November 08, 2019

විල්ලුද හාවා

The Velveteen Rabbit | Margery Williams




එක්තරා කාලයක විල්ලුද රෙද්දෙන් නිමවුණු හාවෙක් හිටියා. මුලදී නම් එයා හාවෙක් ඉන්න ඕන විදිහටම හොඳට ලස්සනට, මහතට හිටියා. මේ හාවාට සුදු-දුඹුරු පුල්ලි, ඇත්තම නූල් වලින් නිම වුණු රැවුල් ගස් වගේම රෝස සැටින් රෙද්දෙන් හැඩ වුණු කන් පවා තිබුණා. නත්තල් දවසේ උදේ පිරිමි ළමයාට ලැබෙන්න නියමිත තෑගි පුරවපු මේස් කකුලට මේ හාවා ව දාලා තිබුණේ එයාගේ අත් දෙක මැද්දේ හොලී ඉත්තකුත් රඳවලායි. ඒක හරිම ලස්සන දර්ශනයක් වුණා.


ඒ තෑගි පිරුණු මේස් කකුලේ තව ගොඩාක් දේවල් තිබුණා. කජු පියලි ජාති, දොඩම් ගෙඩි, සෙල්ලම් කෝච්චියක්, චොකලට් ආමන්ඩ් ඇට ටිකක්, යාන්ත්‍රිකව වැඩ කරන සෙල්ලම් මීයෙක් වගේ දේවල් කොයිතරම් තිබුණත් එතැන තිබුණු හොඳම දේ තමයි මේ විල්ලුද හාවා. එදා අඩුම තරමේ පැය දෙකක් වත් ළමයා හාවාට ආදරය කළා. ඊටපස්සේ ඔක්කොම නැන්දලා මාමාලා රෑ කෑමට ආවා, තෑගි දිග ඇරෙන සර සර සද්දේ ඇහුණා. අනෙත් තෑගි ටික බලන්න තිබුණු කලබලයි උනන්දුවයි අතරේ හැමෝටම විල්ලුද හාවා ව අමතක වෙලා ගියා.


ඊටපස්සේ සෑහෙන්න කාලයක් ගතවෙනකම්ම හාවා ජීවත් වුණේ සෙල්ලම් බඩු කාමරයේ අල්මාරියක් ඇතුලේ. කිසිකෙනෙක් එයාව ගණන් ගත්තේ නැහැ. එයා කොහොමත් කුලෑටි නිසාත් විල්ලුද රෙද්දෙන් නිමකරලා තිබුණ නිසාත් අනෙත් මිල වැඩි සෙල්ලම් බඩු නිතරම එයාට ඇනුම් පද කීවා. යාන්ත්‍රික සෙල්ලම් බඩු නම් හිටියේ හරි උඩඟුකමින්. ඒ අයට අලුත් අලුත් අදහස් තිබුණා. ඒ අය තමන්ට පණ තියෙන බවක් මවා පාලා හැම වෙලාවකම අනෙත් සෙල්ලම් බඩු පහත් කරලා සැලකුවා. ඍතු දෙකක්ම තිස්සේ තමන්ගේ ඇඟේ ගාලා තිබුණු තීන්ත වලින් වැඩි හරියක් අහිමි වෙලා තිබුණු සෙල්ලම් බෝට්ටු ආකෘතිය පවා අනෙත් අයගේ පුරසාරම් අහලා පුළුවන් හැමතිස්සෙම තමන්ගේ අංගෝපාංග ගැන කාර්මික නිර්වචන දුන්නා. ලෝකයේ ඇත්තම හාවෝ ඉන්න බව නොදැන හිටිය මේ හාවාට තමන් නම් කිසිම දෙයක අනුරුවක් බව කියන්න විදිහක් තිබුණේ නැහැ. එයා හිතාගෙන හිටියේ අනෙත් හැම හාවෙක්මත් තමන් වගේ ලී කුඩු පුරවලා තිබුණු අය කියලායි. ඒ වගේම ලී කුඩු කියන්නේ බොහොම යල් පැනපු දෙයක් නිසා අලුත් පන්නයේ සමාජ ආශ්‍රයෙදී ඒ ගැන කතා කළ යුතු නැති බවත් එයා දැනගෙන හිටියා. ආබාධිත සොල්දාදුවන්ගේ අතින් නිමවුණු ලී සිංහයා-තිමති- පුළුල් අදහස් දරන කෙනෙක් විය යුතු වුණත් තමන් ආණ්ඩුවට සම්බන්ධ බවක් පෙන්වමින් එයාත් නිතරම හිටියේ හරි උජාරුවෙන්. මේ හැම කෙනාම එකතුවෙලා පුංචි හාවාට තමන් කිසිම වැදගත්කමක් නැති බාල බඩුවක් බව ඒත්තු ගන්නලා තිබුණා. එයාට කරුණාව පෙන්නුවේ හම් අශ්වයා විතරයි.


හම් අශ්වයා අනෙත් හැම කෙනෙකුටම වැඩි කාලයක් සෙල්ලම් බඩු කාමරයේ ජීවත් වෙලා තිබුණා. එයා කොයිතරම් වයසයි ද කියනවා නම් එයාගේ ඇඟේ තැන තැන දුඹුරු ලොම් හැලිලා යටින් තිබුණු මූට්ටුත් මතුවෙලා පෙනුණා. එයාගේ වල්ගයේ නූල්, මාලවල පබළු අමුණන්න උගුල්ලගෙන ගිහින් තිබුණා. ඒත් එයා බොහොම නුවණක්කාරයි. අවුරුදු ගාණක් තිස්සේ යාන්ත්‍රික සෙල්ලම් බඩු මහා සේනාවක් ඇවිත්, උජාරු කතා කියලා, කාලයක් ගිහින් යාන්ත්‍රික දෝෂ ඇතිවෙලා මැරිලා යනවා හම් අශ්වයා හොඳහැටි දැකලා තිබුණා. ඒවා සෙල්ලම් බඩු විතරක් බවත්, කවදාවත් ඊට වැඩි දෙයක් බවට පත්වෙන්නේ නැති බවත් එයා දැනගෙන හිටියා. සෙල්ලම් කාමරයේ බල පැවැත්වුණු මායා බලය හරි අමුතුයි, අපූරු යි. හම් අශ්වයා වගේ කාලයක් තිස්සේ අත්දැකීම් ලබපු වයසක, නුවණක්කාර අයට විතරයි ඒවා ගැන තේරුමක් තිබුණේ.


"පණ ලැබෙනවා කියන්නේ මොකක්ද?"


හාවා දවසක් ඇහුවා. නැනා සෙල්ලම් කාමරය අස්කරන්න එන්න කලින් ඒ දෙන්නා උදුන ඉස්සරහා තිබුණු වැට ළඟ වැතිරිලා හිටියේ.


"ඒ කියන්නේ තමන්ගේ ඇඟ ඇතුලේ සද්ද වෙන මොනවා හරි තියෙන එකටද? දඟ කවන්න යතුරු තියෙන එකද?”


"පණ ලැබෙනවා කියන්නේ තමන්ව හදපු විදිහ නෙමෙයි." හම් අශ්වයා කීවා. "ඒක තමන්ට සිද්ධ වෙන දෙයක්. පුංචි ළමයෙක් තමන්ට සෑහෙන්න කාලයක් තිස්සේ ආදරේ කළා ම, සෙල්ලම් කරන්නම විතරක් නෙමෙයි-ඇත්තටම ආදරේ කළා ම, තමන්ට පණ ලැබෙනවා."


"එතකොට රිදෙනවාද?" හාවා ඇහුවා.


"සමහර වෙලාවට" හම් අශ්වයා නිතරම ඇත්ත කියන නිසා හාවාට ඇත්තම කීවා. "ඒත් පණ ලැබුණා ම රිදුණා ට ගාණක් නැහැ."


"ඒක යතුරකින් දඟ කවනවා වගේ එකපාරට වෙනවාද?" හාවා ඇහුවා. "නැත්නම් හෙමින් හෙමින් වෙන දෙයක් ද?"


"ඒක එකපාරට වෙන දෙයක් නෙමෙයි." හම් අශ්වයා උත්තර දුන්නා. “තමන් ඒ තත්ත්වයට පත්වෙනවා. ඒකට සෑහෙන්න කාලයක් යනවා. ඒකයි ඉක්මණින් කැඩෙනසුළු අයට, තියුණු දාර තියෙන අයට, පරෙස්සමෙන් බලාගන්න ඕන අයට පණ ලැබෙන්නේ නැත්තේ. සාමාන්‍යයෙන් පණ ලැබෙන කාලේ වෙද්දී ආදරය ලැබිලා ලැබිලා තමන්ගේ කෙස් ඔක්කොම හැලිලා, ඇස් ගැලවිලා, හන්දි බුරුල් වෙලා… කොටින්ම කියනවා නම් තමන් හොඳටම කසිකබල් වෙලා. ඒත් ඒ කිසි දෙයක් වැදගත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමන්ට පණ ලැබුණා ම ආයෙත් කවදාවත් කැත වෙන්නේ නැහැ. එහෙම කැතට පෙනුණත් පේන්නේ මේ සිද්ධ වුණු දේ නොතේරෙන අයට විතරයි.”


“ඔයාට නම් පණ ලැබිලා ඇති නේද?” හාවා ඇහුවා. ඒත් තමන් එහෙම ඇහුවේ නැත්නම් හොඳයි කියලා එයාට පස්සේ හිතුණේ හම් අශ්වයා ඒ කතාවට ටිකක් සංවේදී ඇති කියලා මතක් වෙලා. ඒත් හම් අශ්වයා හිනා වුණා විතරයි.


“මේ පිරිමි ළමයාගේ මාමා නිසා මට පණ ලැබුණා.” එයා කීවා. “ඒ නම් අවුරුදු ගණනාවකට ඉස්සර. ඒත් එක සැරයක් පණ ලැබුණා ම ආයෙත් නැතිවෙන්නේ නැහැ. ඒක හැමදාටම යි”


හාවා සුසුමක් හෙලුවා. තමන්ට නම් පණ ලැබෙනවා කියන මායාව සිද්ධ වෙද්දී තව කාලයක් ගතවෙයි කියලා එයාට හිතුණා. එයාට පණ ලබන්න, ඒක අත්විඳින්න ලොකු ආසාවක් තිබුණත් එහෙම වුණොත් තමන් පරණ පාට වෙන එක, ඇස්, රැවුල් ගස් නැතිවෙන එක නම් හරිම දුක හිතෙන වැඩක් කියලාත් හිතුණා. ඒවගේ කරදර නොවී පණ ලබන්න ඇත්නම් කියලා හාවාට හිතුණා.


සෙල්ලම් කාමරය පාලනය කළේ නැනා කියලා කෙනෙක්. සමහරවෙලාවට එයා සෙල්ලම් බඩු හැමතනම විසිරිලා තිබුණු එක ගණන් ගත්තේවත් නැහැ. ඒත් සමහරවෙලාවට කිසිම හේතුවක් නැතිවම එයා සුළි සුළඟක් හමනවා වගේ කලබලෙන් සෙල්ලම් බඩු අල්මාරි වලට වීසි කළා. එයා මේකට කීවේ ‘අස් කරනවා’ කියලා. සෙල්ලම් බඩු ටික- වැඩියත්ම යකඩින් හැදුව සෙල්ලම් බඩු - මේ අස් කිරිල්ලට ඩිංගක් වත් කැමැත්තක් තිබුණේ නැහැ. හාවට නම් මේක ගාණක් වුණේ නැහැ, ඒ එයා මෙළෙක නිසා කොතැනට වැටුණත් හානියක් වුණේ නැති නිසා.


එක හවසක, පිරිමි ළමයා නිදා ගන්න යද්දී එයා හැමදාම තුරුල් කරගෙන නිදාගත්තු පිඟන් මැටි බල්ලා ව හොයාගන්න බැරි වුණා. නැනා ලොකු හදිස්සියක හිටියේ- නින්දට යන වෙලාව පිඟන් මැටි බල්ලන්ව හොයන්න හොඳ වෙලාවක් නෙමෙයි. එයා වටපිට බලද්දී සෙල්ලම් බඩු අල්මාරියේ දොරක් ඇරලා තියෙනවා දැකලා ඉක්මනට එතැනට ගියා.


“ආ මෙන්න.” ඈ කීවා. “ඔයාගේ මේ පරණ හාවා ව ගන්න. එයා හොඳයි ඔයාට ළඟ තියාගෙන නිදාගන්න” එහෙම කියලා ඈ හාවා ව එක කණකින් ඇදලා අරගෙන පිරිමි ළමයාගේ අතට දුන්නා.


එදා රෑත් ඊටපස්සේ එළඹුණු රැයවල් ගණනාවකත් විල්ලුද හාවා පිරිමි ළමයාගේ ඇඳේ නිදාගත්තා. ළමයා එයාව තදට තුරුළු කරගත්ත නිසා, එයාගේ ඇඟ උඩට නින්දෙන්ම පෙරලුණු නිසා, සමහර වෙලාවට එයාව හුස්ම ගන්න බැරිවෙන තරමට කොට්ටය යටට තල්ලු කළ නිසා මුලදී මුලදී හාවාට හරි අපහසුවක් දැනුණා. මුළු ගෙදරම නිශ්ශබ්ද රාත්‍රී කාල වල, හඳ එළිය ඉහිරෙද්දී, සෙල්ලම් බඩු කාමරයේ ඉඳන් හම් අශ්වයා එක්ක කතා බහ කරමින් ගත කළ කාලයට ආයෙත් යන්න ඇත්නම් කියලාත් හිතුණා. ඒත් වැඩි කල් නොගිහින් හාවාට මේ හැමදේටම කැමැත්තක් ඇතිවෙන්න ගත්තා. පිරිමි ළමයා හාවා එක්ක නිතර කතා කළා, ඇඳ රෙදි අතරේ එයාට අපූරු බිංගෙවල් හදලා දුන්නා. එයා කිව්වේ ඒ බිංගෙවල් ඇත්ත හාවෝ ජීවත් වුණු ගුල් වගෙයි කියලා. නැනා උදුනට උඩින් ඇති රාක්කේ පහනක් පත්තු කරලා තියලා රෑ කෑමට ගියාම ඒ දෙන්නා රහස් කියමින් එක එක ඉස්තරම් සෙල්ලම් ජාති කළා. පිරිමි ළමයා ට නින්ද ගියාම හාවා එයාගේ පුංචි උණුහුම් නිකට යටට තුරුල් වෙලා හීන දකින්න පුරුදු වුණා. ළමයා රෑ පුරාම හාවා ව තුරුළු කරගෙන නිදා ගත්තා.


මේ විදිහට කාලය ගත වුණා. හාවා හරිම සතුටින් හිටියේ. කොයිතරම් සතුටින් හිටියාද කියනවානම් තමන්ගේ ලස්සන විල්ලුද ලොම් පරණ වේගෙන යන හැටි දැනුණේ වත් නැහැ. තමන්ගේ වලිගේ මූට්ටු ලෙහිලා ගිය බවත් ළමයා හාදු දුන්නු තැන් වල නහයේ රෝස පාට මැකිලා ගිහින් බවත් තේරුණේ නැහැ.


වසන්තය එළඹුණාම දෙන්නා දවස පුරාම ගෙඋයනේ කාලය ගත කළා. ළමයා යන යන හැමතැනම හාවාත් අරගෙන ගියා. හාවා වීල්බැරෝවේ ගමන් ගියා, තණ බිස්සේ සෙල්ලම් සාද වලට හවුල් වුණා. මල් පාත්ති පිටිපස්සේ රාස්බෙරි පඳුරු අස්සේ හාවාට සුරංගනා කුටි තැනුණා. දවසක් හාවා ව ඇඳිරි වැටෙන වේලාවත් පහුවෙනකම් තණබිස්සේ අමතක වෙලා ගිහින් තිබුණේ ළමයා සෙල්ලම් කර කර ඉන්දැද්දිම එයාට ගමනක් යන්න අඬගහලා තිබුණු නිසා යි. හාවා නැතිව ළමයාට නින්ද යන්නේ නැති නිසා එදා නැනා කළුවරේම ඉටිපන්දමක් අරගෙන හාවා ව හොයන්න ආවා. ඒ වෙද්දී පිණි වැටිලා හාවා තෙත් වෙලා හිටියේ. ළමයා හදලා දුන්නු ගුල් වල රිංගලා ඇඟේ හැමතැනම පස් ගෑවිලාත් තිබුණා. නැනා මැසිවිලි කිය කියා තමන්ගේ ඇඳුමේ කොණකින් හාවා ව පිහිදැම්මා.


“ඔයා මේ පරණ හාවා ව ඕනෙමයි කියන හැටි!” ඈ ළමයාට කීවා. “සෙල්ලම් බඩුවක් වෙනුවෙන් මේ තරම් කලබලයක්!”


පිරිමි ළමයා දෑත පාලා ඇඳ උඩ වාඩිවෙලා හිටියා.


“දෙන්න මගේ හාවා ව!” එයා කීවා. “එහෙම කියන්න එපා. එයා සෙල්ලම් බඩුවක් නෙමෙයි. එයාට පණ තියෙනවා!”


ඒක ඇහුණාම හාවාට හරි සතුටක් දැනුණා. හම් අශ්වයා කීව දේ ඇත්ත බව එයාට තේරුණා. සෙල්ලම් බඩු කාමරයේ මායාවට නතුවෙලා තමන් දැන් තවදුරටත් සෙල්ලම් බඩුවක් විතරක් නෙමෙයි. තමන්ට පණ ලැබිලා... ඒ බව කීවේ පිරිමි ළමයාමයි!


එදා රෑ සන්තෝසය වැඩි කමට හාවාට නින්ද ගියේත් නැහැ. එයාගේ පුංචි ලී කුඩු හදවත පුපුරලා යන තරමට ආදරයෙන් පිරිලා ගියා. බොහොම කාලෙකට ඉස්සර දිස්නය නැති වුණු හාවාගේ බොත්තම් ඇස් දෙක අමුතුම ලස්සනකින්, නුවණක්කාර බවකින් හැඩ වුණා. මේ වෙනස කොයිතරම් ද කියනවානම් ඊළඟ දවසේ උදේ නැනා හාවා ව අතට ගනිද්දී හාවාගේ අමුත්තක් දැක්කා. “මේ හාවාගේ මූණේ තියෙනවා නිකම් හැමදේම දන්නවා වගේ පෙනුමක්!” ඈ කීවා.


ඒ ගිම්හාන කාලය සතුටින් පිරුණු එකක් වුණා!


ඒ කට්ටිය ජීවත්වුණු ගෙදර කිට්ටුව පුංචි කැලයක් තිබුණා. ජුනි මාසයේ දිග හවස් වරු වල දී, හවස තේ වේලාවෙන් පස්සේ ඒ කැලයට සෙල්ලම් කරන්න යන්න ළමයා බොහොම ප්‍රිය කළා. මෙහෙම යද්දී එයා විල්ලුද හාවාත් අරගෙන ගියා. කැලේ තැන තැන ඇවිදලා මල් කඩලා එකතුකරන්න යන වෙලාවට, එහෙම නැත්නම් ගස් අතරේ සොල්දාදු සෙල්ලමට යන වෙලාවට ළමයා හාවාට කොළ රොඩු එකතු කරලා පුංචි කැදැල්ලක් හදලා දුන්නා. මෙහෙම කළේ එයා බොහොම හිත හොඳ කෙනෙක් නිසායි. එක හවසක හාවා මෙහෙම වාඩිවෙලා තමන්ගේ විල්ලුද අත් දෙක මැද්දෙන් එහාට මෙහාට යන කූඹි දිහා බලාගෙන ඉන්දැද්දි කිට්ටුව තිබුණු උස පඳුරක් අතරින් අමුතු සත්තු දෙන්නෙක් හෙමින් මතුවෙනවා දැක්කා.


ඒ හිටියේත් තමන් වගේම හාවෝ තමයි, ඒත් අයට හොඳට ලොම් තිබුණා, අලුත් පාටක් පෙනුණා. ඒ හාවෝ දෙන්නාගේ කිසිම මූට්ටුවක් නොපෙනුණ නිසා උන්ට හොඳ නිමාවක් තිබුණු බවක් පෙනුණා. එහෙ මෙහෙ යද්දී ඒ දෙන්නාගේ හැඩය අමුතු විදිහකට වෙනස් වුණා. තමන් වගේ හැමතිස්සෙම එකම හැඩයකට නැතිව ඒ අය එක මොහොතක් හීනියට දිගට පෙනුණා, ඊළඟ මොහොතේ මහතට, රවුමට පෙනුණා. හෙමින් අඩි තියමින්, නහයවල් සොලවමින් ඒ අය මේ හාවා ළඟටම ආවා. සාමාන්‍යයෙන් දුවන පනින අය එහෙම හෙලවෙන්නේ යතුරකින් දඟ කැව්වාට පස්සේ බව දැනගෙන උන්නු හාවා ඒ දෙන්නාගේ යතුරු තිබුණු තැන හරියටම දැකගන්න මහන්සි වුණා, ඒත් එහෙම දෙයක් දකින්න ලැබුණේම නැහැ. පෙනුණ විදිහට මේ අලුත්ම ජාතියේ හාවෝ දෙන්නෙක්.


උන් නහයවල් සොලවමින් පුංචි හාවා දිහා බලාගෙන හිටියා, එයාත් ආපිට ඒ අය දිහා බලාගෙනම හිටියා.


“ඇයි ඔයා නැගිටලා ඇවිත් අපි එක්ක සෙල්ලම් නොකරන්නේ?” එක හාවෙක් ඇහුවා.


“මට සෙල්ලම් කරන්න හිතක් නැහැ” තමන්ට දඟ කවන කොටස් නැති බව කියන්න අකමැති නිසා හාවා එහෙම උත්තර දුන්නා.


“හෝ! ඒක හරි ලේසි වැඩක්” ලොම් පිරුණු හාවා එහෙම කියලා පැත්තට පිම්මක් පැනලා තමන්ගේ පස්සා ගාත් දෙකෙන් හිටගත්තා. “මම හිතන්නේ නැහැ ඔයාට පුළුවන් කියලා!"


“මට පුළුවන්!” පුංචි හාවා කීවා. “මට ඕනෑ තරම් උසට පනින්න පුළුවන්!” එයා එහෙම කියද්දී අදහස් කළේ ළමයා තමන්ව උඩට වීසි කළාම එහෙම පනින්න පුළුවන් බව- ඒත් ඒ බවක් කියන්න එයාට වුවමනාවක් තිබුණේ නැහැ.


“ඔයාට පුලුවන්ද පස්සා ගාත් වලින් උඩ පනින්න?” ලොම් පිරුණු හාවා ඇහුවා.


ඒක හරි දරුණු ප්‍රශ්නයක්. ඒකට හේතුව විල්ලුද හාවාට පස්සා ගාත් තිබුණේම නැහැ! එයාගේ පිටිපස්සේ කොටස අල්පෙනිති ගහන කොට්ටයක් වගේ තනිකරම රවුමට මහලා තිබුණේ. හාවා හෙලවෙන්නේ වත් නැතිව කොළ රොඩු අතරේ වාඩිවෙලා හිටියේ මේ බව අනෙත් හාවෝ නොදකියි කියන බලාපොරොත්තුවෙන්.


“මට එහෙම කරන්න ඕනෑකමක් නැහැ!” එයා ආයෙත් වතාවක් කීවා.

ඒත් කැලේ හාවොන්ට හොඳ තියුණු ඇස් තිබුණා. ඉන් එක හාවෙක් බෙල්ල දිගඇරලා හොඳට බැලුවා.


“එයාට පස්සා ගාත් නැහැ!” එයා කෑගහලා කීවා. “හිතලා බලන්නකෝ.. පස්සා ගාත් නැති හාවෙක්!” එහෙම කියලා එයා හිනාවෙන්න පටන් ගත්තා.


“මට පස්සා ගාත් තියෙනවා!” පුංචි හාවා කෑගහලා කිව්වා. “මම ඒවා උඩ වාඩිවෙලා ඉන්නේ!”


“එහෙනම් ඒවා මේ විදිහට දිග ඇරලා මට පෙන්නන්න!” කැලෑ හාවා කිව්වා. එහෙම කියලා කැරකි කැරකි නටන්න පටන්ගත්තා. ඒක බලාගෙන ඉඳලා පුංචි හාවාට කැරකිල්ලත් හැදුණා.


“මම කැමති නැහැ නටන්න” එයා කීවා. “මම වැඩියම කැමති දඟලන්නේ නැතිව ඉන්න"


ඒත්, එහෙම කියද්දීත් එයාට නටන්න හරි ආසාවක් දැනුණා. එයාගේ ඇඟ ඇතුලේ අලුත්ම, අමුතුම කිතියක් දැනුණා. අනෙත් හාවෝ වගේ තමන්ටත් උඩ පනින්න ලැබෙනවා නම් මේ ලෝකේ ඕන දෙයක් ඒ හිලව්වට දෙන්න පුලුවන් බවක් එයාට දැනුණා.


අමුතු හාවා නැටිල්ල නවත්තලා ළඟටම ආවා. කොයිතරම් ළඟට අවාද කියනවානම් උගේ රැවුල් ගස් විල්ලුද හාවා ගේ කණක ගෑවුණා. එයා එකපාරටම නහය රැළි කරලා, කන් දෙක පහත් කරගෙන ආපස්සට පැන්නා.


“මෙයාගෙන් දැනෙන්නේ හරි සුවඳක් නෙමෙයි!” එයා කෑගැහුවා “මෙයා හාවෙක් නෙමෙයි! එයාට පණ නැහැ!”

“මට පණ තියෙනවා!” පුංචි හාවා කීවා. “මට පණ තියෙනවා! ළමයා ඒ බව කීවා!” එහෙම කියද්දී එයාට ඇඬෙන්නත් ගියා.


ඒ වෙලාවේ අඩි සද්දයක් ඇහුණා, පිරිමි ළමයා එතැනින් දුවලා ගියා. ඒ එක්කම අඩි හප්පලා පුංචි සුදු වලිග ගස්සලා හා අමුත්තෝ දෙන්නාත් අතුරුදහන් වුණා.


“ආයෙත් ඇවිත් මාත් එක්ක සෙල්ලම් කරන්න!” පුංචි හාවා කෑගහලා කීවා. “අනේ ආයෙත් එන්න. මම දන්නවා මට පණ තියෙනවා කියලා!”


ඒත් කිසිම උත්තරයක් ලැබුණේ නැහැ. පුංචි කූඹි ටික විතරක් එහේ මෙහෙ ගියා, අමුත්තෝ දෙන්නා යන්න ගිය තැන තිබුණු පඳුර හෙමින් හෙල්ලුණා. විල්ලුද හාවා තනිවෙලා හිටියා.


“අනේ, ඇයි ඒ අය එහෙම පැනලා ගියේ!” එයා හිතුවා. “ඇයි නැවතිලා මාත් එක්ක කතා නොකළේ?”


අනෙත් හාවෝ දෙන්නා ආයෙත් එයි කියන බලාපොරොත්තුවෙන් සෑහෙන්න වෙලාවක් යනකම් හාවා පඳුරු දිහා බලාගෙන නිසොල්මන් ව හිටියා. ඒත් ඒ අය ආපිට ආවේම නැහැ. ටික වෙලාවකින් ඉර බැහැලා ගිහින් පුංචි සුදු මෙරු එළියට පියාඹලා ආවා, පිරිමි ළමයා ඇවිත් හාවා ව ගෙදර අරගෙන ගියා.


සති ගණනක් ගතවුණා. හාවා එන්න එන්නම පරණ පාට වුණත් පිරිමි ළමයා එයාට තිබුණ ආදරේ අඩුවක් නම් වුණේ නැහැ. ඒ ආදරේ කොයිතරම් ද කියනවානම් එයාගේ රැවුල් ගස් ගැලවිලා ගියා, කන් දෙකේ රෝස පාට අළු පාටකට හැරුණා, දුඹුරු පුල්ලි මැකිලා ගියා. එයාගේ හැඩයත් වෙනස් වෙලා හාවෙක්ගේ හැඩය නැතිවෙලා ගියා. ඒත් ළමයාට නම් හාවා හැමදාම ලස්සනට පෙනුණා. පුංචි හාවාට වැදගත් වුණේ ඒ බව විතරයි. සෙල්ලම් බඩු කාමරයේ මායා බලයෙන් තමන්ට පණ ලැබුණු නිසා අනෙත් අයට තමන්ව කොහොම පෙනුණත් ඒ ගැන වගක් වුණේ නැහැ. පණ ලැබුණාට පස්සේ තමන් කොයිතරම් කසිකබල් පාට වුණත් කමක් නැහැ කියලා හාවාට හිතුණා.


ඔය අතරවාරයේ දවසක් පිරිමි ළමයා ලෙඩ වුණා.


එයාගේ මූණ හොඳටම රතුවුණා, එයා නින්දෙනුත් කතා කළා. එයාගේ පුංචි ඇඟ කොයිතරම් රස්නේ වුණා ද කියනවා නම් හාවා ව තුරුල් කරගෙන ඉන්දැද්දි පිච්චෙනවා වගේ දැනුණා. එක එක විදිහේ අමුත්තෝ නිතරම කාමරයට ඇවිත් ගියා. රෑ එලිවෙනකල්ම කාමරයේ පහනක් පත්තු වුණා. මේ හැමදෙයක්ම සිද්ධවෙන අතරේදී විල්ලුද හාවා ඇඳ රෙදි යටට වෙලා හෙල්ලෙන්නේවත් නැතිව හැංගිලා හිටියා. එහෙම හිටියේ ළමයාට තමන්ව ඕන බව දැනගෙන හිටිය නිසා, තමන්ව කවුරුහරි හොයාගෙන අයින් කරාවි කියලා බයෙන්.


ඒක බොහොම දිග වෙහෙසකර කාලයක්. ළමයා අසනීපෙන් නිසා සෙල්ලම් කළේ නැහැ. හාවාට දවස තිස්සෙම කිසිම දෙයක් නොකර ඉන්න එක හරිම කම්මැලි වැඩක් වුණා. ඒත් එයා බොහොම ඉවසීමෙන් ගුලිවෙලා බලාගෙන හිටියේ ඉක්මණටම ළමයාට සනීප වෙනකම්. ආයෙත් මල්, සමනලයන් පිරුණු ගෙවත්තට යන්නත් රාස්බෙරී පඳුරු අතරේ අපූරු සෙල්ලම් කරන්නත් ලැබෙනකම් එයා මඟ බැලුවා. හාවා එහෙම ඉන්න අතරේ ඉස්සරහට කරන්න බොහොම සොඳුරු දේවල් සැලසුම් කළා. අඩ නින්දේ ඉන්න ළමයාගේ කොට්ටය ලඟට හෙමින් සැරේ ගිහින් එයාගේ කණට කොඳුරලා ඒ සේරම දේවල් කිව්වා. ටික දවසක් යද්දී උණ අඩුවෙලා ළමයාට සනීප වුණා. හාවාත් පැත්තකින් තුරුල් වෙලා ඉන්දැද්දි එයාට ඇඳේ වාඩිවෙලා පින්තූර පොත් බලන්න පුළුවන් වුණා. දවසක් ළමයාට ඇඳෙන් බැහැලා ඇඳුම් මාරු කරගන්න පවා අවසර ලැබුණා.


ලස්සන ඉර එළිය ඉහිරුන උදෑසනක කාමරයේ ජනේල ඇරලා තිබුණේ. පිරිමි ළමයාව පොරෝණයකින් ඔතලා සඳලුතලයට ඔසවාගෙන ගිහින් තිබුණා. පුංචි හාවා ඇඳ රෙදි අතරට වෙලා කල්පනා කර කර හිටියේ.


ළමයා හෙට මුහුදු වෙරළ තියෙන පැත්තකට යන්නයි හිටියේ. ඒ වෙද්දී හැම දේම ලෑස්ති කරලා දොස්තරගේ උපදෙස් පිළිපදින්න විතරයි ඉතිරි වෙලා තිබුණේ. ඒ ගැන අනෙත් අය කතා කරද්දී පුංචි හාවා ඇඳ රෙදි යට වැතිරිලා, ඔලුව විතරක් යන්තම් එළියට දාගෙන අහගෙන හිටියා. මුළු කාමරයේම විෂබීජ නැති කරන්නත්, ළමයා අසනීප කාලේ සෙල්ලම් කළ හැම සෙල්ලම් බඩුවක් ම, පොතක්ම පුළුස්සලා දාන්නත් නියමිත වෙලා තිබුණා.


"නියමයි!" හාවා හිතුවා. "හෙට අපි මුහුද තියෙන පැත්තට යනවා!" ළමයා නිතරම මුහුද ගැන කතා කළ නිසා එයාටත් ලොකු රළ පෙරලෙන හැටි, පුංචි කකුළුවෝ, වැලි මාලිගා මේ හැම දෙයක්ම දකින්න ලොකු ආසාවක් තිබුණා.


ඒ වෙලාවේම හාවා ව නැනාගේ ඇහැ ගැටුණා.


"එතකොට මේ පරණ හාවා?" ඈ ඇහුවා.


"ඕකද?" දොස්තර ඇහුවා. "ඕක විෂබීජ ගොඩක් නේ! වහාම පුච්චලා දාන්න. මොකක්ද? විකාර! එයාට අලුත් එකක් ගෙනත් දෙන්න. ආයෙත් ඕක නම් දෙන්න එපා!"


ඉතින් ඔය විදිහට පරණ පින්තූර පොත් එක්ක වෙනත් කුණු කසල ගොඩාක් පුරවපු ගෝනියකට හාවාත් දාලා වත්තේ කෙළවර කුකුල් කොටුව පිටිපස්සට ගිහින් දැම්මා. ගිණි ගොඩක් ගහන්න එතැන නම් කියාපු තැන, ඒත් උයන්පල්ලාට වෙන වැඩ තිබුණු නිසා ඒ වෙලාවේ ඒක කරන්න ලැබුණේ නැහැ. එවෙලේ අර්තාපල් ගලවන්නයි, බෝංචි අස්වැන්න නෙලන්නයි තිබුණු නිසා පස්සෙන්දා පාන්දරම ඇවිත් ඒ ටික පුළුස්සලා දාන්න එයා පොරොන්දු වුණා.


එදා රෑ පිරිමි ළමයා නිදාගත්තේ වෙන නිදන කාමරයක. එයාට නිදාගනිද්දී ලඟින් තියාගන්න අලුත් හාවෙක් ලැබිලා තිබුණා. සුදු පාට ලොම්, ඇත්තම වීදුරු ඇස් තිබුණු එයා හරිම ලස්සන හාවෙක්. ඒත් ළමයා ලොකු උද්යෝගයකින් හිටිය නිසා අලුත් හාවා ගැන එයාට හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. පස්සෙන්දා මුහුදු වෙරළ පැත්තට යන එක කොයිතරම් අපූරු දෙයක්ද කියනවානම් ළමයාට වෙන කිසි දෙයක් ගැන කල්පනා වුණේ නැහැ.


ඉතින් ළමයා මුහුද ගැන හීන දකිමින් නිදාගෙන ඉන්දැද්දී කුකුල් කොටුව පිටිපස්සේ පරණ පින්තූර පොත් ගොඩේ වැතිරිලා උන්නු පුංචි හාවාට හරිම තනිකමක් දැනුණා. ගෝනිය ගැටගහලා නොතිබුණු නිසා ඇතුලේ ටිකක් එහා මෙහා වෙලා ගෝනි කටෙන් ඔලුව එලියට දාලා වටපිට බලන්න හාවාට පුළුවන් වුණා. හැමදාම හොඳ ඇඳක නිදාගෙන පුරුදුවෙලා තිබුණු නිසා හාවා හීතලෙන් වෙව්ලුවා. ළමයා තුරුළු කරගෙනම ඉඳලා හාවාගේ ලොම් තට්ටුවත් තුනී වෙලා තිබුණු නිසා එයින් ආරක්ෂාවක් නම් ලැබුණේ නැහැ. හාවාට ළඟින්ම පෙනුණේ නිවර්තන වනාන්තරයක් වගේ උසට හැදුණු රාස්බෙරී පඳුරු ටික. ඒවායේ හෙවනේ ඉස්සර ළමයාත් එක්ක සෙල්ලම් කළ හැටි හාවාට මතක් වුණා. ඉස්සර ඉර එළිය ඉහිරුණ බොහොම දිග පැය ගණන්වල ගෙවත්තේ ගත කළ කාලය මතක් වෙලා, ඒ දවස්වල ඒ දෙන්නා කොයිතරම් සන්තෝසයෙන් හිටියාද මතක් වෙලා හාවට ලොකු දුකක් දැනුණා. මේ හැම සිද්ධියක්ම එකක් අනෙකට වඩා ලස්සනට එයාට මැවී පේන්න පටන් ගත්තා. මල් පාත්තිවල තැනුණු සුරංගනා කුටි, කැලයේ කොළ රොඩු උඩ වැතිරිලා ගත කළ නිහඬ හවස් වරු, තමන්ගේ අත් දෙක උඩින් පුංචි කූඹි එහේ මෙහේ ගිය හැටි, තමන්ට පණ තියෙන බව දැනුණු ඒ සුන්දර දවස-මේ හැම දෙයක්ම එයාට මතක් වුණා. හාවාට හම් අශ්වයාගේ නුවණක්කාර බව, මෘදු බව, එයා තමන්ට කීව දේවල් මතක් වුණා. හැම දේම අවසාන වෙන්නේ මේ විදිහට නම් ආදරයත් ලබලා, තමන්ගේ ලස්සනත් නැතිවෙලා පණ ලැබුණු එකේ ප්‍රයෝජනය මොකක්ද? මේවා හිතද්දී එකම එක කඳුළු බින්දුවක්-ඇත්ත කඳුළු බින්දුවක්-එයාගේ පාට මැකුණු විල්ලුද නහය දිගේ ගලාගෙන ඇවිත් බිමට වැටුණා.


එතකොටම හරිම පුදුම දෙයක් සිද්ධ වුණා. කඳුළු බින්දුව බිමට වැටුණු තැන, ගෙවත්තේ කොහේදී වත් නොදැකපු ජාතියේ අමුතුම මලක් පැන නැඟුනා. කොළ මැණිකක දිස්නය තිබුණු හීනි දිගටි කොලත් ඒ මැද්දේ රත්තරන් පාට කෝප්පයක් වගේ මලකුත් තිබුණා. ඒක කොයිතරම් ලස්සනද කියනවා නම් හාවාට අඬන්නත් අමතක වෙලා වැතිරිලා ඒ දිහාවේ බලාගෙනම හිටියා. ටික වෙලාවකින් මලේ පෙති දිගඇරිලා සුරංගනාවියක් එළියට ආවා.


ඈ මුළු ලෝකේම හිටිය ලස්සනම සුරංගනාවිය. ඇගේ ගවුම මහලා තිබුණේ මුතු ඇටයි පිණි කැටයි එකතු කරලා. ඇගේ බෙල්ල වටේත් කෙහෙරැළි අතරේත් මල් ගවසලා තිබුණා. ඇගේ මූණත් ලස්සන මලක් වගේ පෙනුණා. ඈ පුංචි හාවා ළඟට ඇවිත් එයාව තුරුළු කරගෙන, අඬලා තෙත් වෙලා තිබුණු එයාගේ පුංචි විල්ලුද නහයට හාදුවක් දුන්නා.


"පුංචි හාවෝ" ඈ කීවා, " ඔයා දන්නවාද මම කවුද කියලා?"


හාවා ඈ දිහා හොඳහැටි බැලුවා. ඈව කළින් දැකලා හුරු බවක් දැනුණත් ඒ කොහෙදිද කියලා හාවාට මතක් වුණේ නැහැ.


"මම තමයි සෙල්ලම් කාමරයේ මායාවට අධිපති සුරංගනාව" ඈ කීවා. "ළමයි ආදරය කළ සෙල්ලම් බඩු බලාගන්නේ මම තමයි. ඒවා පරණ වෙලා, අබලන් වෙලා ළමයින්ට තවදුරටත් ඕනේ නැති වුණාම මම ඒවා අරගෙන ගිහින් පණ දෙනවා."


"මට කළින් පණ තිබුණේ නැද්ද?" පුංචි හාවා ඇහුවා.


"පිරිමි ළමයා ඔයාට ආදරේ කළ නිසා ඔයාට පණ තියෙන බවක් දැනුණේ එයාට විතරයි. ඒත් දැන් ඔයා හැම කෙනෙකුටම දැනෙන විදිහට පණ ලබන්න හදන්නේ"


එහෙම කියලා ඈ පුංචි හාවා ව දෑතින්ම තුරුළු කරගෙන කැලයට පියාඹලා ගියා.


ඒ වෙද්දී හඳ පායලා තිබුණු නිසා හැමතැනම ආලෝකය පැතිරුණා. ගස් වල අතු තුහින වැටිලා රිදී පාටට දිලිසෙමින් තිබුණු නිසා මුළු කැලයම ලස්සනට පෙනුණා. ගස් අතරේ එළිමහනක කැලෑ හාවෝ තමන්ගේ හෙවනැලි එක්ක සෙල්ලම් කරමින්, විල්ලුද තණ පලසේ නටමින් හිටියා. සුරංගනාවිය දුටුව ගමන් ඒ අය තමන්ගේ නැටුම් නවත්තලා රවුමට හිටගෙන ඈ දිහා දෑස් දල්වාගෙන බලා හිටියා.


"මම ඔයාලට සෙල්ලම් කරන්න අලුත් යාලුවෙක් ගෙනාවා." සුරංගනාවිය කීවා. "ඔයාලා එයාට බොහොම කරුණාවන්ත වෙලා හාවන්ගේ ලෝකයේ හැම දෙයක්ම එයාට කියලා දෙන්න ඕන. මින්පස්සේ එයා හැමදාටම ඔයාලා එක්ක ඉන්නයි යන්නේ.”


එහෙම කියලා ඈ පුංචි හාවාට හාදුවක් දීලා එයාව තණ බිස්සෙන් තිබ්බා.

"දුවලා ගිහින් සෙල්ලම් කරන්න පුංචි හාවෝ!" ඈ කීවා.


ඒත් පුංචි හාවා නිසොල්මන්ව මොහොතක් වාඩිවෙලා හිටියා. අනෙත් කැලෑ හාවන්ගේ නැටුම් දකිද්දී එයාට හදිසියේ මතක් වුණා තමන්ගේ පස්සා ගාත් ගැන. තමන් තනි හැඩේට නිමවලා තියෙන බවක් ඒ අය දකිනවාට හාවාට අකමැත්තක් දැනුණා. සුරංගනාව අන්තිම වතාවට තමන්ට හාදුවක් දෙද්දී තමන් සම්පූර්ණයෙන්ම වෙනස් කළ බව එයා දැනගෙන හිටියේ නැහැ. නහයට පුංචි කිතියක් නොදැණුනා නම් තව සෑහෙන්න වෙලාවක් හෙල්ලෙන්නෙවත් නැතිව ලැජ්ජාවේ එයා එහෙමම ඉන්න තිබ්බා. පුංචි හාවා නහය කසන්න තමන්ගේ පස්සා ගාතයක් ඉබේම ඉස්සුවා. ඒ වෙලාවේ තමයි තමන්ට පස්සා ගාත් තියෙන බව එයා දැනගත්තේ! ඊට අමතරව පරණ විල්ලුද රෙද්ද වෙනුවට තමන්ට දැන් දිලිසෙන දිග දුඹුරු ලොම් තියෙන බවත්, ඉබේම වගේ නැටවෙන කන් තියෙන බවත්, තණකොළ වල ගෑවෙන තරමේ දිග රැවුල් ගස් තියෙන බවත් හාවා දැක්කා. පස්සා ගාත් ලැබීමේ සතුටට එයා ලොකු පිනුමක් ගහලා තණබිස්ස වටේටම පැන පැන ගියා. එහෙම බොහොම උද්යෝගයෙන් අනෙත් අය කළ විදිහට ඒ පැත්තට, මේ පැත්තට පනිමින්, කැරකෙමින් උන්නු හාවා හදිසියේ මතක් වෙලා, නැවතිලා සුරංගනාවිය හොයද්දි ඈ අතුරුදහන් වෙලා තිබුණා.


අවසානයේදී හාවා අනෙත් හාවෝ අතරේ ඇත්තම, පණ තියෙන හාවෙක් බවට පත්වුණා.


හේමන්ත කාලයත් සීත කාලයත් ගෙවිලා ගියා. වසන්ත කාලය ආයෙත් ඇවිත් උණුසුම්, හිරු එලිය පිරුණු දවස් එළඹුනාම පිරිමි ළමයා ගේ පිටිපස්සේ කැලයට සෙල්ලම් කරන්න ගියා. එහෙම සෙල්ලම් කරද්දී හාවෝ දෙන්නෙක් පඳුරු අතරින් රිංගලා ඇවිත් එයා දිහා එබිලා බැලුවා. ඉන් එක්කෙනෙක් තනි දුඹුරු පාටයි. ඒත් අනෙත් එක්කෙනාගේ ඇඟේ ලොම් යටින් අමුතු පුල්ලි ලකුණු තිබුණේ හරියට ඉස්සර ඒ ඇඟේ පුල්ලි තිබුණා වගේ. ඒ පුංචි සිනිඳු නහයේත්, රවුම් කළු ඇස් දෙකේත් මොකක්දෝ හුරුපුරුදු බවක් දැනුණු නිසා ළමයා මෙහෙම හිතුවා


"අර හාවා නම් මම උණ හැදිලා උන්නු කාලේ නැතිවුණු මගේ පරණ හාවා වගේමයි!"


ඒත් ඒ එයාගේ පරණ හාවා ම බව ළමයා දැනගෙන හිටියේ නැහැ. ඒ හාවා ඇවිත් තිබුණේ තමන්ට මුලින්ම පණ දුන්නු පුංචි ළමයාව බලලා යන්න යි.





The Velveteen Rabbit by Margery Williams, Illustrations by William Nicholson Published in 1922

Photo: From the book Velveteen Rabbit- Wikimedia Commons



6 comments:

  1. Good Sinhala translation of a well known old Children's story. One can do a very good comparison of the old children's stories and modern ones through translations like this. These translations are worthwhile to be compiled in the form of a book.

    ReplyDelete
  2. හරි ලස්සන කතාවක් අක්කා. ස්තූතියි මේ වගේ ලස්සනට පරිවර්තනය කරලා අපිට කියවන්න දුන්නාට. පණ තියෙන සෙල්ලම්බඩු ගැන කාටූන්, චිත්‍රපට එහෙමනම් ගොඩක් බලලා තියෙනවා. ඒත් ඒ ගැන මෙහෙම හිතේ මවාගෙන කියවද්දි හිතට තව මොකද්දෝ අමුත්තක් දැනෙනවා... A nostalgic feeling...

    ReplyDelete
  3. හරිම ලස්සන කතාවක්. මේ වගේ පරිවර්තන හරිම වටිනවා, සිංහල කියවන ළමයින්ගේ පරිකල්පනය දියුණු කරන්න.

    ReplyDelete
  4. මේක මම ඊයෙ රෑ මගේ දුවට කිව්වා. අන්තිමට හාවා ඇවිත් බබාගේ ඇගට පැන්නා කියලා පොඩ්ඩක් වෙනස් කලා.හරිම ලස්සන කතාවක්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...