January 06, 2020

දිලිසෙන මතක

මතකය කියන දේ හරි පුදුමයි. අපිට කිසිම පෙර දැනුම්දීමක් නොකර සමහර පුංචි දේවල් අපේ හිත් ඇතුළට කා වදිනවා. අවුරුදු ගාණක් ගිහින් බොහොම සුළු දේකින් අර මතක ආයෙත් පණ ගහලා එනවා. මේකත් ඒ වගේ කතාවක්. චිත්‍රයක් අඳිද්දී හදිසියේ මතක් වුණු දෙයක්.

තාත්තාගේ මහගෙදර වරකාගොඩ, මතුගමට කිට්ටු ගමක්. අපි ඉස්සර ඉස්කෝලේ නිවාඩු කාල වලදී එහෙම නිතරම එහේ යනවා. වරකාගොඩ ආච්චි අපි හැමෝම බොහොම ආදරේ කළ චරිතයක්. ඒකට හේතුව ආච්චි අනෙත් සම්ප්‍රදායක වයසක උදවිය වගේ නෙමෙයි. ඕන දෙයක් ගැන බොහොම කාලීන අදහස් ආච්චිට තිබුණා. ඒ නිසා ආච්චිට දරුවන්ගේ වගේම බෑණාලා, ලේලිලා ගේත් මුණුබුරු මිනිබිරියන්ගේත් ආදරේ නොඅඩුව ලැබුණා. කවදාවත් කාගේවත් ඇදයක් අඩුපාඩුවක් නොහොයපු, කිසිම ආඩපාලියක් නැතිව තමන්ට පුළුවන් දේ ඉහළින් ම කරපු, රෑට කුස්සියේ වැඩ ඉක්මනට ඉවර කරලා ටී වී එකේ 'ඔෂීන්' බලපු ජාතියේ කෙනෙක් තමයි වරකාගොඩ ආච්චි.

ආච්චි කෑම දෙන නිසා ඒ ගෙදර පදිංචි වෙලා හිටියා බැළලියක්. බොහොම ලස්සන, දිග බූල් තිබුණු, බූසි වලිගයක් තිබුණු බැළලියක්. ඒත් එක ප්‍රශ්නයක් තිබුණා. ඌ ට හම්බවුණු හැම පැටියෙක් ම අන්ධයි. මොකක් නමුත් ජාන විකෘතියක් නිසා ඒ පැටවුන්ගේ ඇස් වෙනුවට එතැන තිබුණේ කුහර දෙකක් විතරයි. ඒත් මේ බළල් අම්මා අනෙත් සත්තු වගේ අඩුපාඩු තිබුණු තමන්ගේ පැටව් කාලා මරලා දැම්මේ නැහැ. ඒ වෙනුවට ඌ ඒ පැටවුන් කිරි දීලා ලොකු මහත් කළා. ඒත් ඇස් නොපෙනුණු පැටව් ටිකක් ලොකු වෙද්දී උන් නිතරම තැන තැන හැප්පෙනවා, වැටෙනවා, කෑ ගහනවා. ඇත්තටම කියනවා නම් හරිම කරදරයක්. එක වතාවකදී කීප සැරේකට ඉපදුණු එක එක වයස් වල අන්ධ බළල් පැටවු හත් අට දෙනෙක්ම මහගෙදර හිටියා මට මතකයි. ආච්චි ඒ සත්තු ටික ඔක්කොම ආදරෙන් බලාගත්තා. ගෙදර වැඩක් පළක් කරගන්න බැරි වෙන තරමට උන් වැටි වැටී ඇවිත් කකුල් අස්සේ පැටලෙන එක, උන් හැමතිස්සෙම අඬාගත්තු ගමන් උන්නු එක ගැන පුංචි කේන්තියක් වත් ආච්චිට තිබුණේ නැහැ. ඒ වගේම උන්ට දොස් කියන්න කාටවත් ඉඩ දුන්නේත් නැහැ. ආච්චි වෙනම බත් උයලා කරවල, මාළු දාලා අනලා ඒ අන්ධ බළල් පවුලට කන්න දෙනවා මට මතකයි. කෑම සුවඳ ආවත් කෑම පිඟාන හොයාගන්න බැරිව අඬන බළල් පැටවුන් එකා බැගින් ආච්චි බොහොම ආදරෙන් කෑම පිඟන් ළඟින් තියන හැටිත් මට හොඳට මතකයි.

ඒ බළල් පැටවුන්ට, බළල් අම්මාට ඊටපස්සේ මොකද වුණේ කියලා නම් මට මතක නැහැ. මතකය කියන දේ ඉතින් එහෙමයි. පරණ කතන්දර වල සමහර වැදගත් කොටස් හිත් පිත් නැති විදිහට අත ඇරලා දානවා. ඒත් වරකාගොඩ ආච්චි ගැන මගේ තියෙන තව බොහොමයක් ආදරණීය මතක එක්ක අඳුරු කුස්සියක අන්ධ බළල් පැටවු රංචුවකට ආච්චි ඉවසිල්ලෙන් කෑම දෙන බොහොම දයාබර පැහැදිලි මතකයකුත් ඈඳිලා තියෙනවා.

සමහර මිනිස්සු දිව්‍ය ලෝකේ යන්න මැරෙනකම් බලාගෙන නොඉන්න බවත් ජීවත් වෙලා ඉන්දැද්දී ම තමන්ගේ ජීවිත ඇතුළේ පුංචි දිව්‍ය ලෝක හදාගන්න බවත් වරකාගොඩ ආච්චි නිසා මම ඉගෙනගත්තා.

මේ හැමදෙයක්ම මතක් වුණේ චිත්‍රයක් අඳිද්දී.


-sketched using pencil and coloured pencils




4 comments:

  1. mokakdo amuthu his bawak denuna...hariyata nikam heethala hulangakata medi unaa wage...

    ReplyDelete
  2. ඔව් මතකය මහා පුදුම දෙයක්. අල්පෙනෙත්තක් තරම් දෙයකින් වුණත් ලොකු කැළඹීල්ලක් ඇතිකරන. මේකත් ඒ වගේ අවස්ථාවක්....

    ReplyDelete
  3. චිත්‍රය හරිම අගෙයි. මටත් අමතකවී තිබුණු සිද්ධියක් ඒ චිත්‍රය ආශ්‍රීතව රසවත් ලෙස ගොඩ නගා තිබීම විශාල ජයග්‍රහණයක්. අපේ මහගෙදර සිටි පූසන් සහ බල්ලන් ගැන නම් තව කතන්දර සිය ගනනක් ලියන්නට හැකි වේවි. තව ලියන්න !

    ReplyDelete
  4. සමහර මිනිස්සු දිව්‍ය ලෝකේ යන්න මැරෙනකම් බලාගෙන නොඉන්න බවත් ජීවත් වෙලා ඉන්දැද්දී ම තමන්ගේ ජීවිත ඇතුළේ පුංචි දිව්‍ය ලෝක හදාගන්න බවත් වරකාගොඩ ආච්චි නිසා මම ඉගෙනගත්තා

    එහෙම මිනිස්සු

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...