August 22, 2019

Serena Geddes, වමත් චිත්‍ර සහ සිංහල ක්‍රමයට 'හා' කීම


ඕස්ට්‍රේලියාවේ පාසැල් වල Book Week එක සමරන්නේ හැම අවුරුද්දෙම අගෝස්තු මාසේ තුන්වෙනි සතියේ. හැම අවුරුද්දෙම Children's Book Council of Australia (CBCA) එකෙන් දෙන තේමාවකට අනුව තමයි මේ වැඩසටහන් පෙළගැස්වෙන්නේ. මේ අවුරුද්දේ තේමාව "Reading is my Secret Power". ප්‍රාථමික පාසැල් වල නම් පුංචි ළමයින්ට වැඩියෙන්ම ගැලපෙන අංගත් ද්විතියික පාසැල් වල නම් සාහිත්‍යයට වැඩි බරක් ඇති අංගත් ඇතිව Book Week වැඩසටහන් සංවිධානය කෙරෙනවා. පොත් කතුවරුන් ලිවීම ගැන පවත්වන වැඩමුළු, පොත් ප්‍රදර්ශන, පොත් අලෙවි කුටි, පොතක චරිතයක් විදිහට ළමයින්ට ඇඳගෙන එන්න අවස්ථාව දෙන විකට ඇඳුම් තරඟ වගේ එක එක විදිහේ දේවල් මේ සතියේදී පාසැල් වල දකින්න පුළුවන්. 


Author and Illustrator- Serena Geddes
photo- www.greenleafpress.net
මම රැකියාව කරන පාසැලේ Book Week එකේ ප්‍රධාන අංගයක් වුණේ ප්‍රකට චිත්‍ර ශිල්පිනියක් වගේම ළමා පොත් කතුවරියක් වන Serena Geddes ළමයි කණ්ඩායමක් එක්ක කළ චිත්‍ර වැඩමුළුවක්. සෙරීනා ගේ චිත්‍ර ලෝකය පුරා ළමා පොත් පනහකට වැඩි ප්‍රමාණයක් හැඩ කරලා තියෙන බවත්, ඇය කාලයක් සිඩ්නි නගරයේ Walt Disney Animationsහි රැකියාව කර ඇති බවත් මම දැනගත්තේ එදා. මීට අමතරව සෙරීනා ම චිත්‍ර ඇන්ද ඇගේ පලවෙනි ළමා පොත අද හෙට එළිදැක්වෙනවා.

පුංචි කාලේ ඉඳන්ම රේඛා චිත්‍රත් කාටූන් චිත්‍රත් අඳින්න පුංචි පිස්සුවක් තියෙන මට මෙහෙම චිත්‍ර ශිල්පිනියක් මුණගැහෙන්න ලැබුණු එක බොහොම සතුටක් වුණා. ඒත් වැඩ රාජකාරී අතරේ සෙරීනාගේ චිත්‍ර වැඩමුළුවට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණේ බොහොම පුංචි වෙලාවක් විතරයි. ඒ පුංචි වෙලාවේදී ඇය අපූරු ක්‍රියාකාරකමක් කරනවා මම දුටුවා. ඒ තමයි එකම භාණ්ඩයක් වම් අතිනුත් දකුණු අතිනුත් අඳින්න උත්සාහ කරන්න ශිෂ්‍යාවන්ට අභියෝග කරන එක. එකම කඩදාසියක දෙපැත්තක මෙහෙම අඳිද්දී හුරු අතින් සහ නුහුරු අතින් එකම දේ නිර්මාණය වෙන වෙනස් විදිහ අපූරුවට නිරූපණය වෙනවා. වැඩි දෙනාගේ නුහුරු අත වන වම් අතෙන් අඳිද්දී මොලයේ දකුණු පැත්ත ක්‍රියාත්මක වන බවත් මොලයේ දකුණු පැත්ත හැඩතල හඳුනාගන්නවා මිසක් ඒ ඇන්ද භාණ්ඩය, හෙවනැල්ල ආදී දේ හරියටම නිර්වචනය නොකරන බවත් ඒ නිසා වමතින් අඳින චිත්‍ර බොහෝ විට පැතලි බවත් ඇය පැහැදිලි කළා. 'වම් අතින් බැරි නිසා' කිසිදිනක ඉන් චිත්‍ර අඳින්න උත්සාහ නොකළ අපි නොදන්නා මෙවගේ දේ තව කොයිතරම් ඇත්දැයි මට එවෙලේ හිතුණා.

වමතින් සහ දකුණු අතින් එකම දේ අඳින්න උත්සාහයක්

වැඩමුළුව අවසානයේ සෙරීනා පුංචි සංග්‍රහයකට අපි එක්ක එකතුවුණා. කතා බහ අතරේ මම ලංකාවේ බව කියද්දී ඇය පුදුමයෙන් සිනාසුණා.

"My Dad is Sinhalese too!"ඈ කීවා

ඒ පාර නම් පුදුම වුණේ මම!
ඇයගෙන් 'ලංකාවේ බවක්' නොපෙනෙන්නේ ඇගේ අම්මා අයිරිෂ් ජාතික කාන්තාවක් නිසා බවත් ඇය අම්මා වගේම නිසා බවත් ඇය කීවා.

තමන්ට සිංහල කතාකරන්න බැරි නමුත් ඇතැම් දේ තේරෙන බව කී සෙරීනා හැමදේටම වැඩියෙන් 'Sri Lankan head wag' එක කර 'හා' කියන්න දන්නා බව මට රඟපා පෙන්නුවේ සිනාසෙමින්!





8 comments:

  1. ඉතාමත් හොඳ විරල හමුවීමක්. ඔය Head Wag එකෙත් විවිධ ස්වරූප තිබෙනවානේ. සිරස්ව උඩට පහලට වැනීම 'ඔව්' කියනවා වගෙයි. නැත්නම් අසා සිටි දේ අනුමත කිරීම. හිස තිරස්ව වනන්නේ 'බැහැ' යන අර්ථය නිරූපණය කිරීමට. සමහරවිට ශ්‍රව්‍යාබාධිත අය සඳහා අදහස් ප්‍රකාශ කිරීමේ සංඥා ක්‍රමය සකස් කිරීමේදීත් මේ හිස චලනය කිරීම ප්‍රයෝජනවත් වන්නට ඇති.

    ReplyDelete
    Replies
    1. තාත්තා- අපේ කොල්ලාත් කවුරුහරි ලංකාවේ ද කියලා චෙක් කරන්න ඕන නම් ඔලුවෙන් 'හා' කියලා පෙන්නලා අහනවාලු මෙහෙම කරන්න පුලුවන්ද කියලා. කිසි පැකිලීමක් නැතිව කලොත් ලංකාවේ කියලා නිගමනය කරනවාලු! :D

      Delete
  2. ඕ... අපූරුයි :-o

    ReplyDelete
  3. ඔය යෝදිගෙ ඇත්ත නම ඇවිල්ල හිට සෙරීනා ගමගෙදර...ගමගෙදර කියන නම තමයි ඔය ගේඩස් කියල පස්සෙදි වෙනස් කරගෙන තියෙන්නෙ...:)

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? නිකම් 'ගැමාගේඩ්ස්' වගේද දන්නේ නෑ, කොට කරගෙන ඉන්නේ! :D

      මමත් ඕක සෑහෙන්න කල්පනා කළා. මම මුලින් හිතුවා මෙයාගේ මැරීඩ් නේම් එක ගේඩ්ස් කියලා. පස්සේ බලද්දී බැඳලා නෑ. එයා ඔය තාත්තා සිංහල කිව්වට මං හිතන්නේ ලංකාවේ බර්ගර් වගේ කියලා. නැත්නම් ඔහොම නම් කොහෙද සිංහල අයට? අඳුනගත්ත ගමන් ඔව්වා හාරා අවුස්සන්න ගියොත් බය වෙයි කියලා හිතලා මාත් සද්ද නැතිව හිටියා! :)

      Delete