January 20, 2020

හයිඩ්‍රන්ජියා මල්

මීට අවුරුදු දෙකතුනකට කළින් මම රැකියාව කළ පාසැලේ වත්තේ කෙළවරක හයිඩ්‍රන්ජියා මල් ගාලක්ම තිබුණා. අවුරුද්ද පුරාම ලස්සන මල් පොකුරු පිරිලා තිබුණු මේ පඳුරු ටික ඒ දවස්වල මම ආසම දර්ශනයක්. සුදු, ලා නිල්, තද නිල්, දම් වගේ එක එක පාට මුහුවුණු හයිඩ්‍රන්ජියා මල් මට නම් හිතට ගෙනාවේ සන්සුන් හැඟීමක්. මම ඒ රැකියාවෙන් වෙනත් රැකියාවකට මාරු වෙද්දී එතැන යාලු මිත්‍රයෝ ටික වගේම හයිඩ්‍රන්ජියා පඳුරු ටිකත් අකමැත්තෙන් වුණත් දාලා එන්න වුණා. ඊට කලකට පස්සේ මගේ සහස් පියවර පොත එළිදැක්වූව බව ආරංචි වුණු වෙලාවේ මගේ පරණ පාසැලේ මිතුරියෝ ටිකත් හරිම සතුටු වුණා. ඒ අය ඕස්ට්‍රේලියානුවන් නිසා සිංහලෙන් ලියවුණු මගේ පොත කවදාවත් කියවන්න ලැබෙන්නේ නැති වුණත් මගේ හීනය හැබෑ වීම ගැන ඒ අයත් හදවතින්ම සතුටු වුණා. ඒ කට්ටිය එකතු වෙලා මට සුභ පතලා මගේ අලුත් පාසැලට මල් පොකුරක් එවලා තිබුණේ ඒ ආදරේ පෙන්නන්න. ඒ මල් පොකුරේ අනෙත් මල් අතරට හයිඩ්‍රන්ජියා මල් අනිවාර්යයෙන් එකතු කරන්න කියලා මල් සාප්පුවට උපදෙස් දෙන්නත් ඒ අය අමතක කරලා තිබුණේ නැහැ. මල් පොකුර අතට ගත්තාම මගේ ඇස් වලට කඳුළු ආවේ සමහර මිතුරුකම් වලට ජාතියක්, භාෂාවක්, දුරක් අදාළ නැති බව දැනිලා. 


මේ අවුරුද්දක් විතර පරණ කතාවක්. මෑත දවසකත්, නිවාඩු කාලයේදී ගිය ගමනකදී මට ආයෙත් හයිඩ්‍රන්ජියා මල් වත්තක්ම මුණගැහුනා. ඒ සුන්දරත්වය චිත්‍රයට නඟන්න උත්සාහ කරන්න ඕන කියලා හිතුණේ එදායි. මේ තමයි ඒ උත්සාහයේ ප්‍රතිපලය. 


'Hydrangea- a symbol of heartfelt emotions'- The Secret Language of Flowers



4 comments:

  1. ලස්සනයි. මේ මල් වලට මමත් ගොඩක් කැමතියි.

    ReplyDelete
  2. සෙනෙහස සහ මිතුරු බවත් සමග බැඳෙන සොබා දහමේ (මල් වැනි) සංකේත වලින් සදාකාලික මිහිරක් ලැබෙන බව කොහේදෝ පොතක කියවූවා මතකයි. මෙයත් එයම බවයි මට හැඟෙන්නේ.

    ReplyDelete
  3. ela

    syndi ekk https://sithuvili.info/ blog kiyawanna me patha avilla yanna hamadama

    ReplyDelete
  4. https://www.youtube.com/watch?v=5qg4Qy1PLsA&t=2s

    ReplyDelete