September 10, 2018

සුබ ගමන් හේරත් සර්

කැම්පස් ගිය ගමන් පළවෙනිම දවසේ තිබුණු පළවෙනිම ලෙක්චර් එක Management Theory and Practice. මේ විෂය කරන්නේ Dean කියලා තමයි ළමයි අතරේ කසු කුසුව තිබුණේ. කැම්පස් ආව ගමන් නිසා එහෙම ආරංචි උනාම පොඩි බයක් මුසු ගෞරවයක් දැනුණා. හරියකට ඉස්කෝලෙක ළමයින්ට ප්‍රින්සිපල් ගැන තියෙනවා වගේ හැඟීමක්. 

හරියටම උදේ අටට දේශන ශාලාවේ දොර ඇරුණා. ඇතුලට ආවේ වැඩිය උස මහත නැති බොහොම ප්‍රිය මනාප මනුස්සයෙක්. ඒ හේරත් සර්. Dr. H. M. A Herath.  ඒ දවස්වල ජපුරේ කළමනාකරණ පීඨයේ වැඩබලන පීඨාධිපති. හේරත් සර් බින්දුවක් වත් සැර පරුෂ නැහැ කියලා අපිට තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ඒත් සර්ගේ පෞරුෂය බොහොම ප්‍රබලව දැනුණා. සර් ඉගැන්නුවේ හිනාමුසුව. බොහොම නිවිහැනහිල්ලේ. ඒත් දේශන ශාලා පිරෙන්න හිටිය සීයක් හමාරක් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හැමදාම බොහොම අවධානයෙන් අහගෙන හිටියා. 

හේරත් සර් ගේ ඉගැන්නිල්ලේ විශේෂ ලක්ෂණ කීපයක් තිබුණා. එකක් තමයි ඒ විෂයට අපිට තිබුණු ප්‍රධාන නිර්දේශිත පොත, දාස් ගේ Management Concepts කියන පොතේ ජේද හයියෙන් කියවන්න එක එක්කෙනාට පවරන එක. කොයි වෙලේ  තමන්ගේ වාරේ එයිද කියන සැකෙන් හිටිය නිසා අපි හැමෝම පාඩමට අවධානය යොමු කළා. ඒක උපක්‍රමයක් කියලා තේරුණේ සෑහෙන්න කාලයක් ගිහින්. අනෙත් විශේෂත්වය තමයි දේශනයට ඇවිත් ඉන්න අය අතරෙන් නිශ්ශබ්ද ම, මුළු ගැන්නිලා ඉන්නම අයව අඳුනගන්න සර්ට හොඳ ඉවක් තිබුණු එක. සර් බොහොම සූක්ෂම ව, ඒ ළමයි ඒගොල්ලෝ හැංගිලා උන්නු කටුවෙන් පිටතට ගත්තා. එයාලාගෙන් ප්‍රශ්න ඇහුවා. ගැහි ගැහි දුන්නු වචන දෙකක උත්තරයක් උනත් ඉහළින් ප්‍රශංසා කළා. ඊළඟ දවසේ ඒ ළමයාව පුංචි සාකච්ඡාවකට එකතුකරගත්තා. මෙහෙම ටික දවසක් යද්දී අර මුළු ගැන්නිලා උන්නු ළමයි ටිකක් වැඩිපුර ඔලුව උස්සලා බලන්න ගත්තා. එක එල්ලේ සර්ගෙන් ප්‍රශ්න අහන්න ගත්තා. දේශන ශාලාවෙන් පිටදිත් කොන්ද කෙලින් තියාගෙන ඇවිදින්න ගත්තා. කෙනෙක්ගේ ජීවිතේ වෙනස් කරන්න මේ වගේ පුංචි දේවල් කරන්න කැම්පස් එකේදි උනත් පුළුවන් කියලා හේරත් සර් හෙමින් සැරේ ඔප්පු කළා. 

අපිට සර් ඉගැන්නුවේ පලවෙනි අවුරුද්දේ විතරයි. ඒත් ඊටපස්සේ අවුරුදු තුනම අපිට සර් ව නිතර හම්බවුණා, කතාකළා. සර් ගැන තිබුණු ගෞරවය වෙනසක් වුණේ නැහැ. 

හේරත් සර් නැතිවෙලා කියලා දැනගත්තේ ඊයේ. කැම්පස් එකේදි සර්ගෙන් ඉගෙනගෙන හරියටම අවුරුදු විස්සක් ගතවෙලා වුණත් ඒ ආරංචිය දරාගන්න ටිකක් අමාරු වුණා. 

හොඳ මිනිස්සු යහපත් දේවල් කරලා ලෝකෙට තමන්ගේ සලකුණක් ඉතිරිකරලා යනවා. ඒ නිසා එක අතකට හොඳ මිනිස්සු මැරෙන්නේත් නැහැ. 



2 comments:

Related Posts Plugin for WordPress, Blogger...