනවද කියල වත් මතක තිබ්බෙ නෑ ඕං . 😃😃
    හැකි කාලයක් ලියමු. අන්තිමට තෘප්තිය හරිි ඉතිරි වෙන්නැතෑ
    ඒ දවස් වල කැමැත්තෙන් ම කියවපු අනික ්බ්ලොග තමා සින්ඩරෙල්ලාගේ සපත්තුව. උන්දැ දැං බුකියටම වෙලා නෙ. අපරාදෙ 😒😒😒

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්, කමෙන්ට් නැතත් ඇවිත් යන එකම මදැයි. ඔව් මටත් සමහර කාලවල් තියෙනවා මුකුත්ම නොලියවෙන, කිසිම බ්ලොග් එකක් නොකියවන. ඉඩෝර කාල! :D
      වර්ණ රසිකා වගේම තමයි රවී වීරසිංහ උතුමාණන්. බ්ලොග් පැත්තේ දකින්නවත් නැහැ. ඉස්සර කොයිතරම් කතා ලිව්ව මනුස්සයෙක්ද දැන් fb විතරක්ම ඉන්නේ! යාං හෑල්ලේ සුරංගත් ආගිය අතක් නැහැ නෙව.

      Delete
    2. සුරංගට නං මොනා වුණාද මංද. මං ළග ත්යන පොරගෙ නම්බර් එකත් වැඩ නෑ. බුකියෙත් නෑ නෙව. රවියයියටත් මුට්ටිය දාල බැලුව. නෝ සිිනා 😒😒😒

      Delete
    3. හ්ම්....මුට්ටිය දාපු එක හොඳා? පොලු පාරක් ආව නං, ඔලුව නෙව යන්නෙ? හා, නැහ්ද මං අහන්නෙ? මොකෝ ඊට පස්සෙ ඔලුවට වට්ටක්කයක් තියාගන්න කියැලයෑ?🤔🤣

      Delete
    4. මම සුරංගව හොයා ගන්න උත්සාහ කරණ්නම්!

      Delete
  7. අවුරුදු හයට උනුසුම් සුබ පැතුම්. මලීගෙ පෝස්ට්ස් Hot Chocolate වගේම රහයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලෝටස්, නිතර එනවාට, කමෙන්ට් කරනවාටත් ස්තූතියි

      Delete
  8. සුබ පැතුම්.
    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ආදි කාලේ ඉඳන්ම මේ පැත්තේ එනවාට, කමෙන්ට් වැටවල් ගහලා දිරි දෙනවාට ස්තූතියි Pra Jay :)

      Delete
  9. උනුසුම් සුබ පැතුම් මේ අවු 6ට. බනොනැවතී ඉදිරියට යං. කවුරු කියෙව්වේ නැතත් ලියන අස්සෙ තමුන්ට තමුන්ව හම්බෙයි හරිම තැනකදී.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නමියා, හරියට හරි. මං හිතන්නේ මට ඔය මඟ හරියකදී මාව හම්බවුණා. ඒකයි මේක අත ඇරෙන්නේ නැත්තේ :)

      Delete
  10. හයවන සංවත්සරයට සුබපැතුම්. හත්වන සංවත්සරයට ත්‍රිමාණ කෝප්ප දෙකක් එකතු කරන තරමට චිත්‍ර කලාව දියුණු වේවායි පැතුම් එක් කරනවා.

    ReplyDelete
    Replies
    1. අනුරුද්ධ, හැමදාම වගේ ඉදිරියට යන්න දෙන දිරියට ස්තූතියි. බ්ලොග් එක නිසානේ ඔයාලා කැනඩාවේ ඉඳන් සංවිධානය කරන රේඩියෝ කතන්දර වලට, රූපණ පරිවර්තන කවි වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න මට ඉඩ ලැබුණේ. ඒ අවස්ථා වලටත් බොහොමත්ම ස්තූතියි.
      ත්‍රිමාණ චිත්‍ර අඳින්නත් බලමු! මට ඊයේ පෙරේදා වෙනකම් ඩිජිටලි ද්වි මාන අඳින්නත් බැරිව හිටිය එකේ කියන්න බැහැනේ ඉස්සරහට කොහොම දියුණු වෙයිද කියලා! :)

      Delete
  11. ඔක්තෝබර් 10 වෙනිදා Post එක කියවන්නට ලැබුනේ අදයි. ඉතාමත් අගය කළහැකි Comments රාශියක්ම තිබෙනවා. සියල්ලම කියවූවා. පළමු කොමෙන්ටුව දමා ඇති අජිත් (තට්ටයා කියන එක හිතට මදි වගෙයි) Blogs වලට අලුතෙන් තල්ලුවක් දීමට දරන උත්සාහය ගැන සතුටක් ඇතිවෙනවා. ඔහු අපගේ සම්බන්ධයත් දන්නවා වගෙයි.
    FB එකත් බොහෝ දුරට ඕපාදූප වගේ දේවල් වලට යොමුවෙමින් පවතින නිසා ශාස්ත්‍රීය දේවල් අඩු වගෙයි දැනෙන්නේ. පසුගිය දිනවල අනුරුද්ධ මුලික වී කරන ලද සාකච්ඡාවෙන් පසු Blogs වල තරමක් ප්‍රගතියක් දකින්නට ලැබෙනවා. ඉඩකඩ ලැබෙන ආකාරයට තව තව ලියමු.

    ReplyDelete
    Replies
    1. තාත්තා, ඔව් අලුතෙන් පේන්න තියෙන උනන්දුව දිගටම තියාගන්න අපිත් නිතර ලියන්න ඕන. අලුත් series එකක් පටන්ගමු!

      Delete
  12. ඔව් අපි අපිම ; අපි වෙනුවෙන් යමක් කලෝතින් බ්ලොග් ඉදිරියට ගැනීමට හැකිවේවි. තවත් දෙයක් තම තමන්ගේ පෞද්ගලික හිත මිත්‍ර කම් ඇති බ්ලොග් ලියන්නන්ට කථා කොට නැවත ලිවීමට උනන්දු කරවන්න! අනෙක අලුතින් එක් අයෙකු තවත් එක් අයෙක් වත් එක් කිරීමට උනන්දුවන්න! ස්තූතියි! අන්න හැලපයියා ලියලා!~ මේ එහේ ගිහින් එන ගමන්!

    ReplyDelete