November 19, 2017

සුදු කමිස, සුදු ගවුම් සහ තවත් කතා

පාසැල් ලාංඡනය සහිත සුදු කමිසය පුතාගේ පාසැල් නිල ඇඳුමේ කොටසකි. ඔහු පාසැල් වේලාවේදී නිල වශයෙන් පැසිපන්දු සහ පාපන්දුත් විවේක කාලවලදී නොනිල වශයෙන් 'tiggy', chasing zombies' ආදී අමුතු නම් ඇති සෙල්ලම් වලත් නිරත වෙන බව මම දනිමි. එහෙත් ඔහු උදෑසන නිවසින් පිටවෙද්දී හැඳගෙන ගිය සුදු පැහැයෙන් බැබලෙන කමිසය හවස ගෙදර එද්දිත් එලෙසම ඇත.

'කොහොමද කොල්ලෝ මේ විදිහට ඇඳුම් කිළුටු කරගන්නේ නැතිව සෙල්ලම් කරන්නේ?' මා ඔහුගෙන් අසන්නේ සැබෑ කුතුහලයෙනි.

'what do you mean?'ඔහු මගෙන් පෙරළා විමසන්නේද සැබෑ කුතුහලයෙනි.

කුමක් හෝ හේතුවකට 'ක්ලීන් සූට් කාරයෙක්’ වීමට පින් කර ඇති නිසා පාසැලේදී ඇඳුම් කිළුටු වීම යන සංකල්පය ඔහු හඳුනන්නේ නැත.

කෙලි වයසේදී මට නම් මෙවැනි ඉතිහාසයක් තිබුණේ නැත. මා ගමේ පාසැලේ උන්නු කාලයේදී දිනපතා විවේක කාලයේදී දූවිලි පිරුණු පිට්ටනියක කළ ඔට්ටු සෙල්ලම් නිසා සුදු ගවුම හවස් වෙද්දී 'දුඹුරු ගවුමක්' බවට පත් වෙනු මතක ය. බිම ඇද වැටී දණිස් ලෙලි ගියත්, දාඩියෙන් ඇඳුම් පෙඟුණත්, ඒ කාලේදී සෙල්ලම අන් හැම දේටම වඩා වැදගත් විය. හත වසරෙන් බාලිකාවකට ඇතුළු වූ පසු එහි නිල ඇඳුමට මා නම් වඩාත්ම ප්‍රිය කළේ එහි සාය කොටසේ රැළි නොතිබුණු නිසා යි. මේ නිසා ඒ වෙද්දී මා විසින් ම කරගත් සුදු ගවුම් මැදීමේ ක්‍රියාවලිය ඉතා සරල විය. මීට අමතරව මදි නොකියන්න ලොකු සාක්කු දෙකක් ම ඒ ගවුමට ඉදිරිපසින් අල්ලා තිබිණි. පාසැල් ළමුන්ට සාක්කු යනු ඉතාම වැදගත් දෙයක් බව නොරහසකි. සුපුරුදු ලෙස ලේන්සු සහ මාරු සල්ලි දැමීමට අමතරව අපට මේවායේ දැමීමට නානාප්‍රකාර දේ තිබිණි. කැන්ටිමෙන් රුපියලට පහ බැගින් ලැබුණු, ඉරි සහිත ලොකු සීනිබෝල පිරවීමට මේවා කදිම විය. රස්නය වැඩි දිනවල සීනිබෝල දියවී සාක්කු වල විවිධ පැහැති පැල්ලම් ඇති වීම අපට අදාළ වූයේ නැත. මීට අමතරව තීන්ත පෑන් පාවිච්චි කර ‘අකුරු ලස්සන කර ගන්නට’ විලාසිතාවක් එකල තිබිණි. සුදු ඇඳුම් සහ තීන්ත පෑන් මිතුරන් නොවූ අවස්ථා ගැන ඒ යුගයේ දී පාසැල් ගිය හැමට සොඳුරු මතක තිබිය හැක. සාක්කුවලදී තීන්ත ඉහිරුණු, පෑන ගසා දමද්දී තීන්ත ඉහිරුණු අවස්ථා පාසැල් නිල ඇඳුම්වල සදාකාලික මතක සටහන් වූයේ ඒවා සෝදා ඉවත් කළ නොහැකි වූ බැවිනි.

මීට අමතරව මට නම් එකල සුදු ගවුම් write-off කරගන්නට විශේෂ හැකියාවක් තිබිණි. දිනක් පාසැලේදී ගොඩනැගිල්ලකට හේත්තු වී මිතුරියන් හා වරුවක් තිස්සේ දොඩවමින් සිටි මා, එතැන තිබී ඇත්තේ අලුත තීන්ත ගෑ පීල්ලක ‘ඩවුන් පයිප්පයක්’ බව පසුව සොයාගත් දිනය නම් ඒ තීන්ත පදාසය සේම මතකයෙන් නොමැකෙනසුළු ව අදටත් ඇත. සුදු ගවුමේ පිට දිගට කළු පැහැ පළල් තීන්ත ඉරක් සහිතව ගතවුණු ඒ දවසේ ඉතිරි ටික බෙහෙවින් දිගු විය.කළු සුදු ඉරි ඇති සතුන්ගේ නම් සහිත ආදරබර ඇමතුමින් මගේ දෙකන් පුරවාලන්නට එදා මගේ මිතුරියෝ අමතක නොකළහ! තීන්ත මෙන්ම චොකලට් අයිස් ක්‍රීම් ද සුදු ගවුමට නොමැකෙන ලෙස කහට සිටින බව මා අත්දැකීමෙන් ඉගෙන ගත්තේ උසස් පෙළ පංතියකදී වාරාවසාන ක්ලාස් පාටියකදී කුමක් හෝ විකාරයක් කරන්නට ගොස් අඩක් දියවූ ලීටර් හතරේ චොකලට් අයිස්ක්‍රීම් පෙට්ටියක් උකුලට හැලුණු විට ය. ඒ සුදු ගවුම් දෙකටම ඉන් එහා අනාගතයක් නොතිබුණු බව ඉතින් අමුතුවෙන් සඳහන් කරන්නට අවශ්‍ය නැතැයි සිතමි.

එකල පාසැල් වෑන් රථයේදී ළමුන් සෑම වාරාවසාන දිනකදීම නිල් දියකළ වතුර ගහ ගැනීම සාමාන්‍ය දෙයක් විය. එදාට නිවෙස් බලා යන ගමනේදී ඩ්‍රයිවර් අන්කල්ට වැඳ වෑන් රථය පාර අයිනේ ඇති කඩයක් අසල නවත්වාගෙන, නිල් කුඩු පැකට් මිලදී ගෙන, තගක් දමා වෑන් රථයේ යන පොඩිඋන්ගේ වතුර බෝතල් සහ කෑම පෙට්ටි බලෙන් ගෙන ඒවාට නිල් දියකර ඉන් ගැහැණු ළමුන්ට ප්‍රහාර එල්ල කිරීමෙන් අහිංසක සතුටක් අප වෑන් රථයේ පිරිමි ළමෝ ලැබුවහ. සුදු ගවුමෙන් නිල් පැල්ලම් නම් සෝදා හළ හැකි බැවින් සහ මේ ප්‍රහාරයන්ගෙන් වැළකීමට වෑන් රථය තුළ මුවාවිය හැකි තැනක් නැති බැවින් අපි ද මේවා විනෝදයක් ලෙස සලකන්නට පුරුදු වුනෙමු. අප වඩාත් ප්‍රවේසම් වූයේ මේ නිල් වතුර විනෝදයේ සාක්කි වෑන් රථයේ ඉතිරි නොකරන්නට ය. එසේ කළා නම් එදාම හවසට ‘වෑන් ඇන්ටි’ ගෙන් අප දෙමව්පියන්ට දුරකථන ඇමතුමක් ලැබීම සිකුරු බව අපි දැන සිටියෙමු. ඩ්‍රයිවර් අන්කල් නම් එකෙක් මළත් කේලම් නොකියන බව දත් නිසා අපට කරන්නට තිබුණේ අවසානයේදී රථයේ හැලුණු නිල් වතුර පිසලීම පමණි. මේ සඳහා ලේන්සු මෙන්ම සුදු ගවුම් වාටි හා සුදු කමිස වාටි භාවිත විය.

මෙවැනි අතීතයක් හිමි මට දිනපතා සුදු කමිසයේ එකදු පැල්ලමක් නැතිව පාසැල් ගොස් ගෙදර එන කොල්ලෙකු ලැබීම පෙර පිනක් යැයි මා සිතා සිටියෙමි. එහෙත් එක සෙනසුරාදා දිනක පුතාගේ පාසැල් කලිසම් සෝදන්නට දමන්නට පෙර මා නිකමට මෙන් එහි සාක්කු පරීක්ෂා කළේ පාවිච්චි කළ ටිෂූ කැබලි සාක්කුවල අමතක කර දමන්නට ඔහු රුසියෙක් බැවිනි. මා අත ගැටුනේ පොල් කුරුමිණියෙක් තරම් ලොකු කුරුමිණියෙක් සහ ඊට තරමක් කුඩා අළු පැහැති කෘමීන් දෙදෙනෙකි.

“ඊයා මේ මොක්කුද මේ??” යැයි මා අත ගසා දමා කෑ ගසද්දී පුතා දුව ආවේය.

“Oh.. I totally forgot about them.. those are some beetles I found at school.. I want to keep them as pets!” ඔහු උන්ව අහුලමින් විස්තර කළේ ය.

“well.. after spending almost a day in your pocket.. they are very dead buddy!” මා ඔහුට පැහැදිලි කළේ එක්කෝ උන්ගේ වාසනාවකට නැත්නම් මගේ වාසනාවකට උන්ට ඒ අවස්තාව අහිමි වීම පිළිබඳව සිතෙන් ස්තූතිවන්ත වෙමිනි.

“that’s ok.. there is a tree full of beetles like that at school..I will bring home some more.. I might use my lunchbox to bring them home next time!” ඔහු බොහොමත් උනන්දුවෙන් පැවසීය.

ඉතින් මා මෙන් ඔහු පාසැලේදී ඇඳුම් කිලිටි කරගත්තත් නැතත්, ඔහු මෙන් මා එකල සාක්කුවල කුරුමිණියන් පුරවාගෙන ආවත් නැතත් ළමුන් නම් ළමුන්ම බව මා මටම මතක් කර ගත්තේ සිනාසෙමිනි. 

pic-gettyimages





20 comments:

  1. මටත් තියෙන්නේ දුඹුරු පාටට අදාළ පාටවල්වල සුදු ගවුම් දරපු කෙනෙක්. මටම උනත් දැන් හිතාගන්න බෑ සුදු ගවුම් අම්මා කොයි විදියට හේදුවද කියලා. ගොඩක් ලොකු උනාට පස්සේ අපි අපේ ඇඳුම් හෝදගන්න ලැබුනත් මම හිතන්නේ ඒවා සුදු කරන්න හැදුවේ නැතිද කොහේදෝ.. හි හි හි

    අනේ මම නම් සදාකාලිකව රැලි ගවුම්වල හිරවෙලා උන්නේ. ඊටත් මම වගේ අයන් කරන්නට අදටත් කම්මැලි කෙනෙක්! කොහොම උන්නද මන්ද. දැන් ළමයි දැක්කහම ඒ අතීතය මතක් වෙනවා. ඔය වසර අවසානයේ වතුර ගැහිල්ලකට මැදිවෙලා ලෙසටම කාලා තියෙනවා ඉස්කෝලෙන් පරිප්පුවක්

    ReplyDelete
    Replies
    1. ඇඳුම් කිළුටු කරගන්න එකේ රඟේ තේරෙන්නේ තමන්ම ඇඳුම් හෝදන්න ගත්තාම නේද? ඒ කාලේ ඉතින් රින්සෝ තමයි පිහිටට හිටියේ! :)

      ඉස්කෝලේ ඉන්න කාලෙදී කොයිවෙලේ ඉස්කෝලෙන් මිදෙන්නද කියලා හිටියාට දැන් නම් මතක් කරද්දී ඒ කාලේ දිග මදියි වගේ නේ?

      Delete
    2. ආයෙත් අහලා..... රෙදි හෝදන්නේ අපිටම සාප කර කර. අම්මා බනිනවා එකසිය ගානට. සමහර දවස් වලට මට මතකයි හෝදන්නේ ඉරිදා රෑ ! ඉතින් ෆෑන් එකට එල්ලලා තියලා උදේ මදිනවා. කැන්වස් නම් , උදේට සපත්තුව දාලත් ඉවර වෙලා liquid එක ගාගෙන ගිහින් තියනවා. හි හි ඊයා !!

      ඉස්කෝලෙන් මිදෙන්න, ලොකුවෙන්න කියලා මට වැඩි හදිස්සියක් තිබ්බේ නැහැ. මට ඒවා ගානක් නැහැ වගේ. ඒ උනාට පාට ඇඳුම් ඇඳලා යන්න හරි ආසයි. අදටත් ආයෙත් ඉස්කෝලේ යන්න ලැබුනොත් යන්නම කියලා ලොකු අදහසක් එන්නේ නැහැ. නමුත් අන්තිම ජොලි සහ මධ්‍යම ජොලි කාලයක් ගෙව්වේ. ඒ තියෙන නොසන්ඩාල වැඩ කරන පරිසරයට නම් අදටත් ආසයි.

      Delete
  2. සුදු ගවුම ඇඳීම සහ නඩත්තුව කෙල්ලෙකුට කොතරම් අමාරුද කියලා හිතාගන්න පුළුවන් වුණත් ලංකාවේ කෙළි පැංචියන් ඉරි සහිත සාය සහිත සුදු ගවුමට තරම් වෙන කිසිම ඇඳුමකට ලස්සන්නට පෙනෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. නන්ද- ඔව් ඒක නම් ඇත්ත..සුදු ගවුම් වල විශේෂයක් තියෙනවා තමයි. වෙන ඔප්ෂන් එකක් නැති නිසා අපි ඒ කාලේ සුදු ඇඳුම් කරදරයක් කියලා හිතුවේ නැහැ. අනික පිරිමි ළමයින්ට වගේ නෙමෙයි ගෑනු ළමයින්ට සුදු කැන්වස් සපත්තුත් දාන්න නියම වෙලා තිබුණානේ. දැන් කල්පනා කරලා බැලුවාම ඒකත් එක්තරා වාතයක්! සති අන්තෙට සුදු සපත්තු සෝදලා, වේලලා, සුදු කැන්වස් තීන්ත ගාලා තියන්න ඕන මතක ඇතිව. අපේ ඉස්කෝලේ නම් සඳුදා උදේට සපත්තුත් චෙක් කරනවා ඒ දවස්වල!

      Delete
  3. Sure ekatama api denna ekama school eke.. danna taramin ekama rellakwatb neti loku sakku dekak tiyenne ape school eke witarai neda? 😊 niwadu dena dawasata watura kema saha gaseema dekama maru 😂 man nam school bus eke giyapu nisa sundara matakayan kandak witara tiynawa...

    ReplyDelete
    Replies
    1. සඳුනි, 'දෙලොවක් අතර බාලිකා'ද? :)

      school bus නම් සෑහෙන්නම ජොලි කියලා මාත් අහලා තියෙනවා.

      Delete
  4. Hey, my uniform also was very much similar. May be the same school. :) I once painted my uniform, accidently, with the paint we used on desks and chairs. However, I managed to continue wearing it few more times. You know how? I tippexed the whole painted area! :D And of course, me and my uniforms and their pockets had many many adventures with ink too. Lovely days. :) Nice post Malee.

    ReplyDelete
    Replies
    1. I think I am finding quite a few past pupils of my school from this post! :D good thinking about the tipex! I would have needed a litre or so for my paint stain though! good times indeed! :)

      Delete
  5. +++++
    මිහිරි මතක.

    ReplyDelete
  6. මලිගේ ඔය සුදුගවුම් මැදීමේ සහ සුදු සපත්තු සුදු කිරීමේ කලබල වලට සමහර අවස්ථාවලදී මටත් හවුල් වෙන්නට වෙලා තිබෙනවා.
    තාත්තා.

    ReplyDelete
    Replies
    1. තාත්තාට දැනුත් පොඩි අක්කාගේ පොඩි දෙන්නාගේ ඔය වගේ කලබල වලට හවුල් වෙන්න වෙනවා නේද? :)

      Delete
  7. අම්මා රෙදි හෝදලා දෙන කාලෙ නම්, ඇඳුම් වලට මොකද වෙන්නේ කියලා ගාණක්වත් තිබ්බෙ නෑ. ඒ දවස් වල නිතරම අපේ ආච්චි අහන එකක් තමයි "උඹ ඉස්කෝලෙ ගියාද නැත්නම් කුඹුරු කොටන්න ගියාද?" කියන ප්‍රශ්නය. 9 වසරේ ඉඳලා හොස්ටල්, බෝඩිං ජීවිතේ පටන් ගත්තට පස්සේ තනියම රෙදි හෝදගන්න ඕනේ නිසා ඇඳුම් කිලුටු වීම ගැන සෑහෙන අවධානයෙන් හිටියේ. හැබැයි ඒ වෙනකොට ඇඳුම් කිලුටු කරගන්න කාලෙ ඉවරයි ඇත්තටම. පඩියක ඉඳගත්තෙත් ලේන්සුවක් එලලා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අපි හැමෝම වගේ පොඩි කාලේ සුදු ඇඳුම් හෝදන්න අම්මලාට සෑහෙන්න වධයක් දීලා තියෙනවා! 9 වසරෙන් විතර පස්සේ ගෑණු ළමයිනුත් ඉතින් ඔහොමයි. ඔය බස් වල වාඩිවෙන්න සීට් තියෙද්දී හිටගෙන එහෙම යන්නේ.. සුදු ගවුමේ රැළි ටික පොඩිවෙයි කියලා.. :)

      Delete
  8. Oh dear are you from delowak athara? Nice to hear about the feelings of the other side of the cemetery...

    ReplyDelete
    Replies
    1. Loku malli- yeah.. we are very good at reflecting on the impermanence of life! :)

      Delete
  9. Good Post. Thank You for publishing This contant..

    KuppiyaJobs Find Jobs Sri lanka. Sri lankan Job Network. Online job site Sri Lanka for jobs, careers, recruitment, employment. Employers post Job for Free. Jobs lanka.Dinamina Jobs, Lakbima Jobs, Silumina Jobs, Top Jobs

    ReplyDelete