September 22, 2018

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශිත 'පරිසරය නිවැරදිව දකිමු' පොත



'පරිසරය නිවැරදිව දකිමු' (කතෘ- දයාරත්න වීරසේකර) කෘතිය 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ විද්‍යා සාහිත්‍ය කෘති ප්‍රවර්ගයේ අවසන් වටයට නිර්දේශ වීම නිමිත්තෙනි  

තාත්තා 'පරිසරය නිවැරදිව දකිමු' පොත පළ කළේ 2017 අග භාගයේදී ය. අඩ සියවසක් තරම් කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේත් සේෂෙල්ස්හිත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාවල නියැලී කාර්යබහුල ව සිටි තාත්තාට මෙවැනි දේකට විවේකයක් ලැබුණේ මීට වසර දෙක තුනකට පෙර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් පසුවයි. ඔහු මේ පොතේ අත්පිටපත ලියන්නට ගත්තේ එය මුද්‍රණය කිරීම පිළිබඳව පැහැදිලි සැලැස්මක් ඇතිව නොවේ. ඔහුගේ ප්‍රධාන අරමුණ වූයේ ප්‍රයෝජනවත් දේකට කාලය යොමුකිරීමයි. පරිගණකයෙන් සිංහලෙන් ලියන්නට, රූප  සටහන්, වගු සහ ප්‍රස්තාර අඳින්නට අලුතෙන්ම ඉගෙනගත් ඔහු ඉතාමත් කැපවීමෙන්, මහන්සි වී මේ පොත නිම කළේ ය. පරිසරය පිලිබඳ තතු ඉතා සරලව, පැහැදිලිව, උදාහරණ ද ඇසුරෙන් ඉදිරිපත් කර ඇති නිසා මේ පොත ඉතා සිත්ගන්නාසුළු එකකි.

පිටරටක සිට ලංකාවේදී පොතක් මුද්‍රණය කිරීම දුෂ්කර ක්‍රියාවක් බව තාත්තාට දැනුණේ මේ පොත පළ කරන්නට ගිය විටයි. මුලදී විවිධ දුෂ්කරතා වලට මුහුණ දුන්නත් පසුව ගොඩගේ ප්‍රකාශයකයන් වෙත යොමු වූ පසු ඔවුන් ලබා දුන් ඉමහත් සහයෝගය නිසා ඒ කටයුත්ත සාර්ථකව ඉටුකරගන්නට හැකිවිය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ සමරු පොතේ පිටුවක් 
2018 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ, විද්‍යා සාහිත්‍ය කෘති ප්‍රවර්ගයේ නිර්දේශිත කෘති හය අතරට තාත්තාගේ පොතත් නිර්දේශ වී ඇති බව අපට ආරංචි වූයේ සම්මාන උළෙල ද අවසන් වූ පසුවයි. ලංකාවේ වාසය නොකරන නිසා තාත්තාට මේ ආරංචිය කල් ඇතිව නොලැබෙන්නට ඇත. ජීවිතයේ හත් වන දශකයේදී තමන්ගේ පළමු පොත ලිවීම, එය පරිගණකගත කර, රූප සටහන් සහ දත්ත වගු ඇතුළත් කිරීම ආදී  සියල්ලම තමන් විසින්ම කරගැනීම, රටින් පිට සිටියදීත් වෙහෙසවී ලංකාවේදී එය මුද්‍රණය කරගැනීම ආදී සියලුම දිනුම් වලට ඉහළින් මේ ලැබුණු ඇගයීම තැබිය යුතුය. ඉතින් ආරංචිය පසුව ලැබුණත් කම් නැත. නිර්දේශ වීම ම ජයග්‍රහණයකි! සුබ පැතුම් තාත්තා... ඊළඟ පොත ඉක්මනට ලියමු! 

මේ සුබ ආරංචිය ගෙන ආ Rasikalogist ට ස්තුතිය.

(රාජ්‍ය සම්මාන උළෙලේ අවසාන වටයට තම පොත නිර්දේශ වූ බව තාත්තාගේ අධ්‍යාපන රසකතා බ්ලොගයේ, බ්ලොග් සටහනක් ලියන්නැයි තාත්තා ට මා යෝජනා කළ විට ඔහු ඊට උනන්දුවක් දැක්වූයේ නැත. එබැවින් ඔහු ලිවිය යුතු මේ සටහන මා ලියන්නේ මහත් ආඩම්බරයෙනි!) 

7 comments:

  1. ඇත්තෙන්ම සතුටුයි මලී. එතුමාට හදවතින්ම සුභ පතනවා...

    ජයවේවා!!!

    ReplyDelete
  2. ලිවීමේ කම්පුටර් වැඩ කිඩ කියා දුන් දුවටත් විදේශයක සිට හෝ රටට සහ මිනිසුන්ට වඩදායී දේවල් ගැන ලියන තාත්තාටත් මගේ ප්‍රණාමය.

    ReplyDelete
  3. සන්තෝසයි සන්තෝසයි අප්‍රමාණ සන්තෝසයි...:)

    දයාරත්න මහත්මයා කියන්නෙ නිතරම තමන්ගෙන් රටට මතු පරපුරට යමක් දෙන්නෙ කොහොමද කියල හිතන උදාර මනුස්සයෙක්...

    ReplyDelete
  4. A pleasant surprise !
    මගෙන් කෙරෙන්නට තිබුනා යයි සිතු දෙයක් මටත් නොකියා Blog ජාලයට මුදා හරිම ගැන මලී දුවට ස්තුතියි.
    මේ ගැන Blog සටහනක් ලියන ලෙස මලී දුව කිහිප වරක්ම මට කිව්වා. ඒ උනාට පුරසාරමක් ලිවිම අනවශ්‍යයයි සිතුනා. දැන් ඉතින් මගේ Blog සහෘදයින් කිහිප දෙනා ඒ ගැන දන්නවානේ. ඒ හොඳටම ඇති. මට මේ බව දැන්වූයේත් රසික සුරීයආරච්චි අප හිතවතායි. ඔහු සාහිත්‍ය උත්සවයේ සමරු කලාපයේ මේ බව දැක මට එවලේම e-mail පණිවුඩයක් එව්වා. ඔහුටත් මගේ ආදර ස්තුතිය. දුමි,ඉයන්, රවී ඔබ සැමගේ දිරි ගැන්වීම නිසා තවත් ලිවීමට උනන්දුවක් ඇති වූවා. තව ඉදිරියට බලමු.

    ReplyDelete
  5. Well done, both of you.

    Lotus

    ReplyDelete
  6. ස්තූතියි හැමෝටම!

    ReplyDelete
  7. සුභ පැතුම් ඔබතුමාට... මම හිතන්නේ දැන් තව පොතක් සඳහා කාලය හරි...

    ReplyDelete