December 25, 2017

ගුරුවර මතක


'මිස් ට මාව මතකද?' 'සර් ට මාව මතකද?'

ඕනෑම ගුරුවරයෙකුට ජීවිතයේ එක් වරක් වත් අසන්නට ලැබෙන ප්‍රශ්නයකි මේ. මීට අසන්නා බලාපොරොත්තු වෙන පිළිතුර නම් ..'ආ.. ඔව්.. මේ අහවල් පන්තියේ හිටිය අහවලා නේ!' යැයි-නම් ගම් දින වකවානු සහිත විස්තරයකි. ඇත්තම කතාව නම් මේ ගුරුවරයාට බොහෝ විට මේ සිසුවාව, සිසුවියව මතක නැත. පාසැලෙන් ඉවත්වී බොහෝ කල් ගතවී නම් කොහෙත්ම මතක නැත. එහෙත් මූණ බලාගෙන එසේ කිව නොහැකි නිසා 'ඔව්.. ඔව්.. මතකයි!' කියා ගුරුවරු කියති. වසර තිහකට අධික කාලයක් ගුරු වෘත්තියේ යෙදුණු මගේ මව අනන්තවත් මෙවැනි අවස්ථාවන්ට මුහුණ දෙනු මම දැක ඇත්තෙමි. මෙවැනි ප්‍රශ්න ඇතැම් විට අසන්නේ ආදි සිසුවා හෝ සිසුවියම ය. නැත්නම් ක්ෂණික ප්‍රගති වාර්තාවක් බලාපොරොත්තු වන වර්තමාන ශිෂ්‍යයෙකුගේ දෙමව්පියෙකි.

'සාමාන්‍යයෙන් ගුරුවරුන්ට මතක හිටින්නේ පන්තියේ හොඳටම වැඩ කරපු ළමයිනුයි හොඳටම දඟ කරපු ළමයිනුයි විතරයි. අතරමැද අයව අවුරුදු ගාණක් මතක හිටින්න මොකක් හරි විශේෂ දෙයක් වෙන්නම ඕන!' අම්මා වරක් මට ඒ මතක/ අමතක සූත්‍රය පැහැදිලි කළා ය. ඒ තර්කය පදනම් කරගෙන බොහෝ විට ඈට මතක නැති සාමාන්‍ය අතරමැද වර්ගයේ සිසුන්ට 'ඔව් ඔව් ඔයා මතකයි.. කොහොමද පුතා?' කියමින් හෝ ප්‍රශ්නය ඇසුවේ දෙමව්පියෙක් නම් 'ආ ඔව් ප්‍රියංවදා මට මතකයි.. තව ටිකක් ඉස්කෝලේ වැඩට මහන්සි වෙන්න කියන්නකෝ!' වැනි මධ්‍යස්ථ දෑ කීවා ය. අම්මා මා ලැබෙන්නට රෝහලට ඇතුළු වී විලි රුදා විඳිමින් අඩ සිහියෙන් පසු වෙද්දී ඈ අසල උන් හෙදියක් 'මිස් මගේ පුතා මිස්ගේ පන්තියේ ඉන්න අහවලා- එයාගේ වැඩ කොහොමද?' කියා ඇසු බව අදටත් ඈ  මතක් කරන්නේ සිනාසෙමිනි. 

මෑත දිනකදී මට මගේ හත වසරේ පන්ති භාර ගුරුතුමිය මුණගැසුණි. අප පාසලේ ආදී ශිෂ්‍ය සංගමයෙන් සංවිධානය කළ හමුවකට ඈ පැමිණ සිටියා ය. වසර විසි අටකට පෙර සිටි ලෙසම ඈ එදාත් බොහොම සැහැල්ලුවෙන් සිනාසෙමින් සිටියා ය. ඈ ප්‍රමාණයෙන් පුංචි වී ඇති බවක් පමණක් පෙනුණු අතර ඈ හා බලද්දී අප නම් බෙහෙවින් වයසට ගොස් ඇති බවක් හැඟිනි. ඈ වටා රොක්ව අප කතා කරද්දී අන් අය මෙන් ඈට මා මතකදැයි මා නොවිමසුවේ අම්මාගේ අත්දැකීම් මතක් වූ නිසායි. මෙතරම් කලකට පසු හමුවී ඈ අපහසුතාවයට පත් කරන්නේ කුමකටදැයි මට සිතුනි. එහෙත් මා නොවිමසාම 'මට හෙල්මලී ව නම් මතකයි!' යැයි ගුරුතුමිය මගේ නමද සඳහන් කර පැවසුවේ මා අනපේක්ෂිත ලෙසයි. ඈට මා මතක අර මතක/අමතක සුත්‍රයේ කුමන කරුණක් නිසාදැයි ඇගෙන් අසන්නට නම් මට ධෛර්යයක් නොවීය.  හත වසරේදී ඈ ට මතක හිටින සේ පාසැලේදී සුවිශේෂ දස්කමකටවත් කිසිම  බාල්දි පෙරලා ගැනීමකටවත් මා සම්බන්ධ නොවූ බව සිහි කරගත් මා, ඈට මෙතරම් කලකට පසුත් මා මතක ඇත්තේ නිතර අසන්නට නොලැබෙන මගේ අමුතු නම නිසා විය යුතු යැයි හිත හදා ගත්තෙමි. 

සාමාන්‍යයෙන් ගුරුවරුන්ට අප මතක නැත්තේ අප ඔවුන්ගෙන් ඉගෙනගන්නා දස දහසකින් එක් අයෙක් වන බැවිනි. එහෙත් මතකය අවුස්සා බැලුවහොත් පුංචිම පන්තියක ඉගැන්වූ ගුරුවරයෙක් හැරුණු කොට අන් සියලු දෙනාගේම හැඩ රුව, නම ගම, විශේෂ චරිත  ලක්ෂණ ආදිය වැඩිහිටි වියේදීත් කටපාඩමින් කියන්නට අප බොහෝ දෙනාට හැකියාව තිබෙන බව සොයාගත හැක.

අපට පාසැලේදී චිත්‍ර ඉගැන්වූ ගුරුවරිය ද මෙලෙස සදා මතකයෙන් නොමැකෙන චරිතයකි. හැමදා පෙනුම එක ලෙසම වූ ඇය අප ඇගෙන් උගත් කාලයේදී ත් විශ්‍රාම යන වයසේ පසු වූ බව පෙනුණත්, අප පාසැලින් ඉවත් වී තව බොහෝ කල් යන තුරුත් පාසැලේ එකම චිත්‍ර ගුරුවරිය ලෙස සිය බලපරාක්‍රමය පතුරවමින් සිටියා ය. චිත්‍ර මිස් සතුව චිත්‍ර විෂය සිද්ධාන්ත ඇතුළත් පොතක් විය. චිත්‍ර කාමරයට පන්තියක් රැස් වූ විට ඒ පොතෙන් අහඹු පිටුවක් තෝරා ලියාගන්නැයි අණ කර විෂය කරුණු හඬ නගා කියවීමට ඈ පුරුදු ව සිටියා ය. ඉතින් මේ අහඹු තේරීම නිසා එක දවසක කළ පාඩම ඊළඟ දවසේ කළ පාඩමට කිසිම සම්බන්ධයක් තිබුණේ නැත. ඒ ගැන විරෝධය පළ කිරීම නිෂ්ඵල ක්‍රියාවක් වූ නිසා අප අණ පරිදි එකිනෙකට අසම්බන්ධිත විෂය කරුණින් පොත් පුරවා ගතිමු. 

මීට අමතරව චිත්‍ර මිස් සිසුවියන්ගේ චිත්‍ර සඳහා ලකුණු දීමට මහත් මැලිකමක් දැක්වූවාය. කෙතරම් මහන්සි වී ඇඳි චිත්‍රයකට වූවත් ඈ දුන්නේ ලකුණු සියයෙන් විස්සක් විසිපහක් පමණි. මෙය මුළු පන්තියටම  එක සේ බලපාන ලදී. මේ කරුණත්, සිද්ධාන්ත සඳහා අපට ඇගෙන් ලැබුණු ‘මහා දැනුම් සම්භාරයත්’ නිසා වාර පරීක්ෂණ වලදී අපට චිත්‍ර සඳහා මුළු ලකුණු පනහක්වත් ගැනීම දුෂ්කර විය. නැටුම්, සංගීතය ආදී වෙනත් සෞන්දර්යය විෂයයන් හදාරන සිසුවියන් ඇති පන්තියක ‘චිත්‍ර ළමයින්ගේ’ මුළු ලකුණු ප්‍රමාණය මේ නිසා සදා අඩු වූ අතර අපට පන්තියේ පළමු, දෙවෙනි ආදී තැන් ලබා නොගන්නට චිත්‍ර මිස් වක්‍රව දායක වූයේ එලෙස ය. මේ සියලු කාරණා නිසා අපට චිත්‍ර මිස් ‘එපා කරපු චරිතයක්’ විය යුතුව තිබුණත් එසේ වූයේ නැත. නිතරම සිනාමුසු මුහුණින්, විහිළුවෙන් පසුවීම සහ ඈට ම ආවේනික වූ සොඳුරු බැනුම් ශෛලිය නිසා ඈ අප ප්‍රිය කළ ගුරුවරියක් විය. ඈ කිසිදිනෙකවත් කේලම් කියා අපගේ දඟ වැඩ ඉහළ තැන් වලට වාර්තා කළේ නැත. අපට දඬුවම් කළේ ද නැත. ඇතැම් දිනවල චිත්‍ර පාඩම ඇරඹීමට පෙර ඈ ‘බලා ඇඳීමට’ සුදුසු ලොකු කොළ ඇති අත්තක් පාසැල් වත්තෙන් සොයාගෙන ඒමට සිසුවියන් දෙදෙනෙක් පිටත් කර යවයි. ඒ දෙදෙනා කොළ අතු ගෙනෙන්නේවත් නැවත ඒ කාල පරිච්ජේද දෙක තුළ දකින්නට ලැබෙන්නේවත් නැත. පැය කාලකට පමණ පසු ඒ දෙදෙනා සොයන්නට වෙනත් සිසුවියන් දෙදෙනෙකු යවනු ලැබේ. ඒ දෙදෙනාගේ ද කිසිදු සලකුණක් නොමැති වන අතර චිත්‍ර පන්තියම කෑ කෝ ගසමින් පසුවෙයි. තවත් පැය බාගයකට පමණ පසු ඉවසීමේ සීමාව ඉක්මවන චිත්‍ර මිස් චිත්‍ර කාමරය අසල මදටිය ගසෙන් අත්තක් කඩා හිස් ජෑම් බෝතලයකට දමා මේසයක් මත තබා ‘අඳින්න!’ යැයි පන්තියට අණ කරන්නීය. පන්තියේ ඉතිරි වූ සිසුවියන් ඇඳීමට දුෂ්කර, කුඩා පත්‍ර සහිත මදටියා අත්ත අඳින්නේ අතු ගෙනෙන්නට ගොස් පලා ගිය සගයන්ට යටිසිතෙන් සාප කරමිනි. මෙය නිරතුරුව නැවත නැවතත් සිදු වූ අතර චිත්‍ර මිස් මින් පාඩම් උගත් බවට ලකුණු තිබුණේ නැත. මේ නිසා චිත්‍ර පන්තියේදී මිස් ගේ පණිවිඩ සඳහා අප ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූයේ ඩෙස් පුටු ද පෙරළමිනි.


දශක කීපයකට පසුවත් මතක් වෙද්දී සිතේ අපුලක් දනවන ගුරුවරුද අපට නොසිටියා නොවේ. පුරුද්දක් වශයෙන් සිසුවියන්ගේ සිත් රිදවූ, නිකරුණේ බැන අඬ ගැසූ, අසාධාරණ ලෙස දඬුවම් කළ මෙවන් ගුරුවරියක් අප පාසැලේ ද විය. ඈ නිතරම උත්සාහ කළේ කුමක්දෝ ඇරියස් එකක් සිසුවියන්ගෙන් පිරිමසා ගන්නට ය. කොහෙන් හෝ ලද සිල්ලර ඔත්තුවක්, කේලමක් අතැතිව සුළි කුණාටුවක් සේ පන්ති වෙත කඩා වදින ඇය ඉතා අප්‍රසන්න ලෙස වරු ගණනක් බැන වැදී. පන්තියම සිටුවා තබයි. බොහෝ විට ඒ දඬුවම කුමන වැරද්දක් උදෙසා දැයි අප දැන සිටියේ නැති අතර ඇගේ බැනවදීම් වලින් එය පැහැදිලි වූවේද නැත. එකට එක නොකියමින්, මෙවැනි දඬුවම් ආදියෙහි හරි වැරදි නොසොයමින් අප ගත කර ඇත්තේ ඉතා කීකරු පාසැල් දිවියක් බව වැටහෙන්නේ දැන් ය. එහෙත් මේ ගුරුතුමියගේ බලය පැවතුනේ සාමාන්‍ය පෙළ පන්ති දක්වා පමණක් වූ අතර ඇය උසස් පෙළ පන්තියකට මෙවැනි සෙල්ලම් දැමුවේ නම් තත්ත්වය මීට වෙනස් වන්නට ඉඩ තිබිණි. වරක් මේ ගුරුතුමියට ‘අද උදේ සුදු ළමයෙක් ඉස්කෝලේ යුනිෆෝම් එකෙන් බස් හෝල්ට් එකක පිරිමි ළමයෙක් එක්ක කතා කර කර හිටියා’ යැයි ඔත්තුවක් ලැබී ඇත. මෙහි කිසිම චෝදනාවකට සෑහෙන තරමේ සාක්කි නොතිබුණත් ඈ කළේ ඇගේ සිතේ යම් සැකයකට බඳුන් වූ පාසැලේ ‘සුදු ළමයි’ සියලු දෙනා ගුරු කාමරය අසලට ගෙන්වා පස් පඩංගුවේ බැන වැදීමයි. මේ පහත් වූයේ කවර හෙණයක් දැයි නොදත් ඇතැම් සිසුවියෝ මහා සෙනඟක් ඉදිරියේ නිකරුණේ අපකීර්තියට ලක්වීම නිසා කඳුළු සලන්නට වූහ. කඳුළු = වරදකාරීබව යැයි ඇදහූ මේ ගුරු උත්තමිය තව තවත් පන්නරය ලැබ බැනුමේ තීව්‍රතාවය වැඩි කළා ය. පසුව ආරංචි වූ පරිදි එකී චෝදනාවට අයත් සිසුවිය ඒ බැනුම් ඇසූ කණ්ඩායමේ හිඳ වත් නැත. එහෙත් මැයට එවැනි සිල්ලර කාරණා වැදගත් වූයේ නැති අතර සමාව ඉල්ලීම සඳහා වචන ඇගේ ශබ්ද කෝෂයේ නොතිබුණි.


මා නම් එකම වරක් මේ ගුරුතුමියගෙන් දඬුවම් ලැබුවේ පාසලේ පැවති රීතියක් කඩ කිරීම නිසා බැවින් ඒ ගැන ඉතිරි වූ හිත් අමාරුවක් නැත. එකල අප පාසලේ හැම දිනකම, හැම පන්තියකම ගුරු මේසය මත ඇති මල් බඳුන මලින් පුරවා තිබිය යුතු යැයි ද, බුදු පුදට මල් පීරිසියක් තිබිය යුතු යැයි ද රීතියක් විය. මේ සඳහා පාසැල් බිමෙන් මල් නෙලීම සපුරා තහනම් වූ අතර නීති කඩ කිරීම පන්තියම දඬුවම් ලද හැකි වරදකි. මෙම රාජකාරි, කණ්ඩායම් ක්‍රමයට පන්තිවල සිසුවියන්ට පවරා තිබුණද සියයට සියයක් සාර්ථකව කෙරුණේ නැත. අප නම් පාසැල් එන්නට නිවසින් පිටවන වෙලාවට මල් පිපී තිබුණේවත් නැත! කෙසේ හෝ වරක් පන්තියේ එකදු මලක් නැතිව මල් ගේන්නට නියමිත කෙනෙක්ද නැති දිනයක් තිබිණි. එදා 'කෙසේ හෝ මල් සොයාගැනීමට' මා වගකීම බාර ගත්තේ ඇයි දැයි මට දැන් මතක නැත. සමහරවිට ඒ වෙද්දී මට පන්ති නායිකා පට්ටමක් තිබෙන්නට ඇත. එක් නීතියක් සපුරාලීමට තවත් නීතියක් කැඩීමට උත්සුක වූ මම පන්තිය අසල තිබුණු අරලියා ගසට නැග්ගේ එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමට ය. අරලියා මල් බුදු පුදටත්, මල් බඳුනටත් දෙකටම සුදුසු වූයේ වාසනාවකටයැයි මට සිතෙන්නට ඇත. එහෙත් ගසට නගින්නට තිබුණු මගේ කලබලය නිසා ඉහත සඳහන් දරුණු ගුරු තුමිය ගස මුලට එන තෙක් මා දුටුවේ නැත. 

'බා....හින්න කිව්වෙ බි..මට! මෙතැන ගෙදරින් මල් ගේන්නේ නැතිව.. කොල්ලෝ වගේ ගස් උඩ නැගගෙන...ඉස්කෝලේ තියෙන මල් ටික හූර හූර..උගන්නන්නම් අද හොඳවැයින් පාඩමක්!!"

ගුරුතුමියගේ ගෝරනාඩුවෙන් උඩ විසිවූ මා අරලිය ගසින් බිම නොවැටී බේරුණේ අනූ නමයෙනි. හොර බැළලියක සේ මා ගසින් බැස්සේ ඒ වෙද්දී බාගෙට කඩා තිබුණු අරලියා මල් ඉත්තද කඩාගෙනම එය අතැතිව ය. අනිවාර්යයෙන් බැනුම් අසන්නට නියමිත නම් ගිය කාරිය හෝ සම්පූර්ණ කර ගත යුතු බව මගේ කුඩා මනසට සිතෙන්නට ඇත. එදා මා නිසා අප පන්තියම ‘පැය බාගයක් සිටගෙන සිටින්නට’ දඬුවම් ලැබූ අතර මට අමතර දඬුවමක් ලෙස උප විදුහල්පතිනිය හමුවන්නට අණ ලැබිණි. උප විදුහල්පතිනිය කාරුණික හදැත්තියක් වූ අතර මා විසින්ම මගේ චෝදනා පත්‍රය විස්තර කරද්දී ඈ එය අසා සිටියේ සිනහව තද කරගෙන ය.

“හරි හරි ආයෙත් අහුවෙන්න ඔය වගේ වැඩ කරන්න එපා.. දැන් පන්තියට යන්න!’ යැයි කියා ඈ මා නිදහස් කළ අතර ‘අහුවෙන්න ඔය වගේ වැඩ කරන්න එපා’ සහ ‘ ඔය වගේ වැඩ කරලා අහුවෙන්න එපා’ යන වැකි දෙක අතර ඇති වෙනස ගැන කල්පනා කරමින් මම එක පිම්මේ පන්තියට දිව ගියෙමි. එදා එලෙස මඳ ප්‍රමාද දෝෂයක් සිදු වුවද මා නෙලූ අරලියා කිනිත්ත මල් බඳුනේ රැඳුනි. 

අප වැඩිහිටියන් වූ පසුත් මේ තතු ඉතා පැහැදිලි මතක ලෙස පවතින්නේ ඒවා සිතේ කා වැදී ඇති නිසා ය. ආපසු හැරී බලද්දී අප බෙහෙවින් ආදරය කළ ගුරුවරුන්ට අන් අය අතරින් ඒ සුවිශේෂී තැන හිමිවූයේ ඔවුන් අපට සලකන ලද ආකාරය නිසායි. ළමුන්ගේ ගැටළු ආදියට ඇහුම්කන් දෙමින්, ඒවාට විසඳුම් සොයමින්, සරලව විෂය කරුණු පහදමින්, සිනහවෙන් විහිළුවෙන් අප පාසැල් කාලයෙන් වසරක් දෙකක් හෝ පිරවූ එක් ගුරුවරයෙක් හෝ නොලැබූ කෙනෙක් නැත. අතරින් පතර හරියාකාරව තම රාජකාරිය නොකරන හෝ සැර පරුෂ කමින් සිසුන් පෙලූ ගුරුවරුන් සිටියද ඔවුන්ගෙන් අපි අඩුම තරමේ පසු කලෙකදී සමාජයේ මුණ ගැසෙන්නට නියමිත නා නා ප්‍රකාර චරිත ගැන පෙර පුහුණුවක් ලැබුවා වෙමු. අප නොදන්නවා වුවද එකල අපගේ ගුරුවරු ඔවුන්ගේ කතාබහේදී මතකද අහවලා.. පුදුම වදයක් ඒ දවස්වල තිබුණේ එයා ඉස්කෝලේ ඉන්නකම්!’ යැයි අපව ආදරයෙන් සිහිකරන්නට ද ඇත!  



photo-popularmechanics

12 comments:

  1. ...” හරි හරි ආයෙත් අහුවෙන්න ඔය වගේ වැඩ කරන්න එපා.. දැන් පන්තියට යන්න!’ යැයි කියා ඈ මා නිදහස් කළ අතර ‘අහුවෙන්න ඔය වගේ වැඩ කරන්න එපා’ සහ ‘ ඔය වගේ වැඩ කරලා අහුවෙන්න එපා’ යන වැකි දෙක අතර ඇති වෙනස ගැන කල්පනා කරමින් මම එක පිම්මේ පන්තියට දිව ගියෙමි....”

    අන්න ගුරු උත්තමාවො. හිරගෙයක් වත් පාලනයට සුදුසු නැති අය කුඩා දරුවන්ට උගන්නන දැම්මම වෙන දේ හිතා ගත හැකියි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ- ඔව්, ඒ කාලේ නම් ඒවාගේ අහේතුකව සැර පරුෂ ගුරුවරුන්ගේ ලොකු වැරද්දක් අඩුපාඩුවක් දැනුණේ නැහැ. ලෝකය ගැන අත්දැකීමක් නොතිබුණු නිසා වෙන්න ඇති. වැඩිහිටියෝ වුනාට පස්සෙයි සමහර දේවල් වල හරි වැරැද්ද තේරෙන්නේ. මේ 'දරුණු' ගුරුවරිය ගැන නම් අදටත්, කවුරු කතා කළත් කියන්නේ 'අපෝ මතක් කරන්න එපා.. එක සැරයක් මටත් මෙහෙම දෙයක් කළා..' කියලා අමිහිරි මතකයක්මයි. එක අතකින් ඒ ගුරුවරියගේ අවාසනාව. හොඳ දෙයක් ඉතිරි කරලා යන්න අනන්ත අවස්ථා තියෙද්දී කහට ම ඉතිරි කරලා ගිය එක.

      Delete
  2. Replies
    1. ස්තූතියි ඉයන්!

      Delete
  3. ඔයා එක පාරක් ගහේ ඉඳල අහු උනා කියන්නෙ, ඒ කාලෙ දඟ පැංචෙක් වෙන්න ඇති. ඉතින් අනිත් මිස් ටත් හුරතල් දඟ පැංචව මතක තියෙන්න ඇති.

    පාසල් වල ගුරුවරු දඟකාර පැටවුන්ට කැමතියි, මොකද ඒගොල්ලො ගේන්නෙ ඔය "ආයෙ අහුවෙන්න ඔය වගේ දේවල් කරන්න එපා" වගේ සිල්ලර නඩු.

    කිසිම කතා බහක් නැති, කෑ ගහන්නේ නැති, නිහඬව බිම බලන් ඇවිදින ඇතැම් සිසුවියෝ (ඔක්කොම නොවේ), හිටපු ගමන් පාසලෙන් අතුරුදහන් වෙනව. එතකොට ඒ නඩු විසඳන්න සිදුවෙන්නෙ පොලිසියයි, ළමාරක්ෂණ අධිකාරියයි, දෙමවුපියොයි ඔක්කොමල එක්ක. හිතේ තියන දේ කෙලින්ම කියන්න පුළුවන් ජාතියේ සිසුවියන්ව තේරුම් ගන්න ලේසි නිසා, ඔවුන් අතින් බරපතල දෙයක් සිදු වන්නට කලින්, සැලකිලිමත් වෙන්නත් පුළුවන් ඇති.

    මේක ටිකක් ජජ්මන්ටල් කතාවක්. අපිට බෑ හැසිරීමෙන් මිනිස්සු මනින්න. නමුත් බාලිකා පාසලක, දහය එකොළහ වසර වල සිදු වූ දේවල් දැක්කම සහ ගුරුවරුන්ගේ ප්‍රතිචාරය දැක්කම මට හිතුණු දෙයක් ඕක.

    ReplyDelete
    Replies
    1. මානවී- ටිකක් ඇත්ත ඒ කතාව. මම එහෙමකටම දඟ වැඩ කළේ නැහැ- ඒත් කණ්ඩායම් හැටියට කරපු, හරියට කවුද කළේ කියලා හොයාගන්න බැරිවුන සොඳුරු ව්‍යාපෘති කීපයකට නම් දායක වුණා ඉස්කෝලේ යන කාලේ. ගුරුවරුන්ගේ සැක ලයිස්තුවේ ඉන්න ඇති මම ෂුවර් එකටම! නිශ්ශබ්ද ළමයි ගැන ඔය කීව එක ඇත්ත කියලා හිතෙනවා අපේ පන්තිවල හිටිය සමහර ඒ වගේ ළමයින්ගේ දැන් ජීවිත එක්ක බලද්දී. තව අතකට හිතෙනවා අපේ ඉස්කෝල වැඩි අවධානයක් යොමු කළේ කිසිම තේරුමක් නැති නීති රීති ක්‍රියාත්මක කරන්න මිසක් ජීවිතේ ගැන අපිට කියලා දෙන්න නෙමෙයි කියලා. ඔයා විස්වාස කරන එකක් නැහැ ඒ කාලේ අපේ ඉස්කෝලේ පනා ගේන්න තහනම් කියලා නීතියක් තිබ්බා! පනා!! හිතන්නකෝ ඉතින්.. අපිට කොහොම හරි හංගලා පනා ඉස්කෝලේ ගේනවා ඇරෙන්න වෙන වැඩක් තිබ්බේ නැහැ! :D

      Delete
    2. ඔය පනා තහනම අපේ අක්කල ඉස්කෝලේ යනකොටත් දැඩිව තිබුණ, අපි යනකොටත් තිබුණද කොහෙද, නමුත් ළමයි පනා ගෙනාව මතකයි. කාටවත් නොපෙනී පාවිච්චි කලාම හරි. මම නම් වැඩිය කොන්ඩෙ පීරන්නේ නැහැ ඒ කාලෙ, පීරුවත් වෙනසක් නැති කපුටු කූඩුවක් තිබුණු නිසා.

      "සිරස් කොරොස් කෙස් යබලිස විලසින" කියද්දී ගුරුතුමිය උදාහරණෙට ගත්තෙ මගේ කොන්ඩේ, කොටින්ම.

      හැබැයි වෙන නීති ටිකක් තිබුණ. ගල් අල්ලපු කරාබු තහනම් - මේක පටන් ගත්තේ ප්ලාස්ටික් කරාබු තහනම් කරන්න, නමුත් අන්තිමට ගල් ඇල්ලු සියලු කරාබු තහනම් කළා. මගේ කරාබුවේ සුදු පාට ගල් තිබුණ, ඉතින් කරාබු නොදා හිටිය උසස් පෙළ ඉවර වෙනකම්.

      ඔයා හරි. අපි දහය වසරෙදි එක යාලුවෙක් ලියපු හසුනක් හමු වෙලා මුළු සෙක්ෂන් එකේම බෑග් චෙක් කලා. එදා ඒ හසුන ලියපු යාළුවා ආවෙත් නැහැ, නමුත් වයිස් ප්‍රින්සිපල් පන්තියට ඇවිත් "ලියුම් ලියන්නෙ වල් කෙල්ලො" කියල අපි ඔක්කොටම ඉතා පරුෂ වචනයෙන් බැනල ගියා. දැන් ආපස්සට හැරිල බලද්දි නම් අනේ මන්ද. යම්කිසි මගපෙන්වීමක් හෝ සැර වීමක් අවශ්‍යයි තමයි, නමුත් එහෙම බැන්න කියල ලියුම් ලියන අය අය නොලිය ඉන්නෙත් නැහැ. එදා නම් අපටත් එපා උනා, කොහෙවත් තිබුණු දේවාලයක් ඉහේ වැටිල දරුණු විදියට බැනුම් අහපු නිසා.

      Delete
  4. ෂා! මේක මරු.. මාත් අවුරුදු දෙකකට විතර කලින් ලියුව ගුරුවරු ගැන මගේ මතකය..

    http://kalahitha.blogspot.com/2015/10/to-teachers-with-love.html

    බැලුවම අපි ඔක්කොටම හම්බවෙලා තියෙන්නේ එකවගේ ගුරුවරු.. දෙයියනේ කියල මගේ ගුරුවරුන්ටත් මාව අඳුන්නලා දෙන්න ඒ හැටි කරදර වෙන්න වෙලා නෑ.. 'අපොයි මේ අර..' කියල යසට මතක හිටින විදියට තමයි අපි ඒ කලේ ඉස්කෝල 'රන්' කරේ.. :))

    ආ.. මම හතේ පන්තියේ හිටියේ මීට අවුරුදු විසි නවයකට කලින් නේ.. ඒ කියන්නේ මලී ඉඳල තියෙන්නේ අපේ ජුනියර් ක්ලාස් එකේ.. බාලිකා පාසලක්ය කියූ නිසා බය වෙන්න දෙයක් නෑ ඉතීම්.. හැක්. අපේ පහල පන්ති වල හිටියා 'මාලි' කෙනෙක්.. එයටත් ටිකක් වෙනස් නමක් තමයි තිබුනේ 'සල්මාලි' කියල.. එයාගේ හොඳම යාලුවා එක්ක මගේ පොඩි ක්‍රෂ් එකක් වගේ එකක් තිබ්බ නිසා එයාව මට හොඳටම මතකයි.. :)

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ- බලාගෙන ගියාම අපි එක කාලේ කට්ටියනේ! :) ගුරුවරු ගැන පෝස්ට් එක කියෙව්වා. බොහොම අනර්ඝ මතකයක්නේ තියෙන්නේ. ඇත්තටම බැලුවාම අපි අද ඉන්න තැනට එන්න ගුරුවරු තමයි අඩිතාලම දැම්මේ. මම මුලින්ම ඉස්කෝලේ ගියේ සේෂෙල්ස් රටේදි නිසා මුල ඉඳන් ක්‍රියෝල් බාසාවෙනුත්, ඊටපස්සේ ලංකාවට ඇවිත් සිංහල බැරිව ආයෙත් මුල ඉඳන් සිංහලෙනුත් ඉගෙනගෙන ගොඩ ගියේ ගුරුවරු මං වෙනුවෙන් සෑහෙන්න මහන්සි වුණු නිසා කියලයි මගේ විස්වාසය.ඒ නිසා මම ඒ ගුරුවරුන්ට සෑහෙන්න ණය ගැතියි.

      අමුතු නමක් තියෙන එකේ වාසි වගේම අවාසිත් අනන්තයි. මොන මරිසි වැඩක් කළත් අනිත් අයගේ නම් කෙසේ වෙතත් මගේ නම මතක හිටියා ගුරුවරුන්ට. ඒ වගේම ඒකෙ අනිත් පැත්තට සමහරුන්ට මගේ නම හරියට මතක නැතිව කියපු කේලම් නිසා 'හේමමාලි' ලා මං වෙනුවට බැනුම් ඇහුවා! :D

      සල්මාලි + එයාගේ යාලුවා නැද්ද හොයාගන්න දැන්? :)

      Delete
    2. ඉන්නවා.. ඉන්නවා.. මේක ලියද්දිත් මතක්වෙලා ගිහින් බලල ආවා.. හෙහ්.. සල්මාලි එංගලන්තයේ.. යාලුවා ඇමෙරිකාවේ.. මුහුණුපොතේ ඉන්නවා දෙන්නම.. ඒත් මම ඇඩ් කරගෙන නෑ.. ;)

      Delete
  5. ගුරුවරු කියන්නේමහා පුදුමාකාර පිරිසකි! බොහෝ අය දෙවිවරු සේය! තවත් පිරිසක් කුඩුකේඩු චරිථයන්ය. මියගිය නීති විදුහලේ කථිකාචාර්ය වර්යෙකුවූ ආර් පල්ලෙවෙල මහතා කියන්නේනම් "ගුරුවරයා යනු මිනිසා අතර ලමයෙකි! ලමයින් අතර මිනිසෙකි කියාය."ඒකට මට හිනා! හිනා!!" නමැති පොතේ දක්වා ඇත්තේ "ජීවිතය යනු දකුණට යන දුම් රිය ගමනක් නම් ගුරුවරයා යනු අළුත්ගමදී ; වතුර ටික බී ඉවත දමන වෑවරයකි!" කියාය.
    කෙසේ වෙතත් මා ; මාහට යුතු අයුතුකම් කල සියළු ගුරුවරුනට ඉතාමත් ගෞරවයෙන් සළකන්නෙක්මි.ඒ මා පාසලෙන් හා මාගේ පියාණන්ගෙන් ලත් ආභාශයෙන්ය. මන්ද මට හමුවූ නරකම ගුරුවරයා වුවද ; මෙලොව එක් නරකම ශිෂ්යයෙකු හට හෝ නිවැරදි මග පෙන්වා ඇතැයි මා තුල ඇති විශ්වාසයය. අනර්ඝ ලිපියක්!

    ReplyDelete
    Replies
    1. Thattaya-ස්තූතියි. සිසු අවධියේදී ගුරුවරුන්ගේ දේව ගතිත් කුඩුකේඩු ගතිත් අපිට බොහොමත්ම දැනෙන්නේ සමාජ අත්දැකීම් අඩු නිසා වෙන්නඇති නේද? දැන් ආපිට බලද්දී ඒ අයත් මිනිස්සු.. ප්‍රශ්න තියෙන්න ඇති..ඒ ප්‍රශ්න ළමයි පිටින් යවන්න ඇති වගේ දේවල් හිතෙනවා. කොහොම වෙතත් තමන් ගැන සිසුන්ට හොඳ හෝ නරක lasting impression එකක් ඇතිවෙන බව ගුරුවරු මතක තියාගන්න ඕන.
      //"ජීවිතය යනු දකුණට යන දුම් රිය ගමනක් නම් ගුරුවරයා යනු අළුත්ගමදී ; වතුර ටික බී ඉවත දමන වෑවරයකි!"// ඒක නම් නියම උදාහරණේ!

      Delete